අවුරුදු පහකට වැඩියෙන් එක් ස්ථානයක රැකියාව නොකිරීමට දැඩි සිතක් ඇති කරගත් නිසාත්, ඉක්මණින්ම, ස්ථීරවම ගම් රට බලා යාමට හැකි ආර්ථික ස්ථාවරයක් ලබා ගත හැකි නිසාත් රැකියාව මාරු කලෙමි. කලින් රැකියාවද සමග එතෙක් නිකුත් කර තිබූ වීසා බලපත්‍රයද අහෝසි වන බැවින් ලංකාවට ගොස් ආපසු ඒමට සිදුවේ. කෑම බීම, ඉඳුම් හිටුම්, පිරිසිදු කිරීම්, යන සේවාද තවත් අනෙකුත් පහසුකම් රැසක්ද තිබූ කලින් සේවා ස්ථානයේ නවාතැන හැරයාමට සිදුවන නිසා, මගේම නිවහනක් අලුතෙන් සුදානම් කරතබා ලංකාවට පැමිණියෙමි. ඒ මැදපෙරදිගට සීත කාලය එන වකවානුවයි.
අලුත් සේවාස්ථානයෙන් ලැබිය යුතු වීසා බලපත්‍රය ඒමට ප්‍රමාද විය. ඒ, ලංකාවේ හා ඉන්දුනීසියාවේ ඉල්ලුම් කරුවනට වීසා බලපත්‍රය නිකුත් කිරීම සඳහා අමතර වෛද්‍ය පරීක්ෂණයකට ලංකාවේදී පෙනී සිටීමට සිදුවීම නිසාත්, නව ආයතනයේ යම් යම් පරිපාලන හේතූනුත් නිසාය. අප්පච්චී මේ ගැන සිටියේ නොසන්සුන්වය "මොකද පුතේ මේ ප්‍රමාදය..?" ඔහු මගෙන් ඇසුවේ වරක් දෙවරක් නොවේ. එහෙත් යටි සිතින් මා පසුවූයේ සතුටිනි. "මොකක් හරි නිසා මේක ගහල ගියොත් ඕන දෙයක් කියල ලංකාවට වෙලා ඉන්නැහැකි.." මගේ යටි සිත, උඩු සිත සමග පොරබැදීය.
අම්මාගේත් අප්පච්චීගෙත් ගුවන් ගමන් බලපත්‍රත් ඒ වනවිට අහෝසි වී තිබුණි. අවශ්‍ය ඉල්ලුම් පත්‍ර පුරවා ඔවුන් දෙදෙනාව ඡායාරූපාගාරයකට රැගෙන ගියේ අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමටය. බලපත්‍රයට අවශ්‍ය පින්තූර ගැනීමෙන් පසු "අම්මගෙයි අප්පච්චිගෙයි එකට පින්තූරෙකුත් ගමු... කළු සුදු වලින් අරගමු... ලොකු කරල රාමු කරන්නත් එක්ක..." මම ඉල්ලීමක් කලෙමි. අප්පච්චී බොහෝ සතුටින් එයට එකඟ විය. සුදුසු ඇඳුමක් ඇඳ නැතැයි අම්මා මැළි කලද මගේ ඇවිටිල්ලට ඒ ඡායාරූපය ගැණිනි. දෙසැම්බර් 26 දා බලපත්‍ර ඉල්ලුම්පත් ආගමන විගමන කාර්‍යාංශයට බාර දුනිමු.
වීසා බලපත්‍ර හා අනෙකුත් කාරණා සම්පූර්ණ වූ පසුදෙසැම්බර් 28 දින අලුත් රැකියාවට යාම සඳහා ලංකාවෙන් නික්මුණෙමි. ගමන පිටත්ව මගක් ගොස් කවදාවත් නොවුණු පරිදි ආපසු ගෙදර එන්නට වුණේ මා සීතලට අඳිනා ජැකට්ටුව අමතක වූ නිසාය. "ගමන බාධා වුණා..." අම්මා විස්සෝප වුනද අප සියල්ල 'ආයෙත් මොහොතකට මුණගැසීමට ලැබුණානේ' යන සතුටින් සිනාසීමු.
අලුත් රැකියාවට හුරුවීමට ඒ හැටි අපහසුවක් නොවීය. නවසීලන්ත ජාතික ප්‍රධානියා කාරුණික මහතෙකි. අලුත් සෙවාස්ථානයේ රාජකාරියට සති දෙකක් පිරුණි. සතිඅන්තයේ නිවාඩුව ගැන සිතමින් මා සිටියේ අලුත් නවාතැනට යමින්ය. "අනේ තාත්තේ සීයට හොඳටම අමාරුයි..." ලොකු පුතා දුරකථනයෙන් කථාකලේ ඇඬුම් ස්වරයෙනි. ගෙදර ඇත්තේ අම්මාත් ලොකු පුතාත් පමණෙකි. ගෙදර ඇත්තනුත්, මස්සිනාත් සොයුරියත් ගෙදරින් පැයක් හමාරක් ඈතිනි. මා ගෙදරට ලඟින්ම සිටිනා හිතවතියකට දුරකථනයෙන් කථා කළෙමි. මගේ ඉල්ලීමට ඇගෙන් ලැබුණේ කෙටි, එහෙත් ස්ථිර පිළිතුරකි "ෂුවර්...!!!" ඈ අප නිවස කරා ඉක්මණින්ම ගොස් ඇත්තේ ගියේ ගිලන් රථයක්ද සූදානම් කරවාගෙනය.
මගේ අලුත් නිවහනට රැස්වූ මගේ හිතවතුන් මා අස්වසාලීමට බෙහෙවින් උත්සාහ කලේය. දැරීමට තිබෙන වගකීම් මතක් කරදෙමින් ඔවුන් මා සිත වෙනතක හරවන්නට උත්සාහ කලේය. මෑතකදී මෙරටට පැමිණුනු මල්ලී සිටියේ දරුවෙකු ලැබීමට සිටි තම ආදරණීය බිරින්දෑත් කැටුව එදා සවස ලංකාව බලා යෑමටය. ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් ඔවුන් යන ගුවන් යානයේම ගුවන් ටිකට් පතක් ලබාගැනීමට හැකිවිය. ගුවන් තොටට ඔවුන් යාමට සිටි වාහනය අවලංගු කරවා අප සියල්ලන්ටම යා හැකි වඩා විශාල රථයක් ඔහු නැවත වෙන් කලේය.
ගුවන් තොටේදී මල්ලී විසින් සේවය ලබාගත් පෝටර්වරයා අපව රැගෙන ගියේ ව්‍යාපාර පන්තියේ කවුලුවකටය. අඩුම ගනනේ මා සඳහා වෙන්කල ටිකට් පතේ ඉලෙක්ට්‍රොනික පිටපතක් වත් අත නොතිබුණු මට තිබුණේ කවුන්ටරයට නම පැවසීම පමණි! ගුවන් ගමන්වලදී කෙසේවත් නින්ද නොයන මට ඒ ගමන් බිමන් මහත්ම වූ වදයකි. ඉදිමිණු ඇස් සහිතව බලවත් හිසේ රුදාවකින් පෙලෙන්නට පටන් ගත් බැවින් ආසනයෙන් නැගිට ගුවන් යානයේ පිටුපසට වන්නට ගමන් කලෙමි.
ඉනික්බිති මට හමුවූයේ දේව දූතයෙක්යැයි සිතන්නට මම අදටත් කැමතිය. අප සිටියේ පොලවට අඩි තිස් දාහක් පමණ ඉහලින් නිසා ඒ එසේ වන්නටද බොහෝ ඉඩ කඩ ඇත! ගුවන් යානයේ පසු පස ඇති කුඩා ඉඩෙහි එල්ලයක් තොරව සිටගෙන සිටි මා දුටු ඒ තරුණ, ඉතා කඩවසම් ස්ටුවර්ඩ් වරයා මා ලඟට පැමිණියේය. ඔවුනගේ මගී සේවාවන් යම් දුරකට අහවර වී තිබුණු බැවින් ඔවුන් සිටියේ තරමක ඉස්පාසුවකිනි. ගුවන් යානයේ විදුලි පහන් නිවා දමා මගීනට නිදාගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබූ බැවින් ඔහු මා හා කථා කලේ පහත්, එහෙත් පැහැදිලි ස්වරයකිනි. "සර් වැකේෂන් යනවද..?" මම කාරණය කීවෙමි.
"මගෙ තාත්තා නැතිවුණේ මීට අවුරුදු දෙකකට කලින්..." වෙන කිසිවක් නොකියා ඔහු කථාව පටන් ගත්තේය. "අපේ තාත්තට ලියන්න ගොඩාක් දක්ෂකම් තිබ්බා.. මට තාත්තා ඉන්න කාලේ කලා වගේ අදටත් ටිකක් වැදගත් රාජකාරි ලියමනක් එහෙම ලිව්වම තාත්තට පෙන්නන්න හිතෙනවා හරි වැරදි බලන්න... සමහර වෙලාවට මතක නෑ තාත්තා නැතිවෙලා කියලා..." ඒ මුහුණේ පැහැදිලි ගතියක් මිසක දොම්නසක් හෝ සොම්නසක් නොමැත "අපි බර්ගර්ස්ලා සර්... අපේ තාත්තා හරියට එයාගෙ අම්මා තාත්තා ගැන සොයා බැලුවා... ඒ විතරක් නෙමේ අපටත් මතක් කරනවා නිතර ගිහින් බලන්න.. දවසක් අපේ ගේ පිටිපස්සේ තිබුණු ගොරකා ගහක විසාල අත්තක් උන්හිටියේ කඩා වැටිලා... තාත්තා මට කෝල් කරලා කීවා ඉක්මණට ගිහින් ආච්චිව බලල එන්න කරදරයක්ද දන්නේ නෑ කියලා... කෝල් කලාට ෆෝන් එක ගන්නෙත් නෑ කියලා... තාත්තාගේ පිළිවෙල දන්න නිසා මම ඉක්මණටම ගියා... මුකුත් කරදරයක් නෑ... ආච්චි හොඳින් ඉන්නවා.. ඒ වුණත් ඒ ගමන ගිහින් එනකොට තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කරලා... හැන්දෑවේ නැතිවුණා..." දේව දූතයෙක් නොවේනම් මේ තරුණයාට මනෝ ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක් ලැබී තිබිය යුතුය. හෙතෙම මාගෙන් කිසිම ප්‍රස්නයක් නාසයි; ඔහුගේ කථාවද මා සිත් අලවයි. "අම්මයි අප්පච්චියි මෙහේ ගෙන්න ගන්න හිටියේ මම.. සීත කාලේ ඉවර වුණහම.." මමද යමක් කීවෙමි. එය ඔහුට ඇසුණු නෑසුනු ගණනය. "මගේ අයියා දුක් වුණා එයාට එයාගේ අලුතින් හදාපු ගේ තාත්තට පෙන්නන්න බැරිවුණා කියලා... අක්කා දුක්වුණා එයාගෙ දරුවා පෙන්නන්න බැරිවුණා කියලා... ඉටු කරන්න බැරි වුණු මොකක් හරි කාරණයක්, හිතේ තියෙන වේදනාවත් එක්ක සම්බන්ධ කරනවා සර් මිනිස්සු.." මේ වචන අකුරක් නෑර මට මතකය. "ඔයා කතෝලික ධර්මය එහෙම වෙනමම හදාරලා තියනවද...?" මම ඇසුවෙමි.. "සර්ට මම කෝපි එකක් හදල දෙන්නම්... එන්න..." මද සිනහවක් ඇඳී අතුරුදන් වුණු මුහුණෙන් ඔහු කීය.
කටුණායකින් තම බිරින්දෑ ඇයගේ පියා සමග ගෙදර පිටත් කල මල්ලී මා සමග අපේ ගෙදර ආවේය. "මල්ලී" කියා කීවද මේ දරුවා මගේ ලේ නැයෙක් නොවේ. සේවා ස්ථානයේ එකට වැඩ කල පමණින් හඳුනා ගත්තෙකි. මට වඩා අවුරුදු පහලවකින් පමණ බාල වුවද, ඔහු එදා මා ගෙදර පැමිණ සාමාන්‍ය තත්වයට එනතුරු මා සමග සිටියේ මගේ එක්කුස උපන් වැඩුමල් සහෝදරයෙකු මෙනි. දිනක් තුල ගෙදර ඒමට හැකිවුවද ඒ වනවිටත් මට දැරීමට කිසියම් හෝ වගකීමක් ඉතිරිව, ඉතිරිකර නොතිබුණි. ගෙදර ඇත්තන්, මස්සිනා හා මිතුරන් විසින් සියල්ල සැලසුම් කර, ඉටු කර තිබිණි. මව හා සොයුරිය අස්වැසීම මා අතින් කිරීමට තිබුණු එකම කාරිය විය. චතුෂ මල්ලී ලඟම සිටිමින් අඩුපාඩු වීමට හැකි දේ මතක් කරදීම මහත්මවූ අස්වැසිල්ලක් විය. කාරිය භාර වැඩිහිටියාගේ ප්‍රමාදයක් නිසා අවසානයේ අවමංගල සභාව මෙහෙයවීමටද චතූෂ මල්ලීට සිදුවිය.
ආවේග කළමණාකරණයෙහි අදක්ෂ වූ මා වැන්නවුණට, හිත මිතුරන්ගේ, ඥාතීන්ගේ පැමිණීම, දුක බෙදාගැනීමෙහි කොපමණ උදව්වක්දැයි ඒ දිනවල හොඳින් ප්‍රත්‍යක්ෂ වුණි. දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, ඉලෙක්ට්‍රොනික පණිවිඩ, මේ සියල්ලෙහි දැවටී එන යම් හිතවත් කමක්, යහපත් මිනිස් ගුණයක් වේ. ඒ කිසි වේලාවක, කිසිවෙකු විසින්වත් අවතක්සේරු නම් නොකල යුත්තෙකි.
අප්පච්චිගේත් අම්මාගෙත් ගුවන් බලපත්‍ර තැපෑලෙන් ලැබෙන විට මාස දෙකක් ගතවිණි. තැපැල් කරුවා මග නොහැර රකිමින් සිටි ගෙදර ඇත්තන් එය කෙසේ හෝ සියතට ගැනීමට සමත් වී ඇත. එය අම්මා අතට ලැබුණි නම් ඈ මහත් වූ පරිශ්‍රමයක් දරා, සමනය කරගන්නට යත්න දරනා තුවාලය, නැවත පෑරීමට හොඳටම ඉඩකඩ තිබුණි. මගේ තුවාලයද ලේසියෙන් සුව වන්නක් නොවූයේ මට ඒ වැඩ නිමකර කඩිමුඩියේ ආපසු ලංකාවෙන් එන්නට වූ බැවිණි. ඒ කොපමණ දරුණු වීද යත් සියල්ල අතැර ආපසු ලංකාවට එන්නට උත්සාහයක්ද දැරිණි. පන්සලේ ස්වාමීන් වහන්සේද කථා කල විටක ඇසුවේ "මහත්තය මේවා ක්‍රියාත්මක වෙන හැටි ගැන හොඳින් දන්නවානේ ඉතින්.. ඇයි ඉතින් කලබල වෙන්නේ" කියාය. "දැනගන්න එකයි, අවබෝධයයි දෙකක් කියල හොඳටම තේරුණා අපේ හාමුදුරුවනේ.." කියා පිළිතුරු දීම හැර වෙන පිළිතුරක් සොයා ගැනීමට නොහැකිවිය. මැද පෙරදිග සීත කාලය අහවර විණි.
අම්මත් අප්පච්චීත් දෙදෙනාම එකවිට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවූයෙන් අඩුම ගණනේ අම්මා හෝ ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය කළෙමි. ඇගේ කායික, මානසික යෝග්‍යතාව ගැන වෛද්‍යවරුනගේ රෙකමදාරුව මත ඇයවත්, ඈ මෙහි ඉන්නා කාලය තුල මා රැකියාවට යනෙන විට ඈ සමග සිටීමට කාරුණික වූ ඥාති සොයුරියක්වත් ගෙන්වීමට තීරණය කරගතිමි. ගුරුවරියක වූ ඇයට උසස්පෙළ කරනා පුතෙකුත්, කණිටු දියණියකුත් වේ. ඈ කල කැපවීම කොපමණද? අම්මා මෙහි ඉන්නා දිනවලදී අම්මාගේ උපන්දිනයද යෙදී තිබුණි. වර්ණ දහයක රෝස මල් පොකුරකින් මා ඇයට සුභ පැතූ වෙලාවෙහි ඈ දෙනෙත් බෙහෙවින් තෙත්වූවාය. මගේ මිතුරන් නොයෙක් තෑගි බෝග රැගෙන ඈ බලන්නට පැමිණියේය. ඈ වෙනුවෙන් මා මිතුරෙකු අපූරු උපන්දින කේක් ගෙඩියක් සාදාගෙනවිත් තිබිණි. ඒ කපන අවස්ථාවේදීම අහම්බයකින් මෙන් ගෙදර ඇත්තනුත්, මගේ දරුවනුත් පරිගණකාධාරයෙන් සම්බන්ධ වී ඇයට සුබ පැතීය.
අම්මාගේ මැහුම් දැමීමට තරම් දරුණුවූ හිතේ තුවාලයේ මැහුම්, තරමකින් හෝ වේලී ඇති බැව් අපට සිතුණි. ඈ ආපසු ලංකාවට ගියේ තෘප්තිමත්වය. පිහිල්ලකින් පිහිල්ලකට ජලය වැටෙන්නාසේ, සියලු පින් එක් රැස් වී උතුරා යෑම සංකේතවත් කරන පාංශුකූල පැන් වැඩීම සේ, මා සිත්හි තුවාලයද, බොහෝ යහපත් මිනිසුන් නිසා සෙමින් සෙමින් වේලෙයි.
මගේ ලොවට පායන සඳු - ගෙදර බුදුන් අම්මේ
මා ඉඳුනිල් පුංචි තරුව - ඒ සඳු සෙවණේ
මගේ ලොවට පායන හිරු - පියා පමණි අම්මේ
මා සුවඳැති පුංචි කැකුළ - ඒ හිරු සෙවණේ
වීණාවේ තත් පිරිමැද - මා නංවන සත්සර නද
මුලින් මසිත නිදන් කෙරුව - සෙනේබර පියේ
ඔබේ පුතුට අනාගතය - ඔබ තමා පියේ
දෑසේ නිදි අඳුර නිවා - දෑත දෙපය සවිය දෙවා
වීර එරන් අසිපත දුන් - ආදර අම්මේ
මා යනමග රන් ජය ටැඹ - ඔබ වේ අම්මේ
සංවේදී සටහනක් තිස්ස අයියා.
ReplyDelete[දැනගන්න එකයි, අවබෝධයයි දෙකක් කියල හොඳටම තේරුණා]
මමත් ඔය දෙකේ වෙනස තේරුම් ගත්තේ තාත්තගේ මරණය නිසා.
අපේ අම්මගේ හිත කොච්චර හයියද කියන එකත් තේරුම් ගත්තේ ඊට පස්සේ. සියලු දේ දෙස උපේක්ෂාවෙන් බලාගෙන අපේ දේවල් වලටත් උදව් කරමින් අම්මත් අම්මගේ ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවනවා දැන්.
ජිවිතේ අපිට කියාදෙන පාඩම් කොච්චර අපූරුද කියල සමහර වෙලාවට හිතෙනවා.
පැතුම් මේවා ගැන විටින් විට ලියා ඇති සටහන් මම කියවා තිබෙනවා...
Deleteඅපේ මිත්‍රත්වය යටින් ඇති 'සුසුම්නාව' මේ හිතන විදිහයි...
තිස්ස,
ReplyDeleteබම්බලපිටියේ කඩේකින් කිරිමාලු සමග ඉදි ආප්ප කන්න දීල මාව රාජකීය විදුහලේ ඇතුලත් වීමට තාත්තා එක්කගෙන ආපු හැටි අද වගේ මතකයි..
අම්ම එපා කියද්දී අපිත් එක්ක StarWars , Indiana Johns බලන්න ගිය හැටි මතක් වෙනකොට හිනා යනවා ...
A/L පන්තියේදී තාත්ත අපිව දාල ගිය හැටිත් අද වගේ මතකයි .
මට උඹ වගේ ලියන්න පුළුවන් නම් පොතක් ලියන්න තිබුන මචන්
Manjula
පොඩි කාලෙ මාවත් යාලුවන්ගෙයි සමහර ගුරුවරුන්ගෙයි උසුළු විසුලු වලටත් ලක්වුණා මොකද
Deleteඅප්පච්චී ඉස්කෝලේ ගෙට්ටුව ගාවදි අමුතුවෙන් ආයෙම මගෙ හිස පීරලා කමිසය යට කරලා හදලා තමා යන්නේ...
ලියන්න බෑ කියල නම් මම හිතන්නේ නෑ... ඒත් ඒ නොලිව්ව දේ උඹ උඹේ දරුවන්ට දෙන බව මම දන්නවා..
//දැනගන්න එකයි, අවබෝධයයි දෙකක් කියල හොඳටම තේරුණා අපේ හාමුදුරුවනේ..// මමත් සෑහෙන්න දැනුවත්.. අවබෝධයක් නෑ තවම.. ඔබේ පියා වෙනුවෙන් මගේ ශෝකය.. මවට දීර්ඝායුශ පතනවා.. 'වැඩකට නැති' මේ කතාවත් එක්ක බොහෝ සංවේදී උනා..
ReplyDeleteසිංහල බ්ලොග් ලියන වැඩි දෙනෙක් මේ සංවේදී කම තියන අය..
Deleteඒකනේ හිත්වල අදහස් අකුරු කරල බර හෑල්ලු කරගන්න හදන්නේ...
ස්තූතියි කමී... වෙලාවක අම්මට මේක කියවන්න දෙන්නම්...
ඔබගේ ගීත බාගත කල නොහැකි ද?
ReplyDeleteදැනට අලුත් අඩවියකට ගීත උඩුගත කරන හින්දා ඒ පහසුකම සලස්වල නෑ අරුණ..
Deleteඊට අමතරව මේ ගීතවලට නොගැලපෙන රූප රාමු එක්කරල යූ ටියුබ් එකට දානවට ඒ හැටි මනාපයක් නෑ මගෙ...
ඩවුන්ලෝඩ් මැනේජර් වගේ ඒවයින් සමහරු මේවා බාගන්නවා..
මට මූණු පොතේ පණිවිඩයක් එවන්න අවශ්‍ය ගීත කියලා...
මම ඔබට ලබා දෙන්නම්...
මොනවද කතා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක තියනවනම් මේ අඩවියෙන්ම බාගන්න පුළුවන්. සිම්පල් කේස්.
Deleteතිස්ස අයිය, මාත් ඉන්නෙ පිටරටක, 80ට ලං උනාට තාත්තත් තවම ඇස්වහක් කටවහක් නැතුව ඉන්නව. මං මේක කියවන්නෙ ඔෆිස් එකේ ඉන්න ගමන්. ඇත්තටම මේක කියෙව්වහම මගෙ ඇස්වලට කඳුලු ආව. තිස්ස අයියගෙ අප්පච්චිට නිවන් සුව ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනව. මං මගෙ තාත්තටත් අද අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙනව.
ReplyDeleteමල්ලිගෙ කමෙන්ටුවට මොකක්ද කියන්නෙ මම ගොඩාක් වෙලා හිතුව..
Deleteභාවිතාවේ තියෙන්නේ "කාලයත් එක්ක හැමදේම වෙනස්වෙනව" කියල - ඒත් වෙනස්වීම තමා කාලය කියන්නේ නේද?
ඒ වෙනස්වීම වෙනකල් එතැන තත්වේ තේරුම් කරගන්න හැමෝටම අමාරුයි..
කරුණාවන්ත, උපේක්ෂා සහගත මිනිස්සු මේක ඉස්සෙල්ලම තේරුම් ගන්න අය...
ඔවුනට යන්තරයක් හදල දිනේ පසුපසට හෝ ඉස්සරහට කරකවල අතීතයටත් අනාගතයටත් යන්න උවමනා නෑ...
ඔවුන් මේ මොහොතේ සැනසිල්ලේ පසුවෙනව...
අම්මලට තාත්තලට ආදරේ ගොඩදෙනෙක් ඔබේ තාත්තට දීර්ඝායූ පැතුවා කියන්න මලේ...
:( :(
ReplyDelete"ගයන ගැයුම් නටන නැටුම් - ඉවත හෙලයි සෝක සුසුම්.."
Deletehttp://nelumyaya.com/?p=2603
ReplyDeleteස්තූතියි කමී....
Deleteපුද්ගලික අත්දැකීමක් උනත් මේක සංවේදී සටහනක් තිස්ස අයියා.
ReplyDeleteමටත් ඔය ආවේග කළමණාකරණය ගැන දක්ෂතාවයක් ඇත්තෙ නෑ. ඇත්තටම අපේ තාත්ත නැතිවෙච්ච වෙලාවෙත් හැම දෙයකටම ශක්තියක් උනේ මස්සිනාල දෙන්න සහ කිට්ටුවෙන්ම ආශ්‍රය කරපු යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් තමයි.
එදිනෙදා ජීවිතෙයෙදි හිතවත් අය එක්ක එන සුලු සුලු ගැටීම් මේව ගැන හිතල අමතක කරන්න හැකිනම් අපට නේද?
Deleteදෙමාපියන් ජීවතුන් අතර සිටිනා කාලයේ දි කොයිතරම් දේ ඔවුන් වෙනුවෙන් කලත් ඔවුන් ගියපසු තවත් කරන්නට බැරිවූ දහසක් දේ ඉතිරි වෙයි,. මගේ තාත්තා යන්න ගියේ මම විදෙස්ගතවී සති කීපයකින්. අවසන් කටයුතු නිමවූ වහාම මා ආපසු පිටත් කලේ අපෙ අම්මා. අර දරුවා පොඩි උන් දෙන්නෙක් එක්ක නොරටක තනියෙන් නේද ? ඉක්මණට යන්න පුතේ කියල මාව ඉක්මණින් ආපහු යැව්වෙ අම්මා. මං යනකල් මිඳුලෙ ගහ යට ඉඳන් අම්ම බලන් හිටියා. එහෙම ගිහින් දෙසතියකට පස්සෙ මම අම්මා අවසන් වතාවට බලන්න ආපහු ආවා. මහා පවුරක් වගේ හිටි ඒ දෙන්න ගිය දා මට දැණුනේ පුදුමාකාර අසරණකමක්..
ReplyDeleteහ්ම්ම්ම්... සරත් මහත්තය වැටිල තියෙන්නෙ මටත් වඩා ගොඩාක් අමාරු තත්වෙකට...
Deleteමේ චිත්ත රූප - "මිඳුලෙ ගහ යට ඉඳන් අම්ම බලන් හිටියා" - අපි නැතිවෙනකල්ම තියේවි නේද? ඇල්බම් වල පින්තූර නරක් වෙලා වියැකිලා ගියත්..?
මේ කමේන්ට් එක මේ තුන් වෙනි පාරටයි ලියන්නේ... :(
ReplyDeleteමේ කමේන්ට් එක මේ තුන් වෙනි පාරටයි ලියන්නේ... :(
අයියාව, අයියාගෙ අම්මාව, ගෙදර ඇත්තන් ව විතරක් නෙමේ ප්රා"ණය නිරුද්ධ තාත්තාව පියවි ඇසින් දැක්කෙ එදාමයි.. ඔයාල ඒ දුකට පත්වෙච්ච වෙලාවෙ ඔයාලගෙ දුක පුලුවන් විදියට තුනී කරන්නෙයි කියල ඒ පැත්තෙ ආවත්, “අනේ නංගි වැඩට ආ ගමන්නෙ..” “අනේ පුතේ කොච්චර දුරක් තව යන්න තියේද?” “කලුවර වෙන්න කලින් යන්න” ආදි තොර තෝංචියක් නැති කියවිල්ලකට යට උනෙමි.. ඔබලාගේ කරදරයේදී පැමිණි මා ගැන වද වන ඔබලා ගැන හරිහැටි දැනගතිමි.. ඒ ගුණ නුඹට නුඹේ මව් පියන්ගෙන් නුඹ ගෙදර උන්දාට ඈගේ මව් පියන්ගෙන් ලැබෙන්නට ඇති.. එවන් දරුවෙක්, ලේලියක්, මුණුබුරන් ලබන්නට පින් කර තිබූ නුඹ පියාණන් වෙනුවෙනු නුඹ වැලපිය යුතු නොවේ අයියණ්ඩි..
නොකර ඉන්නට සිටියා නොව ඔහු වෙනුවෙන් කළ ගුණ සලකන්නට සිතුවේය.. අවශ්ය ප්ලෑනයන් ඇන්දේය.. උවමනා කළමනා ලකලෑස්ති කළේය.. කැටුව යන්නට පමණක් නොහැකි විය.. ඒ එතුමන් ගෙන ආ ආයුෂ පමණක් නොව ලැබිමය.. මව් වෙත ඒ යුතුකම ඉටු කිරීමෙන් මව් ලද සතුට නුඹ සිතේ දෝරේ ගලනා බැව් මේ ලිපිය කියවනා අප සියල්ලන්ටම හැඟේ.. නොකළ, කිරීමට නොහැකි වූ දේ ගැන සිත සිතා නොසිට මව් වෙනුවෙන් ඉදිරි යුතුකම් ඉටු කරන්නට සිතමු.. ටික කලකට පෙර මා ලිවූ ලිපියට නුඹ ලිවූ සටහනක් පෙන්වා දෙමි. මාමණ්ඩිය ගැන වද වූ අයුරු ඒ.. http://thanojar.blogspot.com/2011/08/blog-post_30.html?showComment=1314697518894#c4165456379270521508
("මොකක් හරි නිසා මේක ගහල ගියොත් ඕන දෙයක් කියල ලංකාවට වෙලා ඉන්නැහැකි.." මගේ යටි සිත, උඩු සිත සමග පොරබැදීය) - කිසිත් නොකියමි.....
අයියාව, අයියාගෙ අම්මාව, ගෙදර ඇත්තන් ව විතරක් නෙමේ ප්‍රාණය නිරුද්ධ තාත්තාව පියවි ඇසින් දැක්කෙ එදාමයි..
ලංකාවේ කොයි දේටත් නොසෑහෙන්න මහන්සි වෙන්න එපායෑ..
Deleteසේවාස්ථානයෙන් එළියට එන්න..
බස් එකක් අල්ලගන්න... ත්‍රී වීලර් එකේ ගාන කථා කරගන්න...
ඔය කොයිදේත් එක්ක ගැහැණු පිරිමි පත්වෙන්නේ නොසෑහෙන අසීරු කම්වල..
හිතවත්කම්, යුතුකම්, යෝධ ඇල්ලේ නැම්මේ යන්නේ මේ හින්දමයි - මිනිස්සුන්ගෙ හිත්වල ඇති මහා දෝසයක් හින්ද නෙමේ නේද?
ඒ වගේ අවස්ථාවක එව්වා ඉටු කරන ගෙනා ගැන අනෙක් අයත් හිතන්නේ නැත්නම් අපි මොක්කුද?
මේ නුඹ හිතන හැටි බැව් ඉන්තේරුවෙන්ම දනිමි...
හරිම සංවේදී සටහනක්. මගේත් තාත්තා නැතිවී වසර 15කටත් වැඩියි. එත තවම මට තාත්තා තනියෙම කිසිදු මැසිවිල්ලක් නොනගා පාලනය කරපු වැඩ ටික සහෝදරයෝ ඔක්කොමත් එක්ක එකතුවෙලාවත් හරියට හසුරුවා ගන්න බැහැ.කොතන හරි අඩුවක් හැමදාම තියෙනවා.
ReplyDeleteසමරසේකර
මෙහෙම හිතෙන එකත් කොච්චර දෙයක්ද සමරසේකර මහත්තයෝ....
Deleteකෘතවේදීබව මිනිස්කමට ආවේණිකය...
ඒ නැති තැන මිනිස් කමක් ඉතිරිවන්නේද නැත...
තාත්තා මිය ගිය ආරංචිය අසා මං ලංකාවට ගිය ගමනේදී සිංගප්පූරුවට යනතුරු පැය හතක් මා ළඟ වාඩි වී ගියා චීන කාන්තාවක්.
ReplyDeleteඅවසාන පැය භාගයේ දී ඇය මා හා ස්වේච්ඡාවෙන් කතා කර, මා දුක්බර ගමනක් නේද යන්නේ කියා විමසා වචන කීපයක් කිව්වා. එය මට සැනසිල්ලක් වුණා මතකයි.
තිස්සගේ පියා ගේ මරණය ගැන ලියූ ලිපිය කෝ?
ReplyDeleteඒක දුර ගමනක් නේද?
Deleteෆීජී දුපත් වලට ගිය ගමනකදී මා ආවේ කැන්ගරු දේශයත් සිංහපුරයත් හරහා, හරිම වෙහෙසකර ගමනක්..
මේ වාගේ වෙලාවක තනියෙන් එහෙම ගමනක් යන්න වෙන ඒක හරිම අමාරු වැඩක්...
නන්නාඳුනන්නන් අප සිත් සනසන හැටි පුදුමයි...
එහෙම දෙයක් ලියැවුණේ නෑ රසික...
ඔබට මතක ඇත්තේ මෙය විය හැකියි.. වැහි පොද වැටිලා බිම් මල් පිපිලා....
කලින් ලෙඩවී සුවවුණු කථාව මෙහෙම ලියැවුණා...
මොක්පුර රන් නෞකා බලන් සකි.....!.
අප්පච්චී නැතිවුණු දවසේ මම මේක කියෙව්වා නැවතත්...
ඒක හරිම පුදුම දෙයක්...
එදා හැන්දෑවෙයි පුතාගෙන් කෝල් එක ආවේ...
සිංදුවක් අහගෙන ආතල් එකේ ඉන්න වෙලවාවක තමා දැක්කේ link එක... ටිකක් දිග නිසා එක පාරටම කියවන්ඩ කම්මැලි හිතුනා... වචනෙන් වචනේ.. කියවනකොට .. මොහොතින් මොහොතින්... දන්න පිරිසක් රූපවාහිනියේ යන නාටකයක දකිනවා වගේ දැනුන නිසා ඕන් එක හුස්මට කියෙව්වා.
ReplyDeleteමට හිතෙන්නේ මෙතන ගොඩ දෙනෙක් ට වඩා මට මේ දේ දැන්නේ මේකේ ඔක්කොම කෙසේ වෙතත් 99%ක් චරිත හා ඒ චරිත වල ඇතුලත, හැසිරෙන විලාසය මම දන්න නිසා වෙන්න ඇති.
කෙසේ වෙතත් ඒඩින් අංකල් ඒ දවස් වල විදුසර ට ලියපු ලිපිවල සැඟවිලා හිටපු "ලිය්න්නාගේ" අතු රිකිලි වලින් වැඩුනු මේ ලියන්නා ගේ මේ අත්දැකීම් සමුදාය හැමෝගෙම හදවතේ පතුලටම දැනෙන්නේ ඒ අපි හැමෝගෙම කතාව නිසා වෙන්ඩ ඇති කියලයි මට නං හිතෙන්නේ..
මේ අපි හැමෝ තුලම ඒ "තිස්ස" ඉන්නවා..
ප.ලි. : තිස්සට තිස්ස නම ලැබුන විදිහ ලැබුන විදිහ ගැන ලියවුන දවසට ඒක කියවන සතුටුම පුද්ගලයා මමයි.
හප්පට සිරි... එහෙමනම් මලයත් ආවා මේ පැත්තෙ ඈ!!!
Deleteහෙට අනිද්දම හම්බුවෙමු...! හම්බවෙලාම කථා කරමු...!
තිස්ස හා තිස්ස ගැනත් කථා කරමු අමතක නොකරම!
නො ආම බැරිඋනා... හමු වනාට කත කරන්ඩ බැරු උනා නේ ඕනේ දේවල්.. කමක් නෑ.. blog පිටු තියන්වනනේ..
Deleteමේ ලිපිය කියවද්දි ගොඩක් සංවේදී උනා තිස්ස අයියෙ. දෙමව්පියන් නැති අඩුව කවදාවත් වෙන දේකින් මැකෙන්නෙ නැහැ. අයියගෙ ආදරණීය පියාට නිවන් සුව පතන අතර ආදරණීය මවට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteස්තූතියි මනා... සිතිවිලි මනාව පින්තාරු කරගන්න තමුන්නැහැ කොහොමත් දක්සයි නෙව!
Deleteදෙමව්පියන්ගේ වියෝව දරුවකුට මොනතරම් බලවත් ප්‍රහාරයක්ද කියලා හිතෙන්නේ කල් යන්න යන්නයි. මා හිතනවා ඔබ මට වඩා වයසින් බාල බව. ඔබ දන්නවද මම අදටත් ලොකු ප්‍රශ්නයක් ආවම නින්දට ගිහින් හිතෙන් කියනවා අනේ අම්මේ අනේ තාත්තේ මට මේ ප්‍රශ්නයට විසඳුමක් හොයලා දෙන්න කියලා.
ReplyDeleteයුද්ධ කාලේ සොල්දාදුවන්ගේ/නිලධාරීන්ගේ අම්මා/තාත්තා මියගිය බව දන්වා එවන පණිවිඩය ඒ තැනැත්තාට කියාගන්න බැරිවෙන අවස්ථා තියනවා. මොකද ඔහු ඉන්නේ යුදබිමේ ඉදිරියේ. මාස ගානකින් අම්මා තාත්තා බලන්න යන්න ලැබිලා නැහැ. එහෙම ඉඳලා එකවර කොහොමද පණිවිඩේ දෙන්නේ ඔයාගේ අම්මා/ තාත්තා මැරුණා කියලා. සමහරවිට ඔහු වෙඩි තියාගෙන සියදිවි හානිකරගන්න ඉඩ තියනවා. ඒ නිසා බොහොම උපක්‍රමිකවයි එවැනි පණිවිඩ දෙන්නේ.
"බුදුන් ලඟට අපගේ දුක දන්නේ......."
Deleteමට වෙලාවකට හිතෙනවා විචාරක මහත්තය අර ගුවන් සේවකයා මගේ කැළඹීම හඳුනාගෙන රාජකාරීමය ක්‍රියාවක් කලේ කියලා ඔහුගේ පැත්තෙන් මාධ්‍යය විදිහට ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් යොදාගත්තත්... මගෙ අතින් යම් අගතියක් වේයැයි අනුමානයෙන් සමහර විට ඒ ප්‍රතිකාර ක්‍රමය පාවිච්චි කලාද මන්දා කියලා සිතුනේ ඔබ මේ කියා ඇතිදේ දුටුවම...
තිස්සට හොඳට ලියන්න පුළුවනි. හිත සසල කල කතාවක්.
ReplyDeleteකැමතිම කොටස අර දේවදූතයගෙ කොටස
ඔබ මාගේ පැරණිම රසිකයෙක් - එකල වෙන නමකින් වුණත් :-)
Deleteමේ කම්ප්ලිමන්ට් එක මට එකලත් ඔබෙන් ලැබී තිබෙනවා
බොහොම ස්තූතියි...
දේවදූත සූත්‍රයක් බුද්ධ දේශනාවේත් තියේ.....
මම අපේ තාත්තා ගැන දාපු ලින්ක් එකක් තිස්ස අයියා බලලා අදහසකුත් දක්වලා තිබ්බානේ.
ReplyDeleteහිතට හරියට දැනුනා මේ කතාව.අපිට කරදරයක්,විපතක් වුනාම ලගින් ඉන්නා හිතවතුන් නොවේනම් ජිවත්වීම කොයි තරම් අපහසුවක් වනු ඇතිද ?
සසර බැම්ම කැඩෙන්න කලින් අන්තිමටම මිතුරු බැම්ම කැඩෙනවානම් හොඳයි නේද මනෝජ්?
Deleteසංවේදී සටහනක් තිස්ස මල්ලි. එදා රැයේ අමාරුවෙන් හෝ තාත්තාගේ අවමඟුලට සහභාගි උනේ මේ හිතවත් කම නිසාමයි. දෙමාපියන් දරුවන්ට දෙන දායාද මෙතෙකැයි කියන්න බැහැ. අදටත් මගේ මා පියන් මා වෙනුවෙන් වෙහෙසෙනවා. අද උදෑසනත් මට අම්මා කතා කලා. තාත්තා උදේම හල්දුම්මුල්ලේ වැඩකට ගියාය කියලා. අපේ තාත්තාට දැන් අවුරුදු අසූවකට ලඟයි. තාම වැඩ. කවදාවත් නිකම් ඉන්නෙ නෑ. කවම දාකවත් අපිට නෑ කියන වචනේ කියලා නෑ. තෙරුවන් සරණින් අපි මේ සංවේදී සටහනින් අපේ දෙමාපියන් එක්කම ඔබගේ අම්මාටත් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා! කියා පතනවා.
ReplyDeleteමම දන්නවා අක්කා... මම දන්නවා...
Deleteඅක්කගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුව පතමි!
පෝස්ට් එක කියවන්න කලින් සිංදුව ඇහුවා. නමුත් ලොකුවටම හිතට වැදුනේ නැහැ.
ReplyDeleteපෝස්ට් එක බැලුවේ දෙවනුව, ඇහේ කඳුළු වේලෙනකල් කීප වතාවක් අහක බලාගෙන ඉඳල පෝස්ට් එක කියවලා ඉවර කලා.
පියාණන්ට නිර්වාන සුව ලැබේවා...!
හිත මිතුරන් නැතිනම් ජීවිතය මොන තරම් අපහසු වේවිද...
මට තියෙන්නේ ටිකක් වෙනස් අත්දැකීමක් බව තිස්ස අයිය දන්නවනේ
දැනුවත් වෙන්න තරම් මෝරන්න කලින් අවබෝධය ලබන්න සිද්ධ උනා... දැන් අවුරුදු එකොළහක් වෙනවා...
අදටත් ඒ දවස අද වගේ මතකයි...
මේ සති අන්තේ ගෙදර යන්න නෙමෙයි හිටියේ, වෙන වැඩ වගයක් දාගෙන හිටියේ.
ඒ ඔක්කොම පැත්තකින් තියල ගෙදර ගිහින් අම්මව බලල එන්න ඕනේ තිස්ස අයියේ...
"හිත මිතුරන් නැතිනම් ජීවිතය මොන තරම් අපහසු වේවිද..." හිතාගන්නවත් බෑ නේද ලොකූ?
Deleteසතුටුයි සතුටුයි ගොඩක්ම සතුටුයි... වැඩ ඉවරයක් වෙන්නේ නෑ.. ඒවා නොකෙරී තියෙන්නෙත් නෑ... ඒත් හිතවත් කම් නෑදෑකම් වීදුරු වගේ පරිස්සමින් බලා කියාගන්න ඕනෑ.. ඉරිතලන්න පලුදු වෙන්න නොදී... රෙපෙයාර් කරන්න බෑ නෙව ඊට පස්සේ...
හිත කඩාවැටෙන හෝ කම්පනයක් වන සිද්ධියක් බෙදා හදා ගැනීම කෙනෙකුට වධයක් විදිහට දැනෙන්න පුලුවන්.ඒත් ඒ බෙදා ගැනිල්ලම ඔහුට ඔසුවක් වූ බව දැනෙන්නෙ ටික කාලයක් ගතවුනාම.
ReplyDeleteසංවේදී ලියමනක්.
ජයවේවා..!
ගොඩක් ඇත්ත ජී එල්...
Deleteටජ්මහල් වල ඉඳන් බස් ටිකක් එකක ලියැවෙන කවියක දක්වා ඇත්තේ මේ සිත් විරේකයයි...
නිස්කලංකව සවන්දෙන අය ඉන්නවනම් සහනය ගොඩාක් වැඩියි...
හරිම සංවේදී ලිවීමක් තිස්ස අය්යේ ...පියාණන්ට නිවන්සුව පතනවා .මට මතකයි අපේ සියා නැති උන වෙලාවේ අපේ බාප්පා කෙනෙක් කුස්සියේ කාටවත් නොපෙනෙන තැනකට ගිහින් මුණ හංගගෙන හොඳටම ඇඩුවා .මට මේක හොඳටම දැනුනා .මොකද මම කවදාවත් බාප්පා අඩනවා දැකලා නැති නිසා .පස්සේ එයාගේ යාලුවෝ ටික තමයි මෙය ශේප් කලේ .
ReplyDeleteබුදුහාමුදුරුවොත් කියලා තියනවානේ “පුබ්බයොගො, බහුසච්චං, දෙසභාසාව, ආගමො පරිපුච්ඡා, අධිගමො, ගරුසන්තිස්සයො තථා මිත්ත සම්පත්ති චෙවානි පටිසම්භිදා පච්චයාති” මිත්‍ර සම්පත්තිය සිව්පිළිසිඹියාපත් ලැබීමට හේතු වන්නකි. මිත්‍රයා මඟුල් ගෙදර, මළ ගෙදර, කුඹුර ආදි එදිනෙදා කටයුතුවල දී පමණක් නොව සසර දුක් නිම වී නිවන් ලබන භවයේ දී අවශ්‍ය වන්නෙකි" කියලා ...
මෑණියන්ට දීර්ඝායු පතනවා !!!
මේක මම කැමතිම ගීතයක්
සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා
ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
ගායනය / සංගීතය -සුසිල් පේ‍්‍රමරත්න
ගී පද - සරත් විමලවීර
සින්දු ඇනෝ කියන්නේ කවුද කියල දන්නෙ නෑ එක පැත්තකින්...
Deleteසින්දු ඇනෝ කියන්නේ ගොඩාක් දන්න කෙනෙක් තවත් පැත්තකින්...
(ඊටත් අමතරව, මෙතන ඇවිත් යන බොහෝ දෙනෙක් සේම ඔබ මා බොහෝ සේ සිත් ගනී. එදිනෙදා ජීවිතය සරල දහම සමග සම්බන්ධ කරගන්නා ජීවිතය සුවෙන් ගෙවයි. පරම්පරා දෙක තුනක් හරහාම අත් දුටු කාරණයකි).
මේ පෝස්ට් එක කියවලා ඇස් දෙක තෙත් කරගත්තට කමෙන්ට් එකක් ලියන්න හිත එකලසක් තිබුනේ නෑ. මොනව ලියන්නද කියලා හිතාගන්න බැරි උනා.
ReplyDeleteමගේ ජීවිතයෙත් මට සමීපම චරිතයක් මගේ තාත්තා. තාත්තා කෙනෙක් පුතෙකුට කොයිතරම් බලපෑමක් කරනවද කියලා මම අත්දැකීමෙන් දන්නවා. තාත්තා කෙනෙකුගේ ආදරය හරියටම තේරුනේ මමත් තාත්තා කෙනෙක් උනාට පස්සෙ තමයි. දරුවන් කෙරෙහි දෝර ගලන ආදරය අම්මා හැම තිස්සෙම දෙගොඩ තලා ගලා යන්න ඉඩ ඇරියට තාත්තා කෙනෙක් ඒ ආදරය හිත ඇතුලේ හංගගෙන ඉන්නේ හරියට මහ පොළොව යට සුපිරිසිදු ජලය ගංගගෙන ඉන්නවා වගේ තමයි. ඉඳලා හිටලා දිග බටයක් ඇතුලට දාලා එළියට ඇදලා ගත්තෙ නැතිනම් ඒ ජලය මහ පොළොව ඇතුලේ එහෙම්මම තියෙනවා. ඒක දන්නේ මහ පොළොව විතරයි.
නන්දා මාලිනී කියන්නේ "මට මව් පදවිය ලැබුණු දිනේදී - නුඹේ අගේ මට දැනුනේ..." කියල..
Deleteතාත්තල ගැන කථාවත් ඊට ටිකක් දිගුවක් වෙනව... කලින් කමෙන්ටුවක සමරසේකර මහත්තය කීවා වාගේ ජීවිතයේ ගොඩක් කාරණාවලදී තාත්තා මතක් වෙනවා...
ඇහැට කඳුලක් උණපු සංවේදී සටහනක්..
ReplyDeleteඅපි හැමොටම දවසක මේ හැමදේ ම දාලා යන්න වෙනව. ඒක තමයි ජීවිතේ යථාර්තය. මට තවමත් දොංකාර දෙනව මම ජීවිත කාලෙට මෙතෙක් අහපු මිහිරි ම වචන ටික
"පුතේ අනිත් අම්මා නැතිවුණා..."
ඒ අපේ ආච්ච් නැතිවුණ දවසේ අම්මා මට කථා කළේ..
"පුතේ අනිත් අම්මා නැතිවුණා..."
Deleteපොතක් ලියන්න තරම් කාරණා මේ වචන ටිකේ සම්පත්....
සංවේදී සටහනක් තිස්ස.ඔබ කොහොමත් මෙවැනි සටහන් තැබීමට දක්ෂයි.මේ ඔබේ පුද්ගලික අත්දැකීමක් වුවද බොහෝ දෙනාගේ කතාවද මෙය හා සම වන බව මට සිතේ.ඒ නිසාම ඒ කතාව අපේකර ගලපා ගන්නට වෙර දරමු.ඒ සමග බැඳෙමින් දුක් වෙමු.ඔබේ පියාණන්ට නිවන් සුව පතමි.
ReplyDelete"ඒ සමග බැඳෙමින් දුක් වෙමු..."
Deleteමේ කෙටි වැකි වල ජීවිතේ එතිල තියනව හැලප කඩේ මහත්තයෝ...
අවුරුදු එක හමාරක් විතර මේක නොලියා හිටියේ දෙගොඩ තලා ගිහින් විනාසයක් වෙයි කියල...
දැන් ඉතින් හෙමින් සීරුවේ කපාපු ඇලපාර දිගේම බැහලා ගියා...
This comment has been removed by the author.
ReplyDeleteසමහරුන්ගේ සමහර අත්දැකීම් අන් අයට කිසි දිනක වැදගත් නොවෙන්න පුළුවන්. එහෙත් සමහරුන්ගේ සමහර අත්දැකීම් අන් අයට සෑම විටම වැදගත් වන අවස්ථා ඇති බවත් කිව යුතුයි. මේ අත්දැකීම් වෙනත් වදන් වලින් වෙනත් දින වකවානු, වෙනත් පුද්ගල නාම්, වෙනත් ස්ථාන නාම වෙනත් සිද්ධි දාම යොදා කාටත් ලියන්න වෙන දේවල්. ඒ නිසා මේ සිදුවීම පොදුයි. පෞද්ගලිකයැයි හැඟුනද එය පොදුයි. එබැවින් එතුමන්ට නිවන් සුව පතනවා. එමෙන්ම මෙවන්ම වූ සටහනක් පසුගිය වසරේ දිනක මටත් ලියන්නට සිදුවුණා. එය කියෙව්වොත් අපි කාගෙත් අවසාන කතාව බොහෝ් දුරට සමානයි කියා හිතේවි. ඒ නිසාම ඔබගේ මේ සංවේදී සටහනට තබන මේ අදහස් දැක්විම තුළම මම මා ලියූ සටහනේ ලින්කුවත් අමුණනවා. දැන් අපේ අප්පච්චී අපේ ගෙදර එන්නේත් අම්මා නැතිව තනිවම.....
ReplyDeletehttp://yasanathsithuwili.blogspot.com/search/label/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%20%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA
ඔක්කොටම කලින් ගිහින් ඒක කියවලා ආවා...
Deleteඇත්ත...
ඔක්කොමගෙ කථාව ඒකයි තමා...
සමහරු ලියනවා..
සමහරු දරාගෙන ඉන්නවා..
සමහරු උපේක්ෂාවෙන් බලනවා...
අය්යගෙ මේ සටහන දෙවරක් කියෙව්වා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. තුවාල ඉක්මණින් සුව වේවා.
ReplyDeleteහත්දවසෙ, තුන්මාසෙ, අවුරුද්දේ දාන මාන වලින් පස්සේ සෑහෙන්න සුවවුණා නගේ....
Deleteමේ සින්දුව අද තරම් හැඟුම්බර විදිහට දැනිලා නෑ කවදාවත්. ඒකට හේතු දෙකක් තිබුනා . එක තිස්සගේ සංවේදී සටහන . දෙවැන්න පහුගිය සති අන්තයේ තරමක් අසනීපෙන් ඉන්න අම්මා හා තාත්තා බලන්නත් එක්ක කෙටි නිවාඩුවකට ලංකාවට ගිය ගමන .
ReplyDeleteතිලකසිරි මහත්තයගෙ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුව පතනවා ඉත සිතින්ම...
Delete