ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීම්...!

ස්මරණයන් විස්මය ජනකය. යම් සංවේදනයක් නැවත හමුවීමේදී ඒ වටා බැඳුනු අනෙකුත් මතකයන්ද එලෙසම උඩු සිතට ඒම, සිතුවිලි කාලාවරෝධ නොවේ යැයි සිතීමට අප පොළඹවයි. ලෙඛනාරක්ෂාගාරයක ඇති ලියකියවිලි මෙන් සෙවුමක් එනතුරු ඒ පෙරැලීමට බලා සිටී.

ගීත සාහිත්‍යයෙහි රස හව් විඳිනා ජනයාගෙන් ගුවන් විදිලිය බහුල වූ කාලයෙහි ඔවුහු හාත්පසින් ඇසෙනා ඒ ගී අසා පමණක් නොඉඳ ඒවායේ වාදනයන්ද කල් යල් බලා ප්‍රචාරය කරවූහ. කණ්ඩායම් ගී රස පැමිණෙනා බව හඟවන්නට "මුතු වාගේ බබලනවා" ගීයෙහි රිද්මයද, දිවා ගී තීරය හඟවන්නට "කන්දේ රන් සඳ උන්නා" හි අනුවාදනයද ඔවුහු පෙරා වෙන්කර අප දෙසවනෙහි රැඳවූහ. යටාරෝ ගීත මංජරිය වෙනුවෙන් රුක්මණී දේවියගේ "නිලම්බරේ කැලුම් පිරී.." ගීයෙහි ගිටාර් වාදනයද, තවත් එබඳු වැඩ සටහනක් සඳහා ඉන්ද්‍රානි සේනාරත්නයක්ගේ "ආවේ ආවේ බයෙන් බයෙන් මා..." ගීයෙහි වාදන ඛන්ඩයද මේවාට තවත් උදාහරණය.

සවනත වෑහෙන නානා ගීත අතුරින් යථෝක්ත ගී ම එවැනි උදෘතයන් සැකසීම සඳහා සංගීතඥයන් පෙළඹවූ කාරණාව සංගීත විෂයෙහි අල්පශෘත වූ මටනම් නොතේරේ. තේරෙන එකම දේනම් දශක තුනක් හතරක් ස්මෘති ගබඩාවෙහි රැඳි සිටීමට හැකි යමක් ඔවුන් පෙරා වෙන්කර ඉදිරිපත් කල බවය.

අහන්න බලන්න මේ කටහඬත්, පසුබිම් වාදනයත් ඔබට හුරුද කියා..



ඒ නිවුණු කටහඬක් ඇත්තා ගැන මෙතැනින් දැනගත හැකිය.
ඒ ඛන්ඩයෙහි පසුබිම් වාදනය පෙරා වෙන්කර ඇත්තේ "හඳට අඬන කිරි දරුවෝ" නම් ගීයෙනි. සිංහල සිනමාවේ අදටත් නොබිඳිය හැකි වාර්ථාවක් වන පාසැල් සිසුන් සමූහයක් විසින් කල චිත්‍රපටිය වන නිම් වලල්ලෙහි ඇතුලත් ගීයකි එය.
1970 දී පමණ තිරගත වූ එම චිත්‍රපටියේ රසාලිප්ත තවත් ගීයකි:

"නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ
නුරා බඳුන් සතුටින් පුරවා
සිනා මැදින් එය ලවන් සිපිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ.."

මහින්ද අල්ගම විසින් රචිත එම ගීයටද, අද අප රස විඳිනා පහත ගීයෙහිද සංගීතයද, එකල පාසැල් සිසුවකු වූ රංජිත් ලාල් ගෙනි. සුනිල් ආරියරත්නයන්ගේ මුල්ම චිත්‍රපට ගී රචනයද වන්නේ "හඳට අඬන කිරි දරුවෝ..." ගීයයි. එකල "අලුත් පරපුර" වූ ඔවුනගේ භාව ප්‍රකාශනයට ඔවුන් යොදාගත් මාධ්‍යය වූයේ ගැට ගැසූ කොණ්ඩයවත් තමන්ට නැගී සිටිමට පසුබිම සැකසූ දෙමව්පියන් ඇතුලු මුලු මහත් සමාජයටම වෛරී මත වපුරන පුවත් පත් සාකච්ඡාවත් නොවේ. ඔවුන් ඒ සඳහා යොදාගත්තේ නිර්මාණකරණයයි.

මේ ගී රචනාවලවල ප්‍රකාශනයත් රිද්මයත් ඒ තරුණ සංගීත වේදියා මැනවින් හඳුනාගෙන සිටියා වැන්න. එකිනෙකට වෙනස් ගී රචනා හඳුනා, ඒ සඳහා කදිම තනු යෙදූ එතුමාට අපගේ ඉමහත් කෘතවේදිත්වය පුද කරමු.
 

 
හඳට අඬන කිරි දරුවෝ...

නොනිමි ගැටළු සාගරයේ
සිතුම් පැතුම් රැළි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ

බලාපොරොත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනග ලැගුම් ගනී

දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිලි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ

බොඳවී ගිය නිම් වලල්ල
ජීවිතයයි අනාගතේ....

20 comments :

  1. what a good morning is this! thanks Tissa for taking me back the memory lane a few decades. Lambert Pemmawadu, to me, is the SL broadcaster with the most relaxed voice. I always remember him with ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්, and the music! ...and the song! thank you very much for making this day wonderful! :)

    ReplyDelete
    Replies
    1. I see that you are in high spirits these days ;-)
      Glad that I could add to it...

      Morning has already broken,
      blackbird has spoken
      Praise for the sweetness of the fresh garden
      Enjoy the day......:-)

      Delete
    2. @Satya: "Lambert Pemmawadu, to me, is the SL broadcaster with the most relaxed voice." I have another name to add; that of H.M. Gunasekara.

      Delete
    3. ඔබට ස්තුතියි තිස්ස! 'සඳට හඬන' ගීය මට තරමක් විශේෂ ගීයක්. මගේ සමීපතම පාසල් මිතුරෙක් මෙහි පදමාලාව මට එව්වේ උසස් පෙළ පන්තිවල උගෙනුම ලැබූ කාලයේයි. 'නිම් වළල්ල' බලන්න බැරි වූ බවත්, මේ ගීය අසා නැති බවත් මා කී විට විස්මයට පත් වූ ඔහු, එහි තනුව ලේ පරිත්යාගශිලින්ගේ ඉල්ලීම්වල තේමා වාදනයට යොදා ඇති බව මට කිව්වා. පුදුමය නම්, ගීතය එකවරක්වත් අසා නොතිබුනත් එහි සෑම වචනයක් ම මගේ මතකයේ තැන්පත් වීමයි. මා එම තේමා වාදනය අසා ගීතය මෙසේ කියවෙන්නට ඇතැයි උපකල්පනය කල අතර, අවුරුදු දශක තුනක පමණ කාලයක් එකී උපකල්පනයෙන් සෑහීමකට පත්වන්නට මට සිදු වුනා. මේ ගීතය ඇසීම සඳහාම නිම්වලල්ල චිත්‍රපටය සොයා ගෙන නැරඹුවත්, හරියටම මේ කොටස එයින් ඉවත් වී තිබුනා.
      අවසානයේ දැනට අවුරුදු හතර පහකට පෙර කිසියම් මිතුරෙක් මේ ගීය වෙබ් අඩවියකින් සොයා දුන්නා.

      Delete
    4. අන්තර්ජාලයේ තියන කොපියේ මුල් හරියෙ ටිකක් සද්ද බද්ද තියේ නේද?
      චිත්‍රපටිය සොයගන්න ඕනෑ මමත්

      Delete
  2. //"එකල අලුත් පරපුර නිර්මාණශීලී වුනා"// හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. එන්ඩ මේ අයිය එක්ක අප්පුඩියක් ගහල විශ්ව නිර්මණයක් රස විඳින්ඩ.... ;-)

      Delete
  3. පහළ තියෙන ගීතය හරි අපූරියි.

    ReplyDelete
  4. අළුත් පරපුරේ අළුත් වැඩ දැකලා ඉරිසියාව ඔළුවට ගහපු වයසක හණමිටි ඩෑල් එකක්ද කොහේද...

    ReplyDelete
  5. ලැම්බට් පෙම්මාවඩු මාමාගේ ඒ යුනික් කට හඬ සහ ඔහුගේ ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම් ගුවන් විදුලි වැඩ සටහන, නිම් වලල්ල චිත්‍රපටයේ සුනිල් ආරියරත්නයන්ගේ ඒ අපූරු ගී පද සහ එහි සංගීතය මේ සියල්ල මා නිතැතින්ම ඒ ලස්සන අතීතයට අරන් ගියා තිස්ස. ඔබට නොවක් තුති ආයෙත් ඒ අතීතය මතක් කරලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය යහමින් රස විඳි බවට සැකයක් නෑ

      Delete
  6. ලැම්බට් පෙම්මාවඩු නම හා ඒ හඬ හීනෙන් ඇහෙනවා වගේ මතකයි.. ලස්සන අහිංසක අතීතයක් මතකයක් ඇවිස්සුනා.. ස්තුතියි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හද ගී පොත පෙරළුවාට.. :)

    ReplyDelete
    Replies
    1. තාමත් මේ වැඩසටහන යනවා කමී...
      අපි ගුවන් විදුලිය අතහැරලා නිසයි මතකයන් යටපත් වෙන්නේ.....

      Delete
  7. සින්දු ටික හිමීට රස විඳින්නම්...
    හැබැයි ඔය දැන් ඉන්න අළුත් පරපුර ඉන්නවා නේද, හරි ප්‍රියමනාපයි මටනම්. ඕඕක්...

    ReplyDelete
  8. අද වන විට කලා සංගම්,පුවත්පත් සාකච්ඡා වලින් මිසක කලා නිර්මාණ තුලින් කතාකරන්න නොදන්නා 'අළුත්/පරණ පරපුර' අතර වල්මත්වන අපට ඔබ හොඳ මඟපෙන්වීමක්..
    ජයවේවා..!!

    ReplyDelete
  9. රංජිත්ලාල් මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් මුදලාලිගේ පුතා.ඔහු දැනට වසර කීපයකට පෙර දිවියෙන් සමුගත්තා.

    ReplyDelete
  10. අසංග බණ්ඩාරMarch 6, 2020 at 9:49 AM

    වැඩසටහන් හැඳින්වීමේ සංගීත ඛණ්ඩ වල ලාක්ෂණික භාවමය ගුණයක් තිබුණා - මානසික ඒකාග්‍රතාව ඇති කිරීමේ හැකියාව. මුවන් පැලැස්සේ තේමා වාදනයත් එවැනි අපූරු (ශාස්ත්‍රීය) ඛණ්ඩයක්; වාදනයේ අවසන් මාත්‍රා කිහිපය අතරින් කෝරළේ මහත්තයාගෙ හඬ මතු වෙනකොට...

    ReplyDelete
  11. ආදරේ කරන කටහඬකින් ගැයුනු මේ ගීතය අහම්බෙන් ලඟදි කණ වැකුණා. ගායනයේ ඇති අතිශය මිහිරිබව නිසාම නැවත නැවත මේක අහද්දී විස්තර හොයන්න හිතුණා. ගූගල් කරහම තිස්ස අයියගේ මේ ලිපිය හම්බුනේ. මේ විස්තරවලට බොහොම ස්තූතියි අයියේ.

    නමුත් පොඩි ප්‍රශ්නයක්. මම මේ සින්දුව හොයන්න හේතුව උනේ නම් ඒ කටහඬට ඇති ආදරයයි. නමුත් පද රචනයේ විශේෂ බවත් තේරෙනවා. මං කල්පනා කරන්නෙ, කටහඬ හෝ ගායකයා ගැන එක වචනයක්වත් ලියවුනේ නැත්තෙ ඇයි කියලා? මට තවත් පුදුම හිතුන දේ, කමෙන්ට් කරපු කිසිම කෙනෙක් කටහඬ, ගායනය හෝ ගායකයා ගැන වචනයක්වත් අහලා නැහැ.

    මේක අතිවිශිෂ්ට ගායනයක්. මුලින්ම හිතට වැදුනේ මට නම් ඒ කටහඬ 🙂 #වික්ටර්_රත්නායක ❤️

    ReplyDelete

 
Blogger Wordpress Gadgets