යමු දෙන්නා...!

'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි!

එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!

ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න  විමැසිය යුතු කාරණයකි.

එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
  • ආශා දහසක් දෑසේ ලියැවේ ලියැවේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ජෝතිපාල, රංජනී පෙරේරා
  • චංචල නූපුර කිංකිණි ජාලේ - ධර්මසිරි ගමගේ - සුජාතා අත්තනායක
  • කමලාසණී වන්දනී - ධර්මසිරි ගමගේ - පී. වී. නන්දසිරි
  • කිරි සයුරින් මතුවූ කිරි බුබුලක් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • මා මිනි මාමිනි මා දෙයියා - දොස්තර ආර් ඒ ස්පිට්ල් - විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • පුංචි පුංචි පුංචි පැංචි කාලේ – ධර්මසිරි ගමගේ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
  • රැඟුම් ගැයුම් වැයුම් / No West No East - ධර්මසිරි ගමගේ / ගරු මර්සලින් ජයකොඩි පියතුමා -    නන්දා මාලිනී / ඩැල්රීන් ආනෝල්ඩා
  • වෙන්නිල් උලිකුම් - දෙමළ ගීයක් 'චංචල නූපුර' තනුවටම - යෝගා බාලචන්ද්‍රන් - සුජාතා අත්තනායක
මේ සමූහයෙන් අප හද බැන්දාවූ  'මා මිනි මාමිනි මා දෙයියා..' ගැන අද කථා කරමු.

සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.

වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින්  දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.

එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙ‍යියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.

ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]

 
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]



[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]

දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.

මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය

කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා  දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!

බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....

මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි

ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]

වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....

අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින්  ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්



ආශ්‍රිත කෘති:
ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009


සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
Read More!

දිනක් එතේ මිතු දමින් සිනාසෙන...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

නෙතින් නෙතට තුටු කඳුලු ගලායන
හදින් හදට මෙත් හැඟුම් උදාවෙන
පියෙන් පියට මල් කැකුලු පිපී එන
දිනක් එතේ මිතු දමින් සිනාසෙන

විසල් ලොවේ සමණලුන් නියාවෙන
සුපුල් පැතුම් ගගනතට පියාඹන
කුසුම් සමේ ජීවිතය සිනාසෙන
ලොවක් එතේ සුව සිහින සෑබෑවන

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

Read More!

ළඳුනේ පිපියන් පුරසඳ සේම.....!

මා සිතා සිටියේ ලංකාවේ රූපවාහිනි නාටකය දැන් අවුරුද්දක් පතා මතක බණක් කියවා දානයක් දෙනවා කියාය..
නැත.. දීර්ඝ නිද්‍රා සමයක් අවසන් කොට අරුණු රැස් වලින් නැහැවී දෙපෙති විදා ඒ ඉහලට නැගෙයි..

අවසන් වරට සිනමා හෝ නාට්‍ය සිතුවමක් මගේ දෑස් තෙක් කලානම් ඒ දෙනගම සිරිවර්ධන්ගේ කථාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල විසින් සිනමාවට නැගූ අයෝමා කෘතියයි.
කථා නායිකාව වූ 'අයෝමා' තම සුජාත නොවූ දරුවා බිහිකරන්නේ චීවරධාරියකු [ජේ එච් ජයවර්ධන - 'මට වඳින්න එපා යකුනේ මම හාමුදුරු කෙනෙක් නෙමෙයි..!] විසින් පවත්වාගෙන යන 'අසරණ සරණ' නේවාසිකාගාරයක් තුලදීය. නොබෝ කලකින්ම ඒ තුල බිහිවන දරුවන්, දරුවන් අහිමි හා හදා වඩා ගැනීමට කැමති අය වෙත යොමු කෙරෙයි. අයෝමාගේ කුලුඳුල් දරුවාද මෙලෙස රැගෙන යද්දී ඈ බිම වැතිරෙමින් හඬා වැටෙන්නීය. ස්වර්ණා ඉවත හල අයෝමා වැලපෙන්නේ 'අනේ මගෙ දරුවා....' කියමිනි.
මම අසලින් හුන් ගෙදර ඇත්තන්ගේ වමත තදින් අල්ලා ගත්තද දෑස් තෙමෙනු වලකාලනු නොහැකි විය.

අවුරුදු බොහෝ ගණනක් ගතවී මගේ දෑස් නැවත තෙත්වන්නේ මිනිසුන් අතර ඇතිවන අනේකවිධ අන්තර්ක්‍රියා අපූරුවට ඉස්මතු කරන්නාවූ ශාන්ති දිසානායකගේ කෘතියක් ඇසුරින් සරත් කුමාර ලියනගේ නිර්මාණය කරන ලද ''එරන් ළන්දු" ටෙලි නාට්‍යය නිසාය. මෙගා ගණයට වැටුනා වුවද, නොකඩවා දිවෙන දැන්වීම් ඇතුරෙහි අතරින් පතර පෙන්වන නාට්‍යයක් වුවද, ඒ සියලු අභියෝග ජයගැනීමට සරත් කුමාර ලියනගේ සමත්ව ඇති සැටියකි.

කථාවෙහි ප්‍රධාන චරිතයක් වුවද ඈ ප්‍රධාන චරිතයක් නොවන්නීය. ප්‍රධාන චරිතය වන්නේ බලා සිටින අපමය. මෙය ගැහැණුන්ගේ කථාවකි. ගැහැණිය හා රමණය යනු එකක්යැයි කුඩා කල හිතට කාවැද්දී ඇති, නිර්මාණකරනට ඉඩ ප්‍රස්ථා ලද වුන් [මේ වර්ගයා නිර්මාණකරුවන් සේ දැකීමට මා අකමැතිය. යම් හේතුවක් නිසා ඔවුන් නිර්මාණකරණයට අවස්ථා ලද්දවුන් පමණමය...! නැතිනම් තමන්ට ලැබී ඇති මහඟු අවස්ථා නැනෝමීටරයක් පමණ වූ පරාසයක මෙහෙයැවීමට ඔවුන් නොපෙළඹෙති..!!] ගැහැණියකගේ හැඟීම් කුඩා කොටුවකට හකුලවද්දී 'එරන් ළන්දු' පුර හඳ සේම දසත දිදුලවමින් මෝරා එන්නීය.

නදීගේ මව ඈ උපතේදීම මියයයි. මවගේ හොඳම මිතුරිය හා පියා විවාහ වන්නේ කුඩා සිඟිත්තිය නිසාමය. කුඩම්මාගේ සෙනෙහස් ගඟුල සිඳෙන්නේ කුඩම්මාගේත් පියාගේත් දියණිය යොවුන් වියට පා තබන අතරතුරදීය. නදී මේ තමාගේ මව නොවන බව දැනගන්නේ බොහෝ කලකට පසුවය. ඇගේ වික්ෂෝභයත් ආත්මානුකම්පාවත් බලවත්ව නැග ආවද ඇයට ඒ පිට කිරීමට කෙනෙක් නැති තරම්ය. පිය පාර්ශවයේ සීයාත් අත්තම්මාත් වෙත පියමණින ඈ සෙනෙහෙසින් භාරගන්නේ දරු මුණුපුරන්ගෙන් හිස්වූ ඒ නිවසයි. එහෙත් සීයාගේ මරණය නිසා ඒ නිවනයෙහි විසුමද ඇයට එපාවෙයි. පියාගේ මව විසින් මුළදී පිළිකෙව් කල අම්මාගේ පාර්ශවය වෙත ඈ හැරෙන්නේ මෙතැනදීය. තම මව මෙළොව හැරපියා යද්දී කුඩා දැරියකව සිටින පුංචි අම්මා දැන් අවිවාහක කතකි. තම සොහොයුරියගේ අභාවය නිසා නදී හා වෛරයෙන් පසුවූ ඈ පසුව නදීව රකින්නේ ඉමහත් සෙනෙහසකිනි. ට්‍රැක්ටර් එලවන, හරකුන් පසුපස හඹායන, ධෛ‍ර්‍යවන්ත එඩි සිත් ඇති පුංචි අම්මා හා නදී අතර අන්තර්ක්‍රියාව මා නැරඹුවේ මහත් අභිරුචියකිනි. නදී කැඳවා යාමට නදීගේ පියා පැමිණෙන විට නදීව කාමරයකට දමා වසන පුංචි අම්මා "කොහෙ යන්නද? ගිහිල්ල ටොකු කකා ඉන්න?" කියමින් තුමූද කාමරට විත් දොරගුලු ලාගන්නීය. අසරණ වූ නදී පුංචි අම්මාගේ ලයට තුරුළු වන්නේ අම්මාගෙන් නොලැබුණු ආදරය රැකවරණය ඒ මූලයෙන්ම ලබා ගනිමිනි. ඉතාම සංවේදී ලෙස ඒ ජවනිකාව නිරූපණය වෙන්නේ මා නෙත් කෙවෙනිද තෙත් කරවමිනි.

කථාව තවමත් අප හමුවේ දිග හැරෙයි. නදීට සමාන්තරව මෙහි තවත් එකිනෙකට වෙනස් පෞරුෂයෙන් හෙබි කාන්තා චරිත කිහිපයකි. නදීගේ පුංචි අම්මා වන ගෝතමී එයින් කෙනෙකි. ගෝතමීව විවාහ කර ගැනීමට එන මැදිවියේ පසුවන ගුරුවරයාගේ පළමු පෙම්වතිය තවත් කෙනෙකි. සියලු දුක්ක දෝමනස්සයන් නිහඬ මුවින් දරාගන්නා ඈ ඒවායින් මිදීමට සටන් කිරීම නොදනී. ගෝතමීලාගේ ගමේ වළං නිෂ්පාදනයේ යෙදෙන ගොලු තරුණයා හා පෙමින් බැඳෙන තරුණිය ද තවත් චරිතයකි. අම්මාගේ දෙවැනි කසාදයේ බාප්පාගේ නොමද පීඩනයට අසුවුවද ඈ එයින් පසු නොබසින්නීය. ශක්ති පමණින් ඒවාට විරුද්ධව නැගී සිටින්නීය. කථාවේ විශේෂය නම් මේ චරිත හතර හා ලඟින්ම වෙසෙන අනෙකුත් කාන්තා චරිත ගෝතමීලා හා නදීලාගේ මනෝභාවයන් ගැන දක්වන්නාවූ නොසැලකිල්ලයි.

ගැහැණියකගේ හැඟීම්, බලාපොරොත්තු හා ආසාවන් ගැන තවත් ගැහැණියක් අසංවේදී වන කල්හී පිරිමින් ගැන කවර කථාද? එහෙත් ඔවුහු ඒවායෙන් පසු නොබසිති. ජීවිතය හැරදා නොයති. ජීවිතයෙන් පැරදී පලාද නොයති. ඔවුහු තම තමනට හුරු පෞරුෂයන්හි හිඳිමින්ම ඔවුන් ඒවාට මුහුණ දෙති.

මා දුටු ලාංකීය ගැහැණියගේ කථාන්දරයද මගේ මිත්තණියන්ගේ පටන්ම මෙලෙසය. දූදරුවන්ට අධ්‍යාපනය උපරිමයෙන් ලබාදීමට කටයුතු කල මගේ පිය පාර්ශවයේ මිත්තණියන් ඔවුනට ඉඩකඩම්ද මිලදීගෙන දායාද ලෙස ලබාදී මුණුපුරු මිණිපිරියන් දැකබලාගත් පසු ලෞකික සුව අතහැර අභිනික්මන් කොට දසසිල් මාතාවක්ව ඉතා නිස්කලංක දිවියක් ගතකොට අභාවප්‍රාප්ත වූවාය. එතක් පටන් මාදුටු එබඳු ධෛර්‍යයේ කාන්තාවන් අනන්තය අප්‍රමාණය. කුටුම්බයේ වේවා සේවාස්ථානයේ වේවා සියලු තාඩන පීඩන නොපනත්කම් සියල්ල දරමින් ඔවුන් ජීවිතයට නොබියව මුහුණ දෙති. ධර්මයද හැකි පමණින් ඇසුරු කරති. දරු මුණුපුරන්ද මැනවින් රකිති. අවසානයට මා දුටු එබඳු කාන්තාව නම් සේවාස්ථානයේ සනීපාරක්ෂක කම්කරුවකු වූ 'ශ්‍රියාණි'යි. මිත්තනියක වූ ඇය තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකලාය. වැටුප හැර අන් කිසිවක් බලාපොරොත්තු නොවූවාය. තාක්ෂණික නිලධාරීන් හා අනෙකුත් ඉහල වැටුප් ලබන රසායනාගාර සේවකයන් දිනපතා නගන මැසිවිලි කිසිවක් ඈ සතුව නොවූවාය. එහෙත් හදිසියේම ඈ විදෙස්ගත වූයේ තවත් කතක් වෙනුවෙන් ඈ ඇපවී පොළියට ලබාදුන් මුදලත් රැගෙන ඒ කාන්තාව අතුරුදහන් වීම නිසා එබඳු මුදලක් පියවීමට ඇයට ලැබුණු වැටුපෙන් කිසිසේත්ම නොහැකි වීම නිසාය.

අදට දහනව වසරක් මා සමග සියලු දුක්ඛ දෝමනස්සයන් නිහඬව විදිමින් මා ලඟින් ආදරයෙන් ඉන්නාවූ මගේම එරන් ළන්දු ඇතුලු සියලුම එරන් ළඳුන් පුර හඳ සේම දිලේවා!



පුරන් කෙතට නිල් දියවර නැතුවාද
සිහින් වැස්ස අව් රැල්ලේ මැකුණාද
පහන් වෙලා සඳ අහසේ ගිලුනාද
එරන් ලන්දු නුඹ තාමත් තනියෙන්ද..........

සෝඩි ටිකිරි... මුදු දෙතොලේ....
සිනා මැකෙයි.... හිම අරුණේ...
රෑට නිදන තනි කුටියේ
හීන බිඳෙයි ඝණ අඳුරේ

පෙම් සිත ගෙළු වුණා නොවෙයි
කතා සරිත් සාගරයේ....
රොන් සපුරා මල් නොපිපේ
අන් සතු මල්වර නැකතේ....
අන් සතු මල්වර නැකතේ....

මහන්සියෙන් උපයාගත් බැත සේම
සියක් යොදුන් ගෙවමින් ආ දුර බෝම...
මුවින් මුවට කවදාමත් නොකියාම
එරන් ලන්දු පිපියන් පුරසඳ සේම....
Read More!

මොනවටද කැලේ මෝටර්....?

මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන සතුන්ගෙනුත් ගන්න පුලුවන් කියල තේරුණේ "විද්‍යාව"ට පින්සිද්ධ වෙන්න. එකෙක් මදිනම් දෙන්නෙක් දාලත් අදින්න පුලුවන් "පවර්" එක වැඩි කරගන්න...

ජහ් මහ් මගෙ වයිර පුතා... 

මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...

මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....

තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ  - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....





Read More!

රූප් තෙරා මස්තානා - Your beauty intoxicates me..!!

අද නං අමාරුවෙන් එළියට පැන ගත්තෙ... මොකද කරන්නෙ අද?
මටත් ප්ලෑන් එකක් නෑ...
එහෙමනම් යමු ෂොපින් පාරක් දාන්න...
යමු....

මේක කොහොමද...
ම්ම්ම්... බලන්න ෆිටෝන් කරන් එන්න...
හරි... කොහොමද...??
ම්ම්ම්ම්... ලස්සන ටිකක් වැඩියි වාගේ....
හපොයි ඉරිසියද???
ටිකක්...!

--------------------------

උදේ ඉඳන් එල්ලන් ඉඳපු  මුදු මාල තැළි පිළි ගලවල දැම්මම හම්මේ.... නිවන් නිවන් ගියා වාගෙයි...
ඒ වුණාට ඒව එක්ක පින්තූර වලට ලස්සනට හිටියා ඔයා...
ඔව්.. ඩ්‍රෙස් කල කෙනා හොඳට කලා වැඩේ...
වොෂ් එකක් දාගෙන එන්න එහෙමනම් ඉතිරි ටිකත් බලන්න....................
හපොයි තියන හදිසියක්.......!!

---------------------------

අනේ මේ.... අරන් ආව රෙදි මදි වගේ... චූටියා ටිකක් දවසක් තියාගනී වෝඩ් එකේ මෙයාලා... ඉක්මණට ගිහිල්ලා අරගෙන එනවද තව රෙදි ටිකක්...
හරි හරි අරන් එන්නම්... අමාරුද ගොඩක්? හොඳටම තෙහෙට්ටු පාටයි... මූණ සුදු මැළි වෙලා...
ඔව්... සෑහෙන්න මහන්සි වෙන්න වුණා... දැන් ටිකක් ඇලවෙන්න ඕන...  තව ටිකකින් බේබි රූම් එකට යන්න ඕන කිරි දෙන්න ආයේ... ඔයා ඇඳුම් ටික අරන් එන්න ඉක්මණට...
හොඳයි... ඒත් ඇයි මේ අතේ කට්ටක් ගහලා...ප්ලාස්ටරේකුත් දමලා...?
ඒවා කියන්නම් පස්සේ.... ඉක්මණට ගිහින් එන්න....

-----------------------------

ස්කෑන් එකකට ගන්න වෙයි කියල කියනව ඩොක්ටර්... දැන් ඉතින් ඕක තියාගෙන ඉඳලත් වැඩක් නෑනේ... ඔන්නොහෙ අයින් කරල දාමු අනේ... මේ වේදනාව මට සැරින් සැරේ විඳින්න බෑ...
අනේ මන්දා... හැම තැනම කැපුම් අන්තිමට ඇඟේ...
ඒ වගේද මේ වේදනාව...?
සිහි නැතිකරලලුද කරනව කියන්නේ කරන්න වුණොත්...?
ඇයි සිහිය නො එයි කියල බයද ආයෙත්...?
මොනව කියනවද මන්ද... ඉන්න මම වීල් චෙයා එකක් අරන් එන්නම්... ඔහොම යන්න බෑනේ...

-----------------------------

අයියේ අක්කට ටිකක් අමාරුයි වාගේ.... දැන් සුමාන දෙකක් වුණානේ අයි සී යූ එකේම... ටිකක් කම්ප්ලිකෙට් වෙලා වාගේ රිමූව් කරන්න කරපු මුල් ඔපරේෂන් එක...
මට ඔතැනට එන්න හිතෙන්නෙ නෑ නංගී.. අක්ක හිටියැයින් බාගයයි... සේලයින් එකක්වත් දෙන්න කට්ටක් වත් ගහන්නෙ කොහොමද ඔය සරීරෙට දැන්..
ඒකට කමක් නෑ බලල එන්න... එයාට ආත්ම ධෛර්‍යය එනව ඔයා හිටියම... උදේ පොඩි දුවයි මිණිපිරියි ආවමත් හිනාවෙලා හිටියා...

-----------------------------

මහත්තය දවස් කීයක් තියාගන්නද වැඩේ කරන්න ඕන...??
ලොකු දුව එන්නේ අනිද්දාලු... එදාට වෙනකල් තිවුණම ඇති... මේ.. මේ... මම ෆොටෝ එකක් දෙන්නම් ඒ වාගේ තියෙන්න හදන්න හැකිද?
මහත්තය මේක ෆියුනරල් පාලර් එකක්... බියුටි පාලර් එකක් නෙමේනේ.... මහත්තය ඉන්නෙ ගොඩක් දුකින් තමා... ඒත්... මේ කාගෙත් ඉරණම මහත්තය...

------------------------------

"කායෝයං කුණපෙ ජාතෝ - කුණපෙ කුණපෙ රතො
ඉන්ද්‍රජාලක රූපොච බාලානමභිපත්ථිතො
අමෙජඣපොත්ථකොවායං  චිත්තිතො බාල නන්දිතො
වත්තිංස විධ කොටඨාසෝ - කෙස ලොමාදිකො අයං"

"මේ ශරීරය මුතුවකින් මැණිකකින් රනකින් රිදියකින් නිමියේ නොවෙයි....
උත්පල පදුම පුණ්ඩරිකාදීන් මෙන් අභ්‍යන්තරයෙහි සුචිපවිත්‍ර තැනක උපන්නෙත් නොවෙයි...
මවුකුස නැමැති කුණපයෙහි පණුවකු මෙන් උපන්නේය....
එසේ උපන්නා සරාගී පුරුෂ නැමැති කුණපය තෙමේ තමාට වඩා අන් කුණපයෙහි ඇලුම් කරන්නේය...
ඉන්ද්‍රජාලයෙහි පෙනීගිය රූපයක් බඳුවූ අස්ථීර වූ මේ රූපය අඥාන ජනයෝ ස්ථීරසාර දෙයකැයි ප්‍රාර්ථනා කෙරෙති....
මෙසේ මේ ශරීරය කෙසලෝමාදී වූ දෙතිස් කුණප කොටසින් යුක්ත ඇතුලෙහි කසළ පුරා පිටත සිතියම් කළ ප්‍රතිමා රූපයක් වැන්න...
එසේ පිළිකුල් වූ ශරීරය අඥාන ජනයන්ට සන්තොෂ එළවන්නේය....."

- නන්දි වාණිජ වස්තුව - සද්ධර්මාලංකාරය - පූජ්‍යාචාර්‍ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර







Read More!

රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි..!

මහනුවර රාජධානිය ඇද වැටෙනා කාලය වනවිට හතර කෝරළය ලංකා රාජධානියෙහි වැදගත් අනුදිසාවක් වී තිබිණ. කැප්පෙටිපොල දිසාවගේ ජන්ම භූමිය වූ ගලබොඩ කෝරළයත්, පරණකුරු කෝරළයත්, ඉඳිගොඩ කෝරළයත්, බෙළිගල් කෝරළයත් ඈදාගනිමින් නිමැවෙන හතර කෝරළය වර්ග සැතපුම් තුන්සිය හැත්තෑවකින් පමණ සමන්විතය.

හතර කෝරළයේ මහදිසාව යුද මෙහෙයුම් නියමුවා වන්නට පමණක් නොව දළදා පෙරහර බඳු විශේෂ උත්සව මෙහෙයවන්නට තනතුරෙන්ම වරම් ලැබුවාහු වෙති. එපමණක් නොව ඉර හඳ මහ කොඩිය, ඩවුන්දය, පච්ච ලන්සය, කෙටේරිය හා රන් සවරම් බැඳි ලෝහිත කොඩිය දැරීමටද බලාධිකාරිය ලැබුවාහු වෙති.

එබඳු බලයක් දරා සිටි එවකට හතර කෝරළයේ මහදිසාව වූ මොල්ලිගොඩ, බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තීන්ට දැඩි ලෙංගතු කමක් පළකරසිටියේ, ඌවේ කැරැල්ලට සමගාමීව ඊට හතර කෝරළ වැසියන් පොළඹවා ගැනීමද සූක්ෂමව මැඩලීය.

1815 දී තම දිසාවට අයිති ඉර-හඳ කොඩියද සමගින්ම මොල්ලිගොඩ, නිවටව, නියාලුව බ්‍රිතාන්‍ය කඳවුර තුලටම ගොස් තම යටත් බව කියා පෑය!

ඉරේ මහිම හිරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නිරතුරු මල් පිපීයන්....
නිරතුරු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්

පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
තවමත් සුවඳයි..... තවමත් සුවඳයි
පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි
කළ පින් සුවඳයි....

ඉරේ මහිම ඉරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නොපිපුණු මල් පිපීයන්.....
නොපිපුණු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...

දියත සුවඳ විහිදී යන සිංහල මල් පිපීයන්
සොඳුරු සුවඳ උතුරා යන සිංහල මල් පිපීයන්
තව තව මල් පිපීයන්....
තව තව මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...





ආශ්‍රිත ග්‍රන්ථ
· Flag Tradition of Sri Lanka - Nimal De Silva
· කෑගලු වාර්ථාව - එච් සී පී බෙල්
Read More!

රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි....

රන් වීණාවක
සත්සර රැව්දෙන
නව යෞවන වයසයි....
මල් කෙමි පිපිරී
රන් මධු ඉහිරී
ඉහිරෙන බව පවසයි.....

දැතට හකුලා - සතර දිගන්තය
ජීවන උයනට - වඩින වසන්තය
අනන්ත රස කළඹයි........

හිතේ තියා උන් - ළයට තුරුල් කර
විසිතුරු අරුමැසි - සිහින කතන්දර
රහස් වැලක් කොඳුරයි........

රිදී විමානෙන් - සිතුම් පැතුම් හල්
ඇදී ඇදී යයි - යොදුන් ගනන් දුර
සුපුන් සඳක් වතලයි......



"අපරාධය හා දඬුවම" මට අනුව පිටසක්වල ජීවීනගෙන් උදව් පදව් ලබාගත් චිත්‍රපටියකි...

ප්‍රේමසිරි කේමදාසටත්, ඔගස්ටස් විනියාගරත්නම්ටත්, කරුණාරත්න අබේසේකරයනටත් පිටසක්වල ජීවීන් ආවේස වුණු සැටියකි..

මා ඉමහත් ප්‍රියකරන "මිහිරෙන් මා දිනු බාල ලඳුන්.." ගීයද ඇත්තේ මෙහිය....
"මිහිරෙන් මා දිනු..." ගීයෙහිත් "රන් වීණාවක.." ගීයෙහිත් ඉතා ලඟින් යන බටනලා වාදනයකි...

චිත්‍රපටියේ තේමාව කුමක් වුවද එකෙනකට වෙනස්ම පරාසයක ගී නිමැවුණේ පිටසක්වල බලවේගයකින් බව නිසැකය..

"අද රෑ අද රෑ අද විතරයි..
හෙට රෑ හෙට රෑ එයිද සැකයි
චංචල ලෝකය අමතක කරලන...
ආ....ආ.... ආ.... ආ...ආදරේ...."

ඒ දින කිහිපය පමණක් මෙලොව රැඳී ඔබලා ආපසු ගියේ මන්ද?
බලා හිඳිමි නැවත එනතුරු..."

සම්පූර්ණ චිත්‍රපටයම ජාලයට එක්කල මහත්මාට ඉමහත් ස්තූතිය
Read More!

සුවඳ තෙලෙහි නැගුණු පහන් සිළුව ලඳෙකි හරිමැ පහන්..!

පැරැණි පොත පත සෙවීමේ නොතිත් ආසාවෙන් යටගිය දවස කොටුව ගුණසේන පොත් සාප්පුවට ගොඩවූ කල එසැනින්ම ඒ පැතුම සුන්වී ගියේය. රාක්ක පුරා ඇත්තේ  ඉටි ආලේපිත කවරයන්ගෙන් සමන්විත නූතන පොත්පත්ම පමණි. ශාස්ත්‍ර ඥානය යකාට ගියද විභාග සමත් වෙම්වැයි යන තිරසාර [සස්ටේනබල්!] අදිටනින් යුක්තවූ සියලු වයස් කාණ්ඩයන් වෙනුවෙන් රාක්ක කප් කෙලකි! ඉංගිරිසියද සිංහලයද මද පමණින් සම්භෝග කලාවූ මානව මානවිකාවන්ගේ පරිවර්තන වෙනුවෙන්ද රාක්ක බොහොමයකි. සාප්පු කළමණාකරුවාට අනුව කලකට ඉහත ඉස්ටෝරුවල ඉඩ කඩ පිරිමසා ගැනීම සඳහාත් නූතන [පාශ්චාත්?] ලේඛකයන්ගේ චිහ්තුප්පාදය පිණිස ඉඩ සැකසීමත් වෙනුවෙන් ඒ පැරැණි පොත "ඩිස්පෝස්" කර ඇති සැටියකි!

කුඩා කල සිත් පහන් කල එක් ගී රචනාවක මුල් සොයා නුසුන් වූ ධෛර්‍ය්යෙන් කල ගවේෂණ චාරිකාව කෙළවර වූයේ ගොඩගේ පොත් සාප්පුවේ ලිහූ බත් මුල් සුවඳින් පිරි, දෑත් දෙපා නිදහසේ තබා ගැනීමටවත් අපහසු, සතරදිගින් එන සුලඟ විනා කුටීරගතවූ වාතය බිඳකින් හෝ නොසෙල්වන්නාවූ කුටියකිනි. එහෙත් සාහිත්‍යෝන්නතිකාමී දේශබන්ධු සිරිසුමන ගොඩගේ වියතානන්ට බෙහෙවින් කෘතඥ විය යුතුය. ඒ මාගේ ආසාව මුදුන් පත් කර ගැනීමට ඉඩ සැලසූ නිසාම පමණක් නොවේ. ඒ පහත දැක්වෙන අදහස් නිසාමය.

"19 වැනි සියවසේ අග භාගයේ හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුල ප්‍රකාශයට පත්වූ වටිනා පොත් පත් අතරින් බොහොමයක් සොයාගත නොහැකි තත්වයක් මේ වනවිට උදාවී තිබීම කණගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසාදෝ මෙබඳු පොත්පත් පල කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්‍රවන්තයන්ගේත් එවැනි පොත් පත් කෙරේ ආශක්ත පාඨකයන්ගේත් පරිශීලන පිණිස පැරැණි පොත් නැවත පළකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මා අදහස් කලේ එම අඩුපාඩුව සපුරාලමින් සාහිත්‍ය ක්ෂෙත්‍රයට කිසියම් සේවාවක් ඉටු කිරීමේ අරමුණිනි...... මේ ග්‍රන්ථය වසර ගනනාවකින් මුද්‍රණය වී නොමැති බව පෙනී ගිය හෙයින් දිවයිනේ භාෂා සාහිත්‍යයේ උන්නතිය සලකමින්ද මෙයින් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන පාඨකයින්ට අනුග්‍රහයක් වශයෙන්ද මේ අන්දමින් පිටපත් 200 ක් මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලදී..."

මේ පොතනම් අරිසෙන් අහුබුදුවන්ගේ 1969 දී මුද්‍රණ ද්වාරයෙන් එළිදුටු "රස දහර" කෘතියයි. සිරිසුමනයන් මෙය දෙවැනි වර මුද්‍රණය කරවන්නේ වර්ෂ 2000 දීය. පැරණි මහ කවින් අනුව යමින් කව් බසින්ම මේ පොතින් ඔහු එළිදක්වන්නේ ලක්දිව බුදු සසුන පිහිටවීම පිළිබඳ කථාන්දරයයි. අහුබුදුවන්, වර්ග දොළසකින් හා කවි 1140 කින් සමන්විත මේ මහ කව් පොත එළිදක්වනා කාලයේ ඉපදීවත් නැති, උපන් දැය කෙලෙසීම වෙනුවයෙන්ම අද කාලයේ රන් මසු උපයාගන්නවුන් අහුබුදුවන්ගේ නිර්මාණ සාගරයෙන් බිඳක් අතගා දොඩනා බස් නම් සදය සිනා උපදවයි. දු දරුවන් පර බසින් කරනා කියනා දෑ ඔසවා තබමින්ම කරනා මේ නන් දෙඩවීම් පයට පෑගෙන දුහුවිළි සේම ගසා දමා පාසින්නාවෙහි රඳවමි.

පුරාණ පලදාවලියේ කවක් අපූරු නිර්මාණයකට නැගූ ජයන්ත චන්ද්‍රසිරියන් මෙන්ම මේ පොතෙහි පළමුවැනි වර්ගයට අයත් "අඹතලා සැණ බිම"ට අයත් කවි පන්තියක් ගෙන එයින් අපූරු ගී නිර්මාණයක් කරන්නේ අයිවෝ ඩෙනිසුන්ය. තනු යොදා නොනැවතී තුමූම මධුර ස්වරයෙන් ඒ ගායානාද කරත්! කුඩා කල මා දෙසවන් පතිත වූ ඒ මියූරු ස්වරය අද කාලරාක්ෂයාගෙන් පීඩා ලැබුවද ගීයෙහි රස භාවයනම් අඩුවක් නොමැති තරම්ය. නූතන ගැයුම උපුටා ගත්තේ යූ ටියුබයේ ඇති සිරස පැදුර වැඩසටහනට අයිවෝ ඩෙනිසුන් ගැයූ ගැයුමකිනි.



පහන් සිළු රැඟුම [117 - 123]

වැදී මඳ පවන් ලෙළ සිළු
රිදී වැටි පෙළින් බබළන
නඟා රන් පහන් අතෙකින්
    වදී ලඳ සබා - පියෙන් පිය තබා

පහන් වෙස රු පෑ රඟ ගත්
ඇගේ පසු පසින් පාවී
පවන් වෙස පමින් නළුවෙක්
    මවා ඇගෙ සුබා - පහන් සිළු සුබා

[පුන ගැයුම]
සුවඳ තෙලෙහි නැගුණු පහන්
සිළුව ලඳෙකි හරිමැ පහන්
ඇයගෙ ලඟට පැමිණැ පවන්
    සුහද නිබඳ - සලයි පවන්

මද නල ඉඟි බිඟි නළු වෙස ගන්නේ
සිළු කුමරිය අත ගෙනැ රඟ දෙන්නේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


එළි සළු පට පට පිටැ පිටැ වීදේ
රඟ දෙන කුමරිය නොනඟයි පාදේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


පවන වයන පද අනුවමැ නිබඳේ
සිළු නළඟන නව නව රඟ රඟදේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා

පහනින් පහනමැ දල්වන විලසේ
තව තව සිළු සිළි සිළියේ දිළිසේ [රඟදේ]
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


අඟනක් රණ බිමට පැමිණ
අට දික් හරවමින් මුහුණ
යතුරක් අයුරින් කැරකුණ
සළුවක් ඉණැනැතිසෙ පෙණින

ඇගෙ ඉණැ සළු සුලඟ සමග
දඟැව ගියද ඉහලට නැග
යොවුනන් නෙත් එ හා නොනැඟ
අතර මඟැ මැ පැරැදිණි ලැග

රජු ඇස ඉන් හරවනු රිසි
මෙහෙසන ඔහු ඇගෙහි පැහැසි
"මේ මේ!" කිව් එබස නොඇසි
"අර අර!" කී නිරිඳු සැහැසි

සූ සැටක් හෙළ වන්නෙමේ ඇති
    සොඳුරු සිරිඟර රසැති වන්නම්
පෑ උදක් "මම, මම මැ වෙන වෙන
    රජුගෙ සිත අද දිනා ගන්නම්"

මේ හදින් රඟ ගත් නමුත් ලිය
    අනුවැ පද බෙර දවුල් වන්නම්
"ඒ ඇතැ" යි සිත රජුට නොසිතිණි
    වේද, ඒ බඳු පුදුමයක් නම්


පසු ලිපි:

රස දහර කෘතියෙහිම "අඹතලා සැණ බිම" වර්ගයෙහි කුමරි ලතා වන්නමට අයත් තවත් කවක්ද මෙලෙසය:

"නෙත නිලුපුල් - වත රතුපුල්
කුමරි ළ කල් - විලැ මනකල්"

රත්න ශ්‍රී මහතා ලඟත් "රස දහර" කෘතියක් ඇති සැටියකි.....!


Read More!

ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීම්...!

ස්මරණයන් විස්මය ජනකය. යම් සංවේදනයක් නැවත හමුවීමේදී ඒ වටා බැඳුනු අනෙකුත් මතකයන්ද එලෙසම උඩු සිතට ඒම, සිතුවිලි කාලාවරෝධ නොවේ යැයි සිතීමට අප පොළඹවයි. ලෙඛනාරක්ෂාගාරයක ඇති ලියකියවිලි මෙන් සෙවුමක් එනතුරු ඒ පෙරැලීමට බලා සිටී.

ගීත සාහිත්‍යයෙහි රස හව් විඳිනා ජනයාගෙන් ගුවන් විදිලිය බහුල වූ කාලයෙහි ඔවුහු හාත්පසින් ඇසෙනා ඒ ගී අසා පමණක් නොඉඳ ඒවායේ වාදනයන්ද කල් යල් බලා ප්‍රචාරය කරවූහ. කණ්ඩායම් ගී රස පැමිණෙනා බව හඟවන්නට "මුතු වාගේ බබලනවා" ගීයෙහි රිද්මයද, දිවා ගී තීරය හඟවන්නට "කන්දේ රන් සඳ උන්නා" හි අනුවාදනයද ඔවුහු පෙරා වෙන්කර අප දෙසවනෙහි රැඳවූහ. යටාරෝ ගීත මංජරිය වෙනුවෙන් රුක්මණී දේවියගේ "නිලම්බරේ කැලුම් පිරී.." ගීයෙහි ගිටාර් වාදනයද, තවත් එබඳු වැඩ සටහනක් සඳහා ඉන්ද්‍රානි සේනාරත්නයක්ගේ "ආවේ ආවේ බයෙන් බයෙන් මා..." ගීයෙහි වාදන ඛන්ඩයද මේවාට තවත් උදාහරණය.

සවනත වෑහෙන නානා ගීත අතුරින් යථෝක්ත ගී ම එවැනි උදෘතයන් සැකසීම සඳහා සංගීතඥයන් පෙළඹවූ කාරණාව සංගීත විෂයෙහි අල්පශෘත වූ මටනම් නොතේරේ. තේරෙන එකම දේනම් දශක තුනක් හතරක් ස්මෘති ගබඩාවෙහි රැඳි සිටීමට හැකි යමක් ඔවුන් පෙරා වෙන්කර ඉදිරිපත් කල බවය.

අහන්න බලන්න මේ කටහඬත්, පසුබිම් වාදනයත් ඔබට හුරුද කියා..



ඒ නිවුණු කටහඬක් ඇත්තා ගැන මෙතැනින් දැනගත හැකිය.
ඒ ඛන්ඩයෙහි පසුබිම් වාදනය පෙරා වෙන්කර ඇත්තේ "හඳට අඬන කිරි දරුවෝ" නම් ගීයෙනි. සිංහල සිනමාවේ අදටත් නොබිඳිය හැකි වාර්ථාවක් වන පාසැල් සිසුන් සමූහයක් විසින් කල චිත්‍රපටිය වන නිම් වලල්ලෙහි ඇතුලත් ගීයකි එය.
1970 දී පමණ තිරගත වූ එම චිත්‍රපටියේ රසාලිප්ත තවත් ගීයකි:

"නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ
නුරා බඳුන් සතුටින් පුරවා
සිනා මැදින් එය ලවන් සිපිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ.."

මහින්ද අල්ගම විසින් රචිත එම ගීයටද, අද අප රස විඳිනා පහත ගීයෙහිද සංගීතයද, එකල පාසැල් සිසුවකු වූ රංජිත් ලාල් ගෙනි. සුනිල් ආරියරත්නයන්ගේ මුල්ම චිත්‍රපට ගී රචනයද වන්නේ "හඳට අඬන කිරි දරුවෝ..." ගීයයි. එකල "අලුත් පරපුර" වූ ඔවුනගේ භාව ප්‍රකාශනයට ඔවුන් යොදාගත් මාධ්‍යය වූයේ ගැට ගැසූ කොණ්ඩයවත් තමන්ට නැගී සිටිමට පසුබිම සැකසූ දෙමව්පියන් ඇතුලු මුලු මහත් සමාජයටම වෛරී මත වපුරන පුවත් පත් සාකච්ඡාවත් නොවේ. ඔවුන් ඒ සඳහා යොදාගත්තේ නිර්මාණකරණයයි.

මේ ගී රචනාවලවල ප්‍රකාශනයත් රිද්මයත් ඒ තරුණ සංගීත වේදියා මැනවින් හඳුනාගෙන සිටියා වැන්න. එකිනෙකට වෙනස් ගී රචනා හඳුනා, ඒ සඳහා කදිම තනු යෙදූ එතුමාට අපගේ ඉමහත් කෘතවේදිත්වය පුද කරමු.



හඳට අඬන කිරි දරුවෝ...

නොනිමි ගැටළු සාගරයේ
සිතුම් පැතුම් රැළි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ

බලාපොරොත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනග ලැගුම් ගනී

දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිලි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ

බොඳවී ගිය නිම් වලල්ල
ජීවිතයයි අනාගතේ....
Read More!

"තිසා... අපි (ආපහු) යමු....."

"මිස්ටර් හාන්ලට ඕන කරන්නේ මේ ප්‍රඩක්ට් එක ගමේ වගේම අ'බන් මාකට් එකෙත් ප්‍රසිද්ධ කරන්න"

"We discussed all these no.... පහුගිය හැම මීටින් එකකදිම අපි කථා කලානෙ ඕක..."

"ඔව් ඔව් මම ආයේ ආයේ කියනව නෙමේ.... ඒත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මිස්ටර් හාන්.... මේ මූණ කියන එකේ වැදගත් කම ගමේදියි නගරෙදියි කියල වෙනසක් වෙන්නේ නෑ.... ඒ නිසා මේ ඇඩ්වටයිසිං කැම්පේන් එකේදී අපි මෙහෙම වැදගත් කමක් දෙනව මූණට..."

ඉන්පසු තිසර සභාවට කැඳවන්නේ මූණ හරහා සන්නාම පටියක් ඇලවූ තම බිරිඳයි....!

"මෙන්න මෙහෙම.... එතකොට මොකද වෙන්නේ...?
එත.....කොට මො....ක....ද වෙන්නේ...?
කන්සියුමගෙ අටෙන්ෂන් එක කෙලින්ම එන්නෙ මූණට... ඊලඟට බ්‍රෑන්ඩ් එකට..."


"ඒ වුණාට බ්‍රෑන්ඩ් නේම් එකක් කෙනෙක්ගෙ මූණ හරහ අලවන එක ඒ තරම් එතිකල් නෑ නේද?.."

"කෙමිකලි නරක දෙයක් විකුණන්න එතිකලි කරදර වෙලා බෑ මිස් ෂාමේන්...
" [මට තිසර හමුවන්නේ මෙතැනදීය...]
අධ්‍යක්ෂක රැස්වීම් කාමරය තෘප්තිමත් සිනහවෙන් පිරේ...

"තිසා... අයියන්ඩි I don't agree with you..." සුරම්‍යා(යශෝධා) පහත් හඬින් කියයි
"Don't make a scene.. you shut up and wait...."

ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ඇරඹෙන්නේ එහෙමය...

මල්පෙතිද, වැලිකැටද, යකඩ කුඩුද, වෙඩි බෙහෙත්ද, ඇට කැබලිද යන්න නොතකා එයට අසුවන මෙකී නොකී සෑම දෙයක්ම එකම වේගයෙන් භ්‍රමණය කල හැකි සුලිය ක්‍රියාත්මක වන්නේද එහෙමය.

අවසන් වතාවට මෙසේ කැලඹු සුලියක් ගැන අපට අසන්නට ලැබෙන්නේ සුරාසුර යුද්ධය ඇසුරෙනි. එදාත් ඒ සයුර කැලඹූ විෂ්ණු දිව්‍ය රාජයාට අමෘතයත්, ලක්ෂ්මියත්, වාලම්පුරියකුත්, කෞස්තුභ මාණික්‍යය ඇතුලු වස්තූන් හමුවිය.

සිගීරිය අභිමුඛව හිඳ පිලිස්සු මස් අනුභව කරනා අමාත්‍යකාරකාදීන් හමුවට ඊලඟට තිසර ඉදිරිපත් කරන්නේ නොමේරූ තරුණ තරුණියක් රැසකි. හේ "චේ"ගේ වාක්‍ය කිහිපයකුත් උපුටා දක්වයි...

"චේ කිව්වා ගරිල්ලා භටයා අනවශ්‍ය කථා වලින් තොර විය යුතු කෙනෙක් කියල...
තමන්ගෙ සගයො එක්කවත් එකම නිශ්චල කථාවක්වක් නොකල යුතුයි කියල...
ඒ වගේම ඔහු කිව්වා මොනම දෙයකින්වත් ටය'ඩ් නොවෙන කෙනෙක් විය යුතුයි කියල...
තමුන්නාන්සේලාට මම කියන්න ඕන මම මේ ට්‍රේන් කරපු පිරිසත් ආන්න ඒ වගේ කියල
හැබැයි වෙනසකට තියෙන්නේ මේ ගොල්ල කරන්නේ ගරිල්ලා ෆයිටින් නෙමේ...
ගරිල්ලා මාකටින්..."


අමාත්‍යකාරකාදීන්ගේ ගේ එල්ලෙන ලොඹු සතුටින් සිනහවෙන් සලිත වෙයි...

"කෙහෙන්ද බන් මෙච්චර ෂෝක් ජනසෘති ලෙවල් එකෙන් ගේමක් දෙන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටිකක් සොයාගත්තේ..?" උන් අසයි

තමා නොදත්, තමන් පෙලන භීනෝන්මාදය [schizophrenia] හැරුණු කොට තිසරට බරපතල ප්‍රශ්නයක් වන්නේ බිරින්දෑ තමන්ව සැක කිරීමයි.  ග්‍රෙගරි මහාධිකාරම් තැන අඩ අඳුරේ තිසර මූත්‍රා කරමින් හිඳනා තැනට විත් තුමූද මුත්‍රා කරමින්ම තිසරව ආමන්ත්‍රනය කරයි... තිසර විපිළිසර වෙයි...

"ඔය මූත්‍රා කරන එක නතර කොරන්න එපා..
ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ....
මම හොඳ කථාවක් කියන්නම්.... ඔය මහජන මතය කියන එක තියනව නේද?
ඕක හරියට පාළු බංගලාවක තියන අවතාරයක් වගේ... කවුරුත් දැකලත් නෑ... ඒත් හැමෝම බයයි...
ඒත් මමනම් ඕකට තව දුරටත් බය නෑ...
ඒ මොකද දන්නවද... ඔය මහජන මතය කියන එක හදන්න ඇඩ්වර්ටයිසිං ෆර්ම්ස් වලට පුළුවන්...."

තමන්ගේත් තිසරගේත් මූත්‍රා දහරා මද දුරක් තනි තනිව ගොස් ඉනික්බිති එක්ව ගලනා හැටි ග්‍රෙගරි උතුමාණනුත් තිසරත් බලා සිටී...

ග්‍රෙගරි මහාධිකාරම් උතුමාණන්ගේ මැතිවරණ ප්‍රචාරණයට ඔහුගේ "ඩයිනැමික්" පින්තූරයක් ගැනීමට තිසරට අවශ්‍ය වුවත් ජාතික ඇඳුමින් සැරසී කවිච්චියක වාඩිවී සිටිනා මහාධිකාරම්ගෙන් එයට ගැලපෙන මුහුණ නොලැබේ.  මේ තේරුම් ගන්නා ග්‍රෙගරි උතුමාණන් "බැලේ ඩාන්සර්" කෙනෙකු ලෙස ඇඳුම් ඇඳ විත් තිසරගේ ඡායාරූප කණ්ඩායම ඉදිරිපස "දැවැන්ත බැලේ" නැටුමක් ඉදිරිපත් කරයි... එහිදී ගන්න එක් රූපයක් තිසරගේ උවමනාව සඳහා කදිමට පෑහේ... ඉනික්බිති තිසර ඒ රුව පරිගණකාධාරයෙන් ජාතික ඇඳුමක් අන්දවා මහා පරාක්‍රමබාහු මාළිගාව ඉදිරිපිට පෙලගස්වයි...

"කමක් නැත්නම් මම සර්ගෙන් ප්‍රස්නයක් අහන්නද?"
තිසර ගේ ප්‍රස්නය උතුමාණන් ඉවෙන් හඳුනයි....
"උත්තරේ මේකයි - මම නැට්ටුවෙක් නෙමේ ඩාන්සර් කෙනෙක්... මම දේශපාලනඥයෙක් නෙමේ පොලිටීෂන් කෙනෙක්...
මට වෙලාවකට අපි දෙන්න ගැනම හරි දුකක් ඇතිවෙනව 'අයිසේ'... තමුසෙ නැට්ටුවෙක් වෙන්න හීන දැක්ක... මම ඩාන්සර් කෙනෙක් වෙන්න හීන දැක්ක කෙනෙක් නොවුනත් මම ඩාන්සර් කෙනෙක්.... අන්තිමට තමුසෙ වෙළෙන්දෙක් වුණා... මම ලොකු කඩයක් වුණා...."
දෙදෙනාම මහ හඬින් සිනාසෙයි....

"සර්ගෙ පෝස්ටරේට මම මහා පරාක්‍රමබාහු මාළිගේ දැම්ම සර්.."

"ඒක හොඳයි... මොකද අපි ඕක මල්ටි නැෂනල් එකකට දෙන්න ඉන්නෙ...
අයිසෙ තිසර... අපි සංස්කෘතිය ආරක්ෂා කරන්න නම් ඒක විකුණන්න ඕන... මහා පරාක්‍රම බාහු.... හ්ම්ම්.... එයා තමා අර කව්සිළුමිණ ලිව්වෙ නේ...?"
"නෑ සර් ඒ දෙවැනි පරාක්‍රමබාහු.."
"අයිසෙ.... පරාක්‍රමබාහුල දෙන්නෙක් හිටියද..?"
"දෙන්නෙක් නෙමේ නම දෙනක් හිටිය සර්...."
උතුමාණන්ට බලවත් කැස්සක් එයි...
"මම චිකාගෝ වල ඉලිනොයි ඉන්න කාලෙ තමා මොඩර්න් ඩාංසිං ඉගෙන ගත්තෙ..... හයි ස්කූල් ඔෆ් ප්'ර්ෆොර්මිං ආට්ස් වල තිබිච්ච ජෝ ස්ටයිමන් ගේ ඩාන්සිං ව'ක්ෂොප් එකටත් මාව තේරුණා..."

"එතකොට සර් අවසාන පිළිගැනීමට ඔබතුමා එනකොට මම වාදනය කරන්න හිතාන ඉන්නෙ උඩරට බෙරයි පාතරට බෙරයි..."
"හාපෝ ඒ වැඩේ නම් කරන්න එපා... මට ඔය සිංහල බෙර සද්දෙ පෙන්නන්න බෑ..."
"ඒ මොකද සර්...."
"පොඩි කාලෙ ඉඳල ඔය බෙර සද්ද වලට මම බයයි අයිසෙ ....ඉට්ස් අ ෆෝබියා... බෙර ෆෝබියා..."

තිසරගේ අවධානය මහාධිකාරම් පැහැරගන්නේ යථාර්තයද(?) ඉක්මවා යමිනි. ඒ ගූඪ සත්වයා තිසරගේ නිදන කාමරයටද පැමිණෙයි. මෙය අපූරු ඇනලොජියකි... මෙලෙස කී දෙනෙකුගේ නිදන කාමර මහාධිකාරම් උතුමන් විසින් ආක්‍රමණය ඇද්ද? වික්ෂිප්ත තිසර බිරින්දෑගේ නිරාවරණ සිරුරු කොටස් පොරවනයෙන් වසයි...

"දුවන්න යන ගමන් ආවා...."
"දි.... දි....දිවීම ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද..."
"වැදගත් ප්‍රස්නයක්... අපි ඉපදුනේ දුවන්න... සෙම දාගෙන, හැහ් හොහ් ගාගෙන අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?"
"කිසිම ජොලියක් නෑ..."
මහාධිකාරම පුනරුච්ඡාරණය කරයි.... "කිසිම ජොලියක් නෑ"
"කිසිම වින්දනයක් නෑ..." -
"අන්න හරි..... කිසිම වින්දනයක් නෑ... මිනිහෙක් දුවන්නෙ හේතු දෙකක් නිසා... කවුරුහරි එයාව ලුහු බඳින නිසා... එක්කො ඒ කොලෙස්ටොරොල් වෙන්න පුලුවන් නැත්නම් ප්‍රභල හතුරෙක් වෙන්න පුලුවන්.... සතුරා ප්‍රභල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනවා...
....ඔන්න......ඔන්න මචෝ උඹේ ගෑණි ඇහැරිලා..... අපි යනවා......... බායි..."
"බායි සර්...බා......යි..."

තිසරගේ බිරිඳට සිහිනෙන් මෙන් ඇසෙන්නේ තිසරගේ තනියම කියවීමය...

"තිසර ඔයා මොනව හරි රිහර්ස් කරනවද..." දෑස් පිසලමින් ඈ අසයි...
"මම නෙමෙයි... දැන් මේ ආපු කෙනා...."
"ආහ්...... කවුද දැන් මෙතනට ආවේ....????"රංගී අසයි..
"ඇස් ගෙඩි දෙකට හෙන ගහලද..............................!!!" තිසර සිනාසෙමින් අසයි....

නිදිසයනය දක්වාම ඒ නිර්මාතෲන්  විසින් ගරිල්ලන් එවනතුරුම ඔවුන් බලා උනි...

තිසර නැටුම් පුහුණු වූයේ සුරම්‍යලාගේ ගෙදර පැවැති සුරම්‍යාගේ සියාගේ නැටුම් පන්තියෙනි... දළුලා වැඩි ඒ ප්‍රේම සම්බන්ධය විශ්වවිද්‍යාල ගමනින් තවදුරටත් වැඩී, ඉසිඹුවක් ලබාගන්නේ සුරම්‍යා "වැඩිදුර අධ්‍යාපනයට" එතෙර යාමෙනි. බෙහෙවින් නිර්මාණශීලී තරුණයෙක් වූ තිසරට සුරම්‍යා එනතුරු ඉවසා ඉන්නට ගරිල්ලන් ඉඩ නොදේ... දැවැන්ත මන්දිර, යාන වාහන, දැසි දස්සන් පිරිවරන ජීවිතය, ඒ ගරිල්ලන් තිසරගේ නිර්මාණශීලිත්වය වෙනුවෙන් ගෙනත් තැබූ දෑය.

ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ප්‍රදර්ශනය වූ කාලයේ එකල වෛද්‍යවරුන් මේ නම් භීනෝන්මාදය හුවා දක්වන කදිම කෘතියෙකැයි ඒ වෛද්‍ය පීඨය තුල ප්‍රදර්ශනය කර සාකච්ඡාවට භාජනය කරනා වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වන ලදී  [සභාවේ සිනා එසඳ නොනැගුණි].
තිසරගේ භීනෝන්මාදය, දිනපතා හතරෙන් පසු මැදියම් රෑ දක්වා කඩන පොල්, ලෙඩුන් කොපමණදැයි අසමින් රෝහලෙන් රෝහලට ඇදෙන දැවැන්ත වාහන, රථවාහන ගාලේ ඇති අළුත්ම මොඩලය, පිහිනුම් තාටක ඇති නිවෙස් යනාදියට කොපමණ දුරස්තද? කොපමණ සමීපද?

බියපත් වෙන රංගි සුරම්‍යාට කථා කරයි.. තිසර නොනවත්වා වේගයෙන් කථා කරයි...
"අපේ සමාජයට ඕනේ බය නැති වීරයෙක්... බය නැතුව රුසියාවෙන් කැවියා ගෙන්වන්න.... ඒ වගේම මෙක්සිකෝවෙන් මඤ්ඤොක්ක ගෙන්වන්න.... මහ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ මාළිගේ විකුණන්න... සීගිරි කාශ්‍යපගෙ මාළිගාව සීගිරි කාශ්‍යප ඒ...ක්කම විකුණන්න බ....ය.... නැ....ති.... වී.....රයෙක්...."
කලකට ඉහතදී විශ්ව විද්‍යාලය තුලදීම තිසරට මෙය වැළදුණු බව සුරම්‍යාට මතකය....
ජයන්ත චන්ද්‍රසිරියන් මේ කාල වකවාණු ගලපන්නේ අපූරුවටය.... විශ්ව විද්‍යාලයට පැමිණ, අවසන් වසරේදී "හැව අරිමි" යැයි සීහනාද කොට ගරිල්ලන්ගේ මෙහෙයුමෙන් නා නා විධ භීනෝන්මාදයන් වද්දා ගන්නා චරිත කොපමණක් හමුවී ඇද්ද?

තිසර නැවත රෝහල් ගතවේ...
වෛද්‍යතුමා පැමිණ තිසරගේ කළු ඉංගිරියාවේ ක්‍රියාකාරිත්වය විදුලි පන්දමක ආධාරයකින් පිරික්සයි...
තිසර ඈතින් දකින්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරැසුණු මහාධිකාරම් උතුමන් ඇඳින් ඇඳට පණිමින් පිස්තෝලයක් ද රැගෙන තමන් හමුවට එන බවයි...
බියුගල් නලා හඬ මුවින් නංවා ආචාර සමාචාර සහිතව පිලිගත්තද උතුමාණන්ට අවැසි මේ නිර්මාණශීලී තරුණයා මරාදමන්නටය...
"මම උඹට මෙතන ඉන්න ඉඩ දෙන්නේ නෑ..."
"එකඟයි (උතුමාණෙනි).."
"(උඹලා ඉන්නකල්) මට නිදහසක් නෑ... " තිසරගේ අතට වෙඩි තබයි....
"තෝ මරණවා... මරණ එක මරණව යකෝ............. ඒත් බෑ... උඹව මෙහෙම මරල බෑ...... මෝඩයා.... උඹ මොනවද මරණය ගැන දන්නේ..." කටට පිස්තෝලය දමයි...."තව ටිකකින් විශාල සද්දයක් ඇහේවි.. ඊට පස්සේ කිසිම හීනයක් නොදකින ලස්සනම ලස්සන නින්දක් උඹව හොයාගෙන ඒවි... අන්න ඒකයි මරණය කියන්නේ...."
තිසරට දෝංකාරයකින් මෙන් ඇසෙන්නේ සුරම්‍යාගේ කටහඬයි...

"තිසා.... අයියන්ඩී...............!!!!"

ඈ පැමිණ සිටින්නේ තනිවම නොවේ... යක් බෙරය බැඳ, සුරයක්ද පැළැඳගත් ඇගේ සීයාද  සමගයි....
මහාධිකාරම ඔවුන්ට ගොරවයි "ගහනව ඉතින් ඕක...." තරමක නිශ්ශබ්දතාවකි
මහාධිකාරම උස් හඬින් අසයි.. "කාරක සභා සභාපති තුමණි... මේ නිහඬතාව කුමක් ප්‍රකාශ කරයිද?"
සුරම්‍යා උත්තර බඳියි... "(එයින් කියැවෙන්නේ) කවුරුවත් කියන පලියට මේ බෙර වැයෙන්නෙ නැති බවයි..."
"ඒ මොකද..." උතුමාණන් සෝපහාසයෙන් විමසයි....
"ඒ මේ බෙර ගහනකොට යක්කුන්ට දුවන්න පාර මදිවෙන හින්දා..."



සුරම්‍යා සෙනෙහසින් තිසරට කථා කරයි...

"තිසා.... අපි යමු...!"
---------------------------------------------------------------------------------------------------------

"තිසා... අපි ආපහු යමු....."
ඇයද මට ආදරයෙන් කීවාය....
මම ආපසු හැරුනෙමි...

---------------------------------------------------------------------------------------------------------

පසු සටහන

'පලදාවලියේ' හතරවෙනි වර්‍ගයේ "පෙරමග සුබ නිමිති" [58 - 60] කවි වලින් මුල් දෙපද ජයන්ත චන්ද්‍රසිරියන් විසින් කේමදාස ශූරින් ලවා අපුරු තනුවක් යොදා ගායනා කරවයි.

"ඇතුන් ගවයන් එළදෙනුන් සහ රැහැන් බැඳි ගොන් මුගටියන්
මසුන් එළුවන් මොණරු වෙසඹුන් දෙනුන් සහ පැටි රජකයන්
ලඳුන් බමුණන් ළදරු සහ මව් අසුන් සියොතුන් කොඩි වියන්
අඳුන් රතුවන් මසුන් දීකිරි හිස් වෙළුම් ගත් අතැතියන්

අහර කිරි සහ පියුම් අඹ වන් මල්ද උක් මැටි තුති බසා
පවර මිණි මුතු පුන්කලස් බෙර සුරා දිලිසෙන ගිනි රැසා
නුවර වදිනා මගුල් පිරිසද ගිතෙල් සිහසුන් අංකුසා
සතර වේදය කියන බමුණන් දපන දුනු මී රෙදි රැසා


ගොරද යහපත් අසුන් වීණා ධජ කොඩිද යන මින් දමක්
ලදද ගමනේ පෙරමුණේදී සොඳැති පෙර නිමිතියි උදක්
සබඳ දැනගෙන යනුව ඉන් තමහට නොවේ කිසි වියවුලක්
නොමද සිරි සැප වේය මෙහි පල පොරණ බස් ලෙස නැත සැකක්"


[ගැට පද: වෙසඹු: නළඟන | අංකුස: හෙණ්ඩුව | ගොර: ගෞරව]

මේ පද්‍යාවලියේ "පෙරමග අසුබ නිමිති" මැයෙන් කවි කිහිපයක්ද [61 - 66] වෙයි
එයින් එකක් මෙසේ වෙයි

"රතුද කහ රෙදි බළල් පොරයත් කොල්ලු මෝරුද කලුවතා
නිබඳ වමනය කරන අය සහ සිරස මුඩු කල ගිහිවතා
නොසොඳ වේ පෙරමුණට ගමනට ගියොත් ඒ දැක පල නැතා
මෙලෙස දැන ගනු නිමිති නම් පෙර කළ කමින් ලැබු ලෙසවෙතා"


මුල් කෘතියේ කතෘන් ලෙස ගැනෙන්නේ රුහුණෙහි වුසූ විජයරුවන් නම් දෛවඥයාය. තම හුරුවද, බුද්ධි ඥානයද, දෙස් විදෙස් ග්‍රන්ථ ඇසුරු කිරීමෙන්ද මේ ජන කවි මාලාව ඔහු විසින් සම්පාදිත වී ඇති යැයි පැවසේ. වර්‍ග සයකින්ද කවි හයසියයකට අධික සංඛ්‍යාවකින්ද සමන්විත මේ කව්මාලාව ගොවි කම් සම්බන්ධයෙන් පමණක් නොව, නම් තැබීම, අකුරු කරණය, ගෙට ගෙවැදීම යනාදී හැමෙකක් සම්බන්ධයෙන්ම ඇති නැකත්, පිළිවෙත් පහසුවෙන් මතකකයේ රඳවා ගත හැකි අන්දමින් සකසා කවියට නගා ඇත.
Read More!
 
Blogger Wordpress Gadgets