රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවිධ ඥාණ විදුරූ.....

මා කුඩා කල විධුර ජාතකය ගැන දැනගත්තේ මේං මේ ගී දෙකෙන්...
සින්දු වලින් කියන දේ මෙලෝ දෙයක් නොතේරුනාට ඒ කාලේ, පස්සේ කාලෙක තොරණ් බලලා, විධුර ජාතකය කවි පොත රුපියල් දහයකට පදික වේදිකාවෙන් මිලට ඇරන් කියවලා, හරි අපූරු විසිතුරු බවක් සිතුවමක්, විධුර ජාතකය ගැන මගේ හිතේ ඇඳුනා. ඕං කෙටියෙන් විදුර ජාතකය මෙතන ලියනවා... කථාව කියවලා බලලම සින්දු දෙක අහන්නකෝ...

විධුර පණ්ඩිතයන් කියන්නේ ධනංජය රජ්ජුරුවන්ගේ ඇමතියෙක් නෙව. ඒ කාලෙම හිටි තවත් සි‍ටු පුත්‍රයින් සතර දෙනෙක් ඉතින් දන් පින් කරලා මියගියායින් පස්සේ එක්කෙනෙක් සක්දෙවි වෙලාත් , තවත් කෙනෙක් නාග භවනෙ වරුණ රජ්ජුරුවෝ වෙලාත්, තව කෙනෙක් ගුරුළු භවනෙත්, අනෙක් කෙනා අපේ ධනංජය රජ්ජුරුවන්ගේ පුතාවෙලත් උපන්නලු. කුමාරයා ධනංජය කොරව්‍ය නමින් ඕං ඉතින් රජ වුනත් කියමුකෝ.

පරණ යාලුවෝ හතරදෙනා ඉතින් ආයෙමත් ඒ ආත්මෙදිත් එකතු වෙලා පරණ කල කී දෑ කථා කරන අතරමගදී කාගේ සිල්වත් බවද ශ්‍රේෂ්ඨ කියලා ඕං කථාවක් ඇතිවුනා. කථාව වාදෙට පෙරළුනහම ඔන්න ඉතින් එහෙනම් විධුර පණ්ඩිතයින්ගෙන්ම විසඳුමක් ගනිමුය මේකට කියල එකඟ වුනා. කරුණු කාරණා අහපු පණ්ඩිතයෝ සීලයන්හි අඩු පාඩුවක් නොදිටි නිසා සියලු දෙනාගේම සීලයන් එක ලෙස උසස් කීවා. හතරදෙනාම අගනා තෑගි බෝගයෙන් පණ්ඩිතයන් පුදන්ට තරම් සං‍තෝස වුනා.

හැන්දෑවට ගෙදර ගොහින්, උදේ හිටන් වැඩ පලේ, මගතොටේ වෙච්චි පල් හෑලි සේරෝම, ගෙදර ඇත්තිත් එක්ක කියැන්නැහෙ, ඒ ඇත්තිත්, දිග කෙස් ගස්, ඩබල් බස් ටිකට් සාක්කුවල ඇත්දැයි බලන්නැහෙ වැඩක් ඕං ඉන් මත්තේ ආපහු නාග භවනට ගිය වරුණ රජ්ජුරුවන්ට වුණානෙව. කරේ පලඳා උන් මැණික කොයි කියා විමලා දේවී ඇසුවාම, වෙච්චි සන්ගදිය, විධුර පණ්ඩිතයින් ගැන වර්ණනාවක් එක්කම කීවාම, ඕන් මේ දේවියට පුදුමාකාර දොලක් ඇතිවුනා පණ්ඩිතයින්ගෙන් බණ ඩිංගක් අහන්ට.

නා දේවිය වුණත් ගැහැණියක් නෙව, මේකට සූත්තරයක් කල්පනා කරලා විධුර පණ්ඩිතයිගේ හදවත අනුභව කරනකල් සන්සි‍ඳෙන්නැති ලෙඩක්ය කියා ඕං ලෙඩ ඇඳට වුනා. සෝකෙන් ඉන්න පියරජතුමා දැකපු එරන්දතී නා දෝනී ඇවිත් මේක අහලා, ඈත් සූත්තරයක් යෙදුවා අම්මාගේ ලෙඩේ සුවකරන්න. බොහොම එඩිබල ඇති, වෙසමුණි රජ්ජුරුවන්ගේ බෑනණුවන් කෙනෙකුත් වෙන, පූර්ණක යක්ෂයාව මේ වැඩේට පොලඹවාගන්ට ඈ හිතුවා. කාලගිරි කන්දේ ඉඳන් සුවඳ විහිදුවා විහිදුවා මලින් සැරසී ගී කියන එරන්දතිය දු‍ටු පූර්ණක යකුට උන්හිටි තැන් අමතක වුනා. එරන්දතියගෙන් කථාව ඉන්තේරුවෙන්ම අහගෙන ඕකත් මට කජ්ජක්දැයි කියූ පූර්ණක යකු විධුර පන්ඩිතයින් විමලා දේවින්නාන්සේ ගාවට එක්කන් යන්න පොරොන්දු වුනා, ඉන් මත්තේ ඈ ආවාහ කරගන්න පොරොන්දුව මත.

ඊලඟට මේක බලෙන් කෙරිය හැක්කක්ක? ධනංජය රජුව සූදු කෙලියෙන් පරදවා, හිලව්වට විදුර පණ්ඩිතයින් ගන්නම් කියලා ඔන්න, ඒ සඳහා උපකාර විය හැකි, කුම්භාණ්ඩයින් ලක්සයක් විතර රකින මැණිකකුත්, උන්ව පළවා හැරලලා අරගෙන ගමනට පිටත්වුනා. සූදුත් කෙලලා, දිනලා, පඬුරු විදිහට පණ්ඩිතයින්ව ඉල්ලුවහම තමා රජ්ජුරුවන්ට දෙයියන් සිහිවුනේ. ඇයි තමාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශසනා කරන පඬිතුමා නෙව. කොහොමෙන් කොහොමෙන් හරි ඕං පණ්ඩිතයින්ව අරන් යනවා පූර්ණකයා නා ලොවට. සරීරේ සෙරෝම අරන් යන්නේ මක්කටෙයි, හදවත විතරයි නෙව ඕනේ කියා හිතලා, ගලේ ගසා මරන්ට, වේරම්භ වාතයකින් සුණු විසුණු කරදමන්ට, බිහිසුණු වෙස් මවා තැති ගන්වන්ට උත්සාහ කලත් හරිගියේ නැති තැන, උඩ විසිකර කීප විටක් බෙල්ල පල්ලෙහාට වෙන්ට කකුල් දෙකෙන් අල්ලා සෙලෙව්වා ඕං. මේ දසවධ වලින් නෙසෙල්වුණු පණ්ඩිතයෝ මෙහෙම කරන්නේ ඇයිද අහලා ඕං කාරණේ දැනගත්තා.

එහෙමනම් ඒකත් එහෙමද කියා, මං මැරෙන්ට කලින් යමක් කියාදෙන්නම් ඊට පස්සේ ඕං කැමති දෙයක් කරන්ට කියා සාධු නර ධර්ම කාරණා හතර කියා දුන්නා. පළවෙනි එක නම් උදව්වක් කල අයට නැවත උපකාරය, දෙවැන්න යම් කෙනෙකුගේ ගෙදර නැවතී ආහාරත් ගෙන ඒ කෙනාටම නපුරක් කිරීමට නොසිතීම. තුන්වැන්න තමන්ට සෙවන දුන් ගසක අත්තක් නොකඩන ගානටවත් මිත්‍ර ද්‍රොහී නොවීමයි. අන්තිම එක තමා කාරණේ - අසත්පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට නොයාමයි. ඊට පස්සේ ඕං දැන් එහෙමනම් යමු, මා පව් නොකර ඇති නිසා මරණයට බයක් නැත කියලා කිව්ව. පූර්ණක යකු බොහොම ලජ්ජවෙලා ඔබතුමා ආපහු යන්ට, මට එරන්දතියත් නුවුමනා යැයි කියලා කිව්වා ඒ ගමන. එහෙම නෙමේ, අපි එහෙටත් යහපතක් කරමු මේ ගමනින්ම කියලා ඕං දෙන්නම නා ලෝකෙට ගියා.

අනේ අප්පේ ඉතින් වරුණ නා රජ්ජුරුවෝ බොහොම තු‍ටු පහ‍ටු වෙලා ධර්ම දේශණාවකට ආරාධනා කලා. ඒ ධර්මය අසා විමලා දෙවීන්ගෙත් මනදොල සංසිඳුනා නෙව. එහෙමනම් දැන් ඉතින් මගේ හෘදය මාංසය ගන්ටයි කිව්වහම, නා රජ්ජුරුවෝ කියාපි කෙනෙකුගේ හෘදයනම් ප්‍රඥාවමයි, අප එය ලබූවෙමුයි කියා. මේ නා ලෝකේ බණ කියන්ට කෙණෙකුත් නැත, ටික දිනක් ඉඳලා බණ කියන්ටයිත් ආරාධනා කලා. පූර්ණකයාට දොණියන්දැත් පාවා දුන්නා. පූර්ණකයා ඉමහත් සතුටට පත්ව ආපහු එක්කනුත් ගොහින් තමා ලඟ තිබ්බ අර සූදුව දිනන්ට උපකාර කල බලසම්පන්න මැණිකත් ඕං විධුර පණ්ඩිතයින්ටම පූජා කලා. ධනංජය රජ්ජුරුවනුත් ඉතින් පඬිතුමා යහතින් ආවා දැකලා අධික සතුටෙන් අඬා වැලපිලා, බොහෝ දිනක් සැණකෙලිත් පැවත්වූවාලු.

ජාතක කථාවේ හැටියට නා රජ සැරියුත් රහතන් වහන්සේ වූ අතර, ගුරුළු රජුන් මුගලන් මහ රහතන් වීලු. ධනංජය රජතුමා ආනන්ද මහරහතන් වහන්සේ වුනු අතර විධුර පණ්ඩිතයින් බෝධිසත්වයන් වීලු.

-------------------------------------------------------------------------------------

රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ....
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬී.....

ප්‍රේම පතා විමලා දේවීගේ.... පූර්ණක යකු දොල සන්සිඳනාසේ.....
දෙන්ට සිතා මහ පණ්ඩිත හර්දේ..... කාලා ගිරි මුදුණේ දී...
රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬී.....ගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ... ලෝහිමි විධුර පඬී...

සම්මා සම්බුදු මහ සත් ප්‍රාණේ.... පුරන පාරමිතා හිමි ප්‍රාණේ
නසන්ට වෙර ගත් කල්හී ප්‍රාණේ.... ධර්මාමෘත සදා දී දානේ....
සැනසූ ස්වාමි එදා...... රාජ පණ්ඩිත නාග විමාණේ....
ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ... කීර්ති සුන්දර තේජස පෑවේ...
ලෝහිමි විධුර පඬී..

ගායනය: ඒ ආර් එම් ඊබ්‍රාහීම්
--------------------------------------------------------------------------------------

ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

දෙසූ දහම් ඇසුමට ඒ නිමලා.... ඇසූ බවය පඬිගෙන් යකු ඇරලා...
අසාගන්ට කිව් දිවි නොනසා බණ... දෙසූ විධුර පණ්ඩිතමයි ගෞතම....
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

එදා එ ඇතු විදුමට ආ වැදි හට... පුදා එ දල දෙක දීලා දෑතට....
මෙදා මෙ බුදු බව ලැබු මාතා හට.. පුදා වඳිමු අපි මල් ගෙන දෝතට...
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

ගයනය: රෝහණ බැද්දගේ ඇතුලු පිරිස
-------------------------------------------------------------------------------------


සින්දු දෙක අහන්න...
ඕන්නම් බාගන්න...



සු ලිපි:
ඊබ්‍රාහීම් මහත්තයගේ සින්දුව ඇතුලු ග්‍රැමෆෝන් ගී ගොන්නක්ම මාවෙත තෑගි කල අමිල සෝමරත්න සොයුරාට මගේ නොමද තුතිය මුලින්ම... ඊලඟට මේ කථාවේ පූර්ණකයාටයි එරන්දතියටයි දාව උපන්න පුත් කුමරා පසු කාලෙක දැඩිමුණ්ඩ දෙවියෝ වුනා කියලත් කියනවා... මාර පරාජයේදී සියලු දෙවිවරු පැනලා දුවනකොට මාරයාට බයෙන්, සුදු වතක් හැඳ දුන්නත් තබා නොබියව බෝසතාණන් ලඟ උන්නේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවෝ විතරයි කියලත් කියවෙනවා...

37 comments :

  1. කොහෙද අප්පේ ගිහින් හිටියේ,,,,,,,,,,, ගීතය ඇසීම, ලිපිය කියවීම දෙවනුව, මේ මගේ සතුට අයියාගේ ආගමනය ගැන,,,,

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්....
    මානසික විරේකයක් ලැබුණා නෙව නගේ...
    සතුටුයි නංගිගේ පැමිණීම ගැනත්....

    ReplyDelete
  3. ඕකෙ විධුර පඬ්තුමාව බයකරන්න එන ඇතාට තමයි මම වැඩියෙන්ම කැමති.

    මමනම් අහල තියෙන්නෙ දැඩිමුණ්ඩ දෙයියො පැනල දුවාගන්න බැරුව ගහක් පිටිපස්සෙ හැංගිලා බලං හිටියා කියලයි.අපේ සක්වල ශක්‍ර දෙයියොනම් ජයකුන්තෙත් දාලලුනෙ පැනල දිවුවෙ.

    ReplyDelete
  4. ඇතාට කැමති නොවී කොහොමෙයි චානක...! ;-)
    අර කථාව මම අහලා නෑනේ චානක...?

    ReplyDelete
  5. ඇති යාන්තන්, මේ ඉන්නේ . . . .

    උඹේ ආගමනය ගැන සතුටුයි . . .

    සින්දුව අහන්න විදිහක් නැහැ, ශබ්ධ කාඩ් පතේ දෝෂයක්. හදාගෙන අහල කමෙන්ට් පාරක් දාන්නම්. පෝස්ට් එක දැක්ක සතුටට තමයි මේක දාන්නෙ . . . ! කතන්දරය නම් පංකාදු පහයි ! මේ කතාව මම මීට කලින් අහල තිබුනේ නෑනෙ !

    ReplyDelete
  6. මගේ අම්මේ...සෑහෙන්න කාලෙකින්.. මොකෝ වුනේ?
    මම නම් මේ සින්දු දෙකම අහලා නෑ..අද ගෙදර ගියාම අහනවා.
    මමත් ආස කරන කතාවක් තමා විධුර ජාතකය.

    තව අර ඔච්චර පරන් නැති සින්දුවක් තියෙන්නේ.. "එරන්දතිය එනවා " කියලා..අන්න ඒකත් පුලුවන්නම් හොයලා තියෙන තැනක් කියන්නකෝ. මන් ගාව ඒක නෑ.

    ReplyDelete
  7. @දුමී: ඉස්තූතියි මචෝ ඉතින්.... අහලම ආයේ එමු...
    @Grey: ඔව් විධුර ජාතක කථාව හරිම විචිත්‍රවත් නේ මලේ....
    එරන්දතිය ලින්ක් එක ඉක්මනටම දානම් අප්ලෝඩ් කරලා...
    මාගාව හොඳ එකක් තියනවා අමිතා වැදිසිංහ ගේ...

    ReplyDelete
  8. අපෙ අප්පේ.., මේ වැඩල ඉන්නෙ. විධුර පණ්ඩිතයන්ගෙ නැවත ආගමනයෙන් ධනංජය රජ්ජුරුවො සතුටුවුනා වගේ ඩබල් සතුටක් දැනෙනවා ඔබතුමාගෙ ආගමනය දැකලා.. ඉතිං ඉතිං මෙච්චරකල් කොහෙද හැංගිලා හිටියෙ.. අපි හිතුවා වැඩත් වැඩි වෙන්නැ කියලා..

    පලි: මේ කතාව ගැනම තමා අර තව සිංදුවක් තියෙන්නෙ "අනෝතත්ත විල පියුම නෙලාලා.. පීරා වරලස මල් ගවසාලා.. නාග ලොවින් බැස නාලිය ගමනින්.. එරන්දතිය එනවා.." කියලා

    ReplyDelete
  9. පපලි: දැං බලං ගියාම මාරයට කවුරුත් බයයිනෙ.. කෝ මේ අපේ මාර උන්නැහැ..

    ReplyDelete
  10. ලස්සන බොහොම පරණ සින්දුවක්.. ඉස්සර ටීටර් වල එහෙම මේක කියනවා.. දැන්නම් බෙහෙතකටවත් අහන්න නෑ.. ස්තූතියි අයියණ්ඩියෝ බෙදා හදා ගත්තට..

    ReplyDelete
  11. 01. මේ දවස් වල තිස්ස අය්යා පේන්න නැත්තෙ, මේ නිවාඩුවට එද්දි අපිට දෙන්න තෑගි ගන්න කඩ වන්දනාවේ යනවලු.....!

    02.තිස්සා අය්යා කොච්චර මහන්සි වෙනවද මේ වගේ ලිපියක් ලියන්න. ගොඩක් ස්තුතියි අපිට මේ කියලා දෙන දේවල වලට. මම හරිම කැමතියි මේ වගේ ලිපි පැත්තකට වෙලා කියව කියව ඉන්න.

    ReplyDelete
  12. @Grey: ඔන්න මලේ මුල් එකටම ඔයා ඉල්ලු සින්දුව අප්ලෝඩ් කලා..

    @Buratheno: වාගෙම සතුටුයි ඉතින් ආයෙමත් ගොඩවැදුනට... සහ දන්නවානේ...උඩින් මතක් කල එකට... ඔන්න අර සින්දුවත් දැම්මා... දැන් මොකෝ තත්වේ... සීතල වැඩිවේගන එනවද...?

    @උදාර: කියලා වැඩක් නෑ මලයෝ...ටීටර් තමා ටීටර්... මෙගාස්ටාර් වාගෙද

    @බුද්ධි: හිටපන් දත කට මැදගෙන...
    මේ ඒ වාගෙමයි අර උඹ ලිව් බුද්ධි වස්තුව... අම්බානකාඅතල් එකක් ගත්තා බං ඒක බලා....

    ReplyDelete
  13. රාමා-සීතා දෙදෙනාම වසර දාහතරක් දේශයේ හා ජනතාවගේ යහපත උදෙසා පිටුවහල් වෙලා ඉඳන් ආපසු භාරතයට සැපත් වුනාලු. ඉන් සතුටට පත්වූ ජනයා පහන් පේලි පත්තුකර, මල්වෙඩි පත්තුකර, රසකැවිලි බෙදාගෙන ප්‍රීතිඝෝසා දුන්නාලු. එයයි දීපාවලිය හෙවත් දීවාලි කියා සමරන්නේ, එය යෙදුනේ ගෙවී ගිය අමාවක දා (හැබැයි රාමා-සිතා භාරතයට ගොස් ඇත්තේ ලංකාවේ ඉඳන්, අපේ රාවණා රජු පරාජය කරලා ලු). ඉන්දියන්කාරයෝ දීවාලිය සමරන්නේ අඳුරින් එළියට ඒම හැටියට. අමාවක දා ඒ පහන් පේලිවලින් ගොඩාක් එළිය දෙනවාලු.

    අපේ බ්ලොග් ප්‍රජාවටත් දීප්තියෙන් පිරුණ එළි වැලක් නෙවෙයි ගොඩාක් අරන් ආවාට පින් මගේ යාළු. මේ විදියට ලස්සන කතා රචනා එලිදක්වන්න, ගීතයක් ගේන්න තරම් විවේකයක් නිරතුරුව ඔබතුමාට හිමිවේවා පතනවා.

    ReplyDelete
  14. අයියෝ සින්දු අහන්ට හැටියක් නැත. මාගේ වැඩ කටයුතු කිලෝ බයිට් වලට සීමා වී ඇත. කොමෙන්ටුව දමන්නේද හරිම අමාරුවෙනි. මුල එක නම් අහලා තිබේ. එයිවත් සැනසිය යුතුය.
    අයියෝ අහෝ!!! මක්ක කොරන්ටැයි??

    ReplyDelete
  15. මොකෝ මාරයා නැතිව..මෙ ඉන්නේ...

    තිස්ස අයියාව දාලා යනවාද මාරයා...
    මම මෙ බලන් ඉන්නේ උඹලට මූව එපා වෙනකල් මට මෙකව මාර ලෝකෙට ගෙනියන්න..ඔල්ඩ් හීට්ස් අහන්න..
    උඹලා කාට කාටත් එපා වෙච්ච දවසට කියාපල්ලාකෝ...

    ගීත ටිකනං මල් මසුරං..එහෙනං...

    ReplyDelete
  16. ගල්මල් මහත්තයා ඉතින් කොයි ලෝකේ හිටියත් මෙහෙට ගොඩ වැදෙන්න අමතක කරන්නේ නෑ නෙව....

    මේං පරණම කෙනෙක් අපේ...? උඩුගිය ෆ්‍රීඩම් නගා...
    හප්ප්ච්චියේ...බයිට් නොවී කිලෝ බයිට් වුනු එක මදෑ....

    ඕං කිවා මාර කථාවක්... හිටින්කෝ දැඩිමුණ්ඩ දෙයි හාංදුරුවන්ට කියා පාඩමක් උගන්නන්ට....!!!

    ReplyDelete
  17. අහා තිස්ස අයියා.. තවත් පැරණි රසාංග දෙකක් අරන් ඇවිත් වගේ. මම නම් මේ කතා අහලා නැහැ. ඔන්න අද තමයි දැන ගත්තේ.

    .......මේ ශ්‍රී ලංකා බ්ලොග් සංගමයේ ගීත සේවයයි. 'ග්‍රැමෆෝන් යුගයෙන්' අතරට ඔබ එක් වී සිටින දැන් වෙලාව මධ්‍යම රාත්‍රියට අඩ හෝරාවයි. ඔබගේ රසසාවාදනය සඳහා ග්‍රැමෆෝන් යුගයේ ගීත අතරින් තිස්ස අයියා තෝරා ගත්තා මේ ලස්සන ගීත දෙක....

    ReplyDelete
  18. ශා නියමයි තිස්ස අයියා... මේ දැන්ම බාගන්නවා. බොහොම පින්..

    ReplyDelete
  19. හෙ හෙ ඒවනං ඉතිං මොනවද.. බෙදාහදා ගත්තමලුනෙ රසය වැඩිවෙන්නෙ.. ඕං මමත් එරන්දතිය සිංදුව බාගත්තා.. පිං සිදු වේවා..

    පලි: දැං ටික ටික සීතල වැඩිවේගෙන එනවා.. ඒ මදිවට මේ දවස්වල වහින්නත් පටාං අරගෙන.. මේ වෙලාවට තමා ලංකාවෙ අගේ තේරෙන්නෙ..

    පපලි: මම ඔය පැත්තෙ රවුමක් ගහන්න තමා හිතං හිටියෙ දෙසැම්බර් මාසෙ දිහාවෙ.. ඒ වැඩේ හරියන්නෑ.. ලබන අවුරුද්දෙ මුල වගේ සමහරවිට හැකි‍වෙයි..

    ReplyDelete
  20. @Jeew: හෙහ් හෙහ් හෙහ් එෆ් එම් එකක වත් වැඩ කරන්න පුරුදුවෙනද මල්ලී?....

    @Grey: ඕන වෙලාවක මල්ලී...!

    @Buratheno හැබෑට ඔය බෙදාහදාගත්තම රසය වැඩි වෙන එක බුලත්විටටනම් හප්පා...
    මොනවාවුනත් මල්ලී ඒ සින්දු ටිකනම් මැණික් තමා... කොලිටි ඉතාම හොඳයි.... කීයෙන් කීදෙනාද අප්ප එහෙම ලෝස් නැතුව එහෙම දේවල් පරිත්්‍යාග කරන්නේ...
    අහ් දෙසැම්බර් නො ආ එක හොඳයි... ජනවාරි සිරාවටම සෙට් වෙමු මල්ලී....

    ReplyDelete
  21. පංකාදු පහයි බොල. අර සුනිල් සරත් පෙරේර මහත්තය ලියපු එරන්දතිය එනවා සින්දුවෙ ෆුල් සීන් එක දැනගත්තෙ අද නේ..

    ජයවේවා... අපිට ඉතින් ඉස්සර කාල කතාවක් අහගන්න ඉන්නෙ තිස්ස අයිය විතරයි නෙව...

    ReplyDelete
  22. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතNovember 10, 2010 at 7:44 AM

    අහන්නට දකින්නට ලැබෙන්නෙ නැති වටිනා ගී මිණි අප හා බෙදාගන්නා ඔබට බොහොම පින්... පසුබිම් වෙච්ච ජාතක කතාවත් හරි අපූරුවට ලියලා තියෙනවා, ඒකටත් බොහොම පින්... පුංචි කාලේ රූපවාහිනියේ විදුර පණ්ඩිතයන්ගේ කතාව බලලා තියෙන බව මතක තිබුණත් කතාන්දරය හරියටම තේරුම් ගියේ ඔබ තුමන්ගේ පිහිටෙන් අද තමයි...

    ReplyDelete
  23. දවසට එකයි....සතියට එකයි...........දැන් මාසෙට එකයි :((

    බොහොම අපූරුවට විධුර ජාතකයෙ එන කතාව ලියා දක්වපු එක ගැනනම් හරිම සතු‍ටුයි.

    බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවතක් වුනත් මුල් ගීය ගායනා කරන්නෙ ඒ. ආර්. ඒම් ඊබ්‍රහිම්. මේ වගෙ බොදු ගී ගායනා කරපු අන්‍යාගමික කලාකරුවන් කොච්චරනම් අපිට හිටියද?? ඔවුන් අතරින් අල්හාජ් මොහිදීන් බෙග් මහත්මයා වඩාත් විශේෂයි. ඒ.ජේ. කරීම් මහත්මයගෙ සාදු සිරීපා කියන ගීතය මා කුඩා කාලයෙ ඉතාම ආස කරපු ගීතයක්.

    ReplyDelete
  24. තිස්ස අයියා ලංකාවට ආපු වෙලාවක හොඳට සැට් වෙලා හොඳ සාහිත්‍ය සාකච්ඡාවක් දාමුකෝ...

    ReplyDelete
  25. අම්මෝ තිස්ස අයියා කාලෙකින් සිංදු දෙකක්ම දීල තියෙන්නේ. ඊබ්‍රාහීම් මහතාගේ සින්දුවනම් හොයන්නත් අමාරු එකක් වෙන්න ඕන. රොහණ බැද්දගේ මහතාගේ සිංදුවත් අද තමා ඇහුවේ. සිංදුවල තත්වයත් හොඳයි. අයියා ආයෙම ලියන එකත් සතුටුයි.
    ස්තූතීයි අයියේ වටිනා කියන සිංදු දෙකක් දුන්නට..

    ReplyDelete
  26. @වැම්පයර්: ඒ සින්දුව සුනිල් සරත් පෙරේරා මහත්තයා පුඩුම ලස්සනට වියලා තියනව නේ...බොහොමකුඩා තැන් දෙක තුනකින් විතරයි කථාව අල්ලන්න පුලුවන්...
    "කාලගිරෙන් සිතුවිලි සේනා...", "නාග ලොවින් බැස නාලිය ගමනින්..." වගේ එව්වයින් මට හිතෙන්නේ...

    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:සින්දුවත් එක්කම මේ කොමෙන්ට් දාන අය එක්කරන තොරතුරුත් අන්තර්ජාලය තියන තුරා උවමනා අයට බලන්න ලැබෙයි කියන එකයි බලපොරොත්තුව සහෝ..

    @Pali: ඒකෙත් රටාවක් දුටුව එහෙමනම් පාලියෝ නුඹ ඈ...? රටාව කඩමු එහෙමන්ම් ඉක්මනින්ම...

    ReplyDelete
  27. @පැතුම්: එහෙම සාකච්චාවක් ඉතින් ජීවිත කාලයටම මතක තියනවා බන්... කොහොම හරි සෙට් වෙමු... සින්දුවක් එහෙම කියලත්...

    @priyantha.ඒබී: මොකක් හරි පෝස්ට් එකක් දානවා අද කියල ලියන්න බෑ මල්ලී... අදහස් ගොනුවෙලා තෙරපුණහම තමා මේ වාගේ එලියට එන්නේ නේ.. බස් එක නිසා අදහස් නිතරම එලියට එනවා... ප්‍රෙෂර් වෙන්නේ නෑ... ඒකයි මගේ හිතේ හේතුව... හෑබෑ ජීවිතේ දොඩමලු නිර්මාණකරුවන් අඩුයි නේද... ඔවුන් සිතුවිලි ලෝකයේ නම් බොහෝ දොඩමලුයි...

    ReplyDelete
  28. විදුර ජාතකේ හරියට දැනගත්තෙ අද ,,,,, අයියට පිං,,,,,,

    ReplyDelete
  29. අද තමයි මේ ජාතක කතා වස්සතුව දැනගත්තේ ...

    බොහෝම ස්තුතියි අයියා ... නරකද හිමින් සැරේ අපි නොදන්න අප්‍රසිද්ද අනික් ජාතක කතා ටිකක් දැම්මොත් ....

    ReplyDelete
  30. @හරී: ආයේ මොනවද අප්පා ඉස්තූති මාලියූ දේවල්ය...?

    @වැප්: බලමු මල්ලියේ එව්වට සිංදුත් තියනවා නෙ.. සමහර එව්වාට..?

    ReplyDelete
  31. අප්පේ සින්දු ටික මල් මසුරන් කාලෙකින් අහුවෙ. විදුර ජාතකෙත් අගේට ගලපල තියෙන්නෙ.
    එරන්දතිය එනව මන් හරිම් කෑමති ගීයක්
    ස්තූතියි කිව්ව....

    ReplyDelete
  32. හපොයි... මට එච්චර අපහාස කරන්ඩ එපා එෆ්.එම්. එකක් ගැන කියලා. ඒවායේ ඉන්න උන් කවදාවත් ඔය වගේ කතා කරනවා අහලා නැහැ. මට පොඩි කාලේ ඉඳන් අහලා පුරුදු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය, ප්‍රාදේශීය සේවය වගේ එව්වා වල තමයි ඔය විදිහට කතා කරන්නේ.......
    ඒවායේ නම් ඉතින් "ගී පද රචනය....... සංගීතවත් කළේ ........" කියන ටිකත් කියනවා

    ReplyDelete
  33. @නිශ්: ඔව් අප්පා "රාජ පණ්ඩිත..." සින්දුව නම් යන්නෙම නෑ ම්යේ හිතේ..

    @Jeew: හැබෑට බන් කියලා වැඩක් නෑ නේ උන් කථා කරන හැටි..?
    දැන් ශ්‍රී ලංකා ගුවන් විඩුලි සේවයේ එව්වයේ රචකයා සංගීතඥයා යන අයගේ නම් කීම අනිවාර්‍ය කරලා... ඒක ලොකු දෙයක්..

    ReplyDelete
  34. මේ ත්‍රිවිධ ඥාන විදුරු ගීතය මම අහලා තියෙනවා තිසා නැටුම් වල. ඒත් බොහෝම පොඩි කාලේ වගේ තමයි මතක. මොකද මට මතක තිබුනේ මුල් කොටස විතරයි. බොහොම ස්තූතියි මේ පැරණිම ගීත එකතු කලාට.

    විදුර ජාතකය ඇත්තෙන්ම හරිම අපූරු කතාවක්. නාග ලෝකේ දිව්‍ය ලොකේ කියන මනඃකල්පිත ලෝකවලට මේ ලොකේම රටවල් කීපයක් හරි ලංකාවේම නගර කීපයක් හරි ආදේෂ කර ගත්තාම . . පූර්ණක යක්ෂයාට මර්වින් සිල්වගේ හරි දුමින්ද සිල්වගේ හරි චන්ඩියෙක් අදේශ කර ගත්තාම . . මේ කතාව අපේම එකක් විදිහට නියමෙට රස විඳින්න පුලුවන් මචෝ . .

    බොහොම අපූරුයි . . බොහෝම ස්තූතියි

    ReplyDelete
  35. බ්ණ අහන කෙනෙක්November 17, 2010 at 9:27 AM

    අනර්ගයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියල කිව්වලු. ඔය වැඩේ ඉදිරියටම ගෙනිච්ච්නම් අයාලෙ සැරිසරන උන්ටත් අර්ථයක් වේවි.

    ReplyDelete
  36. @දුකා: ඔව් බන් අර චීන වරායේ තෙල් සංකීර්ණයමත් අවුරුදු 99 කට දුන්නනේ ඉන්දියන් තෙල් සමාගමට, අර සූදු කෙලලා පැරදිලා විධුර පණ්ඩිතයින්ව දුන්නා වාගේ පොරක්...බලන් ගිහයම ඔක්කොම ඉන්නවා බන්...

    @බණ අහණ කෙනෙක්: මගේ ප්‍රාණ හා සමාන මිත්‍රයාගේ ආගමනය සතුටින් පිලිගනිමි... ඒත් උඹ බණ අහන කෙනෙක් කියා හඳුන්වා ගන්න තරම් පරිස්සම් වුනානේ...?

    ReplyDelete
  37. බොහොමත්ම ස්තූතියි

    ReplyDelete

 
Blogger Wordpress Gadgets