සුනිල් වන් නුවන් යුග...

සියපත ලියන සන්සරනිඳු මල්ලි අන්තිම පෝස්ට් (හිත කම්පා වෙන) එකෙන් පස්සේ තාම වචනයක් නෑ... අනේ මන්දා ඒ කොලුවා පව් අප්පා... එයාගේ හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙක් එයා වටේ රොක් වෙලා එතනින් මෙහාට එන්න අත දෙන්න සූදානමින් ඉන්නවා... මල්ලියාගේ සද්දයක් නෑ... අපිටත් දුකයි ඉතින්... එතන ඉන්න සමහර අය, ඔය වාගේ ප්‍රස්න වලට මූණ දීලා එතනින් ගොඩ ආපු ආය... ඒ නිසා ඒ අයගේ උපදෙස් වැඩක් වෙන්න පුලුවන්... කවදාවත් කසාද බඳින්නෙ නෑ කියල හිටපු මට, ඒ සුනිල් වන් නුවන් යුග, ඇස ගැ‍ටුන වෙලාවේ ඇති කරගත්තු අධිෂ්ඨානය, වරදක් කලේ නෑ... කවදාවත් විසදන්න බැරි ප්‍රස්න ගොඩක් නිසා "ඕක නවත්තන්න බැරිද.." කියලා අප්පච්චි ඇහුවහම "මොකටද..." කියල හිතින් කියලා බම්මන්නෙක් වාගේ හිටියා... වටිනා දේකට තිබ්බේ රස්සාව විතරයි... දෙන්නගේ විස්වාසයත් ආදරයත් අහස උසට තිබ්බා... අද වෙනතුරුත් පලුද්දක් නොවුනු.... ඇත්තටම එතකොට ප්‍රස්න වලට මූණ දෙන්න අමුතු ගැම්මක් එනවා නේ...? මාරයා මල්ලි කියන්න වාගේ අද වෙනකල් කිසි කෙනෙකුට අත පාලා නෑ... "චේතනා පරිශුද්ධ වේනම් පෙම් සටන් පරදින්නේ නෑ" කියන්නේ විහිලුවටම නෙමෙයි....

සුනිල් වන් නුවන් යුග වසා උතුර උතුරා...
ගැලූ කඳුලු ගං ගාවේ ඇය දැන් කිඳීලා....
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...

මට මේක දඟ ගේකි දෙන වේදනාවන් ...
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්...
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්...
සුවසෙත පතා දෙන්න ආසිරි දයා වෙන්...

රජ දහන වැලි කතර වුව උරුම වේනම්..
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්...
මගේ ජීවනේ ගීයේ ඇගේ හඬ නොවේනම්. ..
හද වෙණෙහි සත්සර සදා ගොලු වුණාදෙන්...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

41 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

mage jathika geeya

Raven said...

සන්සරසිදු යාලුවා ගැන කණගාටුයි ඇත්තටම. මමත් බලන් ඉන්නවා උගෙන් උත්තරයක් එනකම්.ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්න එක්ක හැප්පිලා දිනලා එදා සටන අත් නොහැරපු නිසාම අද ලොකු සතුටක් විඳින එකෙක් තමයි බන් අයියෙ මමත්.

මේක නම් අහල තියනව. නියම ගීතයක්.

මාරයාගේ හෝරාව said...

අඩෙ.. මම එක වෙලානේ..

Bandula - බන්දුල said...

"මගේ ජීවනේ ගීයේ (ඇගේ) හඬ නොවේනම්. ..
හද වෙණෙහි සත්සර සදා ගොලු වුණාදෙන්..."
එහෙම කියන්න ඇති! මම නෙමේ; එයා. සත්තයි මචං 'හද වෙණෙහි සත්සර සදා ගොළු වුණා'! මගේ නෙමේ; එයාගෙ. සහගහනකම් බලාගෙන ඉන්නවා මචං.

wath said...

ලස්සන ගීයක්......

මිගාර said...

මේක නිතරම වෙන සෙල්ලමක්. මමත් මුහුණ දීපු අත්දැකීමක්. මේ කතාව ලියැවුණේ ඒ ඔස්සේ.

සින්දුව නම් යුග යුග පවතින එකක්. සුනිල් ආරියරත්නයන්ගේ සොදුරු බව මේ ගී තුළින් මනාව පේනවා!

ජීවිතේමල් said...

මා ආසම ගීයක්..... සෝමතිලක ජයමහ කියන්නේ අපූරු කලාකරුවෙක්..අපූරු හැකියාවක්....

යෝගී... said...

ඇති යාංතං මතක් උනා.

ඉඳලා ඉඳලා මගුල් පෝරුවක් දාලා තියෙන්නේ , අක්ක ෂුවර් එකටම ටිකක් තදට කතාකරන්ඩ ඇති ඊයේ..

බම්මන්නෙක් වාගේ හිටියා කිව්වේ.. දැනුත් ඊ‍ට වැඩි වෙනසක් පේන්නෙ නෑ නෙව ලොකු අයියේ.

ඉතාම ප්‍රබල පද රචනයක් ..

ඉතාම අඩු වාදන භාන්ඩ ප්‍රමාණයක් උපයෝගී කරගෙන සෑම විටම ගීතයක උපරිම රසයක් ලබාගන්නට හැකියාවක් ඇති ගායකයෙක්..මේ ගීතය එතරම් ම නැති වුවත් සමහර ගීත වල ඔහුගේ හඬ ත් තාල වාදන භාන්ඩයක් ලෙස තබ්ලාවේ එක් කොටසක් ( බා එක ) පමණකුත් තව භාන්ඩ දෙකක් පමණ ගෙන අපූරුවට මිශ්‍ර කරපු අවස්ථා තිබෙනවා..

බොහෝ විට සංගීත භාන්ඩ ගීතයේ රසයට උපකාරයක් ලෙස පමණක් ගෙන , ගායකයාගේ හඬ ඉස්මතු වෙන විදියට ගැයෙන ඒ ගී අපේ ඉතිහාසය අහුලන සංගීතකාමී සැමට ම වටිනා මුතු අහුරක් වේවි..

-ජය

විහඟ ගීතය said...

හදේ පිපෙන ආදරය මෙසේ සුවද දේනම්
සිතේ සතුට එයමයි, නැතේ වේදනාවන්
පොතේ ඔහොම තිබුනත් , ලොවේ බෝ දනෝ දැන්
හදත් නෑ.. වෙණත් නෑ... ඔහේ ගොලු වෙලා මෙන්

sansarasidu said...

මොනව කියන්න ද කියල මට ම තේරෙන්නෙ නෑ තිස්ස අයියෙ...
ආදරය කියන්නෙ මේ ලොකේ තියෙන සංවේදීම දෙය... මන්දා මට නම් ඒක එහෙමමයි...
අයියෙ තීරණය තියෙන්නෙ මගේ අතේ නම් මං ඒ තීරණය අරගෙන ගොඩාක් කල්...
ඒත් මට එයාට බල කරන්න බෑ...
අම්ම තාත්තට විරුද්ධ වෙල නන්නාඳුනන මා එක්ක එන්න කියල මට එයාට බල කරන්න බෑ..
ඒ තීරණය ගන්න ඕන එයා...
මොකක්දො අහේතුවකට........ ඒ තීරණය ගන්න බැරිවයි එයා ලතවෙන්නෙ...

මගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා.. තිස්ස අයියෙ, මං මේ පැත්තෙ ආවේ නිකමට... ඔයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාගෙ ඊ මේල් ලිපිනය හොයාගන්න කියල...

ඒත් මේ සිංදුව අහල මට ආයෙම දරාගන්න බැරිවුණා...
මේ සිංදුව මං හැමදාමත් ආස කළ එකක්...
අනෙක සෝමතිලක ජයමහ කියන්නෙ මගේ ප්‍රියතම ගායකයා...
එතුමගෙ සරල ගී වලට මං එදා ඉඳලම හරි ආසයි...

ඇත්තටම මට මේ සිංදුව මගේ වෙන්ඩ (සිටි) මාමට කියන්ඩ හිතෙනවා....

ස්තූතියි අයියෙ මේ ලෙංගතුකමට....

sansarasidu said...

"චේතනා පරිශුද්ධ වේනම් පෙම් සටන් පරදින්නේ නෑ" කියන්නේ විහිලුවටම නෙමෙයි....

අපි බලන් ඉඳිමු අයියෙ... මොකද මමත් තදින් ම විශ්වාස කරනවා.... ඒ කතාව...

roylyfernando said...

අනේ මන්දා මමත් හැම පොස්ට් එකක්ම බලන්න ආවත් දාන ඔක්කොම සිංදු මම අහලවත් නැති ඒවා වුනත් හැමදාම මුකුත්ම නොලියා යන්න හොඳ නෑනේ. ආවා කියලා හරි ලියලා යන්න ඕනනේ. ඔන්න මමත් ලිව්වා :)

රවා said...

tissa ayiyaa niyama sindhuwak.. patta waedak naehae kathaa karalaa mama sanaa ge post eka balala ennam...

Pali said...

මේක මම ඉතාම ගරු කරන ගායකයෙක්ගෙ ආසම ගී දෙකෙන් එකක්....අනෙක ඔහුගෙ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" කියන ගීතය. ඒකට හේතුව සමහරවිට තබ්ලා හඬ සමග සුසංගතව ගලා යන ගී දෙකක් නිසා වෙන්න ඇති.

නිබඳවම හද වෙණෙහි තත් පිරිමදිමින් මියුරු සර නංවන ඇයයි, මගෙ ජීවනේ ගීයෙ හඬත් තනුවත්.

Anonymous said...

තිස්ස මහත්තයෝ....

හ්ම්....ලස්සන සින්දුවක්....

සන්සරනිඳු මල්ලියාත් ඇවිත් ගිහින්....මම මෙහෙම ප්‍රාර්ථනා කරන්නම්..
"සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්....."

යහළුවනේ...

මල් මඳහස රැඳුනි දෙතොලේ ...නැවත බලන්න...පසු සටහන ප්‍රමාද උනා නෙව...

මේ
සුලා..

දයියා said...

ගීතයකට පුළුවන් ජීවිත ගමනක් අනික් පැත්තටම හරවන්න.අත්දැකීෙමන්මයි කියන්ෙන්. හැබැයි අද තිෙයන හරසුන් ගීත වලින්නං බෑ. ෙම් වෙග් ෙහාඳ ගීත වලින්.

දිල් said...

ස්තුතියි අයියේ...

සදුන් මල්ලි එක්ක ලිපි හුවමාරුවක් සිදු උන නිසා එයා හොඳින් ඉන්නවා කියලා නම් මම දැනගෙන උන්න තිස්ස අයියේ...කතා කරන්න ඕනෙ වෙලාවක.ඒත් කොල්ලගෙ හිත නිදහස් වෙනකම් මම කතා කලේ නෑ කරදර කරන්න. ප්‍රශ්ණවලින් ඔළුව පිරිලා තියෙද්දී ටිකක් සද්ද නැතුව ඉන්න එක හොදයි නෙ....අපි ඔක්කොම ඒ මල්ලි වටේ ඉන්නවා කියන එක එයා දන්නවා.. යම් යම් හේතු නිසා බ්ලොග් එකේ එයා මුකුත් ලියන්නේ නෑ...ඒ නිසා අපි බලාගෙන ඉමු..එයාට වරදින්නේ නෑ කවදාවත්....

Octa HeliX said...

හිතට වදින ගීතයක්. පහුගිය දවස් ටිකේ වගේම දැනුත් මම දවසට 10 පාරකට වඩා අහනවා.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මමත් ආස කරනම ගීතයක් හරිම අපූරුයි හුගක් දෙනාගේ පුද්ගලික ජීවිතයට සම්බන්දයි මට පේන හැටියට

RanDil said...

අයියේ!!!!

ඔඔයා සටහන් කරන බොහොම ගීත කියවනවා මම. ඒත් ඇවිල්ලා ගියා කියලා බොරුවට ලස්සනයි කියන්න බැහැනේ. ඒ ගොඩක් සිංදු මම අහලා නැති ඒවා. බාගත කරගෙන රසවිඳින්න තරම් වෙලාවක් නැහැ ඔෆිසියේදි මට. ඒත් මේ ගීතය දැක්කම නම් ලියන්න පුළුවන් ගොඩාක් දේවල්. ඒ දවස් වල අප දෙන්නටත් ගොඩාක් හිතට දැනුනු ගීතයක් මේ. මම දන්න විදිහට නම් සෝමතිලක ජයමහ මහත්තයාමයි මේ ගීය රචනා කරලා තිබෙන්නේ නේද? මේ ගීය කවදාවත් වයසට යන්නේ නැහැ. ඒ හැකවදාවත් මේ වගේ පෙම්වතුන් පෙම්වතියන්ගෙන් ලෝකය හිස් නොවන නිසා.

හැබැයි "හොඳ හොඳම දේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ. සිත ඉර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි ප්‍රේම තර‍ෙඟේ දිනුනේ" කියලාත් සිංදුවක් තියෙනවානේ නේද අයියේ. සන්සරසිදු මල්ලිට මට කියන්න තියෙන්නේ ඒ සිංදුවේ තියෙන දේ සහතික ඇත්ත කියලායි. ඒක නිසා හිත බිඳ ගන්නේ නැතිව ඉන්න මල්ලි. ඔයා මෙතැනට එන බව දන්න නිසායි මේවා මෙතැන ලිව්වේ.

මින්දද said...

ආදරයත් කදුලත් අතර තියෙන්න කොච්චර පුංචි වෙනසක්ද... ඉතාම වාසනාවන්ත කීප දෙනෙකුට විතරයි තමන්ගේ පලමු ආදරයම විවාහයෙන් ස්ථීර කරලා ජීවිත කාලය පුරාවටම ලබාගන්න අවස්ථාව උදාවෙන්නෙ...

මේ ගීත බොහෝමයක්ම මගේ ගාව තිබුනත් අයියගේ පෝස්ට් එක කියවලා ආයෙමත් අහද්දි පුදුමාකාර අලුත් රසයක් විදිනවා. ඒකට අයියට ගොඩක් ස්තූතියි.

sansarasidu... ඒ සහෝගේ කතාව මම දැනුයි කියෙව්වේ. ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක් තමයි. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක ඒ ලෙවල් ලියනවටත් වඩා අමාරුයි. අපි හැමෝම රසිදු ගාව ඉන්නවා. අපිට කරන්න පුළුවන් හැම දෙයම රසින්දු වෙනුවෙන් කරමු.

මම said...

හප්පච්චියේ අද දවසම මේ සින්දුව අහලා දැන් තමාම්
මේ වහලා දැම්මේ.
ඔන්න එහෙනම් මාත් ආවා අයියේ ඔයාව බලලා යන්න.

punchisamanalee said...

සමනලීත් ඔන්න ආසා ගීයක්.... ස්තූතියි පල කලාට.....

Anonymous said...

ලoකාද්වීපයේ අනාගත ඔටුන්න හිමි මගේ එකම පුත්‍ර රත්නය වූ සාලිය මා ඉදිරියේ අවසන් විනිශ්චය අපේක්ෂාවෙන් දන ඔබා බලා හිඳී…අශෝක මල් වනයේදී මුලිච්චි වී සිත් පැහැරගත් මාලාවන් පිළිබඳ වූ කතා පුවත මා ඉදිරියේ පාපොච්චාරණය කළ ඔහු ඇයව ආවාහ කරගැනීමට අවශ්‍යය බවත් ඇගේ රූ සපුව,ඇගේ සෙනේහය ඉදිරියේ උරුම වීමට ඇති ලoකාද්වීපයේ කිරීටය පවා අත හැරීමට වුවද සූදානම් බවත් පවසනු තෘෂ්නීභූතව බලා උන්නෙමි…ඔහුගේ වචන වල ගැබ් වී තුබූ ස්තීර සාර භාවයත් දෙනෙතේ වූ විශ්වාසනීය බැල්මත් හේතුවෙන් මම ඔහුට පරාද වීමි…නමුදු සාලිය වනාහි මාගේ එකම පුත්‍ර රත්නයයි…ලoකාද්වීපයේ අනාගත බලා පොරොත්තුවයි…උදහස් වූ මාගේ සියොලඟම තරහවෙන් දැවෙන්නට වූයෙන් සිහසුන මත හිඳිනු නොහැකිව සැණින් නැඟීයෙමි….

රාජ සභාව නැගී සිටිනුද භයෙන් බිරාන්තට්ටු වී “අල්පෙනෙත්තක් වැටෙනුද ඒ ශබ්ධය ඇසෙන තරම් වූ නිස්ෂබ්ධතාවයක ගිලෙනුද එකවර සිදුවූයෙන් සාලියගේ මුවින් පිට වූ අවසන් වදන් පෙල යවුල් මෙන් මගේ සවන් පත් අතර රැව් දෙන්නට විය.කිහිප විටක් සක්මනේ යෙදුණද සිත එකලස් කරගත නුහුණුයෙන් කෙළවරට වන්නට වූ පළිඟු කවුළුවෙන් ඇතුළු නුවර දෙස එබී බැලිමි….

ජයශ්‍රීමහා බෝ සමිඳුන්ගේ බෝ පත් මඳ සුළඟේ නැලැවෙන අයුරුත්,ගොඩනැගෙමින් පවතින බුබ්බුලාකාරික වූ රන්මැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතුවල යෙදෙන මහ සෙනග යුහුසුළුව වැඩෙහි යෙදෙනුත්,ලෝවාමහා ප්‍රාසාදයේ දන් ශාලාවට මාගේ පුතණුවන් වහන්සේලා දනට වඩිනුත් යන මoගල්‍යයමය වූ දර්ශන පෙළ හේතුවෙන් මාගේ සිත නිවී පහන්වෙනුත් අත්වින්දෙමි…පහන් වූ සිත් ඇතිව දෑත් නළලේ තබා ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වන්දනා කෙලෙමි…

තවත් නොසිතාම තෘෂිනීභූතව ගිය සෙල් පිළිම සමූහයක් වන් වූ රාජකීයයන් ඉදිරියෙන් ගොස් නැවත සිහසුනට වන්නෙමි..රාජමාතාවන් වූ වෙහෙර මහා දේවීන් මගේ දකුණුපස වූ ආසනයේ විජරාමාණව වගකුදු නැතිව නිසොල්මනේ ශාන්තව මා දෙස බලාහුන්නාය..මගේ සිත හොඳින් හඳුණන ඈ කළබල නොවූයේ ඒ නිසායැයි හඟිමි…

----------------->ඉදිරියට

සුලා..

Anonymous said...

හිටි අඩියේම “කළු එතනා”පිළිබඳ වූ මතකය අවදිවූයේ මන්දැයි සිතාගත නුහුණුව රාජ මහේශිකාව වූ රන් එතනා දෙස බැලීමි…සිය පුතුගේ ක්‍රියා කලාපය හේතුවෙන් උරණව සිටින ඇගේ මුහුණට අබ දැම්මාට පුපුරණ තරම් වූ එකක් වූයෙන් බාදකයන්ට ඉඩ නොතබාම ඉවත බලා ගතිමි..පියා සමග උරණව පලා ගොස් එතනලාගේ පැලේ මා හුන් අවදියත්,ඒ අවදියේදී කළු එතනා මා කෙරෙහි දැක්වූ අපරිමිත කරුණාවත්,ආදරයත් මා සිහසුන බාරගත්තායින් පසු ඈ කැන්දන් එන්නට පයිoඩ කරුවන් යැව්වද ඈ මගහැර සිටිණුත් රන් එතනා එක පයින් රජවාසලට පමිණෙනුත් සිතුවම් පටක් මෙන් ඇති වී නැති වී යනුද එකිනෙකට බොහෝ වෙනස් රන් එතනා,කළු එතනා සහ මම යන ත්‍රිත්වය අතර වූ ආදර බැඳීමත් සිහිවී තෘප්තිමත් හැඟීමෙන් මා වෙලීයනු දැනීමෙන් මා පුතු පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීමට තරම් සිත සන්සුන්වනුද ආශ්වාදනය කෙළෙමි…

සාලිය හා මාලාවන් අතර විවාහය සඳහා පියෙකු වශයෙන් මා ආශීර්වාද කරණ බවත් විවාහ මoගල්‍යය වහ වහ සූදානම් කරන ලෙසටත් අණ කොට ම’මෑණියන්දෑ දෙස බැලිමි..ඈ සුන්දර වූ මන්දස්මිතියෙන් මා අනුමත කරණුත් අපරිමිත සතුටින් සාලිය කුමරුන් විසින් මාගේ දෙපා අල්ලා නමස්කාර කරණුත් දැක තුටු වූයෙමි…

දෙවනුව මා ලoකාධිශ්වර ලෙස සිහසුනෙන් නැගී සිටියෙමි..මේ විවාහය හේතුවෙන්ම ම”පුතණුවන්ට කිරීටය අහිමිවන බවත් යුවරජ තනතුර මාගේ සෙවනැල්ල බඳු වූ “තිස්ස” මලණ්ඩ පත් කෙරෙනු ඇති බවටත් විධාන කොට මෑණියන් නැමැඳ ශ්‍රී යහන් ගැබට වන්නෙමි…

------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉහත විස්තරය වූකලී ඉතිහාසයේ මා අසා කියවා ඇති සාධක ඇසුරින් නිර්මාණිත කල්පිතයකි…ඉතිහාසය විකුර්ති නොකෙලෙමි….සැබෑ සිද්ධීන් දැන ගැනීමට අවශ්‍ය නම් මාහාවoසය හෝ ථූප වoසය වැනි කෘථියක් පරිශීලනය කරණු මැනැවි…

----------------------------------------------------------------------------------------------------------------------------

මෙය ලිවීමට සිත් වූයේ ඉහතින් මේ අඩවිය හිමිකරුවා විසින් සඳහන් කිරීමට යෙදුණු ගීතයත් ඊට නිමිත්ත ලෙස සඳහන් කොට තිබූ අපගේ සන්සරසිඳු සහර්දයාගේ කතා පුවතත්ය..

----------------------------------------------------------------------------------------------------------

සන්සරනිඳු මලේ……මාමණිඩියට කියාපන් ‘දුටුගැමුණු’වගේ තාත්තා කෙනෙක් වෙන්න කියලා…(ඔන්න උඹට ගුටි කන්න උනොත් මම් නම් නැහැ..හොඳේ….)


සුලා..

wath said...

කළු එතනා සිහිවී හද මඩල අඬනවා
සිහසුන තරමට නැති මුත් නුඹව වටිනව
සාලිය මගෙ පුතුනේ නුඹ මා හඩවනවා
මටත් වඩා රජෙක් වුනා නේද සිතෙනවා

Anonymous said...

සුවහසක් සිoහල ගීත අතර මගේ ප්‍රියතම ගීතය ත් අයිති සෝමතිලක ජයමහ මහත්මයාටයි...ඒ ගීතයත් උක්ත කාරණාවට සම්බන්ධතාවයකුත් තිබේ...

නවදැළි හේනක..පෑව වැඳිරි රුව...
ලෙස උවණින් දෙනුවන් රවටා...
මා පෙම් කළ ජනපද කල්‍යණිට..
හිමියෙනි මට කළ නොහැක නිගා...


සුලා..

Anonymous said...

ඔව් වත්සලා.....දුටුගැමුණු නරනිඳු එසේ සිතන්න ඇති....නමුත් ඉතිහාසය විසින් ඔහුට වැදගත් රාජකාරියක් පවරා තිබුනා....

සුලා....

දුකා said...

ආසම ගීතයක් සමඟ බැඳුනු මේ අපේ සහෘද කැලගේ වටිනා අදහස් ටිකත් සමග මේවා මේ විදිහට විඳින්න නම් හද ගී පොතට ම එන්න ඕන . . ..

ජය වෙවා තිසා සුලා ඇතුලු හැමට . . ..

Pali said...

ඔන්න සුලා උඹ අපේ ඉන්ද්‍රජාලිකයා මවපු පූජාසනය උඩ තවත් පහණක් දැල්වුවා. ආදරය, දයාව, මනුෂ්‍යත්වය වගේම ඓතිහාසික වගකීම්, ශ්‍රේෂ්ඨ නායකත්වය වැනි ගුණාංග පිරි අපේම නරපතියෙක්ව අපි දැක්කා ඒ පහන් එළියෙන්.

චේජනා said...

සුලා,
සුන්දර ම ලියවිල්ලක්...
උදේ පාන්දරම කියෙව්වෙ, අතිශයින්ම සුන්දරයි..

පාලි අය්ය කියනව වගෙම..

"ආදරය, දයාව, මනුෂ්‍යත්වය වගේම ඓතිහාසික වගකීම්, ශ්‍රේෂ්ඨ නායකත්වය වැනි ගුණාංග පිරි අපේම නරපතියෙක්ව අපි දැක්කා ඒ පහන් එළියෙන්."

Anonymous said...

හිතවත් වත්සලා,දුකා,පාලිත,චේජනා.....

.....උඹලගේ මනුස්සකම් වෑහෙන ලෙoගතුකම් හමුවේ...ආදරය, කරුණාව,මනුශ්‍යත්වය ගැන පිටු ගනන් ලියන්න හිතෙනවා සහෝ....

සුලා....

විශ්මි said...

දරන්න බැරි තරම් ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තමයි අයියේ අපිත් අද මේ තරම් සතුටක් විඳින්නෙ...... හුඟ දෙනෙක් ආදරය අවසන් කරන තැනකින් අපි ආදරේ පටන් ගත්තා.... සන්සරසිඳු අයියට කියන්න තියෙන්නෙ තමන්ගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න .... හැමදෙයක්ම හොඳ අතට ඉබේම හැරෙයි..... මම හෝ ඇය නෙවෙයි 'අපි' හැටියට තීරණයක් ගන්න කියල තමයි........


ගීතය නම් කලින් අහල තියෙන හුඟක් ආස කරන ගීතයක් අයියේ......

සුලා අයිය නම් වෙනදා වගේම අපිව වෙනම ලෝකෙකට අරන් ගියා අපූරු වචන හරබයකින්.....

ගල්මල්-Coral said...

සොයුරේ සුලා,
තමුන් සිහල අකුරු කොටන්න පාවිච්චිකරන සොෆ්ට්වෙයර් එක කුමක් ද කියන්න පුලුවන්ද?

Anonymous said...

@ගල් මල්-Coral,

ඉස්කෝල පොත

සුලා...

kandulu kumari said...

මේ පෝස්ට් 1 දැක්කම මුකුත් නොලියා යන්න හිතුනෙම නැ.සොමතිලක ජයමහ මහත්මයගෙ ගීත වලට මම වශී උනේ උසස් පෙල කරලා ගෙදර ඉන්න කාලෙ....

එත් අද මෙ ගීතය මෙ තරම් සමීපව දනුනෙ මෙ දවස්වල මගෙ මිතුරු මිතුරියන් කීප දෙනෙක්ම මුන දීල ඉන්න තත්වෙත් මීට නොදෙවෙනි නිසා....මෙ වෙලවෙ මෙ පොස්ට් 1 එයල දක්කා නම් ඇස් වලට කදුලු නැගෙන බව මට හොදටම විශ්වාසය....................එ මොකද මිතුරන් වෙනුවෙන් ඔනවටත් වඩා සන්වෙදි වෙන මගෙ දැස් වලටත් කදුලක් නගුන නිසා...........
හොදම දේ මොකක්ද කියන්න තරම් මම පරිනත නොඋනත් මගෙ මිතුරන්ට උනු දෙ නම් ඔබට වෙන්න එපා කියලා එක හිතින්ම පතනවා සන්සරනිඳු සහොදරයාට .............

මෙවැනි ලස්සන ගීත තවත් අපට ලන් කරන්න ඔය අත් දෙකට ශක්තිය ලැබෙන්නත් පතනවා තිස්ස අය්යෙ.........

ගල්මල්-Coral said...

සොයුරේ සුලා, කෙලෙවරක් නැති මැරතනය දුවලා අපි මෙ ඉසව්වට එන්නේ යටගියකාලේ ගම් වල උදවිය හවස් යාමෙදී ගමේ කෝපි කඩේ ලඟ රැස්වෙලා සතපහක් වගේ මූණතහඩුවෙන් විරිත්තගෙන ඉන්න වයර්ලොස් එකෙන් හයේ නිව්ස් අහන්න වගේ.

එතැනින් නොනැවතී බොහෝ දෙනෙක් මවුසයා පහතට අදින්නේ සුලා උන්නැහේ ගේ කථා පුවත කියවන්න බව අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ නොවැ. විෂය මොනවා වුනත් තමුන්ගේ ලියවිල්ල එතරම් විශිෂ්ඨයි සොයුරේ.

ඒ ලිවීම් වලදී අංක බිංදුව (0) වෙනුවට සිංහල හෝඩියේ බිංදුව යෙදෙයි නම් හොඳයි නේද සොයුරේ. මෙගැන විස්තර කරන්න තමා ඉහත දී තමුන් යොදාගන්න මෘදුකාංගය ගැන විමසූවේ (ඉස්කොලේ පොත ෆොන්ට් එක නොවැ).


පාවිච්චි කරන්නේ UCSC online නම් සිංහල හොඩියේ බිංදුව සඳහා \n යොදන්න. උදා:
na\ngaa => නංගා
ga\nnngaa => ගංඟා
aDa\nguvana => අඩංගුවන

බැලූ බැල්මට ටිකක් අමාරු වගේ පෙනුනත් බිංදුව කොටන එක ලෙසියි. අනික් මෘදුකාංග වල key mapping උපකාරයෙන් බිංදුව සොයගන්න පුලුවන්වේවි.

(මෙගැන මං සටහනක් තැබුවාට අමනාපයක් අතිවෙන එකක් නැහැ කියා සිතමි, අපි භාෂාවේ අලංකාරයත් රකින්න ඕනෙ නොවැ)

ස්තුතියි සොයුර

Anonymous said...

@ගල්මල් _Coral

මම ඇත්තටම උත්සාහ කලා ඔය පුරස්නෙ විසඳගන්න...ඉතින් ඕං ඒකාරියත් ගල්මල් _Coral මහත්තයා විසඳලා දුන්නා නෙව...(ඕං එහෙනම් හරිය...??)

උඹට ගොඩාක් පිං සහෝදරයා...

සුලා..

ගල්මල්-Coral said...

@සුලා:
එය සුළු දෙයක්.
බොහෝම ස්තුතියි සොයුර නුඹේ වදන් ම සිත සැහැල්ලු කලා.

හරී said...

මේ ගීතය ලියා තියෙන්නේ සෝමතිලක ජයමහ මහතාමයි, මතක විදිහට තනුවත් ඔහුගේ

තිස්ස දොඩන්ගොඩ said...

@හරී: ඔබ "සෝමතිලක" රසවතෙක් වාගෙයි... බොහොම ස්තූතියි මේ තොරතුරු වලට....

Post a Comment

 
Blogger Wordpress Gadgets