ආලේ මිහිර පෙන්නා... | හෙලේ වලේ ලෝ එලමා...

මින් අවුරුදු දහයකට දොලහකට පමණ පෙර යුරෝපීය රටක පුහුණුවක් සදහා යාමට මට අවස්ථාවක් ලැබුණි... මාස එකහමාරක පමණ කාලයක් ගතවන ඒ පුහුණුවට මගෙන් පසු යාමට ලැබුනේ අලුතින් පත්වූ මගේ කලමණාකාරවරයාටය... රාජ්‍ය සේවයේදී විදේශීය පුහුණු වලට ඇති පොරය දන්නේ රාජ්‍ය අංශයේ සේවය කල අයම පමණි... යන්නාවූ රට ආර්ථික වශයෙන් ලංකාවට වඩා ඉහල තැනක ඇත්තක් නම් මේ පොරය ඉතාම උග්‍රවේ...

මෙවැනි බොහෝ පුහුණු පාඨාමාලා අවසානයේ සංස්කෘතික දැක්මක් අනිවාර්‍ය වේ... සහභාගී වන්නන්ද තමතමනට ආවේණික සංස්කෘතිකාංගයක් එලිදැක්වීමද කලයුතු වන අවස්ථාද සුලභ වේ... ඊලඟට පුහුණුව සඳහා යායුතුව තිබූ මගේ කණිෂ්ඨ සගයාද පසෙකට තල්ලු කොට, මේ ගමන ගොස් පැමිණි කලමනාකරු, ගමන් විස්තර විමසනාතුරේදී මෙවැණි කථාවක් අප හමුවේ තැබීය... "බලන්නකෝ මේ හැම රටකම මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ කියලා ඉදිරිපත් කරන්න යමක් තියනවා.. අපිට මොකුත් නෑනේ...!"
------------------------------------------------------------------------------------------------------
1950 අග භාගයේ චිත්‍රපට ගීතය අරක්ගෙන තිබුණු ඉන්දියානු ආවේශයට නොබියව මුහුණ දුන් තවත් එක් අසහාය කලාකරුවෙක් නම් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය... 1958 "එකමත් එක රටක" චිත්‍රපටියේ සිට 1994 "යුවතිපති" චිත්‍රපටය දක්වා චිත්‍රපට දහතුනකට පමණ හේ නොබියව ස්වතන්ත්‍ර තණු නිර්මාණය කලේය... පලමු, දෙවනි චිත්‍රපට ගී ජනප්‍රිය නොවුනද 1959 දී "The Fabulous Señorita" (හින්දි - "අල්බේලා" - රාමචන්ද්‍ර 1951) ඇසුරෙන් නිපදවුනු "ගැහැණු ගැට" චිත්‍රපටයේ එන "ආලේ මිහිර පෙන්නා..." නැමැති මේ ගීය අදද බොහෝ කන්කළුය... මා මේ ගීයට තවත් ප්‍රිය කරණ තවත් හේතුවක් නම් මේ ගීය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්ම සර්පිනාව වයමින් ගායනාකරනවා මා අසා තිබීමය... පසුබිමින් ඇහෙන සතුන්ගේ නාද පලමු වරට අත්හදා බැලීමක් ලෙස ගීයට එක්කල බව ඔහු එදා කීවේය... එච් ආර් ජෝතිපාලයන් හා ඇන්ජලීන් ගුණතිලකයන් ගේ බොහෝ සොඳුරු තාරුණ්‍යයේ කටහඬද මේ ගීයට මුසු වී ඇත්තේය... ගීයේ පද නිර්මාණය සිසිරකුමාර මානික්ක ආරච්චි කලාකරුවාණන්ගෙනි...

"හෙලවෙන කොට වැල් පාලම...", "යුද්දෙට මං ගියා..." ඇතුලු ගීත ඇති හෙන්රි ජයසේනයන්ගේ "හුණු වටයේ කථාවේ සංගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේය... මේවායින් බොහෝ කලකට පසුව වුවද පද රචනය කොට තණු නිමවා කාංචනා සඳමාලී විසින් ගයන්නා කරවන්නට යෙදුන "හෙලේ වලේ ලෝ එලමා..." ගීතයද, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්, රුසියාවට ශිෂ්‍යත්වයක් ලැබ ගොස් ආපසු පැමිණ "ස්වර හතරක් තියාගෙන අපේ සංගීතයෙන් මොකක්ද කරන්න පුලුවන්...?" යැයි ඇසූවනට මුවින් නොබැන දුන් පිලිතුරු වලට තවත් ජීවමාන සාක්කියකි...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා...
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා...
හෝ....ඕ...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා...
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා...
හෝ....ඕ... ම්ම්ම් ම්ම්ම්....

මුව පැටවුන් හා රඟන නිදැල්ලේ....
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ...
ගිජිඳුන්ගේ ආලෙන් වනමල් සිනාසේ...
ආදරේ රසේ ඒ තමා ලොවේ...
ආලේ මිහිර...

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා...
ඒ ප්‍රේම කිරුල ඔබේ හිසේ පලන්දා...
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්...
විඳිමු ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර....

---------------------------------------------------------------------------------

හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හේලයියා හේලා... හේලවලේ හේලා....
හේලයියා හේලා... හේලවලේ හේලා....

ඕරුද ලොකු මෝරූ... දඟලපි ලඟ පාරූ....
ඇදපන් දැල මාරූ... නොදොඩන් කයිවාරූ...
අඟුලෝ සාවාලයෝ කකුලුවෝ වට්ටාලයෝ...
හුංගොද ලොකු සාලයෝ... ඉන්නවා තව කීලයෝ..

හෙලේ වලේ ලෝ එලමා...

හුරුල්ලෝ ක‍ටුවල්ලෝ... තොණ්ඩයෝ කාරල්ලෝ....
බෝල්ලු කිරලාවෝ... ඉන්නව ලොකු දැල්ලෝ....
හුලුන්නෝ කන්නාවෝ... කලන්දෝ කට්ටාවෝ...
මරින්නෝ අයිරාවෝ... නගරයො පොරකෑවෝ...

හෙලේ වලේ ලෝ එලමා...

කොළඹ යවන මාලූ... ඔහෙ ඇදපන් යාලූ....
මඩියත් තදවීලූ... බරටම දැනුනේලූ....
ගින්නටි හඳපානෝ... කෑහැකි සිරිමානෝ...
හොයි ඇදපන් බෑනෝ.... මණ්ඩඩි අතපානෝ....

ගීත අහන්න... .
Read More!

අහස සේ ඔබ අනන්තයි...

ඇගේ මතකයෙන් පිබිද මා මෙහි තබනා සටහන් ඇයට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි... වයස අවුරුදු හයේදී පමණ සිට වලං පිගන් සමග ඔට්‍ටු වන්නට පටන් ගත් බව ඈ මට කියා ඇත... ගීතයක් සිතින් වැලඳ ඈ එහි නිමග්නව සිටින්නේද කලාතුරකිනි... රසභාවයන්හි ඇගේ මේ නො ඇලෙනා බව විටක මගේ ඉමහත් නොරිස්සුමට ලක්වුවද, එයම අපගේ ජීවන ගමනට ඉමහත්ම රුකුලක් වූ බව සැබෑවකි... "සොයන රුව ඔබේ... අප්සරාවියේ...පාවෙනා නිල්වලාවේ..." ගීය වරක් දෙවරක් පමණ ඈ මුමුණනු මා අසා ඇත්තෙමි... -------------------------------------------------------------------------------
උදයේම එළියට බට අප, ආපසු එනවිට බොහෝ පමා විය... ගමනේ විඩාව, දරුදෙදෙනා පි‍ටුපස අසුනේ දිග ඇදී යහමින් නිවාගනිමින් සිටී... කෙළින් වැ‍ටුණු දිගු මාර්ගය දිගේ ඒකාකාරීව වාහනය එලවීම තෙහෙට්‍ටුව තවත් වැඩි කරයි... මා අඩ නින්දේ උන් දරුවන්ට බාධාවක් නොවන ලෙස රේඩියෝව දැමීමි...
"...ඔබ ලඟම.. ලඟම... සිටිමි..."
ජනේලයෙන් එලිය බලා සිටි ඈ හිස හරවා මා දෙස බලා ඉදිරියට බරව රේඩියෝවේ හඬ මදක් වැඩි කලාය... ඇගේ දහදිය සුවඳ හා මුසුවූ විලවුන් සුවඳ මගේ නැහැය අතරින් රිංගා ගියේ අපේ අතීත මතක ද්වාරයන් නැවත නැවතත් විවර කරමිනි... යම් සුවඳක් මතකයක් ලෙස හිතේ තැන්පත් වන අයුරු පුදුමාකාරය...
---------------------------------------------------------------------------------
මැද පෙරදිග බොහෝ කලක් රාජකාරි කල ලාංකිකයෙක් තමන්ගේ නවාතැන් කාමරයේදීම අවසන් හුස්ම හෙලා ඇත... මේ කථාව අප සමග කී මිත්‍රයා, ඒ අසරණයාගේ එකල හොඳ මිතුරෙකුව සිට ඇත... වියෝවූ මිතුරාගේ කලමණා එකලස් කල අප මිතුරන් හද කම්පාවට පත්ව ඇත්තේ ඔහු අවසන් හුස්ම හෙලූ කොට්ටය අස් කිරීමේදීය... සු‍රැකිව නවා තැබූ ඒත් විලවුන් සුගන්දයෙන් යුතු තරමක් පරණ කාන්තා නිදන අඳුමකි ඒ...! මගේ මිතුරාට අනුව ධාර්මික ජීවිතයක් ගතකල දෙදරු පියෙක් වූ ඒ අහිංසකයා තම ගෙදර ඇත්තන්ගෙන් වෙන්වීමේ දුක් නොමදව අනුභව කරන්නට ඇත...
------------------------------------------------------------------------------
අවුරුදු පහලොවකටත් එපිට දුරාතීතයේ මෙවැනිම දිනක අහඹූවකින් මෙන් ලංව දැනුනු ඒ සුවඳ මතකයේ බොහෝ ගැඹුරු තැනක තැන්පත් වී ඇත්තාසේය... ආපසූ ‍රැකියාව සඳහා පිටත්ව ඒමට සමුදෙන මොහොතේ විලවුන් බිඳක් හැලූ ලෙන්සුවක් ඈ මා අත තැබීය...
"ඔන්න මාව මතක් වෙන්න..."
කරදඬු උස් වු දරුවන් ඇති අප මෙලෙස හැසිරීම බොලඳයැයිද වරෙක සිතේ... එහෙත් මාස පහ හයක් පමණක් නොව ජීවිත කාලය පුරාම මාතුල නැවුම් හැඟීම් ජනිත කිරීමට ඒවා සමත්ය...

තුරු ලිය නිසලයි....
වැව් දිය සසලයි...
තනිකම ඉවුරු බිඳී...
මම අතරමංව හිඳිමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...

සසර පුරා සුවඳ සරා...
ඔබම සමග ‍රැ‍ඳෙමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...

ඔබේ සුසුම් සුවඳින් පෑරී...
වෙල් ඉපැනැල්ලේ පවන් හමයි...
ගම් දොර සුහුඹුල් මතකය වැලපී...
සිත මා තෙමා වැටෙයි...
ඔබ කොහිද කොහිද සොයමී...
ඔබ ලඟම ලඟම හිඳිමී...

ඔබේ සුරත් පහසින් ගිලිහී...
ලිය ගොමු ලන්දේ සොවින් සැලෙයි...
තණපත් මුදු පිණි කඳුලින් බරවී...
ඔබ පා පහස පතයි...
ඔබ කොහිද කොහිද සොයමි..
ඔබ ලඟම ලඟම හිඳිමී...

ගීතය අහන්න.... ඕන්නම් බාගන්න...
Read More!

එන්න මගේ ප්‍රිය මිතුරෝ...

බ්ලොග් ලිවිල්ල හින්දා අඳුනාගත්තු බොහෝ දෙනෙක් හැබෑවටම අපූරුම මිනිස්සු... එක් කුස උපන් සහෝදරයෝ නැති මට, උන් හැබෑවටම මේ වෙබ් අවකාශය හරහා ගෙන දෙන්නේ බොහොම සහෘද හැඟීමක්... යහපත් ගතිගුණ වෙන් වෙන්ව මිනිස්සු තුල පිහිටන්නේ නැ කීවා වාගේ ඒ මිනිස්සු තුල මනුස්සකම් බොහොමයි.... "නිවාඩුවට එනකොට මොනවද බන් ගේන්නේ.." කියා ඇහුවහම හැම එකාම කියන්නේ "පිස්සුද අයියේ මොනවා ගේන්නද ඇවිත් අපිව බලා යන්න..." කියන කථාව.... දුක් කරදර ප්‍රස්න නැතුවා නෙමේ ඒ මිනිස්සුන්ටත්... නමුත් මනුස්සකම හිතවත්කම ඒ ඈයෝ තෑගි වලට වඩා බොහෝ ඉහලින් සකලන නිසයි ඒ... ටී එම් ජයරත්නගේ "උපන් බිමෙන් පිටව ගියේ...." කියන ගීය අහල අද එක් සොයුරෙක් දාලා තිබුණු වැකියක් කියෝලා උදේ පාන්දරම මගේ ඇසුයි පපුවයි බරවුණා... කොයි වෙලාවේ මරණය ලඟා වෙයි ද කියා නොදන්න මිනිස්සු අතරේ මනුස්සයෙකුට තවත් කෙනෙක් ගැන යහපත්ව හිතන්න පුලුවන්නම් ඒ මනුස්සයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් කියලයි මම හිතන්නේ... පුද්ගලයන් එකිනෙකා බිඳුවන, එකමුතු කම්, සමාදාන කම් බිඳුවන, පරුස වචනයෙන් ඇනුම් පදයෙන් අනෙකා නිතරම රිදවන්න උත්සාහ කරණ, බොරු හිතවත් කම් පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්නා ඈයෝ මිනිස්සු කියා හඳුන්වන්න පුලුවන්ද කියලත් මට හිතෙනවා... එහෙම ගතිගුණ වැඩුණු මිනිස්සු තුලට ගලා එන්නේ කොහොමද කියලත් පුදුම හිතෙනවා... සිරුරෙන් කෙසේ වුවත් මානසික පෞරුෂය කෙනෙකුට හරිම වැදගත් නේද...? තමන්ගේ ඇවතුම් පැවතුම්, උප්පත්තිය, සමාජයේ තමන්ට හිමිව ඇති ස්ථානය පිළිබඳ තමන්ම හදා ගත්තු නීර්ණායක නිසාම හීන මානයට පත්වෙච්චි අයගෙන් අහල පහල ඉන්න උදවියට, රටට, ලෝකෙට වෙන විනාසය බොහොමයි... මේ වර්ගයේ උදවිය දානමානයකට, පොදු වැඩකට, අතගහන්නේ නැතිව ඉඳගෙන විවේචනය කරන්නත් හරිම දක්සයි... තමන්ගේ සේවා ස්ථානයේ වේවා අධ්‍යාපන ස්ථානයේ වේවා ඉන්න මේ වගේ මිනිස්සු දිහා බලලා මනුස්ස කමට නිගරුවක් නොවෙන්න ජීවත් වෙන හැටි හැබැයි ඉගෙන ගන්ට පුලුවන... කලු පසුබිමක් එපායැ හරිහැටි සුද මතුවෙලා පේන්නත්...
හිතවත් රන්දිම මල්ලී... ඔබ සහ ඔබ වැනි තවත් බොහෝ "මිනිසුන්" වෙනුවෙන් අහස් ගව්ව චිත්‍රපටියට මහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු අතින් ලියැවුණු අපූරු ගීයක්.. සංගීතය ඇදුරු ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් (අද ඔහුගේ ජන්ම දිනයත්...) ගායනය සනත් නන්දසිරියන්ගෙන්...

ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්...
කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්...
එකමුතු වී අපි මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...

ගීය අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

වලාකුලක් මෙන් ඇතට පාවුණ...

"මොකෝ බං උඹලට වෙලා තියෙන්නේ... ආ...?

ප්‍රශ්ණයක් තියනවානම් කථාකරලා විසඳා ගනින්කෝ...!
ඇයි සද්ද නැතුව ඉන්නේ...?

එහෙම හිටියම අනික් මනුස්සයා මොනවද හිතාගන්නේ... උඹලා බබ්බුද...??

කොන්ද පණ ඇතිව ඔතනින් ඉස්සරහට යන්න බැරි කාරණය මොකද කියලා කියන්න බැරි මොකෝ...??

එක අතකට උඹලා ඔය නපුංසක වත දිගටම ‍රැකපල්ලා..!
ඒක හොඳයි...!! ජීවිතේ ඉස්සරහට හැබෑ ප්‍රස්න එනකොට ඒවාට මූණ දෙන්න බැරිව ලැජ්ජාවට පත්වෙනවට වඩා ඒක හොඳයි...

හැබැයි හිතන්න එපා පු‍තෝ හැම දේම සරල රේඛාවක යන්නේ කියලා... ඉස්සරහා දොරෙන් දොට්ට දැම්මා කියලා හිතාගත්තට, කාලයක් ගත වෙලා උඹලට පස්ස දොරෙන් ගිහිල්ල හිඟන්න වෙන්නෙත් ඕකමයි.... උන්ට හිතේ තියන හයියෙන් අංසුවක් වත් උඹලට නෑ...!!

උන් සේරම දරාගෙන ඔය ලෝකෙට හිනාමූණ පෙන්නනගෙන ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා උඹලා දන්නවද...?

හරි... උඹලා උඹලගේ කොටු කරගත්තු ලෝකේ පහසුවෙන් හිටපල්ලා...
තනතුරු, නමේ අගට එන කෑළි, අයිශ්වර්‍යා, ඕවයින් තාවකාලික ආතල් එකක් අරන් හිටපල්ලා...
හැබැයි උන් කවදා හරි උඹලට වඩා ජීවිතයේ හැබෑ සැනසිල්ල අත්විඳිනවා...
මට හොඳටම ෂුවර්...!!!

උඹලම අද පාටියේ බිල ගෙවපල්ලා... මං යනවා යන්න...."


වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ....
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසිරුණ පියඹන කවුඩකුගේ...
නැගී බිඳුණ රළ වරළස වාගේ බොරවී ගලන ග‍ඟේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

කැලෑ මලක් ලෙස දෙපයට පැගුණ ගොරහැඩි මිනිසකුගේ....
කුණා‍ටුවක් මෙන් වියරුව විසිරී පැන ගිය වනය දිගේ....
හිඟා කකා ඔබ ගෙමිදුල වෙත ආ යාචක ලඳක වගේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවන්නේ...
ගුම් හඬ දීගෙන දිව යන දිය ‍රැළි වැලි මත වියැලෙන්නේ...
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...


ටී ජී ඩබ්ලිව් ද සිල්වාගේ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" නවකථාව ඇසුරෙන් 1966 දී නිපදවූ චිත්‍රපටයට, කරුණාරත්න අබේසේකරයන් රචනාකොට, රොක්සාමි මාස්ටර් යෙදූ සංගීතයට, ජී එස් බී රාණීයන් ගායනා කල ගීයක්....

Read More!

ශ්‍රී පා වඳිමූ මුණිගේ...

සිරීපාදේ වන්දනා කල කාලයක් මතකේ නැත... මතකයේ නො‍රැ‍ඳෙන තරම් කුඩා කල, කා අතටවත් මාරු වීමට අකමැති වූ මා කරපින්නාගෙන අප්පච්චී සිරිපා කරුණා කල වග අම්මා මා සමග පවසා ඇත... (උන්දෑට පින් සිද්ධ වෙන්න ඕනැ එහෙමවත් සිරිපා කරුණා කෙරෙව්වට මාව...!) ආතරයිටීස් සෑදීමට පෙරාතුව ඉස්මන් කලයුතුය... දේශාඨනයේ ඇල්මක් ඒ හැටි නැති වුවද වන්දනා ගමනක් ලෙස බොදුනුවෙකු යායුතුම ගමනක් ලෙස සිරීපාද වන්දනාව මට හැ‍ඟේ... සමනල කන්ද තරණය කොට සිරිපා වන්දනාවේ නොයෙදුනද, බොහෝ දුරින් සමනොළ ගිර දැක ඒ දසුනෙන් සිත පිනාගිය අවස්ථා කිහිපයක් හිතේ ඇත... දුරුත්තෙහි පැහැදිලි වන ආකාසයත් පරිසරයත් නිසා සමනොළ කන්ද බොහෝ ඈතට දිස්වේ... සපුගස්කන්ද යන්ත්‍රාගාරයේ වැඩ කරන සමයේ පාන්දරින් එළියට බහින මා කැළණි පාලම හරියට එනවිට උදේ හයයි තිහට පමණ වේ... බස් රිය තුල නින්දත් නොනින්දත් අතර සිටින මා හිරුට ඉදිරියෙන් දර්ශණය වන සමණොල කන්ද වරෙක දකී...

යන්ත්‍රාගාරයේ පෙට්‍රල් නිපදවන කොටසේ ඇති උත්ප්‍රේරක පරිමාව අවුරුදු දෙකකට වරක් නැවත බලගැන්විය යුතුය... එතෙක් අපේ ගෙදර ඇත්තන් සේ (හා බොහෝ මව්වරුන් සේ) හුස්මක් කටක් නොගෙන, අවුරුදු දෙකක් එක දිගටම, දිවා ‍රැ නොබලා යන්ත්‍රාගාරය ක්‍රියාත්මක වේ... උත්ප්‍රේරක නැවත වැරගැන්වීම, ඉතාමත් පරෙස්සමින් කලයුතු කාරියකි... ඉංජිනේරුවන් දෙදෙනෙකුගේද, ක්‍රියාකරවුම්, රසායනාගාර හා නඩත්තු ශීල්පීන් විස්සක තිහක පිරිසකගේ අනලස් ශ්‍රමය මතම කෙරෙන කාරියකි ඒ... සියුම් හෝ අතපසුවීමක් රටටම බලවත් පාඩුවක් කිරීමට සමත්ය...

දවස් දහයක් දොලහක් එක දිගටම කෙරෙන මේ කාරියට ඉන්ජිනේරුවන් හය දෙදෙනෙකු වැඩමුර ක්‍රමයට යෙදවේ... වැඩ මුරය හතේ සිට හත දක්වාය... වැස්ස අඩු දුරුත්තේ යොදාගන්නා බැවින් රාත්‍රී වැඩ මුරයේදී දුරුතු හීතල සම් මස් විනිවිද යයි... වැඩමුරයේ යෙදෙන්නන්ට අමාරුම වේලාව නම් පාන්දර දෙකය... ලෝකයේම බොහෝ යන්ත්‍රාගාර වල අනතුරු සිදුවී ඇත්තේද මේ වේලාවටය... මිනිස්සුන්ට තදින්ම නින්ද යන්නේ මේ වේලාවට විය යුතුය... ක්‍රියාකරවුම් ශිල්පීන් ගේ කාරුණික තේ කෝප්පයත් බනිස් ගෙඩියත් මේ වේලාවට මසුරන්ය... පාන්දර තුන හතර වන විට කිලෝමීටර් හත අටක දුරක් යන්ත්‍රාගාරය තුලම උඩ පල්ලෙහා ඇවිද හමාරය... කම්කරුවන් එහා මෙහා වූවා කියා ඔවුන් එනතුරු ඒ කාරිය කිරීමට රසායන ක්‍රියාවලිය ඉඩදෙන්නේ නැත... සෝඩියම් කාබනේට් මුට්ට ඔසවාගෙනවුත් දියකර පොම්ප කලයුතුය... රසායනාගාර ශිල්පීන්, පෑ භාගෙන් භාගෙට සාම්පල් දැමිය යුතු සාම්පලය, වේලාව එහාමෙහා කොට පැයකට වරක් දැමීමට දරන මාන බැලීම්ද, උකුසු ඇසින් බලා සිට, අප විසින්ම සාම්පල් දැමීම කළ යුතුය...

වෙවුලන දෙපාවල තෙහෙට්‍ටුව වලකාලීමට මෝටර් පාදමක් මත, තහනම් වුවද, මදක් වාඩිවෙමි... හිස පහතට නැඹුරුවී ඉබේම නින්ද යාමට එයි... නැගෙනහිරින් එන ලාහිරු කදම්බය භාගෙට පියවුණු ඇසි පිය මත ලාරත් පහැයක් ඇතිකරයි... ඉබේම දිගහැරෙන ඇසිපිය, ඉදින් ඒ සුන්දර දසුන නෙත ගැටීමට සලස්වයි ... සිත තුල ජණිතවන අප්‍රමාණ භක්තියත්, ඒ මණස්කාන්ත දසුනත් නිදිමත සැබැවින්ම පළවා හරියි...

-----------------------------------------------------------------------------------------------------------------------
වසර කිහිපයකට පසුව නැවතත් සිරී පාදය අමුතුම කෝණයකින් දු‍ටුවෙමි... ඒ, අප වැනි බොහෝ දෙනෙකුගේ දාඩිය මහන්සියෙන් පෝෂණය වූ ලංකාවේ තෙල් ව්‍යාපාරයෙන් කොටසක්, ලංකාවේ මිනිසුන්ගේම සල්ලිවලින් මිලට ගත් ඉන්දියානු සමාගම සමග චීන වරායට ගිය ගමනේදීය... රාජකාරිය නම් අනූනම අවුරුද්දකට අත උඩින් බද්දට දුන් චීන වරාය තෙල්සංකීර්ණයේ ඔවුන් කර ඇති "සංවර්ධන කටයුතු(?)" නිරීක්ෂණය කොට, තවමත් බලාත්මක නැති ගිවිසුම නැවත ලිවීමේ කටයුත්තය... රත්මලාන ගුවන් තොටින් අහසට නැගි සැනින් සිරී පාද කන්ද දිස්වුණි... මා ඉදිරියෙන් අසුන් ගෙන සිටි එකල සමාගමේ ප්‍රධාන විධායක වූ රාමක්‍රිෂ්ණන් මහතාට මා එය සුරතින් පෙන්වීමි... Is that Adam's Peak..? ඔහු මා නැවත විචාලේය... මා හිසින් පිලිතුරු දුනිමි... මගේ අපුල පරයා සිරී පාද කන්ද පෙරමෙන්ම උපේක්ෂාවෙන් මණස්කාන්තව පෙරඹර නැගී තිබුණි...

ශ්‍රී පා වඳිමූ මුණිගේ..... ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්....
නිරිඳා දිලිඳා එකසේ....
සිතලා සැනසු දෙසූ සදහම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....

මේ ඝොර සසරේ... මහ ඝණ අඳුරේ....
තැවුණ පාපී දනා.... තැවුණ පාපී දනා....
මෙත් ගඟ නාවා... සිත් මග පෑවා....
මාරජී භගවා.... මාරජී භගවා....
පය ධූලී සේ සලකා... රාජ සෞභාග්‍යාතැරි නරදම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....

පේරුම් දම් පුරා, මරුන් මන් මරා....
අනර්ඝ මෝක්ෂේ ලැබී... අනර්ඝ මෝක්ෂේ ලැබී...
ලෝහිමි ධර්මේ සදාය සාමේ....
තුන්ලොව තාම වඳී... තුන්ලොව තාම වඳී...
ශ්‍රී පාමුල ලෝ හිමිගේ.... ශ්‍රී පාමුල ලෝ හිමිගේ....
මගේ හිස පාපිස්නකට පුදම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.... ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....

ගීතය අහන්න...

හින්දි තණුවකට අනුව කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත මේ ගීය සංගීතය යොදා ගායනය කරමින් සිසිර සේනාරත්නයන් නිර්මාණය කර ඇත්තේ 1956 දීය...
Read More!
 
Blogger Wordpress Gadgets