රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි....

රන් වීණාවක
සත්සර රැව්දෙන
නව යෞවන වයසයි....
මල් කෙමි පිපිරී
රන් මධු ඉහිරී
ඉහිරෙන බව පවසයි.....

දැතට හකුලා - සතර දිගන්තය
ජීවන උයනට - වඩින වසන්තය
අනන්ත රස කළඹයි........

හිතේ තියා උන් - ළයට තුරුල් කර
විසිතුරු අරුමැසි - සිහින කතන්දර
රහස් වැලක් කොඳුරයි........

රිදී විමානෙන් - සිතුම් පැතුම් හල්
ඇදී ඇදී යයි - යොදුන් ගනන් දුර
සුපුන් සඳක් වතලයි......



"අපරාධය හා දඬුවම" මට අනුව පිටසක්වල ජීවීනගෙන් උදව් පදව් ලබාගත් චිත්‍රපටියකි...

ප්‍රේමසිරි කේමදාසටත්, ඔගස්ටස් විනියාගරත්නම්ටත්, කරුණාරත්න අබේසේකරයනටත් පිටසක්වල ජීවීන් ආවේස වුණු සැටියකි..

මා ඉමහත් ප්‍රියකරන "මිහිරෙන් මා දිනු බාල ලඳුන්.." ගීයද ඇත්තේ මෙහිය....
"මිහිරෙන් මා දිනු..." ගීයෙහිත් "රන් වීණාවක.." ගීයෙහිත් ඉතා ලඟින් යන බටනලා වාදනයකි...

චිත්‍රපටියේ තේමාව කුමක් වුවද එකෙනකට වෙනස්ම පරාසයක ගී නිමැවුණේ පිටසක්වල බලවේගයකින් බව නිසැකය..

"අද රෑ අද රෑ අද විතරයි..
හෙට රෑ හෙට රෑ එයිද සැකයි
චංචල ලෝකය අමතක කරලන...
ආ....ආ.... ආ.... ආ...ආදරේ...."

ඒ දින කිහිපය පමණක් මෙලොව රැඳී ඔබලා ආපසු ගියේ මන්ද?
බලා හිඳිමි නැවත එනතුරු..."

සම්පූර්ණ චිත්‍රපටයම ජාලයට එක්කල මහත්මාට ඉමහත් ස්තූතිය
Read More!

සුවඳ තෙලෙහි නැගුණු පහන් සිළුව ලඳෙකි හරිමැ පහන්..!

පැරැණි පොත පත සෙවීමේ නොතිත් ආසාවෙන් යටගිය දවස කොටුව ගුණසේන පොත් සාප්පුවට ගොඩවූ කල එසැනින්ම ඒ පැතුම සුන්වී ගියේය. රාක්ක පුරා ඇත්තේ  ඉටි ආලේපිත කවරයන්ගෙන් සමන්විත නූතන පොත්පත්ම පමණි. ශාස්ත්‍ර ඥානය යකාට ගියද විභාග සමත් වෙම්වැයි යන තිරසාර [සස්ටේනබල්!] අදිටනින් යුක්තවූ සියලු වයස් කාණ්ඩයන් වෙනුවෙන් රාක්ක කප් කෙලකි! ඉංගිරිසියද සිංහලයද මද පමණින් සම්භෝග කලාවූ මානව මානවිකාවන්ගේ පරිවර්තන වෙනුවෙන්ද රාක්ක බොහොමයකි. සාප්පු කළමණාකරුවාට අනුව කලකට ඉහත ඉස්ටෝරුවල ඉඩ කඩ පිරිමසා ගැනීම සඳහාත් නූතන [පාශ්චාත්?] ලේඛකයන්ගේ චිහ්තුප්පාදය පිණිස ඉඩ සැකසීමත් වෙනුවෙන් ඒ පැරැණි පොත "ඩිස්පෝස්" කර ඇති සැටියකි!

කුඩා කල සිත් පහන් කල එක් ගී රචනාවක මුල් සොයා නුසුන් වූ ධෛර්‍ය්යෙන් කල ගවේෂණ චාරිකාව කෙළවර වූයේ ගොඩගේ පොත් සාප්පුවේ ලිහූ බත් මුල් සුවඳින් පිරි, දෑත් දෙපා නිදහසේ තබා ගැනීමටවත් අපහසු, සතරදිගින් එන සුලඟ විනා කුටීරගතවූ වාතය බිඳකින් හෝ නොසෙල්වන්නාවූ කුටියකිනි. එහෙත් සාහිත්‍යෝන්නතිකාමී දේශබන්ධු සිරිසුමන ගොඩගේ වියතානන්ට බෙහෙවින් කෘතඥ විය යුතුය. ඒ මාගේ ආසාව මුදුන් පත් කර ගැනීමට ඉඩ සැලසූ නිසාම පමණක් නොවේ. ඒ පහත දැක්වෙන අදහස් නිසාමය.

"19 වැනි සියවසේ අග භාගයේ හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුල ප්‍රකාශයට පත්වූ වටිනා පොත් පත් අතරින් බොහොමයක් සොයාගත නොහැකි තත්වයක් මේ වනවිට උදාවී තිබීම කණගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසාදෝ මෙබඳු පොත්පත් පල කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්‍රවන්තයන්ගේත් එවැනි පොත් පත් කෙරේ ආශක්ත පාඨකයන්ගේත් පරිශීලන පිණිස පැරැණි පොත් නැවත පළකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මා අදහස් කලේ එම අඩුපාඩුව සපුරාලමින් සාහිත්‍ය ක්ෂෙත්‍රයට කිසියම් සේවාවක් ඉටු කිරීමේ අරමුණිනි...... මේ ග්‍රන්ථය වසර ගනනාවකින් මුද්‍රණය වී නොමැති බව පෙනී ගිය හෙයින් දිවයිනේ භාෂා සාහිත්‍යයේ උන්නතිය සලකමින්ද මෙයින් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන පාඨකයින්ට අනුග්‍රහයක් වශයෙන්ද මේ අන්දමින් පිටපත් 200 ක් මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලදී..."

මේ පොතනම් අරිසෙන් අහුබුදුවන්ගේ 1969 දී මුද්‍රණ ද්වාරයෙන් එළිදුටු "රස දහර" කෘතියයි. සිරිසුමනයන් මෙය දෙවැනි වර මුද්‍රණය කරවන්නේ වර්ෂ 2000 දීය. පැරණි මහ කවින් අනුව යමින් කව් බසින්ම මේ පොතින් ඔහු එළිදක්වන්නේ ලක්දිව බුදු සසුන පිහිටවීම පිළිබඳ කථාන්දරයයි. අහුබුදුවන්, වර්ග දොළසකින් හා කවි 1140 කින් සමන්විත මේ මහ කව් පොත එළිදක්වනා කාලයේ ඉපදීවත් නැති, උපන් දැය කෙලෙසීම වෙනුවයෙන්ම අද කාලයේ රන් මසු උපයාගන්නවුන් අහුබුදුවන්ගේ නිර්මාණ සාගරයෙන් බිඳක් අතගා දොඩනා බස් නම් සදය සිනා උපදවයි. දු දරුවන් පර බසින් කරනා කියනා දෑ ඔසවා තබමින්ම කරනා මේ නන් දෙඩවීම් පයට පෑගෙන දුහුවිළි සේම ගසා දමා පාසින්නාවෙහි රඳවමි.

පුරාණ පලදාවලියේ කවක් අපූරු නිර්මාණයකට නැගූ ජයන්ත චන්ද්‍රසිරියන් මෙන්ම මේ පොතෙහි පළමුවැනි වර්ගයට අයත් "අඹතලා සැණ බිම"ට අයත් කවි පන්තියක් ගෙන එයින් අපූරු ගී නිර්මාණයක් කරන්නේ අයිවෝ ඩෙනිසුන්ය. තනු යොදා නොනැවතී තුමූම මධුර ස්වරයෙන් ඒ ගායානාද කරත්! කුඩා කල මා දෙසවන් පතිත වූ ඒ මියූරු ස්වරය අද කාලරාක්ෂයාගෙන් පීඩා ලැබුවද ගීයෙහි රස භාවයනම් අඩුවක් නොමැති තරම්ය. නූතන ගැයුම උපුටා ගත්තේ යූ ටියුබයේ ඇති සිරස පැදුර වැඩසටහනට අයිවෝ ඩෙනිසුන් ගැයූ ගැයුමකිනි.



පහන් සිළු රැඟුම [117 - 123]

වැදී මඳ පවන් ලෙළ සිළු
රිදී වැටි පෙළින් බබළන
නඟා රන් පහන් අතෙකින්
    වදී ලඳ සබා - පියෙන් පිය තබා

පහන් වෙස රු පෑ රඟ ගත්
ඇගේ පසු පසින් පාවී
පවන් වෙස පමින් නළුවෙක්
    මවා ඇගෙ සුබා - පහන් සිළු සුබා

[පුන ගැයුම]
සුවඳ තෙලෙහි නැගුණු පහන්
සිළුව ලඳෙකි හරිමැ පහන්
ඇයගෙ ලඟට පැමිණැ පවන්
    සුහද නිබඳ - සලයි පවන්

මද නල ඉඟි බිඟි නළු වෙස ගන්නේ
සිළු කුමරිය අත ගෙනැ රඟ දෙන්නේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


එළි සළු පට පට පිටැ පිටැ වීදේ
රඟ දෙන කුමරිය නොනඟයි පාදේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


පවන වයන පද අනුවමැ නිබඳේ
සිළු නළඟන නව නව රඟ රඟදේ
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා

පහනින් පහනමැ දල්වන විලසේ
තව තව සිළු සිළි සිළියේ දිළිසේ [රඟදේ]
ඇඹැරී හැසිරී බඳ ලෙළවා - ලා
        පානේ ලීලා


අඟනක් රණ බිමට පැමිණ
අට දික් හරවමින් මුහුණ
යතුරක් අයුරින් කැරකුණ
සළුවක් ඉණැනැතිසෙ පෙණින

ඇගෙ ඉණැ සළු සුලඟ සමග
දඟැව ගියද ඉහලට නැග
යොවුනන් නෙත් එ හා නොනැඟ
අතර මඟැ මැ පැරැදිණි ලැග

රජු ඇස ඉන් හරවනු රිසි
මෙහෙසන ඔහු ඇගෙහි පැහැසි
"මේ මේ!" කිව් එබස නොඇසි
"අර අර!" කී නිරිඳු සැහැසි

සූ සැටක් හෙළ වන්නෙමේ ඇති
    සොඳුරු සිරිඟර රසැති වන්නම්
පෑ උදක් "මම, මම මැ වෙන වෙන
    රජුගෙ සිත අද දිනා ගන්නම්"

මේ හදින් රඟ ගත් නමුත් ලිය
    අනුවැ පද බෙර දවුල් වන්නම්
"ඒ ඇතැ" යි සිත රජුට නොසිතිණි
    වේද, ඒ බඳු පුදුමයක් නම්


පසු ලිපි:

රස දහර කෘතියෙහිම "අඹතලා සැණ බිම" වර්ගයෙහි කුමරි ලතා වන්නමට අයත් තවත් කවක්ද මෙලෙසය:

"නෙත නිලුපුල් - වත රතුපුල්
කුමරි ළ කල් - විලැ මනකල්"

රත්න ශ්‍රී මහතා ලඟත් "රස දහර" කෘතියක් ඇති සැටියකි.....!


Read More!
 
Blogger Wordpress Gadgets