දොං දොමිකිට දොඹ මල උඩ....

යාලු මිත්‍රයන් සං‍තෝසෙන් ඉන්නකොට ඒ සං‍තෝසේ අපේ හිත්වලටත් කාන්දුවෙනව. ඒත් ඒකෙ අනෙක් පැත්තත් එහෙම්මමයි. සතුට බෙදාගන්න ලේසියි. ඒත් දුකක් අවංකවම බෙදාගන්න නම් ටිකක් මෝරපු හිතක් ඕනෙ. සමහරු උප්පත්තියෙන්ම මේ වාසනා ගුණය අරන් එනව. ඒ අයගෙ යාලුවන්ට ඒ වාගේ අය මහ මෙරක් වාගෙ.

අනෙක් අයගෙ දුක බෙදාගන්න එකේදි මම දුර්වලයි කියල මට තේරුණේ මෑත කාලෙදි. ඒකට හේතුවුනේ වුණෙ මගේ දුක් කරදර බෙදාගත්ත යාලුවන්ගේ දුක් කරදර වලදි මම වැඩ කරපු නරුම විදිහ ගැන ආපහු හිතල බලාපු නිසා. යාලුවන්ගේ හොඳකමට උන්දැල මාව අතෑරල ගියේ නෑ. මගෙන් එහෙම දෙයක් නූන ගානට අදත් මගෙ දුක සැප විමසනව. ආයේ ආයේ කල්පනා වෙනකොට ලැජ්ජත් හිතෙනව.

ඉතිං වෙලාවකට යාලුවෙක් ඇවිත් කථාවකට මුල පුරල තමන්ගේ හිතේ ගින්න එළියට දානව.
ඔන්න මගේ නොඉවසිලිමත්කම එළියට පනිනව.

"ඇයි ඒක එහෙම වෙන්න දීල බලන් හිටියේ..?"
"ඔයාට මෙහෙම කරන්න තිබ්බනේ...?"
"ඇයි ඔච්චර දවසක් ගියාද ඕක තේරුම් ගන්න..?"
"ඔයා ඔයාගේ හිත තේරුම් ගන්න ඔක්කෝටම ඉස්සෙල්ල.."

ඔන්න ඉතින් මම කියාගෙන කියාගෙන යනව. අර මනුස්සයට කොරේ පිටට මරේ වගේ ඇති කියල අම්මප ඒ වෙලාවට මට තේරුම් යන්නැති හැටි. දවසක් කෙනෙක් මට බොහොම කරුණාවෙන් කීව "මම මෙව්ව ඔයාට කියන්නේ උත්තර අහගන්න නෙමෙයි...., මට මෙව්ව කෙනෙක් එක්ක කියාගන්න ඕනෑ නිසා... මේව අහල මේ චරිත ගැන විග්‍රහයක් ඔයාගෙන් බලපොරොත්තු වෙන්නේ නෑ මම..." දෙයියම්ප ලැජ්ජ හිතුණ! ඒත් වැඩක් නෑ - ඒ වෙලාවට විතරයි!

ඊයේ පෙරේදා දවසකත් ඔන්න තවත් කෙනෙක් බොහොම පීඩාවට පත් වෙලා හිතේ ගින්දර වචනයට පෙරළුව. අතෑරියේ නැද්ද බෝම්බ ටික!! වැඩේ කියන්නේ ප්‍රස්නෙ තියන මනුස්සයට වඩා මට කේන්ති යන එක. ඒ මනුස්සය ඇඬුම් බරව කථාව නැවැත්තුව. ඇයි පොඩ්ඩක් ඉවසිලිවන්තව අර ගින්දර ටික පිට කරගන්න කල් අහගෙන හිටියෙ නැත්තෙ කියල පස්සේ හිතුන. හැම ප්‍රස්නෙකටම උත්තර සපයන්න උවමනාවක් ඕනෑ වෙන්නේ නෑ නෙව, මනුස්සයෙක් ප්‍රස්නයක් කීවම. ඒත් මෙව්ව ඒ වෙලාවට මතක් වෙන්නැති හැටියක්!!

කවුද කියන්න වාගේ ගොඩක් ආවේග කාලයත් එක්ක සංහිඳිල යනව. තමන්ගෙ ප්‍රස්නත් එක්ක මිනිස්සුන්ට ආවේග ගොඩ ගැහිල ඒවත් එක්ක පොරබදන කොට පොඩ්ඩක් හරි, අනේ අපොයි නොකීවත්, ඒ ප්‍රස්නවලට උත්තර  සොයා නොදුන්නත්, නිස්කලංකව අහගෙන ඉන්න එකත් කොච්චර වටිනවද?  මම පුරුදු වෙලා තියෙන්නේ මට ඔව්ව ගොඩගැහුනම බුකවගෙන ඉන්න එක. මොකෙක් එක්කවත්  ගණුදෙනුවක් නැතිව. ඒත්..... මගේ හැටි දන්න අර හාදයෝම - අර මගෙන් දුක කියන්න ඇවිත් ලුණු  ඇඹුල් එක්ක අහගත්තු අය - "හිත කරදරෙන් නේද ඉන්නේ?... උත්තර නොලීවට කමක් නෑ...  අපි ඉන්නව ඕනෑ වෙලාවක... අවශ්‍ය නම් කථා කරන්න... I know how you feel..." ලියුමකින් නැත්නම් SMS එකකින් හරි දන්වල අහනව. තවත් සමහරු කෙනෙකුට කියනව "අන්න... පුලුවන්නම් පොඩ්ඩක් ගිහිල්ල බලන්න - මේ දවස්වල බුම්මන් ඉන්නෙ.." කියල. උන්ට සෑහෙන පාඩුයි මේ මිත්‍රත්ව ගණුදෙනුවෙන්(?). ඒත් අදටත් එදා වගේම මා එක්ක ඉන්නව මිතුරු කමින්.

ඉතින් සමාවෙන්ට ඕනෙ. සමාව ඉල්ලන්ට මීට වඩා හොඳ කාලයක් තියේ? උත්සහ කරන්නම් මීට වඩා හොඳ මිතුරෙක් වෙන්න. පහුගිය කාලේ මම හිත රිද්දුවනම් ඉතින් හිතල මතල සැලසුම් කරල නෙමේ කලේ. ඔය වැඩිදුර හිතන්නේ නැතුව එළියට දාන වචන හින්ද වෙන දේවල්. ඉස්සරහටවත් මේව්ව මීට වඩා මේච්චල් වෙයි කියල හිතමු.

පහූනු කාලේ පුරාම මට හැබෑ මිතුරන් වුණු නුඹලාට බොහොම ස්තූතියි ඉතින්...!!!
අත්දෙක වන වන එන්න බැරි හින්ද තමුන්නැහැලට දෙන්න ගන්න තෑගි හැමතැනම හෙව්ව;
ඒත් "හොඳ හිත"ට වඩා ගැලපෙන, වටින තෑග්ගක් සොයාගන්න බැරිවුණා ආයිබොවංඩ...!!!


ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets