අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!

නැත... මේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් වියදම් කරමින් හදන්නට යන අති නවීන රේල්ලුවක් ගැන
කතාවක් නොවේ..!
එසේ නැතිනම් පාන්දරින් දුම්රියෙන් වැඩට එන්නට සිතා පිටත්වූ ජනතාවට මූණ දෙන්නට සිදූවූ දුම්රිය සේවක වර්ජනයක්ද ගැනද නොවේ...!!
මේ කතාව සවුදම් ගැනය..
අඳෝමැයි...! 'සවුදම්' ගැන කී විට පාඨකයනට 'සවුදං ජෙමා' මතක්වීම කෙසේනම් නවත්වමුද...
එහෙත් ඒ සියලු වැල් වටාරම් පසෙක තබා මාතෘකාවට බහිමු..!!!

සවුදම් ගැන ලියැවී, ලංකාවේ පළවී ඇති පොත පත බෙහෙවින් අල්පය...
සාම්ප්‍රදායික නැටුම් හා වාදන පුහුණුවන්නන්ට පමණක්ම ඒ දැනුම හා රසය වෙන්ව ඇති සැටියකි...
සාමාන්‍ය රසිකයා අතර වන්නම් ජනප්‍රිය වුවද සවුදම් ඒසේ වී ඇති සැටියක් නොපෙනේ..
(විදග්ධ පාඨකයා මා දැනුවත් කරාවා...!)

මේ ජනගත නොවීමට හේතු කාරණා වශයෙන් මා දක්නා කාරණා කිහිපයකි..
සම්ප්‍රදායික වාදකයින් (ගායකයින්) හා නැට්ටුවන්(ගායකයින්) පොත පත ලිවීමට පෙළැඹී ඇති අවස්ථා ඉතා අල්ප වීම එයින් පළමු වැන්නය...
(සේදරමන් ගුරුන්නාන්සේට පින්සිදුවේවා... පාගමනින් ගොස් හමුවිය හැකි දුරක නිවස්නය කොටගත් ඔහු, අපට දැනුමක් තේරුමක් ඇති කාලය වනවිට මෙලොව හැරයාම මහත්ම දුකකි...)

අනෙක් කාරණයක් නම් එහි ඇති තාල වාදන,  නැටීමට මුල් තැන දෙමින්ම වර්ධනය වුණු කාරණයක් වීමය... එහි කර්ණරසායන ස්වභාවය වන්නම් මෙන් අතිශයින් සුගායනීය නොවීම මෙයින් අදහස් කෙරේ...

අවසාන කාරණයනම් පුරාණ ජනගායනා ඇසුරෙන් යම් යම් මනබන්දනීය නිර්මාණයන් වර්තමාන ගීයට බද්ධකල මකුලොලුව, සුනිල් සාන්ත, කුලතිලක වැන්නවුන් අතින් මේ ගිලිහී තිබීමයි...
(මේ සංගීතය විධිමත්ව නො-හදාල දුහුනකුගේමුත් සංගීත රසිකයකුගේ සිතිවිළිය...
අනෙක් පසින් මේ බද්ධ කීරීම ගැමි සංගීතය නො-හදාරා කිරීම ගැන, එසේත් නැත්නම් ඉන්දියානු සංගීතයට බද්ධ කිරීම පිළිබඳව මකුළොලුව ශූරින්ගේ ඇත්තේ බලවත් අප්‍රසාදයකි.. උදාහරණ ලෙස 'තෙල් ගාලා හිස පීරන් නෑනෝ', 'ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා', 'චන්දෝ මා බිළිඳේ',  යන ගී ඔහු තම 'හෙළ ගී මග' කෘතියෙහි දක්වා ඇත)

සේදරමන්ට අනුව 'සවුදම්' එන්නේ "ශ්‍රෙගතම්" යන සස්කෘත වදනට අනුවය.. දේවාල ආශ්‍රිතව සවුදම් ගසා නැටුම් පෙන්නීම නිසා ඔහු එසේ සිතූ බව ලියා තබා ඇත..
උඩරට නාට්‍ය කියුම් කෙරුම් තුල ගායනා වර්ග 12 හේ හඳුනාගෙන ඇත. සන්න, චූර්ණිකා, සැහැලි, යාදිනි, ස්තෝත්‍ර, රාග(ම්), වන්නම්, වන්දනාමාන(ම්), තාල(ම්), සවුදම්, කවුත්තම් හා සින්දුය ඒ.

මීට අමතරව තංගල්ලේ සව්රිස් සිල්වා සංගීතාචාර්‍යතුමා පහතරට සංගිතයේ එන "දැකුම් අත්" නම් අංගයන් ගැනද කියා ඇත.

"බෙර දවුල් වාදකයෝ, මෙසේ දැකුම් අත්ද, වන්දනාමානද, කවුත්තම්ද වයති.  තාලම හා සව්දම් ආදියද වයති. ඒපමණක් නොව ඒවා සතු කියුම්ද කියා පාති. එ කල ය වාදනයෙහි ක්‍රමවත් ශාස්ත්‍රීය හා ප්‍රියමනාප සාධුශීලී බව එක්වී එන්නේ. මේ පහත එන්නේ කියුම් සමග එන 'දැකුම් අත්'ය.

වනාන්තරයෙන් වෘක්ෂය කපා ලියවා වැඩ කරගත් හෙයින් භෙරියට වෘක්ෂදේවතාවා බාරව සිටින්නේය. එසේ හෙයින් එම දෙවියන් සිහිකොට දැන් මේ සභා මණ්ඩපද්වාරයට නොහොත් සභාවට රැස්වූ ලොකු කුඩා සෑම දෙනම ප්‍රධාන කොට අවසර ලබා බෝවත් බෝවා කාලයකට පවතිනා සේ නෙර්තයක් කෙරෙම් මම්...

සිද්ද කරනා ලෙසට සූවිසි - අසංකෙයියක් සතුන් නිවනට
යුද්ද කර වසවතුන් පැරදී - ඉන්ඩ බැරුවම ගියයි එම විට
සද්ද කරනා බෙහෙරි නාදය - කරන්නට ඔහු සැරසිලා හිට
සද්ද කර එව්වේ දැකුම් අත - එදා මුනිඳුගෙ බුද්ද මඟුලට..
"

සව්රිස් සිල්වා මෙසේද කියයි.. 

"සවුදම් ගැසීම වාදයාගේ මහ වැඩෙකි.. බුදු මඟුල දා මුනිඳුට අට කොන සිට ගැසූ බව කියවෙන වාදන, ගායන, නර්තන තුනටම ගැනෙන සව්දම් අටෙකි.. තවත් විවිධ වූ සවුදම් අතර පැණය හා පිළිතුර දැක්වෙමින් ගයන සවුදම්ද වෙති...

දං නං මහමෙර උසටත් වැඩියෙන් මොනවද ඒ දුං දං
දං නං සමුදුර ජලකඳ පසුකර මොනවද ඒ දුං දං
දං නං අහසේ තරු මදි පොළොවේ පස් මදි කර දුං දං
දං නං කිවි‍ඳෙක් වෙන් වෙන් වසයෙන් කියා දියන් සවු දං

දං නං ඇස් ඉස් මස් ලේ සහ තව අඹු දරු බැඳ දුං දං
දං නං ඇත් අස් කෙත් වත් ගම් බිම් කෙළි කොළු ස්වර්ණමී දං
දං නං සාරාසංකප් ලක්සය පූරිත පාරමි දං
දං නං කිවිඳෙක් කියා දියන් මට දස විද සුර සවුදං"

"භාෂා" හතරකින් "වැයෙන" සව්දම  (සිව්බාසේ සව්දම) හා එයටම ගැයෙන කවද සව්රිස් සිල්වා ගුරුන්නාන්සේගෙනි..
තෙලිඟෙන් තිබුණා සවුදම් ගණනක් - කිවා ඉසිවර මේ විලසින්
මරසෙන් බිඳුවා බෝසත් බුදු වූ - බුදු මඟුලට කල නෙර්ත උතුන්
උරනින් ආවොත් මග දී වරදියි - ඉංග්‍රිසි සව්දම් මේ විලසින්
සබයෙන් අවසර නටනව සව්දම - හැකිනම් ගහපන් සිව්බාසෙන්

අරි විඩ පණි විඩ ගුඩි මුඩි සෙල්ලුම්
තිප්‍ර පෛස් නුකු ඩයි තද බොස්කුම්
අයි වැන්ට් ටු නොස් ජප් ජුට්
බුටි ක්‍රාන්තු සක්‍ර වන්න භඃ

පංචතාලය අනුව සකස් කරගත් සවුදමක් ප්‍රෙහෙලිකා ස්වරූපයෙන් මෙසේ ඉදිරිපත් වෙයි

අල් අකුරෙන් දසයක් ඇත අදුරනි - පාපිලි හයකුක් දැනගත්තා
ඉස්පිළි සොළොසයි බින්දු දහයකුත් - අප ගුරුවරු ගෙන් අහගත්තා
ඇලපිලි තෙලෙසයි තනි අකුරුත් විසි - පහකට ලාගෙන තව ගත්තා
අහපු අකුරුවල ගණන කියෙව්වට - කොම්බු හතයි තත් තත තත් තා

සී ද එස් කුලතිලකයනට අනුව මේ ද්‍රවිඩ "ශබ්දම්" (ශබ්දම් - භාරත නාට්‍යාංගයකි)  යන්නෙන් බිඳී ආවකි... සවුදම්, බෙර වාදන හා අතිනත් බැඳ ඇති බවක්ද දෙවි දේවතාවන් වන්දනාව සඳහා යොදාගත් බැව් කුලතිලකයන්ගෙන්ද තහවුරු වේ.. 'වාදාංකුස රත්නමාලය' නම් තෙළිඟු කාව්‍ය මාලාවක සව්දම් හැට හතරක් තිබූ බැව්ද හේ සඳහන් කරයි.. මහවල තැන්න බණ්ඩාර නිලමේ විසින් 1908 රාජකීය ආසියාතික සංගම් දේශනාවක මෙම කවිමාලය ගැන උපුටා දැක්වු බවද කුලතිලක සඳහන් කරයි... එහිදී මහවලතැන්නයින් විසින් වාදාංකුසයෙන් ගෙනහැර දැක්වා ඇති මේ පාඨයද අපූරුය...

"නමෝ බුද්ධාය........
බේරි තාල, ගීත නේර්ත, අර්ථ මූර, රාගම් පාරට්ටු, සව්දම් අෂ්ඨගණ, ගුරු ලඝු, දෙතිස් සිව්මිති සිව්වත්, ශපතුරු මිතුරු, අක්ෂර පාට වර්ණ, අමෘතකලා විෂකලා, ගන්ද සුගන්ද, දේවතා, පල අපල, නිමිති නැකත්, කොන් අට පාද බෙදින් සූසැට කුල බේද සතරවංස උප්පත්තිය යන මේ කියන දේ සම්පූර්ණව පැවති 'නේර්තමාලා වාද අන්කුසය යන ශාස්ත්‍රවාදය මල්වත්තේ තෙරුන්වහන්සේ විසින් නාග පට්ටනමේ ගණිතාලංකාර කවීන්ද්‍රයාගෙන් පඬුරු පාක්කුඩම් යවා ගෙන්වාපු පොත නිබොරුය...
"

සවුදම්, විනෝදය ගෙන දෙන්නක් ලෙස පැවැති බවත් එනිසාම පසුකාලීනව පමණ ඉක්මවා ගොස් ග්‍රාම්‍ය භාවය ඉස්මතු වන අයුරින්ද මතු වී වර්ධනය වූ බවක් සේදරමන් ගුරුණ්නාන්සේ කියයි.
ඒවා මගහැර දේව වන්දනා වලට යෙදුනු සව්දම් හැටහතරක්, බෙරපද හා කව් සමගින්ම සේදරමන් ගුරුන්නාන්සේ විසින් තම කෘතිවල සඳහන් කොට ඇත. ඒවානම් පහත පරිදිය:

1.   බ්‍රහ්ම සවුදම
2.   විෂ්ණු සවුදම
3.   ඊශ්වර සවුදම
4.   නාථ සවුදම
5.   කන්දස්වාමි සවුදම
6.   සක්සුර සවුදම
7.   තත් සවුදම
8.   දිත් සවුදම
9.   තොන් සවුදම
10. නන් සවුදම
11. රාම සවුදම
12. ගණපති සවුදම
13. පත්තිනි සවුදම
14. බඹ සුර සවුදම
15. කන්ද කුමාර
16. තුරගාඬි සවුදම
17. ගුරුළු සවුදම
18. තත්දොමිකිට සවුදම
19. සූරිය සවුදම
20. චන්ද්‍රා සවුදම
21. උරඟා සවුදම
22. සිහරාජ සවුදම
23.    වීනන්ද සවුදම
24.    වෙසමුනි සවුදම
25.    තත්තා සවුදම
26.    සරස්වතී සවුදම
27.    සිසිර සවුදම
28.    සුරගුරු සවුදම
29.    සුරඟන සවුදම
30.    සුගත සවුදම
31.    ශ්‍රියා දේවි සවුදම
32.    වීරමුණ්ඩ සවුදම
33.    කළු කුමාර සවුදම
34.    කඩවර සවුදම
35.    මිහිකතගේ සව්දම
36.    මල්කඩවර සවුදම
37.    බ්‍රහ්මවේද සවුදම
38.    කේසර සවුදම
39.    ජේඟු සවුදම
40.    පූර්ණ චන්ද්‍රා සවුදම
41.    නවග්‍රහ සවුදම
42.    ඉරු සවුදම
43.    සඳු සවුදම
44.    කුජ සවුදම
45.  බුද සවුදම
46.  ගුරු සවුදම
47.  කිවි සවුදම
48.  ශනි සවුදම
49.  රාහු සවුදම
50.  කෙහෙතු සවුදම
51.  ඉකාර සවුදම
52.  උකාර සවුදම
53.  ඔකාර සවුදම
54.  එකාර සවුදම
55.  සව්ම සවුදම
56.  ගිණිකොණට සවුදම
57.  යාම සවුදම
58.  නිරිත දිග සවුදම
59.  වරුණ දිග සවුදම
60.  වයඹ දිග සවුදම
61.  ඉන්ද්‍රදිග සවුදම
62.  ඊසාන දිග සවුදම
63.  ධෘතරාෂ්ඨ සවුදම
64.  විරූඨ සවුදම

--------------------------------------------------------------------------------------------------------------------
සංස්කරණය 1: අගෝස්තු 08, 2019

පියසර ශිල්පාධිපති විසින් සම්පාදිත "Rythms of SRI LANKAN DRUMS & FOLK SONGS" යන සීඩී තැටියේ (සිංග්ලංකා ආයතනයෙන් බෙදාහරින ලද) අපූරු සවුදමක් ඇත.

පත්තිනි සවුදම



තෙනෙන තෙන තෙන - තෙනෙන තෙන තෙන
තෙනෙන තෙන තෙන - තෙන තෙනා...

නිතිනි දන මන - නයන පිණවන - දුල් සිරින් දෙවඟනක විලසා
පත්තිනි සුරිඳුට - නැමද කියනෙමි -  නරන් හට සෙත දෙන ලෙසා
අතිනි ගණ රන් - සලඹ අරගෙන - නරන් උවදුරු හරින විලසා
පත්තිනි සවුදම - නටමි අද මම - මේ සබේ මැද පුදුම විලසා
 

තද් දිත් තොන්නන් තාල උදාවය
ජෙනනෙක සවුදම් හෘද දෙවි පාදය
චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීල විණ කිමනෙක සුරලුවනේ
තකනන් ජෙනෙකිට විනක විනෝදන
ගත්තු එරත්‍රන් සළඹ අතේ
සෙත් සිරි දෙවනා පත්තිනි කරුණා
ජෙහෙනක තත් තරි අඩි තුඩි පඬිපුර
තාහක ජෙන් ජෙන් තා
නටමි මම පත්තිනි සුර සවුදම්


සේදරමන් ගුරුන්නාන්සේගේ පත්තිනි සවුදම: එයද ඉහත ගීය සැටියෙන්ම ගයා බලත හැක
 
යාත්තර නැව් - යනෙන මුහුදේ - කුඩා ඔරු නොපදීද පසුවම
සාත්තරයට - වාද කෙරුමට - මෙනුඹ ආ එක ඉතා ගොන්කම
පාත්කම විඳ - ගන්ඩ සිදුවෙයි - නුඹහට නොගියොතින් විගසම
පාත්තර බිඳ - ගන්ට සිදුවෙයි - ඔන්න ගයනෙමි පතිනි  සවුදම


සේදරමන් ගුරුන්නාන්සේ බෙර පදය ඉහත පදයෙන් තරමක් වෙනස්ය
 

තද් දිත් තොන්නන් තාල උදාරය
කිටත්‍රික සව්දම් භ්‍රද විපාදය
චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීලගත විමනික සුරලුවනේ
තකනන් ජෙහෙකඩට විනක විනෝදර
ගත්තේ රත්‍රන් සළඹ අතේ
සෙත් සිරි දෙවනා පත්තිනි සුරනා
අඩි තුඩි පඬිපුර ජෙහෙදක තත්තිරි
තාහක ජෙන් ජෙන් පත්තිනි සවුදම්]


සංස්කරණය 1 අවසානයි
---------------------------------------------------------------------------------------------------------------------
සංස්කරණය 2: අගෝස්තු 11, 2019

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදිත "ජන ගී" සංයුක්ත තැටියෙන්...

ගුරුළු සවුදම



තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...
තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...

නන්ද පනන්දය නා රජ සමයේ - වෙසතුරු මුනි බුදු වී වැඩ උන්නේ
කරුණා යුග මහබඹු සහ අගසවු - ගෙල සියයක් උස ගුරුලකු වැන්-නේ
ගසක් උඩින් ගිය මකරෙක් විලසින් -  ගොස් අප මුනිඳුන් වෙතට වඩින්නේ
ඔන්න එදා ගැසු ගුරුලා සවුදම - ගඳඹ රුසිරු නම් පවතින්නේ

තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...
තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...

දොන්ත තහුර තත් තා - තත්ත තහුර දිත් තා
ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද - තත් තක ගිරෙගින් මහමෙර සත්පට
ක්‍රතකුන් දික්කිට නන්ද පනන්දය - අඩ නඩ කින ජෙන් අනෝතත්ත විල
පන්නක නා රජ පෙනෙන් වසා සිට - අතුන නදුන තරි දිමිත්ත දිමි දිමි තා

දොන්ත තහුර තත්තා - තත්ත තහුර දිත් තා
ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද - තත්තෙට මහමෙර ක්‍රතකුන් දික්කිට
නන්ද පනන්දය අඩ නඩ කින ජෙන් - අනෝතත්ත විල පෙනෙන් වසා සිට
පන්නක නා රජ පෙනෙන් වසා සිට - අතුන නදුන තර දිමිත්ත දිමි දිමි තා

සේදරමන් ගුරුන්නාන්සේගේ ගුරුළු සවුදම

නන්ද පනන්දය නා රජ සමයෙහි මුගලන් තෙරිඳුන් ගුරුලෙකු වැන්නේ
සත්පට වට කරමින් ඒ නා රජ මහ කෙලනයි දරණයක් ලෙසින්නේ
නන්ද පනන්දය නාර දැපනෙට මුගලන් තෙරිඳුන් වඩිමින්නේ
ඔන්න එදා ගැසු ගුරුළු මෙසවුදම බැරිවෙයි මිතුරේ අහපන්නේ

ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද
නන්දන මහතෙර සත්පටලා
ක්‍රතක දිගුන් තරි නදුන තරි
දිමිත්ත දිමිතිරි තරිකිට රොම්කිට තා

සංස්කරණය 2 අවසානයි
---------------------------------------------------------------------------------------------------------------------

හැත්තෑව දශකයේ, සිංහල ගීතයේ ස්වර්ණමය යුගයේ "දුම්රිය සවුදම" නමින් ළමා ගීයක් නිර්මාණය වෙයි...
දුම්රියක නාදය අනුව යමින්ම නිමවූ මෙම ගීය සවුදම් ආශ්‍රයෙන් නොවූවද එකල ලමුන් වූ අපගේ මනදොල රිසිසේ පුරවාලීය...

පීළි දෙකක් උඩ ඉහලට පහලට හූ කිය කිය දුවතෙයි
දුවතෙයි තෙයි තෙයි දුවතෙයි
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කියමින් මරහඬ දෙයි
බට්ටිචි කවුඩන් දෙමලිචි කවුඩන් දැන් දැන් අමතක වෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....

බර බාගේ පොඩි මඩුවක් ඇතුලේ ඉකි බිඳ බිඳ හඬතෙයි
රතු ගොන් වස්සා දුම්රිය පාරට ඔරවාගෙන ඉඳිතෙයි
යකඩ ගොඩක් උඩ ගිනි සිළු රෑණක් ඒ මේ අත දුවතෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....

පාසැල් යන්නට අප දිව එන තුරු කරබාගෙන ඉඳිතෙයි
කල් නොවරද්දා නියම වෙලාවට නියම තැනට දුවතෙයි
දවසක ගමනක් විනාඩි දහයෙන් යන්නට අර අඳිතෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....




ඇසුරු කල පොත පත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන් (1962)
• පහතරට නැටුම් (ප්‍රථම භාගය) - එස්. එච් සව්රිස් සිල්වා (1965)
• හෙළ ගී මග - ඩබ්ලිව්. ඩී. මකුලොලුව (1962)
• ලංකාවේ සංගීත සම්භවය - සී. ද එස්. කුලතිලක (1974)
• සිංහල ජනසම්මත කාව්‍ය - ඩබ්ලිව්. ආතර් සිල්වා / ගුණපාල මලලසේකර (1935)
• තාල ඥානය - වින්සන්ට් සෝමපාල (1958)
• Sinhala Natum: Dances of the Sinhalese - M. D. Raghavan (1967)


25 comments :

  1. මට සව්දම කියනකොට මතක් උනේ, ඒ කාලෙ අපි කෑගහනකොට අම්මා ඇවිත් සැර කරලා යනවා, 'මෙතන සව්දම් නටන්න තියාගත්තා' කියලා. ඒක. ඇත්තටම එහෙම එකක් තියෙනවද නැද්ද කියලවත් හිතට හිතිලා නෑ මේ කියනකම්. සව්දම් කියන්නෙ ගායනය වාදනය නැටුම කියන මේ තුන් වර්ගයම මිශ්‍ර වෙච්චි දෙයක්ද, තිස්ස?
    මේ සින්දුව නම් අහලා තියෙනවා වගේ ළාවට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තුනම මිශ්‍ර වුණාට නැටුම මුල් කරගෙනයි ගායනාව එනව කියන්නේ...

      Delete
  2. තිස්ස අයියා සෑහෙන කාලෙකට පස්සේ සෑහෙන්න මහන්සි වෙලා එකක් ලියල.
    මේවා ගැන මගේ නම් දැනුම බින්දුවයි. සවුදම් නටනවා කියන එක නම් පොඩි කාලේ අපිත් අහල තියෙනවා ඔය මියුරු කිව්වා වගේ. සවුදම් ජෙමා ගැනත් අහල තියෙනවා විතරයි. දාල තියෙන විස්තරේ කියවල බලන්නම්.

    නැවත බ්ලොග් අතර දැකීම ලොකු සතුටක් තිස්ස අයියා.

    ReplyDelete
    Replies
    1. මේ සවුදම් ජෙමා ගැන අපේ ලොකු අම්ම කියනවා මට මතකයි. ඒ ලිපියේ කියවෙන්නේ අපේ ගම පළාත හින්ද සමහරවිට ලොකු අම්මල විස්තරයක් දන්නවා ඇති. මම ගිය වෙලාවක හොයල බලන්නම්.

      Delete
    2. බොහෝ කලබල වලට පස්සෙ ටිකක් විවේකයක් ආවා...
      ඇරත් මේක කාලයක් තිස්සෙ හිතේ තිබිච්චි දෙයක් ලියන්න...
      විස්තර (ජෙමා ගැන) ලැබුණොත් මෙතනට අප්ඩේට් එකක් දාන්න..

      Delete
  3. සව්දම් නටනවා කියලා අහලා තිබ්බාට මෙච්චර විස්තරයක් දැනගෙන හිටියේ නැහැ.තිස්ස අයියා කියලා තියෙනවා වගේ වන්නම් වල තියෙන රස නම් මෙව්වායේ මටත් නැහැ එච්චර,ඒ අපිට වන්නම් පුරුදු උනාට සවුදම් නුහුරු නිසා වෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් මල්ලි...
      මටත් පුදුම මෑත කාලීනව සවුදම් ගැන කතාබහත් නැතිතරම් එක ගැන...
      ඒත් කවි රාසිය නම් බොහෝ මධුරයි

      Delete
  4. කාලයකට පෙර අපට (මේ සවුදන් ගීය නිමැයුනු කාලයේදීම) සිඵමිණ මිහිර නවයුගය ශ්රී - තරැණි - රිවිරැස - දවස අපගේ ඇස හරහා නැණ පිනවු සරසවියන් වෙද්දී ගුවන් විදුලි පළමුවෙනි සේවය කන හරහා ඒ කටයුත්ත ඉටුකලේය.

    ඒ ඈත අතීතයේදීය

    වර්තමානයේ අපට ඒ කිසිවක් නැත. බරපැණ වියදම් කර සපය උපයා පොත්හල් කරා එළඹි ඒ කටයුත්තේ දැන් යෙදනෙ අපට තිස්ස දොඩංගොඩයන්ගේ මේ සටහන් දහස් වටනේය. මා නොඇසු කරැණු මෙහි තිබුනි. කියවා නළල් තලය යටින් ගබඩා කර ගතිමි. සවුදන් ගීතය ද දැනුමැතිව යළි රසවින්දෙමි

    පින්සිදුවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජසූරිය මහත්තයා...
      සුදසිංහ මහත්තයගෙ කාලයන්ත්‍රය වාගෙ තමා මේකත්... අතීතයට ඇසිල්ලෙන් ගඉය හැකි...

      Delete
  5. සවුදං නටනව, සවුදං ජෙමා ගැන අහල තිබුණට මේ වගේ විස්තරයක් දැනං හිටියෙ නෑනෙ. ඒ වගේම දාල තියෙන සින්දුවත් ලස්සනයි. ගොඩක් මියුසික් කටෙන් දාපුව වගේ ඒකෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා.. මටත් හිතුනා කටෙන්ද මන්දා කියලා :-)

      Delete
  6. කොහොමද අර ලිස්ට් එකේ පරණ පෝස්ට් තුනක් මේ මාසෙ ඒව කියල පෙන්නන්නෙ.

    ReplyDelete
    Replies
    1. සින්දු අප්ලෝඩ් කරාපු සයිට් වලින් ඩිලීට් කරලනෙ.. අප්ඩේට් කලහම ඉස්සරහට ආවා...

      Delete
  7. සවුදන් ජෙමා ගැන ලියන්න ඔයා සවුදන් තිසාද? මේ තරං විස්තරයක් මේක පිටිපස්සේ තියෙනවා කියලනම් අයි දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. :-) :-) සවුදං තිසා
      ඒකත් මරු නම...

      Delete
  8. හම්මට සිරි! මේ කවි ටික (කවි කියලද මන්දා කියන්නේ ඒවාට) පට්ටනේ.. මම කට ඇරලා හයියෙන් කියෙව්වා ලියලා තියෙන තාලෙට.. හෙන ගැම්මක් එනවා.. නටන්න හිතෙනවා කියනකොටත්.. :)) මම කල්පනා කරේ මේ ටික කට පාඩම් කර ගත්තනම් ඔය සෙනගක් ඉස්සරහා කතාවක් එහෙම කරන්න වෙන වෙලාවක හෙන කැටයමක් දාගන්න පුළුවන්.. :)))))

    මෙන්න යකෝ හද ගී පොත ආයෙම පන ගහලා.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම... කියන්න නටන්න හිතෙනවා :-)
      මේ ලංකාවෙ සියලුම සාස්තර කවියෙන් සොයාගන්න පුළුවන්...

      Delete
  9. මට ආපු බරපතලම ප්‍රශ්නේ..මේ කෑල්ල ඉංග්‍රීසි ද ??

    //අයි වැන්ට් ටු නොස් ජප් ජුට්//

    ReplyDelete
  10. මොනා වුනත් මේ පොස්ට් එක නම් මාර වටිනවා.
    මේ වගේ දේවල් කියෝනකොට තමයි තේරෙන්නේ අපි ඉස්කෝලේ ගිහින් අධ්‍යාපනය කියලා අරගෙන තියෙන මොන ලබ්බක් ද කියලා.
    මේ රට ඇතුලේ තියෙන මේ තරම් ලස්සන දේවල් කිසි දෙයක් අපි දැන ඉගෙන ගෙන නැහැ...
    ඒ අතින් මම නම් බොහොම කනගාටුවෙන් ඉන්නේ..
    මොනා කරන්න ද, තේරෙන කොට පරක්කු වැඩියි..

    මෙහෙම ගොඩක් තොරතුරු එක්ක පොස්ට් එක හැදුවාට බොහොම ස්තුතියි මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත මහත්තයෝ..
      අපිව රටෙං, රටේ දැනුමෙං ඈත් කරල තමා අනෙක් හෑම දෙයක්ම ඔලුවට රිගවල තියෙන්නෙ...
      මෙව්ව ගැන සොයන්න සොයන්න හිත දුකෙං බරවෙනවා...

      ඉංග්‍රීසි කොටස ගැන කථාව
      මට හිතෙන්නෙ ඔව් - සිව් බාසේ හින්දා බාසා හතරකින් සවුදම ලියා තියේ (අකුරු සිංහල වුණත් - ඔය කියලා ඇත්තේ I want to know, just you - කියන එක වෙන්ටෑති කියල හිතේ

      Delete
    2. බොහොම ස්තුතියි..

      තව මේ වගේ බරසාර පොස්ට් කියවන්න බලාගෙන ඉන්නවා.
      ඔබට සුබ පැතුම්.

      Delete
  11. තිස්ස අයියා පෝස්ට් එකක් දැම්මොත් ඉතින් නොදන්න දෙයක් ඉගෙන ගත්තා තමා!
    කවදා අහපු සවුදං ද මේවා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. "සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!"
      මේකෙන් තමා අඳුනගත්තෙ :-)

      Delete
  12. හැමදාම වගේ අපූරු සින්දුවක් එක්ක නොදන්නා කරුණු රැසක්. ස්තුතියි තිස්ස..

    ReplyDelete
    Replies
    1. නොවැරදී මේ පැත්තෙ එනවාට තුති..

      Delete

 
Blogger Wordpress Gadgets