සිප එන සමනල මුදුනින්...

දුරාතීතයේ සාමාන්‍ය දවසක්... ඒ කාලේ කොයි ගෙදරකත් වාගේ රේඩියෝව අපේ ගෙදරත් දාලා තිබුනේ... අල්ලපු ගෙදර ඉන්න අපේ නැන්දා අපේ ගෙදර යම් කාරනයකට ඇවිත් තිබුනා... හදිසියෙන් මගේ අතින් ඇදන් ආපු නැන්දා මාව රේඩියෝවට ලංකරගෙන ලියුම් කවරයක් දිහාවට මගේ ඇහැ යොමු කෙරෙව්වා... මට ඒ කාලේ අවුරුදු තුනක් වුනත් මට මේ සිද්ධිය හිතට කිඳා බැස්සේ සංවේදන ඉන්ද්‍රියන් දෙකක් හරහා ලැබුනු සංවේදනයේ හරය එක හා සමපාත වූ නිසයි... 72 බිරිතානි කිරීටයට තිබිච්ච අන්තිම නීතිමය බැම්ම (62 හමුදා කුමන්ත්‍රණයේ වරද කරුවෝ නිදහස් වුනේ ඔය කොස්ස තිබිච්ච හින්දායි කියලයි කියන්නේ... දන්නා හැටියට...) ගලවලා දාපු ජනරජ ව්‍යවස්ථාව මුල් කරගෙන ලියැවිච්චි ගීයක් මේක... මේ ගීයට පසුව මුද්දරය නිර්මානය කලාද, මුද්දරයට පසුව ගීය නිර්මාණය කලාද කියන එක නම් දන්නේම නැත... මතකයේ හටියට පද රචකයා කේ ඩී කේ ධර්මවර්ධනයන්ය... අවසානයේ ඇහෙන අත්පොලසන් නාදය කෙතරම් අරුත් බරද...?

සිප එන සමනල මුදුනින්...
ජනරජ දිනකර කිරණින්...
ලංකා රන් තඹර කැකුල...
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...

භූපාලන නව ‍රැල්ලේ, එක ධජයක සෙවනැල්ලේ...
නිවහල් රන් ඕවිල්ලේ, ජන ජය ගී මංගල්ලේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....

25 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

අහලා නොතිබුණු සින්දුවක්.
පැරණි ගීත අහන්න නම් ඉතින් මේ සයිට් එකටම එන්න ඕනේ.
:)

Raven said...

මේ ගීතයත් රස වින්දා ඔන්න.

පැරණි ලිපි කියවද්දි මම ඉතාමත් කැමති ගීතයක් හම්බුණා මෙහි තිබිල. "සරා සොඳුරු මල් පැටලී" කියන ගීතය.
දැන් මේ ඒක අහන ගමන්.

ගල්මල්-Coral said...

එක එක පාට මතුවෙලා ඇවිත් මෙකී ජනරජ දිනය හෑල්ලු කරත් සින්දුවත්, මුද්දරයත් ලොකු හරයක් කියාපායි.

ලොක්කා මගේ ආචාරය...

විශ්මි said...

හුඟක් පරණ ගීතයක් ..... අදමයි ඇහුවෙ....... ස්තුතියි තිස්ස අයියෙ .... ඔන්න මමත් හද ගී පොතේ මග ඇරුන පිටු පෙරලනව මේ ටිකේ......

යෝගී... said...

ඉස්සරෝම දවසක ගෙදර රේඩියෝ එක දාලා තියෙනවා මතක් වෙනවා ලොකුඅයියේ.. මේ සිංදුවනම් ඇහුනද කියලා මතක නැතිඋනත් ඒ Violin/Sitar parts , මියුරු හඬ , ඒ කාලේ හැම දෙයකම තිබුනු සුන්දරබ‍ව අරං එනවා..

ඔබ කිව්වා වගේ අන්තිමට ඇහෙන අත්පොලසන් හඬත් ගීතයට අපූරු හැඩතල එකතු කරනවා වගේ..

මේ අතීතේ ආපහු ගෙනැල්ලා අවදිකරලා දෙනවට උඹට පිං ..

-ජය

wath said...

අනේ සමාවෙන්න ඕන ලියපු පුර්විකාවවත් ... ජනරජ දිනය ගැනවත් මට මේලෝකෙ දෙයක් තේරුනේ නැහැ නෙව. දන්නෙ නැතිව comment කරන්න බැහැ නෙව. ඉතින් මම අම්මාගෙන් කතාව අහගත්ත. මුද්දරේ ගැහුවෙ පස්සෙලූ. ජනරජ දිනය මැයි 21 ලූ. ඉස්සර ඒකට නිවාඩු දුන්නලූ. දැන් නම් නැහැ...ඔන්න ඕකයි ප්‍රමාදයට

wath said...

හේතුව

චේජනා said...

අනේ අය්යෙ ජනරජ දිනය ගැනවත් 68 හමුදා කුමන්ත්‍රනයෙ වරදකරුවො නිදහස් වෙච්ච එක ගැනවත් මට ඒ හැටි තේරුනෙ නෑ.. වත් ට වගේ ඉතින් ළඟට ගිහින් අහන්න මට අම්මත් ළඟ නෑ නෙ..
සින්දුව අහද්දි නම් මට මතක් වෙන්නෙ අර දේශාභිමානී ගී බොහොමයක තියෙන නාද රටා..

දිල් said...

අදත් අහලා නැති සින්දුවක්.හරිම අපූරුයි. මේ පැත්ත පැරණි රස සාගරයක්නෙ තිස්ස අයියේ....

Anonymous said...

හිතවත් තිසා.....

ඉස් ඉස්සෙල්ලාම උඹගෙ වැයිකියට ඇවිල්ල බැලුවෙ අර යශෝදරා ගැන ලි‍යැවුණු අපූරු පූර්විකාව.....ඒකෙන් මම උඹව අඳුන ගත්තා කිව්වනේ....එදා උඹ ගැන ඇතිවුණ ගවුරවය අද දෙගුණ උනා කිව්වොත් නිවැරදියි...

අපේ රටේ රාජ්‍ය නායකයා මහ පොලොවට වැන්දම සමහරු නක්කලේ දැම්ම නේද..?? නමුත් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ හදවතේ මානව දයාවෙන් පිරුණු පුද්ගලයෙකුට විතරයි....

තමන් උපන් භූමියට එහෙම නැත්නම් මිහිමාතාවට ආදරය කරණ අයෙකුට වරදින්නේ බොහෝම කලාතුරකින්...

ලෝකෙ කොහේ හිටියත් මගෙ ම්වුබිම තරම් තැනක් නැහැ නේද...??

ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...


පුoචිකාලෙ මේ සින්දුව අහල තියෙනවනම් මතකයි...බොහෝම පින් මතකය අවදිකලාට..

මේ...

සුලා...

දුකා said...

"ඒ කාලේ කොයි ගෙදරකත් වාගේ රේඩියෝව අපේ ගෙදරත් දාලා තිබුනේ... හදිසියෙන් මගේ අතින් ඇදන් ආපු නැන්දා මාව රේඩියෝවට ලංකරගෙන . . . "

මේ කොටස කියවනකොට මාව ලස්සන අතීතෙකට අරගෙන ගියා තිසා.

ඉස්සර මම ගොඩක් පුංචි කාලෙ ඉඳන් අපේ අම්මා රේඩියෝ එකේ ලස්සන සිංදුවක් යනකොට මගේ අතට කොලේකුයි පෑනකුයි දීලා කියනවා මේ සිංදුව ලියා ගන්න කියලා . . . ඒ පිහිටෙන් මට සිංදු අම්බානකට කට පාඩම් අදටත් . .

දන්නවද මට කාලෙක විශේෂප්‍රාගුණ්‍යක් තිබුනා ඕනෑම වේගයකින් යන ගීතයක් ලියා ගන්න . . . අපේ අම්මා තමයි මට රසවින්දනය හුරු කලේ . . . මේ සංවේදී මිනිහා බිහිවෙන්න ඈ ඒ හුරු කරපු රසවින්දනය හුඟක් ඉවහල් වුනා මචං . . .

මේ ගීතය ත් පුංචි කාලේ රේඩියෝ එකේ උදේ පාන්දර ඇහුව වගේ මතකයක් දැනුනා . . .

Bandula - බන්දුල said...

තිසා, වත්තෙගෙදර මහත්තයත් මගේ නිනව්ව (http://hpr-mycertainty.blogspot.com/) ලියන එක නවත්තලනෙ. නැත්නම් ජනරජ දිනය, 62 කුමන්ත්‍රණය, 71 කැරැල්ල, ඕව ගැන දැනගන්න තිබුණා.
ඒ කාලේ, ඒ කියන්නෙ අපි පොඩි කාලෙ (මේ මාස කීපයකට ඉස්සර) උදේට ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ සිංහල වෙළඟ සේවයේ හා සිංහල ස්වදේශීය සේවයේ ගිය සිංදු ටික මට හිතෙන්නේ කම්බුල හරියේ ඇලිල තියෙනවා. ඒකයි නිතරම ඇහෙන්නේ! (වඩු බාස්ගෙ පැන්සල වගේ කනේ ගහගෙන ඉන්වාද දන්නෙත් නෑ-කොහොම හරි ඇහෙනවා ඇහෙනවා වගේ)
'ශ්‍රී ලංකා' රන් තඹර කැකුළ තමා මචං විකසිත වුණේ.

ගල්මල්-Coral said...

අඩවියේ ලොක්කාගෙන අවසර පතමින් පුංචි සටහනක් එක් කරනවා:

ලංකා දීපය 1798 සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වූ පාලනයෙන් නිදහස් කලේ 1948 පෙබරවාරි 4දා. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රැජිණ යටතේම පැවතුන රට 1972 මැයි 22 දා ජනරජයක් බවට පත්විය. දැනට භාවිතයේ ඇති ජතික ධජය එලිදැක්වූයේ ද එදිනයි. තවද ජනරජ දිනයත් සමග අප රටේ ජනාධිපති වරයෙකු ලැබුනා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති තනතුර පිහිටුවන තුරු එය නාමික ජනාධිපති තනතුරක් විය.

බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ රටක් වන ඕස්ට්‍රේලියාව ජනරජයක් නොවේ, එය අදටත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතී. මෑතක පත්වූ රජයන් මෙ තත්වය විමසිල්ලට ගත්තද එරට වැසියන් ජනරජයක් නොවීමෙන් ලබන ප්‍රතිලාබ, ආගමන-විගමන් පහසුතා නිසා තවමත් කිරීටයේ සෙවනේ ඉන්න ම පතනවා.

නිදහස් රටක හා ජනරජයක වෙනස සුලුවෙන් එයයි.

(එක නේ අර බන්දා තවම ඇඟිලි ගහන්න එන්නේ...)

තිස්ස දොඩන්ගොඩ said...

@Ansh Lucky Sri Jay: නංගිගේ කාරනාවට වැඩ කටයුතු කරගෙන යනවා... ස්තූතියි ගොඩවුනාට...

@Raven මගේ සොඳුරු දාර්ශනිකයා ඉතින් කොහෙ පැටලෙන්නද, ඉතින් කොච්චර සොඳුරු මල් තිබුනත්....

@ගල්මල්-Coral: ඔන්න වියතුන් සභා මැද.. රස ගී ගඟුල් ගලා යන... බොහොම ස්තූතියි අපි පහල පරම්පරා අතරේ මේ දනුම බෙදා ගන්නවට...

@විශ්මි: කලාගාරයක වෙසෙන ඔබට, හද ගී පොතින් මග එලි...

@යෝගී: අද මට පිං... හෙට බොට පිං...

@wath: ඒක නෙවෙන්නම් පරක්කු වුනා හොඳටෝම.. නමුත් හේතුව දැනගත්තා... වැදගත් සෙවිල්ලක්... මවටත් පිං අතීතය එලි පෙහෙලි කර දුන්නට...

@චේජනා: මට වැර්දුනා නංගා 68 නෙමේ 62.. ඒ විස්තරය දූපතට ගොහින් ඇවිත් දමන්නම්...

@දිල්: ඔව් ඔව් නංගියේ ගුණසිරි බුල්ටෝ ෆැක්ටරිය වගේ ...පැරණි රස...

@සුලා: "ලෝකෙ කොහේ හිටියත් මගෙ ම්වුබිම තරම් තැනක් නැහැ නේද.." අන්න මගේ තවත් එක්කුස නෑයෙක්....

@දුකා: ශහ් අදහන්න වටින ටැලන්ට් එකක් නේ බං... ?

@Bandula - බන්දුල: අරක මරු සයිට් එකනේ බං...අපරාදේ නවත්තලා තියෙන්නේ .. ආරාධනාවක් කරන්න බැරිද ආයේ ලියන්න කියලා... හෙහ් හෙහ් "වඩු බාස් ගේ පැන්සල..."උඹේ තියෙන්නේ අමුතුම කතා බන්... එල...!

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

අහපු නැති ගීතයක්
මේ මම මේ දවස් වල ගීත කීපයක් එකතු කරන් යනවා ඔබතුමාගෙන් ඉල්ලගන්න 60-70 දශකයේ ගීත හැබැයි ඒවා ඉදලා හිටලා පළවන ගීත අපිට අහන්න පුලුවන් වෙයිද ඔබතුමාගෙන්?

මාරයාගේ හෝරාව said...

gunasiri bulto..
anna rasa

Buratheno said...

හප්පා කොච්චර කාලෙකට පස්සෙද මේ සිංදුව ඇහුනෙ..(සහ මේ මුද්දරේ දැක්කෙ- හපොයි මගෙ පරණ මුද්දර පොත්ටික කොහෙද දන්නෙ නෑ දැං) ඉස්සරනං හැමදාම උදේට ස්වදේශීය සේවය දැම්මහම මේවා අහන්න ලැබුනා.. දැං ඉතිං කොයින්ද එච්චර පිනක්.. :(

පලි- ඔබතුමාට පිං මේ සිංදු අහන්න හා download කරන්න අවස්ථාව ලබාදෙනවට

Pali said...

පහුගිය දවස් ටිකෙ ඉස්පාසුවක් තිබුණෙම නැහැ සින්දුවක්වත් අහන්න. ඒත් මේ මුද්දරයත් එක්ක දාලා තියෙන පූර්විකාවයි ගීතයෙ වචන ටිකයි දැක්කම ගීය නාහම බැරිවුනා.

සුලාගෙ ප්‍රතිචාරයටත් ගොඩක් ආස හිතුනා. සොභා දහමත් එක්ක ආලවන්තකම් පාන, ගඳ සුවඳ හඳුනන, සංවේදී මිනිස්සු, උපන් බිමට වැඳ නමස්කාර කිරීම නක්කලයට කාරණයක් හැටියට සලකන්නෙ නැහැ. ඒ ගල් බොරලු පිරි නිකන්ම නිකන් මහපොළොවට වඳිනවාට වඩා යමක් උන්ට හැ‍ඟෙන නිසා.

නුවන්සි said...

"72 බිරිතානි කිරීටයට තිබිච්ච අන්තිම නීතිමය බැම්ම (62 හමුදා කුමන්ත්‍රණයේ වරද කරුවෝ නිදහස් වුනේ ඔය කොස්ස තිබිච්ච හින්දායි කියලයි කියන්නේ... දන්නා හැටියට...) "

අනේ අපිටත් දැන ගන්නත් එක්ක මෙ ගැන පොඩියක් කියනවද?

"ගලවලා දාපු ජනරජ ව්යවස්ථාව මුල් කරගෙන ලියැවිච්චි ගීයක් මේක... "

ගලවාලා දාපු ඡනරඡ ව්‍යවස්ථාවද නැතිනම් ඡනරඡ ව්‍යවස්ථාව පටන් ගැනිම ගැනද මෙ ගීතයෙන් කියන්නේ

රවා said...

කට්ටියම ඇවිල්ලා ගිහිල්ලා... මමත් ආව කියෙව්වා ගියා. දැක්කෙ නැහැ ඔයාව..

Anonymous said...

wath said...

නුවන්සි...!

මටත් හිතෙන්නේ ඡනරඡ ව්‍යවස්ථාව පටන් ගැනිම ගැන කියනව කියල....

මිගාර said...

අප්පච්චියේ, හෙණ පරණ සින්දුවක්. ආයෙත් මතකය කොණක ඉඳලා, තිසා ගෙ සටහන දැක්ක ගමන් එළියට පැන්නා.

අගෙයි, අගෙයි!

ගල්මල්-Coral said...

1972 හා 1978 ව්‍යවස්ථා ගැන තොරතුරු ඉල්ලුමක් ඇති නිසා:

1972 අපරට ජනරජයක් සේ ප්‍රකාශයට පත්කරමින් රජය ගෙනා ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව හෙවත් ජනරජ ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ. ඒ ගැන විස්තරයක් මෙ ලින්ක් එකෙන් බලන්න පුලුවනි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=565784594

1977 පත්වූ JR ජයවර්ධන රජය ජනරජ ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කර නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත්කරා, එය 1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ප්‍රකටය. ඉන් මහජන ඡන්දයෙන් පත්කරන විධායක ජනාධිපති තනතුර පීහිට වූ අතර 1972 සිට පැවැති පත්කරනු ලැබූ නාමික ජනාධිපති තනතුර අහෝසිවීය.

තිස්ස සොයුරා ගෙන ආ ගීතය ජනරජය පිහිටවීමේ අවස්ථාව සලකුණු කර ගීතයක්.

චේජනා said...

ස්තුතියි ගල්මල්-Coral
ඒ විස්තර ටික දැනගෙන හිටියෙ නෑ..

LishWish said...

උඹට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නැහැ අයියේ මේ අතීත වැහුනු පැති අරිනවට...!
ඒතරමට උඹ කරන මේ වැඩේ ඔයාට විනෝදාංශයක් උනත් අපිට නම් සමාජ සේවයක්..!

Post a Comment

 
Blogger Wordpress Gadgets