පියමඳහස මුව මුකුලු මවා...

අපේ රටේ ගීත රචක, ගායක යුගලයන් ඉන්නවා නේද...? සුනිල් ආරියරත්න / නන්දා මාලිනී, මහගම සේකර / අමරදේව, රත්නශ්‍රී / දිවුල්ගනේ... එතකොට ප්‍රේමකීර්ති... දෙයියනේ, ඒ මනුස්සයා කොච්චර නම් ලස්සනම ගී කී දෙනෙකුට ලිව්වද...? වික්ටර්, ශ්‍රීමතී, මර්වින්, ෆ්‍රෙඩී ඒ අතරින් විශේෂයි... ශ්‍රීමතී තිලකරත්න කියපු ගී වැඩි හරියක් ලියා ඇත්තේ ප්‍රේමකීර්ති... මේ ගීතය මගේ මව මා කුඩා කාලයේදී මුමුණවා මට තාමත් මතකයි... මේ වාගෙ පද අහන්නවත් ලැබෙනවද අද..."මගෙ තනි කම පිස ලවන පබා..." අහන්න ලැබෙන්නෙත් වෙන වෙන පබාලා ගැන නේ...
බලන්න ප්‍රෙම් ගේ ප්‍රතිභාව මේ ගීය අහලම... (මොන හිතකින් මේ මනුස්සයාට වෙඩි තිබ්බද දෙයියනේ....?)

පියමඳහස මුව මුකුලු මවා...මඳ සුලඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ළවන පබා... මට ගෙන එනුමැනවි සඳේ...
සියපත් මත ඔබෙ සුවඳ උලා... වන බඹරුන් ඉගිල ගියා...
පවසනු මැන මට මියුරු කතා... ඔබෙ හිස මගෙ උකුලෙ තියා...
මගෙ සිත ලඟ මල් පොකුරු දරා... ඔබෙ කටහඬ ඇසෙන පැයේ...
නිදිබර නෙත නිදි නැතිව අයා... මා කළඹයි සොඳුරු රැයේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..

4 comments :

  1. අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයට වැදුනු මරු පහරක් තමයි ප්‍රේමකීර්තිගෙ වියෝව. ඔහු අපේ බස සොඳුරු ලෙසත් ව්‍යක්ත ලෙසත් හසුරුවමින් සදා මතකයෙ ‍රැ‍ඳෙන ගී ‍රැසක් අපට ඉතිරි කර අකාලයේ දැයෙන් සමුගත් සංවේදී ගේය පද රචකයෙක්.

    සුන්දරවූත්, වින්දනීයවුත් අපූරු නිර්මාණ ගණනාවක්ම අපට දායාද කළ මේ සොඳුරු මිනිසාගේ සුවිශේෂී බව සනාත කරන්නට ඔහුගේ නිර්මාණ කිහිපයක පදවැල් කිහිපයක් මෙහි සනි‍ටුහන් කර තබන්නම්.

    "සිසි කිරණ තරම් සිහිලසට උවම් කිසිවක් නැති යැයි පැවසූ
    මිහි දෙරණ තලේ ඔබෙ වත කමලේ දු‍ටුවෙමි සිහිලැල්ල සුදූ"

    "සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
    ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමී"

    "ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
    ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා"

    "සඳ දියකොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළවිලි ගීයක
    මතකයි මා නැළවූවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
    ඒ ජීවිතයට දිරි දී පණ දී
    මා දැඩි කළ අම්මා"

    "ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බි‍ඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත්වල ඇයි කළගුණ නො‍රැ‍ඳෙන්නේ"

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ මචෝ... හරිම අපරාදයක් වුනේ.... මේ අතීත කාමයට සමවැදිල තමයි මමත් දුක නිවාගන්නේ...

    ReplyDelete
  3. මෙන්න මෙතන ප්රෙමකීර්තිගේ මරණය ගැන කතාවක් තියෙනවා........

    http://premakeerthini.blogspot.com/

    ReplyDelete
  4. හ්ම්ම්ම් මමත් ඕක කියෙව්වා, අනේ මන්ද ඇත්ත නැත්ත, මොනව වුනත් ප්‍රතිභාසම්පන්න පුද්ගලයෙක් අපට නැතිවුණා අකාලේ

    ReplyDelete

 
Blogger Wordpress Gadgets