පුංචි පුංචි තරු කැට මැද...


"...වැන්ද දෙපා යළි අදත් වඳින්නම්..."
මාමන්ඩිය ඇතුලු පිරිස ඈ මට බාරදී යන අවස්ථාවේ ඈට හැඬුම් ආවාය. සිය පියාට වාරුවූ ඇයගේ මුහුණේ වූ ආලේපණ ඔහුගේ සුදු ජාතික ඇඳුමේ රත් පැහැයක් තැවරුවේ, මුවින් පිට නොකල මාමණ්ඩියගේ වේදනාව සංකේතාත්මකව දක්වන්නටදෝහෝයි මට සිතිණි. අප පවුලේ හිතවතියක වූ මගේ ලදරු පාසල් ගුරුවරියද ඒ දෙස බලාසිටියේ තෙත්වූ දෑසිණි. දියණියන් දෙදෙනෙකුටම මෙලෙස සමු දී ඇති ඇයට මේ අත්දැකීම අලුත් නොවන්නකි... එහෙත් ඈ කඳුලු පිරුණු දෑසින් බලාසිටී... මාමණ්ඩිය සිය සහපිරිවර සමග පිටව ගියේ මා දෙවුර තදින් අල්ලාගෙන, මගේ මූණ දෙස ඍජුව  බලා "අපි එහෙනමනම් යනව පුතේ..." කීමෙනි...

ඉක්මණින්ම පල දරූ අප විවාහ ජීවිතය, අටලෝ දහමට යටත්ව, අනේක දුක් කම්කටොළු මැද වුවද, සතුටෙන් පුරවාලන්නට පුතාගේ ආගමනය සමත්විය... ප්‍රසූතියට දින ලංවූ කල  මිතුරන්ගේද අවවාද මැද, ගෙදර ඇත්තන්ව රජයේ රෝහලකට ඇතුලත් කලෙමි... වාට්ටුවේ කොරිඩෝවේ වුවද රැඳී සිටින්නට අමුත්තන්ට තහනම්ය.. ‍රෑ බෝවනතුරුම වාට්‍ටුවට පිටින් අහල පහල කරක් ගසා ආපසු ගෙදර ආවෙමි... ඒ වැනි ‍රැයක් සුවෙන් නිදන්නට හැක්කේ පියවරුන් කීයෙන් කී දෙනාටද? පාන්දරම නැවතත් වාට්‍ටුව ලඟට මා පැමිණියේ කෙසේදැයි අදටත් මතකයක් නැත... ‍රැකවලුන්ට හෙදියන්ට බෙහෙවින් යාප්පු වී ඇයගේ ඇඳ ලගට යන්නට හැකිවිය... දරුවෙක් ඒ ඇ‍ඳෙහි නොවිණි... මා බලාපොරොත්තු අත් හළෙමි... හිසට අත තබාගෙන ඈ ඉන්නේ බොහෝ අපහසුවෙනි... ඇඳ සිටි චීත්තයට පහලින් නිරාවරණය වූ දෙපයේ යටි පතුල්ම දක්වා ඇදී ගිය වේලුණු රුධිර ධාරා කිහිපයකි... අම්මා හොඳින් සිටීමම මට සෑහේ...

"මට උණයි ප්‍රෙෂර් එකයි ඇවිත් හොඳටම අමාරු වුණා..." මම කිසිත් නොකීමි...

"අන්න ඔයාගේ බබාව දැන් බේබි රූම් අරන් යනව... එලියෙන් ගියොත් බලතෑකි..." හෙදියක් මට කීවාය...

කොරිඩෝවට දිව ගිය මට හෙදියක් විසින් සු‍රැකිව ඔතා, ගෙනෙමින් සිටි අපගේ මල් කැකුළ දැක ගැනීමට හැකිවිය... දැත් දෙපා ගුලිකරන් සිටි ඔහු සුව නින්දේ පසුවිණි...  ඔහුගේ හිස යන්තමින් පිරිමැදි මා, "මගේ පුතේ...." යැයි කීවිට වම් ඇස පමණක් හැර මා දෙස බැලූවේ මගේ කටහඬ හඳුනාගත්තාක් මෙනි... ඇයගේ දහවල් අහර වේලද ‍රැගෙන නැවත ආපසු ආ යුතු බැවින් කිළිටිද ‍රැගෙන මා ආපයින්ම ආපසු ගෙදර ආවෙමි...

"ඔය රෙදි තනිකරන්න එපා පුතේ..." අපේ අම්මා කීවාය..
"ඔය රෙදි දාපු බාල්දියට යකඩ ඇනයක් දාල තියන්න.. පෙ‍ඟෙනකම්"...

මූණ කට යන්තමින් සෝදා ගෙට ගොඩවුණු මට මුණ ගැසුනේ සුභ පැතීමට අවුත් සිටියේ මාමන්ඩියයි... "Hello... congratulations my son..!!"  කාරණා දැන සතුටින් සිටි ඔහු එදා මෙන්ම මා දෙවුරෙන්, එහෙත් මෘදුව අල්ලා සෙලවීය... දෙදිනක් දරාගෙන සිටි දුක, උගුර හිරකරන ඉකියක් සමගින් පිටවිණි...

විවාහ ජීවිතයේ  බොහෝ පළමු අත්දැකීම් වලට මුහුණ දෙන්නට අපට ඉඩ සලසා දුන්නේ ලොකූය... එක දිගට නිදි නොලබන්නට සිදුවෙන රාත්‍රී ජාමයන්, රෝහල් වාට්‍ටු ලී බංකු, ණය තුරුස්, නොනවතින "ලුණු" ගෙනියෑම්, නුහුරු නුපුරුදු බෙහෙත් වර්ග, යමක් කෑමට පටන් ගත් ගමන්ම සිදු කරන්නට වන සේදීම්, එක් පසක තිබියදී, අදද සිතෙහි ගැඹුරින් ‍රැඳී ඇති සතු‍ටු සිනා, මතකයන් බොහොමයක් ඔහු අපවෙත ගෙනාවේය.. ඒ  ඔහු වෙනුවෙන් අප විඳි, අව පස දෑ අමතක කරන්නට මෙනි...

දෙවැනි දරුවා ඇගේ කුසට ආ පසු, යම් යම් කාරණා නිසා එතෙක් අප වාසය කල මහ ගෙදරින් තිදෙනාම ‍රැගෙන නික්මෙන්නට මා තීරණය කළෙමි... පාසල් යන පුතෙකුගේ සියළු වැඩ කටයුතුත්, පාන්දරින් එළියට බසින සැමියාගේ අඩෝවැඩිය සම්පාදනයත්, දිනෙන් දින මෝරණ ගැබත් ඔසවාගෙනම ඈ නොපිරිහෙලා ඉ‍ටු කලාය... පදිංචියට ‍තෝරාගත් ඇනෙක්සිය ඉතා කුඩා වුවද එය ඇයගේ සිතට ඉමහත් සැනසිල්ලක් ගෙනාවේය... දෙවැන්නා දියණියක් වූවානම් ඒ ඇයට අනාගතයේදී පහසුවක් වේයැයි මට සිතිනි... මුවින් නොබැණ ඈ සිනහවකින් ඒ කැමත්තට ප්‍රතිචාර දක්වන්නේ පුතුන් කෙරෙහි තවමත් ඇති ආසාවෙන්ද, එහෙමත් නැත්නම් ඈ විඳි දුක් තවත් කෙනෙකුන් විඳිනවා දැකීමට දීමට ඇති අකමැත්ත නිසාවෙන්දැයි මට පැහැදිලි වූයේ නැත...

දෙවැන්නා කවුරුන් වූවද මෙලොව එළිය දකින්නටත් ප්‍රථම බෙහෙවින් කලහ කරන්නෙක් විය... අපි නූපන් දරුවාට "jelly fish" යැයි තාවකාලික නමක් පටබැඳීමු... සිඟිති, නොමේරූ, දෑත් දෙපා වලින් කරන සෙල්ලම නිතරම පටන් ගන්නේ ඈ විවේකයක් ලබන්නට නින්දට යන ‍රෑ යාමයේය... එහෙයින් ඇයට නින්ද ලැබීමේ අඩුපාඩුවක් දරුණු ලෙස විය... ප්‍රසූතියට ලබා දී ඇති දවස හෙට වන දිනයද උදාවිය... ලොකු පුතා ඈ පසෙකින් නිදයි... මට නින්ද හලකටවත් නොඒ... පිරිත් පොතත් ‍රැගෙන ඈ අසලින් බිම වාඩිගත් මා ඇගේ පිරුණු ගැබ සෙමින් පිරිමදිමින් අංගුලිමාල පිරිත නැවත නැවතත් පහත් හඬින් කියවන්නට විය...

"ඊයේ නම් හොඳට නින්ද ගියා..." රෝහලට යාම සඳහා පාන්දරින් නැගි‍ටුනු ඈ කීවේ උස් පහත් වෙමින් නැගෙන වේදනාව තාවකාලිකව යටපත් කොට සිනාසෙමිනි... දරුවාද ඊයේ වැඩි කලබලයක් නොකල වග මටද දැණිනි...

පාන්දර පහයි තිහට වාට්‍ටුවට ඇතුලත්කල ඇගේ කුසෙන්, දරුවා මොලෙව එළිය දු‍ටුවේ දහවල් එකයි තිහට පමණය.... ඇ භාරව සිටි වෛද්‍යවරයා වූ සිරිසේන දොස්තර මහතා සීසර් සැත්කම් කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන්නෙකි... පහසුවෙන් පහන් කල ‍රැයට හිලව්වන්නට මෙන් දෙවැනි වතාවටද දරුණු යුද්දයක් නිමාකල ඇය, මෙවර ආපසු පැමිණියේ, දරුවාද පසෙකින් හොවාගෙනය.... කොරිඩෝවෙහි නොනවතින සක්මණෙහි යෙදී උන් මා ඔවුන් වෙත නැඹුරු වූයේ සිත් පුරා මා දරුවා දෙස බලන නියායෙනි... වරදකාරියක ලෙස හිස ඔසවා මා දෙස බැලූ ඈ මෙලෙස කීවාය...

"පුතාල දෙන්නා ඔයාට දුවල දෙන්නෙක් ගෙනත් දෙයි..... ආයේ නම් අමාරුයි මට....."


පුංචි පුංචි තරු කැට මැද
     දිලිසෙන සඳ වත...
තරු මොකටද සඳ මොකටද
     මට මගෙ දුව ඇත...

සිනහ වෙන්නේ ඉඳ හිටලයි
     ආඩම්බර කම...
නිදා වැටෙයි මා නැතිනම්
     ඒ නිදිමත නැත...
මගේ කුඩා කාලය සිහිකරන
     ඇගේ වත...
පුතුන් සතර දෙනෙකුට නැත
     එක දුවලඟ ඇත...
     එක දුවලඟ ඇත...


තිලක තබා නළල් තලේ
     හැන්දෑවට හැඩ...
වැළිබත් මුට්ටියට තමයි
     ඈ ඇති තැන වැඩ...
මුලු ගෙදරම හරි පාළුයි
     නැති කල ඇගෙ හඬ...
පුතුන් අතර පියුමි දුවේ
     හද තුල ඉඩ ඇත...
     හද තුල ඉඩ ඇත...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

බානුමතී...

මැද පෙරදිග 'පුංචි කේරළය'නමින් හැඳින්වූවාට වරදක් නැත. එපමණක්ම කේරළ [මලබාර්] ජාතිකයන් ගෙන් ඒ වැසී ගොසිනි. මලබාර් ජාතිකයන් ගැන අනෙකුත් ඉන්දීයයන්ගේ මෙන්ම අනෙකුත් ජාතිකයන්ගේත් ඇත්තේ තරමක අපුලකි. ඒ මන්ද යැයි කීමට තරම් සැලකිය යුතු කාරණාවක් මට තාම අසුවී නැත. මගේ සේවා ස්ථානයත් ඔවුන් ගෙන් ගහනය. නොබෝදා අප මලබාර් ජාතික ලේකම් වරියත් මගේ මිත්‍ර මලබාර් ජාතික ඉන්ජිනේරු වරයාත් ද්‍රවිඩ ජාතික ආචාර්‍ය පට්ටමක් ඇති පරිසර වේදිනියත්, අප කළමණාකාරවරයා නැති වෙලාවක් බලා මාගලක් දිග ඇරගන්ට විය. අප දිග අරින්නේ පැදුරු වුවුද ඔවුන් බොහෝ විට දිග අරින්නේ මාගල් ය. ඉවසුම් නොදෙන තරමට කරච්ච්ලය වැඩිවූ විට Volume Please යයි කීමට මට සිදුවේ. නොපහන් සිතැතිව වුවද ඔවුන් බොහෝවිට කථාව නවතයි. එහෙත් මෙදා මටද සාකච්ඡාව්ට සම්බන්ධ වීමට සිත්වූයේ 'ගුන්ඩුමණී' යන නම ඇසීම නිසාමය. ඔවුන්ට අනුව එහි තේරුම නම් 'පිරිපුන් කාන්තාව'යන්නය.
-------------------------------------------------------------------------------------------------------------
ආවේණික ද්‍රවිඩ සංගීතයනට අනුව ගැයුනු සිංහල ගී අතර ෆ්‍රෙඩී සිල්වාගේ කුණ්ඩුමණී ගිය සිංහල රසිකයන් අතර ඉමහත් ජනප්‍රිය ගීයකි.

බන්දු සමරසිංහගේ කදිම නැ‍ටුමක් ඇති කස්තුරි සුවඳ චිත්‍රපටියේ එන;

"ගිගිරි ජගරි හඬමිනා
කසෙන් අසුට තලමිනා
තීරු[?] පට්ට තීරු තීරු කළම්බා එමි
කඩුද කොඩිද වනමිනා
පනම් පෝරු උතුරනා
නම්බුකාර ‍තෝම්බුලගේ මහාරාජා මං.."

ගීයද එළෙසම අපූරු ගීයකි.
-------------------------------------------------------------------------------------------------------------
බානුමතී නම් මේ ගීයටත් දශක තුනක්  හෝ හතරක් ඇති යැයි සිතමි. ෆ්‍රෙඩී සිල්වා මේ ගීය ඉතාමත්ම ලගන්නා ස්වරූපයකින් ගායනා කරයි. අත්හදාබැලීමක් ලෙස යොදාගත් මෝල්ගස් හා පෙනේර හඬ ගීයට චිත්‍රයක් ඇඳ දෙයි. අත්හදා බැලීම් කරන්නන්ට උවමනානම් මේවා අධ්‍යයනය කර බැලිය හැක. සරත් බාලසූරියයන් ගේ හඬ මුසුව නම් ඉතාම අපූරුය. මම හිතනා හැටියට ප්‍රේමකීර්ති ලියූ මේ ගීය ගීයකට වඩා චිත්‍රයක් හා සමානය....

ඒත් අද කාලේ දනක් ලඟට දිග කොණ්ඩයක් හැබැහින් බලා ගැනීම හාවා හඳ දකින්නා වාගේය...

බානුමතී... බානුමතී...
බානුමතී... බානුමතී...
බානුමතී...
බානුමතී...
බානුමතී...

කෝපි කැළේ මල් වැස්සේ
උදේ පාන්දර පින්නේ
ඒ දණ්ඩේ නාන තොටේ
හැන්දෑවට හමුවන්නේ
කුඹුක් ලිඳේ...... වතුර කලේ
උකුලේ තියා නලවන්නේ
දනක් ලඟට දිග කොණ්ඩේ
පනාවෙන්ද පීරන්නේ
බානුමතී...

පිටි කොටලා පිලිකන්නේ
මුහුණෙ පියර ගෑවාසේ
පෙනේරයෙන් ඇතුල් පතට
පිටි හලනා තාලේ ඇසේ
අප්පොච්චිගේ...... කෝපි කඩේ
නුඹ හදනා කෝපි රසේ
හරි උණුසුම් හැමදාමත්
ඒකයි එන්නේ මෙලෙසේ

ගීතය අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...

බිත්තියේ එල්ලා ඇති උෂ්නත්වමාණයේ පහල ඇතිආර්ද්‍රතාමානයේ පෙන්වන අගය ඉතා පහලය. වාතය බොහෝ සෙයින් වියලිය. හිසට දිනපතා තෙල් දැමීමට කම්මැලි කමක්ද වෙයි. විපරීත සිහින බොහෝ පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාද? හිස පනාවෙන් පීරා මදක් ඉහලට ගත් සැනෙකින් ආරෝපිත කෙස් පනාව මුණගැසෙන්නට විත් නැවතත් "බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්" මෙන් නැවතත් හිස මත පහත් වේ. 

සූක්ෂ්ම උපකරණවලින් මිනිසාගේ හිසවටා ඇති යම් රෂ්මි ප්‍රභා මණ්ඩලයක් නිරීක්ෂණය කල ඉන්දීය විද්වතෙකු හිසට තෙල් දැමූ විට මේ නිරීක්ෂණය කල නොහැකි යයි  කියා ඇත. ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථාවර වන්නේ පරිවාරක තුලය. සිහින් තඹපත්‍රයක් යම් මන්ත්‍රයක් හෝ ගාථාවක් කොටා සුරයක් තුලට බහා ශරීරයේ ගැටෙන්නට තබාගන්නේ, භෞති තත්ව නිසා මේ කැලඹෙන මනස නිරවුල් කරන්නට උදව්වක් වශයෙන්දෝහෝයි නොදනිමි.
------------------------------------------------------------------------------
"හලෝ... ආ..කොහෙද ඉන්නේ?"
"අද පොලට ආවනේ... පොල දවසනේ..."
" ඊයේ හීනෙන් දැක්කනේ..."
"අපොච්චියේ..." ඈ පහත් හඬින් සිනාසෙයි..."මොකක්ද
ඉතින් දැක්කේ...?"
" අපි දෙන්නා අර මියුසියම් එක ලඟ බස් හෝල්ට් එකේ, බස් එකක් එනකල් තාප්පෙට පිටදීලා වාඩි වෙලා උන්නානේ...!"
" දෙයියනේ...!!!" පොල මැද්දේ ඈ කෙසේ මෙලෙස සිනාසෙනවාදැයි
නොසිතේ...
------------------------------------------------------------------------------

වුරුදු විසි ගනනකට උඩදී මුණගැසුණු අප, ඉසිඹුවක් ලද විගස හමුවී දොඩමලු වන්නට බොහෝ ප්‍රියකළෙමු. නුසුන් වූ ඒ ආසාවන්, සිරුරෙන් දුරස් වූ මෙකල, උඩුහිත නිසල වූ මොහොතක් බලා මතුපිටට පැමිණියා විය හැක.  මොහොතක් සැඟවී ලොවෙන් මුවාවී දොඩමළුවීමට එකල අපට තුබුණේ සීමා සහිත පරිසරයකි. හඩ්සන් සමරසිංහයන් "රඟහල දැන්......" ගීය රචනා කරන්නට ඇත්තේ අප වැනි අසරණයන්ට මග පෙන්වීමටදෝ යැයි මතක් වෙන විට දැන් නැගෙන්නේ මන්දහාසයකි.
-------------------------------------------------------------------------------
මෙවර නිවාඩුවට ගෙදර ගිය මට, මා එකළ ගුවන් විදිලියෙන් කැසට් පට වලට පිටපත් කරගත් පැරණි ගී ගොන්නක්
හමුවුණි. එයින් එක් ගීයක මුල් පද කිහිපය කොළයක් මත්තෙහි සටහන් කොට මාවිසින් එය කැසට් පටයේ කවරය තුලට රිංගවා සකසා තිබුණි. 

"න් තරු මිණි මුතු ආභරණ ඇඳන්
අඩ සඳ වත පවසන කොමළ වදන්
ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්
මට දෙනු මැන මුවරද සුවය නොදුන්..
"

අද ඒ කඩදාසිය බොහෝ කහ පැහැ ගැන්වී ඇත්තේය... කාබන් පෑනෙහි අකුරු ඒ මත්තෙහි බොඳව ගොස් ඇති ලෙසකි.... එහෙත්..... ගීයෙහි අරුතත්, ඒ විසින් කුළු ගන්වන අතීත මතකයනුත් සිතෙහි ඇතිකරන හ්ලාදය නම් එදා මෙන්මය.

රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...
අඩ සඳ වත පවසන කොමළ වදන්...

   ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්...
   මට දෙනු මැන මුවරද සුවය නොදුන්...

පුබුදනට පියුම් පෙතී පරිදි විලේ...
නෙක සොඳුරු දසුන් දෙන උවන දිලේ

   මධු බඳුන් පුරා ලද නිමල සුවේ
   කඳු පෙළින් රිදී දිය විලස සැලේ

        කඳු පෙළින් රිදී දිය විලස සැලේ...

රණ මොණර ‍රැඟුම් ලෙස සිතැඟි හැඟුම්
කොඳ කැකුලට සඳ මෙනී නෙතග බැලුම්

   මිණි බරණ හැඬුම් දෙන අමර පැතුම්
   සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්

        සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්...

.

Read More!

කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්...

මටමය කියල ජංගම දුරකථනයක් ගත්තේ රස්සාව කරන්න පටන් අරන් අවුරුදු අටක් විතර ගියහම ඒ කියන්නේ 2004 දී. සෑහෙන කාලයක් අර ඇඳ ඈඳ හිටියත් මූල්‍ය විරාමය ලැබුනේ 2004 දී කෙටි කාලීන රස්සාවකට කටාර් රාජ්‍යයට ගියහම. දැන්නම් ලංකාවේ ජංගම දුරකථන උමතුව නිමාවෙලාද මන්දා.

ඉගෙන ගත්තු දේ ශිෂ්‍යයන්ට කියාදෙන්ට, රස්සාව කරන ගමන් ඒ අංශයෙන්ම දේශන පවත්වන වැඩෙත් මම කරන් ගියා කාලයක් තිස්සේ. කණ්ඩායමෙන් කණ්ඩායම ලමයි අත තිබෙන දුරකථන වල අධි තාක්ෂණික බව ඉහල යන හැටි මම අවුරුද්දෙන් අවුරුද්ද දැක්කා. දිවා ආහාරයෙන් පස්සේ පවත්වන දේශන තරම් ලමුන්ට එපා කරපු දේශන, තවත් නෑ මයෙ හිතේ. නිදිමතට වඩා "බුදිමත" එන වෙලාව ඒක. බුදිමත යන්න කුඩා අතුරු කථා පවත්වන ඒ වෙලාවේ දවසක් මම ඇහුවා [මේ එතකොට 2005 හෝ 2006 වසර විය යුතුයි - ශිෂ්‍යයෝ තෙවැනි වසර අය] මේ අයගෙන් දැන් කී දෙනෙකුට ජංගම දුරකථන තියෙනවාද කියා. තිස්පහක් පමණ වෙච්චි ඒ ඔක්කොම ළමයි අත ඉස්සුවා. ඊට පස්සේ මම ඇහුවේ තමන්ගේ දුරකථන බිල තමන්ම ගෙවන අය කී දෙනෙක් ඉන්නවාද කියල. එතකොට නම් තුන්දෙනයි හිටියේ; දෙන්නෙක් උසස් පෙළ ළමයින්ට උපකාරක පන්ති කරලා ආදායමක් උපයාගන්න අය. තුන්වැන්නා අපූරු හාදයෙක් "මම සෙල්ෆෝන් විකුණනනවා" ඔහුගේ පිළිතුර වුණා.

දැන් නම් ජංගම දුරකථන ගනනට කැමරාත් මිනිසුන් අත ගැවසෙනවා. අන්තර්ජාලයට තමන් ගන්න ඡායාරූප එකත් කරන එක කදිම වැඩක්! විනෝද චාරිකාවක් ගියහම මේ වැඩේ ටිකක් සීමාව ඉක්මවෙන අවස්ථාවලුත් දැන් දකින්ට පුලුවන්. කෙනෙක් තනියම ගිටාරයක් වයමින් ගීයක් ගයනවා ගඟක් අද්දර. අනෙක් සියලුම සගයන් ගීයට එකතුවීම පැත්තක දාලා පොලවේ දිගාවෙලා, ගල් උඩ නැගලා වතුරේ අඩක් ගිලී සගයාගේ පින්තූරු ගන්නවා. බ්ලොග් සටහන් වලට රූ සටහන් එක්කරන කොටනම් තමන්ගත් කුමන මට්ටමේ හෝ ඡායාරූප එකතු කරන අය අඩුයි කියලයි මට හිතෙන්නේ. ඒත් එහෙම කරන අය ඒක අපූරුවට කරනවා - තමන් තබන සටහන් කදිමට තමන්ගේම සටහනක් වෙනවා එතකොට. තාම මටම කියල කැමරාවක් නැති මා වගේ බ්ලොග් සටහන් තබන්නනුත් ඉන්නවා. ඒත් බොහෝ වෙලාවට ඒ සටහන් වලට එකතු වෙන්නේ පිටදේශයක කෙනෙක්ගේ පින්තූර. ප්‍රේමය ගැන කථාකලත්, මිනිසුන් ගැන කථාකලත් බොහෝ වෙලාවට මේවාට එකතු වෙන්නේ විදෙස් පසුබිම්, විදෙස් පසුතල - අර අටෝරාසියක් පින්තූර ගන්නා තමන්ගේ මිතුරෙක්ගේ ඡායාරුවක්, අපේ රටේ දසුනක්, අපේ කාටූන් ශිල්පියෙක්ගේ කාටූනයක් එකතු කලොත් ඒ නිර්මාණකරුවන්ට, කැමරාකරුවන්ට එහෙම නැත්නම් ඒවාට පෙනී සිටින්නන්ට කුඩා හෝ සතුටක් ලැබේවි නේද?

ලඟදී මූණු පොතේ අහම්බෙන් දැක්ක අපේ බ්ලොග් සටහන් තබන්නියක වන "ජනූ" සොයුරිය නොබෝදා විවාපත් වෙලා කියලා.. මම කුමන හෝ කලා ක්ෂේත්‍රයක විචාරකයෙන් නුවූවුද ඇගේ විවාහ දින මේ පින්තූරය, අපූරු පින්තූරයක් ලෙස මගේ බොහෝ සිත් ගත්තා. කෑළි කෑලි වලට වෙන් නොකර සමස්ථයම රස විඳින්න පුලුවන් අපූරු පින්තූරයක් එය. ඇගෙන් අවසර ලබාගෙනම ඒ පින්තූරය මෙහි පලකරනවා. ඇයටත් සුභ පැතුම්.

කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්
බමතෙයි පරවිය බමතෙයි
නෙළුම් විලට නෙළුම් මලට බමර කුමරුවෙක්
බමතෙයි කුමරුව බමතෙයි

සුභ නැකතින් මා අතගෙන තිරික්කලෙන් ඔබ යනකොට
ආල මගේ ආල මගේ ආල රත්තරන්
ආල රත්තරන් කරවට මාල රත්තරන්
කරවට මාල රත්තරන්

ඈත එපිට පුංචි පැලේ හෙට ලා සඳ නැගෙන වෙලේ
ආල නුඹේ ආල නුඹේ ලාතාවී
දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී
අරගෙන නුඹ නලවාවී

ගීතය අහන්න... ඕන්නම් බාගන්න

ගායනය: සුජාතා අත්තනායක
Read More!
 
Blogger Wordpress Gadgets