බඳුන් පිරී ඉතිරෙන මී...

චිත්‍රපටි ගීයකින් මම ආසම ගීයක් තියනවනම් මේ ඒක තමා...චිත්‍රපටය රන්සළු... රඟපෑවේ මගේ ප්‍රියතම නිලිය වන පුන්‍යා හීන්දෙනිය සමග අනුලා කරුනාතිලක, ටෝනි රනසිංහ... නාට්‍ය ලෝකයේ පතාකයෙක් වන දයානන්ද ගුණවර්ධනයන් ද මෙහි රඟපැවා... හරි අමුතු කතාවක් චිත්‍රපටියෙත් තිවුනේ...ඒකේ රන්සලු කියලා අදහස් කලේ දසසිල් මෙහෙණියන් පලඳින කසාවත් වලට... (මගේ මිත්තණියත් සියලු යුතුකම් ඉ‍ටුකොට, දරුවන්ට උගන්වා, ඉඩම් කඩම් අරන්දී, ඔවුන් එකලාසයක් කරලා දසසිල් වුනා... වයසට යනතුරුම එතරම් රෝගයක් නොතිබූ ඈ එක් දිනක් ඇතුලත අසනීප වී දුකක් නොවිඳාම මිය පරළොව ගියා..අනේ එහෙමත් වාසනාවන්ත ජීවිතයක්...!) කොහොම හරි මේ ගීතය චිත්‍රපටිය අතුලත අනුලායි ටෝනීයි චිත්‍රපටියක් බලන්න යනවා...එතකොට යන ගීතය තමා මේ....ඒ චිත්‍රපටියේ ඉන්නෙත් දයානන්ද ගුණවර්ධනයන්... ඔහු මූලික චිත්‍රපටයෙත් භූමිකාවක් දරනවා... සංගීතය අමරදේවයන්ගෙන්...(අමරදේවයන්ද මේ ගීය සමිතා හෝ නිරෝෂා සමග ගයනවා)... ගායනය අසහාය, ආදරණීය ගායක නෙවිල් ෆර්නැන්ඩු ගෙන්... අර "මැණිකේ ඔබේ සිනාවේ..." ගීය කියන්නේ රුක්මණී එක්ක...අන්න එතුමා තමා...

බඳුන් පිරී ඉතිරෙන මී... ලඳුන ළවන් නුරා...
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ...අවර බිඟුන් නුරා...

සැන්දෑ වලා පෙළින් මිදී... පහන් සිලේ ‍රැඳී...
පාන මියුරු ලීලා...
පාන මියුරු ලීලා... මැවේ ‍රැඟුම් අපේ...

ගීත නළු කලා පෙරපර යා නොවී බැඳී...
සිතුම් පැතුම් මැදුම් මගෙහී... ‍රැඳී රසින් වැඩී....

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී...
දිගන්තයන් ලෙසින් වෙන්වී සදා බැතින් වැඩී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියෙන දෙයක් ලියලම යන්න....
Read More!

ආදරයෙන් මා හද වට එතෙන ලතා...

නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්‍යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්‍ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....?

ආදරයෙන් මා හද වට එතෙන ලතා...
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...

දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා...
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා...

පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැ‍ටුණා අහස දනී...
සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දේත් ලියලම යන්න...
Read More!

රන් දොරින් එන්න ආදරේ...

හරිම සරල ගීයක්...පද වැලට වඩා සංගීතය අනර්ඝයි කියලයි මට හිතෙන්නේ....මුල් සංගීතයේ නොතිබිච්ච බොන්ගෝ වාදනයක් පසුබිමින් යසට මුහු කරල තියනවා... කී බෝඩ් වාදනයත් අනර්‍ගයි.... වික්ටර් දළුගම මහත්මයාගේ සංගීතය... අමිතා (දළුගම) වැදිසිංහ මහත්මියගේ මියුරු කටහඬින්....

රන් දොරින් එන්න ආදරේ...
කැඳවලා මල්සරා...
නිල් නුවන් ඔබ මා කෙරේ...
දෙන්න සතුටින් පුරා...

මිහිරි සමීරෙකි... මාගේ උදානයේ...
සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ...

මා හදේ ආශා, නිවි නිවී යාදෝ...
සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න, වෙලා තියෙනම්...
Read More!

මිහිළිය නළලේ...

මේ ගීය ලියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්. තනු හා සංගීත ණිර්මාණය වික්ටර් රත්නායකයන්ගෙන්. ගායනය අමරදේවයන් ගෙන්. විශිෂ්ඨ කලාකරුවන් තිදෙනෙකුගේ විශිෂ්ඨ නිර්මාණයක්


මිහිළිය නළලේ අංජන තිලකේ...සිරි ලංකා දෙරනේ...
තිසරණ සරණින් භූ පාලනා... ජනතා දිනේ දිනේ... ජනතා දිනේ දිනේ...

දන පිනන සතර සඟරා වතින්, සත ගත සිත සැනසේවා...
සඟ වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්, සිව් දිග සැරසේවා... සිව්දිග සැරසේවා

භුජ බල පල කල සුරු නර විරු කැළ යලි හෙලබිම ඉපදේවා...
මුදු ගුණෙන් සුපුන් සන නැණින් ගුරුන් ලෙස... රන් දිව දිළිහේවා...රන් දිව දිළිහේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

සඳ කිණිති නැමී, විල් දියට එබී...

ලක්ෂ්මන් විජේසේකර ගේ හඬේ තියෙන්නේ හරිම ආකර්ශණීය ගතියක්... රේඛා ටෙලි නාට්‍යයේ චන්ද්‍රලේඛා සමග ගැයූ ගී බොහොම ජනප්‍රිය වුනා ඒ කාලේ...මට හිතෙන්නේ තවමත් ජනප්‍රියයි... මම ඔහුගේ තවත් කැමතිම ගීයක් තමයි රත්නාවලී නාටකයේ ගීයක් වන "ඇයි තරහින් මානක්කාරී..." ගීතය... මම පොඩි කාලේ ඕකේ තියන "අල්ලා ස්වාමිනි දකුණත ඈගේ..." කියන කොටස ගැන හිතාගෙන හිටියේ හරියට "එයා මගේ දකුණු අත..." කියන්න වාගේ අර්‍ථයෙන්... මේ ගීයත් වැඩිපුර නොයන ඔහුගේ මියුරුම ගීයක්... මගේ බිරින්දෑත් ඉතාම කැමතියි මේ ගීයට.... මම ආසම කොටස තමා "සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්..." කියන කොටස...

සඳ කිණිති නැමී, විල් දියට එබී, සොයයි සේයාව සඳේ...
ඔබෙ නෙතට එබී, මගේ නෙතද සදා, සොයයි සේයාව මගේ...

සසල නොවී විල තිබෙන තුරා, දිලෙයි සඳ දියට යටින්...
සසල දිය වෙලා දිය කැලඹුණු දා, බි‍ඳෙයි සඳ කැබිලි පිටින්...

සසල නොවී ඔබ හිඳින තුරා, පෙනෙයි මා ඔබේ නෙතින්...
සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

සුමුදු සීත පවන් හමන...

බස් හොල්ට් එකේ වාත වෙලා, වාත වෙලා අන්තිම මොහොතේ පන්තියට ආවා... මෙන්න ඉතින් register එක ලකුණු කරණවා, කල් අරගෙන, මෙඩිකල් රිපෝට් බල බල, කලින්දා ආපු නැති අයගේ...අපේ උසස් පෙල පන්ති භාර ගුරුතුමී... නම දේවිකා... ඒ කාලේ උසස් පෙල රසායන විද්‍යාවට ප්‍රසිද්ධ ගුරුතුමියක්... හැබැයි ඒ කාලෙ බොහොම තරුණයි...බැඳලත් නෑ... හරි smart.. අර නිළියක් හිටියෙ ශ්‍යාමා ආනන්ද කියලා අන්න එයා වාගේ... අම්මෝ, ලස්සන උනාට කොල්ලෝ හරිම බයයි... කොච්චි මිරිස් කරල වාගේ ... පුදුම සැරක්... මට toilet යන්න හොඳටම උවමනාව... මෙයාගේ වැඩේ ඉවරයක් නෑ... බැරිම තැන නැගිට්ටා... "මම toilet එකට ගිහිල්ල එන්නද මැඩම්.." මම ඇහුවා... මෙන්න මෙයා අහනවා "ආ... මොකටද...?" කියල... මට ඌරු ජුවල්... ඉබේටම කියවුනා.."චූ බරයි මැඩම් ..." කියල.. කොල්ලෝ උඩ පැන පැන හිනාවෙනවා ... මට ඒවා බලන්න සිහියක් නෑ... අරහෙම කියාපු මම අනික් පැත්ත හැරිල ගිහින් නතර වුනේ toilet එකේ... බර හෑල්ලු කරගෙන එනකොට තවත් සහෝදර ගුරුතුමියක් එක්ක කිය කියා බඩ අල්ලන් හිනා වෙනවා ඇයත්... කොරිඩෝවෙදී මාව දැකලා හිනාව පුපුරන්න වාගේ අහක බලාගෙන ගියා... මාත් මට නොවේ වගේ ගියා...ඇයත් එක්ක trips ගියහම අපේ කොල්ලො වරද්දන්නේ නැති සින්දුවක් මේක....කියන්නේ එඩ්මන්ඩ් වික්‍රමසිංහ කියල ගායකයෙක්... හරිම අමුතු සින්දුවක්...ගී රචකයා කියන්න උත්සාහ කරන දේ අනේකයි....

සුමුදු සීත පවන් හමන... වසන්තයේ උදෑසනක...
උයන් කොනේ හුදෙකලාව....
බලා සිටින්නී කුඩා දේවිකා...
රන්වන් පත් ගැලවීලා... ගහ කොල සුලඟට නැවිලා...
විසිරී යනවා... විහිදී යනවා...
ඒ දිහාද... බලා සිටින්නී කුඩා දේවිකා...

ගස් වැල් වල කොල ගැලවී බිමට වැටෙන්නේ...
වැටෙන වැටෙන කොල හැමතැන විසිරී යන්නේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

කහවන් ගොයමට රන්දිය වැහැලා...

අද පට්ටන්දරේ මගේ මිත්‍රයෙක්ගෙන්(පාලිත)... මම දාන්න හිටපු ගීයටම ඔහු විස්තරයක් එවලා...පුදුම වැඩේ... සහෘදයන්ගේ සුසර වීම් ඉතින් පුදුමයක්මත් නෙමේ... ඔන්න උන්නැහේගෙම ලියවිල්ලෙන් (පුංචි පහේ සංස්කරණයකින් යුතුව)ඒවගත් මෙසේම...

"අපේ ඉතිහාසයේ බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳලා විනාශ කරපු බෞද්ධ රජෙක් හිටියානම් ඒ මහසෙන් රජතුමා විතරමද කොහෙද. එතුමා මහයානය වැලඳගෙන මහාවිහාරයෙ විසූ ථෙරවදී භික්ෂූණ්ට බල කළාලුනෙ මහායානය වැලඳගන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කළා කියලා මහා විහාරය සහ ලෝවාමහපාය ඇතුලු වෙහෙර විහාර ගණනාවක් විනාශ කළාලු. ඕක ඉවසගන්න බැරුව මේඝවණ්නාභය කියලා එතුමාගෙම ඇමතියෙක් කැරලි ගැහුවලු.

එදත් රජවරු එක්ක එකට වැඩ කරපු උන් රජුට අභියෝග කරලා තියෙනවා. ඒ වුනාට මේ දෙන්නා එකිනෙකා මරා ගන්න කලින් රජු වෙත රහසිගතව ගිය ඇමතියා රජුට වරද පහදලා දීලා රජුව යහමගට ගත්තා කියල තමයි කියන්නෙ. අද කොහෙන්ද එහෙම ඇමත්තොයි එහෙම රජවරුයි. කොහොමෙන් හරි තම වරද වටහා ගත් මහසෙන් රජු, අදටත් ලොව විශාලතම දාගැබ වන ජේතවනාරාමය හදවලා සංඝයාට පූජා කළාලු.

අක්කර 4670 ක භූමි ප්‍රමණයක් වට කරමින් විශ්මිත මින්නේරිය වැවත් හැදෙව්වෙ මෙතුමනෙ. මුලදි වැරදි අඩුපාඩු තිබුනත් රටට හිතවත් එක ඇමතියෙකුගෙ පිහිටෙන් යහමගට පැමිණි මහසෙන් රජු මරණින් පසු මින්නේරිය දෙවියො කියලා මිනිස්සු වන්දනාමාන කළාලු. ඒ කියන්නෙ වැරදි අඩුපාඩු තියෙන රජවරුත් කාලයාගෙ ඇවෑමෙන් දෙවිවරු වෙලා තියෙනවා. මං මේ කිව්වෙ වර්තමානෙත් එක්ක සංසන්ධනය කරන්න එහෙම නෙවෙයි.."

අපූරු ලියැවිල්ල නේද...ගීය ලියලා තියෙන්නේ "පන්සලේ පියතුමා..." විරුදාවලී ලැබූ, රේඛාව චිත්‍රපටියට ගීත ලියූ, ගරුතර මර්සලීණු ජයකොඩි හිමිපාණන්... එහෙව් පූජක උතුමන් අපේ ජාතියට වාසනාවන්... ගායනය නාලිනී රණසිංහ ගෙන්...

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
එක දෙක දිය ‍රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

ආයාචනාත්මක බැල්මෙන්...

කැම්පස් තේරුණු ලමයින්ගේ ඉංග්‍රීසි පන්තිය... පටන් ගන්න පැය භාගයක් විතර තියනවා... ඒ අස්සේ කවුදෝ පැණී බේරෙන රඹුටන් මල්ලක් ගෙනල්ලා... කොහේ ඉතිරි වෙන්නද... පුංචි කාලේ ඉඳලා පොරකාලා පුරුද්දක් නැති නිසා ඉතිරි වෙච්චි අන්තිම ගෙඩිය අරන් හෙමින් සීරුවේ කටේ දාගත්ත විතරයි... මෙන්න ආවා මැය... අප අතර හිටපු කටකාරම දඟකාරම යෙහෙළිය... " කෝ ඕගොල්ලො මට රඹුටන් ඉතිරි කළේ නැද්ද..?" ගෙඩි දෙක තුන කාපු එවුං සද්ද නෑ.. මම ඔන්න ඒ පාර කිව්වා "අයියෝ ඉතිරි වෙච්චි අන්තිම එක මම කන්න ගත්තනේ.. ඕන්නම් ඒක දෙන්නම්" කියලා...විහිලුවට වගේ... "කෝ දෙන්න එහෙනම්..." බොරු තරහක් මවාගෙන කියනවා ඔන්න... කවදාවත් නොකෙරෙන වැඩක් නිසා මම කටේ තිබුණු රඹුටම ඇඟිලි දෙකින් අරන් විහිලුවට වගේ ඇයට දික්කලා... කිසිම අපුලක් නැතිව ඒ සැනින්ම ඇය ඒක කටේ දාගත්තා... කොල්ලෝ කෙල්ලො මුණෙන් මූණ බලාගෙන... කෝ ගානක් වත්... ඔන්න තවත් දවසක ට්‍රිප් එකක් ගිහින්... හැන්දෑවේ ගුරුවරු යම් යම් ක්‍රීඩා ඔර්ගනයිස් කරලා... හිටිගමන් මගේ ලඟට ආපු ඇය මගේ සුරතින් අල්ල ගත්තා... නිකන් නෙමේ ඇඟිලිත් එකිනෙක පටලවලා...ඔහොම මොහොතක් දෙකක් ඉඳලා මෙන්න යන්න ගියා... මටත් ඉතින් නිනව්වක් නෑ... මගේ හිත වෙනමම එල්ලයක හිරවෙලා... දාගත්තු වීදුරු දෙකට ඔලුවත් බරයි... කොහොම හරි, පන්තියේ කල දවස ගෙවන අතරෙම ඈ ඇගේ විවාහයටත් සූදානම් වුනා... ඈ මට වඩා අවුරුදු දෙකක් විතර වැඩුමල්... විවාහය තරු පහේ හෝටලයක... මම මගේ පටලැවිල්ලත් ඇතිකරගෙන...කාලා බීල ඉවරවෙලා ඇයට අපි සමු දෙන මොහොත ආවා... මමත් ඉතින් පෝලිමේ ගිහින් ඇයට සමුදෙන්න අතට අත දුන්නහම ඈ වම් අතින් මාව ඈ දිහාට නැබුරු කරවාගෙන ඉසිඹුවක් නොතබාම මගෙ වම් කොපුල සිපගත්තා... බලා හිටිය අය හිතන්න ඇති මම ඈව සිපගත්ත කියලා... ඈ ඒතරම් කඩිනමින් එය කලා... අද බොහෝ බරපතල රාජකාරියක් කරන, තවම්ත් මා සමඟ හොඳින් මිතුරු ඇය මට ව්‍යංගයෙන් කල ඉඟි තව බොහෝ තියෙන්න ඇති... හැබැයි ඒවා මේ ගීයෙන් කියන්න වාගේනම් මට වැටහුණේ නෑ... දැනුනෙත් නෑ... හැඟීම් වල හැටි...! සමහර විට ඇයගෙත් මිතුරු කමට වැඩි යමක් නොතිබ්බාමද...?

ආයාචනාත්මක බැල්මෙන්...
ආරාධනාත්මක කැල්මෙන්..
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි...
අපමණ තෙරපෙණ බව වැටහේ...
ආයාචනාත්මක බැල්මෙන්... ආරාධනාත්මක කැල්මෙන්...

මළක් සිඹින්නේ, මදෙස බලන්නේ...
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ...

තොල්පෙති මත්තේ මදහස ඇත්තේ...
හැම සිතුවිල්ලෙම සනහස ඇත්තේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

පවණට සැලෙනා දොඹමල් සුවඳින්...

1993 දවසක අපහමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙ‍ටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ ‍රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... (ඒ ෆැකල්ටියෙ ලමයි ඉතින් බොහොම සුකුමාරයි... අපේ ඉතින් හිටිය තරමක් හිටියෙ ය _ _ ම තමයි.... අර මගේ "මිහිරි සිහිනයක දැව‍ටුන..." අරුණම...) මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්‍රී දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්‍රයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්‍රකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්‍යයි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න...
Read More!

පාළුව තනිකම පාවීලා වැහිවලාවේ...

සාමන්‍යයෙන් කියන්නේ "මගේ හදට තුරුලුවෙන්න..." කියලනේ... ඒත් මේකේ තියෙන්නේ "මා කුස තුරුලට..." කියලයි. මේ ගීය අහන වාරයක් පාසා ඇගේ කුලුණුබර වත මතක් වෙලා මගේ ඇස් තෙත් වෙනවා... මවක් සේ මා කරන කියනා දෑ සෙනෙහසින් ඉවසුවානම් ඒ ඈ පමණමයි... මම ඇගෙන් කැමැත්ත විමසපු මුල් වතාවේ ඈ කල් ඉල්ලුවා... විරාමය ඉවරවූ පසු ඉල්ලීම ප්‍රතික්ශේප වුනා... මම පිස්සෙක් වගේ පට්ට පාන්දර වැව් කන්ඩිය උඩ ඈ එනතුරු ‍රැක හිටියා... මාව දැක්ක ඈ විශ්මයට පත්වුනා... එදින දවසම මා ඇයට කරුනු කීවා... එදා හැන්දෑවේ ඉර බැහැල ගියාට මගේ ජීවිතයට අලුත් ඉරක් පෑයුවා... කරුණාබර ඒ සිත මට මතුජාතිත් වාසනාවන්... මේ ගීය කියන්නේ තිලකා රණසිංහ... නාරද දිසාසේකරයන්ගේ අද‍රැති බිරිඳ... අගේ කටහඬ අමුතුයි... අනෝමා රාසපුත්‍ර නැමැති ගායිකාවගේ වාගේ...

පාළුව තනිකම පාවීලා වැහිවලාවේ...
මා හද අඹරට පායාලා පුන් සඳක් වාගේ..
ආදර සෙනෙහස නංවාලා සිතට සුව සහනේ...
මා කුස තුරුළට ලංවීලා හිනැහියන් සිතුසේ..

වියැළුන කතරේ කොඳමල් වැස්සේ පිපුන මල නුඹගේ...
ඉහිරුණු කඳුලේ හදතුල සුසුමේ මිහිර මට නුඹවේ...
පිවිතුරු සෙනෙහස පවසන මදහස රකිමි ඔබ දෙතොලේ...

ඉඳහිට හෙලනා පොඩි කඳුලැල්ලත් රසය නොම හන්දා...
ගත සිත දවනා සෝගිනි දැල්ලත් සුවඳ නොම හන්දා
නුඹ මා සරණට මා නුඹ සරණට දෙදෙන ඇති හන්දා...
දෙදෙන ඇති හන්දා...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලා යන්න..
Read More!

හමල් මරු... (සීගිරි ගී...)

සීගිරියේ කැටපත් පවුරත් නිර්නාමික රචකයන්ට ‍තෝතැන්නක් වෙලා තියෙන්න ඇති... මහැඳුරු පරණවිතාණ සූරින් ලියලා තියෙන ඒවාට අනුවනම් ඒ නිර්ණාමිකත්වය පාවිච්චි කරලා කැටපත් පවුරේ පහරලා ගිය අයවලුන් සිටි බවක් නම් මා අසා නෑ... මට හිතෙන්නේ සැබෑ නිර්මාණශීලිත්වයත් එන්නේ පෞරුෂය හරහාම කියලයි... නිර්මාණ කරනවා කියලා හිතාගෙන නිර්ණාමිකව වසුරු පිඬු දමාගසන්නන්ට, අද කැටපත් පවුරු එමට... මේ ගීය සුනිල් සාන්තයන් විසින් සීගිරි ගීයක් අසුරෙන් නිර්මාණය කරන ලද්දක්... සුරම්‍ය තනුවක්... අවාසනාවකට මාලඟ මෙහි පද වැල නෑ... සුනිල් සාන්තයන්ගෙ පවුලේ උදවිය විසින් පවත්වාගෙන යන නුගේගොඩ ඇති මධ්‍යස්ථානයෙන් වත් විපරමක් කල යුතුයි... එතෙක් ගීතය රස විඳිමු...

[පද මාලාව හා එහි තේරුම සැපයූ හෂිත අබේවර්ධනයන් ට නොවක් ස්තූතිය ]

හමුල් මරු ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා.. ?

මඳ සුළඟ හමා පැමිණ..
සහස් ලපළු පල්ලවයන් සිඳ දැමීය ..
කොවුලා නාද කළේය...
මලය කඳුකරයෙහි දිය කඳුරු සිලිසිලියේ ගලා යයි...
ගිණිය නොහැකි තරම් කදෝකිමියෝ ලදලු තඹ පැහැගන්වති...
මෙබඳු සොඳුරු රැයෙක,ප්‍රෙයැසිය, ඔබ එවූ ලිපියෙන් පමණක් කුමන පිහිටක්ද..?

සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න....
Read More!

හිමිදිරියේ හිරු එලියට මං යනවා එහා ගමට...

අන්තර් ජාලයේ නිර්නාමිකත්වයට මුවා වෙලා මිනිස්සු කොච්චර පහත් මට්ටමකට වැටෙනවද කියලා යස උදාහරනයක් මට හිතවතෙක් පෙන්වා දුන්නා... පාසල් යන අපේම දරුවකුගේ නම් පවා ඈඳාගෙන ඉතාම ක‍ටුක දේ ඔවුන් පවසනවා... මටනම් හිතෙන්නේ මේක එක්තරා ව්‍යාධීමය තත්වයක් කියලයි... ඕනැවටත් වඩා මිනිස්සුන්ගේ හිතුවිලි ව්‍යච්චේදනය කරලා, සංකීර්ණ එල්ලයක් නැති බොහෝ සංකල්ප, සමාජය වෙත දරුණු ලෙස මුදාහැරීම සමහරුන්ට රස්සාවක් වෙලා... "සමාජ කතිකාවත" කියන ලස්සන වචනය ඉස්සහරහට දමාගෙන කරන මේ සෙල්ලමේ කෙලවර, භේද බින්න වුණු සමාජයක් විතරයි... සරල වින්දනය පි‍ටු දකින, අසමාන්‍ය චර්‍යා රටා හුවා දක්වන තත්වයට, අපේ සමාජය හැරුනේ කොයි කාලයේද...? අහල බලන්න මේ ගීය... කවියාත්, තනු නිර්මාපකයාත්, ගායකයත්, මේ සිතුවිල්ල ඇත්තෙන්ම සිතේ ජනිත වූවකු ගේ හැඟුම, අප තුලත් ඇතිකරනවා නේද...? අපේ මිනිස්සු ආවේග පිටකරන්න හුරුවෙලා හිටියේ සරල සුගම විදිහට... දයාරත්න රණතුංග ගයන මේ මියුරු ගීය ඒකට සාක්කියක් නෙමේ, උදාහරණයක්...

හිමිදිරියේ හිරු එලියට මං යනවා එහා ගමට...
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ සිටින්නේ...
අඳුර වැටෙන්නා... ගැල පැදවෙන්නා...

රිදී පාට වලාකුලක පුරා බලන තරු යුවලක්...
නුඹේ දෑස කියා මගේ සිතයි කියන්නේ...
ඒ එලියයි නිදි රකුසා එලවාගන්නේ...

පුංචි මැණිකෙ බහ දෙඩුවට නුඹේ දෑත මට දුන්නෑ...
ගෙපැල හදා කල් බැලුවට හිත වැලපෙන්නේ...
සුබ නැකැතින් මැණිකේ හෙට මුදු පලඳන්නේ....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

මල්වනේ රෝස කකුලු මැදින් මට පෙනේ...

මේ සිංදුව එක්කම හිතට එනව දවසක මම තිගැස්සුණ සිදුවීමක්... වෙහෙසකර දවසක වැඩ වලින් පස්සෙ නින්දට ගියවෙලාවෙ අමුතු ගායනාවක හඬින් මාව තිගැස්සිලා අවදිවුනා... නැගිටලා බලනකොට පාන්දර දෙකයි... සද්දේ එන්නේ පාර දිහයින්... ජනෙල් තිරය මෑත් කරල බැලුවහම ගැණු කෙනෙක් පාර ගාව හරහා දමලා තියන ලයිට් කනුවක් උඩ වාඩි වෙලා කවි කියනවා... ටිකක් වෙලා ඇහුවම තේරුනේ ඇය කියන්නේ යසෝදරාවත කියලා... ඊට කලින් මම පොත කියවා තිබුනත් කවුරුවත් හැබෑවටම කියනවා අහලා තිබුනේ නෑ... එදා එහෙමම නිදාගෙන පසුවදා කව්ද කියලා සෝදිසි කරා බැලුවහම තමාගේ දරුවා මල සොවින් සිහි විකල්වුනු ගැහැනියක්ලු ඈ... ඒ දිනවලමලු අපේ පලාතට ඇවිත් උන්නේ... මේ ගීය ගයන නන්දා පතිරණගෙත් දරුවෙක් අකාලයේ නැතිවෙලා තියනවලු... ඒ සෝකයටම් ඇය මේ ගීය සකස් කරවාගෙන තියෙන්නේ.. සංගීතය බන්දුල විජේවීරගෙන්... සාකච්චාවකදී කියැවුනා මේ ගීය ගෝඨයිම්බර වැලපුම අනුව සකස් කර ගත්තක්ය කියලා...

මල්වනේ රෝස කකුලු මැදින් මට පෙනේ...
නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ...
වන් සැනේ සෝක තැවුල් නිවා ලන මෙනේ...
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ...

නිවහනේ සැමතැන කිරි සුවඳ මට දැනේ...
හෑමතැනේ කකුලු සිනා මල් පිපුණු මෙනේ...
හද සෙනේ බිලිඳු තොලක කිරට හැරෙන්නේ...
අද දිනේ කිරට අඬන කෙනෙක් නෑ අනේ...

තව්තිසා දෙව් විමනේ සැඟවුනිද කියා...
රෑ යමේ සිහින දිගේ පාව එයි සොයා...
මේ භවේ හෝ මතු යම් දිනක අප කරා...
සුදු පුතේ එන්න අතට කිරි සිනා සලා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

මුතු මාල රුවන් පට සේල නැතත් මම...

රතු මල්ලිලටයි, කොල පාට සමාජයටයි පින්සිද්ධ වෙන්න ඕං කැම්පස් එකෙන් එලියට එනකොට වයස විසිහයයි... වාසනාවට එක එකාගෙ පස්සේ යන්නේ නැතුව ආංඩුවේ සංස්ථාවක රස්සාවකුත් හම්බ උනාය කියමුකෝ... පරස්තාවට මොකද වෙන්නේ... ප්‍රථම ප්‍රේමයට අවුරුදු හයකුත් වෙච්චි... රස්සාවට ගිහින් අවුරුද්දකින් විතර ඉතින් අමාරුවෙන් උස්සවේට ලැස්ති උනා... හප්පට සිරි... රත්තරන් ඉතින් කවදත් හරි ගනන් නේ... මිත්‍රයෙකුත් එක්ක ඉතින් (මගේ දුකට සැපට ඕං අදත් යාලුවෝම තමා...) ඇයවත් ඉස්සර කරගෙන පපුව ගැහි ගැහී රත්තරන් බඩු කඩේ... ඇය ඉතාම චාම් මාලයක් තේරුවා... මම සූදානම් වෙලා ගිය ගනනින් භාගයක විතර... මම කොච්චර පෙ‍රැත්ත කලත් ඇය නෙවේ තීරනය වෙනස් කලේ... මගේ යාලුවටත් පුදුමයි... රත්තරන් වලට අකමැති ගෑනු අපි ඒ වෙනකොට අහලවත් තිබුනෙ නෑ... ඇය අදත් එහෙමමයි මගෙ අපහසු කම්, අමාරු කම්, තේරුම් අරගෙන, මාව සතුටින් තියන්න කැපවෙනවා... මට කවදාවත් සෝ තැවුලක් නොවුනු ඇය වෙනුවෙන් මේ ගීය...
කියන්නේ අතුල හා නාලිනී සෝමසිරි... අතුල සෝමසිරිගේ සිංදු හරිම ලස්සනයි "උඩහ ගෙදර රං එතනා...දෝතට දිය බොයි..." එතකොට "සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන" වගේ ඒවා... ඔය මදැ ඉතින් නලාව.. සිංදුව අහමුකෝ... නේ...?

මුතු මාල රුවන් පට සේල නැතත් මම, සෝක තැවුල් නොවෙමී...
හඳ පාන හලාගෙන මුහුණ පුරා හස පාන ලියේ සොඳුරේ...

පන වාගේ ලඟින් ඉඳ කාලේ ගෙවන්නට, රන් රස සේම වෙලී...
සිත සෝක තැවුල් මතු කාලේ දිගේ ගෙට ආව නමුත් බිය නෑ...

දු‍ටු සිහින විමානය පාලු නොවී ඇත, මගේ සිතේ මැවිලා...
බිඟු ගීත ගයාගෙන, රේණු හලාගෙන සුපිපි කුසුම් සනසයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

කැල්මෙනා සඳෙස සදිසි, ඇයගෙ වත මනා...

දුරුතු මාසය නම් ඉවර උනා... ඒ උනත් මේ ගීයේ රසය නම් එහෙම්මමයි... කියන්නේ සෝමරත්න පෙරේරා කියල කෙනෙක්... ඔහු කියලා තියෙන තවත් රසවත් ගීයක් තමයි "මල් මඳහස ‍රැඳුනි තොලේ, මල් ගෝමර ඉසුණු බඳේ..." කටහඬ හරිම මියුරුයි...මේක හරියට කවියක් වගේ...හරි අලංකාර යෙදුම් කිහිපයක් තියෙනවා... මගෙ නෑ සොයුරියකටත් මේ දවස්වල ඇයව අමතලා කෙනෙක් මේ වාගෙ වැනුම් කරනවලු... ඇය ඉතින් හිතේ පිරිය වැඩෙන කල් ඒවා ඉවසා දරාගෙන ඉන්නවලු... වැල් වටාරම් නැතුව අහලම බලමු නේද...?

කැල්මෙනා සඳෙස සදිසි - ඇයගෙ වත මනා
ගමනිනා මසිත බැඳුනී - තිසර රූ මෙනා
ලඟ එනා හීත දුරුතූ - මහට පෙර දිනා
දෙනු මැනා බහට බහක් - මසිත පොබයනා

නිදියනා රැයට නැගෙනා - මියුරු ගී මනා
දෙනුවනා පැතුම් ලොවටා - නිබඳ පුබුදනා
මුතුමෙනා සුමුදුවන් සිනා - මුවඟ නගමිනා
එනතුරා එලඳ උදෙනා - හිඳිමි මග බලා

ලබනටා සොඳුරු එ ලතා - බුලතකින් සදා
අත වටා රනැට නටනා - වළලු ළන ළඳා
දැකුමෙනා දුටුව කාගෙත් - මුවග සිතු දෙනා
අත පතා තවත් එ ගමා - ඇතිද එම ලඳා

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...

අපි පැට්ටො කාලේ ලෝකෙට අපිට විවරවෙන්න තිබුනේ දොරවල් දෙකයි... එකක් රේඩියෝව... අනික පත්තරේ... රේඩියෝවෙ හොඳම ගුණය තමා ඒක අහ අහා තවත් වැඩක් කරන්න පුලුවන්... සමහර වෙලාවට පාඩම් කරන්න උනත්... ඒ කාලේ ගීත, නාටක රචකයොත් අවිඥාණකව හෝ මේ දේ තේරුම් අරගෙන තිවුනා...ජීවිතයට පසුබිම් සංගීතයක් වුනා මිසක් ඔවුන් කවදාවත් ගෙඩියක් කඩාගන්න අත්තක් නවනවා වාගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔවුන්ගේ උත්සාහයක් තිවුනේ නෑ... මේ පරණ ගීත සැහෙන කාලයක් අපේ මිනිස්සුන්ගේ හිතේ අනායාසයෙන්ම තැන්පත් වෙලා ඇත්තේ ඒක වෙන්න ඇති... උදේ ඉස්කෝලේ යනකොට, ගෙදරත් මගතොටේදිත් ඇහුණු සින්දු තමා මේ බොහොමයක්... මේ සින්දුවේ අලුත් මොකවත්ම නෑ...වඩු කුරුල්ලෙක් වාගේ වට පිටාවෙ අසිරිය ලස්සනට වියල ගීතයක් ගොතලා... කියන්නේ අමිතා වැදිසිංහ... ඉස්සර අමිතා දළුගම... ඇයගේ සින්දු බොහොමයකට සංගීත නිමැවුම වික්ටර් දළුගම... ඒකාලේ සැමියා ගෙන්... මම හරිම ආස තනු ඒවා... "රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල් සරා....නිල් නුවන් යුග මා කෙරේ දෙන්න සතුටින් පුරා..." ඒ වගේ තවත් එකක්... ලංකාවෙන් බැහැර රට රාජ්ජ වල ඉන්න අය ඇස් දෙක පියාගෙන විනාඩි තුනක් විතර ලංකාවෙ අසිරිය විඳලා එන්න....

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි

ලන්ද කොනේ වෙල අයිනේ කැන්ද ගහේ ගහ මුදුනේ
සිංදු කියන කුරුලු රෑන ගම නලවනවා... ගම නලවනවා...

බිංඳු බිංඳු රන් පිණි මුතු පුංචි පුංචි කරල් සැදී...
ගොයම් ගසේ අග ඇමිණී සුල‍ඟේ නටනවා... සුල‍ඟේ නටනවා...

සිංදු සිංදු හතර අතේ වෙල් එලියෙම එක ගීයයි...
‍රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැලවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී...

ඔන්න ඉතිං තදින්ම එකිනෙකාට ආදරය කරන දෙන්නෙක් ඉන්නව කියල හිතමු... මොනව හරි දෙයකට ආරවුලක් වෙලා දෙදෙනාගේම හිත් රිදෙනවා... මම දැකල තියනවා,මෙන්න මේ වගේ තදින්ම හිත රිදුන වෙලාවට සමහර ගැහැණු හිම වගේ මිදෙනවා... වචනයක් කතා නොකර... සමහර වෙලාවට දවස් ගනන්... අපෝ එහෙමත් පලි ගැනිල්ලක්... නරකම විදිහට බනිනවාවත්නම්, අහු වෙන දෙයකින් දමල ගහනවානම්... කොච්චර සැපයක්ද... හැබැයි නවක මානවිකාවන්ට කියන්නේ... මේ ක්‍රමය නම් අවසාන ආයුදය විතරක් කරගන්න... නැත්නම් මේ ගීයේ පළවෙනි කොටසින් කියන්න වාගේ, මල් පැණියට යොමුවෙයි පිරිමි... පිරිමින්ට, සමහර වෙලාවට ගැහැණුන්ගේ හිත් අපිට වඩා හයියයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වාගේ වෙලාවට... ඒ වෙලාවට පිරිමියාගේ හිතේ සසල බව මේ ගීතයේ සංගීතයෙන් කදිමට නිරූපනය කරලා තියෙනවා... තව කදිම යෙදුමකුත් තියනවා "ඔබ නිහඬව සිටිනා හඬ..." කියල... අපූරුයි නේද... අහලම නිගමනයකට එමු....

මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී... දේදුන්නක් උඩු අතට නවා බිඳ....
මල් උයනක් මල් අවුල් කර දමා... ඔබේ පැල්පතට ඔබ දැකගන්නට...
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත... ඔබ හිනැහෙන බව මට ඇසුනේ නැත...
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්... සවන් යොමා සිටි මට ඇසුනා...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

හිනැහෙනු මැන හස‍රැලි අතුරා වත... හඬණු මැනවි නැතිනම් පොඟවා නෙත...
ඔබ නිහඬව සිටිනාවිට මගේ සිත... මුලු ලොව හැඬුවත් දෙසවන නොම දෙත...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!

සුදෝ මම ආදරෙයි...

දැන් කාලේ එහෙම තමන්ගේ partner ට සුදෝ මම ආදරෙයි.. කිව්වොත් කොහොමට හිටීද...? එදායිංම වැඩේ අහවර වෙයි නේද... නමුත් මේ කතාව මීට අවුරුදු 35 කට කලින් විතර සිළුමිණ පත්තරේට "වික්‍රම"කියල මහත්තයෙක් ලියපු කතාවක්... "මයුරිගේ කතාව" පස්සේ චිත්‍රපටියක් නිර්මාණය උනා ඒ ඇසුරෙන්... වීණා ජයකොඩි තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ... තමන් එක්ක සැප දුක බෙදාගෙන හිටපු මනුස්සයා හදිසියේ මියගිය මයුරිට සැබෑවටම ආදරය කරන හදවතක් මුණගැහෙනවා... අවසානය මට මතක නැහැ... ගීතය ලියලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා... සුජාතා අත්තනායක ඉතාම හැඟුම් බරව මේ ගීය ගයනවා...මයුරිගේ හැඟුම් ඔබටත් දැනෙයිද බලන්න...

නැතිවුණු ආදරයක් වෙනුවෙන්... හෙලන සුසුම් අන් හදක වැදී...
පැරුණු හදවත් එකිනෙක අමතා... කියන කතාවයි මේ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

හිතින් පලාගිය එක් ආදරයක්... දිහා කඳුලු පිරි නෙතින් බලා...
ඉන්නා අතරේ තව ආදරයක්... වෙත හදවත් දොර විවර කළා...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

ආයෙත් නොලැබෙන ආයෙත් නො එනා... ඒ ආදරයට ඉඩ දෙම්දෝ..
පාලු හදවතට සෙනෙහස පුදනා... මේ ආදරයට ඉඩ දෙම්දෝ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි... සෙනෙහෙස අයදින මේ ආදරයයි...
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ...
ඔබට මම ආදරෙයි... ඔබටත් ආදරෙයි...

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!

මුවරද සිඳුනේ..

අද දවස ඔලුවට නිකම් පිටකො‍ටුවෙ ඉඳන් පයින්ම වෙරළක් ලඟට ගියා වාගේ... නානාප්‍රකාර වැඩ රාජකාරි අස්සේ, සිංහල බ්ලොගර්ලා කීපදෙනෙක් අතර වාග් සංග්‍රාමය හරහා එන ඊ මේල්... සමහරුන්ගේ කියුම් හරියට නොමේරූ කළල වගෙයි... කිවයුතු දේට පලමුව, ආවේගය පනිනවා... ඒ අතරේ මම බොහොම ගරු කරන සමාජිකයින් වන තේජාන්, ශාකුන්තල, ලස්සනට තමන්ගේ අදහස් හිමින් සීරුවේ මුදාහරිනවා... කාලිංග සොයුරා සරලව කරන්න පුලුවන් දේකරලා අන් අය ගේ ආවේගයට නිදහසේ ගලා යන්න ඉඩ හරිනවා (හරියට ජූඩෝ ක්‍රීඩාවෙදි වගේ...Rule No 1 = let the force find it's own destination...) හෙට දිනය එච්චර කලුවර නෑ වාගේ...

ඔය සංගදිය තුරල් වේගන එනකොට මගේ අන්තිම බ්ලොග් ගීයට මගේ පැරණි මිතුරියක් comment එකක් දාලා...ඇය අපට හිටපු ඉතාම වියත් මාධ්‍යවේදියෙක් වන දයාසේන ගුණසිංහයන්ගේ දියණිය... චාණුක සොයුරාගේ ප්‍රිය බිරිඳ... ඇයත් ඉතා ලස්සන කාව්‍යමය හදවතක් ඇත්තියක්, ඒ වාගේමයි ඇයගේ උපහාසයත්... හලාහල විෂ බඳු උපහාසාත්මක බිණුම් මර්මස්ථානයට යවන්න ඈ හරිම දක්ෂයි... ඇගේ පියා ලියූ, මාත් ඉතාම ප්‍රියකරන කදිම ගීයකුත් ඇය මට මතක් කර එවාතිබුනා... සුනිල් එදිරිසිංහයන් මේ ගීය පුදුම
ලයාන්විතව ගයනවා... (දයාසේන ගුණසිංහ වියතාණෙනි... ගීයට කවට සේම ඔබ මදුවිතටත් ඇලුම් කලාද...? ඔබට නිවන්සුව පතමි)

කාලයත් එක්ක ජීවිත වලට වෙන විපර්යාසය, අතීතයේ එකිනෙකා කෙරෙහි තිබුණු ආදරය සූදුවට නොගන්නවනම් කොච්චර හොඳද...?ඔහු වෙනුවෙනුත් ඇය වෙනුවෙනුත් මේ ගීය සටහන් කරමි...

මුවරද සිඳුනේ, රත්සර ලවනේ...බිඟු නැත යලි ආවේ...
සත්සර නිමවී අනුරා ගීයේ... සුසුමකි මතුවූයේ...

හිරු හා පෙම් බැඳි යොවුන් කුමාරිය, දැක ඇයි සඳු හැඬුවේ...
ගිලිහුණු රුව ගෙන සීතල රළ පෙළ, කොයි දෙස දෝ ඇදුනේ...

හෙට දින අරුනළු දිය මත විසිරී, මල් පුබුදන මොහොතේ...
පෙරදා රසඳුන වූ රුව සිහිවී, කවුරුද වැලපෙන්නේ....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!

මල් සිනා උදා උනා ලස්සනයි වගේ...

මේකේ වඩාත්ම රසවත් තනුව... හින්දි ගීතයක තනුවක්... මුල් හින්දි ගීතයේ මීට වඩා ගොඩක් සංගීත භාණ්ඩ පාවිච්චි වෙනවා... නමුත් සිංහල ගීතය අපූරුවට ස්වල්ප උපකරණ ප්‍රමාණයකින් කරල තියනවා... ගයන්නේ එස් ආර් ජයරත්න නැමැති මහත්මයෙක්... ඔහු තව ඉතාමත්ම ලස්සන ගීයක් ගයලා තියනවා "සරත් සමේ මදක් පිපුනු නෙලුම් කුසුම් කැකුල ඔබයි... අනර්කලී..." කියලා...(ප්‍රසිද්ධ අනර්කලී ඉපදෙන්නත් බොහෝ කලකට කලින්) මේ ගීත දෙකම අඩුම ගනනේ අවුරුදු 40ක් වත් පරණ ඇති... රසය නම් තවම ඉහලයි....

මල් සිනා උදා උනා ලස්සනයි වගේ...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

පාවි පාවි රන් වලා වහා ඇදේ... සීත රෑක ආදරේ සොයා සඳේ...
ඒ වගේම චේතනා මා හිතේ තියේ...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

නීල දෑස කීව රහස තේරුණා... ආදරේට ආදරේම යාවුනා..
ඒ උතුම් අනාගතේ කාලේ වාසනා...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ..

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!
 
Blogger Wordpress Gadgets