බලන්නෙපා යුග නුවන් විදා...

සපුතන්ත්‍රි මහත්තය බාස්කින් රොබින්ස් එකේ අයිස්ක්‍රීම් එකක් තොලගගා හිටිය... ලඟ උන්නු තරුණිය හැසිරුණු දඟකාර විලාසෙන් පලකලේ බොහොම යෞවන ගතියක්... උරිසට වැ‍ටුණු කෙස් වැටිය දෙපැත්තටම ගස්සන ඇය එතනින් මෑත්වෙලා ලී වැටගාවට ගියේ සපුතන්ත්‍රී මහත්තය ලඟ හිටියොත් බැහැගෙන යන ඉර ඔහුට මුවාවෙලා නොපෙනී යන හින්ද...

"මල්ලී....????? මේ කොහෙ හක්කලං කරනවද ?"

සපුතන්ත්‍රී මහත්තය බොහෝවිට හැමෝටම වාගේ කථා කලේ 'පුතා' නැත්නම් 'මල්ලී' කියල - සමකාලීන්ටයත් එහෙම කියන්නේ උපහාසෙටත් එක්ක... තමන් උගත් විෂය ධාරාවේ බොහොම දක්ෂ කමක් පෙන්නපු හින්ද සමකාලීන සගයන්ව උපහාසයට ලක්කරල දෙකේ කොළේට දාල කථාකරන්න ඒක ආයුධයක් කරගත්තද මන්ද කියලත් හිතෙනව... ඒත් කවදාවත් ඒ ස්වරයේ නම් අපහාසයක් ගැබ්වෙලා තිබ්බේ නෑ... මූණ පුරා විහිදිච්ච ‍රැවුළ මූණට එක්කකලේ හරිම කරුණාවන්ත ගතියක් - අනෙක් අතින් කෙස් බොහොමයක් අඩුවුණ හිසේ අඩු පාඩුව ඒ ‍රැවුළෙන් මකා දැම්මා...

සපුතන්ත්‍රී මහත්තය නිවාඩුවකට ඇවිත්... ලෝකේ වටේ සංචාරය කරන ගමන් තාවකාලික නැවතුමක්..  ඒ වෙනකොට සපුතන්ත්‍රී මහත්තය රටවල් බර ගනනකට රස්සාවල් වලටයි සංචාරයටයි ගොහිල්ල ඇවිල්ල තිබුණ වෙන්න ඕනේ...

"අපි මේ යාලුවෙක් එනකල් ඉන්නව... පහට මෙතැනට එනව කීවට පැයක් දෙකක් පරක්කු වෙනව කියල කෝල් එකක් ආව... ඉතින් පු‍තෝ සැප දුක කොහොමද - කමුද අයිස් කිරිමක්?"

පිටුපස සාක්කුවට අතදාල පසුම්බිය එළියට අදින ගමන් අහනව ඒ පාර.... හැමදාමත් ඔහුගේ ඒ පසුම්බිය පිරිල තිබ්බේ, අමාරුකම් තිබ්බ මිනිස්සුන්ට බොහොම කරුණාවෙන් අත දිගඇරල සලකපු හින්ද වෙන්නැති... මැද පෙරදිග සෑහෙන කාලයක් රාජකාරී කල ඔහු ලංකාවේ මිනිස්සු බොහොමයකට ‍රැකියා සඳහා ඉඩ කඩ සලකල දුන්න... කාලෙත් එක්ක බලනකොට ඒ කාලේ ‍රැකියා ඒජන්සියකට වඩා මිනිස්සු මයේ හිතේ සපුතන්ත්‍රී මහත්තය එක්කන් ගිහින් තියනව, යවල තියනව... ඒ විතරක් යෑ... ආපු ගමන් කරකෝල අතැරියා වාගේ වෙන වහන්සේලාව, ටික දොහක් යනකල් බලාගන්න එකත් කරනව...

"මොකද මිනිහෝ...? ආ මට අමතක වුණා... තමුසෙගේ කෑම බීම ඉතින් අමුතු පිළිවෙලක් නේ...."

ඒත් අයිස් කිරීම් වලට වඩා කුතුහලය අවිස්සිලා තිබ්බේ, අර දඟකරන කොණ්ඩේ නිසා... සපුතන්ත්‍රී මහත්තයගේ උරිස්සට උඩින් සීරු මාරු වුණු කලු ඉංගිරියාව නිමේශයකට වඩා එක ප්‍රමාණයෙන්ම තිබ්බ කියල ඔහුගේ තියුණු දැසට අහුවුණා...

"මොකද....???? ඉරිසියද....?"

සපුතන්ත්‍රි මහත්තය ඒ කාලේ ඔය වාගේ මාතෘකා වලට බැස්සේ නෑ මෙහෙම...

"මල්ලී මේ...තාම මගේ ඇස් හොඳට පේනව හරි... මේ රස්සාව කරන්න බෑ ඇස් පේන්නේ නැතුව..."

අර සුපුරුදු උපහාසය තාම තියනව.... කළු ඉංගිරියාව ශ්‍රෙක් එකේ පූසගේ ගාණට ලොකු නොවුණත් ඒකේ තිවුණු වරදකාරී හැඟීම ඔහුට තේරුණා...

"හරි හරි තමුසේ ඉතින් අපේ ගෙදර ආගිය මනුස්සයනේ... මම දන්නව දැන් පුතා හිතන දේ... අපි අන්තිමට මුණ ගැහුණේ කොයි කාලේ වාගෙද...? මට මතකක් නෑනෙව හරියට..."

ඒ වෙනකොට ඒ අන්තිම හමුවට පසුව අපට නොදැනීම සෑහෙන කාලයක් ගතව ගොස් තිබිණි...

"එහෙමනම් දැන් දරුවෝ මල්ලෝ හෙන ලොකු ඇතිනේ... කෝ මල්ලී මට මංගල්ලේ වත් කීවේ නෑනේ...
මේ ඒක නෙමේ .... ඉන්නව ඉන්නව.... ෆෘට් ජූස් එකක් වත් බොමු...."

පලතුරු බීම වීදුරුව පෙනුමෙන් නම් මනස්කාන්තය... එහෙත් මේ රටවලට නැවුම් පළතුරු ලැබෙන්නේ කලාතුරකිනි...

"ඉතින් මම දන්නෑනේ අයිසේ දැන් මෙහේ කියල.... දැන් කොච්චර කල්ද මෙහේ ඇවිල්ල....?
හැබැයි පු‍තෝ මාලුවා බාගෙන ආයෙම ආ දිහාටම ඉක්මණටම තොලොංචි වෙන එක තමා හොඳ..."
ඔරලෝසුවේ සෑහෙන වෙලාවක්, එක් නිමේෂයකට හකුලුවාලන්නට ඔහු පූර්විකාව ඇරඹුවේ එලෙසිනි...

"මල්ලී දන්නවනේ අක්කයි මමයි අපි අපේ ෂොප් එක පටන් ගත්තු කාලේ ඉඳන්... යාන්තන් අටවගත්තු ගේ විතරයි මුලින් අපට ස්ථාවරයකට කියල තිබ්බේ... අක්ක ඉගෙන ගත්තු විදිහට ගැලපෙන රස්සාවක් ලැබුනේ නෑනේ... ඒක තමා මට රට එන්න සිද්ධවුණු මූලික හේතුව... අනෙක කෙල්ලො දෙන්න ලැබුණට පස්සේ උන්ව සර්වන්ට දාල රස්සාවකට යන්න ඒ කාලේ අක්කත් කැමති වුණේ නෑ... මගේ ආදායම ටික ටික සරුවෙනකොට ළමයි දෙන්න ලොකු වෙනකොට අක්කට එයාගේ ඉගෙනුම ගැන පසුතැවිල්ලක් ආවා... එයාගේ පවුලෙන් එයා විතරයි කැම්පස් ගියේ... ආයෙමත් වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියල ඔන්න නෝර්වේ යන්න හැදුව ස්කොල් එකක් හදාගෙන... අවුරුදු දෙකක කාලෙකට වුණත් මම ඒ වැඩේට කැමති වුණේ නෑ... ඒ පාර තමා ඔය ෂොප් එක එයාට මම දාල දුන්නේ ගෙදරට කිට්‍ටුව ටවුන් එකේ..."

තරුණිය ‍රැළ පාගන්ට ගොස් විය යුතුය.... අහල පහලක පේන්නට නැත... ඇය මේ පරිසරයට හුරුකාරියක් විය හැක...

"මම කවදාවත් හිතුවේ නෑ එයාට බිස්නස් අල්ලල යයි කියල... ඒත් අවුරුද්දකින් විතර අල්ලපු කඩ කාමරෙත් ගන්න ගානට එයා ඒක දියුණු කලා.... දරුවෝ දෙන්නගේ වැඩ එයාගේ අම්මයි සර්වන්ට් අතිනුයි හොඳින් සිද්ධ වුනා... අනෙක ගෙදෙට්ට ලඟ හින්ද එයාට නිතරම දුවල එන්න යන්න, කෙල්ලො දෙන්නගේ ඉස්කෝලේ අඩු පාඩු බලන්නත් පුලුවන්කම තිබ්බ... බිස්නස් එක හොඳටම නැගල යන්න ගත්තු කාලේ අක්කට සුලු දණිස් අමාරුවක් ආවා... ෂොප් එක කාට හරි දාල ගෙදර ඉන්න කිව්ව මම... අමාරුවෙන් ගොඩනගාගත්ත සාප්පුව වහන්න එයා කොහොමටවත් කැමති උණේ නෑ.. ඊට පස්සේ මමම පත්තරේ දැන්වීමක් දාල හොඳ මැනේජර් කෙනෙක් සොයල දුන්න... ඒකෙන් එයාට ෂොප් එකේ වැඩට එහාට මෙහාට දුවන්න පනින්න වෙන එක සෑහෙන්න අඩුවුණා... ඔන්න ඔය කාලේ තමා මම මල්ලිවත් ගෙන්න ගත්තු අපේ එක්ස්පෑන්ෂන් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ..."

එය ඩොලර් බිලියන් ගණනක ඒකාබද්ධ ව්‍යාපෘතියකි... සපුතන්ත්‍රී මහත්තයා එහි එක් අංශයක වගකිවයුතු තණතුරක් දැරීය... ඒ පිහිටෙන් ලාංකිකයන් බොහෝ දෙනෙකුට එහි ‍රැකියා අවස්ථා සලසා ගන්නට පුලුවන් විය... සපුතන්ත්‍රී මහත්තයාට රාජකාරියට අමතරව කුඩා ගමක වැසියන් මෙන් ඔහු ගෙන්වා ගත් ලාංකිකයන් සියලු දෙන බලාගන්නට සිදුවිය... පරිපාලනයට අනුව ලාංකික පිරිස උපකොන්ත්‍රාත් කරුවන්ය... ස්ථීර නිවාස පහසුකම් ඔවුනට අහිමිය... ඒ බරත් සපුතන්ත්‍රී මහත්තයා ස්වකැමැත්තෙන් ඔහු පිට පටවාගෙන විසඳා දෙන ලදී...

 "මම හිතන්නේ මල්ලී මාස හය හතයි හිටියේ අපිත් එක්ක නේ...???
උඹ හිටියනම් අද එතන ඔපරේෂන් මැනේජර්... කෝ එදත් හරහට හිටියේ උඹේ ඔය කෑම ප්‍රස්නේ නේ..."
යලිත් අර කරුණාවන්ත පුළුල් සිනහව මුහුණේ පැතිර යයි...

"මට ඒ වෙනකොට ගෙදර යන එන වෙලාවක් තිබ්බේ නෑ පිලිවෙලකට... සමහර කාලවල අවුරුද්දක් ගෙදර ගියේ නැති අවස්ථා තිබ්බ... ඒත් දවසක් ෆ්ලයිට් එක ඩිලේ වෙලා සාමාන්‍යයෙන් රෑ වෙලා එන මම උදේ වරුවේ ආවා... ඉස්කෝලේ දවසක් හින්ද මම කෙලින්ම ෂොප් එකට ගියේ... වැඩ කරණ ලමයෙක් කිව්ව නෝනගේ දණහිසේ අමාරුව වැඩිවෙලා කියල මැනේජර් මහත්තය හොස්පිටල් එක්ක ගියා කියල.... මම ආපහු ගෙදර ආවා... අක්කලගේ අම්මත් මට වැඩිය මූණ දීල කථා කලේ නෑ... කෝල් එකක් දෙනකොට වත් නොකියපු හදිසියේ වැඩිවුණු දණිස් අමාරුව මට මහ ප්‍රෙහෙලිකාවක් වුණා.. ඒත් මම ටිකෙන් ටික දැනගත්ත ඒ වෙණකොට මට විසඳන්න ප්‍රෙහෙලිකාවක් ඉතිරි වෙලා නැති වග..."

සපුතන්ත්‍රී මහත්තයට ලස්සන කටහඬක් තිබුණ... මිල්ටන් මල්ලවාරච්චිගේ ගී ඔහු අපූරුවට කිව්ව...
සාද වලදී  "මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ..." සින්දුව කියල අන්තිමේට
"ඉන් මතු කිසිදාක යන්නේද හද රන් ලෙනේ..... පහන නිවා...." කියල අක්කව බදාගෙන ඉන්නව...
මධුවිත මුසුවෙන සාද වලදී මේක සම්මත අවසාන රංගනය වෙලා තිබ්බ ඒ කාලේ....
එතකොට ඒ කිසිම දෙයක් අක්ක ගාව ඉතිරි වුණේ නැද්ද?

 "එදා හොස්පිටල් ගිහින් ගෙදර ආවට පස්සේ අක්කට බ්ලීඩින් තිවුණා ගොඩ දවසක්... මම ඒ ගැන කථා කලේ නෑ වචනයක් .. නර්ස් කෙනෙක් ගෙන්නල තිබ්බ උදව්වට... ළමයි දෙන්නගේ විභාග ලඟ එනව.... ඒ වෙලාවේ අපි දෙන්න වෙන් වෙලා ළමයි දෙන්නට ලොකු පීඩනයක් දෙන්න ඕනේ නෑ කියල මට හිතුන... අන්තිමට ඒ තත්වය සාමන්‍යකරණය වුණා... මටත් පුදුමයි මට ඒක දරාගන්න හයියක් තිබ්බ එක...එකම ගෙදර ෂෙයා කරන බෝඩින් කාරයෙක් වුණා මම මගේම ගෙදරම, ඊට පස්සේ... මම රට යනව..  ආපහු එනව... අපි ගෙදර ඉන්නව... කෑම කනව... එළියට බැහැල ගමන් යනව... ඒත් වෙනම ජීවිත... අන්තිමට මට දරාගන්න බැරි වුණේ අර මනුස්සය මම ඉඳිත්දීම ගෙදෙට්ට එන්න ගත්තු එක... ගෑණියෙකුට එච්චරම නරුම වෙන්න පුලුවන්ද බං..?"
සපුතන්ත්‍රී මහත්තයා උරිසට උඩින් ආපිට බලමින් අසයි...

දඟකාර කෙස්වැටිය අංශක 220 කලාපයට ඇතුළුවිණි... කළු ඉංගිරියා සීරු මාරුව නැවත ඇරඹිණි...

"හිටපන්.. හිටපන්... ඔය විස්තරෙත් කියන්නම්... මම උඹට මෙව්ව කියන්නේ උඹත් මේ ක‍ටු ඉඹුලේ දැන් භාගයක් නැගල හින්ද... "
ශ්‍රෙක් පූසාගේ වෙස්, කිට්ටුවට හෝ දෙවරක් ගැනීම අපහසුය...

"මගේ බෙල්ලෙයි උරපත්තෙයි අමාරුවක් ආව දැන් අවුරුද්දකට උඩදි විතර.... 
ඒකට රෙගියුලර් පිසියෝ තෙරපි දෙන්න ඕන වුණා... 
පස්සේ අමාරුව හොඳවුණත් මම ඒ සුවයට ආස කරන්න ගත්ත... 
එහෙම ගිය තැනකදි තමා හමුවුණේ...
දැන් ඉතින් එයාට සිංගල් ක්ලයන්ට්... " 
සපුතන්ත්‍රී මහත්තයා මහහඬින් සිනාසෙයි....

පරණ පලතුරු රසය, උඩින් දමා තිබූ රස කාරක පරයා කට හාරවන ගතියක් දනවන්නට විය....




බලන්නෙපා යුග නුවන් විදා
විදි රුදු හී සර සේ මසිත පෙලා...
පෙර ඔබ මුව නැගි පහන් සිනා
ලැව් ගින්නකි අද මා දවනා...

රඟහල කැටිවුණ අඳුරක සැඟවී
ඔහු ළමැදේ හිස සඟවලා....
අසා සිටියෙ ඔබ හිත මා තනිවී
හඬනා රාවයදෝ...

එදා ඔබේ හදවතින් ගලාවිත්
මවෙත තුරුළු වූ සිනා සලා...
සදා සොඳුරු සිහිනයක උදාවුණු 
අතීතයක් හඬවන්න එපා...

58 ප්‍රතිචාර:

Nadeesha Chandrasena said...

අන්තිමට Non Zero sum game එකක් විදියට ඉවර වෙලා තියනවා.දෙපැත්තටම අලාභයක් නැහැ."සමිතා-ඇමති/අතුල-අමායා" වගේ.
මේ ක්‍රීඩාවේ තියන එකම දේ; තමුන්ගෙ ළමයි ජීවීන් හැටියට නොගන්න එකයි.

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්ත නදී ඇත්ත..
මෙව්වායෙදි කවුරු වැරදිද කියල හිතන්න බැරිවුණාට රිදවෙන්නේ අන්තිමට ළමයින්ට..
මට 'කැඩපතක ඡායා' චිත්‍රපටියත් මතක් වෙනව

මාරයාගේ හෝරාව said...

දෙපාරක් කියවන්න උනා... ඒක පාර්ශවීය දෙබස්..ටිකක් අමුතු උනත් ඒක හොඳ ප්‍රකාශන මාධ්‍යයක්... කිසි අඩුවක් නැතිව කතාව ගාගෙන යනවා...(මට බයයි උඹත් අර විද්වත් සමාජජයට අහු වෙයිද කියලා)

අනේ මංදා අමල් බිසෝලා ගේ ඇතුලේ තිබ්බොත් ඒක මානුෂික අයිතිවාසිකම් හා ස්ත්‍රී නිදහසට වැට බැඳීමක්.. දොර ඇරියොත් තව අවුලක්... කාට කියන්නද...?

තරාදියේ ඒ පැත්ත එහෙමනං මේ පැත්ත මෙහෙමයි.

අපූරු කතාව...කියුං ගොඩයි...

Praසන්ன said...

මාරයටත් දෙපාරක් කියවන්න උනානං අපිට මොන කතාද. තව පාරක් කියවල බලන්නං.

රතු රජරට said...

තිස්ස අයියේ ,මන් ගොඩක්ම ආශා කරන්නේ මේ සින්දුවට නෙමෙයි කතාවේ ප්‍රකාශන රීතියට.ඒක බොහෝම සරලයි.ඒ වගේම පැහැදිලියි .මන් හිතන්නේ මාරයෝ විද්වත් සමාජෙට යන්න මෙයා බොලද වැඩියි තාමත්.

තිස්ස දොඩන්ගොඩ said...

මාරයාගේ හෝරාව: අත්හදා බෑලීමක් - එහෙමනම් ඒක අහුවුණා ඈ? සහෘද කමට මග පෙන්වන්නෙ ඔය පොදු ඉව වෙන්න ඇති නේ?

ප්‍රසන්න: අනේ ඔය මාහෝ අත ඇරල කියවන්න ප්‍රසා

රතු රජරට: අනේ වාසනාවන් ;-), ස්තූතියි කමෙන්ටුවට සහෝ

නිසුපා said...

කතාව තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.මාරයා අයියගෙ කමෙන්ට් එක දැකලා තමා තේරුනේ මේකෙ දෙබස් ඒක පාර්ශවීයයි කියලා එතකල් වැඩිය ඒක දැනුනෙ නරුඩ්

සින්දුවනම් සුපුරුදු පරිදි අහලා නෑ.

Beetle said...

//ශ්‍රෙක් පූසාගේ වෙස්, කිට්ටුවට හෝ දෙවරක් ගැනීම අපහසුය...//

හක හක..හියැක් හියැක්..හූ.. හොක් හොක්... :D

හිනාව නවත්තගතේ හෙන අමාරුවෙන්... තිස්ස අයියාගෙ මූණ මට මැවිලා පෙනුනා...

සරත් ලංකාප්‍රිය said...

හරි වැරදි හෙවීමේ අරුතක් නැහැ. මනුස්සය කියන්නේ සමාජ බැමි සහ හැදියාව අද්‍යාපනය ආදී නොයෙකුත් දේ නිසා තිරිසන් බව පාලනය කල තිරිසන් සතෙක් නිසා අර තිරිසන් ගතියට වහල් වීම අර්ථ කථනය කිරීමට තැත් කිරීමේ පලක් නැහැ.. ඕන කෙනෙකුට මේ දේ වෙන්න පුළුවන්..

තිස්ස දොඩන්ගොඩ said...

නිසූපා: ඔය මාරය ඔව්ව අල්ල ගන්න බලාන ඉන්නේ..

Beetle: අපේ 'ජීවිතේ මල්' නිතර යොදන යෙදුමක් ඕක, මටත් එයාගෙන් ආවේ ඕක

සරත් ලංකාප්‍රිය:ඒ කථාව නම් මසුරන් වටිනව සරත් මහත්තයෝ

නිශ් said...

නියම ප්‍රකාශනයක්..................
හොඳ ගලගෙන යාමක් තියෙනව......
ඒකපාර්ශවීය දෙබස් උනත් අඩුවක් තේරුනේ නෑ...

තිස්ස අයියලට ලියන්න වෙලාවක් අහු නොවෙන්නෙ අපේ අවාසනාවටද කොහෙද:)

තිස්ස දොඩන්ගොඩ said...

අනේ අප්පේ ඉතින් අනිවාර්‍ය පාඨකයෙක් නෙව නිශ් තමුන්නැහැ...
කොච්චර අතපසු උනත් ලියන්ට දැම්ම ගමන් ඈවිත් ගුණාගුණ කියල යනවනේ
"සක්කාය දිටිඨිය" මගහැරලා ලියන්ට උත්සාහ කලේ :-)

Raj said...

යතාර්ථයක හරස් කඩක්...වඩා හොඳයි සයුරෙන් මෙතෙරට පියාඹා එන එක

Buratheno said...

කාලෙකට පස්සෙ මසුරං වටින පූර්විකාවක්...

පලි: සිංදුව නං මට එච්චරම අල්ලලා ගියේ නෑ ඕං.. ආයෙ මක්කටැයි බොරු කියන්නෙ.. :)

Weni said...

බොහොම කාලෙකට පස්සෙ නොවෙන්නම් !

matahithenahatty said...

ඒක පාර්ශවීය දෙබස්!!! :) එහෙනම් ඒක දෙබස්ද? සිංහලෙන් නම් monologue. එතකොට...
අද සින්දුවට වඩා ඉස්මතු වෙලා තියෙන්නෙ කතාව.
ඇති යන්තම් නින්දෙන් අවදිවුනා උඹ!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

Anonymous said...

සින්දුවට වඩා පුර්විකාවට කැමැත්තෙමි...

තිස්ස දොඩන්ගොඩ said...

රාජ්: මාලුව දවසෙන් දවස ඈතට පීනනවනේ :-(

Buratheno: කෙළින්ම කියනවනේ ඉතින් එදා ඉඳන්ම :-)

Weni : මේක නිකන් ඇණකොන්ඩෙක්ගේ ජීවිතය වගේ, ගොදුරක් ගිල්ලහම මාසයක් දෙකක් නිදාගන්න හිතෙනව

Henry the 'Dude': හහ් හහ් හහ් ඒකත් හරියට නිකම් විදුලි දුම්රිය වාගේ නේද හෙන්රි... උඹ හරි... එක්-පස-බස් කියමු නේ??

Pathum Herath said...

හලෝ තිස්ස අයියා, මාස ගානක් සද්ද නොකර ඉඳල දුන්න නේ අපිටත් බය හිතෙන කතාවක්.. හික් හික්.. අර සරත් අයියා කියපු දේ තමයි මමත් ඕක ගැන නම් හිතන්නේ. තාම ඉතින් චන්ඩි පොරවල් නේ.. (පස්සෙ මොනව හිතයි ද දන්නෑ...).

රට නොගොස් මෙහෙම ඉඳන් ගොඩ දාගන්න ට්‍රයි කරන එක තමා කෝකටත් හොඳ.. හැබැයි හතර වටෙන් ම මේ දවස් වල ඇහෙන්නෙ රට ගිහින් ආව නම් හරි, අරහේ හොඳයි, මෙහෙ හොඳයි, ඉඩම් අරං ගෙවල් හදන්න මෙහෙ ඉඳන් පුළුවන් ද.. අරයත් ගිහින් ආවා.. මෙයත් යනවා...ඔන්න ඕව තමා... අලේ මන්ද...

තිස්ස දොඩන්ගොඩ said...

සරත් කතන්දරේ ලෙලි ගහලම දැම්ම හරියටම පැතුම්...

කටුඉඹුලේ නගිනවද ලෝදිය බොනවද කියල වසවර්තිය ඇහුව වාගේ ප්‍රස්න තමා අද තරුණයින්ට මූණ දෙන්න වෙලා තියෙන්නේ

කලකට ඉස්සර බලාපු 'අඹ යහළුවෝ' ගණයේ ටෙලියක තිබ්බ සින්දුවක කෑල්ලක් මතක් වෙනව - සින්දුව මතක් කරගන්න සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනව මතක් වෙන්නෙ නෑ...

"... පැදීය බෝ පරේස්සමෙන් - එය පදවන්නා...."

Pathum Herath said...

පැදීය බෝ පරිස්සමින් කියල අතීතේ දිහා හැරිල බලල සතුටු වෙලා ඉක්මනට මේක ඉවරයක් කර ගන්න එක තමා මගේ නම් එකම අදහස. දැනට පදින්නේ පරිස්සමින්.. හික් හික්.. මට වැඩිය අනිත් තොටිය පරිස්සම්.. මම තමා ෂුවර් නැත්තේ.. හික් හික්...

තිස්ස දොඩන්ගොඩ said...

ෂික් විතරක් ඒක කියාපු කැත ;-)

Pathum Herath said...

හා එහෙනම් ලස්සනට කියන විදිය අපිටත් කියල දෙන්නකො බලන්න..

මානස said...

මෙච්චර දවස් මොකද කරේ? කොච්චර අය බලන් ඉන්නවද?..කතාව මල් හතයි....එත් කියවගෙන යද්දී ලොකු දුකක් ඉතුරු වෙනවා....

සපතේරු උන්නැහේ said...

දෙපාරක් කියෙව්ව... රෑ ඇවිත් ආපහු කියවන්න ඕන... සින්දුවනම් ඈස් යූෂුවල් අහලම නෑ...

තිස්ස දොඩන්ගොඩ said...

මානස: උප්පත්තියෙන් ලිවිල්ල පිහිටල නැති අප් වාගේ අය බ්ලොග් ලියන්නේ ගොඩක්ම තනිකම හින්ද කියල හිතෙනව මානස - ඉතින් තනිකම අඩුවුණහම අර රොන්මඩ වගේ අදහස් පතුලෙම තැන්පත් වෙනව - ආයේ නියඟයක් ඇවිල්ල වතුර හිඳිලම යන්න ඕනේ එව්ව ඉස්මතු වෙන්න
'කථාව' නම් දුක බව ඇත්ත - ඒත් මේක කථාවක්ම නෙවේ ඇත්තක් කියල කිව්වොත් මොනව හිතෙයිද?

සපා: ස්තූතියි මචං - සින්දුව රෝහණ සිරිවර්ධනට කථා කරල ඉල්ලුවහමත් නෑ කීව පෙබරවාරියෙ - මම මේකට ගොඩක් ආස, ගොඩක් කාලයක් සොයපු සින්දුවක් සපා - රෝහණ කියාපු හැටියට මේක එයාගේ මුල්ම කාලේ සින්දුවක්

Muthu Paba said...

කවමදාවත් අහල නොතිබුණ සිංදුවක්. ලස්සනයි ගොඩක් ලස්සනයි. කෝ ඒත් අර දානවයි කීව සිංදුව අයියා..?

තිස්ස දොඩන්ගොඩ said...

එනව එනව මග එනව :-)

Buratheno said...

Dialogue = දෙබස්, Monologue = එක්-පස-බස්... ඕක ටිකක් දිග වැඩී වැඩී වගේ නැද්ද.?? බැරිද අපට නිකංම නිකං 'බස්' කියලා කියන්ට.. :)

හිරුහිමාවී said...

හරිම අපූරු පෝස්ටුවක්!

තිස්ස දොඩන්ගොඩ said...

Buratheno: ප්‍රයිවට්ද ලංගමද කියලත් කියන්ට වේවි එහෙමනම්

හිරු හිමාවී: ස්තූතියි හිමාවී

Lishan Puwakowita said...

පව් අර දරුවෝ දෙන්නා..,
මට මේ කතාව කියවගෙන ආවාම අන්තිමට ඔලුවට ආවේ ඒක..!

දෙමාපියන්ගේ වරදවල් වලට වන්දිගෙවන්නේ අර හාංකවිසියක් වත් දන්නේ නෑති පොඩි දරුවෝ..,

මේ උත්තමපුරුෂ විරිත මරු තිස්ස අයියා..!

තිස්ස දොඩන්ගොඩ said...

කියල වැඩක් නෑ ඉතින්

[උත්තම පුරුෂ කියල මාව කොටු කරන්න හැදුවද ;-) ]

RanDil said...

"... පැදීය බෝ පරේස්සමෙන් - එය පදවන්නා...."

බුදු සන්තෝ තිස්ස අයියට මේක මතකයිද? මේ මට මතක විදිහට බෝනික්කෝ නාට්‍යයේ තේමා ගීතය.

"කුණාටු සහිත සාගරේ පුංචි නැවක් යන්නා........
නැවියා බෝ පරීස්සමින් එය පදවන්නා...... එය පදවන්නා....
නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා"

අපේ අම්මලාගේ ගෙදර බිත්තියක මං පැන්සලෙන් මේ පේළි ටික ලියලා තිබුනා ඒ කාලේ. දැන් නං ඒක එතැන නැහැ. තීන්ත ගාද්දි මැකිලා. ඒත් කවදාවත් අමතක නොවන පද පෙළක්.

තිස්ස දොඩන්ගොඩ said...

කියල වැඩක්ම නෑ රන් නගේ...

කොච්චර කල් ඕකේ අගක් මුලක් හෙව්වද - බැලුවහම ලඟම තිබිල නෙව උත්තරේ :-)

දැන් සොයාගන්න පුලුවන් වේවි සින්දුව - ඔබත් එයට කැමතිවීම ඉතාම සතුටට කාරණයකි

රූ.... said...

අප්පොච්චියේ මෙන්න තිස්ස මහත්තැනුත් බරපතල කතා ලියනවා..!!
ඇත්තටම ඇත්ත කිව්වොත් අර පරණ දවස්වල නොලියු පූර්විකාවන්වලට හරියන්නම අද ලියලා නොවැ..

//අංශක 220 දර්ශන පථය//
//පරණ පළතුරු රස උඩින් දමා තිබූ රස කාරක පරයා..//

මේවා නම් අපූරු යෙදුම්..

සින්දුවත් ලස්සනයි..වතගොත පොඩ්ඩක් කිව්වා නම්..
මම ඉස්සෙල්ලාම හිතුවෙ ටී එම්ගෙ සින්දුවක් කියලා..

තිස්ස දොඩන්ගොඩ said...

අහ් රූ නෝනෙත් ගොඩවෙලා තියෙන්නේ :-)

"සිත් ආර" කියවලමද මන්ද මටත් ඒ කෑලි දැන් එනව ලියනකොට
රෝහණ සිරිවර්ධන මහත්තයගෙන් අහල විස්තර දාන්නම් රූ නෝනේ

Kathandara Karaya said...

තෙත සිඳුණු නුඹ හදේ මට ඉඩක් නොදුන්නැයි
නැත මගේ තුන් හිතක නොහොඳ බිඳුවක් ලඳේ
කතර දිවි ගත කරන අතුරු සැණ ගෙවී ගොස්
මතකයෙන් සිහින සුව ගිලිහේවි හෙට උදේ

සිත සලිත වූ එදින මතක පොත ගිණි තබා
ගත පෙලන හිරු ලෙසින ඇයිද නුඹ හිනැහුනේ
ගිණි සිසිල අකැප කල මගෙ අඳුර මට හොඳයි
හද කොණෙන් පිට වෙයන් ඇණෙන කටු විස ගෙනේ

දිවි සයුර කෙලවරේ හිරු බසින මතු දිනේ
පව් නොකළ මගෙ සිතට වරද නැත කිසි කලේ
හැරමිටිය අතට ගත් දිනෙක යලි මුණ ගැසී
සසර මතු හමු නොවන ලෙස ගිවිස ගමු ළඳේ

තිස්ස දොඩන්ගොඩ said...

හප්පා... කසූගෙන් මට ලැබුණු හොඳමම කොමෙන්ටුව...

සින්දුවට වඩා මට ඒක ලස්සනයි

Il mondo di una povera pazza said...

මේ පූර්විකාව බොහොම සමීපයි වගේ.....!

හැමදාම කියවලා යනවා මිසක් මේවට හූමිටි තබන්න නොඑමි

තිස්ස දොඩන්ගොඩ said...

ඇයි අප්පච්චියේ ඒ - අපේ අතින් වැරදි යමක් කියවුනාවත්ද අතීත කාලෙක???

Il mondo di una povera pazza said...

අනේ නෑ තිස්ස. ඔයාගේ සින්දුවයි කතාවයි කියෙව්වම හාන්තිමට ඇස් තෙත්වෙන වෙලාවල් බොහෝමයි. එහෙම නොවෙන වෙලාවට වුනත් ලොකුවට යමක් කල්පනා කරන්න වෙනවා. ඒත් එක්ක ඉතින් මෙතන යමක් නොලීවට හිතේ දහසක් දේවල් ලියවෙනවා.

එච්චරයි. ඒ හිතේ ලියවෙන කතා මෙතන ලියන්න ඕන වෙන්නේ නෑ.

තිස්ස දොඩන්ගොඩ said...

හප්පා ඒත් මදෑ - අපි මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් ටික කාලයයි නේ - ආපු මුල් කාලයේ සමහර වෙලාවට ඉතින් ඔය කේන්ති ගියාම මොනව හරි කියවෙනවනේ - මං උන්න එහෙම දෙයක් දෝ කියල -

"ඒ හිතේ ලියවෙන කතා මෙතන ලියන්න ඕන වෙන්නේ නෑ" - රසවත් කියමනක් :-)

Il mondo di una povera pazza said...

හපොයි. තිස්සගේ බ්ලොග් එක කාලෙක ඉඳන්ම මම කියවනකොට ඔයා කොහොමද අලුත් කියන්නේ?. අනික අලුත් පරණ බේදයක් අපිට නෑනේ තිස්ස. ලියන දේවල් හොඳයි නම් කියවන්න පුළුවන් නම් ඒ විතරයි.

අනික ඔය ප්‍රවීන හෝ පැරණි කියන බේද හදාගත්ත ඈයෝ කියන දේවල් දැක්කම හිටිගමන් අනිත් පැත්තෙනුත් හිනා යනවා.

Susara Wijeratne said...

කාලෙකින් තිස්ස ලියල .
ලිවිල්ල උප්පතියෙන් පිහිටන්න ඕනෙද?
මමනං හිතන්නේ උප්පත්තියෙන් ගේන්නේ රස දැනෙන හදවත . ඒක තියෙන කෙනා තමන්ට දැනෙන දේ හිතවතුන් එක්ක බෙදා ගන්න ක්‍රමය මොකක් උනත් ඒක අනිවාර්යයෙන්ම රසයි . බෙදාගන්න අත්දැකීම ඉදරිපත් කරන පුද්ගලයා ගේ ගති ගුණ එක්ක එකතුවෙන හැටියට තමා අර " පලතුරු හා රස කාරක පරයා එන කට හාරවන ගතිය එන්නේ "
මේ තේමාව ගැන මෙයිට වැඩ හොදින් ලියවුන ගීත බොහෝ තිබුනත් රෝහණ සිරිවර්ධනයන් තරම් ඔය හැගීම දනවා ගයන කෙනක් නම් දන්නේ නැහැ. ගීතය එතරම් සුවිසේෂි නොවුනත් ඉදිරිපත් කිරීම ඉස්තරම් .

තිස්ස දොඩන්ගොඩ said...

මේ බ්ලොග් ලියවිල්ලේ වටින හරිය මේකයි

හිතේ කහටක් නැතිව කොමෙන්ට් කරන හැමෝගෙන්ම පොඩි පොඩි definitions ලැබෙනව - මම බොහෝමත්ම ආස කරන දෙයක් ඒක - විසේසයෙන්ම මිනිස්සු එව්ව ගැන සවිඥානකව ඉන්න එක -

"මමනං හිතන්නේ උප්පත්තියෙන් ගේන්නේ රස දැනෙන හදවත"

මෙව්ව එකතු කරල රෙජිස්තරයක් හදන්න හිතයි - ස්තූතියි සුසර!

Susara Wijeratne said...

අපේ පැරණි ගද්‍ය සාහිත්‍ය පොත්වල උබබස්ලංකාරය කියල එකක් කියවෙනවා සංස්කෘත සාහිත්‍යයේ උභය භාෂා අලංකාරය නොයෙදෙන බවකුත් අහල තියෙනවා . ලියවිල්ලට අලංකාරය එකතු කරන්නට දෙබස් යොදන හෝ නොයොදන ආකාරය ගැන තමයි කියන්නේ . විරහවේ ඛේදය ගැන කියන්න හොඳම භාෂා රීතිය යොදාගන්න තරම් හැකියාවක් ( දැනුමක්) තිබෙනවානම් ලිවිල්ල උත්පත්තියෙන් නොගෙනාවත් මොකෝ .
පට්ටලේ දාල ලියවන්නත් හැකියාව වගේම නිරන්තර භාවිතයත් ( practice ) ඕනේ කරන බව ඉගෙනගත්තේ මැවිසුරුවමේ පළමු වසරෙදීනේ නේද

තිස්ස දොඩන්ගොඩ said...

- උබබස්ලංකාරය - ඕ ඒක මම අසා තුබුණේ නැත...

Practice - ඒක නම් හැබෑව :-) - ඒත් දැන් කොච්චර කල්ද :-)

Buratheno said...

// පට්ට‍ලේ දාලා ලියවන්නත් හැකියාව වගේම නිරන්තර භාවිතයත් (practice) ඕනේ කරන බව... //

ඕං ඕක‍නේ තිස්ස අයියා අපි හැමදාම කියන්නෙ නිතර නිතර ලියන්ට කියලා.. කොහෙදෑ ඉතිං, අපි කියනා ඒවා කණකට ගන්න එකක්යැ.. ;)

බෝල මයිනා said...

රසවත් ගීතයකට අගනා පූර්විකාවක්.. මේ ගීතය ගයන්නෙ.. රෝහණ සිරිවර්ධන මහත්තයද?

JP said...

තිස්ස , මේක භයානක කතාවක් ...මේක භයානක වෙන්නේ , අපි කවුරු කවුරුත් මීට ලඟින් ලඟින් අපේ බෝට්ටුද ජීවන ගඟේ පදවන බැවිනි ...ලියවිල්ල සුපිරි

තිස්ස දොඩන්ගොඩ said...

"....බෝ පරීස්සමින්..." :-)

Anonymous said...

රෑට එක ඇඳේ හැමදාම නිදාගෙනත්,ගෑණු හොර මිනිස්සු එක්ක යන්නේ නැද්ද? තලේබාන් ක්‍රමේට වහල ගේ ඇතුලේ දල හදන්න පුළුවන් නම් ඔන්න ප්‍රශ්නේ ඉවරයි. තමුන්ගේ ආශාවන් පාලනය කර ගන්න බැරි නම් මැරුනයින් පස්සේ කරපු දේවල් ගෙවන්න වෙයි කියල නාම මාත්‍රිකව හරි බයක් නැති නම්, මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ,

තිස්ස දොඩන්ගොඩ said...

ඒකට මිනිස්සු පාවිච්චි කරන ක්‍රමයක් තමා මේ මූණ හංගගෙන ඒ වාගේ වැඩ කරන එක ;-)

හිරු said...

මුල ඉදලා කියවන්න ඕනෙ බ්ලොග් එකක් නේ...... ඔන්න මම පටන් ගත්තා.....
මේ සින්දුව නම් අහලම නෑ.. කතාවයි කමෙන්ට් ටිකයි කියෝගෙන ගියා සින්දුව පැත්තකින් තියලා.....

කිනිර said...

කාලෙකට පස්සෙ හද ගී පොත බලන්න වෙලාවක් හම්බවුනා. මම වැඩිපුර කියවන කෙනෙක් නෙමෙයි. හැබැයි මම කියවලා තියෙන කෙටිකතා වලින් හොඳම ඒවා අතරෙ තියන්න පුළුවන් ඔබේ මේ කතාව. නරකද පොතක් එහෙමෙ ලිව්වොත්?

තිස්ස දොඩන්ගොඩ said...

හිරු: ස්තූතියි හිරු මේ පැත්තෙ ආවට හිරූ..!!


කිනිර: හප්පා.. මේක මට ලොකු කම්ප්ලිමන්ට් එකක් මහත්තයෝ..
ඇත්තටම මේ කියන්නේ - ඔබතුමාල ඈසූ පිරූ තැන් ඇති උදවිය..
එහෙව් එකේ මේ වගේ කමෙන්ටුවක් හරි වටිනව..
පොතක් - හ්ම්ම් කෙටි කථා පොතක්ම ලියන්න තරම් වස්තු බීජ නම් තියනව තමා - බලමු එහෙමනම් - ස්තූතියි හදපත්ලෙන්ම..

B.U.Rathnayaka. said...

මමත් හැමදාම එනව මේ පැත්තෙ.ගොඩක් රසවත්.ගොඩක් ස්තුතියි තිසිස මහත්මය.

Post a Comment

 
Blogger Wordpress Gadgets