අල්ප ප්‍රාණ!

"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං බොලෑ පරම්පරාව උඩහ පලාතෙ නේද? ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා! දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ? මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං!"

මා ලස්සන කෙල්ලක් ලොව පුරා
සෙව්වෙමි නෑ ඇය දුටුවේ
ඒ ලස්සන ඇත්තේ ඈ ලඟයි
හද මත් මේ ඇය හමුවේ

ලඟ පාත සිටිද්දී ඈ ගමේ
මට දැනුනේ ඈත වගේ
කටු අකුලක සුවඳින් නෑවිලා
ඇයි ලස්සන මල් පිපුනේ

දේදුන්නේ පාටින්
ආදරයේ ගීතිකා
ලියැවෙද්දී මා හදේ
ඒ හද අරන් ගියා

ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලා
මට ඇය හැම තැනම පෙනේ
ඒ මුහුනේ සෙනෙහස ඉතිරිලා
මුළු ජීවිතයම පිනවා

මට මොකටද ඇය නැති ආදරේ
පුන් සඳ නැති රැය වාගේ
බැබැලෙන්නෙ මගෙ හද පැල එයා
කැඳවාගෙන ආ දාටයි


"දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං? අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ! අනේ අම්මප උඹනං! අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න!"

බිනරමලී ඔබ හැඩයි නේ
කුමටද කඳුලැලි සලන්නේ
මගෙ හද දිනු සුදු කුමරියේ
පුදනෙමි මෙ ආදරේ

පින් පාටයි ඔබෙ නෙත් සඟලා
සීදේවී ඔබෙ මුව කමලා
සිරියා පානා කොමල සිනා
සිතුවදෝ ඒ හැඩ රුව මදියි කියා

අගනා රුවිනා බැබලෙනා
ඔබට මා පුද දෙමී
හද මගේ මල් වගේ

කැකුලු මලක් ලෙස ඔබ දුටු මා
රොනට වඩින බිඟු මෙන් සිතුවා
සෙනෙහස මගෙ හද තුල බැඳුනා
ඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා


"අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම?? ඉතින් මොකෑ කියන්නේ?? කල් ඉල්ලනව? එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි?"

ප්‍රේමාදරයක සරන සොයා
සල් ගස වට වැල එතුනි දයා
සඳ පසුපස යන තරුව නියා
මම ආවෙමි ඔබව සොයා

ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කුරුල්ලෙකී
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කිරිල්ලකී
සැනසෙන්නට සුබ සරන බැඳීලා
ආවෙමි ඔබව සොයා

ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ඈත ලෝකයක කැදලි බඳින්නට
අපි යමු පියා සලා


"මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ! පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි!
නෑ!! සිරාවට හා කිව්වද?? දාමු යකෝ පාටියක් එහෙමනම්!! හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද? තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න!"

ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලා
යෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලා
අනංග දෙසේ කතා කියා

කිංකිනි සැලෙනා හඬ පරදා
ඇසුනා ගී රාවේ
අසා - ගංගා - ඉවුරේ - උතුරා

පියවිලි අතුරා හද අරනේ
තරුමල් මාලාවේ
ඔබ දෝ - රජිඳේ  - වඩිනා  - කුමරා


"කොහොමද බං ජොබ? උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල? ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ!"

වාසනාව දෝතට ගෙන සිනා සලා
ප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලා
මේ මනමාලී වෙයි සුකුමාලී
තුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවී

ආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලා
ඉද්ද සමන් මල් ගවසලා
සඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලා
සුබ නැකතින් පිටවී යනවා

ආදර බර දෙමාපියන් පා යුග වැඳලා
ආසිරි ලැබ සිත සනසාලා
නෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලා
සුබ නැකතින් පිටවී යනවා


"යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක?
මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක?"

මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී
නොදැනෙයි පුදුමයකී

යන එන මාවත ඇහිරී කොටුවී
අද මට මා නැත්තේ
හෙට ඉරු එළියේ මෙතනින් පිටවී
කොයිබද යා යුත්තේ
සුලු වරදක් ගැන මහමෙර තරමට
ඇයි ඔබ සලකන්නේ
මිනිස් ගතිය ලොව බිහිවුන දා සිට
වෙනසක් වී නැත්තේ

හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත්
එහි වරදක් වේදෝ
එයින් පරාදව පසුබට වුවහොත්
කැලලක් ඇතිවේදෝ
වරද වරද ලෙස පිලිගන්නෙමි මම
දෙනෙතින් කඳුලු පෙරා
ලොව මට සලකයි ඔබ අන්දව ඇයි
නිහඬව හිතට හොරා

මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
කිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි


Read More!

මල්ලී - පුබුදූ!!

"යළි පුබුදමු ශ්‍රී ලංකා" නමින් සිංහලෙන් 2002 වසරේ කල එළියට බට "Regaining Sri Lanka" නම් වැඩ පිළිවෙලෙහි මූලිකම පරමාර්ථය වූයේ අධික ණය බරින් මිරිකෙන අප රට, නුදුරෙහිම එන බරපතල ආර්ථික අගාධයකින් ගලවා ගැනීමය. මෙය අනූව දශකයේ අග භාගයේ සිදුවූ ආසියානු මකරුන්ගේ කඩාවැටීම් වලින් ගොඩ ඒමට ඔවුන් අනුගමනය කල ලිබරල්වාදී ක්‍රියා පටිපාටීන් අප රටට හඳුන්වාදී අනාගත උවදුරකින් අප ගලවාගැනීමේ චේතනාවෙන් කෙරෙන්නක් බැව් එවක ශ්‍රී ලංකා රජයේ අග්‍රාමත්‍යතුමා වැඩසටහන එළි දක්වමින් පැවසීය.

සිංහලෙන් පුබුදමු යන්න නිද්‍රාවට පත් යමක් ප්‍රස්තුත කර භාවිතා කල හැක. ඉංගිරිසියෙන් "Regaining" යන්න පමණක් ගෙන,  එහි අරුත "අත්පත් කරගැනීම" ලෙසද ගතහොත්, ඒ නැවත අත්පත් කරනුයේ ගිලිහී ගිය යමක් විය හැක. මේ මුකුළිත හෝ ගිලිහුණු 'යම' හරි හැටි ප්‍රකාශ නොකිරීම මෙබඳු වැඩසටහන් නිර්මාතෲන් අතින් නිතරම මගහැරෙනා කරුණකි.

අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය ලෙස එන අණන සූත්‍රය, පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් දක්වයි. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි. අණන සුඛය පසෙකලා ණය ගැනීමට ගොස් පුද්ගලයාද, පවුලද, ගමද, රටද 'අනන සුඛය' බුක්තිවිඳීමට පත්වීම වැලැක්විය නොහැක.

ණය වීම හෝ ණය ගැනීම නොයෙක් ලෙස කල හැක. සංකල්ප, චින්තන, ක්‍රම සහ විධි ලෙසින්ද ණය ගත හැක. අයිස් බකට් අභියෝග සමගින් අප රට බිහිවූ අමුමිරිස් අභියෝගයටද සමගාමීව 'නෑමක්' හෝ 'කෑමක්' නොමැති තවත් අභියෝග සමූහයක් අන්තර්ජාලයේ පැතිරීම සිදුවුණි. මේවා වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදුනොවීමද විශේෂත්වයකි.  තවත් එබඳු අභියෝගයක් වූයේ "තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කල පොත්" දහයක් නම් කිරීමේ අභියෝගයයි. තමන් ඒවා නම් කල පසු තවත් පස් දෙනෙකුද එසේ කිරීමට නම් කිරීමද කල යුතුය. අභියෝග බාරගත් නිර්භය මිනිසුන් බොහෝ දෙනෙකු තම ජීවිත වලට බලපෑම් කරගෙන ඇත්තේ නොරට වියතුන්ගේ ග්‍රන්ථ පරිවර්ථනානුසාරයෙන් බව එයින් මොනවට පසක් වුණි!

"සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම" ලෙසින් ලියමනක් ලියන, මෙරට සෙනරත් පරණවිතාන වියතාණන් මෙසේ කියයි:

"සිංහල අටුවා ග්‍රන්ථ, ඒවායේ පාලි පරිවර්තනත් සමග, ලංකාවේ විහාරාරාමයන්හි 12 වැනි සියවස දක්වා භාවිත විය. එහෙත් අප සාකච්ඡා කරන යුගාරම්භයේදී සිංහල අටුවා ග්‍රන්ථ භාවිතයෙන් ඈත් වන්නටත් බුද්ධඝෝෂගේ පාලි පරිවර්තන වඩ වඩා ව්‍යවහාරයට පත් වන්නටත් පටන් ගැනිණි. අටුවා ග්‍රන්ථ ලියැවුණු පැරණි සිංහල භාෂාව, ඒ කාලය වන විට තේරුම් ගැනීමට අසීරු තත්වයක පැවතීම ඊට එක් හේතුවක් විය. ඒවා එදා පැවති සිංහල භාෂාවට හරවා ගැනීම පහසුවෙන් කරගත හැකිව තිබුණු බැවින් ඉහත සඳහන් කල හේතුව ප්‍රධාන නොවූ බව පෙනේ. 

ලංකාවේ විහාරාරාමයන්හි 11වැනි ශතවර්ෂයේදීත් ඉන් පසුවත් බුද්ධඝෝෂ ගේ පරිවර්තනයට වැදගත් තැනක් දීමේ ප්‍රධාන හේතුව වූයේ එකල ලියලමින් පැවති එක්තරා විශ්වාසයකි. විදේශයකු විසින් පළ කරනු ලබන අදහස වඩා වැදගත් ලෙස සැලකිය යුතුයි යනු ඒ විශ්වාසයයි. 

බුද්ධඝෝෂ විසින් පවා ගෞරවාදරයෙන් සඳහන් කරන ලද පුරාණ සිංහලාචාර්‍යවරුන් රහතන් වහන්සේ හැටියට නම් කරන ලද නමුත්, අනුරාධපුර රාජධානියේ පරිහානියෙන් පසු ඇතිවූ තත්ත්වය අනුව රහතන් වහන්සේ නමක් වුවද ස්වදේශිකයකු වීම මදිකමක් ලෙස සැලකීම සිරිතක් විය. එවක් පටන් ස්වදේශික රහතුන්ගේ අදහස් පවා සඳහන් වූයේ විදේශික බුද්ධඝෝෂ ගේ මතය ලෙසිනි"

"මෙසේ පාලි ත්‍රිපිටකය හදාරන විට ඉදිරිපත් වූ දුෂ්කරතාවලදී පාලියෙන්ම ලියන ලද විස්තර ප්‍රයෝජනයට ගතයුතු විය. එහෙත් සාමාන්‍ය ශිෂ්‍යයකු ගේද ඇතැම් විට සාමාන්‍ය ගුරුවරයකුගේද පාලි දැනීම, පාලි අටුවා ග්‍රන්ථ තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එහෙයින් ඒවායේ සඳහන් දුෂ්කර පද සිංහල භාෂාවෙන් විස්තර කොට 'ගැටපද' නම් වූ ශබ්ද මාලා සැකසිණි. 

පාලි ත්‍රිපිටකය විස්තර කැරුණු පාලි අට්ඨකථාවන් තේරුම් ගැනීමට මේ ගැටපද භික්ෂූනට උදවු වු බව නිසැකය. එහෙත් ඒ භික්ෂූන් ගැටපද වලට නියම කෘතවේදීභාවයක් දැක්වූ බව පෙනෙන්නට නැත. සිංහල ගැටපදයක් අතේ අතැතිව උපාසක උපාසිකාවන් විසින් දකිනු ලැබීම පවා තමන්ගේ තත්ත්වයට මදිකමක් ලෙස ඒ භික්ෂූහු සලකන්ට වූ හ. එසේ හෙයින් එම ගැටපද ටීකා(උප-අට්ඨකථා) ලෙසින් නැවතත් පාලියට පරිවර්තනය කොට 'සාරත්ථදීපනී' ආදී අලංකාර නම් තැබූහ."

පාලියට නැගීම නිසා අභාවයට පත්, භාවිතයෙන් තුරන් වූ ග්‍රන්ථ ලෙස 12 වන සියවසේ වේදේහ තෙරුන් විසින් රචිත රසවාහිනී, ශ්‍රී මේඝවර්ණ රජු දවස ලියැවුණු එළු දළදා වංශය, ආදී පොත් දක්වා ඇත. තවද:

"මෙසේ සිංහල ග්‍රන්ථ පාලියට නැගීමේ පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ එකල ව්‍යවහාරයෙහි පැවති සිංහල භාෂාව හෝ නොදත් විදෙස් වැස්සන්හට ඒ ග්‍රන්ථවල සඳහන් කරුණු කියවන්නට මග සැලැස්වීමයි. මේ පරිවර්තනකරණය නිසා ලෝකයාගේ ප්‍රයෝජනය පිණිස පරිවර්තනයට භාජනය වූ වැදගත් සිංහල ග්‍රන්ථ නැති වී නොගියේ නම් පරිවර්තනය කිරීම ප්‍රශස්ත ක්‍රියාවක් ලෙස මීට වඩා අගය කල හැකිව තිබිණි"

"ගාමීණි හෝල් පොත් කඩ" නමින් ප්‍රසිද්ධ පැරණි පොත් කඩ වල රාක්ක පවා මුලුමණින්ම ආක්‍රමණය කර වැජඹෙන, විදෙස් බසින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතීන්වල මුල් කෘතීන් වලටද, පැරණි සිංහල ග්‍රන්ථ වලට අත් වූ ඉරණම අත් නොවේවායි මම ඉත සිතින්ම පතමි!

නූතන සිංහල පාඨක ජීවිත වලට කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිවූ ග්‍රන්ථ රචකයකු, නාට්‍ය කරුවකු, වියතකු වන දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනය කොට එළිදක්වන ලද නාට්‍ය ද්විත්වයකි 'මධුර ජවනිකා' හා 'ආනන්ද ජවනිකා'.

'මධුර ජවනිකා හෙවත් හිංගල වංශය' හා 'ආනන්ද ජවනිකා' නාට්‍ය නිමවා නොනවතින ගුණවර්ධනයන්, නාට්‍ය පෙල ඇතුලත් අපූරු ග්‍රන්ථ යුගලයක්ද නිර්මාණය කරයි. කිසිදා ඉංගිරිසි නවකථාවක් හෝ කියවා රසවිඳ නැති මට, මේ ග්‍රන්ථ යුගල 'මැජික්' වන්නේ එවායෙහි ඇති උපග්‍රන්ථ නිසාවෙනි.

ගුණවර්ධනයන්ම කියනා පරිද්දෙන්ම මේවා ශාස්ත්‍රීය පර්යේෂණ නොව, නාට්‍ය සම්පාදනයේදී සොයා බලා දැනගත් දෑ එකලස් කිරීමකි. අප වියුණු සටහන් විෂය ක්ෂේත්‍රය වන සැඟව ගිය ගී අතරට රැස් දහර එල්ල කරන්නටද මේ නාට්‍ය යුගලයෙන් බිහිවුණු ගී යුගලක් සමත් වෙයි.

ආදී ආනන්දීයන්ගේ ආරාධනයෙන්, ආනන්ද විදුහලේ ශත සංවත්සර උත්සවය සඳහා, ආනන්දයේ උපත හා වර්ධනය ගෙනහැර පාමින් කල වාර්තාමය නාටකයකි "ආනන්ද ජවනිකා". ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස් සටනට දිරිදුන් චූලාලංකාර තායි මහා රාජයාණන්ගේ [King Chulalongkorn] සුහද නාමයට "ආනන්ද ජවනිකා" ග්‍රන්ථය, ගුණවර්ධනයන් ගෞරවයෙන් පිලිගන්වයි.

අප හද පුබුදු කරනා පළමු ගීය ගැයෙන්නේ ආනන්ද ජවනිකා නාටකයේ අවසානයේයි. මෙම ගීයෙන් 1914 ප්‍රථම වරට සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි දෙපක්ෂය පහලොස් දහසක් පමණ එක්කාසුවී වික්ටෝරියා පාක්හි පැවැත්වූ අවුරුදු උත්සවයේ විසිතුරු කම, සංකේතාත්මකව ඉදිරිපත්වේ. ගීයේ පළමු පෙල නිමවා ඇත්තේ 1883 ප්‍රංශයේ උපන් රෝමානු කතෝලික පියතුමකු වන ගරු ජෝශප් මොන්තඤ්ඤොං පියතුමා විසිනි.

1910 දී පමණ ලංකාවට පැමිණෙන පියතුමා නාගොඩ, වැලිවිට, වෙන්නප්පුව, පමුණුගම, හල්පෙ, යන ස්ථානවල සේවය කොට පසුව කුරුණෑගලට නුදුරු මීසමක ප්‍රධානියා වශයෙන් පත්වී ඇත. ධර්ම ග්‍රන්ථ රාශියක් සිංහලෙන් ලියූ, සිංහලට අතිශයින් ප්‍රියකල මෙතුමා කොළඹදී ස්වර්ගස්ථවීමට ප්‍රථම දේව මෑණියන්ට යාඥා කර ඇත්තේද සිංහලෙනි! සැළළිහිණිය ආදී නොයෙක් සිංහල ග්‍රන්ථ වල ඇති දුශ්කර බන්ධන සහිත කවි බඳු කවි ගෙතීමටද එතුමා දක්ෂයකු වී සිටි බව කියැවේ.

එතුමා විසින් විරචිත 'ආරණ්‍ය වැණුමක්' ප්‍රබන්දය ඇසුරෙන් පළමු පෙල ගෙන, පැරණි ගැටපදාචාර්‍යවරුන් ගත් මගම යමින්, අරුත් පැහැදිලි කරමින්, එයට මනරම් දෙවැනි පෙලක් එක්කරන්නේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. තණුව බන්දුල විජේවීරයන්ගෙනි. වරහන් තුල ඇත්තේ මුද්‍රිත පොතේ ඇති පදයි.

මල්ලී පුබුදු රජස වැදිය වසමින් මඩ වාලුකා
වෙල්ලී කුබුදූ විලස ලදිය දිනමින් කිඩ ලාසිකා
අල්ලී මොවුදූ සදිස විදිය අඳිමින් දඩ මාලිකා
පල්ලී පුලුදූ අනස බුදිය සොයමින් කිඩ ජාලිකා

පිපුන සමන් මල් රේණු සලා ලා සුවඳයි වැල්ල පුරා
නටන [තුරු]ලෙසින් වැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා
[බුදින]සරන සිතින් [රං]ලොල් රාං කුරුල්ලා නරකයි විදිනු මරා
සුදන [ලෙසින්]බැතින් [දැන්]මල් [සමගි දමින් අපි]දමින් එතීලා බැඳෙමුයි භේද හැරා



දෙවැනි ගීතය එන්නේ "මධුර ජවනිකා" නාටකයේ එළාර රජතුමාට කථකව මුණ ගැසෙන අවස්ථාවේදීයි.

"කථක: එහෙනං ඔබ වහන්සේ මේ අපේ එළාර රජ්ජුරුවෝ!
එළාර: දැන් කොහොමද... අපේ මිනිස්සු තවමත් කලබල කරනවද?

කථක:  අනේ දේවයන් වහන්ස ඔබවහන්සේට බොරුවක් කියන්න ඕනෑයෑ. ඔය පිටරටවල කියන කිසිම කලබලයක්  මෙහෙ නෑ. තියෙන්නෙ එකමුතු වෙන්න තියන කලබලයක්. දැන් බලන්න, අපි ජාත්‍යන්තර තත්වෙට එන්ඩ ඕනෑ කියලා කොච්චර ලස්සන කුමාර හෝටල් හදනවද පිටරට මිනිස්සු මෙහාට ගෙන්න ගන්ඩ. ඒ වුණාට අපේ සාමාන්‍ය මිනිස්සු ඕවට අඩියක්වත් තියන්නෙ නෑ. හැබැයි ඔබවහන්සේලාගේ ජාතියෙ කෙනෙක් හේම හෝටලයක් දැම්මොත්, දිවා රෑ නොබලා එව්වට යන්නේ..! ජාත්‍යන්තර වෙන්ඩ ඉස්සෙල්ලා අපි ජාතික වශයෙන් එකමුතු වෙන්ඩ ඕනෑ කියල තමයි ඒකෙ අදහස.
එළාර: ඒක නේන්නං බලමුකෝ මේ දිව්‍යලෝකේ පත්තරවල උණත් පළවෙන ආරංචි වැරදි ඇත්තට

කථක: ඔව්ව ගැන කලබල වෙන්ඩ ඕනැ නෑ දේවයන් වහන්ස... මොකක්ද ඔය උරේ?
එළාර: ආ මං ලඟ තියනව හොඳ බෙරයක් මේ උරේ... මේකට තමා තාවිල් බෙරය කියන්නෙ. ඒ කාලේ අපි මේක මෙහෙමයි හැදුවෙ ඔය ගොල්ලන්ගෙ දවුල් බෙරේ ආශ්‍රයෙන්

කථක: ඔබ වහන්සේට පුළුවන්ද ඕක ගහන්ඩ.. ඇහුවට සමාවෙන්ඩ
එළාර: ගහන්ඩ විතරක් නෙමේ, සින්දුවකුත් කියන්නම් ඕනෑ නම්

කථක: කොච්චර එකක්ද, දෙමළ භාෂාවෙන්ද කියන්නෙ?
එළාර: ඔව්, ඒ වුණාට මම ඉස්සර වෙලා පටන් ගන්නම් සිංහලෙන්

කථක: මොනව! ඇත්තට!! ඔබ වහන්සේ නම් පුදුමයි
එළාර: පුදුම වෙන්ඩ දෙයක් නෑ. මම රජ කරපු කාලෙ ඔය ප්‍රතිපත්තියම තමා මං අනුගමනය කළේ. සිංහල මිනිස්සු වැඩියෙන් ඉන්න රටේ සිංහලට මුල් තැන දෙන්න ඕනෑ නෙ.

කථක: මට නං පුදුමෙනුත් පුදුමයි
එළාර: මටත් පුදුමයි ඔහේ සිංහල මිනිහෙක් වෙලා ඕකට පුදුම වෙන එක ගැන!

කථක: ඔබතුමාගේ සින්දුවේ මාතෘකාව මොකක්ද?
එළාර: මම කියන්න යන්නේ අපේ පත්තිනි මෑණියන් ගැන. ඒත් ඒක පටන් ගන්නේ බුදුහාමුදුරුවන්ගෙ ගුණ සිහි කරලා. ඒ මොකද මේ රටේ වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෝනේ. ඒකත් අපි සලකන්න එපායෑ

කථක: ඔබ වහන්සේ නම් ඇත්තටම පුදුමයි
එළාර: ආයෙත් ඉතින් පුදුම කථාවක් ඇදල ගත්ත. ඕක තමා සිංහල මිනිස්සුන්ගෙ වැරැද්ද. සිහිකල්පනාව නැති එක. මතක නැද්ද මගෙ ගුණ යහපත් කම ගැන මතක් වෙන්න, අනුරාධපුරේ එළාර සොහොන බැන්ද හැටි දුටු ගැමුණු රජ්ජුරුවො?

කථක:  අනේ ඒක නේන්නං. ඔබ වහන්සේව මරණයට පත් කරපු එක මටනම් දැන් වැටහෙන්නේ අපි කරපු බරපතල වැරැද්දක් කියලා
එළාර: දැන් ඉතින් ඔය පහු ගිය එව්වා ගැන කම්පා වෙලා වැඩක් නෑ. ඉදිරියටවත් හිතේ තියාගන්නවා හොඳයි. එහෙනං අපි සින්දුව පටන් ගම්මු. මේක ඇවිල්ලා මේ වන්දනා කරුවෝ පයින් වන්දනාවේ යන කොට කියපු වයි නඩේ කවි. අපේ පත්තිනි මෑණියෝ තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් වින්ද දුක් කරදර මේ කවිවලින් කියවෙනවා"

තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානා
තෙන තෙන්දි නානා - තෙන තෙන්දි නානා

එක් සමයෙකි සාවෙකු වී මුනි සඳ
දුක් නොව ඇඟ මස් දන් දෙන ලෙස සොඳ
වික්‍රම පෑවේ ගින්නට පැන ඉඳ
සක් දෙවි ඇන්දේ සා ලප සඳ මැද

ඔරු සමයෙක මුනි මුසල පුරන්දේ
කරුනින් නන්නුඩ සැඩ සතුරුන්දේ
නෙරුප්පුලේ උළු පූඩිත්තරින්දේ
මුරුගන් කූඩිල් එල්ලත සුරිඳේ



පරිවර්තන බහුලවන්නේ සංස්කෘතික කාන්තාරයයක් වන අප රටෙහි, සාකච්චාවට, නිර්මාණයට බඳුන් විය යුතු විවිධ සංකීර්ණ ප්‍රස්න, චර්‍යා, ඇවතුම් පැවතුම්, ඔසවා තැබිය යුතු සිතුම් පැතුම්, නව සංකල්ප, නිර්මාණ නැති නිසා වුව හැක. පොත් සාප්පු වෙත යන මා, හැඳ යන්නේ තරමක් ජරාජීර්ණ වූ කළිසමකි. ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක!
Read More!

ලක් මව රුව සරසන මල්.....

ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද? "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.

සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන්  තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්‍යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.

ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්‍රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය!

සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්!


 
ගීත අසන්න...

ගීත පොත බාගන්න මෙතැනින්....
ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි
[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි]
Read More!

මෙවර විස්කම් දෙවිඳු සිරි දී රකිති නිතියෙන් සෙත් පතා.....

"අඩුක්කු ගන්න උන්නැහේ"ගෙන් පටන්ගෙන "ළමා බණ්ඩාර දෙයියන්"ගෙන් නිමවන "සිංහල දේව පුරාණය" කෘතියේ දෙවිවරුන් දෙසිය හතළිස් දෙදෙනෙකුගේ ලැයිස්තුවක් ඇත. කවුරු හෝ හිතවතකුගේ උදව්වක් ලැබ අපහසුවකින් ගොඩ ආ කල "අම්මප යකෝ උඹ නම් දෙයියෙක්" යනුවෙන් යක්ෂයාත් දෙවියාත් කළවමේ යොදාගෙන කෘතවේදීවීමට තරම් අප ජනයා නිර්මාණශීලීය.

මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.

අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය.  සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි.

හින්දු ආගමික විශ්වකර්‍මයා
මෙකි නොකී සියලු දෙවි දේවතාවන් අතර "විස්කම් දෙවියන්" ලෙසින් අප රට අද්‍යතනයේ වැඳුම් පිදුම් ලබන දෙවි කෙනෙක් ගැන දැනගන්නට අවස්ථා ලැබෙන්නේ අඩුවෙනි. හින්දු ආගමට අනුව විශ්වකර්මයා සියලුම නිමැවුම් වලට අධිපතිය. එහෙමත් නැත්නම් මිනිසා අතින් නිර්මාණය වන සියලු නිර්මාණයන්හි මූල බීජයය. ලෝකුරුවන්, වඩුවන්, රන්කරුවන්, ගල් කැටයම් කරුවන් හා වාත්තු ශිල්පීන් විස්වකර්මයාගේ දරුවන්ගෙන් මූලෝත්පාදවූ කර්මාන්ත ගුරුකුල යැයිද හින්දු සාහිත්‍යයේ වේ. හස්තිනාපුර, ද්වාරක හා ඉන්ද්‍රප්‍රාසාද යන නගරද විශ්වකර්මයාගේ නිර්මාණයන් බව කියැවේ. හින්දු දේව කථා, රාමයනය හා මහාභාරතය කෙසේ හෝ කෙළවරකින් සම්බන්ධ කරගන්නා බැවින් ඒවායේ නොපැටලුනු තතු, ඒ පිළිබඳ වියත් විමැසුම් වල නි‍යැලෙන විද්‍යාර්ථීන්ගෙන්ම (සැබෑ වුවමනාවක් තිබේ නම්) අසා දැනගන්නවානම් යෙහෙකි.

අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද? ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.

මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින් පුවක් පොල් මල පහලින් ඇති බොත්තමක් ඔබන ලෙස ඉල්ලා ඇත. එය එබූවිට පොල් මල දිගහැරී පීදුණු පොල් මලක් ලෙස දිස්වී ඇත. ඒ සියල්ල ඇත්දල වලින් නිමවා කැටයමින් අලංකාර කර තිබී ඇත.

ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.

රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:
දේවසුරේන්ද්‍ර මුහන්දිරම්
විසින් අඳින ලද විස්කම් දෙවිඳු
"සින්‍දුුරම් පඤ්ච-වක්ත්‍රම්, දශ-භුජ-සහිතම්,
පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,
ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,
කුණ්ඩකම් අක්ෂමාලම්
නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,
පීත යජ්ඤො-පචිතම්
විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහා
විශ්වකර්‍මම් නමාමී"

එහි තෙරුමද මෙසේ දක්වා ඇත.
"තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්, 
පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හා 
අක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,  
පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්, 
ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි"

අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි!]. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ  කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.

බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.

විස්කම් බලිය
සුරත පොත කඩු සමග පන්හිද - නෙළුම් කල තව ක‍ටුයුතේ...
වමත කලසද කෙන්ඩි ත්‍රිශුලවි - සමග පාෂාවකි අතේ...

නැවත අඹමින් අභය හස්තය - සියල් හරණින් සැදි ගතේ...
නගිත ගවයෙකු දේව විස්කම් - බලිය මේ ලෙස බබලතේ....

නොහැර 
ගත ගුම්
පැහැය 
බබලා
සුසැට භරණින් සැදෙමිනා...
පතර 
භූ පද්මයක 
පිට හිඳ
සැදී දෙව් විමනක යුතා...

නිතර 
දඬු මඩු 
කම් 
ගෙවල් කර
එයින් පැමිණුන දොස එතා....
මෙවර 
විස්කම් 
දෙවිඳු 
සිරි දී
රකිති නිතියෙන් සෙත් පතා.....



විවිධාකාරයේ කර්මාන්තවල, නිර්මාණකරණයේ, යෙදෙමින් දෑ දියුණුවට උරදෙන සියලු සොයුරු සොයුරියනට විස්කම් දෙවිඳුගේ බැල්මාරක්ෂාව ලැබේවායි පතමි!

 ඇසුරුකලා:
• සිංහල දේව පුරාණය - කේ එන් ඕ ධර්මදාස / එච් එම් එස් තුන්දෙනිය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
• මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි - ජාතික කෞතුකුකාගාර දෙපාර්තමේන්තුව
• බලි යාගය - විනි විතාරණ - ජාතික අධ්‍යාපන ආයතනය
Read More!

මංගල කසී සළු මාලා...

මංගල කසී සළු මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැලැඳ මා
සිටියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ 
මල්සර මිණි බුබුළු දිලිසී
සිහිනෙන් නොදුටු රැයේ
නීල තරු පොකුරූ මා දුටුවා
නීල තරු පොකුරූ මා දුටුවා

ජීවන ගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා

Read More!

සඳ එළියේ ඔබ ඉන්නේ...

අමරදේවයනට මහගම සේකර විය. වික්ටර්ට, මර්වින් පෙරේරාට, ශ්‍රීමතී තිලකරත්නට ප්‍රේමකීර්ති සිටියේය. මහගම සේකරගේත් ප්‍රේමකීර්තිගේත් කිත් යසස් මැද වැළලී යන්නන්ද බොහෝය. ඒ මහගමසේකරගේවත් ප්‍රේමකීර්තිගේවත් වරද නම් නොවේමය.

ඉස්සර වූයේ නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල ඉක්මණින්ම සුදු වී යාමයි. එහෙත් අද වන්නේ නිතර දෙවේලේ දකින කුකුලා 'බෝයාවක්' කරගන්නා සුහුඹුල් මාධ්‍යවේදීන් තමා ගිලෙන්නට නොදී මේ බෝයාවන්හි එල්ලීමය. [මේ බෝයාවේ කථා රසකර කියන්නේ දුෂාන් සොයුරාය! ඒවා පසුවට!!]

ගීත එක්දහස් හයසීයක් පමණ ලියූ, නීලා වික්‍රමසිංහයනට ගී පද මාලා උල්පතක් වූ, පසුවූ දශක දෙකහමාරක පමණ යුගයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක සාකච්ඡාවට, විභාගයට ලක් නොවූ ගීත නිබන්ධකයෙකු, ශබ්ද පරිපාලකයකු, නිවේදකයකු, සහාය සිනමා [දෙව්දුව, පරසතුරෝ, මිහිදුම් සිහින, මේජර් සර්, මධු සිහින] අධ්‍යකෂකවරයකු වූ එක් අපූරු මිනිසෙක් ගැන සොයන්නට බලන්නට මා පෙළැඹවූයේද ඔහුගේ ඒ අපූරු ගී නිර්මාණයි.

මීට දශකයකට පමණ පෙර අප්‍රිකාණු මහද්වීපයේ දකුණු කෙළවරටම වන්නට වී ගතකල කාලය තුල, කුමක් හෝ හේතුවක් නිසා මගේ මතකයට නිතරම ආ ගීයකි: එහි රචකයා ගැන එදා ඒ හැටි නිනව්වක් නොවිණි:

"සදා උකුළු තල - මා සුව යහනට
තොළගින් මැතිරූ - නැලැවිල්ලෙන්
හැරලා මා සුව - සිහින විමානෙට
නිදි ගන්වා මා - ඔබ තුරුලේ...."


දකුණු පයාගල උපත ලැබූ අපේ කථා නායකයාට වයස හය හත වන විට එස්රාජ් පුහුණුවට යන නැන්දාගේ තනියට ඇයත් සමග යෑමට සිදුවෙයි. මේ කම්මැලි රාජකාරියක් වුවද කථා නායකයාට මේ වටපිටාව සැකසෙන්නේ අප වන් රසිකයින්ගේ භාග්‍යයටමය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළ සඳහා හේ කොළඹ ඉසිපතනට විද්‍යාලයට එයි. අද 'කිවි' දේශයේ වසන, එදා මේ අප තරුණ, කඩවසම් කිවියා, සිය කිවි කමින් නොසෑහී නිබයවම ප්‍රසිද්ධ ගායක ගායිකාවනට සිය ගීත ප්‍රබන්ධ ලියා, තැපැල් කර යවන්නේ පාසල් සගයින්ගේ ඔච්චම්ද මැද්දේය. "කෝ තාම උඹේ සින්දුවක් කීවේ නැද්ද කවුරුත්..?"

කාලය මෙසේ ගෙවී යද්දී අප කථා නායකයාට අතුල සෝමසිරිගෙන් "මල්ලී" ආමන්ත්‍රණයෙන් අපූරු තැපැල් පතක් ලැබේ. ශ්‍රී ලංකා
ගුවන් විදුලි සංස්ථාව, සිය බිරිය වන ලාලනී සෝමසිරිගේ සරල ගී වැඩසටහනකට අප කථා නායකයාගේ ගී තුනක් ගායනය කරවා පටිගත කර ඇති බවත්, අසුවල් දා, අහවල් වේලාවට ඒ විකාශනය කරවන බවත්ය.

මේ එක්දාස් නමසිය හැත්තෑ එක වසරයි!

ගුවන් විදුලි යන්ත්‍රයක් තමන්ටය කියා නොතිබූ අප කිවියා ඩිස්ප්‍රීන් දෙකක් ගැනීමට යයි කියා සිය මිතුරු සිරිපාල සමග සිය නිවසින් එළියට බසින්නේ සිරිපාලගේ පියාට හිමි පිළියන්දල 'සිරි බේකරිය' අසලට යාමටය. ඒ එතැන ඇති ගුවන් විදුලියෙන් අර තමන් ලියූ ලාලනී සෝමසිරි ගැයූ ගීත අසන්නටය. 


සියලු බලාපොරොත්තු ගිලිහී යන්නේ 'ප්‍රවෘත්ති' ඇසීමට සිරි මුදලාලි රේඩියෝව අනෙක් චැනලයට සුසර කිරීම නිසාය. අවසානයේ තම නිර්මාණ දිවියේ පළමු සජීවී ප්‍රචාරය ඇසීමේ භාග්‍යය ඔහුට අහිමි වේ. ගුවන් විදුලියෙන් තැටි වලට නොකැපුණු, නොනැගුණු මේ ගීත අද සොයා ගැනීමටවත් නොහැකි බව හෙතෙම කියයි. එහෙත් දුර්මුඛ නොවී ගී එක්දහස් හයසීයක් ඒ පන්හි‍ඳෙන් ලියැවෙන්නේ කළු වලාවන්හි රිදී වනින් දිළිසුණු රේඛා හෙතෙම දු‍ටු නිසාය.
සුළං කෝඩ වැහි වලා පෙළ ගැසේ
සිත් සමුදුරු අහසේ
කුණා‍ටු විහඟුන් අඳුරු වලා මැද
රිදී වනින් දිළිසේ...

ඔබ සයුරේ මා අඳුරු පැල්පතේ
රළ නැගෙනයුරින් නුරා වේදනා
නැගී නැ
ගී තෙරපේ සිත් සයුරේ...

වාරකන් සුළං සිත් සනහාලයි
නුරා වේදනා නිවී නිවී යයි
කුසගිනි සෙබලුන් හිස ඔසවාලයි...

[සංගීතය සේන වීරසේකර | ගායනය නීලා වික්‍රමසිංහ]


සහන නිවේදයකයෙක්
ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කල සමයේ, සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. ඒ, මැද මාස්ටර් (අමරබන්දු රූපසිංහ) හා පොඩි මාස්ටර් (ප්‍රේමකීර්ති) ට අමතරවය. සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි. එහෙත් නොසිතූ ලෙස සම්භාවනීය අමුත්තන්ගේ කලින් පැමිණීම නිසා එදා වැඩසටහන පෑ භාගයක් ඉදිරියට පැමිණෙන්නේය. රිජ්වේ තිලකරත්න පාලන සමය වූ එදවස වැඩසටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණී මහත්මියගේ බලවත් ඉල්ලීම පිට කාරිය බාරගන්නා ඔහුට, හතරවාරයක්ම වැසිකිලි ගොස් වුවද සාර්ථක සජීවී ප්‍රචාරයක් ලබා දීමට හැකිවී ඇත. එදා එසේ වූයේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය මේ සද්කාර්‍යය සඳහා නොඅඩුවම ලැබූ නිසාම විය හැකි බව අද හේ සිනාසෙමින් කියයි.

"ඉඟි බිඟි කරනා - තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු - අප ලොව හිඳින තුරා"


'ඔබේ ගීත එකතු කරල පොතක් එහෙම නිකුත් කරන්න බාලාපොරොත්තුවක් නැද්ද?' මම විමසීමි. "අත් පිටපතක්වත් මම තියාගෙන නෑනේ... ඒත් ඉතින් මගේ ප්‍රියාදර බිරිඳ ඉතින් හෙමින් සැරේ මේව එකතු කරගෙන යනව...". රිඟින් ටෝන්ස් වලින් කෝටිපතියන් බිහිකරන සමාජයක මෙවන් මිනිසුන්ද අපිස් සතොස් බවින් යුක්තව විසීම හැබෑටම පුදුම සහගතය.

"ප්‍රේම යාතිකා - ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ලතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතුදවසේ - මතු දවසේ.."


ඔහුගේ අසාමාන්‍ය සරල වාග් විලාශයට විෂය වන්නේ ප්‍රේමය පමණක් නොවන වගට ඉහත ගීය කදිම නිදසුනකි. ඒ වචනවල ඔහුටම ආවේණික ගුණයක් මම දකිමි. සාහිත්‍යමය ගුණයත්, ජනවහරත්, කටවහරත් එක මිටියට බැන්දු රන් හුයක් ලෙස මම ඒ අර්ථ දක්වමි. තවද ඒවායේ අතිශය සුගායනීය බවකුත්, නොගැටෙන නම්‍යශීලී බවකුත් මම දකිමි.

"ඔබගෙ සෙවනේ - දැනෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ  - නොහිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා.."

[විජේසුන්දර මහත්මිය විසින් මේ කුලරත්න ආරියවංශයන් ගේ නිර්මාණයක් බව දන්වා එවා තිබුනා. නිවැරදි කරමි. කුලරත්න ආරියවංශයනට කණගාටුව පලකරමි]

ලංකාවෙන් බැහැර ගතකලත් වසරකට වරක් හේ සිය මවිබිමට එන්නේ නිකම්ම නොවේ. සිය ශක්ති පමණින් කිවි දේශයේ මිතුරන් හා එක්ව එක් ‍රැස්කරගන්නා යමක් සිය මව්බිමේ කිසියම් පුණ්‍ය කටයුත්තක යෙදවීමටය. මව්බිමෙන් බැහැරවී, මව්බිමේ දොස්ම වයා සිටින්නට ඔහුට උවමනාවක් නැති සෙයකි. ඔවුන්ගේ සවියෙන් මවිබිමේ හිනා මල් කොපමණ මැවේද?

රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිණි ගහේ ඉඟි කරනා කණාමැදිරි මල් ගණින්න
ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න
අක්කණ්ඩී - ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න...

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉර‍ටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්‍ටු ගෙදර ඉඳන් රණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී - ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...

[සංගීතය රෝහණ වීරසිංහ | ගායනය නීලා වික්‍රමසිංහ]

සොඳුරු නිර්මාණකරණයේ යෙදුනු / යෙදෙන මිනිසුන්ගේ මා දු‍ටු  සුන්දරම කරුණකි. එනම් ඔවුනගේ නිහතමානිත්වයයි. ඒ සිත් වශීකරවනසුළුය. අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා, සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි! 

ඔබ සිටින්නේ සිතට සිතාගන්නට බැරි තරම් ඈතක නොවේ. ඔබ විසින් නිමැවූ සියළුම ගී නිර්මාණ ඔබ ඔබේ ගුණ සුවඳ රැගෙන මේ ගුවන් ගැබේ සදා ඇදෙනු ඇත. ප්‍රියානන්ද විජේසුන්දරයාණෙනි; ඔබට නිදුක් නිරෝගී සුවත්, දීර්ඝායුත් පතමි. මෙතැනට එන සහෘදයන්ගේද නියත පැතුමත් එය වන බව මට විශ්වාසය.


"සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේ
අතක දුරක පෙනෙන තැනක - සඳ එළියේ ඔබ ඉන්නේ

ඔබේ සුවඳ අරන් ඇදෙන - සුළං රොදක පැටලීගෙන
ගත දැවටුනු මගේ සළුව - ඔබ පහසට ඉගිලෙන්නේ

ගතේ පබා කැල්ම දුටිමි - නෙතේ සරා බැල්ම දුටිමි
ඔබ අසලට දිව එන්නට - දෙපා ගිගිරි පොරකන්නේ"
[සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වා | ගායනය නීලා වික්‍රමසිංහ]
Read More!

ඉතින් සබඳ අවදි වන්න...!

කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියල..!
හිතාගන්නත් බැරි ගානක් ලැබෙනව කී නිසානෙ ජොබ් එක බාරගත්තෙ.....!
කන්න බොන්න සම්පාදනය කරල මේ හතරදෙනෙක් රැක බලාගන්න විතරනෙ තිවුණෙ!
ඒත් අර පණ්ඩිතයෙක් ඇවිල්ල යසට කරගෙන හිටි වැඩේට විසක් දැම්මනෙ, "මුන් මහ නසරණියෝය, හොඳට හොඳයි, නරකට අන්තිම නරකයි, පොඩ්ඩක් පමා වුණොත් බෙල්ලම යනව" කියල.

අතේ ඒ හැටි ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. තිබ්බ ටිකත් මිට මොළෝන තාප්පෙන් පැන්නේ වෙන දෙයක් වෙද්දෙන් හිතාන. ගහෙන් වැ‍ටුණ මිනිහට ගොනා ඇන්න වගේ වුණා කියල හිතුණෙ තුන්කොණ්ඩෑරුමෙන් එහා පෑත්තට පතබෑවෙච්චම. මුං නම් කුලී මැරයො නඩයක්ද මන්ද අහිංසකයෙක් අල්ලගන්නම බලන් උන්නු. ඇයි හත් ඉලව්වේ පස්සෙන් පන්නන්න වෙන උන් නැද්ද! අර පත්තරේ තිබුණු පස් දෙනාගෙ කල්ලියද මන්ද මුං!!

එකට එකපතේ කාල බීල හිටි, සහෝදරයෙක් වාගේ හිටි, මාව හොඳටම දන්න, උස මහත වොචර් කාරය, දෙපැත්තට වැනි වැනී ඉස්සරහට ආහම මම හිතුවෙ උන්නැහැවත් මට උදව් කරාවි කියල! ඇන්තූරියම් ගාල අස්සේ තිබ්බ මලකඩ කාච්ච කඩුවක් ඇදල ගත්ත නෙව මූත්! එකත් එක්කටම කලින්දා රෑ අරුන්ගෙන් සප්පායම් වෙන්ඩෑති!! මම නොදන්නවෑ උන්දැගෙ තරම! කකුල් දෙකට වීරිය අරන් දීව නිසා යාන්තම් ඡායාව පෙනෙන නොපෙනෙන ගානට මගෑරගන්න පුලුවන් වුණා!!

එහෙම ඇවිල්ලත් ඕං වැ‍ටුණෙ නැතෑ කාත් කවුරුවත් නැති, මහම මහ පාලුම පාලු තැනකට.... එතන පුදුම හිස් ගතියක් නෙව තිවුණෙ!!
ඒ පාලුවට ගිය නවාතැං දැක්කම හිත කොච්චර කීවද මෙතන නැවතියං, නැවතියං, කියල. අර හාදය දාපු විස ඔලුවෙ ඇතුලෙ කෑකෑරි කැකෑරි තිබ්බෙ නැත්නම් කියල හිතුන ඒ වෙලාවේ නම් අප්ප. අත් දෙකින්ම හිස අල්ලං කීවනේ "එතන නං කීයටවත් නවතින්න එපා, නිතරම රොබරි කාරයො කඩාපාත්වෙන තැනක් ඕක..." කියල.

කටේ කෙල බිංදක් නෑ, මහන්සිය, වෙහෙස, කියාගන්න කෙනෙක් නෑ, ආයෙත් දිවිල්ල!!!
මහ පළලට, පතුලක් පේන්නෙ නැති ගානට, නිස්කලංකව ගලා යමිං තිවුණ වතුර පාර ගාව විඩාහරින්න ඕන තරම් තිබ්බ; අර රොත්තම පස්සෙං එන්න පුලුහං කියල නොහිතුනානං!

ඒත් ගුටියක් වත් කන්න තරම් සරීරයේ සත්තියක් ඉතිරිවෙලා තිබ්බායෑ!! ඉතිරි වීරිය දාලා මේකෙනුත් කොහොමෙං හරි එගොඩට ගියොත් කියල හිතුනෙ ඇයිද මංද! අහල පහල තිබිච්ච දර ඉපල් එක්කහු කරල මැස්සක් වාගෙ පහුරක් හදාන අත පය දෙකෙන්ම හබල් නොගාන්ට ආයිබෝවංඩ වෙන කොහොමෙං කියල බේරෙන්නද!!!

ඔබ සැමට යහපතක්ම වේවා!

පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න....
ඉතින් සබඳ උදාසනේ
නිදි දැහැනින් අවදිවන්න....

අප මහ බෝසත් පොරණේ
දීපංකර පා සෙවණේ....
විවරණ ලත් එඅනුහසින්
නිදි දැහැනින් අවදි වන්න....
 
බුද්ධ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න....

බරණැස්පුර ඉසිපතනේ
ගෞතම මුණිඳුන් එදිනේ
දෙසු දම්සක් දහම් බෙලෙන්
නිදි දැහැනින් අවදි වන්න...
ධම්ම රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න...


සැරියුත් මුගලන් නමිනේ
මහ සඟගණ පිළිවෙළිනේ....
සසුන සුරැකි අනුහසයෙන්
නිදි දැහැනින් අවදි වන්න...
සංඝ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදිවන්න...


Read More!

'හිස් ටින්' & Nihal

ධනුෂ්ක හිස් ටින් එක නැවත කරළියට ගෙනාවේය. සමාන්තරව එම්. එස්. ආයෙමත් වෙබ් අඩවි වලින් මතුවෙන්නට පටන් ගත්තේය. ඒ පැරණි ශිල්පීන්ගේ නිර්මාණ ආනුභාවයෙන් හා තමන්ගේ දක්ෂතාවයෙන්, ධනුෂ්ක ලැබූ ආඪ්‍ය සම්පත්තීන් ගැන මුදිතාවෙන් තොරව බලා 'මෑන් හොඳා හැබැයි එම්. එස්. තමා පොර' කීමක්දෝයි නොදනිමි. නැත්නම් අතරින් පතර කථාවුනු එම්. එස්.ට හදිසියේම කෘතිම ශ්වසනය දෙන්නට සැමට මතක්වුයේ ධනුෂ්කගේ දක්ෂතාවය විසින් ඇඟිල්ලෙන්ම ඇන පෙන්වීම නිසා විය හැක.

එම්. එස්., ගී පද රචකයෙකු, සංගීතඥයෙකු හා ගායකයෙකුද වෙති. එනයින් හේ වාග්ගේයකාර පදවි ලැබීමට  සුදුසුය. ක්ලැරන්ස්, අමරදේව, සෝමතිලක ජයමහ මේ පදවි හිමි කරගත් මට මතක්වන අනෙක් අයවළුන්ය. තමාගේ රිද්මයට සුදුසු ගී නිර්මාණය කරගන්න ලැබීම මේ වාග්ගේයකාරයන් ලබාගත් වාසනාවක් නොව අප වන් රසිකයන් ලැබූ පිනකි! නිහාල්ට ඒ වාසනාව නොවීය - ඒ වෙනුවට යස අපූරුවට හැල්මේ තම සංගීත දිවිය පටන් ගත් නිහාල් මතට හිස්ටින් ලොරි ලෝඩ් දෙක තුනක් නොව, කන්ටේනර් ගනනාවක්ම පෙරළිණි. ඒ ගොඩට යටවුණු නිහාල් ඒ බර දරාගෙන අවුරුදු පණහක්ම ගත කලේය. හැබැයි නිහාල් ඒ ටින් වලට යටවී නිකම් හිටියේම නැත. තමන්ගේ දෙපාත්, කොන්දත් සවි ශක්තිමත් කරගැනීමට එය ආශීර්වාදයක් කරගත්තේය. පාඩුව වූයේ අපටය!!  මේ සා බරක් ඉසිලීම වෙනුවෙන් ඔහුට ගිය අවුරුද්දේ උත්සවයක් පවත්වා උපහාරද ලබාදුණි!  උපහාර උළෙලට සමගාමීව පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවන්හිදී මෙහෙම ප්‍රස්නද ඔහුගෙන් විමසෙයි! ඔහුද මෙසේ උත්තර දෙයි!

අද කලා ක්‌ෂේත්‍රය ගැන ඔබට සතුටුද?: ගායක ගායිකාවන්ට කලාකරුවන්ට විශ්‍රාම වැටුප්, අර්ථසාධක නෑ... ස්‌ථිර ආදායම් මාර්ග නෑ... ඒත් රජයට ගෙවිය යුතු ගෙවීම් ඔවුන් හිඟ නැතිව මාසිකව ගෙවනවා... ලයිට්‌ බිල්, වරිපනම්, වතුර බිල් දුරකථන බිල් නොපමාව ගෙවනවා. කෑම බීමට, බේත් හේත්වලට ගෙවනවා... කලාකරුවන් කිසි කෙනෙක්‌ ලයිට්‌ කපා ගත්තේ නෑ... වතුර බිල් නොගෙවා වතුර කපා ගත්තේ නෑ. අපි ආණ්‌ඩුවට සලකන්නේ එහෙමයි.... ඒත් කලාකරුවාට... කලා ක්‌ෂේත්‍රයට මොනවද වෙලා තියෙන්නේ... කලා ක්‌ෂේත්‍රයට යමක්‌ කළොත් එහි ප්‍රතිලාභ ඉබේම කලාකරුවාට ලැබේවි.
ඔබ තෘප්තිමත්ද?: ඔව්... මම කලා ක්‌ෂේත්‍රය තුළ බයත් නෑ.... ණයත් නෑ... මගේ ගමන පාඩුවේ යනවා.... මා කළ යුතු දේ කර තිබෙනවා.
- දිවයින -අජිත් අලහකෝන්

'සොමියට වරෙන් පුතා' නැත්නම් ආතල් එකට සෙට් වෙන්න කතා කරපු 'ගුණේ අයියගෙ' කාමරේ තාමත් ආතල්ද?: ඒක ඉතින් සමාජය තමයි තීරණය කරන්නේ. ඒක මිනිස්සු අතරට කොයි තරම් ගියාද, කොයි තරම් ආතල් ගත්තද කියලා මට හරියටම කියන්න බැහැ. මම හිතන්නේ ඒ ආතල් එක තවමත් හිත්වල ඇති. ඒ නිසානේ ඔයා වගේ තරුණ ගෑනු ළමයෙක් අදටත් මේ ගීතය ගැන මගෙන් අහන්නේ.
නිහාල් අයියගේ සින්දුවලට මේ තරම් ආතල් වචන සෙට් වෙන්නේ කොහොමද?: මේවා ඉතින් සමාජයේම තියෙන වචන තමයි. මට තියෙන ආතල් එක තමයි ඒ වචන එකතු කරලා ගීතයක් හදලා ඒක මිනිස්සු අතරට දාන එක. දැන් බලන්න සිංහල වර්ණ මාලාවේ අ යන්නෙන් පටන් ගත්තම සෘ, සෘෘ, වෙනකන් අකුරු තියෙනවා. ඒක මම ඉගෙන ගෙන තියෙනවා. ඉතින් දෙයක් මම කළා. ඒක ඔවුන් පිළිගත්තා කියලා දැනෙන එකම මට මාර ආතල්.
Riging Tone එකකට සින්දුවක් දීලා ආතල් ගන්න අදහසක් නැද්ද?: මම ඒ අංශය නම් කරලාම නැහැ. මට වඩා හොඳ Riging Tone එකක් තියෙනවාද නෑනේ. මට උප්පත්තියෙන් ලැබුණු Riging Tone එකක් තියෙනවානේ. ඒක මම මුළු ලෝකෙටම ඇහෙන්න Riging කරලා තියෙන්නේ.
- මව්බිම - අරුණි මල්ලවාරච්චි
[මව්බිම මෙහිදී කථා කරන්නේ 'Riging(?)' ටෝන්ස් ගැනය!!]

ඔබේ මේ ගමනට අතහිත දුන් වෙනත් පුද්ගලයින් කවුරුන් ද?: අතහිත දුන්නු පුද්ගලයින් ගැන නම් නැව් ගාණක් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම ලියන්න. ඒ. ජේ. කරීම් සංගීත ශිල්පියා ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට මාව හඳුන්වා දුන්නා. චන්ද්‍රසේන මාස්ටර් ගාවට ගියාට පස්සේ තමයි මුළු රටේම ව්‍යාප්ත වෙන්න මගේ ගායන දිවියේ වැඩ පිළිවෙළ කෙරුණේ. (“ලස්සනට පිපුණු වනමල්” ගීතය සංගීතවත් කළේ ද චන්ද්‍රසේන මාස්ටර්මයි.) ඉන්පසු කරුණාරත්න අබේසේකර ශූරීන් ඇතුළු ලංකාවේ සියලුම ගී පද රචකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන් හැමෝම මට සහයෝගය දුන්නු නිසා තමයි රසික රසිකාවියෝ එක්ක එකතු වෙලා මේ ගමන එන්න මට පුළුවන්කම ලැබුණේ.
- සිළුමිණ - ජෝජ් රොබින්සන් ද සිල්වා

තවත් බොහෝ දෙනෙක් නිහාල් ගැන නොයෙක් දේ ලීවේය.
එහෙත් අර හිස් ටින් කන්දට යටව ගැයුනු අපුරු ගායනාවන් ගැන කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක් හරි හැටි කථා නොකලේය. පුවත් පත් වලට නිහාල් තවත් ස්පේස් එකකි! රූපවාහිනී වලට ස්ලොට් එකකි! ගුවන් විදුලි සේවාවලට කට ගැස්මකි!

අද දවසේ මටද නිහාල් ගැන ලියන්නට දෙයක් නැත!
ඇත්තේ සිතෙහි සිර කර ගත් උද්ඝෝෂණ පාඨයක් පමණි!
ඒ උද්ඝෝෂණ පාඨයද "ජූලි වර්ජකයෝ වහා සේවයේ පිහිටවනු!" යන්නට නොදෙවෙනි උද්ඝෝෂණ පාඨයක් බව මටම තේරේ!!

ත්‍යාගා එන් එඩ්වඩ්ට තමන්ගේ සී ඩී පටය නිකුත් කරගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!
විජේසිරිවර්ධන පොලොන්ඕවිටට තමාගේ සී ඩී තැටිය විකුනාගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!!
නිහාල් හිස කෙළින් තබාගෙන සිටී!!!

හිස් ටින් වලද ආනුභාවයක් ඇත.
එය ධනුෂ්ක, නිහාල් පමණක් නොව අපි සියල්ලන්ම වෙලාගත් ‍රැස් දහරකි!
එහිම ආනුභාවයෙන් තවත් තරුවක් 'නිහාල්වද' නැවත කරළියට ගෙනෙන තුරා ඉමු!

බන්දු සමරසිංහද මතක් වේ!
"ටින් බෙලෙක්ක තක්ක බක්ක - සද්ද අඬවලා
කබල්ම බස් එකක් සොයා - කොල්ලො ට්‍රිප් එකක් ගියා!"

Read More!

මේවාට පි‍ටුපෑවද ආදරේ....?

පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේ
තිරසර ගතිය ගැන මම සිහි කරමි පණේ
ජය පැරදුම දෙකම ඔබ හට එකද අනේ
මහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේ

කුළුණු ගුණේ සුදන සෙණේ  - හිත උණුවන තරම අනේ
මේවාට පි‍ටුපෑවද ආදරේ - වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ

ඔබේ හද විමණේද කරුණාව මැවුණේ
දු‍ටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ
සෝ දුක නිවුණේ....

බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටී
සීනේකි මායාවකි ආදරේ
වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ....

ඇට ක‍ටු මස් මාගෙ සටනක යෙදිලා
ඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා
සටනක යෙදිලා....

සුර්‍ය රජුගෙ ගගන ගැබේ
තීරසාර ගතිය ඔබේ
මේවාට පි‍ටුපැවද ආදරේ.....

බැරිවුණු විටදී පිහීටට පැමිණී
දෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී
මගෙ තනි නැසු
ණී ....


Read More!

බිඟු වැල රොන් සොයලා...

එක්දහස් නමසිය හතලිහේ ජූනි හතරවෙනි දින කොස්ගම ජුවානිස් රත්නායක හා හිල්ඩා රත්නායක දෙපලට කුළුඳුලේ ලැබුණු දරුවාට 'වින්සන්ට්' යැයි නම් තැබිණි. සෞන්දර්‍යටම නැඹුරුවක් දැක්වූ එ පුත් කුමරා පාසල් ඉගෙනුම අවසන ලක්නව් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයෙන්, විශාරද සනත් නන්දසිරි වැන්නවුන් හා සමකාලීනවම  විශාරද උපාධිය ලැබීය.

අමරදේවයන් හා සමලෙසට හෝ ඊටත් වඩා දක්ෂභාවයෙන් යුතුව වයලීන් වාදනයේ යෙදුණු හෙතෙම ජීවිකාව ලෙස ගුරු වෘත්තියම ‍තෝරාගති. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන ආදී විදුහල් බොහොමයක දරු දැරියනට සංගීත සෞන්දර්‍ය දායාදයන් ලබා දුන් හෙතෙම, වඩාත් පුළුල් ලෙස තම ශාස්ත්‍ර ඥාණය බෙදාදෙනු වස් කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්‍ය අධ්‍යපන ආයතනයට බැ‍ඳෙන්නේය.

කවුන්ට් ඔෆ්  ද මොන්ටි ක්‍රිස්‍තෝහි එඩ්මන්ඩ් දාන්තේට සිරගෙයහිදී හමුවන පූජක තැන "ජීවිතයේදී පරිස්සම් වියයුතු එක් දෙයක් නම් භයානක ජ්වර රෝගයි" ලෙස අනතුරු හඟවයි.
වයලීනයේ තත් මිහිරි හඬ මවමින් පිරිමැදි වින්සන්ට් රත්නායකයන්ගේ ඇඟිලි හිරිවැටීමක් ලෙස මුලින් පටන් ගන්නා රෝගය ඔහුගේ සිරුර වෙලාගන්නේ කිසිවෙකුටත් එයට මැදිහත් වීමට ඉඩ නොතබිමිනි.


හොරණ ශ්‍රී පාළියට මාරුවක් ලැබීම ඔහුට වධයක් වන්නේ ප්‍රතිකර්ම කිරීම සඳහා නිතරම කොළඹ ඒමට වූ නිසාය. බාහිරින් කිසිම කිසිම රෝගී තත්වයක් නොපෙන්වුවද ඇතුලතින් උග්‍ර රෝගී තත්වය මත හෙතෙම වෛද්‍ය උපදෙස් මත ‍ස්වකීය රැකියාවට සමුදෙන්නේය. ඒ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියකු වෙන එතුමාගේ සියළු කටයුතු කෙරෙන්නේ චන්ද්‍රානී රත්නායක මහත්මිය අතිනි. දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු කර ඔවුන් පාසැල් පිටත් කරහරිනා ඇය ඉනික්බිති තම දයාබර ස්වාමි පුරුෂයාව සෝදා කවා නිවසෙහි රඳවා තබා තම වෘත්තිය පිණිස නික්ම යන්නීය.

දහසක් සිසුන්ගේ රසභාවයන් කුළුගැන්වූ ගුරුපියෙකුට, එලෙස නිවසක දෑත් දෙපය නිසොල්මන්ව, සිය ප්‍රියයන් නැවත නිවසට එනතෙක්  තනිවීමට සිදුවීම දෛවයේ කුමණ සරදමක්ද? එහෙත් එබඳු මිනිසුන්ට දෛවය විසින්ම දේව දූතයින්, දූතිකාවන් සපයා දෙන්නේය. චන්ද්‍රානී රත්නායක මහත්මිය අවුරුදු දහහතක්ම වින්සන්ට් රත්නායකයන් සුරැකිව බලාකියාගනිමින් දූ දරුවනටද ඉහල අධ්‍යාපනයක් ලබා දෙමින් කල සටන, අප කිසිවෙකුටත් අනුමානවත් කල නොහැකි එකකි. දියණිය වෛද්‍යවරියක් ලෙසත් පුතණුවන් ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු ලෙසටත් සමාජයට දායද කල ඇගේ  භූමිකාව, අප රට මවුවරුන් අනාදිමත් කාලයක සිට නිහඬවම කරණා සේවයට කදිම සංකේතයකි. රත්නායක මහතාගේ සොයුරු සොයුරියන් චන්ද්‍රානී මැතිණියව තනි නොකරමින් ඇයට ශක්තියක් වී සිටීම ඇගේ ධෛර්‍යය වඩාත් වඩවන්නක් විය.

කොතෙකුත් නිර්මාණ කලද ඒවායේ පිටපතක් හෝ තමන් සන්තකයෙහි තබා නොගත් වින්සන්ට් රත්නායකයනට තම ගීත අවසානයේ අසන්නට වන්නේ ගුවන් විදුලියෙන් ඒවා ප්‍රචාරය කරවා ගනිමිනි. අභාවප්‍රාප්ත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අතින් ලියැවුණු , තමාම තනු නිමවා ගැයූ "බිඟු වැල රොන් සොයලා..." ගීතයට ඔහු ඉමහත් ලෙස ප්‍රිය කර ඇත. කුඩා කල මගේ සවන්ද පිනැවූ  ඒ ගීය, මා සිතෙහි  අනායාසයෙන්ම සටහන් වී ඇත්තේද ඒ නිර්මාණයේ අපූර්වත්වය නිසාම වන්නට ඇත. එක්දාස් නමසිය අනූහතේ දෙසැම්බර් දාහත් වනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ  නිර්මාණ අද ශ්‍රාවකයනට ඇසෙන්නට ප්‍රචාරයවන්නේ ඉතාම කලාතුරකිනි.

කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ දයාබර බිරිඳට ස්තූති වන්නට, අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම නිසංසල පරිසරයක පිහිටි රත්නායක නිවසේදී චන්ද්‍රානි මහත්මිය හමුවී මේ කරුණු දැන කියාගන්නට හැකිවිය. ඈ ඉතාමත්ම කරුණාවන්ත ගුරු මාතාවකි.

"වින්සන්ට් සර්ගෙ කටහඬ හැබෑවටම අහන්නට තිබ්බනම් කොච්චර හොඳද?" ඇයට සමුදීමට සුදානමින් මගේ මුවින් පිටවුණි.
"පුතාට ඒ කටහඬ තියනව, ඒත් එයා කියනව අඩුයි.." ඇගේ පිළිතුර විය.
අපිස් සතොස් ජීවිතගත කල රත්නායක යුවල යහපත් දරුවන් සමාජයට බිහිකර ඇති බවට ප්‍රත්‍යක්‍ෂය!


බිඟු වැල රොන් සොයලා
මල් ගොමු තුල සරලා
නැංවු ගී සරේ....
මගෙ සවන් තැලූ පෙලූ බඹර ගී සරේ.....

තුංමංසල අයිනේ
කිසිවෙකු නැති යාමේ
ඇගේ අඳුරු ලොවේ මාද අතරමං කලේ....
බිඳුනු ආදරේ.....

මිලිනව මද්දහනේ
රෑ පිබිදෙන දැහැනේ
මගේ සතුට ඇගේ කඳුල සමග මුසු කලේ...
බිඳුනු ආදරේ......


තුංමංසල ‍රැඳී සිටි ඇයගේ අඳුරු ලොවේ ඔබේ සතුට සොයා ගියද, ඇයද, බිඳුණු ආදරයක ලසොවින් තැවෙන්නියකි - ගීයෙහි අපූර්වත්වය විඳගන්න ඔබටත් ඇරයුම්!


bingu wala ron soyala
Read More!

රැය.... | සිව්කොණැ කළු වියන් මහරු එළා එන්නැ පියේ....

දඩයක්කාරයාට දඩයමට වඩා දඩයමේ යාම සතුටට කාරණයක් විය හැක.....
-----------------------------------------------------------------------------------------------------------------------

ගොම්මන් කළුවර හාත්පස වෙලාගත් පසු දැනෙනා පාළුව විටෙක උහුලාගනු නොහැකිය. ගණඳුර මතක් කරදෙන්නේ අනිත්‍යයද? අනිත්‍යය මතක් කර ගැනීමට අඳුර නිමිත්තක්ද? හෙන්රි කල්දේරාගේ ගීයක මෙලෙස ගැයේ "ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා". අප්පච්චී මිය ගිය දා පටන් අම්මාගේ ලොවට හිරු පායන්නේම නැති සැටියකි. කෑමට ලුණු තුනපහ එකතු කරත්දීත්, පිගන් සෝදත්දීත් ඇ පිටි අල්ලෙන් කඳුලු පිසගනී. ඈ හා මීට වඩා වැඩි කාලයක් මට ගත කිරීමට ඇත්නම් කොපමණ හොඳද? අඳුරත් ආලෝකයත් අතර දෝලනය වන දවස් අතරට කඩා වැදුණු වගකීම් මා එයින් මුදවා තබයි. හුරු පුරුදු වේදනා නාශකය වන ගීතයකට සවන් දීමට සුදුසුම වේලාවකි.......

රැයේ සොඳුරු ‍රැයේ - ‍රැයේ
සිහිල් සුමුදු පියේ - පියේ

නිවා ගිමන කයේ - කයේ
දෙන්න සිහිල ලයේ - ලයේ


"භාවනාවක් වාගේ ගීයක් නේද?" අම්මාගේ අවධානය පැහැර ගන්නට පවා ඒ සමත්ය.

දිවා පුරා තැවුල් වඩා දිනිඳු අව‍රැ ගියේ - ගියේ
වෙළා දුවන මෙදුක් ‍රැසින් මිදුම් පතමු ‍රැයේ - ‍රැයේ


ගීයේ පෙල එකින් එකෙහි සිත පටලැවෙන කල ලිහා ගත නොවුණු පද කිහිපයකි. අයිවෝ ඩෙනිස්ගේ කටහඬත් කුමරතුඟු බසත් පටලැවිල්ල ලිහාගැනීමට උදව් නොදේ. අයිවෝ ඩෙනිස් මහතාගෙන් පුද්ගලිකව විමසූ මුත් හරි අදහසක් නොලැබුනි. එහෙත් ගීය ලියා ඇත්තේ විශ්ව විද්‍යාල වල උගැන්මේ නිරත ඥානසිරි ගුණරත්න නම් මහතෙකැයි ඔත්තුවක් මා අත පත්කලේය.

වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ - ලයේ
සදා එන්නැ නවමු මිහිර පවන් පහස ‍රැයේ..... පවන් පහස ‍රැයේ.......


ජයවර්ධනපුර සරසවිය ප්‍රියංකර තැනකි. වචනාර්ථයෙන්ම සරසවියකි. ඒ මගේ තක්සේරුවයි. කිහිප වතාවක්ම ආගන්තුකයෙක් ලෙස එහි ආ ගිය මට ඒ ගිය කාරියන් කරගන්නට මග පෙන්වූයේ සිසු දරුවන්ය. කුමන හෝ හේතුවක් නිසා ඒ දරුවන් මට බෙහෙවින් කරුණික විය. තමන් යෙදී සිටි ගමන් බිමන් පසෙක ලා මගේ වුවමනාව ඉ‍ටු කර දෙන්නට ඔවුන් උත්සුක විය. එහි පා තැබූ මට මේ විදුදය සරසවිය, විටෙක දරුණු ලෙස කලබල ඇතිවන තැනක් යැයි  කිසිවිටෙකත් හැඟී නොමැත.

නිදි දිවඳුන් දරා අතින් කළු තු‍රඟුන් රියේ - රියේ
මුදු සිහිලස් පවන් ‍රැළිමැ නගා එන්නැ ‍රැයේ - ‍රැයේ


මා ගියේ මහැදුරු සුනිල් ආරියරත්නයන් හමුවන්නටය. අවාසනාවකි! ඔහු එදින පැමිණ නැත. සිංහල අධ්‍යයන අංශයේ දොර ලෑලි වල ඇති නාම පුවරු කියවමින් ලතැවෙනවා දු‍ටු කාර්‍යාල සේවිකාවක මා ආ කාරිය විමසා ඇදුරු රත්නසිරි අරංගලයන් වෙත යොමු කරවූවාය. එතුමා බොහෝ කාර්‍ය බහුලව තිබෙද්දීද මගේ කාරිය සාවධානව අසා ඔහුගේ අර්ථ දැක්වීම ලබා දුනි.
දඩයක්කාරයා තවම තෘප්තිමත් නැත!!

රෑ කුමාරි නවපුල් මල් සුවඳ දිදී දියේ - දියේ
සිව්කොණැ කළු වියන් මහරු එළා එන්නැ පියේ..... එළා එන්නැ පියේ.....


සුමංගල ශාලාවේ සිට ආපසු එන මග මිටි තාප්පයේ වම්පසින් පොත් ලැල්ලකි! කෙටි තාප්පය පනින්නට දඩයක්කාරයාව දෛවය විසින් තල්ලු කරන ලදී!
පොත් ලෑල්ලෙහි මූලිකව ඇත්තේ 'සංස්කෘති' සඟරාය. "අපේ පොත් කිහිපයක් අරන් අනුග්‍රහය දක්වන්න" කියමින් පොත් විකිණූ තරුණයින් දෙදෙනාට කථා කරන්නට ඉඩක් නොතබාම දැක හුරු පුරුදු මහත්මයෙක් ඉදිරියට ආවේය... " මහත්තයව දැකල පුරුදුයි මට හොඳට..." මම කීවෙමි. " මම ජයන්ත අරවින්ද.... ඔයා මොන ෆැකල්ටියෙද?" තැනින් තැන පැසී තිබෙන මගේ හිස කෙස් ඔහු නොදකින්නට ඇති!

රුදා දැවිළි සියොලඟ සෙද පෙළා නගී ‍රැයේ - ‍රැයේ
සරා නුව‍රැ ලැගුම් රිසින් ආ ඔබ වෙතැ පියේ - පියේ


පොත් පත් ‍තෝරනා අතරතුර මා මෙහි ආ කාරිය ඔහු මගෙන් විමැසීය.
"ඥානසිරි ගුණරත්න මහත්තය අපේ සංගමයේ සාමාජිකයෙක්නේ. මේ තියෙන්නේ එයාගේ විස්තර"
ගමන පිටත්වන්නට ඇත්තේ හොඳ නැකතකිනි!
"අපිත් එක්ක එකටම තමා විශ්ව විද්‍යාලයෙ හිටියේ - අපි කීවේ ප්ලේටෝ කියල - ඒ මොකද මේ ලෝකේ ඒවා නෙමේ එයාට කල්පනා වෙන්නේ"
ජයන්ත අරවින්දයන් මගේ දඩමග එළි පෙහෙලි කරයි! 

එලා පවන් සිහිළැල් මුදු වහා ගතේ ලයේ - ලයේ
නිවා නුවන් නිදි මී බිඳු වෙහෙස කඩා ‍රැයේ...... වෙහෙස කඩා ‍රැයේ......

 
----------------------------------------------------------------------------------------------------------------------

මා එනතුරු ඔහු පාර අද්දරට වී බලා සිටියේය. මුලින් දුරකථනයෙන් කථා කල විට " මගේ මළකුණ බලන්නද එන්න අහන්නේ " යැයි සෝපහාසයෙන් ඇසුවද මගේ බලවත් ඇවටිල්ල මත මා හමුවීමට එකඟ විය.

අරවින්ද මහතා  කීවා හරිය. හේ ග්‍රීක, ලතින්, ඉංග්‍රීසි, පාළි හා සිංහල වියතෙකි. "ඕක ලීවේ විජිරාරාම පන්සලේ බංකුවක් උඩ තියාන" හේ කථාව අරඹයි. "Marlowe  ගේ  Charioteers of the Night  කියන කවියේ ඡායාවක් අනුව තමා ඕක ලීවේ". තනිකඩ ඔහුගේ කාමරයේ කදිම බළල් සුරතුලුන් කිහිප දෙනෙකි. "කවි ලියල ලියල අවුල් යයි කියල අම්ම මගෙ කවි පොත් ඔක්කොම පිච්චුවා. ඉතිරි වුණේ ඕකයි 'සට සට වැහි බිඳු වැස්ස වලාවේ' (සුනිල් ශාන්ත) ගීයයි විතරයි. ඒ දෙක නැත්නම් මම කියල කෙනෙකුත් නෑ අද" හේ කුඩා ළමයෙක් සේ සිනාසෙයි.

" ඔයා අමරදේව ගැන මොකද හිතන්නේ..." මා ගියේ ඔහුගෙන් වත ගොත දැන ගන්නටය, හේ මා පිරික්සයි. "කැමතිම කවියා කවුද?" මේ ඔහුගේ ඊලඟ ප්‍රස්නයයි. මහත්වූ ග්‍රීක ලතින් පාලි ඉංග්‍රීසි පොත් සම්භාරයක් ඔහු සතුය. ඒවා අපිළිවෙලට රාක්ක වල අසුරා තිබිණ. "මේවා පිළිවෙලක් කරගන්න ගුණරත්න මහත්තයට හිතෙන්නේ නැද්ද?"  "ඔන්න ඔහෙ තිබිච්චාවේ" තෘෂ්ණාවෙන් විනිර්මුක්ත පිළිතුරෙකි. " සමහර පොත් මම එංගලන්තෙන් ඕඩර් කරල ගෙන්න්න ගත්තු ඒවා - ඒ කාලේ දෙදාස් පන්සීයක් විතර වුණා සමහර ඒවා".

සුනිල් ශාන්ත ගැන ඔහුට ඇත්තේ ඉමහත් පහන් හැඟුමකි. "සුනිල් ශාන්තගෙ ආරය ගෙනියන්න කවුරුවත් ඉතිරි වුනේ නෑනේ" දුක් වෙයි! "මේ බළල්ලු මෙහෙම හිටියට වෙලාවකට මට කේන්තියි. මේ පොත් අස්සේ හිටි මම ඇති කරාපු හූනෝ ඔක්කොම කැවනේ" ඉන්පසු රොස් මුහුණෙකි! "ඔයා  චීනෙ ගැන හිතන්නේ මොකද?" නැවතත් විමසුමෙකි!

ඔහු මට ලබා දී තිබූ පැය තුල අපි බොහෝ දේ කථා කෙරුවෙමු. සැත්තෑවිය පසු කර ඇති ඔහු කු‍ටුම්බ රක්ෂණය, දරුවන් උස් මහත් කිරීම, කාම සම්භෝගය වැනි මාතෘකා පිළිබඳව අපූරු අදහස් ඇත්තෙකි. "ඔය සින්දුව සැහෙන කාලෙකින් අහුවෙ නෑ.." කෝකටත් කියා ‍රැගෙන ගිය පරිගණකය පණගන්වා ඔහුගේ ගීය ඔහුටම ඇසෙන්නට සැලැස්වීමි!!

Read More!

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්....

බැළලිය තැඹිලි ගහ වටා තිබූ පස් කන්දට බර දී ඇලවුනාය. කලින් දින රාත්‍රී පැටව් තිදෙනෙක් බිහිකල ඈ තාප්පයක් මතින් යාමට හෝ ගොස්, බඩ මැදින්ම දරුණු තුවාලයක් ඇතිකරගෙන සිටියාය. පැලුණු තැනින් බඩවැල් කොටස් එළියට ඇදෙමින් තිබිණ. ඉතා අමාරුවෙන් මාත් අප්පච්චීත් විසින් පෝර බෑගයකට රුවා ගත් බැළලිය, මාත් අපේ ගෙදර ඇත්තනුත් විසින් පශු වෛද්‍යවරයකු වෙත ගෙන ගියෙමු.

කාරුණික වෛද්‍යවරයා ඇයව සිහි නැති කොට, පරිස්සමින් පැලුණු තැන එක්කොට මසා, කෑමට දමා දෙන්නට යැයි බෙහෙත්ද නියම කලේය. පැටවුන්ගෙන් ටික දිනකට වෙන් කර තබන ලෙස උපදෙස් ලැබුණේ බෙහෙත් වල සැර නිසා විය හැක. අප ගෙදර ආවේ දිනක් වියැති අසරණ පැටවුන් තිදෙන බලාගන්නේ කෙළෙසකදැයි කල්පනා කරමිනි.

එවකට දෙවැනි දරුවා කුසට විත් ගෙදර ඇත්තන්ට මාස තුන හතරක් වන්නට ඇත. ලොකු දරුවා නාවන්නට ඇගේ පියා සාදවා දෙන ලද බංකුව කුස්සිය මුල්ලේ තියා වාඩිගත් ඈ, දියකර පිටිකිරි බඳුනක් සාදා කුඩා පහන් තිරයකින් වරකට එකා බැගින් ගෙන අර කුඩා පැටවුන්ට පෙවීය. දිනකට කිහිප වරක් බැගින් කල මේ කාරිය නිමවූයේ බැළලිය තරමක් සුවපත් වී කිරි දෙන්නට සුදුසු තත්වයට පැමිණුනු පසුවයි. ඉල්ලා හෝ කතාකොට කෑම ඉල්විය නොහැකි අසරණ සතුන්ට කෑම බීම ලබාදීම, ආත්ම සියයක් ආයු, වර්ණ, සැප, බල, ලැබෙන්නට හේතු වන බව "දක්ඛිණ විභංග" සූත්‍ර විග්‍රහයකදී මා අසා ඇත.

තම දෑතින් ඉතා අලංකාර ලෙස නිම කල සිවුරු ද්වය තෙවරක්ම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ප්‍රජාපතී ගෝතමිය බෙහෙවින් දුක්වූවාය. එම සිවුරු සංඝයා වහන්සේලා වෙත පූජා කල මැනවැයි වදාලේ, දානය වුවද ඇල්මක් හරහා සිදු නොකල මනා නිසා විය හැක. කිරිමවුන් ලෙස සිදුහත් කුමරා ‍රැක බලා ගත් අයුරු මෙනෙහි කරමින් ආනන්ද හිමියන් කල ඇවිටිල්ල නිසා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් "දක්ඛිණ විභංග" සූත්‍රය දේශනා කල බව ප්‍රකටය. සිදුහත් කුමරාට පස් දිනක් බාල වූද, තම කුසින් වැදුවාවූද,  නන්ද කුමරුවන් කිරි මවුන්ට භාර දී, තමන්ගේම දරුවා සේ සිදුහත් කුමරුන් ‍රැක බලාගත් ප්‍රජාපතී ගෝතමිය අවසානයේ බුද්ධ ශාසනයේ පළමු භික්ෂූණී උපසම්පදා පදවියෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වූවාය. අෂ්ට ගරුධර්ම පිලිගනිමැයි ප්‍රතිඥා දුන් පසු, ඇය ඒ ලැබුයේද සිදුහත් කුමරුන්ගේ කිරිමවුන් වූ පිනින්ම නොව, සෝතාපන්න වී සිටියද, යොදුන් ගනන් දුර ගෙවා ඉදිමුණු පාදයෙන්, දූවිලි වැකුණු දෙපයින් විත් කල ඉල්ලීම් දෙවරක්ම ප්‍රතික්ෂේප වුණු නිසා දොම්නස්ව කඳුලැල් සලා ඉදිමුණු දෑසින්ද යුතුව කල උත්සාහයන් නිසාය.

තම කුසෙන් වැදූ දරුවන් නොවූවාට දරුවන් කෙරෙහි වූ මහත්ම ආදරයෙන් දරුවන් රකිනා මව් වරුන්ද, ඔවුනට සෙනෙහසින් හරි මග කියාදී සිප් සතර බෙදා දෙන ගුරු මවුන්ද මා සිහිපත් කරන්නේ අප්‍රමාණ භක්තියකිනි. කුසල අකුසල කර්මයන් හෝ වෙන අන් යම් හේතුවක් නිසා උපතින් කායික හෝ මානසික වශයෙන් වෙනස් දරුවන් කිසිත් අඩුවක් නොකොට සිය ශක්ති ප්‍රමාණයෙන් ‍රැක ගන්නා මව්වරුන්  ගැන පුවත් පත් වාර්ථා තුලද, දන්නා අඳුනන මිනිසුන් අතරද දුලබ නොවේ. මේ කාරිය කොතරම් නම් දුෂ්කරද? එමෙන්ම ඒ කොපමණ ශ්‍රේෂ්ඨද? එය දයාර්ද්‍ර වූ ස්නේහයයෙන් පිරි සිතකටම කල හැකි කාරියක්ම බව පමණක් දකිමි. අවසන් විනිශ්චයේදී ගෲෂා දරුවා අතහැරියේද දරුවාටම ආදරයෙනි.

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්
කිරි සයුරට කල ගුණ පිදුණේයා
  ප්‍රජාපතී මාතා දුන් සෙවණට
  මෙසඳ එමව් බුදු පුත් සෙවණේයා

මිණිමුතු මිරිවැඩි සළුපිළි බරණින්
එසඳ එමව් කුමරුන් සරසායා
  උතුම් මෙතුන් ලොව කසාවතින් යළි
  මෙසඳ එපුත් කිරි මව් සරසායා

සුමියුරු තෙපුලින් නැළවිලි කවකින්
එසඳ එමව් තම පුත් නලවායා
  මෙසඳ එමව්හට බුදුබණ පදයෙන්
  නිවන්පුරේ රන්දොර හැරුණේයා




bilindu muwin maw
සොයාගන්නට ඉතා අපහසු ගීතයක් වූ මෙය සොයා, සුමට ලෙස කැසට් පටියෙන් ඩිජිටල් තාක්ෂණයට නගා, අප හා බෙදා හදා ගත් ආචාර්‍ය නිමල් රත්නායක මහතාට ගෞරව පූර්වක ස්තූතිය.
Read More!

කැන්දන් යන්නේ කවදද මා.....!

කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින්  සීරුවට අතගෑවේ මහා බැ‍රැරුම් කථාවක් කීමටය...

ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් නිමූන් මු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.

දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.

උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?

යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....

සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

අනුලා බුලත්සිංහල

එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?

රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....

රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....

විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා

හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....

අමරදේව - චන්ද්‍රිකා

විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පි‍ටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.

අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි - 
අලුත ගෙනා මනමාලී....

නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම  නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි - 
අලුත ගෙනා මනමාලී....

පුංචි මාම නැගී සිටිමින් - අවවාද ‍රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි - 
අලුත ගෙනා මනමාලී....

නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති - 
අලුත ගෙනා මනමාලී...

රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ

බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, ‍තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ  ජීවිතයයි...

කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතු‍ටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්

මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දු‍ටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ

පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී

රංජනී පෙරේරා
Read More!

මොහොතකට සැප ලෙසට පෙනෙනා...

සෑහෙන කලක් මගහැරී තිබූ ඡායාරූප දෙස ඇල්බමයෙහි පිටු එකින් එක පෙරළමින් හේ බලා සිටියේ  කුඩා දරුවෙකු මෙනි....
"මේං මේ පින්තූරය මට දෙනවද?"
හදිසි ප්‍රස්නයෙන් ඈ කළබල වූයේ නැත....
       "ඇයි මම ලස්සනද ඒකේ...? ම්ම්ම්... හොඳයි මම එවන්නම්කො හිමින් සැරේ..."

"කෝ අරක...?" නොඉවසිලිමත් සිතකට සතියක් දෙකක් මහ කාලයකි
       "නෑ මං ඒත් මේ කල්පනා කලේ........."
"කල්පනා කරන්න කීවේ නැහැනේ.... පින්තූරේ එවන්නනේ කීවේ"
      "නෑ ඉතින්... ඕක එවන්න කියල ඇල්බම් එක අතට ගත්ත වෙලාවේ මමත් මගෙ පින්තූර ටික පොඩි කාලෙම ඉඳල එක පෙළට තියල බැලුවා....."
මේ පඳුර වටේ තැලීම් ඔහුට ඉහිලුම් නොදේ... "මොන විකාරයක් කියවනවද...!!!" නොරිස්සුමට විවේකයක් නැත....

     "නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න හැටි.... ඔය ඉල්ලපු පින්තූරේ ඉන්න මම නෙමේනෙ ඉතින් දැන් මේ ඉන්නේ... 'ඒ මම' ආයේ කවමදාවත් ඉතින් ඔයාට හම්බ වෙන එකක් නෑ..."

සංවාද මාධ්‍යය විසන්දි කිරීමට තරම් බලවත් ආවේග සිතක් පහලවුවද ඒ පිළිතුරෙහි ගැබ්ව ඇති අසුභ සංඥාව තේරුම් ගැනීමට ඔහුට යාන්තමින් හැකියාවක් තිබුණි
අසාමාන්‍ය නිහැඬියාව ඇයටද ප්‍රස්නයකි... " නැද්ද හොඳයි.....??"
"ඔව්... ඒකත් හරි....."
     "නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන දෙයක් කීවේ..."
"එක්කෝ එපා එහෙමනම්...."
කොයිකටත් සිනහ තලන ඈ "ඉතින් ආයේ තරහ ගියාද...?" අහන්නේද සිනහ තලමිනි....
සිනහවට යටින්, අනෙකා සියුම් උගුලක හසුකර, කෙලෙස් තැවීමට තරම් ඒ සිත ප්‍රඥාවන්තය..

දමනය වූ අනෙක් සිත ඉනික්බිති ඒ සිනාවෙන් කෝප නොවිණි....
ඡායාරූපයද කවදාවත්ම හුවමාරු නොවිණි.....


යා දෙකය රත නොරත - පෑහීම නැත එකට
මායාව ලුහු බඳිනු පමණා....
මායාව ලුහු බඳිනු පමණා....

ජීවිතයෙ මරු කතර - තොප සොයන සැප නොමැත
මොහොතකට සැප ලෙසට පෙනෙනා....
මිරිඟුවෙහි මායාව පමණා....

ඡායාව ලෙස නොහැර - ලුහු බඳින කෙලෙසුනට
නැත එයින කිසිම පිළිසරණා....
එපමණය, මිණි කඳුලු නගනා...

මග නොදැන ගණඳුරෙහි - යන ක‍ටුක මෙම ගමන
නතර වෙද කොයි ලෙසක කෙදිනා...
නැත තවම තොප විසින හැඳිනා....


yaa dekaya noratha ratha
Read More!

වැහි පොද වැටිලා බිම් මල් පිපිලා....

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ...

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ....



wahi poda watila bim mal pipila
Read More!
 
Blogger Wordpress Gadgets