පාර කියන්නෑ තෝනෙන්... පාර තියන්නෑ කෙවිටෙන්...

'යං දුන්නිමිත්තං අවමංගලංච
යෝ චා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවෙන විනාසමෙන්තු...'

...හැඟවෙන්නේ නිදාසිටියා ඇති බවය. පිරිත් දේසනාව ඉවර වෙන වෙලාව ඇ‍ඳෙන් බැසීමට වේලාවයි... 'දවසේ සිතුවිළි' කථාව යයි නම් එහි තේරුම අවදිවන්න පමාවී ඇති බවයි..  'දවසේ සිතුවිළි' කුමන ආගමක් පසුබිමේ වුවද අඩනින්දේ සිට පවා ඇසීමට ප්‍රියමනාප ස්වරයකින් දේශනා කරනු ලබයි... ගාට ගාට කුස්සියට එනවිට ගිනිදැල් පසුබිමෙහි අම්මා ලහි ලහියේ උදේ ආහාර පිලියෙල කරයි... දත්බේත් නැතිනම් අඟුරු කැල්ලක් හා ලුණු ඩිංගක් මේසේ කොණක තැබීමට ඇයට අමතක නොවේ...

'..... අරුණ කිරණ ගී තීරයක ආරම්භයයි....' 

දැන් ඉතින් යමක් ගිලදමා පොත් බෑගයද ගෙන එළියට බැසීමට කාලයයි....
වෙලාව ඔබවෙත ගෙන එන ඩයලොග් වෙතින් වත් දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට චතුරිකාට උපකාරී වූ නෙස්ටොමොල්ට් වෙතින් වත් අරුණෝදයේ රිද්මයට බාධාවක් නැත...

ඒ වෙනුවට...

'අරුණ කිරණ සැලී සැලී - හෙළ දෙරණම පණ පෙවී
නැගෙන දැයට උරදීදී - පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවෙණී..'  

ලෙසින් සෙනෙහෙබර ඇරයුමකි......

එසේත් නැත්නම්  'ඈත ගමේ සරු පස පෙරළන්නට යන....' දයාබර සවාමි පුරුෂයකුගේ උදාන ගීයකි...

ඒ සියල්ලම රස විඳීමට ලැබුණේ සොච්චම් කාලයකි...

'කැලණි පාලම' නාටකයේ මෙච්චර පුෂ්ටිමත් සරීරයක් ලැබුණේ කෙසේද යැයි ගංවතුර ආධාර නියාමක 'පාලම් වැසියෙකු'ගෙන් ඇසූවිට හේ පවසන්නේ 'උදේම නැගිටල හන්දියේ වෑර්ලස් එකේ චූන් එකට අතපය ඇඹරීමෙන්..' බවය... එබඳු 'චූන්' ධර්මිෂ්ඨ සමාජයකට ඇවැසි 'තුමුල බලැති ගිජිඳුන්' බිහිකිරීමට මහෝපකාරී වියහැකියයි ඒවායේ නිර්මාපකයින් සිතුවා විය හැක...

අදද 'අරුණ උදාවෙයි.. දිනිදු සිනාසෙයි...' ඒත් ඒ ඔච්චමට යැයි මට හිතේ...
කොහේ හෝ තැනක පෙර දිනයේදී තමාගේ හෙදර එකතු වූ කුණු මල්ල අතෑර, මාරු සල්ලි සමග සටනට එන කොන්දොස්තර වෙත මූණ දීමට සූදානම් විය යුතුය...
'පේස්ට්‍රී' කඩය ඇර නැත්නම් වාහන වල යන්නවුන්ගේ උදය ආහාරය හබක් වේ... සියලු දෙනාම බලවත් වූ ජවයකින් යුතුව එළියට බසී..... කුමකටද?

'අරුන්දතී - තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති - විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති - නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පති - රුවින් සිනාසෙයි නැගී නැගී..'

ඒ සිනාවෙමින් අසන්නේද 'ඔබ මේ දුවන්නේ කොහේද...?' කියාය....

ගීයකින් පමණක් දැයක් ගොඩනංවාලිය නොහැකි බව දනිමි... ඒත් පසුබිමින් ඇසෙනා මෙවන් ගීයක් ඔබේ හෘද සාක්ෂිය කුළුගන්වා නොලයිද?

'නිදහස් අදහස් - දැයට පොවා
නිවහල් සිතිවිළි - බසට කවා
දෙස බස ‍රැස වැඩූ.... නියාමක වී
ජන යුගයේ... ජන යුගයේ...'

ඒ එසේ නම්, ඒවා අසා, ඒවායින් පිබිද උදම්වුණු දූ පුතුන් හට කුමක් විණිද???

ඉල්ලා සිටියේ මේ පමණි....

'පුතුනේ මේ  ඔබ ඉපදුන දේශය
ඔබ වෙනුවෙන් බිහිවුණ ජය භූමිය
‍රැක ගන්නට ඒ පින්බර දේශය
ඔබේ ශ්‍රමය පුත දිය යුතු වේමය..'

එය ලබාදෙන්නට එක් පරපුරකට නොහැකිවිණි... යෂ්ටිය හුවමාරු නොවිණි... එතනින් එහා සිදුවූයේ කුමක්ද යන්න තම තම නැණ පමණින් විචාරය කර ගත හැක...

'අරුණාලෝකය අතරේ - හෙට නවලෝකය ඉදිවේ..' යනුවෙන් බලා සිටි අපට ලැබී ඇත්නම් ලැබී ඇත්තේ එනමින් ඉදිවුණු පෞද්ගලික රෝහල් සංකීර්ණයක් පමණි....

මිනිසුන් විවිධ දේ එකතු කරයි... පැරණි මුද්දර, කාසි, රට රටවල මුදල් ඒ අතරින් බොහෝ ජනප්‍රියය... මමද පැරණි ගී එකතු කරමි... අතීතයේ ලැබූ සරල ආශ්වාදයන් නැවත විඳීමේ මග පෙන්වන තාරකා දොර‍ටු ලෙස මා, ඒ දකිමි... ඔබටත් රුචි නම් ගොහින් එන්න...‍ තෝනෙන් පාර කීම හෝ කෙවිටෙන් පිටෙහි පාර තබා මග කීම මිනිසත් කමට නිගාවකි....!!!!


කැමති ගීයක් බාගන්න...
සිංදු සියල්ල එකවර බාගන්න [111 MB ගොණුවකි]...
ගී පොත බාගන්න...

48 comments :

  1. Too many things to tell about this Tissa ayya.. But I'm in a hurry now.. Will come back later.. :-)

    ReplyDelete
  2. ලෝකය එක තැනක පල වීම මමද අනුමත නොකරමි . එහෙත් අශ්ව වේගයෙන් දිවගොස් යායුත්තේ ඉදිරියට මිස වල පල්ලට නොවේ. ලාංකීය මාධ්‍ය කලාව නම් ගොසින් ඇත්තේ අවපසට බව කණගාටුදායක ඇත්තයි .

    මට නිතරම මේ ගී පිළිවෙලකට අසන්නට තිබුනා නම් කොපමණ හොඳ දැයි සිති තිබිණි .
    ඔබට අපමණ තුති .

    මේ ගී වැඩිය අසන්නට නැත්තේ සමහරුනට මේවා ජාති වාදී මේ දැනෙන නිසා ද .
    නැත්නම් 70 දශකය කියූ ගමන් එහි අඳුරු පස පමණක් සිහි වී සියලු යහ ගුණයන් අමතක වීමද .

    අදත් අම්මලා උදේට මුළුතැන්ගෙයි හරඹය කරයි. දර ලිප ගෑස් වෙත සංක්‍රමණය වුවද ගින්දර නම් එකමය . මන් දන්නා තරමට නම් මේ වන විට බොහෝ අම්මලා ළමයින්ට උදේට බත් කටක් දෙන්නට තරම් දැනුවත්ය .
    අවුල ඇත්තේ උන්ට හදිසියේ කටක් දෙකක් කවා මහා කලුවරේම පාසල් ප්‍රවාහන රියකට ඔබන්නට වීමය .

    එහෙත් අපේ මාධ්‍යයන්ට එවන් සටනකට සැරසෙන අසරණයින්ට සුබ සිතින් දවස ඇරඹීමට යමක් දීමට ඕවා බාදාවක් විය නොහැක .

    ''සුදුවැලි මතු පිට දිය පිඬු ඉස ඉස
    වැලි සෙල්ලම් බත් පිසූ අතින් ..

    මේ සින්දුව මගේ ප්‍රියතම ගීයක් . කලකට පෙර මා ඔබෙන් මේ ගිය ඉල්ලුවා .
    ඔබට අමතක ඇති .
    නැවතත් ස්තුතියි.
    මේ වටිනා ගී ටික හැකි පමණ බෙදා දෙන්නයි අදහස .

    ReplyDelete
  3. අඩ්ඩේ . . . මාරයි තිසා . . .බුරාගෙ තෑග්ගට මෙදා සැරේ නිවාඩුවේදි තව අඩුවැඩිය හොයාගෙන ඇවිත් වගේ.

    උපරිමයි . . .

    ගීයකින් පමණක් දැයක් ගොඩනංවාලිය නොහැකියි තමා ඒත් ඒකට ගීයක දායකත්වය උපරිමයෙන් බලපානවා කියලා මම නම් විස්වාස කරනවා.

    නියමයි තිසා . . නියමයි

    ReplyDelete
  4. නියමයි තිස්ස අයියා මාර ලස්සන සිංදු ටිකක්. දැං තියෙන සිංදු වලට වැඩිය මාත් අහන්න කැමතිම පරණ සිංදු තමයි.

    ReplyDelete
  5. සිංදු ඔක්කෝම ටික බා ගත්තා . .

    ඉස්සර පුන්චි කාලේ වගේ දැන් ආයෙත් අරුණ කිරණ අහලා දවසේ වැඩ පටන් ගන්න පුලුවන් . .. .

    උඹට ස්තූති කරන්න වචන නෑ තිසා . .

    ReplyDelete
  6. බොහෝම පින් තිස්ස. මෙතන තියෙන හැම ගීයක්ම ගැන ලියන්න ගියොත් බ්ලොග් සටහනක්ම දමන්න වෙනවා. හරිම හදවත උත්තේජනය කරනා ගීත ගොන්නක් මේ. අද මේවා ඇහෙන්නෙත් නෑ ලියවෙන්නෙත් නෑ. කනගාටුව ඒකයි අපේ මාධ්‍ය කරනයයේ පසුබෑම. පුතුනේ මේ ඔබ....., බුද්ධානු භාවේන, චාමිකර ලක් දෙරන, දෑතේ කරගැට සිඹ,මල් මල් හීනය,සොඳුර මට සමු දෙන්,සුදුවැලි මතු පිට දිය පිඬු ඉස ඉස වැලි සෙල්ලම් බත් පිසූ අතින් .. වැනි ගීත වලට හරිම ආසයි මාත්. මේවා අපේ කාලේ ගී ලෙසයි මා හඳුන්වන්නේ. අපේ දරුවන් මේ සමහර ගීත අසාවත් නැතිව ඇති. අද පුතාටම කියනවා මේ ටික බාගන්න කියලා. ස්තූතියි! කියන්න වචන මදි මල්ලියේ ඔබට.

    ReplyDelete
  7. බ්ලොග් බල බල ඉන්නව නේද උදේ පාන්දරම, මහා කම්මැලියෙක් වෙලා... සින්දු 40 ක් ම එකට දාල.. කී දවසක් කොච්චර විස්තරත් එක්ක ලියනන් තිබුන එකද්ද...

    ReplyDelete
  8. මේ ලිපිය කියවල හිත අතීතයට ගියා... උදේට දුව දුව ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි ඇහුනු සින්දු වැඩිහරියක්.... බොහොම ස්තුතියි...

    තවත් සින්දුවක් තියෙනවා මේ අතර නැති... එච්. ආර්. ජෝතිපාල මහත්මයගෙ 'සමනොළ මුදුනේ සිරි පද සිඹ සිඹ - උදා ඉරක් පායයි.... සැනසිලි සුව දෙන නව මල් සුවඳින් - දැහැමි දැයක් පිබිදෙයි....' කියන සින්දුව... ඒකට මං හරිම ආසයි.... තව අබේවර්ධන බාලසූරිය මහත්මයගෙ 'තොටිල්ලෙ ලී වැටෙන් එහා...' කියන සින්දුව... සමහරවිට තිස්ස මේ සින්දු ගැන කලින් ලියල ඇති... ඒත් මට මේක කියවනකොට තව මේ වගේ සින්දු කිහිපයක් මතක් උනා...

    //'අරුණාලෝකය අතරේ - හෙට නවලෝකය ඉදිවේ..' යනුවෙන් බලා සිටි අපට ලැබී ඇත්නම් ලැබී ඇත්තේ එනමින් ඉදිවුණු පෞද්ගලික රෝහල් සංකීර්ණයක් පමණි....//
    මේ ටික කියවනකොට හිනා ගියත් එක්ක... හික්ස්...

    ReplyDelete
  9. නිරතුරුවම ඇසෙන් දකින දෙයින් ලියැවෙන දේවල් ඔක්කෝම පුංචි කැප්සියුල් එකකින්, උපරිමයි.

    "...යෂ්ටිය හුවමාරු නොවිණි..." ඒ වෙනුවට දිෂ්ඨිය කියන වසංගතය නම් වැපිරිලා

    ReplyDelete
  10. ගොඩක් පින් තිස්ස අයියා... මේවයින් සමහර ගී තාමත් යනවා ඉඳහිටලා... මම මේ දවස්වල අහන රේඩියෝ චැනලේ...

    අයිය ඔය පොත අපිට ගන්න බෑද? ඒක ඔයා ප්‍රින්ට් කරනවද? ගාන ගහල නෑනෙ..

    ReplyDelete
  11. ආ ඔයා දන්නෙ එක ලෝකයයි (නව) උනාට අපේ ගෙවල් පැත්තෙ ඔය අනිත් ලෝකෙත් (අරුණා) තියෙනවා... හෙහ් හෙහ්

    ReplyDelete
  12. හරිම වටින ගීත එකතුවක් තිස්ස අය්යා . මේ ගීත හා බැඳුන අතීත සිදුවීම් පෙලත් මතක් උනා . ගොඩක් ස්තූතියි

    ReplyDelete
  13. උදේ පාන්දර නින්දත් නොනින්දත් අතර අහපු නිසාදෝ මේ ගීත එක්ක හිතේ ගැඹුරින්ම ඇතිවිච්ච මොකක්දෝ ආත්මීය බැඳීමක් තියෙනව. බොහොම පිං තිස්ස අයියා...

    ReplyDelete
  14. පොඩි කාලේ අපිත් ඔහොම ඔය සින්දු අහ අහා තමයි දවස පටන් ගත්තෙ නම්..
    ඒත් අද ?
    සින්දු පොත නියමයි..
    බා ගන්න ඕනි සින්දු ටික..තිසා අපිට දුන්නොත් ඉතින් හොඳම දෙයක් තමයි !

    ReplyDelete
  15. අප්පා... බොහෝම වටින වැඩක්...

    කලින් දවසක දුකාගෙන් ඉල්ලගත්ත "මහින්ද අල්ගම " ගෙ සින්දු එකතු කරල හදපු ඇල්බම් එක පහුගිය අවුරුද්දම හැමදාම ඇහුව..

    ඔතනට එන්න ඕන තව එකක් තිබුණ..

    "පිණි බිඳු මුතු මල් සැනකෙලියේ..."

    ඊළඟට මුල මතක නැති එකක් තියෙනව, කෝරස් එකේ අන්තිම පේලිය
    "පාසැලින් මඟ දකින හොඳම දරුවා මමයි.."

    ReplyDelete
  16. මේ ගී නම් එකක්වත් උදේ ඇසුවාදැයි නම් මට මතක නැහැ..උදේම රේඩියෝ එකේ ඇසුනේ සුනිල් එදිරිසිංහ, ටීඑම් මාලිනී බුලත්සිංහලගේ ගී කිහිපයක් යැයි මතක තිබේ..

    කොහොම වුනත් මේ දවස්වල නම් ලේ පුච්චා ගන්නැතිව දවස පටන් ගන්නවා “කිරුලක කිරණ“ නිසා..මේ ගී ටික දුන්නට ගොඩක් පින්..

    ReplyDelete
  17. අප්පේ කියනවනම් පෝස්ට් එහෙකට දේවල් තියෙනව කියන්න.

    උදේ මේක කියෙවුව වෙලේ මීට අවුරුදු ගානකට කලින් ජීවත් උනා වගේ දැනුනා ආයෙත්.

    සිංදු ටිකට බොහොම ඉස්තූතියි.
    බාගෙන හෙමින් සීරුවේ අහන්න ඕනේ උදේට උදේට.
    ආයෙ ඒ සුන්දර අතීතයට පිය නගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  18. මට මතක ඇති කාලේ ගිය තව සින්දු ටිකක් තියෙනවා තිස්ස අයියේ....

    නිල් කටරොළු මල් ගොමුවේ පැනි උරනා සමනලයෙක්...
    පටු අදහස්නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී...
    සෙන්කඩකල පුර දලදා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ...
    රණබිම මැරුනේ සින්හලයෙකුනම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ..

    තව අමිතා වැදිසිංහ මහත්මියගේ එකක් තියෙනවා අර දවසේ මෙහෙවර ඉටු කරනට යන සොහොයුර සොයුරිය වාසනා.... කියල.. ඒකෙ මුල මතක නෑ...

    මේ මම කියපු වචන හරිද දන්නේ නෑ... අපේ කාලයේ උදේ පාන්දරම මේ සින්දු ඇහෙද්දි අපි අවදි වුනේ හරිම ප්‍රබෝධයකින්...

    ReplyDelete
  19. අවුරුදු විස්සකට විතර එහා මතකයන් අලුත් උනා.
    ඒ දවස්වල නින්දේ නොනින්දේ වගේ මේවා ඇහුනත්, නොතේරෙන නැවුම් බවක් තිබුණා. ඒක අදටත් ඒ වගේම දැනෙනවා. දවසේ සිතුවිලි තේමා වාදනයට තවමත් මම හරි කැමතියි.
    ඔන්න අහලා බලන්නකො මෙතැනින්. http://www.youtube.com/watch?v=7ohRTV_2h3g

    සිංදු පොත සුපිරියි, සිංදු ටිකත් බාගත්තා.
    මතකය අලුත් කලාට පිං තිස්ස අයියේ!

    ReplyDelete
  20. බොහොම වටිනවා සොයුර මේ ලිපියනම් ආස ම ගී ලයිස්තුවක්තතත

    ReplyDelete

  21. …පිනි බිඳු මුතු මල් සැණකෙළියේ
    අරුණෝදේ දිනකර නැගෙනා
    දවසේ මෙහෙවර පිණිස නික්ම යන
    සොහොයුර සොයුරිය වාසනා
    …(ස්වර්ණලතා කවීෂ්වර )

    ReplyDelete
  22. තිස්ස,කියන්න වචන නෑ.එච්චරම විශිෂ්ටයි.මා කිවයුතු සියළුම දේ ඉහතින් ලියැවී තියෙනවා.

    ReplyDelete
  23. අදමයිද කොහේ මේ පැත්තේ ගොඩ වුනේ. ගොඩක් සින්දු මම අහල නැහැ අවංකවම. නමුත් තේරෙන විදියට ක්ලැසික් වෙන්න ඕනේ. මම ඔක්කොම නෝට් කරගත්තා. ඩවුන්ලෝඩ් කරගන්න. ඉහත ඇති පිරිත් දේශනේනම් ඉහලින්ම අගය කරනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  24. අද :

    ජොන්සන් uncle /බණ්ඩාර/කුමාරි - විනාඩි අනුවක් පමා හෙවත් අනු පමා කෝච්චිය
    උදේට බැලුම්ගල හරහා කට්ටඩියන්ට /දේවාල කපුවන්ට ගැසීම. රෑට ගුප්ත විද්‍යා ආචාර්ය ගෙන්වා පිල්ලි යැවීම ඉගැන්වීම සහ සාත්තර කීම
    උදේට / හවසට දස දෙසින් ( පොලිසියට බැනීම )
    උදේට / හවසට hudson ගේ ගෝරනාඩුව
    prank calls දෙන්න ගිහින් live කුණුහරප අසා ගැනීම
    අහවල් channel එක අහනවා කියා poster ගැසීම
    අහවල් channel එක අහනවා කියා බය නැතුව කීම

    variety ......


    මේ ගොඩක් සින්දු අහල නැහැ වගේ පේන්නේ. හැබැයි අහනකොට වචන ඔක්කොම මතකයි.

    thank you තිස්ස මහත්තයෝ
    manjula

    ReplyDelete
  25. තිස්ස අයියා බොහොම ස්තුතියි . උදේ පහට පිරිත් අහගෙන නැගිටලා අරුණ කිරණ අහලා , බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා ඉස්කෝලේ ගිය මතකය අලුත් කලා . සටහන හිතන්න ගොඩක් දේවල් එකතු කළා ඔලුවට

    ReplyDelete
  26. අහපු නැති සිංදු මහා ගොඩයි. හිමින් සැරේ අහලා බලන්ට ඕනි.

    උදෙන්ම නැගිටලා, මේ වාගේ සිංදු අහමින් පාසැල් යනවා හිතාගන්ටවත් බෑ. කොහොම උනත්, දවසක් පටන් ගන්ට අපූරු ක්‍රමයක්.

    සුජාතා අත්තනායකගේ 'පුතුනේ මේ අහගන්න පුතුනේ' කියන එක අපේ අම්මා ආසාම සිංදුවක්.

    'පාර කියන්නේ නෑ තෝනෙන් ' අර්ථය? තෝනෙන් කියන වචනය ඇහුවමද කොහෙද? :(

    ලස්සන ගී එකතුවට තිස්සට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  27. පොඩ්ඩි...

    තෝන කියන්නේ හරක්ට නාහේ හරහා දාන ලනුව . වලව්වේ බක්කි කරත්තේ බඳින ගොනා දැකල තියේද . කරත්තේ දක්කන කොට හරකට විධාන දෙන්න ඔය ලනුව අදිනවා .

    තෝන් ලනුව දානවා කියලා ඉතින් වෙන වෙන අවස්තාවලත් කියනවනේ .

    ReplyDelete
  28. බින්දි....හී හී...ගොඩක් ස්තූතියි.

    තෝන් ලනුව කියලා අහලා තියනවා. තෝන කියලා අහලා තිබුනේ නෑ.

    වලව්වේ බක්කි කරත්තේ හරකා බඳින දිහා, ඊලඟ පාර ගියාම හොඳට බලාගන්ට ඕනි.:D

    ReplyDelete
  29. කමෙන්ට් එකක් පස්සේ අවේ ( මන් වැඩිය නොකරන දෙයක් )
    සව්න්දර්ය තක්සලාවක් නොවැ මෙතන .හෙමීට රස විදින්න
    ඕනේ ඔක්කොම පැත්තක දාල...
    ගොඩක් පින් මෙහෙම දේවල් ඉතුරු කරන එක ගැන...

    ReplyDelete
  30. සද්ද නොකර ඉඳල එක සැරේ සිංදු ගොඩාක් දාල.. හරි ෂෝක්... මේ සිංදු අහනකොට ඉස්සර කාලේ මතක් වෙනවා... දැන් කාලේ උන්ට බනින්න හිතෙනවා... නෙට්ටමෝල්ට් නැතුවම ප්‍රබෝධමත් වෙනවා... ඔක්කොම හරි... තිස්ස අයියගේ ගී පොතෙන් එළියට මේ සිංදු ආයේ ගෙනියන්න පුළුවන් විදි ගැන කාටවත් අදහසක් එහෙම නැද්ද? නැත්නම් ගබඩාවක් විදියට මෙතනම තියල තියන්නත් පුළුවන්.. කැමති කැමති අයට ඇවිල්ලා අහල යන්න.. හැබැයි දැන් තියෙන සිංදු වලට සහ එෆ්.එම් වලට බනින එක සාධාරණ නෑ අපි මේව මෙතන හංඟගෙන තියාගෙන..

    ReplyDelete
  31. ස්තූතියි ගිම්හානි... ඒක තමයි මම හිතපු සිංදුව...

    ReplyDelete
  32. බින්දිය කිවුවා සේම අශ්ව වේගයෙන් දිව යනවා නම් යා යුත්තේ ඉදිරියට මිස පසුපසට නොවේ.. නමුත් මඳක් නැවතී සමාජය දෙස ඇසැර බැලුවොත් අපට පෙනී යන්නේ ගෙවුනු කාලය පුරාවටම අපි හතිලමින් දිව ගොස් ඇත්තේ පසුපසට බවයි.. පසුපසට දිව ගියා මදිවාට ආගාධයකට වැටී ඇති බවකුත් මට නම් හැඟේ.. ඒ ආගාධයෙන් ගොඩ ආ හැකිද..??

    මා පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට නම් සංගීතයෙන් සිදු විය යුත්තේ සිත නිවීමයි.. එහෙත් දැන් ඇසෙන සංගීතය දෙස බලනවිට හිතෙන්නේ සිදු නොවන්නේද එය බවයි.. කාගේ කරුමය ද.??

    සාහිත්‍යය පාසලෙන් ඉවත් කිරීම නිසා සිදු වුනේ රස වින්දනය නැති පරපුරක් බිහිවීම පමනක් නොවේ.. රස දන්නන්ට අසන්නට විඳින්නට හැකි අන්දමේ ගීයක්, කවියක් ලියාගන්නට බැරි පරපුරක් ද බිහි වී තිබේ.. විසි හතර පැයේම "නොදැක ඉන්න බෑ..." කියා බෙරිහන් දෙන්නේ එහෙවු පරපුරකින් බිහි වූ පුරුක් ය.. කාගේ කරුමය ද.??

    ------------------------------

    මේ සිංදු ටිකට බොහොම පිං තිස්ස අයියා.. ඔක්කොම ටික බාගත්තා.. දන්නා කියන රසවතුන් හැමෝටමත් බෙදා හරින්නං.. ආයෙමත් පිං!!


    @ දුකා,

    මොකක්ද බං බුරාගෙ තෑග්ග..!!??

    ReplyDelete
  33. වෙලාවකට හිතෙනවා අපිට අතීතකාමය කියන ලෙඩේ හැදිලද කියල...! ඒත් රසය කියන්නේ මතකයේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපට රසයක් දැනෙන්නේ අපට ලැබෙන සංවේදනයට සමාන හෝ ආසන්න මතකය අපට රසවත්නම් තමයි. නැත්නම් ඒ සංවේදනය නීරසයි. තිස්සගේ පරම්පරාව පාසල් යන අවදියේ ගුවන්විදුලිය මෙහෙයවූයේ අම්මාගේ නැලවිලි ගී අහපු පරම්පරාවක මනුස්සයෝ. ඒ නිසා ඒ මනුස්සයන්ට අර නැලවිලි ගීයේ සංවේදනයට සමීප සංවේදනයන් ඉතා රසවත් වුණා. තිස්සගේ පරම්පරාවෙන් බහුතරයක් ඒ නැලවිලි ගී සංවේදන මතකය තිබූ අය වූ නිසා එදා ගුවන්විදුලිය බහුතරයකගෙන් ප්‍රතික්‍ෂේප වුණේ නෑ. ඒත් තිස්සගේ පරම්පරාවේ නැලවිලි ගී සංවේදන මතකයක් නොතිබුණු සුළුතරය අතට ගුවන්විදුලිය ගියාම ඔවුන්ට නැලවිලි ගීයේ සංවේදනයට සමීප සංවේදනයන් නීරස වුණා. ඒ නිසා ඔවුන්ගේ මතකයට සමීප සංවේදනයන් ඇති 'ගීත' තිස්සගේ පරම්පරාවටත් අසන්න සිද්ද වුණා. තිස්සගේ පරම්පරාවේ 'අම්මලා' නැලවිලි ගී නොගැයීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳින ආකාරය තමා මේ. එහෙම බලනකොට මේ අතීතකාමයම නෙමේ. ආත්ම අනුකම්පාව වගේ තත්වයක්. වාසනාවට හෝ අවාසනාවට මමත් අර තිස්සගේ පරම්පරාවේ සුළුතරයේ අයෙක්. .....

    නගරයේ සුළුතරය කොහොමද මම දන්නේ නෑ ගමේ බහුතරයෙන් උදේට පත්තරේ කියෙව්වේ ඉතා සුළුතරයක්. ඒ නිසා පත්තරේ මොන අසුභ ආරංචියක් තිබුණත් ඒක අපේ රටේ බහුතරයකගේ කණේ වැටෙනකොට ඒ හැමෝම එදා දවස ආරම්භ කරල තමන්ගේ කාර්යයයෙන් සෑහෙන කොටසක් - බොහෝ විට දවසේ රාජකාරියම අවසන් කරලයි ඉන්නේ. ඒත් ඒ හැමෝම වගේ නිරුත්සාහයෙන් හෝ හරියට තිස්සට ඇහුණ වගේ ගුවන්විදුලිය නම් අහනවා. වාසනාවට ගුවන්විදුලියෙන් කිව්වේ පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවෙණී.. කියලා.
    එදා හැන්දෑකොරේ කඩපිලට ගිය වෙලාවේ කට්ටිය වට වෙලා පත්තරෙන් කියපු දෙයක් නිසා හිත ඔද්දල් වෙලා තිබුණත් අභිමාණනීය වූ නවෝදයේ හිරු උදයේ පායලා අලුත් දැයක් උපදිනවා කියල ඇහෙන කොට සැකයේ පිණිබිඳු සිඳිළා යනවා.
    ඒත් අද අපේ රටේ බහුතරයකට උදේ පාන්දර පත්තර අහන්න වෙලා තියෙන නිසා අම්ම අප්ප කිව්වත් හිතේ ඇතිවන සැකයේ අල්ප මාත්‍රයක්වත් සිඳිලා යන්නේ නෑ. ඒවගේ වෙලාවක තිස්ස තෝන අතට ගත්ත එකනම් ලොකු දෙයක්. කෙවිට පාර දෙන්න යන්න ඕනෙ නෑ, ඒත් අපේ පැටව් ටික හරක් වෙන්න කලින් නැලවිලි ගීයේ වින්දනය මතකයේ තියෙන තිස්ස තෝන අතට ගත්තාට සමස්ථ ජාතියේම ගෞරවය ඔබට පුද කරනවා. එතකොට අපිටත් අතීතකාමයෙන් මිදිලා අරුණාලෝකය අතරේ - හෙට නවලෝකය ඉදිවේ.. කියල සතුටින් යන්න පුළුවන්. ජයශ්‍රී තිස්ස...!

    ReplyDelete
  34. @ සපතේරු උන්නැහේ

    The song you wanted

    http://www.youtube.com/watch?v=i5eCRo68uOY

    ReplyDelete
  35. හරිම වටින ගී එකතුවක්...

    තව මට මතකයි "සමනොල මුදුනේ සිරි පද සිඹ සිඹ උදා ඉරක් පායයි" කියන ගීතය...

    මේ ගීත ටික බාගන්නවා, ඔබට බොහොම ස්තූතියි...

    ReplyDelete
  36. Niyamai
    Gamini from Qatar

    ReplyDelete
  37. මෙතන ගොඩක් කවි සින්දු වලට ආස අයනේ ඉන්නේ..
    පුළුවන් වෙලාවක මෙතනට ඇවිත් කවියක් දෙකක් කියල
    යන්න පුළුවන් නම් වටිනවා...

    මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත්

    ReplyDelete
  38. Congratulations. Great publication and a great collection.

    ReplyDelete
  39. වාව්......... හිතාගන්න බැහැ... අපුරු තැනක්... අදමයි ආවෙ.. හැමදාම එනව ඔන්න මාත්...

    ReplyDelete
  40. වර්තමානයත් අතීතයත් මොහොතකට අමතක කරලා අපි ඉන්නෙ පතිරූප දේශයක කියලා හිතින් හිතාගෙන අහන්න ඕන ගීත..

    ReplyDelete
  41. බොහෝම පින් තිසා මහත්තයෝ..මේ ගීත ටික මට නම් මසුරං වටිනවා...

    මේ..
    සුලා..

    ReplyDelete
  42. අප්පද බොල, මෙන්න සුලා ඇවිල්ලා.. කොහෙද බොලං පහුගිය කාලෙ වහං වෙලා උන්නෙ.!? :)

    ReplyDelete
  43. බොහොම ස්තූතියි :D

    ReplyDelete
  44. තිසා අයියේ,

    හරිම ආඩම්බරයි උඹ ගැන...මගේ හද පිරි ගෞරවය...මේ වගේ නිර්මාණයක් කරන්න හැබෑ දේශප්‍රේමියෙකුට මිස වෙන කාටවත් බෑ..

    අතිවිශිෂ්ඨයි සර්...

    මේ
    සුලා..

    ReplyDelete
  45. සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට....
    රත්තරන් වටින උත්සාහයක්...

    ReplyDelete
  46. අදයි ආවේ මේ පැත්තේ.
    ඔබේ හොඳ විචාරයක් තිබෙනවා. එක්වෙන්නම් මෙතැන් සිට.

    ReplyDelete
  47. ඇවිත් නොගියා නම් නොවේ. ඒත් සටහනක් නොතැබුවෙමි. ලියන්නටත්, කියවන්ටත් කාලය ගත් විට මෙවැනි තැනක සුදුසුම සටහන තැබුම නොසිතා කළ නොහැකි දෙයක් වූ බැවිනි. ඒත් මේ බ්ලොග් සටහන් පුරා ඇත්තේ නොපිරවිය හැකි අඩුවක් පිරවීමට ගන්නා අපමණ වෙහෙසයි. අපද උත්සාහ දරණුයේ එයටම වීමය වඩාත් මේවා ගැන සතුටට කරුණ. අපි හැකි පමණ දායකත්වය දක්වා ඒ අඩුව පුරවමු.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets