සැක හැර බලමි කෙසේ...

රඟහලේ රත් පැහැ තිරය සෙමින් වැසුනේ ගුරුවරු, දෙමාපිය, ආදි සිසුවන්ගේ ඔල්වරසන්, රිද්මයානුකූලව ඉහල නංවමින් පමණක්ම නොවේ. රෝමියෝවත් ජුලියට්වත් තිරයෙන් මෙපිට රඳවමිනි. ඈ මෙපමන දක්ෂ නිරූපණයක් කරාවියැයි පාසැලේදී නාට්‍ය පුහුණුවීම් කල කිසි දිනක ඔහුට හැඟුණේ නැත. ශේක්ස්පියර්, නාට්‍ය පිටපත මේ ජවනිකාවෙන් අවසන් කිරීම ගැන ඔහු සිතෙහි ප්‍රථම වරට නුරුස්ණා හැඟීමක් පහල විණි.

"ෂහ් දෙන්නා අපූරුවට කලා ඈ ෆයිනල් සීන් එක..!!"

නාට්‍ය සංගමය භාර තරුණ ආචාර්‍යවරිය තමාව වැළද ගත්තේ උසස් පෙල හදාරන තරුණ සිසුවෙකුද බව නොසලකාය. ඔහුගේ සිත ඒ වනවිට ඒ සුපැතුම් පිළිගැනීමට සුදුසු තත්වයක නොතිබිණි. ඈ සෙමින් සෙමින් නේපත්‍යාගාරය දෙසට ඇදෙනු බලා සිටි හෙතෙම සියල්ලටම හොරා නේපත්‍යාගාරයට පිවිස තමනට පිටුපසින් වමතින් දොරවසාලූයේ සුරතින් නාට්‍යයට ගෙන ආ රතු රෝස මලද ඇතිවය. මේ දැන් මොහොතකට පෙර තමාගේ ලයමත අවසන් හුස්ම හෙලූ ජූලියට්, නැවතත් ඉපැදී තමා දෙස තිගැස්සී බලා සිටී. මේ වතාවේ නම් පමා විය නොහැක. රෝස මලේ පෙති යන්තමින්වත් නොපෙලන්නට හේ මැනැවින් වගබලාගති...

කාලය ඉගිලුනේ සැන්දෑ වලා අතරද, අතොරක් නැතිව වෙරළ සිපගන්නා රළ අතරද, වේගයෙන් චලනය වන රිදී තිරයක කථා වස්තුවකදැයි නිනව්වක් නොවිනි. පාසැලෙන් නික්මයාමට තමන්ට කාලය එළැඹී තිබුණද ඔහුට ඈ පාසැල් ගමන හමාර කරන තුරු බලාසිටිය යුතු විය. සංචාරක අමාත්‍යාංශය විසින් මෙහෙයැවූ පාඨමාලාවකට බද්ධවීමත් සමගම වූයේ ඔහුගේ නිදහස සීමා වීම පමණක්ම නොවේ. සයමස් පාඨමාලාවෙන් පසු ලැබුණු ගුවන් සමාගමක බෙහෙවින්ම කාර්‍යබහුල රැකියාවේදී දිනපතා මුණැගැසුණු ජුලියට්ගේ රූ සිරි පරදවන අඟනන්, අවසානයේදී රෝමියෝගේ භූමිකාව නොව නන්ද කුමාරයාගේ භූමිකාවද හිමිකලේය. ඈ මේ සියල්ල උපෙක්ෂා සහගතව ඉවසනබව ඔහුගේ යටිසිත දැනසිටියේය. එහෙත් මේ වර ඈ තීරණයක් ගත්තාය. වෙන්වූ තැන් කරා ආයේමත් පැමිණීමක් නැතිවම දෙදෙනා දෙඅතක ඇදිණි. එහෙත් හදේ කුඩා හෝ ඉඩක් ඇති තැනක ඈ ස්ථිරවම ලැගුම් ගෙන ඇති බව ඔහුට විශ්වාසය...

රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී
යුවතිය ඔබ වට රතුමල් අතරින් ඔබෙ රුව සම අන්රුවක් මැවේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

කොපුල් තලා රත් ලවන් පියන් පත් - බියපත් දෙනුවන් සිහිපත් වේ
ඉවසුම් නැති නෙත් සිත හා සසලයි - යටැසින් ඔබ දෙස බලනු කෙසේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

නෙත් කොණ ගැටෙනා ඔබෙ මුව මඬලින් අන් මුව මඬලක් සිහිපත් වේ
යටැසින් බැලු කල සඳ මගෙ නෙත් රකිනා බිරිඳ බලයි රතු මල් වියැළේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ


Read More!

කුමරු තම අසුගෙ පිට නැංගා...

යාකොෆ් පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය (පරි. දදිගම වි. රුද්‍රිගු) අශ්වාදනීය පොතකි. කුඩා කල කියවන්ට ලැබෙතොත් ගණිතයෙහි රස අපූරුවට විඳගත හැක. ගණිත හැකියාවනුත් සාහිත හැකියාවනුත් එකවිට කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි. අද ඒ ලියැවිලි කියවන විට, ඒවායේ සැඟව ඇති කොමියුනිස්ට් දැක්මත්, උත්ප්‍රාසයත් අපූරුවට දැකිය හැක. අප රට වුවද ලුණු ඇඹුල් ඇති හරවත් සභා ඇමැතීම් අදද සිදුවන්නේ වාමාංශික වේදිකාවලය. පෙරෙල්මාන්ගේ උත්ප්‍රාසය කොපමණ දුර දිග යන්නේද කිවහොත් හේ ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ ලෝක විනාශ කථාවේ විස්තරය ගණිත කර්ම වලින් විස්තර කරන්නට යයි. මෙපමණක් උස වර්ෂාපතනයකට අවශ්‍ය ජල පරිමාවද, මෙපමණක් සතුන් එකලස් කිරීමට ඇවැසි නැවේ පරිමාවද හේ ගණනය කරයි! නිගමන වලටද එළැඹෙයි! පන්සිය පනස් ජාතක කථාද, සස ජාතකයෙන් පටන් ගෙන පතුරු ගසන්නෝද දුලබ නොවේ.

"ගහකාරක දිට්ඨෝසී.." දැක්මක් ලබා ගැනීමට ගිය සිදුහත් කුමරුට අබිනික්මණට උදව් වූ දෙදෙනෙකි! ඡන්න ඇමැත්තාත්, කන්ථක නම් අශ්වයාත්ය. මිනිසත් බව ලැබූවද, බෝසත් ඇසුර ලැබූවද, වීර්‍යය අමතක කොට "පිළිගන්න මම චන්න ඇමතී වෙමී - මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමී" කිය කියා ඉඳිමින් අගසව්වන් දෙස ඊර්ෂ්‍යාවෙන් බැලූ නිසා ජන්න ඇමැත්තාට බුදුන් වහන්සේගෙන්ම බ්‍රහ්ම දණ්ඩනයට ලක්වන්නට සිදුවිය. තිරිසනෙක් [තිරස් කොඳු ඇටපෙලක් ඇති] වුවද කන්ථක අස්වයා වීර්‍යයේ සංකේතයකි. පෙරෙල්මාන් ගණනය කරනා ලෙසට අශ්වයෙකුට දෙදෙනෙක් රැගෙන රියන් අටසීයක් (පූජාවලි විස්තර කථා) පළල ගංගාවක් තරණය කරන්නේ කෙලෙසදැයි අසන්නෝ එමටය. විමාන වත්ථු කථාවල තව්තිසාවේ දෙවියෙක්ව ඉපැදුණු කන්ථක අසු, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අසා නිවන් දුටු කථාවක් ඇතියයිද කියැවේ.

අශ්වයා බැලීමට පිරිය උපදවන සතෙකි. හස්තීන්, සිංහයන් ලෙස තේජස් නොවූවද ජාවධිකය. ඇවැසි නම් ඌට ලතාවකට මදවේගයෙන් වුවද ගමනේ යෙදිය හැකිය. තුරඟා වන්නම නමින් සිංහල වන්නමක් ඇති අතර එහි තුංග ලතාව අපූරුවට ප්‍රතිනිර්මාණය වී ඇත. සිරිතුංග, වීරතුංග, වික්‍රමතුංග, ජයතුංග හෝ මනතුංග අසුන්ට නෑකම් නොකියූවද ශ්‍රීමත් ජේම්ස් පීරිස් පුත් දේවාර් සුර්‍යසේන, සටන් බිමට වන් මංගල තුරඟාගේ ගමන් විලාසය අනුව යන තුරඟා වන්නම කදිමට ගයයි..

සත් වෙත් මහත් අදර - ලත් යුත් සිදත් කුමරු - ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන - කන්ථකය අසු ගෙනෙන - ගෙන එදුන අසුගෙ පිට නැංගා

ගත් ගත් පයත් අසුගෙ - සබ්දත් වසත් සුරිඳු - යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන - එතැන තැන පසුව දැන - ගංතෙරට පත්වුණිය එමගා

ලත් ලත් සිතත් තිදෙන - වෙත් වෙත් එකත් පසුව - මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන - චන්න වල්ගය අතින - පැන්නෙන් එතෙර අනොම ගංගා

ගොත් සිත් මහත් රුසිරු - ලත් යුත් සිදත් කුමරු - ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින - එතෙද අණ ගෙන බැතින - යෙදුව නැණ වර්ණයෙන තුරඟා



මේ ගමනට පසුපසින් සිටිමින් උරදෙන්නන්ද සිටිති. 'ගත් ගත් පයත් අසුගෙ ශබ්දත් වසත් සුරිඳු' ලෙසින් අස්ව කුර සන් කිසිවෙකුට නොනෑසෙන්නට සක්‍රදෙවියන් වගබලා ගනී.

සිංහල ගී කෙතට මුලින්ම (1972) ගීයක් රචනා කරන බොදු යතිවරයානන් වන වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි, අතීත කලාකරුවනට නොදෙවෙනි නිර්මාණයක් පද බඳිති. තුරඟා වන්නම ලෙසින්ම සුලු මැදුම් දෙතිතෙන් එයට තනු යොදා ගයන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරිය.

සිත් නෙත් මහත් තදින - ගත් ගත් ගමන් බඳින - සත් වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන - අදිටනින් හද පිරුණ - කුමරු තම අසුගෙ පිට නැංගා

කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
ලංවෙමින ගංතෙරට - ඉන් සැනින පැන මෙපිට - සන් බිඳී පසෙකලා හංගා

කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
රන් කගින කෙස් කළඹ - කපා අහසට දමා - සන්තොසින ගති පැවැදි අංගා


මේ නිර්මාණයන් දෙකම එකිනෙකට නොදෙවෙනි ලෙස මා සිත් පිනවයි. එහෙත් පෙරෙල්මාන්ට මෙන් එය මෙතෙකැයි කීමට මට නොහැකි නිසා ඒ ගැන ඔබට තක්සේරුවක් දීමට නොහැක!!
Read More!
 
Blogger Wordpress Gadgets