සපුමල් සුවඳක් සේ....

කාන්සිය නිවාගැනීමට ඉඳහිට සවන්දෙන ගීතවල වගතුග සෙවීමේදී  "රචිකාවියන්" මුණගැසුණේ අතලොස්සකි. සිංහල ගීත රචනාවලියේ පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තා නියෝජනය ඉතාම අඩුයැයි හැ‍ඟේ. පුවත්පත් වල කවි පි‍ටු පුරා ඔවුන් ලියූ කවි බොහෝ ඇතත් ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය. යමුනා මාලිනී කිවිඳිය තවමත් ගී රචනා කරන අතර කුසුම් පීරිස් මහත්මියගේ, රත්නා ලංකා අබේවික්‍රම මහත්මියගේ ගී රචනා ඉඳහිට අසන්නට ලැබේ. "දයා ද අල්විස්", මේ ගී රචිකාවියන්ගේ පාලු අඹරේ දිදුලන තරුවක් බැව් නම් නොකියාම බැරිය. ඇගේ 'සූරියකාන්තා 'ගීත එකතුව මීට අවුරුදු පහලොවකට පමණ පෙර එළිදක්වන්නේ පසුපිටේ ඇති මෙවන් වැකියකිනි...

"කිසි ලෙසකිනිදු හමුවිය නොහැකි නිසා මගේ මේ ගීයක සියුම් වදනකින් ඔබේ හදවත ස්පර්ශ කරමි"

දයාද අල්විස් මහත්මියගේ මා කැමති ගී කිහිපයක් මෙලෙස සටහන් කරමි...

• ඉහත කී වැකියටම ගැලපෙන ලෙස ගුණදාස කපුගේ ශූරීන් විසින් වයලීනය හඬවමින් තනු යෙදූ පුන්‍යා කත්‍රිආරච්චි ගායනා කරණ  මේ ගීය නම් අදත් එක ලෙස ජනප්‍රියය...
"දැස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරගමි ඔබට නොඑන්නට - සිතුවිල්ලක් වී ඔබ එනවා
.......................................
අහසත් පොලොවත් ඔබමද මාහට - නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙදි බැඳි බැමි බිඳදා - කෙදිනද ඔබ මා හමුවන්නේ"

• ගීයක් ලියාදෙන්නැයි මිල්ටන් පෙරේරා කල ඉල්ලීමකින් ඈ ගී රචනා ලොව පළමු පියවර තබන්නීය. තනුව තුමූම යෙදූ මිල්ටන් පෙරේරා එය මෙලෙසින් ගායනා කලේය...
"කඳුලු අතරට සිනහ ‍රැළි වෙමි - විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන - ආදරේ කවියක් වෙමී"

• සනත් නන්දසිරි විසින් තනු යෙදූ අපූරු ගීත යූග්මයක් දයාද අල්විස් ගී එකතුවේ ඇත (සනත් නන්දසිරි විසින් මෙබඳුම "ගී - පිලිතුරු ගී" යුගලක් තවත් වරෙකද ගයා ඇත - "ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ" හා "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" යන ගී ඒවායි)
"සහසක් පැතුමන් ඉපිදී මියගොස් - ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැල මහට අඩසඳ පෑයූදා - මතකද සිරි දළදා වැන්දා
..................................
අහිමිව ගිය සම්පතට වඩා - හිමිවූ දුක මිහිරියි සලකන්නම්
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් - පෙර පිනැකැයි මා සලකන්නම්" - සනත් / මල්කාන්ති

"සහසක් පැතුමන් නැත මා පැතුවේ - එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ - මතකයි සිරි දළදා වැන්දා
................................
අහිමි සැපත මිහිරියි සිත පුරවා - තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන - අදට වඩා අනුකම්පාවෙන්" - සනත් නන්දසිරි

• සිසිර සේනාරත්නයන් තනු යොදා ගැයූ මේ ගීය නම් අපූරුම එකකි...
"අහසේ ඈතට - පාවී යනවා - සරුංගලේ..... සරුංගලේ......
...............................
සැරසිලි දාලා කවුද හැඩකලේ - සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා - ඔබෙ සිත මා සසලන්නේ
...............................
නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙණු - නැතිදෝ ඔබට පෙනෙන්නේ"

• ස්වයංවරයක් අභියස හිඳින නෙළුමකටයි මේ පැණය දයා ද අල්විස්ගෙන්
"හිරුට අයිති බව හිරු පවසනවා - විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා - ඔබ කාටද හිමි නෙළුම් මලේ
.....................
හිරු ලඟ අහසේ රුවට පිපීයන් - විල් දිය තුල සැඟවී සැනසීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට - නෙළුමේ නුඹ හසුවන්න එපා" - රෝහණ / නීලා
රචිකාවිය නෙළුම් මලකට කියූවක් වුවුද මේ ගීය, ගීතයේ ස්වාමිත්වය වෙනුවෙන් සටන් වැද, ඉනික්බිති අපූරු ගී නිර්මාණ ආර්ථික අරමුණු වෙනුවෙන් හුවමාරු වී, අවසන, එහි රසය සම්පූර්ණයෙන් නැති කරන්නන් නිසා කල ඉල්ලීමක්දෝයි මට සිතේ...

• වැරදීම මිනිස් ගතියකි!
"යලි උපදින්නම් අලුත් කෙනෙකු වී - නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා - සුවය ලබා
......................
යලි උපතක් දුන් සෙනෙහේ නාමෙන් - දෙපා සිඹින්නම් මෙළෙසින් මතුදා
දෙවියෙකි ඔබ මේ මහ පොලවේ - මහ පොලවේ" - රෝහණ / නන්දා පතිරණ

• ලක්ෂ්මී දෙවඟන පැමිණෙන විට එතුමියට ඉඩදීමට කවුරු හෝ පිටවිය යුතුය!
"එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ - පාළුව යාළු වුණේ
පැතූ වදන් නෑ ලබැඳි සිනා නෑ - කාලය ඉබි ගමනේ
...............................
ටිකින් ටිකට අඩි පාර පළල් වී - රිය සළකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී - අංගනයද සැදුනා
...............................
කහවණු හිනැහෙයි අද මතු මහලේ - මා හිත බිම් මහලේ
හිමියනි මා නෙතු කඳුලු බලන්නද - කහවණු නළවන්නේ
...............................
බුමුතුරුණක් කර යසිසුරු අතුරා - හිත්මල එහි පරවී
පළිඟු විමන් තුල දුක් සඟවන්නද - සැදුණේ රන්කාසී" - රෝහණ / නිර්මලා

• හෙක්ටර් සිල්වා හා පුන්‍යා කත්‍රි ආරච්චි ගයන මේ ගීයද දසක තුනක් වත් අඩුම ගනනේ පැරණි යයි සිතේ. මිදි යුෂ මෙන් පැරණිවන තරමට අගය වැඩි වන හැටි!
"මට මතකයි ඔබ පිපිලා උන්නා - දුනුකේ ගසක සුදූ
මට මතකයි ඔබ සොයලා ආවා - බඹරෝ සුවඳ මගේ" - තනුව හෙක්ටර් සිල්වා
මේ ගීය පිළිබඳ අපූරු සටහනක් ගී රස විනිස හි දක්නට ඇත

• අසමාන ආදර අන්දරයක කථාව ඇගේ පෑන් තුඩින්!
"සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ - හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දු‍ටුවේ
...............................
හැන්දෑ වලාකුලේ අටවක සඳ මඩලේ - මේ හැම තැන ඔබ සැඟවී උන්නා - මා පමණයි දු‍ටුවේ
...............................
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ - සවනත සනසා මා ලඟ උන්නා - ‍රැය පමණයි දු‍ටුවේ
...............................
සපුමල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ - මහ මෙර සේ ඔබ නොසැලී උන්නා - ඇයි මුලු ලොව දු‍ටුවේ?"
- දයාරත්න / අමරා
.............................................................................

ප්‍රේමය, විරහව, තනිකම, පාලුව යන නිමිති කවියට, ගීයට ඉතා සුලබ මාතෘකා වුවද ඈ ඒවා ස්පර්ශ කර ඇත්තේ ඇයටම විශේෂිත වූ ආකරයටය. තනු නිර්මාපකයින්ද ඇගේ සිතැඟි එලෙසින්ම වටහා ගත්තාක් බඳුය. නිරංජලා, නිර්මලා, ඉන්ද්‍රානි බෝගොඩ යනාදීන්ගේ මුවින් ගැයෙන්නේ ඇයගේම හඬ යැයි වෙලාවකට මට සිතේ. මම ඈගේ සෑම ගියකම පාහේ සැඟවුණු කාංසියක් දකිමි. මෙහි කථා නොකල "කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත - කඳුලැල්ලෙන් වැසී ගියා" (අබේවර්ධන), "ආපසු එනවා මගේ සිත ඉබි ගමනින් - ඔබ ඈතක රඳවා" (ප්‍රියා), "මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවද - වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ" (නිර්මලා), "අකලට වට මහ වරුසාවක් සේ - අසුබ දිනක ආ සුබ පැතුමක් සේ" (නිරංජලා), යනාදී ගී බොහොමයක මම ඒ සැඟවුණු කාංසිය විඳිමි.

ගුවන් විදුලි නාලිකාවලත් රූපවාහිනී නාලිකා සම්මුඛ සාකච්ඡා බොහොමයකත් දක්නට අසන්නට ලැබෙන්නේ එකම චරිතය. අසන්නේද එකම ප්‍රස්නයන්ය. "ඔබේ ජීවිතේ අමතක නොවන සිද්දි?" "පලමු පෙම?" "ඔබට ඔබේ ගමන් මගේ දිරිදුන් අය?" ඒවා අතරින් ප්‍රසිද්ධ පැණයන්ය. වියත් ගුවන්විදුලි නිවේදිකාවක්ද වූ ඈ බඳු අයගෙන් ඒ ක්ෂේත්‍ර වල ඉන්නා අයට මෙන්ම, සරල කලාවන් රසාස්වාදනයේ යෙදෙන අප වැන්නන්ටද ඉගෙනීමට ඇති තරම් කරුණු තවත් ඇතියැයි සිතමි.

දයා ද අල්විස් මහත්මිය බොහෝ කෘතවේදීව සිහිපත් කරන අතර ඇය 'සූරිය කාන්තා' ගීත එකතුවට ලියූ පෙරවදනෙහි කොටසකින්ම නැවතීම තබමි.

"ගොරෝසු ව වචනවලින් නොකළ හැකි බොහෝ විශ්මය ජනක සුන්දර වෙනස්කම් ගීයකින් කළ හැකි බව මගේ විස්වාසයයි. නිසරුව වියළිව ඇති හදවතකට තෙතමනයක්දී, සුවඳමල් පුබුදුවාලීමේ හැකියාවක් මිහිරි ගීයක ‍රැඳී පවතී. මිනිස් වර්ගයාට හා සොබා දහමට ආදරය කිරීම, ජීවිතාවබෝධය ලබා දීම, ගීයකින් සිදුවිය යුතු මෙහෙවර ලෙස මම සලකමි . ගීයක් ඇසීමෙන් හිත සමාධිගතවී ඇතිවන සංයමයෙන්, අකාරුණිකත්වය බොහෝ දුරට පලායන බව දැකිය හැකියි. මා මේ අවබෝධය ලැබුවේ වසර විසි ගණනක් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ලද අත්දැකීම් තුළිනි. සිතක් ඉතා පහසුවෙන් ස්පර්ශ කල හැක්කේ ගීයකට පමණයි. එසේනම් ගීය, ඉතා වේගයෙන් සමාජ මෙහෙවරක යොදා ගත හැකි දූතයෙකු නොවන්නේද?දයා ද අල්විස් - 1997

ගීත අසන්න...
 


32 comments :

  1. අගනාම මිනි කැට ටිකක් ඔබ ඔප දමා අපට දීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. නියමයි තිස්ස අයියා.මේ සිංදු ඔක්කොම පුදුම හැගිම් දනවන එවා.ඇයි දැන් මේ වගේ එවා නැත්තේ.

    දැස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා
    සිත සිරකරගමි ඔබට නොඑන්නට - සිතුවිල්ලක් වී ඔබ එනවා

    ReplyDelete
  3. සුපිරිම ලිපියක් ..සමහර ගී ලිවේ ඇය බව දැනන් සිටියේත් නැහැ . අපුරුයි .. ගීත ටික අහලාම තව කමෙන්ට් එකක් දාන්නම් .

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා තිසා. . . !!!

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ කලින් බිරිඳ දයා ද අල්විස් මහත්මිය, රේඩියෝවට වහවැටී රසවින්දනය උසස් කර ගත් සහෘදයන්ගේ ලෝකයේ වීරවරියක්.

    ඉස්සර නිවේදක තෝරයි වැඩසටහන්වල දයාද අල්විස් මහත්මිය තේරූ ගී අනෙක් නිවේදක වරුන් තේරූ ගී වලට වඩා අමුතුම රසයක් ගේනවා කියලා මට ලාවට මතකයක් තියෙනවා.

    මේ ගී ටික කොපි කර ගන්න නම් මම උඹව හොයාගෙන එනවා ලඟදීම මහත්තයෝ

    ReplyDelete
  5. පසුව සඳහන් කල ගී කීපයත් මගේ ප්‍රියතම ලැයිස්තුවේ තියෙන ඒවා . ඒ ටිකක් එක්කහු කලානම් අගෙයි . දුකා කිවා වගේ යහපත් ගුවන් විදුලිය අසමින් ලොකු මහත් වූ අපට මේ ගී කෙසේ අමතක වේද ..

    ReplyDelete
  6. "මට මතකයි ඔබ පිපිලා උන්නා - දුනුකේ ගසක සුදූ
    මට මතකයි ඔබ සොයලා ආවා - බඹරෝ සුවඳ මගේ" - තනුව හෙක්ටර් සිල්වා

    one of my all time favourites :)

    ReplyDelete
  7. දයා ද අල්විස් කියන්නෙ පද්‍ය වගේම දක්ෂ ගද්‍ය රචිකාවියක්. ඉරිද ලක්බිමේ මීවිත් ඕපදූප අතිරේකයට ඇය ලියන "එකෝමත් එක දවසක" කියන තීරුව මම බොහොම ආසාවෙන් නොවරදව කියවන්නෙ ඇගේ ඒ සුන්දර රචනා අපිව ඇගේ ලෝකෙට ගෙනිහින් ඒ අතීතෙ රවුන් ගස්සවන අපූරුව හින්දයි. ඒත් ඒ කතා ගොඩක් වෙලාවට කියවල ඉවර වෙනකොට ඇස් තෙත් වෙන හැඟීම් බර ගතිය නිසා අන්තිමට කියවන ගොඩට තමයි ඒක්ත් දාල තියෙන්නෙ.

    දුකා, ප්‍රෙම් ගැන තීන
    මේ පොත බැළුවද?

    ReplyDelete
  8. කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( මම හිතන්නෙ කාන්තාවො තුන්දෙනෙක්ම කරපු එකම සිංහල ගීය මේකද කොහෙද!) ගීය හැලුනෙ කොහොමෙයි ඔය ලැයිස්තුවෙන්?

    අකලට වට මහ වරුසාවක් සේ...
    අසුභ දිනක ආ සුභ පැතුමක් සේ...
    මා හැරගිය ඔබ නොසිතූ මොහොකත ඇයිදෝ යලි ආවේ

    ReplyDelete
  9. ඉංදික ඔය කතාව ගැන අහලා තියෙනවා. ප්‍රේම්ගේ මේ දෙවෙනි බිරිඳ දැනට පදිංචි වෙලා ඉන්නේ අපේ හිතවතෙකුගේ ගෙදර උඩ තට්ටුවේ. ඒත් මම තාම හිතන්නේ ප්‍රේම් මැරුවේ ජේවීපී එක කියලයි. වෙලාවක මේ ගැන හොඳ කතිකාවක්ට සම්බන්ධ වෙන්න ඕන.

    ReplyDelete
  10. "කාන්තාවො තුන්පලක් එකතු වෙල කරපු මේ අපූරු ( මම හිතන්නෙ කාන්තාවො තුන්දෙනෙක්ම කරපු එකම සිංහල ගීය මේකද කොහෙද!) ගීය "

    පද රචනය: දයා ද අල්විස්
    සංගීතය: නන්දා මාලනී
    ගායනය: නිරංජලා සරෝජනී .. :D

    ReplyDelete
  11. සබඳ...

    ලොව කුමණ දීපංකරේ සිටියත් කෙසේ හෝ මේ "වෙබ් අවකාශයේ ඉන්ද්‍රජාලිකයාගේ" හද ගී පොත ට මෙන්ම,වෙබ් අවකාශයේ"සොඳුරු දාර්ශණිකයාගේ" ගල්මල් අඩවියට එබෙන්නට අමතක නොකරමි.හුදෙක් එකිනෙකාට ගරහන කුණු හබ්බ ඇදබාන..තමන් සර්ව සම්පූර්ණ යැයි සිතමින් අනුන්ගේ ඇසේ කෙඳි හොයන වැසිකිළි බඳු වූ අඩවි දැකීම පවා පිළිකුල් කරමි.

    තිසා මහත්තයෝ..

    ඇත්තටම මගේ මුව නිතර මිමිනෙන ගී වැලක් තමයි මේ..මම දැනම් හිටියෙ නැහැ ඇත්තටම මේවා ලි‍යවුනේ දයා ද අල්විස් මහත්මිය අතින්ම යැයි..මේ ගීත වල තියෙන ගුප්ත නිහැඬියාවට මම මහත් ප්‍රිය කරමි.ඒ ගීත අසා අවසානයේ හිතේ ඉතිරිවන හැඟීම කියාගන්නට අපහසුයි..

    සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ........
    හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දු‍ටුවේ....


    ඔබට ජය!

    මේ සුලා..

    ReplyDelete
  12. //ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය.//

    මේකෙන් තේරුම් යන්නේ, පෙම් සබඳතා බිඳී යෑමෙන් වඩා කම්පා වෙන්නේ පුරුෂ පක්ෂය බවයි.:)ඒ වෙලාවට එයාලා කරන්නේ, සිංදු ලියන එකලු.

    සිංදු නම් ඔක්කොම වගේ ලස්සනයි.

    ReplyDelete
  13. ලස්සන සිංදු ටිකක්.

    ReplyDelete
  14. නියමයි තිස්ස. මෙහෙම ඒව තව ලියන්න.

    ReplyDelete
  15. දයා අල්විස් මහත්මියට මගේ හිතේ තියෙන්නෙ පුදුම ඇල්මක් . ඒ කාලෙ ඇගේ හඬට ආසා කලා හරියට මම. අපි පුංචි කාලෙ තිස්ස ඈ වැඩ සටහන් මෙහෙයවන කොට අහන් ඉන්න හරිම ආසයි. රූප වාහිනී වැඩ සටහනකදී කාලෙකට ඉස්සර දැන ගත්තෙ ඈ ගීත රචිකාවියක් බව. මගේ ආසම ගීත පෙලක් මේ. සපුමල් සුවඳක් සේ ගීය ඉතාම ආදරය කරන ගීයක්. මගේ මධුසමය දා මේ ගීය මා කිව්වා කියන සොඳුරු මතකයත් අලුත් උනා කිවොත් නිවැරදියි. මොහොම පිං! මේ ගීත එකතුවට හා සොඳුරු සටහනට.

    ReplyDelete
  16. හැමදාම වගේ පෝස්ට් එකක් බැලුවම අලුත් සින්දු දෙක තුනක් ගැන දැනගන්නව. අදත් එහෙමයි. මගේ ප්‍රියතම ගීත රචිකාවියන් අතර උඩින්ම ඉන්නෙ යමුනා මාලිනි පෙරේරා මහත්මිය. දැන් මේ වගේ ගීත බිහිවෙන්නෙ නැති එක අපේ අවාසනාවක්.

    ReplyDelete
  17. ඔයානම් දෙයියෙක් තිස්ස අයියා.. මේ ගීත දැන් ඉතින් වෙන කොහෙන් අහන්ටද, ඔයාගෙන්ම මිසක්..

    සපුමල් සුවඳක් සේ.. මගේ ප්‍රියතම ගීයක්.. ඔයා කියනවා වගේ මේ ගීත වල සැඟවුනු කාන්සියක් තියෙනවා තමා.. ඒකමද මන්දා මේවා මෙච්චර හදවතට සමීප..


    @ දුකා & ඉන්දික,

    ඔය ගීතය ගැන තිස්ස අයියා වෙනමම ලිපියක් ලිවුවා නෙවැ.. මේ තියෙන්නෙ..

    අකලට වට මහ වරුසාවක් සේ...

    ReplyDelete
  18. ස්තූතියි - නලීන්

    නුවන් - මල්ලී ඉතින් අග්‍රගන්‍ය රසිකයෙක් නෙවෑ. කාලයේ රසය එක්ක මේවා ලියැවෙන්න සුදුසු පසුබිම මග හැරෙනව ඇති. රත්න ශ්‍රී මහත්තය අතින් වුණත් දැන් ලස්සන සින්දු ලියැවෙන්නේ නෑ

    බින්දි - මාධ්‍යයේ දිවි ගෙවූ ඇයට මාධ්‍යයෙන් සාධාරණයක් වුණේ නැ කියල හිතෙනව

    දුකා - ඔව් හැබැටම වීරවරියෝ තමා - අර කාන්තාවන් තුන් දෙනාගේ කේස් එකනම් යුනීක් එකක් වාගේ

    Grey - මම හිතුවා " නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ" එකට වඩා කැමති වෙයි කියල

    ඉන්දික - ඉන්දික ගේ ඔය පැත්ත ගැන මට වැටහීමක් ඇතිවුනේ ටියුඩර් ජයශාන්තගේ පුතා එක්ක සින්දු කිය කිය ගිය කථාවක් කොමෙන්‍ටුවක් හැටියට දාලා තිබ්බ දවස්වල - මට ඒ දවස්වල හිතුන උඹද - ජයශාන්ත (උපශාන්ත) ගේ පුතා කියල :-)

    සුලා - ආයෙමත් පරණ කට්ටිය එකතුවෙන එකට අම්බානකට සතු‍ටුයි බං

    පලිපාන මැතිනිය - එත කොට කවි ලියවෙන්නේ මොන වෙලාවටද :-)

    ප්‍රසා - ස්තූතියි මචෝ

    චාන්දි - ඇගේ ගී බොහොමයක් අනන්තයට අප ගෙනයයි ඇගේ සිතුම් රේඛාවෙන් :-)

    MUHUDU - දැන් මම හිතෙන්නේ මචෝ නිර්මාණ කල එළි දක්වන්න මාධ්‍යය වැඩියි - ඉතින් රස විඳින කට්ටිය බෝම්බේ ගැහුවා වාගෙ - සී සී කඩ - රස විඳින කට්ටිය, එතකොට ඒවා ගැන පැහැදිලි අවධානයක් යොමු කරන කට්ටිය අඩු වුණහම ඊලඟට ආයෙම කැරකිල නිර්මාණ කරුවන්ටත් එපා වෙනව ඇති ඉතින්

    Buratheno - කාංසිය - ඒකත් අරුම හැඟීමක් තමා - නිර්මාණවල තෝතෑන්නක්ද මන්ද

    ReplyDelete
  19. මේ ඉන්ටනෙට් ස්කයිප් තියෙන කාලේ ඕනේ වුනත් නොපෙනෙන ඈතකට යන්න බෑ

    ReplyDelete
  20. තවත් සුපිරි පොස්ටුවක්.

    "ගමේ කෝපි කඩේ" සින්දුව එළිදැක් වූවාම පදරචනයට වගේම ගායනයට පහර වදින්න පටන් ගත්තාලු ග්‍රාමීය තරුණයින්ව අවතක්සේරු කරනවා කියලා. ඒ කැලල වහන්න කරපු ගීතය "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" හැටියට කොහේ හරි කියවලා තිබුනා මතකයි.

    සුලා, ග්‍රේ, බුරා කට්ටියම කාලෙකට පස්සේ දැක්කම තියෙන සතුට

    ReplyDelete
  21. බොහෝමත්ම කැමැත්තෙනුයි මෙම ගීත සමුච්චය ශ්‍රවණය කලේ.තවත් වටිනා ගීත සමුච්චයක් ඉක්මනින්ම ලබාදෙන්න

    ReplyDelete
  22. දයා ද අල්විස් රචිත ගීත වල ඇත්තේ වෙනස්ම ආකාරයේ සොඳුරු බවක්. මේ බොහෝ ගීත මා ඉතා ප්‍රිය කළ ඒවායි. මතකය අළුත් කළාට ස්තුතියි.
    මැණික්

    ReplyDelete
  23. දායද අල්විස් ගේය පදරචිකාව පිලිබඳව මෙහෙම හෝ සටහනක් දැකීමම දරන්න බැරි සතුටක්. ඇයගේ සමකාලිනයන් සහ ඇයත් දැන් නිහඬයි. මගේ මතකයේ හැටියට ඇය මෑතකදී අවසන් වතාවට ගීයක් ලිව්වේ බුලේගොඩට.ඒ ගියත් අනෙක් ගී වගේම ලස්සනයි.

    මමත් මේ පොත ගොඩගේ බුක් ෂොප් එක පීරලා මිට කලකට ඉහතදී හොයාගත්තේ...
    අගනා මතකයක් දයාද අල්විස් ගැන.මට මතක හැටියට ඇය නවකතා දෙකකුත් ලීවා.එකක් ලිවීවේ ප්‍රේම් සමග 1968 දි විතර. ඒ තනිවිය දෙදෙනෙක් මෙසේ යනුවෙන්

    ReplyDelete
  24. හිරුට අයිති බව ගීතය ටෙලිනාට්‍යක තේමා ගීතයක් ලෙස ඇසුනා වගේ මතකයක් තියනවා..ඒත් මොකද්ද කියලා නම් මතක නෑ..

    ස්තුතියි තිස්ස වෙනදා වගේම..

    ReplyDelete
  25. දයා ද අල්විස් මහත්මිය අගය කිරීමට පාත්‍ර වෙලා තියෙන තරම හොඳටම මදි. ඒ නිසා ඔබේ මේ කාර්යය බොහොම ඉහලින් අපි අගය කරනවා.

    ඔබ මා දයා දියේ තෙමූ
    සෙනෙහේ නුවන් බිඳී
    හද වේදනා ගිලන් හලේ
    නැවතී හිඳින්නෙමී

    ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය මේ ගීය ලියන්න ඇත්තෙ දෙන්නා වෙන්වුනාට පස්සෙ.

    ReplyDelete
  26. තිස්ස අයියා
    වෙනදා වගේම , කිහිප විටක් අහන්න , කිහිප විටක් කියවන්න ඕනේ , මේකේ මුළු රසය විඳින්න . එච්චර කල් අරින්නේ කොහොමද සටහනක් තබන්න .
    පළමු දෙපාර කියෙව්වම මගේ හිතේ ලියවුනේ , අර හීනයක් වගේ එනවා , සිතුවිල්ලක් වගේ එනවා කිව්වා කෑල්ල . ඇත්තටම හීන සිතුවිලි කියන්නේ පදාර්තමය දේවල් නේද කියලා හිතුනා .

    ReplyDelete
  27. අමතක වුනා නොවැ. ගීත රචිකාවන්ගේ ලැයිස්තුවට එකතු කරන්න තවත් කෙනෙක් ඉන්නවා - ඒ නන්දා උඩවත්ත. එතුමියත් ගුවන් විදුලියේ (රජරට සේවය). එතුමිය ලියූ ගීත වලින් තරමක් හෝ ප්‍රකට සමහරක්:
    නන්දනීය පෙම - සේනානායක වේරලියද්ද
    අර සඳ පළුවෙන් - සේනානායක වේරලියද්ද (තිස්ස මේ ගීයට කැමති ඇති අනිවාර්යයෙන්ම)
    සදෙව් මැවූ නඳුන් වනේ - ටී එම් ජයරත්න
    එතුමියගේ ගීත ඇතුලත් "පෙම් පිළිසඳර" සංයුක්ත තැටිය තරංගා ලේබලයෙන් නිකුත් වී ඇත.

    ReplyDelete
  28. Grey - සිග්නල් නැති පැති නම් ගොඩ!

    ගල්මල් - ඔව් ඔව් ඒක හරි එහෙම තමා වුණේ

    W A Thilak - ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට

    මැණික් - රස භාවයන් කුළු ගන්වා මතකයන් අවධි කිරීම තමා අරමුණ - වැඩේ කෙරෙන බව ඔබලාගෙන් දැනුනම සතු‍ටුයි මැණික්

    දයානන්ද - ඒක නෙන්නම් මහත්තයෝ - හැමෝම කථා කරන්නේ ප්‍රේමකීර්ති ගැන විතරමනේ - අර පාරවල් අයිනේ කඩ දානව වාගේ වැඩක් මේක - කෙනෙක් තැඹිලි කඩයක් දානවා තැනක් සොයාන - ඔන්න සුමානෙකින් තවකෙනෙක් තැඹිලි ටිකක් ගෙනැත් තියාගන්නවා ඒ කිට්‍ටුවෙන්ම - මාස දෙකතුණක් යනකොට කාටවත් වෙළදාමක් නැතිවෙනවා - එකම මූණු - එකම ගීත දැකල / අහල එපාවෙන්නේ නැද්ද මන්දා මේ කලා මාධ්‍යවලට

    රූ - මට හිතෙන්නේ නැම් ටෙලියක නෙමේ රූ නෝනේ...

    කිනිර - අන්න හරි කිනිර මහත්තයෝ - පුවත් පතකින් හරි ඈව අප වාගේ නොව වඩා වියත් ලෙස විමසා අගය කරනවනම් අපත් බොහොම මණාපයි
    දෙන්නගේ හුටපට නිසා ලියැවිච්ච ගීත බොහොමයි කියල රට්‍ටු කියනව :-) "අර සඳ පළුවෙන්..." - තමුන්නැහැ දැන් ඉතින් මගෙ හිත කියවන තත්වෙටම සුසර වෙලා...

    JP - "හීන සිතුවිලි කියන්නේ පදාර්තමය දේවල් නේද..."- ජේ පී නම් අන්තර් මාධ්‍ය ගවේශක ! - මම කැමතියි මේ වාගේ සිතුවිළි වලට මචෝ!

    ReplyDelete
  29. සමහර සිංදු අහල තියෙනව සමහර ඒවා නෑ..

    ReplyDelete
  30. පට්ට සුපිරි එල !

    ReplyDelete
  31. ඇගේ ගීත තුල කාන්තාවකට අභිමානයක් ගෙන දුන් බවක් මට හැගෙනව. ඔබ අසා තිබෙනවද ඇගේ “මගේ සිත ගැන ඔබ පමනි දන්නේ.........ගීය.දවසක ඔබේ පෑන ඒකටත් යොමු කරන්න

    ReplyDelete

 
Blogger Wordpress Gadgets