මුවරද සිඳුනේ..

අද දවස ඔලුවට නිකම් පිටකො‍ටුවෙ ඉඳන් පයින්ම වෙරළක් ලඟට ගියා වාගේ... නානාප්‍රකාර වැඩ රාජකාරි අස්සේ, සිංහල බ්ලොගර්ලා කීපදෙනෙක් අතර වාග් සංග්‍රාමය හරහා එන ඊ මේල්... සමහරුන්ගේ කියුම් හරියට නොමේරූ කළල වගෙයි... කිවයුතු දේට පලමුව, ආවේගය පනිනවා... ඒ අතරේ මම බොහොම ගරු කරන සමාජිකයින් වන තේජාන්, ශාකුන්තල, ලස්සනට තමන්ගේ අදහස් හිමින් සීරුවේ මුදාහරිනවා... කාලිංග සොයුරා සරලව කරන්න පුලුවන් දේකරලා අන් අය ගේ ආවේගයට නිදහසේ ගලා යන්න ඉඩ හරිනවා (හරියට ජූඩෝ ක්‍රීඩාවෙදි වගේ...Rule No 1 = let the force find it's own destination...) හෙට දිනය එච්චර කලුවර නෑ වාගේ...

ඔය සංගදිය තුරල් වේගන එනකොට මගේ අන්තිම බ්ලොග් ගීයට මගේ පැරණි මිතුරියක් comment එකක් දාලා...ඇය අපට හිටපු ඉතාම වියත් මාධ්‍යවේදියෙක් වන දයාසේන ගුණසිංහයන්ගේ දියණිය... චාණුක සොයුරාගේ ප්‍රිය බිරිඳ... ඇයත් ඉතා ලස්සන කාව්‍යමය හදවතක් ඇත්තියක්, ඒ වාගේමයි ඇයගේ උපහාසයත්... හලාහල විෂ බඳු උපහාසාත්මක බිණුම් මර්මස්ථානයට යවන්න ඈ හරිම දක්ෂයි... ඇගේ පියා ලියූ, මාත් ඉතාම ප්‍රියකරන කදිම ගීයකුත් ඇය මට මතක් කර එවාතිබුනා... සුනිල් එදිරිසිංහයන් මේ ගීය පුදුම
ලයාන්විතව ගයනවා... (දයාසේන ගුණසිංහ වියතාණෙනි... ගීයට කවට සේම ඔබ මදුවිතටත් ඇලුම් කලාද...? ඔබට නිවන්සුව පතමි)

කාලයත් එක්ක ජීවිත වලට වෙන විපර්යාසය, අතීතයේ එකිනෙකා කෙරෙහි තිබුණු ආදරය සූදුවට නොගන්නවනම් කොච්චර හොඳද...?ඔහු වෙනුවෙනුත් ඇය වෙනුවෙනුත් මේ ගීය සටහන් කරමි...

මුවරද සිඳුනේ, රත්සර ලවනේ...බිඟු නැත යලි ආවේ...
සත්සර නිමවී අනුරා ගීයේ... සුසුමකි මතුවූයේ...

හිරු හා පෙම් බැඳි යොවුන් කුමාරිය, දැක ඇයි සඳු හැඬුවේ...
ගිලිහුණු රුව ගෙන සීතල රළ පෙළ, කොයි දෙස දෝ ඇදුනේ...

හෙට දින අරුනළු දිය මත විසිරී, මල් පුබුදන මොහොතේ...
පෙරදා රසඳුන වූ රුව සිහිවී, කවුරුද වැලපෙන්නේ....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

2 ප්‍රතිචාර:

wath said...

තිස්ස අයියා
මේ සින්දු කොහෙද තියෙන්නේ... අපි කැළේක අතරමං වෙලා වගේ .... ලංකාවේ ඉන්න අපි දැන් අහන සින්දු හරියට සෝඩා බෝතලේ ඇරිය වගේ

තිස්ස දොඩන්ගොඩ said...

ලස්සන ගීතත් හරියට බුලත් විට වගේ... කට්ටිය එක්ක එකතුවෙලා රස විඳිනකොට හැබෑම රසයි...මක් කරන්නද... ඒ කාලේ ඉක්මනින්ම ඉවරවුනා නගේ....මටත් නම් දැන් අහන්න අලුත් සිංදුවක් නැතිම ගානයි...

Post a Comment

 
Blogger Wordpress Gadgets