• බෙර හඬ...

යක්‍ෂ ගෝත්‍රික බෙරය පන්සලට ඇතුළු වීම...
යක්‌ බෙරය පමණක්‌ නො ව ගැට බෙරය ආදී වෙනත් බෙර වර්ග ගැන ද මෙරට සංගීතඥයන් ගේ නිසි අවධානය යොමු වී ඇතැයි කිව නොහැකි ය. විශේෂයෙන් ම එහි සම්භවය පිළිබඳ අධ්‍යයනයක්‌ කළ යුතු වෙයි. බෙරය ආර්යයන් ගේ සංගීත භාණ්‌ඩයක්‌ නො විණි යෑයි කියෑවෙයි. බෙර වර්ග තම සංගීතයෙහි ලා යොදා ගත්තෝ බොහෝ විට අනාර්යයෝ ය. මෙහි දී ද අවධාරණය කළ යුත්තේ අනාර්ය නමින් ආර්ය නො වන සියල්ලන් ම හැඳින්වෙන බව ය. අප්‍රිකානුවෝ ද ඒ අරුතින් ගත් කල අනාර්යයෝ වෙති. විවිධ අප්‍රිකානු බෙර වර්ග ඇති බව ද අද යුරෝපීයයන් මේ ඇතැම් බෙර තම සංගීතයෙහි යොදා ගන්නා බව ද අමතක නො කළ යුතු ය.

ද්‍රවිඩයෝ ද අනාර්යයෝ වෙති. ඔවුන්ට ද බෙර වර්ග වේ. එහෙත් මේ බෙර වර්ග සිංහලයන් ගේ බෙර වර්ගවලට වඩා වෙනස්‌ වෙයි. සිංහලයන් ගේ ඇතැම් බෙර වර්ග මෙරට සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ලැබුණු බව පිළිගත හොත්, මෙයින් කියෑවෙන්නේ ද්‍රවිඩයන් යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් පැවැත නො එන බව ය. මෙරටට අර්ධ වෛදිකයන් පැමිණීමට පෙර සිටි ජනවර්ග ද්‍රවිඩ වී ය යනුවෙන් කියෑවෙන මිථ්‍යාව මේ කරුණ ඔස්‌සේ ද බිඳ දැමිය හැකි ය.

අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර ද්‍රවිඩයන් මෙරට සිටි බව ඇත්තක්‌ නම් සිංහලයන් ඒ ද්‍රවිඩයන් ගේ ද විවිධ බෙර වර්ග ලබාගත යුතු ව තිබිණි. එහෙත් සිංහලයන් ගේ බෙර අතර එවැනි ද්‍රවිඩ ලක්‍ෂණ ඇති බෙර වර්ග දක්‌නට නො ලැබෙන්නේ ය යන්න නිවැරැදි ප්‍රකාශයක්‌ යෑයි සිතමි. සිංහලයෝ මංගල අවස්‌ථාවල දී මෙන් ම අවමංගල අවස්‌ථාවල දී ද බෙර යොදා ගනිති. එහෙත් ඒ ඒ අවස්‌ථාවල දී නැඟෙන බෙර හඬ හා රිද්ම එක ම නො වේ.

ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර තිබූ බෙර වර්ග ගැන මෙන් ම සිදුහත් කුමරු උපන් අවධියෙහි ශාක්‍යයන් අතර බෙර වර්ග වී නම් ඒ ගැන ද අධ්‍යයනයක්‌ කළ යුතු ව ඇත. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි බෙරයට වැදගත් තැනක්‌ හිමි වී ඇත්තේ කෙසේ ද? පන්සලට ද බෙරය ඇතුළු වී ඇත්තේ කෙසේ ද? යක්‍ෂ ගෝත්‍රිකයන් බුදු දහමට එතරම් ලැදිකමක්‌ නො දැක්‌වූ බව රහසක්‌ නො වේ. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බෙරය පන්සලට ඇතුළු වී ඇත. එයට හේතුව කුමක්‌ ද?

ඇතැම් විට අර්ධ වෛදික සංස්‌කෘතීන්හි බෙරය වාද්‍ය භාණ්‌ඩයක්‌ ලෙස ප්‍රචලිත ව තිබීම නිසා බෞද්ධයන් වීමට පෙර සිංහලයන් අතර බෙර තිබෙන්නට ඇත. ඒ ඇතැම් බෙර දඹදිව යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ද තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය. එබැවින් සිංහලයන්ට අර්ධ වෛදිකයන් ගෙන් ද බෙර ලැබෙන්නට ඇත. කෙසේ වෙතත් මෙයින් කියෑවෙන්නේ යක්‍ෂ ගෝත්‍රික බෙර ගැන සිංහලයන්ට අවබෝධයක්‌ තිබූ බවත් ඒ තම සංස්‌කෘතියට අවශෝෂණය කර ගැනීමට යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බෞද්ධ විරෝධය ප්‍රශ්නයක්‌ නො වන්නට ඇති බවත් ය.

යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ වැව් හා අදාළ තාක්‍ෂණය ලබා ගැනීමේ දී ද වෙනත් කලා ශිල්ප අවශෝෂණය කිරීමේ දී ද ඔවුන් බුදුදහමට දැක්‌ වූ විරෝධතාව සිංහලයන්ට ප්‍රශ්නයක්‌ වී ඇති බවක්‌ නො පෙනෙයි. එබැවින් බෙරය තම සංස්‌කෘතියට අවශෝෂණය කිරීමේ දී ද සිංහලයන් ප්‍රශ්න ඇති කරගෙන නැත. මෙහි දී කිව යුතු තවත් කරුණක්‌ නම් අනුරාධපුර යුගයේ බර වයමින් නටන ශිල්පීන් ගේ පිළිරූ නෙළා ඇති බව ය. ඉසුරුමුණි කෞතුකාගාරයේ එවැනි රූප දක්‌නට ඇත. වාමන රූප සමඟ බෙර දක්‌නට ලැබීමෙන් පැහැදිලි වන්නේ ඉන් නිරූපණය වන්නේ අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් වාමනයන් බව ද? යක්‍ෂ ගෝත්‍රිකයන් එතරම් උස්‌ නො වූ ජනවර්ගයක්‌ වී ද? සිංහලයන්ට සංගීතයක්‌ නො තිබිණි යෑයි කියන ප්‍රබන්ධය ද එයට හේතුව බුදු දහම නච්ච ගීත වාදිත ආදියෙන් වැළකීමට අනුබල දීම යෑයි ද ආදී කතා ද බෙර හා නැටුම් ආශ්‍රිත කලාවන් ගෙන් බොරු වෙයි. අනුරාධපුර යුගයේ නෙළා ඇති ඉහත කී පිළිම මඟින් ද ඒ කතා බොරු වෙයි. සිංහලයන්ට සංගීතයක්‌ නැතැයි යන කතාව නිර්මාණය කළෝ වත්මන් පඬියෝ ය. සමහර විට වෛදිකයන් ද මෙවැනි කතා එකල ගොතන්නට ඇත. සිංහල බෞද්ධ සංස්‌කෘතිය පැහැදිලිව ම වෛදික සංස්‌කෘතිය පිටුදකින සංස්‌කෘතියකි. අප විටින් විට පවසා ඇති පරිදි සිංහල බෞද්ධ සංස්‌කෘතිය වියුක්‌ත සංස්‌කෘතියක්‌ නො වේ. ඒ හේතුවෙන් සංගීතය පිළිබඳව සංකේත යොදාගත් සාහිත්‍යයක්‌ බිහි නො වන්නට ඇත. එසේත් නැත හොත් තිබූ වියුක්‌ත නො වූ පොත් වුව ද යටත් විජිතවාදීන් විසින් විශේෂයෙන් ම ලන්දේසීන් විසින් විනාශ කෙරෙන්නට ඇත.

සිංහල බෞද්ධ සංස්‌කෘතියට යක්‍ෂ ගෝත්‍රිකයන් මුල දී ආකර්ෂණය වී නැතත් සිංහල බෞද්ධ සංස්‌කෘතිය යක්‍ෂ සංස්‌කෘතිය පිටුපා දැක නැත. බොහෝ අවස්‌ථාවල දී සිංහලයන් විසින්, එනම් සිංහලයන් වූ අර්ධ වෛදිකයන්, නාගයන්, දෙවියන් (දේව ගෝත්‍රිකයන්) හා වෙනත් ගෝත්‍රිකයන් විසින්, යක්‍ෂ සංස්‌කෘතිය ද තම සංස්‌කෘතියට අවශෝෂණය කරගෙන ඇති බව පැහැදිලි ය.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි යක්‍ෂ ගෝත්‍රික හරයක්‌ ඇත. අප කතා කරන බසෙහි ද සිරිත් විරිත්වල ද ඒ දක්‌නට හැකි ය. අශෝක බෞද්ධ සංස්‌කෘතිය මෙරට සිංහල සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතිය නිර්මාණය වී ඇත. එහෙත් ඒ අතර යක්‍ෂ ගෝත්‍රික සංරචකයක්‌ ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි වෙයි. යක්‍ෂ ගෝත්‍රික සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතියට සිංහලයන් බෞද්ධයන් වීමට පෙර මෙන් ම පසුව ද එකතු වන්නට ඇතැයි සිතිය හැකි ය.

පැහැදිලිව ම වැව හා ආශ්‍රිත සංස්‌කෘතිය යක්‍ෂ සංස්‌කෘතියෙන් සිංහල සංස්‌කෘතියට එක්‌ වූ අංගයකි. එය සිංහල සංස්‌කෘතියට එකතු වී ඇත්තේ සිංහලයන් බෞද්ධයන් වීමට පළමුව ය. සිංහල සංගීතයට ද (වාදනය ද ඇතුළු) යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් බොහෝ දෑ සිංහලයන් බෞද්ධයන් වීමට පෙර එකතු වී ඇති බව ද කිව හැකි ය. එසේ ම සිංහලයන් බෞද්ධයන් වීමෙන් පසුව ද පස්‌වැනි සියවස දක්‌වා ම යක්‍ෂ ගෝත්‍රික සංස්‌කෘතියෙන් යම් යම් දෑ එකතු වන්නට ඇත. මෙරට පැවැති බව දැන් තහවුරු වී ඇති වානේ කර්මාන්තය ද යක්‍ෂ සංස්‌කෘතියෙන් ලබාගත්තක්‌ වීමට ඇති ඉඩකඩ බොහෝ ය.

එහෙත් පස්‌වැනි සියවසේ සිංහල බෞද්ධ ඉතිහාසය ලියෑවෙන විට යක්‍ෂ සංස්‌කෘතියෙන් ලබාගත් බොහෝ දේ අමතක කෙරී ඇත. එයට ප්‍රධාන හේතුව යක්‍ෂ ගෝත්‍රිකයන් බුදු දහමට දැක්‌වූ විරෝධාකල්පය විය යුතු ය. පස්‌වැනි සියවසේ දී ලියෑවුණේ මෙරට ඉතිහාසය පමණක්‌ නො වන බව අප කිහිප වතාවක්‌ ම කියා ඇත. එදා සිට පෘතුගීසීන් පැමිණෙන තෙක්‌ අපේ අනාගතය ද ලියෑවී ඇත්තේ එකල ය. පස්‌වැනි සියවස අග දී මුගලන් රජු රජ වී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රික බලය මුළුමනින් ම මෙන් බිඳ දමමිනි. ඉන්පසු සිංහලයන්ට යක්‍ෂ සංස්‌කෘතියෙන් ලබාගැනීමට එතරම් දෙයක්‌ තිබිණි යෑයි සිතිය නොහැකි ය. එමෙන් ම ඉන්පසු සිංහලයන් යක්‍ෂ ගෝත්‍රික සංස්‌කෘතියෙන් කිසිවක්‌ ලබාගැනීමට එතරම් වුවමනාවක්‌ දක්‌වන්නට නැත.

පඬු අබා රජු දවස සිංහල ජාතිය නිර්මාණය කිරීමේ කටයුත්ත ඇරඹීමෙන් පසුව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ස්‌වර්ණමය යුගය වූයේ පස්‌වැනි සියවසට ආසන්න කාලය යෑයි කිව හැකි ය. ධාතුසේන රජු ගේ ප්‍රධාන බිසොව ගේ පුතා ලෙස සැලකිය හැකි මුගලන් කුමරුට භාරතීය රජවරුන් ගේ සහාය ලැබී තිබේ. එහෙත් ඔහුට මෙරට පළල් ජනතාව ගේ සහාය තිබී නැත. ජනතාව සහාය දී ඇත්තේ කාශ්‍යප රජුට ය. මුගලන් කුමරු සිටිය දී ම මහාවංශයේ ඇසින් පියා මැරූ කාශ්‍යප රජුට රජකම හිමි වීමට නම් රටේ විශාල දේශපාලනික වෙනස්‌කම් ඇති වී තිබිය යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන් මේ වන විට ශක්‌තිමත් වී ජනතාව ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. ඒ වන විට මහසෙන් යුගයට ද වඩා යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ශක්‌තිය වැඩි වී තිබෙන්නට ඇත.

මහා විහාරයට යක්‍ෂ ගෝත්‍රිකයන් කිසි දිනෙක එතරම් කැමැත්තක්‌ දක්‌වන්නට ඇතැයි සිතිය නොහැකි ය. අප සාකච්ඡාවට භාජන වන යුගයෙහි මහා විහාරය ගැන තවත් කලකිරෙන්නට ඇත්තේ පොතපත පාළියෙන් ලිවීම නිසා ය. මහා විහාරික භික්‍ෂුන් වහන්සේ එසේ පාළිs හෙවත් පෙළ බසින් පොත් ලියූවෙත් හෙළයෙන් තිබූ පොත් පාළියට පරිවර්තනය කෙළේත් බුදුදහමේ චිරස්‌තිථිය උදෙසා වුවත් යක්‍ෂ ගෝත්‍රිකයන් ඒ දකින්නට ඇත්තේ දඹදිවට තම අනන්‍යතාව පාවා දීමක්‌ ලෙස ය. ඒ සියල්ල මැද මහා විහාරයට හා අර්ධ වෛදිකයන්ට විරුද්ධව ජනතාව පෙළ ගැස්‌වීමට යක්‍ෂ ගෝත්‍රිකයන්ට එතෙක්‌ ඉතිහාසයේ කෙදිනකටත් වඩා අවස්‌ථාවක්‌ ලැබෙන්නට ඇත. ධාතුසේන රජු දාඨ§ය පීඪ§ය ආදී ද්‍රවිඩ රජවරුන්ට විරුද්ධව යුද්ධ කර ජයගත්ත ද, කලා වැව අවුකන පිළිම වහන්සේ නිර්මාණය කළ ද ඒ රජුට ජනතා ප්‍රසාදය දිනා ගැනීමට නොහැකි වී ඇත. ඒ රජු ජනතා ප්‍රසාදය දිනා සිටියේ නම් ඔහු ගේ පුතකුට ඔහු මරා රජකම ලබාගැනීම පහසු නො වනු ඇත. එමෙන් ම එවැනි තත්ත්වයක්‌ යටතේ රජු ගේ මෙන් ම මහා විහාරයේ ද කැමැත්ත දිනා සිටි මුගලන් කුමරුට කාශ්‍යප රජුට එරෙහි ව සේනා සංවිධානය කිරීමට දඹදිවට පැන යැමට සිදු වන්නේ නැත. එබැවින් ධාතුසේන රජු ජනතාව අතර අප්‍රසාදයට පත් ව සිටින්නට ඇතැයි යන නිගමනයට එළඹෙන්නට අපට සිදු වෙයි.

එහෙත් එයට හේතුව කුමක්‌ දැයි අපි නො දනිමු. මහා වංශයෙන් ඒ හේතුව කුමක්‌ දැයි සොයා ගැනීමට ද නොහැකි ය. අපට ඒ සඳහා ඇති එක ම හෝඩුවාව කාශ්‍යප කුමරු ධාතුසේන රජු ගෙන් වස්‌තුව ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ය. එය හුදෙක්‌ පුතකු තම පියා ගෙන් වස්‌තුව ඉල්ලීමක්‌ පමණක්‌ ද? රජු ගේ වස්‌තුව ඇත්තේ කොතැනක දැයි දැන ගැනීමට යක්‍ෂ ගෝත්‍රිකයන්ට මෙන් ම අනෙක්‌ ජනයාට ද අවශ්‍ය විණි ද? කාශ්‍යප කුමරු කෙළේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම පමණක්‌ ද?

ඒ ප්‍රශ්නවලට පිළිතුරු අපි නො දනිමු. ඒ ප්‍රශ්න මෙතෙක්‌ මෙරට ඉතිහාසඥයකු නඟා ඇත්තේ දැයි නො දනිමි. ඉතිහාසඥයකු නො වන මට ඉතිහාසය ගැන ඇත්තේ උනන්දුවක්‌ හා කුතුහලයකි. ඇතැම් විට ඒ ප්‍රශ්නවලට කිසි ම පදනමක්‌ නොමැති වන්නට ද හැකි ය. එහෙත් දැනුම නිර්මාණය වන්නේ ප්‍රශ්න කිරීමෙන් පමණකි. කලාවැව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ වැව් තාක්‍ෂණයට පිටින් ගොස්‌ නිර්මාණය කරන ලද්දකි. එය එක්‌තරා අයුරකින් ගත් කල මෙරට සංස්‌කෘතියට පටහැනි විය. අවුකන පිළිම වහන්සේ ද අද අපට සමීප නමුත් එතෙක්‌ නිර්මාණය කර තිබූ පිළිම වහන්සේලාට වඩා වෙනස්‌ විය. රජු මෙරට සංස්‌කෘතියට පිටුපාන බව ජනතාවට හා කාශ්‍යප කුමරුන්ට ඒත්තු ගැන්වීමට යක්‍ෂ ගෝත්‍රික ප්‍රධානීන්ට හැකි විණි ද?

මහාචාර්ය නලින් ද සිල්වා Read More!

0 ප්‍රතිචාර :

Post a Comment

 
Blogger Wordpress Gadgets