සිප එන සමනල මුදුනින්...

දුරාතීතයේ සාමාන්‍ය දවසක්... ඒ කාලේ කොයි ගෙදරකත් වාගේ රේඩියෝව අපේ ගෙදරත් දාලා තිබුනේ... අල්ලපු ගෙදර ඉන්න අපේ නැන්දා අපේ ගෙදර යම් කාරනයකට ඇවිත් තිබුනා... හදිසියෙන් මගේ අතින් ඇදන් ආපු නැන්දා මාව රේඩියෝවට ලංකරගෙන ලියුම් කවරයක් දිහාවට මගේ ඇහැ යොමු කෙරෙව්වා... මට ඒ කාලේ අවුරුදු තුනක් වුනත් මට මේ සිද්ධිය හිතට කිඳා බැස්සේ සංවේදන ඉන්ද්‍රියන් දෙකක් හරහා ලැබුනු සංවේදනයේ හරය එක හා සමපාත වූ නිසයි... 72 බිරිතානි කිරීටයට තිබිච්ච අන්තිම නීතිමය බැම්ම (62 හමුදා කුමන්ත්‍රණයේ වරද කරුවෝ නිදහස් වුනේ ඔය කොස්ස තිබිච්ච හින්දායි කියලයි කියන්නේ... දන්නා හැටියට...) ගලවලා දාපු ජනරජ ව්‍යවස්ථාව මුල් කරගෙන ලියැවිච්චි ගීයක් මේක... මේ ගීයට පසුව මුද්දරය නිර්මානය කලාද, මුද්දරයට පසුව ගීය නිර්මාණය කලාද කියන එක නම් දන්නේම නැත... මතකයේ හටියට පද රචකයා කේ ඩී කේ ධර්මවර්ධනයන්ය... අවසානයේ ඇහෙන අත්පොලසන් නාදය කෙතරම් අරුත් බරද...?

සිප එන සමනල මුදුනින්...
ජනරජ දිනකර කිරණින්...
ලංකා රන් තඹර කැකුල...
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...

භූපාලන නව ‍රැල්ලේ, එක ධජයක සෙවනැල්ලේ...
නිවහල් රන් ඕවිල්ලේ, ජන ජය ගී මංගල්ලේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී...

කාංසිය ඉවසාගන්නම බැරි තැන අර Yellow Pages වල කියන්නාවාගේ let the fingers do the walking කියලා යතුරු පුවරුවට ගොඩ වුනා... ඉස්සෙල්ලාම ආපු 802.11 බස් එකට ගොඩවුනා... ආලෝකයේ වේගයෙන් ගමන් කරන බස් රියට සත් සමුදුරින් එහාට යන්න ගතවුනේ ඇසිල්ලක් විතරයි... විද්‍යාර්ථීන් ගැවසෙන හරියකදී, පෙනුමින් එක සමාන තරුණියන් දෙදෙනෙක් බස් රියට ගොඩවුනා... දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...! මේ දේවේන්ද්‍ර ගේ මිතුරිය නේද... ? හැරිලා බලමිදෝ නොබලමිදෝ කියලා ඉන්නකොට ඈත් සමග සිටි අනෙක් තැනැත්තිය මට මිතුරු සිනහවකින් සංග්‍රහ කලා... සිනහව අල්ලාප සල්ලාපයකට පරිවර්තනය වුනේ ඇගේ ලෙංගතුකම නිසාමයි... දෙවේන්ද්‍රගේ මිතුරිය ගැන ඇගෙන් වැඩි විස්තර අහන්න හිතුනත් මම නිහඬව හිටියා.... ... දෙවේන්ද්‍ර ගේ මිතුරිය බස් රියේම කව් ගොතමින් ‍රැඳුන නිසා, මගින් බැහගත්තු අපි බස් රියට ලෝකේ වටේ යන්න ඇරලා අවන් හලකින් උණු උණු කෝපි කෝප්ප කිහිපයක් හිස්කලා... හෙට දිනයේ ඇති වගකීම් සම්භාරය නොවන්නට අප දෙදෙනා තවමත් අල්ලාප සල්ලාපයේ.... ඇගේ කාරුණික ප්‍රඥාවන්තබව ගැනත් ඍජු ගතිගුණ ගැනත් බෙහෙවින් පැහැදුන මම නැවතත් අසලින් ආ 802.11 බසයක එල්ලුනා.... ඔහ්...! දෙවේන්ද්‍රගේ මිතුරිය තවමත් කව් ගොතමින්....!!
ගායනය අතුල සෝමසිරි ගෙන්....

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී සීතල අතරින් ජපානයේ...
නොරිකෝ සං ගේ නෙත් යුග පත්ලේ සොඳුරු වසන්තය ‍රැදී තියේ...

කබුකි ‍රැඟුම්, නෝ ‍රැඟුම්, බැලූවෙමු රඟ මඬලේදී සැන්දෑවේ....
රස මදිරා තොල ගෑ හැටි මතකයි අවන් හලක හිඳ රෑයාමේ...

ෆූජි කන්ද හා සකුරා උළෙලයි, අප ඔරු පැද ගිය ජල ධරා...
සිහිවේ එනමුත් දෙවෙන්දොරා ගෙන් නොරිකෝ සං හට සයොනාරා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...

කාලාන්තරයකින් ඇහිච්ච නැති මේ ගීය මට මතක් වුනා අද උදේ... පොස්ට් එකට දාන්න ඉස්සෙල්ල කිහිප වාරයක් අහනකොට දරන්න බැරි තරමේ මහ පාලුවක් හිතට ආවා.... මෙහේ හිටියා ඇති කියලා වාගේ... හොඳම බෙහෙත මුහුදු වෙරලට යාම... ටී එම් ගේ මේ අතිශය ශෝකී රාවය කුලුගන්වන්නේ මගේ කිනම් භාවයක්ද....?

රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
කිරි මුහුදේ සිනා මවා, හද ‍රැහැනේ පැතුම් වෙලා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..


ඒ මල් දේහේ, පෑ ආයාචනා...
තරුවෙන් ගොඩ වී, පියුමක සැඟවී ආවාදෝ...
රෑ තරු රෑනේ...


මා පෙම් දෑතේ, ඈ කාගේ වෙසින්
මල් මද රේඛා අංජන තවරා ආවාදෝ...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
කිරි මුහුදේ සිනා මවා, හද ‍රැහැනේ පැතුම් වෙලා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
ම්..ම්...ම්...ම්...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!

ඈත ගගනතේ පායන චන්දෝ...

ඉනෝකා සත්‍යාංගනී සහ සුදත්මහදිවුල්වැව යුවල දැනට කාලයකට උඩදී, පුවත්පත් සාකච්ඡාවක් තියලා යුගදිවියෙන් සමුගත්තා, අලුත්ම ආරෙකට.... විවාහ වෙලා දරුවන් හදා උස් මහත් කොට, දීග තලග දී, එලොවට වැඩක් කරගැනීමේ, සාම්ප්‍රදායක චින්තනයේ පිහිටා ඉන්නෙක් මම ... හරියන්නේ නැත්නම් ගලවලා දාන්නේ නැතුව එල්ලන් ඉන්නේ අහවල් එකටද...? කියන අරවාගේ විකල්පයකුත් තියනවා ඉතින්... ඒත් තමාගේ කනස්සල්ල හෝ නොඉවසිල්ල තවත් පරම්පරාවක දුක්ඛ දෝමනස්සයක් බවට පරිවර්‍තනය කරනවා නම් ඒක පවක්... මෘදංග වාදානයකින් අලංකාර වෙච්චි මේ ගීය ප්‍රේමයේ කූටප්‍රප්තිය ගැන යස අපූරුවට විස්තර කරනවා.... ගායනය ඉන්ද්‍රානි සේනාරත්න ගෙන්...

ඈත ගගනතේ පායන චන්දෝ...
දෑස පිනි සැලූ හේතුව මන්දෝ...
සීත සමීරේ මා නැලවූ ඒ...
සීත සමීරේ මා නැලවූ...

ආදර සිහිලස විඳ අප දෙන්නා...
මතකද ඔබගේ සෙවනේ උන්නා...
අතීතයෙන් ඒ කාලය ගෙවුනා...
ඔබ දුන් සිහිලස සිතට නැගෙන්නා...

දවසින් දවසට දවස ගෙවෙන්නා...
අද යුග දිවියක මිහිර මැවෙන්නා
ඒ දිවියේ තනියට ලඟ ඉන්නා...
සඳ ඔබ වැනිවූ පුතෙක් උපන්නා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න

චිත්‍රය ජයසිරි සේමගේ ශූරින්ගෙන්
Read More!

පායාවි ඈත සූර්‍ය ‍රැස් මාලා...

මාලු මස් අනුභවයට නොගත්තට මොකද දැල් අදින්න නම් තුන් හතර ගමනක් අත් උදව් දීලා තියනවා... මාලු කරුමාන්තේ ගැන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ "අපේ ගම" පොතේ අපූරුවට කියලා තියනවා... සැමී, මාලු අල්ලන්න යන කිරිබබා ගේ බෝට්‍ටුවේ හැංගිලා ගොහින් මූද මැද්දෙදී එලියට ආ හැටිත්, සැමීගේ අතේ ගිය දිමියා කටින් පිඹ වතුරට දාන්න හැදූ වෙලාවේදී, දවසට මාලු දෙතුන්සීයක් අල්ලන කිරි බබා "අපොයි මහත්තයා... සතුන් මරන්න එපා පව් සිද්ධ වෙනවා..."යැයි කියූ හැටිත්...

මේ ගීය අපූරු තනුවක් ඇත්තක්... මහ අමුතු හැගීමක් හිතට දැනෙනවා... හින්දි තනුවක් ද මන්දා...අතරින් පතර සීනු හඬකුත් නැගෙනවා... ගායනය මිල්ටන් පෙරේරා ගෙන්...

පායාවි ඈත සූර්‍ය ‍රැස් මාලා...
ඔරුවේ නැගී පාවී, මහ සාගරේ යාවේ...
සංසාරයේ ගමනයි... සංසාරයේ ගමනයි...

ගිනියම් අව්වේ, එකමුතු වීලා...
ඕඩි හෙලෙයියෝ හෙලෙයි කියාලා...
දාඩිය හෙලලා, මාදැල ඇදලා...
ජීවිත සටනේ....

අපගේ සිරුරේ දාඩිය වැගිරේ...
එය මහ මුහුදේ ජලයට සමවේ...
මේ යන ගමනේ, ඉම කොණ නොපෙනේ...
ජීවිත සටනේ....

මුහුදෙන් ඉපදී, මුහුදට බිලිවී...
සිහිනය නිමවේ මේ යන ගමනේ...
ආදර හස‍රැල්, සුසුමට පෙරලේ...
රුදු සුලි සුල‍ඟේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...
Read More!

දිය පිට ඈන්දා ආදර සිතුවම්...

ඇයි සොයුර ඔබ එහෙම කලේ... ? තමන්ගේ දෝතින්ම ගෙනල්ලා, මලානිකව තිබිච්ච ඒ ලදලු පැලය, ඔබම නේද අලුත් පසක ඉන්දෙව්වේ...? ඔබටත්, සැමටත් සෙවන දෙන, අතුපතර විහිදුන, ඩිඩාවෙන් බරවූ විට හිස තියා හාන්සි විය හැකි, මහා වෘක්ෂයක් වෙනකල් ඉවසන්න බැරි වුනේ ඇයි...? එය ලස්සන මල් පොහොට්‍ටු පුබුදුවාලූයෙත් ඔබ වෙනුවෙන්මයි...! අන් කිසිවෙකුටවත් නොවේ... ගස මෝරන්නටත් කලින්ම එහි පලයම ඉල්ලා හඬන්නට තරම් ඔබ සැහැසි වූයේ ඇයි සොයුර...? නියගයටත්, වරුසාවටත් එකසේ ඔරොත්තු දී තිබු ඒ ගස සුවඳැති මලින් තොර කලේ ඔබමයි....! අසලින් යන මගී අපටත් ඔබ ඒ සුන්දරත්වය අහිමි කලා... ඔබට සාප වේවා...
(එක් බෙරයකින් තවත් බෙරයකට...! ගායනය නිරංජලා සරෝජීනී ගේ සුමියුරු හඬින්)

දිය පිට ඈන්දා ආදර සිතුවම්...
කල්ප විනාසය තෙක් පවතින්නට, වෙරලේ ලිව්වා දහසක් පෙම් කවි...
ඉරහඳ පායන තෙක් නොමැකෙන්නට....

ලොවම අසිරිමත් වී නෙත් පියවී අන්ධ වුනා මා අන්ධ වුනා...
සුමිහිරි ගීයෙන් දෙසවන් පිනවී බිහිරි වුනා මා බිහිරි වුනා...

අනියත කිසිවක් නොදිටිමි ලොව තුල පාරාදීසෙක මා සිටියේ...
නටබුන්වත් නෑ රුසිරු සිහිනයේ ධූලි වලා සේ බිඳී ගියේ....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න
Read More!

කඳු කපා රුවන් හිරු පායා නැගෙනවා....

වෙලාවකට හිතෙනවා ගිය ආත්මේ බෙරවායෙක්ම වෙලා ඉන්න ඇති කියලා.... හමකට තට්‍ටු කරන සද්දයක් ඇති ගීයක් වෙත් නම් සිත එයට ඇදී යන්නේ නිරාසයෙන්මයි... කුඩා කල ලහි ලහියේ පාසැල් යන්න ලක ලෑස්ති වෙද්දී ඇහිච්ච මේ ගී තාමත් මතකයේ රඳා හිටින්නේ ඒ නිසාම වෙන්න ඇති... එහෙමනම් ආලවට්ටම් නැතිවම නාලිනී රණසිංහ ගයන මේ රසාලිප්ත ගීය අහන්න "යමු ලඳේ වෙනින් කුමටද ආයාචනා....?"



කඳු කපා රුවන් හිරු පායා නැගෙනවා උදේ, රණ මතින් කෙතද කරතෙයි ආරාධනා...
සලු පවන් වැදී ගොයමද මෝරණවා, තෙතෙයි, යමු ලඳේ වෙනින් කුමටද ආයාචනා...

උඩහ ගෙදර යස මැණිකා කලු කැන්දන් එයි...
පහල ගෙදර හිච්චි නගා දෑකැති ගන්නේ...
ඇඹුල තියා මුල බැඳලාදෝ සැරසෙන්නේ...
ඉර මුදුනට එන කලියෙන් කමතට එන්නේ...

බුද්ධං සරණේ මහිමෙන් වෙලට බහිනවා...
ධම්මං සරණේ දරමින් සින්දු කියනවා...
සංඝං සරණේ සරණින් පෑ වත වෙනවා..
මේ තුන් සරණේ බලයෙන් රට සරු වෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න

photo by Dominic Sansoni
Read More!

සක්වල දේශය එපිටින් එන වන බම‍රෝ....

ගිටාරයයි, බටනලාවයි, උඩැක්කියකුයි ඉතාමත් අණර්ඝ ලෙස මුහුකොට සැදූ නිර්මාණයක්... ටී එම් ජයරත්නයන්ගේ මියුරු හඬ ඊට නොදෙවෙනි සංගීත රසයක් ගීයට එක්කාසු කරනවා...

සත් ගිරි කුලු පිට එපිටින්,
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බම‍රෝ.... එන වන බම‍රෝ....

මලේ පියලි වරුන සලුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...

සුදු එල පෙති වියන යටින්,
ලහිරු කැලුම් පලස පිටින්,
නල ‍රැලි පෙම් සමග තුටින්,
එන වන ඹමරෝ.... එන වන බම‍රෝ....

මලේ තුසර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙලෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට ‍රැඳුනේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුනේ නුඹටයි....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න....

Read More!

හිරු ගෙනැවිල්ල පුතු ලඟ තනියට තියලා...

අමිල සඳරුවන් පුතා යන්නම ගිහින්... තමන්ට කවදාවත් ඉන්න නොලැබුනු සුවපහසු ඇඳක අසිහියෙන් වුව සතියක් ඉන්න සලස්වපු, තමන් කලු ගං දියෙන් ගොඩගත්ත ඒ කරුණාවන්ත තාත්තටවත් ස්තූති නොකරම... මගේ ජීවිතේ දෙවනි වරට මම නොපෙනෙන, නොදැනෙන බලවේගයක් වේනම් ඒ ඇත්තන්ගෙන් මේ දරුවාගේ ජීවිතේ බේරාදෙන්න යැයි ඉල්ලා හිටියා... පලමු වතාව, අප්පච්චීගේ පණ ICU එකේදී මා ඉස්සරහම ගිය වෙලාව... එදා හාස්කම සිද්දවුනා, දොස්තර මහත්තුරුන්ගේ හැකියාවටත් පින් සිද්ධ වෙන්න... ලෝකේ දේවල් ඔලුවේ දමාගෙන විඳවන්න එපායැයි මගේ යෙහෙලියක් ඉල්ලා හිටියා... නමුත්... මරන දැන්වීම දාපු දවසේ ඉඳලම මරණය යන වචනය අහල පහල හක්කලං කරනවා...මාරයාගේ හෝරාව එක්ක ඔට්‍ටුවෙන්න මාරයා මල්ලි කුප්පියක් තියන් ඉන්නවා... තවත් බ්ලොග් කරණයේ නියැලෙන සොයුරියකගේ මව ආන්ත්‍රා වෙලා... ඉස්පිරිතාලෙට ඇතුලත් කල මගේ මාමණ්ඩියගේ තත්වයත් සතු‍ටු දායක නෑ...

මම ලොකු පුතාට කුඩා කල ඉඳන්ම මරණය ගැන සරල විදිහට කියාදෙන්න උත්සාහකලත් මට හිතෙන්නෙ මමවත් ඒක හරියටම තේරුම් අරන් නෑ කියලයි...මට දරුවො දෙන්න හරියට මතක් වෙනවා... මේ ගීතය ලොකු පුතා පොඩි කාලේ මම උකුලේ තියාගෙන අහනවා...දවසක් එයා අහනවා..."ඇයි , ඒ බබාගේ තත්තා කෝ...?" කියලා... මම කිව්වා වැඩිය නොහිතාම "මැරිලා වෙන්නැති ඉතින්..." කියලා... ඔහු අහක බලාගෙනම සින්දුව අහනවා... මූණ හරවලා බැලුවහම කඳුලු ගුලි දෙකක්... පුංචි ඇස් දෙකේ... ඔහු අදටත් හරිම සංවේදීයි...
(පුංචි සඳරුවන්ට නිවන්සුව පතමු... මා ‍රැස් කරගත් පිනක් ඇත්නම් සියල්ලම ඔහුට අනුමෝදන් කරනවා.... යහපත් තැනක උප්පත්තිය ලබන්න ඊලඟ ආත්මේවත්....)

හිරු ගෙනැවිල්ල පුතු ලඟ තනියට තියලා...
උදේ ‍රැයින් පිටවීලා හවසට එන්නම්...

අහසට උසට විහිදී ගිය වතුකරයේ තේ නිල්ලේ...
බට කූඩය පිටබැඳගෙන නිය රඳවා තේ දල්ලේ...
මිහිදුම් සලු පීරාගෙන සේවය කර කඳු ‍රැල්ලේ...
අතට ලැබෙන දෙයින් ගෙනෙමි පුතාට කිරි රස ලොල්ලේ... පුතාට කිරි රස ලොල්ලේ...

පුතේ නුඹේ ලොකු අම්මා අතේ වලල්ලක් දැම්මා..
කුසේ නැගෙන ගිනි නිම්මා නිවා දමයි නුඹේ අම්මා...
පියා නොමැති මගේ පුතුගේ කුස ගින්දර නිවා ලන්න...
සැම දෙවියෝ පිහිටවෙයන් හැන්දෑවට ගෙදර යන්න... හැන්දෑවට ගෙදර යන්න

සිංදුව අහන්න... ඔන්නම් බාගන්න... හිතේ දෙයක් ඇත්නම් ලියලම යන්න...
Read More!

මගේ සෙනෙහස මෙතෙක් වේයැයි...


මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව..
මගේ අවසන් සුසුම පමණද, ඇවැසි ඔබ හට මා දකින්නට...

වසර ගණනක යොදුන් ගණනක, ගමන් මග අප ගෙවා ඇත්තෙමු...
තරු වියන් යට කුසුම් පෙති මත දෑත් පටලා ඇවිද ඇත්තෙමු...
එහෙත් සුහදිනි...

මිලින කුසුමෙක, මිලින සිහිනෙක මගේ සිහියද සැඟව ගත් කල...
සිතනු මැන ඔබ, ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග...
එහෙත් සුහදිනි....


සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

බණ්ඩාර කේ විජේතුංග / සුනිල් එදිරිසිංහ
Mage Senehasa
Read More!

යසෝදරා...

"ගෝල් පේස් යන්නෑ... පාර වහලෝ... ගෝල් පේස් යන අය කොල්ලුපිටිය හන්දියෙන් බහින්නෝ..." උඩ ගිහිල්ල ඇහැරෙනවා... කොන්දොස්තර මල්ලි ගේ කැගැහිල්ලට.. මදෑ බම්බලපිටියෙන් සීට් එකක් හම්බවෙලා ඇලට් එකක් දාගත්තා විතරයි... අදැපන් ඉතින් පයින්ම...
කෝ මේ ලිෆ්ට් එක තාම දාලා නෑනේ ...යමං පඩි පෙලේ අටවෙනි තට්‍ටුවටම.... ඔ‍ෆිස් එකේ යතුරත් සෙකියුරිටි එකෙන් අරගෙනම... දහයට evaluation කොමිටි මීටිම... උන්ට කේක් බිස්කට් ගෙන්නවන්න කෝ මේ පෙටි කෑෂ් බාර එකා...ම්ම් ඌත් නෑ... ඒකත් පොකට් එකෙන්... මල හත්තිලව්ව... මේ මගුල් ටික වදිනවා වදිනවා ඉවරයක් නෑ... "හලෝ...පොඩ්ඩක් දෙවෙනි තට්‍ටුවට එනවද...? අහවලා කතාකරනවා..." හ්ම්ම් යමන්... දීපන් ඉතින් ටියුෂන් උදෙන්ම... එක්කෝ දන්න ක්‍රිකට් එක පරිපාලනය කරගෙන ඉන්න ඕනෑ...

"කෝ මේ මිනිට්ස් ගන්න ලමයා...." "ඇවිල්ල නෑ...?" එතකොට මමද මිනිට්ස් ගන්නත් ඕනෑ... මරු.... "එහෙනම් මිස්ටර්... ඔය ඩොකියුමන්ට්ස් ටික අනිද්දට ෆයිනලයිස් කරල ගමු නේද...? පරක්කු කරන්න බෑනේ..කැබිනට් ටෙන්ඩර් එකක් නේ...ෂෙඩියුල් එකට යන්න ඕනෑ..." "හරි හරි දෙන්නම් අනිද්දට..." තොපිට මොකද... !

ඔන්න වදිනවා...දවල් කෑම එකවත් කන්ඩ දෙන්නේ නැද්ද අප්පා... මොකක්...? " _ _ _ _ චින්තනයට අනුව පහුගිය වසරේ ප්‍රගතිය..?" මමද ඕක හැදුවේ... මගෙන් අහලවත් නෙමෙයි ඕක හැදුවේ...
"හරි හරි ඔබතුමා කියනවනම් හෙට දවස ඇතුලත දෙන්නම්..."

"ඇයි මොකද....?" "අන්න කතාකරනවා..." "ආ වාඩි වෙන්න... මේ පොඩි බිස්නස් ඩිවෙලොප්මන්ට් ප්‍රොපෝසල් එකක් තියනවා..., අහවල් තුමාගේ සම්බන්ධ කෙනෙක්ගෙන්... බෑ කියන්න හරි හා කියන්න හරි පොඩ්ඩක් බලන්න එපායෑ නේද...හෙට උදේ ඉල්ලනවා.. ගෙදර ගිහින් රිලැක්ස් එකේ මේක බලලා අරන් එනවද... ආ පෙට්‍රල් එලවන්ස් එකේ වැඩේ හරි ගියෙ නෑ නේද තාම... හරි අපි බලමුකෝ..."
ඔව් අපිට ගෑනු, දරුවෝ, නෑනේ... නොදකින්...

"ඒ පාර මොකද..." "මං පොඩ්ඩක් කලිං යන්න... අද කෝච්චි ස්ට්‍රයික්ලු..."
"එතකොට මේක වහන්නේ මමද...? හා හා... "
නැත්නම් ත්‍රී වීලර් කුලියත් මට දෙන්න වෙයි...

අප්පා බස් වලට සෙනග... "මාරු නැද්ද...?" "ඉතින් පහලොවක් ගන්න පනහක් මාරු තමයි..." "අපිත් ගෙදරින් ගෙන්නේ නෑ... බහිනකොට ඉල්ල ගන්න..."
හම්මෝ බහින්නේ කොහොමද...ඇතියන්තන්... අර තඩි මිනිහ මට කලින් සුද්ද කරගෙන බැස්ස නිසා බැස්සා... හුටා පනහේ ඉතුරු..! පොඩි එකාට බෝලයක් ගෙන්නත් කිව්වා...

අම්මා... දිව්‍ය ලෝකෙට ආවා වගෙයි..."ගෑස් ඉවරයි... ලොකු පුතාට සනීප නෑ... පොඩ්ඩගේ හෝම් වර්ක් වලට සරුංගලයක් හදන් එන්න කියලා... අම්මලාගේ ටීවී එක පෙන්නේ නෑ"

හෝව් හෝව් rewind please...

"අප්පා අදනම් හරිම මහන්සි පාටයි... කෝ දෙන්නකෝ බෑග් එක... අද මූණ සෝදන්න කලින් තේ එක බොමු නේ...? මම අලුවා හැදුවා..."
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...දයා ඔබේ මුදු ගුණයට ලොබ බැඳ....සදා වෙසෙන්නෙමි ඔබේ සෙනෙහෙ යට....

යසෝදරා... යසෝදරා...
හිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...
යසෝදරා... යසෝදරා...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත...
කෙමෙන් මැකී යයි යසෝදරා වත...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

Sithe Nagunu Kalakireema
Read More!

සෙනෙහස සොම්නස අතිනත ගත්විට...

මේ ගීයේ වාගේ කදිම රූපක වලින් සඟවා අලංකාර කල (සරාගී..?) ආයාචනයක් මගේ ජීවිතයටම අහලා නැති තරම්... මේක චිත්‍රපටි ගීතයක් නිසා චිත්‍රපටියේ රාමුවට ගැලපෙන්න හැදුවද මන්දා... තිසා වැව, එහි ගැවසෙන සේරුන්, අතීත රංගනයන් පවා මතක් කරමින් ඈ මේ ඉඟියෙන් පවසන්නේ කුමක්ද... ඔහු තාවකාලික අමණාපයකින්ද...? වෙනත් මලකට ආකර්ෂණය වත් වෙලාද... සොඳුරු සිතැති ඔහු වදනක් වත් දොඩන්නේ නැතිව ඉන්නේ ඇයි... එසේත් නැත්නම් ඇයගේ ආයාචනයේ ගැඹුරක් නැති බව ඔහු දන්නා නිසාද...? මල්ලිකා කහවිට "ලා දලු" චිත්‍රපටියට ගැයූවක්...

සෙනෙහස සොම්නස අතිනත ගත්විට ඉමිහිරි සුවය මැවේ...
ඉඟියෙන් පවසන සේරුන් යුවලක්, යති අර ගගන ගැබේ...
යති අර ගගන ගැබේ...

හිරු ‍රැස සිප සිප පිපි මල් කැකුලක ආදර සුවඳ හදේ...
බඹරෙක් ලැතැවෙයි මල් පැණි නොසොයා, නැතිවද සතුට හිතේ....

බොල් පිණි බිමට තලා, මල් පැණි එපා කියා....
රුදු බඹරෙකුගේ නියා, ඉගිලී යයිද කියා...

මද මද පවනින් පොදි ‍රැදි කිරණින ලස්සන තිසා වැවේ...
ගොලු බව ඔබටත් දැනිලද නොදැනේ, ඔබ මේ නිහඬ වුනේ...

පෙර පෙම්වතුන් පවා, පෙම් රජ දහන් මවා...
වැව ලඟ තුරුලු වෙලා, හිනැහී මුකුලු කලා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න..

ගීය ගැන වැඩි විස්තර දන්නවානම් අපත් එක්ක බෙදා හදා ගන්න...
Senehasa Somnasa
Read More!

භව ඝෝර මහා සාගරයේ...

පනස් ගනන් වල හිටන් හැත්තෑ ගනන් දක්වා බොහොමයක් බොදු ගී වලට ජීවය දුන්නේ බොදුනුවන් නොවන අය... ඒ එම් යූ රාජ්, අහමඩ් මොහිදීන්, ඒ. ආර්. එම්. ඊබ්‍රහිම්, මොහිදීන් බෙග් මහත්වරුන් විශේෂයි... කාන්ති වක්වැල්ල, ජී එස් බී රාණි, ධර්මදාස අනෙක් පැත්තෙන් හිටියා... එම් කේ වින්සන්ට් සහ "නාදේ නාදේ සාධු නාදේ..."ගයන දක්ෂ නලුවකුද වූ වින්සන්ට් වාස් (සංදේශය) වගේ අයත් අමතක කරන්න බෑ... මම හිතන විදිහට ඔවුන් කතොලිකයන්... මේ සිංහල බොදු ගී කලා කෙතේ, කදිම ගීතයක් තමා මුතු චින්නප්පා මැතිණිය විසින් ගයනා කල මේ ගීය... සිංහල උච්ඡාරනය අපහසු වුවත් ගීය ගයන අපූරුව...
ගී රචනය ආනන්ද සමරකෝන් ශූරීන්ගෙනි
තනුව 'අබුතේරසිවා' හින්දි ගීය අනුව නිමැවුණකි
සංගීත සංයෝජනය එම් ජොහර්ෂාගෙනි

භව ඝෝර මහා...
භව ඝෝර මහා සාගරයේ දුක් දිය නේකා...
පහදා නිවන් මාර්ග සදා දුන් හිමි ලෝනා...

පේවී ප්‍රිතීනි සැමදා මා නමදිමි නීතී...
නෑරේ කෙළෙස් මේ සැපෙහී සුන්වේය ඒ සිඳී...
ගෙන දෝත නගාලා ම හදේ භක්තිය පාලා...
පහදා නිවාන් මාර්ග සදා දුන් හිමි ලෝනා...
භව ඝෝර මහා...

පූජාචනීය පුෂ්ප යොදුන් හිස් මතේ තබා...
පතා මෙලෝ නේක සිරිත් පා නිමල් සිරී...
පතා මෙලෝ නේක සිරිත් පා නිමල් සිරී… රමණී ඒ නිමල් සිරී...
අති රෞද්‍ර ඝෝර මේ භවයේ දීප්තියෙ දිනිඳා...
අති රෞද්‍ර ඝෝර මේ භවයේ දීප්තියෙ දිනිඳා… පහදා... පහදා...
පහදා නිවාන් මාර්ග සදා දුන් හිමි ලෝනා

භව ඝෝර මහා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

Bawa Gora Maha
Read More!

ආශීර්වාද කරම්...

දෙපසට හා හමක් සහ මුව හමක් යෙදූ උඩැක්කියේ දෙකෙලවර වර පට වලින් සම්බන්ධ කරලා තියනවා... වර පට වල ආතතිය අඩු කරන්න වැඩි කරන්න නිකුත්වෙන ශබ්දයේ තීව්‍රතාවය උස්පහත් වෙනවා... යොදලා තියන පාට, හිරු බැහැලා යනකොට මුහුදේ මතුවෙන පාට... ජ්‍යාමිතිකවත් උඩැක්කිය විශේෂයි... ගණිතයේ උගන්වනවා saddle point කියල එකක්... ඒ කියන්නේ අවමයක් හා උපරිමයක් (maxima & minima) හමුවෙන ලක්ෂයක්.. උඩැක්කියේ හැඩේත් එහෙමයි... මේ සේරෝම කියන්න හේතු වුනේ, වෙබ් අවකාශයෙන්ම මට මුණගැහුණු දෙදෙනෙක් ගේ ස්වයංවරය ලඟ එන ආරංචියට.... විවාහයත් අර කියාපු උඩැක්කිය වාගේමයි... ආතතිය වෙනස් වෙනකොට රස ඉහල පහල යනවා...හැබයි වර පට වලින් බැඳිලා ඉන්නකල් නිකුත් වෙන සංගීතයේ අඩුවක් නෑ... එක් අතකින් උපරිමයකුත් අනෙක් අතකින් අවමයකුත් දරාගෙන යන ගමනක් මේක... ඒ සොඳුරු හදවත් දෙකට මගේ ආශිර්වාදය ගීයකිනුත්... මාලිනී බුලත් සිංහල හා නීලා ගයන මේ ගීයත් අපූරු උඩැක්කි නාදයකින් අලංකාරවෙලා තියනවා....

ආශීර්වාද කරම්...ආශීර්වාද කරම්...
සිතින් තෙදින් දිවයුරු වෙන්ටයි...
නැණින් සුරගුරු වෙන්ටයි...
රුවින් මල්සර වෙන්ටයි....

කෙත්වතු බොල් රොඩු නැතිව පැසෙන්ටයි...
බෝග ඉසපු තැන ඵල වැඩිවෙන්ටයි...
රෝග ව්‍යාධි කිසි කළෙක නොවෙන්නයි...
සඳේ වලා සේ දුක් දුරු වෙන්ටයි...

පස මිතුරන් බිඳ ජය ලැබගන්ටයි...
මිතුරු සෙනඟ හා පෑහී ඉන්ටයි...
දෙපා ගසෙන බිම මිණි මුතු වෙන්ටයි...
හි‍ඟේ නැතිව බත සරි කර ගන්ටයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

Read More!

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්...

පොඩි පහේ තොයිලයක් නටන්නයි යන්නේ... අපේ පුංචි කාළෙන්... කොයි වයසේ හිටියත් මේකේ පදවැලත් සංගීතයත් රස විඳින්නනම් බදාවක් නෑ... යක් බෙරේ ගහනකොට පාදය සන් නොවෙන කෙනෙක් ඉන්නවද... යස අපූරුවට මේ ගීතයට පහතරට බෙරේ කළවම් කරලා තියනවා... නිර්මාණ කරුවන්ගේ ප්‍රතිභාව නම් අනර්ඝයි....

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්...
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්...
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්...
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්...
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා...

මව්පියන් නොසළකා නිතර දඟ කරමිනා...
ගුරුවරුන් දෙන ඔවා බැහැර කර නටමිනා...
නිකරුණේ කල්ගෙවා නටන උන් සනහවා...
නරක ගති දුර හැරා මෙත් සිතින් ආවඩා....
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..

නුග ගසින් බහින්නේ කලුවරේ වඩින්නේ...
යෝධයෙක් ලෙසින්නේ දැස් ගෙඩි රවන්නේ...
වේවැලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ
අකීකරු ළමුන්ගේ නරක දුරු කරන්නේ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්... ආ ...ආ...ආ...
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්... ආ ...ආ...ආ...
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..
ආයුබෝවේවා.....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න...
Read More!

සොඳුර මට සමු දෙන්න...

මේ ගීයට අ‍ටුවා ටීකා අවශ්‍ය නැත... ඩී ඩී ගුණසේන නම් සුන්දර කලාකරුවා විසින් ගායනා කරනලද මේ ගීය, මගේ බිරින්දෑ විසින් පුරා අවුරුදු දහයක් තිස්සේ, පාන්දර හතරට අවදිව, හැකි උපරිම අන්දමින් සකස් කර මල්ලට දැමූ උදේ ආහාර වේලත්, දවල් ආහාර වේලත් ‍රැගෙන, බස් රියක් එනතුරු පාරේ ‍රැක සිට, නැති තැන, පයින්ම හන්දියට ගාටද්දී, මගේ බොහෝ තැවුල් සමනය කලේය... දෝමනස්සයන් නිවාලීය... ගසල් ගීයට වෙසෙසින් පෙම් බැඳි ගුණසේනයන් ගේ හඬ, තවත් කුමක්දෝ විස්තර කල නොහැකි හැඟුමක්, හිත තුල ඇතිකරයි... ගී රචකයාටත් (නම නොදන්නා) මගේ හද පිරි ගෞරවාචාරය...

සොඳුර මට සමු දෙන්න... සමු දෙන්න...
ඈත ගමේ සරු පස පෙරලන්නට...
මා යනවා අද උදෑසනින්...
මා යනවා අද උදෑසනින්...

ගමේ තුරු හිස් අතර පාවී...
සවන වැකෙනා කුරුලු ගීතය...
ඔබේ මුදු පිය වදන් වාගේ...
නිවාලනු මැන මගේ සරතැස...

අස්වනු පීදී කරලින් බරවී...
මුලු රට ඉතිරේ ජය පානේ...
ඉර හඳ පායන වසන්තයේ...
අපි බොමු මංගල මදු පානේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

අපි එකම රෑනේ කුරුල්ලෝ...

එකට සුසර වන, එකට ස්පන්දනය, වන සහෘද හදවත්, සදා වාසනාවන්... මඝ මානවකයා ඇතුලු තුන් තිස් මිතුරු කැළ, අනේක දොස් අසත්දීත් කල පරාර්ථය නිසා "තාව තිංස" හෙවත් තව් තිසා දෙව් ලොව උපන්නලු....
ගායනය විජේසුන්දර වේරගොඩ ගෙන්...

අපි එකම රෑනේ කුරුල්ලෝ...
අපි එකම රෑනේ කුරුල්ලෝ...
මේ පරාදීසේ... නෑ වෙන්වනේ... නෑ තනිවෙන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ...

මදු තියලා... දැල් එළලා...
නෑ පැටලෙන්නෙ අපී...
අපේම ලොවකට පියඹා යන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ...

ත‍ටු ලැබුනේ පියඹා යන්නයි...
කූඩුව දොරකඩ ඉන්න නොවේ...
අපේම ලොවකට පියඹා යන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ..

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...

හද ගී පොත හරහා සංවේදී සිත් ගොඩාක් අඳුනා ගන්න මට ලැබුනා... මට බාල සහෝදරයො, සහෝදරියෝ නෑ... හරිම පාලුවෙන් පුංචි කාලේ ගෙවුනේ... අදටත් මේ සංවේදී, ජවසම්පන්න, සොයුරු සොයුරියන් ඇසුරු කරන කොට මට සොයුරු පෙම බලවත්ව නැගෙනවා... ඒත් ඒ අතරින් කිහිප දෙනෙක් තමන්ගේ ප්‍රියයන්ගේ වෙන්වෙලා... ඔවුන්ගේ හිත් මට වඩා ශක්තිමත්... මම එක්කෙනෙකුට ඊයේ ලිව්වා මටනම් ඔහොමදෙයක් වුනොත් සියදිවි නසාගන්න හිතෙයි කියලා... ඔහු කියනවා "නෑ ඔබ ඒ තත්වයන් එක්ක ජීවත් වෙන්න පුරුදු විය යුතුයි " කියල... ඔවුන් සැබෑ වීරයො නේද..? ජීවිතයෙන් පලා නොයන...? තවත් සංවේදී සොයුරෙක් ලියනවා "හද මළගම දා මම වැලපෙන්... විදුලිය සේ යලි සිනහා නොවෙන් ..." යන්න, හදාගත් ඔහුගේ හිත ඉඳහිට පාරවනවලු... එතකොට අනෙක් සොයුරිය...අතිශය සංවේදී ඇයත් එලියට නොපෙන්නුවට අමාරුවෙන් හිතහදාගෙන ඉන්නේ... මගේ හිත කනස්සල්ලෙන්... සංවේදී හදවත් ඇත්තවුනට මෙහෙම වෙන්නේ ඇයි...? සමාවෙන්න, මම ඕගොල්ලෝ ඔක්කොටම වඩා දුර්වලයි... මට ඕගොල්ලන්ගේ හිත් හදන්න බැහැ... නමුත් මම ඔබට හිතාදර සොයුරෙක් වෙන්නම්... මිතුරෙක් වෙන්නම්... දුකක් කණගා‍ටුවක් දැණුනු විටක ඒක ඒ විදිහටම තේරෙන සොයුරෙක් ඔබටත් ඉන්නවායැයි හිතන්න...හිත නිදහස් කරගන්න ඕන නම් මට කතාකරන්න... මම අහගෙන ඉන්නම්, ඔක්කෝම පැත්තක දාලා...
මට කළ හැකි එපමණයි...

බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...
මිහිළිය සේ...
නාඩන් මා නැගණියනේ...

අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා..
පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා...
අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...

ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට...
ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට...
ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…

මගේ සියලු සියුම් සංවේදනයන්ගේ උල්පත ඇයයැයි සිතමි... මම ඇයට ආලය කරමි... එය ගිජු කමක්ද...? සලෙලකුට වඩා මා වෙනස් වන්නේ නීතියෙන් බැඳී ඇති නිසාද...? මා තුල ඇත්තේ සරාගයක්ද...? ඒ කෙසේ වුවත්... එයට ඉඳුරා පටහැනි, පරාර්‍ථය, කැපවීම, සෙනෙහස, මුදු ගුණය, ආලය නම්... මා අන්ත දුගියෙකි... ඒ අතින් සි‍ටු මාළිගයක වෙසෙන ඇයට, මා, වැට මායිමකට වත් නොගත යුතු වසළයෙකි...හැබෑටම මා ආදරය කරන්නේ මටම පමණද...?
වික්ටර් රත්නායකයන් හා අමරදේවයන් මේ ගයන්නේ මිතුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? සොයුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? නො එසේත්නම් කඩවරයා වැනි වූ මගේ සිතේ සංවාදයද...?

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්…
මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ…
ඔබට පමණි ඔබ ආදරේ…

වසන්ත දෙකොපුල්, මිහිරරු තොල් මල්…
දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස…
ඇයට ආදරේ ආදරේ මම…
ඇයට ආදරේ ආදරේ…

ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත…
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු…
පෙරළා ඔබ හට පෙම් කරනා බව…
ඇය මුමුණන සඳ... ඔබ සිත සුවපත් වේ…
ඔබ සිත සුවපත් වේ…

ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!
 
Blogger Wordpress Gadgets