සඳ වැසුනට, ඉර ගිලුනට, කමක් නෑ...

"මොකද අනේ මේ පාර ලඟට වෙලා කරන්නේ...? ගිනි අව්වේ...?".... "නෑ, මං මේ මොකද පරක්කු කියලා බලන්න ආවා..." "ඇයි, මොකෙක් හරි මාව පැහැරගෙන යන්න ඇති කියලා හිතුවද..." සඟවාගත් හිනාවෙන් යුතුව අඩෝවැඩිය මලු කිහිපයත් ‍රැගෙන ගෙතුලට යන්නේ මගේ සිත දන්නා ඇයයි.... කුඩා කල හැන්දෑවට නිදා අවදිවන මා, මගේ මව ලඟ නොසිටියහොත්, නොනවත්වා පැය දෙකක් පමණ එකදිගට අඬන බව (මව ඊට පසු පැමිණියත්) ගමේ අහල පහල වයසක උදවිය මා සමග පවසා ඇත... ඇත්ත... අදත් ඒ කාංසිය මටනම් දරා ගන්නම බැරි දෙයක්.... පලමු දරුවා ඉපදෙන තෙක් අවුරුද්දක් පමණ ‍රැකියාවට ගිය ඇය, දරුවා බලා ගැනීමටත් මගේ වැඩ පල බලා කියා ගැනීම පිණිසත්, එක සිතින් නිවසේ නැවතුනු අවස්ථාවේ මගේ සිත ඔල්වරසන් දුන් හැටි ඇයට ඇසුනානම්...? මා ඇය දමා ‍රැකියාවට ගොස් පැමිණියත්, ඇය මා දමා හන්දියටවත් ගොස් එනතෙක් බලා ඉන්න බැරි තරමට මගේ සිත බොලඳ වූයේ කෙසේද...? ඇගේ සෙනෙහේ සෙවණේ එසේ ගත කල කාලය නිමාකොට, ගව් දහස් දුර ගමනක් එන්නට පාර කැපුණේ කෙසේද...? හිත් පිත් නැති මේ කාබන්, සිලිකන් අංශු හරහා ගොඩනගාගත් කව්ලුව නොවන්නට, මා නරුමයකු, සල්ලාලයකු වන්නට හොඳටම ඉඩ තිබුණි....
මේ දවස් කිහිපය ගතකිරීම ඉතාම අසීරු වීගෙන එයි... නියමිත නිවාඩුව කල් නියමයක් නැතුවම ඉස්සරහට යන සැටියෙකි... යාම ගැන කල්පනා කරන විට ඒම ගැනද සිහියට ඒ... ඒ සිහිලැල් උරමඬලේ මුහුණ හොවා, කප්පරක් කඳුලු වලින් නහවා නැවතත් මෙහි ආපසු ආයුතු බව සිහියට ඒ... තනියට ඇත්තේ ඈ එවූ හසුන් පත් පමණි... ඒවාද විටෙක මා අන්ත අසරණ භාවයකට පත් කරයි....

මේ එයින් එකක මා ගැන ඈ...

"උන්මත්තකයාය ඔබ...
නිබඳ මවෙත දැවටී සිටින...
හිතුවක්කාරයාය ඔබ...
ඇසිල්ලකින් කෝපවන...
සෙනෙහෙවන්තයාය ඔබ...
ජීවිතය පුදා මා රකින....
යාචකයාය ඔබ...
නොසන්සි‍ඳෙන ආදරය අයදින...
හිමි සඳුය ඔබ... මගේ දිවිය...
ආදරයෙන් පුරවාලන... "

ඒ ආදරය වෙනුවෙන් කව් ගී ගොතන්නට මට නොහැකිය...
අනුන් ලියූ, ගැයූ, ගීයක් සටහන් කරමි....

සඳ වැසුනට, ඉර ගිලුනට, කමක් නෑ...
මල් වැ‍ටුනට, තරු නිවුනට, කමක් නෑ...
ඔබ ආයේ දකින තුරු මට ඉවසුමක් නෑ...
සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ...

ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ...
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ...
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි...
ඇහුලූ මැණිකද සුරකිණ එක එයිට අසීරුයි.... සොඳුර...
එයිට අසීරුයි....

ඔබ සිටින පාලු සොහොනක් වුව මට හොඳයි කියා...
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා...
මුලු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ...
ඒ මොහොතක මගේ අවසානය ලඟා වුනාවේ... අවසන්
හුස්ම ගියාවේ......

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

55 ප්‍රතිචාර:

Pali said...

තවත් අම්මා කෙනෙකු ඇත්නම්
ඔබයි ඒ අම්මා...සොඳුරියෙ
ඔබයි ඒ අම්මා

දිල් said...

අපි බැදීමක් හදාගන්නේ ආවාට ගියාට නෙමේනෙ තිස්ස අයියේ...සැබෑ බිරිදක් කියන්නේ සැමියෙක්ට දෙවෙනි අම්මා නේද ?

අර Pali කිව්වා වගේ " තවත් අම්මා කෙනෙකු ඇත්නම් ඔබයි ඒ අම්මා සොඳුරියේ...." කියන ගීතය ආවට ගියාවට ලියූවකුත් වෙන්න බෑ නේද

Bandula - බන්දුල said...

ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි...
ඇහුලූ මැණිකද සුරකිණ එක එයිට අසීරුයි....

ඔහොම තමා අහල තිබුණෙ. ඒත් වාසනාවටද මන්දා මැණික ඇහිලීමත් එය සුරැකීමත් නොදැනීම වුණ හා වෙන දේවල්.

උඹටත් එහෙම නේද තිස්ස?

චේජනා said...

මගේ කමෙන්ට් එක නම් ඉතින් ඔයා අර යසෝදරා සින්දුවට ලියපු කමෙන්ට් එකම තමයි..


චේජනා said...

යසෝදරාවක සියැසින් දු‍ටු සඳ..
ඇගේ සොඳුරු සිත කෙරෙහිම පෙම් බැඳ..
සමාධියෙන් ඈ වෙතම බැඳුනු සිත..
ආයාචනයක මිහිර විඳිනු මැන...
March 9, 2010 6:10 PM

RanDil said...

අනේ මන්දා අයියා මොනවා කියන්නද කියලා. ආර්ථිකේ අපිව උඩුයටිකුරු කරද්දි බැඳීම් වලට දෙවැනි තැන දීලා සල්ලි හොයාගෙන යන්න වෙනවා නේද? බැරිද දුකා වගේ අක්කාවයි බබාලාවයි ඔයා ඉන්න දිහාට ගන්න.

ගල්මල්-Coral said...

සොයුරේ පූර්විකාවේ වචනින් චවනය ගොඩාක් දැනුනි
තිරයේ වරදක්ද අකුරු බොඳවනසෙය දැනුනි

"...පලමු දරුවා ඉපදෙන තෙක් අවුරුද්දක් පමණ ‍රැකියාවට ගිය ඇය, දරුවා බලා ගැනීමටත් මගේ වැඩ පල බලා කියා ගැනීම පිණිසත්, එක සිතින් නිවසේ නැවතුනු අවස්ථාවේ..."

අමරදේවයන් ගේ වචන වලින්ම:
තාත්තා උනත්...
අම්මා නුඹයි දරු දැරියන් රකිනා...

"...ගව් දහස් දුර ගමනක් එන්නට පාර කැපුණේ කෙසේද...?"
අපි කවුරුත් අහන උත්තරයක් ලඟක නැති සේ පෙනෙන ප්‍රශ්ණය

සිසිර සේනාරත්නයන්ගේ හඬ ගීතය පදමට හිතට ගැඹුරින්ම කිඳා බස්සවනවා, කවදත් ජීව මාන මෙ ගීතය සෙනෙහෙබර "ඇය" චරිතයට ඔටුනු පලන්දනවා නේද...

තිස්ස දොඩන්ගොඩ said...

@Pali / දිල්: "සොඳුර නුඹ මට මව් වෙයන්... මතු උපදිනා සසරේ..." මං සම්බන්ධව නම්......

@බන්දුල: ඔව් බන්ධුල... කතා දෙකක් නෑ...

@චේජනා: "ඔබත් දවසක එබඳු දයාබර බිරිඳක් වේවා" යි තමා මගේ පතුම....

@Randil : ඔබත් මගේ ජාතියේමයි සොයුරිය... නිතරම "ඒ ගැන යමක් කරන්න බැරිද...?" ප්‍රස්නය නගනවා නේ...? මම ඕගොල්ලන්ගේ ඇසුරින් සිත නිවාගන්නෙත් ඒ හින්දමයි... සන්සරසිඳු ගේ ප්‍රස්නේදී ඔබ ඉදිරියට ආ හැටි ගැන මට හරි ආඩම්බර හිතුනා... සොයුරිය ඔබට මගේ ආචාරය...
දැන් ඔබේ ප්‍රස්නෙට මා හිතන පිලිතුර... දරුවන් උපන් බිමට මුල් අල්ලන්න කලින් ඔවුන් මෙහේ ගෙන ඒම මගේ චින්තන රටාවට ගැලපෙන්නේ නෑ නංගියේ... මම කොහොම හරි ඉවසන් ඉන්නෙත් ඒ වෙනුවෙන්ම තමා... දවසක් ඔවුනුත් පියඹාවි... ඒත් ඔබ, අප වැනි සංවේදී මිනිසුන් වාගේ...

@ගල්මල්: ඔබ වටා ඉන්න සියලු දෙනාට ඔබ නිසා සහනය ගෙනෙන්නෙත් ඔය බොඳවූ දෙනෙත්ම තමා මිතුර...
අනිවාර්‍යයෙන්ම, අපේ ‍රැජිනන් ඔවුන් තමා...

Siribiris said...

ලස්සන සිංදුව. පූර්විකාව ඊටත් ලස්සනයි.

හැබැයි ගොයියෝ මේ වැඩේ නං වැරදියි. අර මොකද්ද "Live Traffic Feed " අටවපු එක. මේච්චර කල් අපට හොර බලල්ලු වගේ ඇවිත් මේක බලලා, කොමෙන්ට් නොකර යෑමට තිබූ අපේ මූලික අයිතිවාසිකමට කෙලවීම ගැන අපගේ බලවත් විරෝධය.

තිස්ස දොඩන්ගොඩ said...

ඉතින් "කොමෙන්ට් නොකෙරුවට සිරිබිරිස් අයියා ඇවිත් ගියානේ...!" කියන මගේ සතුටේ අයිතිවාසිකම...???

Pali said...

දරුවන් මව්බිමේ මුල් අල්ලන්න කලින් එහේ මෙහේ ගෙන ගියහම උන්ට අපේ දේවල් හුරු කරන එක ලේසි නැහැ තමයි. උඹේ කතාවට මම එකඟයි. පිටරටවල ඉන්න සිංහල වචනයක් කතා කරගන්න බැරි, සිංහල සින්දුවක්, කවියක්, කතන්දරයක් ජීවිතේට අහලා නැති, ගහ කොළ මල් වැල් ගල් බොරලු එක්ක හැප්පිලා නැති අපේ පොඩි එවුන් දකිනකොට පුදුම දුකක් දැනෙනවා. දෙමව්පියන්ගෙ උවමනාව ඇත්නම් තරමක් දුරට හෝ එයින් මිදෙන්නත් පුලුවන්. හැබැයි වැඩේ අමාරුයි.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

තිස්ස දොඩන්ගොඩ
හරි අපූරු අදහසක් ගීතයේ සෑබැ අරුථ සමාජගත වෙනවනම්....
මට මේ දවස් වල ඉඩ කඩ සීමිතයි ඔබ හැමදෙනාගේ වටිනා ලිපි බලන්න කියවන්න ඒත් ඉඩ ලැබුණු හැටියේ ඉක්මනටම ඒවට ගොඩ වන එක තමයි කරන්නේ

RanDil said...

මට තේරුණා අයියේ. ස්තුතියි.

freedom said...

/@ තිස්ස දොඩන්ගොඩ,
අක්කට හොඳට කවි ලියන්න පුළුවනි. අයියට හොඳට කතා ලියන්න පුළුවනි. පොඩි උං ලොකු වෙනකොට කොහොමට හිටීද?/


කාන්තාවකගේ ආදරය විඳින්න අපි හරිම කෑදරයි නේද? මට දැනෙන්නෙ මගේ මව්ගෙ ආදරය. දරුවො කොච්චර ආත්මාර්ථකාමීද කියල දැනෙන්නෙ දැන් කල්පනා කරල බැලුවම තමයි. අපි පුංචි කාලෙ අම්ම ගෙදරින් පිට කොහේවත් අපි නැතුව යනවට කැමති නෑ. අම්ම ළඟින් තමයි වැඩිපුර ඉන්න කැමති. ඉස්කෝලෙ ඉක්මනට ඇරිල හදිසියෙ ගෙදර එනකොට අම්ම කඩේට වත් ගිහිං තිබුණොත් මූණ නරක් වෙනවා. අම්ම ලෙඩ උනොත් අපිට තමා වැඩිපුර අමාරු. තාත්ත ළඟ නැති උනාට, තාත්ත ලෙඩ උනාට අර තරමටම අපිට හිතේ අමාරු දැනෙන්නෑ.
අදටත් අම්ම ගෙදර නැතිනම් මට හිතේ ලොකු අඩුවක් දැනෙනවා. මගේ තාත්ත තුළිනුත් ඔය දේ මම හොඳටම දකිනවා. ඉතින් ඔයාලට දැනෙන හැටි මට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. පුදුම අමාරුවක් ඒක.
අදටත් තාත්ත විතරක් ගෙදර ඉන්න වෙලාවකට මගේ අතින් සියළු වැඩ කටයුතු ඉටුවුනත් තාත්තට අම්ම නැති අඩුව දැනෙන බව මම දන්නව.

බොහෝ වෙලාවට පිරිමියෙකු දරුවන් පවුලකට එකතු වූ පසුත් බිරිඳටයි දරුවන්ටයි සම තැනක් දෙන්නෙ නෑ, බිරිඳ තියන්නෙ ඉහළ තැනක. ඒත් ගැහැණියක් තුළින් ඔය දේ දකින්නෙ කලාතුරකින්. දරුවන්ටයි ස්වාමියාටයි සම තැන් ලැබෙනව ඈ අතින්. සැමියා රැකියා සඳහා පිට ගිහින් සිටීමෙන් ඇය තරමක් තනිකමට හුරු වෙනව වෙන්නත් පුළුවන්.

කොහොම උනත් බිරිඳකගෙ ආදරය මහා පුදුමාකරයි. ඇය ජීවත් වෙන්නෙ නොයෙක් වෙස් වලින්. සැමියාට යෙහෙළියක්, බිරිඳක්, මවක්, දියණියක්, පෙම්වතියක්, දෙවඟනක්, සොයුරියක්, දුක් ගන්න රාළ කෙනෙක්, බ්ලා බ්ලා බ්ලා...
පිරිමියෙකු සහ ඔහුගේ මව, සොයුරිය, යෙහෙළිය සහ නොයෙකුත් තමා ආදරය කරන ගැහැණු චරිත අතර එක්තරා සීමාවක් පවතිනව. කොතරම් ආදරය කළත් මොන විදියට ආදරය කළත් එක්තරා සීමාවක් තියෙනව ඔවුන්ගේ පෞරුෂය හා බැඳුණු. එතැන සිටින ගැහැණියට විවිධාකර වූ ආධිපත්‍යයන් තියෙනව විවිධ දේ සම්බන්ධයෙන්.
ඒත් සැමියා හා බිරිඳ අතර ආදරයේ සීමා මායිම්, ආධිපත්‍යයන් කිසිවක් නැහැ. අයිතිවාසිකමක් තියෙනව වෙනත් කිසිම ගැහැණියකට නැති.
ඉහත කී කිසිම ගැහැණියකගේ වියෝවට වඩා මේ ගැහැණියගේ වියෝව පිරිමියෙකුට දරා ගන්නට බැරි මේ හින්ද වෙන්න ඕනෙ. (මට නම් ගැහැණියකගෙ පැත්තෙන් බැලුවත් මේ ටික මෙහෙමම තමයි )
හිතට ගලා ගෙන එන ගී පද අනන්තයි අප්‍රමාණයි. මෙහෙම කියන්න බෑ තව පෝස්ට් එකක් වගේ යයි.

freedom said...

ආදරේ ළඟ ඉඳං ආපු දවස් ටිකේ වුණු දේවල් කල්පනා කරල "ගියානෙ" කියල හිත සනස ගන්නව.
ළඟට යන්න ඔන්න මෙන්න කියල දවස් ටිකේ ගියහම වෙන දේවල් කල්පනා කරල "යනවනෙ" කියල හිත සනස ගන්නව.
ඔය අතර මැද දවස් ටිකේ කෝල් එකක් හරි ලියුමක් හරි දීල ලැබුණු උත්තර හරි කරපු සංවාද හරි මතක් කර කර ඉඳල "ඉන්නවනෙ" කියල හිත සනස ගන්නව.
බලාගෙන ගියාම අපි හැමදාම "එක ළඟ".
මෙතන එකතු වෙන හැම කෙනාගෙම වගේ ජීවිත එක වගේනෙ අප්පා....

දුකා said...

ම් ම් ම් මට නම් බොහෝ දේ හිතන්න ඉඩ ඉතුරු කරනවා වගේ මේ පෝස්ට් එක . . .

දරුවෝ ගැන නම් කියන්න තියෙන්නේ මචං උඹ කිව්ව වගේ පාසැල් නොයන වයසේ ළමයි දෙමාපිය උනුසුම ලබා දිය යුතු නිසා ලග තබා ගත්තත් පාසැල් යන වයසේ ළමයින්ට අපි හැදුනු පරිසරයේ වටපිටාව අහිමි කරන එක අපේ සතුට වෙනුවෙන් අපේ පාලුව මකා ගැනීම වෙනුවෙන් එයාලගේ ළමා කලය උදුරා ගැනීමක් වගේ කියන එක තමයි මගෙත් හැඟීම

Anonymous said...

birindaka pamanak lesa nowa anantheta sitha
nawa adariyak wennemi obata dinapatha

samiyeku men pasuwee oba gana ugaththemi
mama oba langa hetath aluth pemwathek wemi

"kageda manda sinduwaka ahuna"......(kasun)

තිස්ස දොඩන්ගොඩ said...

@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: කිසි ප්‍රස්නයක් නෑ... මම දන්නවා ඔබ අප සමග ඉන්නවා කියලා....

@Freedom හැබෑටම ලියමුකෝ පෝස්ට් එකක් බිරිඳකගේ ඇසින්...

@දුකා: මට හිතෙන හා කරන දේ බං මං කිව්වේ... තව කෙනෙකුට වෙනස් පිලිවෙතක් තිබීම වරදක් විදිහට දකින්නේ නෑ මචං....

@Kasun: ඒක කියන්නේ කසුන් රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රොඩ්‍රිගෝ නේ ...?
"ප්‍රිය හිමියනි මා හදවත කුසුමෙ රොන් හිමි...
පියවෙන තුරු නෙත් යුග ඔබෙ සෙනෙහෙ පසුවෙමි..."

මමත් හරිම ආසා සින්දුවක්.. ඔබ කැමති ගී වලට දාන්නද...?

Buratheno said...

යාම හොඳය.. ගොස් ඒමද හොඳය.. නොගොස් එන්ට බැරිය.. නෑවිත් යන්ට බැරිය.. ලොව ඇත්තේ යාම්ඒම්ය..
(මළගිය ඇත්තෝ)

මම said...

ම්ම්ම් අයියේ මට කියන්න දෙයක් නෑ..ආවා කියලාවත් ලියලා යන්නම්...

wath said...

වෙඩින් එකට ගිහින් ආව විතරයි අයියෙ... පුරුද්දට මේ පැත්තට ගොඩ වුනා.. වෙනදට උණු උණු කොමෙන්ට් .. දැන් සීතල කොමෙන්ට්..

අද නම් විවාහය ගැන යුග දිවිය ගැන බරසාර කතා ගොඩක් අහගත්ත මංගල සභාවෙන්...

ඒත් අයියා හොඳට හිතල බලන්න.අයිය ආදරේ අයියටමයි.. ඒත් අක්ක ආදරේ අයියට...

Buratheno said...

@Freedom:
ඔයාගෙ blog එක පැත්තෙ යන්න බෑනෙ අප්පා.. මුරපද දාලා අගුළු දාලා එක විකාරයයි, අපට මුරපද නැහැනෙ ඉතිං.. එන්න එපා කියලා කෙලිංම කිවුවානං හරිනෙ, අපි නෑවිත් ඉන්නවානේ..

freedom said...

@ Buratheno,
සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටිමි. wp වල පොඩි අවුලක් නිසා g වලට මාරු උනා. ඒ වුනත් සින්ඩි වලට දාපු බවත් සින්ඩියෙන් ඒක වෙනස් කරන්න ඉල්ලන්නත් අමතක උනා. එකම නමින් දෙකක් තියෙන බව මතක් උනෙත් නෙතු අක්ක කිව්වමයි. ඉතින් wp එක මට පමණක්; 'පුද්ගලික' කරගත්තා. මකා දාන්නත් ලෝබයිනෙ. මේං මේක තමා දැන් තියෙන්නෙ.
http://freedom-sl.blogspot.com/
අනුකම්පා කරන සේක්වා අසරණ ගැත්තාට ඔය වාගෙ දේවල් නිතර අමතක වෙනව නොවැ.

Buratheno said...

හි හි හී.. ගැත්තාට මේ වර පමණක් අනුකම්පාකර සමාව භජනය කරමි, දෙවනවරට කිසිදු සමාවක් නැත.. :)

පලි: Google වලට මාරුවුන එකනං ලොකුදෙයක්. WP හෙන අවුල් නේන්නං. මම wp blog එකක් open කරන්න හදන හැමවෙලාවෙම error කියලා debug කරන්න visual studio වලින් open කරනවා. මලම පනිනවා දෙයියනේ එතකොට. එහෙනං ඕං මං link එක update කරගත්තා.

nethu said...

කොමෙන්ට් දාන්න එද්දි මට හිතෙන ඒවා සේරම කට්ටියම ලියලා ඉවරයි. අපිට ලියන්න දෙයක් ඉතුරු කරන්නෙම නැහැ. හැම පැත්තම කවර් කරනවා. කොහොමවුණත් වත් කියපු දෙයට මම් එකඟයි. මේ ටික දවසට මටත් ඒක තේරෙනවා. ඒත් ඉතින් අයියත් ආදරේ අය්යට වෙල අක්කත් ආදරේ අක්කාට වෙනවට වඩා ඒක හොඳයි.

Anonymous said...

අද තවත් අපුරු දවසක්, නිවාඩු දවස කොහොමත් අපුරුයි...

මම, මගේ දෙශයේ, මගේ මිනිසුන් සමග, මට උරුම රටෙ සුවදත් එක්ක, "මෙ මොහොත" රස විදිනවා..

එත් සමහරුන්, නුහුරු නුපුරුදු රටක මෙ මොහොත කියා අතීතය රස විදිනවා..

ඔවුන් ගෑන මට දුකයි...

මමත් පෙර දවසක රට රාජ්ජ වලට කෑම්බරුවා මගෙ ආර්තිකය සරු කර ගන්න, එත් අද මම මගේ දේශයේ...

ඔබෙ උත්සහය සපල ඌ වීට, ඔබෙ සිහිනය සෑබෑ ඌ විට, ඔබටත් මට වගේ "මෙ දෙශයේ" රස විදින්න පුලුවන් වෙවී.

ඔබලාට සුබ පතනවා...

මම,

"The present Moment"
"මෙ මොහොත"

(Tissa this is not personally to you, but to all those who are out of this paradise, "Sri Lanka, and who still love our mother land)

යෝගී... said...

මට මේ ගැන දැනෙන දේ අකුරු කරලා මේ ලිපියට තිව්වනං ඒවා හරියටම එකට එක සමපාත වෙයි ...

-ජය

Anonymous said...

"මම නිබ්බුත පද කියන්නද???"

සුලා...

ගල්මල්-Coral said...

හිතවත් සොයුරු සොයුරියනි,

පලමුව අඩවියේ ඇත්තන්ගෙන් අවසර ගෙන,

අද මැයි මස 22, ශ්‍රී ලංකාවේ ජනරජ දිනය. පෙර දිනෙක මේ සුන්දර අඩවියේ මා සටහනක් තැබුවා සේ ම පොඩි තෑග්ගක් අරන් ආවා. හැබැයි එය අපේ රටේ අසිරිය නරඹන්න ගුවනින් "පුංචි චාරිකාවක්" යන්න ඔබට ඇරයුමක්.

අපේ සොබාදහම සුරකින ගස් කොළන් රැකගත යුතු නිසා ගතානුගතික ටිකට් වෙනුවට e-Ticket ලෙස ලින්ක් එක මෙන්න; නිවාඩු පාඩුවේ ගොඩවෙන්න ගල්මල් අඩවියට:

http://galmal.blogspot.com/2010/05/blog-post_22.html

විහඟ ගීතය said...

පියබස උරුම කැටි කොට තුරුලෙහි හොවන
මදහස, කැල්ම සුපුරුදු මුහුනෙම හොයන
නිදහස ලැබුන දා නිදහස නොම විදින
සෙනහස , පියබ එක වහලක් යට ‍රැදෙන

තමීර | Thameera said...

හප්පේ මේකෙ කොමෙන්ට් කියෙව්වම තව ඉතින් අපි ලියන කොමෙන්ට්වලින් වැඩක් නෑ කියල හිතුණ. බෝම ස්තුතියි මෙහෙම ලස්සන සින්දු තියෙනව කියල මතක් කරල දෙනවට!

Anonymous said...

Sula said... "මම නිබ්බුත පද කියන්නද???"

සුලා... කියන්න එපා නිබ්බුත පද මට...

මගේ "සුබ පෑතුමට" ස්තුතියි කියපන් අද...

මට කියන්න, මෙහි පෙරහෙරක් නෑති බව, බෙර කරුවො, නට්ටුවෝ, නිලමේලා, ගිනිකෙලි කරුවො මෙහි නෑති බව..

කියපන් මට, උම්බල ගේ තනි උන හිත නිවන්නෙ Tissa ගේ "හද ගී පොත" බව..

ස්තුතියි ඔබට එහෙම ඈහුවට...

මෙ දෙශයේ පුරවෙසි බව එපා කියා, පර දේශයක පුරවෙසි බව රෑගෙන... ගයන්නේ මොන දෙශයේ, දේශ අබිමන් ගීතයද??

කියපන් එයත් මට...

මම,

"The present Moment"
"මෙ මොහොත"

Pali said...

තමන්ව හඳුන්වාදී අදහස් හුවමාරු කර ගන්නට අකමැති අපේ "මේ මොහොත" ගේ අදහස් ගැන යමක් ලියන්නට සිතුවෙමි.

වෙනත් රටවල පුරවැසි බව ලබා ඇති ලක්මවට අපමණ වූ සේවයන් කළ හා කරන ලාංකිකයන් ගැන මම හොඳින් දනිමි. ඔවුන්ගෙන් සමහරුන් හා බොහෝ කිට්‍ටුවෙන් ඇසුරු කරමි. අප මව්බිම ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමෙ සටනේද පෙරමුණ ගෙන ක්‍රියා කළවුන් අතරද එවැන්නෝ වූහ. මානෙල් මල් ව්යාපාරය , අපි වෙනුවෙන් අපි ආදී වූ ජාතියේ මුර දේවතාවුන් ශක්තිමත් කිරීමේ ව්යාපාර වලට පිටරටවල වෙසෙන ලාංකිකයන් දැක්වූ දායකත්වය සුලුප‍ටු නොවේ.

මව් හැර ගියත් මවු තුරුලේ සිටියත් අප සැමට මව් ගැන කැක්කුමක් තිබේ. අයිතියක් තිබේ. අභිමානයක් තිබේ. මව් තුරුලේ සිටිමින්ම මව්ගේ සාරය උරා බොමින්ම මව්ගේ ඇඟේම පහරන උන් අනන්ත දැක ඇත්තෙමි. උන්ට වඩා මව්ට බරක් නොවී මව් හැර ගිය උන් හොඳය.

"මතෘ භූමිය නම් වූ විශාල වෘක්ෂය පල දරා එහි බීජ වලින් කොටසක් එහිම පොහොර පිණිස බිමට හෙලන්නීය. ඉතිරිය සුළඟේ පාකර හරින්නීය. එම බීජ වෙනත් බිම් මත පතිතව, රූස්ස ගස් බවට පත්වී මව් ගසේ සුවඳම දසත විහිදුවා හරිනු ඇත."

ඉදින්, අනන්‍යතාව හෙලි නොකල සොයුර, ඔබ මේ ලෝකෙ කොහේ සිටියත් ඒ සුවඳ විහිදුවා හරින්න, එහෙම කරන අයට උදව් කරන්න, නැතිනම් අඩුම තරමේ ඒ සුවඳට දුර්ගන්ධය එකතු නොකර සිටින්න.....කිසි විටෙක ලක් වැසියන් ඔවුන්ගේ භූගෝලීය ස්ථානගතවීම, කතා කරන භාෂාව, අදහන ආගම, උගත් කම, වත් පොහොසත්කම ආදී වූ කිසිම දේකින් බෙදා වෙන්කර නොසිතන්න.

ගල්මල්-Coral said...

පාලි සොයුරාගේ සටහනට වඩා යමක් අවැසි නැත, Ano සොයුරාට උත්තර බඳිනවා නම් පිටු ගනන්.

වේයන් නොවී සෙවන දෙන ගස හූරා කන
බිඟුවන් සේ පියාපත් සලා බින්දුවෙන් බින්දුව එක් කරන
වෙහෙසී උපයන දෙයින් නැති බැරි උනට අත දෙන
ලොකු හිතකි මිතුරනි මහත් පිනකි නිහඬව නුඹ කරන

Anonymous said...

දෙශයේ ජනයාගේ මුදලින් නිදහස් අද්යනය ලබා,
පිට දෙශයකට විත්, පිට දෙශයක පුරවෙසිබව ලාබ, අප දෙරනට ඔබලා සෙවයක් කරනවා කියා සිතනවා නම්..... ඒසේම කරන්න....

අප දෙශයේ සුවද විහිදුවා හරින්න....

ඔබලාට සුබ පතනවා මම....

කෙසේ හො අප දෙශය නෑවත නගා සිටවමු,
එ වගකීම අප අතේමයි...

මම,

"The present Moment"
"මෙ මොහොත"

freedom said...

"අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

තුරු හිස සිඹ සිඹ වැද මඳනල
මුමුණන විට ගී සවනට //
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුණත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේයැයි
කොඳුරයි රහසින් යටි සිත

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි...

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම //
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමෙන් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන්කඳ

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි...."

මොකක් හරි හේතුවක් නැතුව නෙවෙයිනෙ ගිහින් ඇත්තෙ. ජොලි කරනවත් නෙවෙයිනෙ. විඳින දුක මොනවගේද කියල කියනව වෙනුවටයි ඔය උඩ තියෙන ගීතෙ දැම්මෙ. Ano අපි උපේක්ෂාවෙන් බලමු ඒ දෙස.
අනික ඉතින් අපි අනුන්ගෙ හරි වැරැද්ද හොයන්නෙ නැතුව අපිට පුළුවන් දේ උපරිමයෙන් කරන එක නේද හරි දේ??

Anonymous said...

ඔබ හරි යටම හරි FR‍EEDOM....

ඔබ සෑමට සුබ පතා, යන්නට යනවා මම.

මම,

"The present Moment"
"මෙ මොහොත"

තිස්ස දොඩන්ගොඩ said...

ම්ම්ම් හොඳ සංවාදයකට මග පාදනවා " මේ මොහොත" හැමදාම...

රට යන උදවිය කිහිප ආකාරයකට රට යනවා නේ?... එක කට්ටියක් කෙටි කාලයකින් එන්න ආපහු... ‍රැකියාව හෝ අධ්‍යාපනය ලබලා... දෙවෙනි එක දරු මල්ලන් සමග පදිංචියට යාම... තුන්වෙනි පාර්ශවය උගෙනුම ලැබූ දෙයින් ලංකාවේ කරන්න දෙයක් නැති නිසා එයින් වැඩක් ගන්න පුලුවන් තැනක නැවතීම (ඉන්පසු ඉතින් දෙවෙනි ගොඩට වැටෙනවා)... හතරවැන්න කෙටි කාලයකට ‍රැකියාවට ගියාට පසු බලාපොරොත්තු හා ජීවන තත්වයන් ඉහල යාම නිසා වියදම්, වගකීම් අධිකවී ඉහල වැ‍ටුප් ‍රැකියාවන් වලම සිරවීම (ඒගොල්ලොත් ඊලඟට ඉතින් දෙවෙනි ගොඩට වැටෙනවා)...

දැන් ඔය කාරනා එක්ක අපේ කමයි දේශ ප්‍රේමයයි ගලපන්නේ කොහොමද... පුද්ගලිකව මම ඉන්නේ පලමු ගොඩේ... ඒ කියන්නේ කීයක් හරි හොයාගෙන ආපහු ලංකාවට එන්න.... රන්දිල් නංගිට දීපු උත්තරේ දරුවන් අරන් යන්නේ නැත්තේ ඇයි කියන ප්‍රස්නයට උත්තරේ තියනවා... මේ වෙලාවේ හැටියට විදේශ ‍රැකියා නියුක්තිය තමයි ලංකාවට හොඳම ආදායම් මාර්ගය... පහල වැ‍ටුප් තලයන්ගේ ශ්‍රමිකන් සියයකට වඩා ඉහල වැ‍ටුප් තලවල ශ්‍රමිකයින් දහදෙනෙක් යවා ගත්තොත් රටට හැමාතින්ම හොඳයි... මොකද ඔවුන් නිර්මාණය කරන්නත් රට විසාල මුදලක් වැයකරන නිසා....
විදේශයක පදිංචියට යාම නම් මට හිතාගන්නවත් බැරි දෙයක්... මම දන්නවා ඒක ආපහු හැරෙන්න බැරි ඕගයක් බව...
මගේ පියා බෙහෙවින් අසධ්‍යව ලෙඩ ඇඳේ හිටි වෙලාවේ මාත් මගේ පුතණුවනුත් ඔහුගේ ආවතේව අපේ දෑතින්ම ඉ‍ටු කරද්දී ඔහු කඳුලු පිරි දෙනෙතින් ඒ දෙස බලා හිටියා මට මතකයි... "Name Sake" චිත්‍රපටිය මේ ගැන තරමක් විම්සුම් ඇසක් යොමු කරනවා නේද...

හැබැයි ඉතින් රටේම ඉඳන් අපේ දේ වලටම පහර ගගහා, දන්න දේයි නොදන්න දේයි විවේච්ච්නය කරන මෙලෝ ජීවිත අත්දැකීමක් නැති පොතේ ගුරු උන්දැලාට වඩා විදේශයකට ගිහිලා හරි උපන් දේශය ගැන හැඟීමකින් ඉන්න උදවිය දාහින් සම්පතයි මටනම්...

Anonymous said...

සමාවෙන සේක්වා....දොඩංගොඩ මහත්මියගේ හදවතට එබී බැළුවෙමි...
*****************************************************
මා අත වූ ලිපිය මේ කියවන්නේ කීවෙනි වතාවටදැයි මට නිනව්වක් නැත...ඔහුගේ හදවතින් නැඟුණු ස්නේහය වටකුරු අකුරුවලින් සිත්තම් කොට පත් ඉරුවක් පුරා සටහන් කොට තිබුණි...මේ මා ඔහු වෙතින් ලද පළමු ලිපිය නොවන්නේය.එහෙත් මාස කිහිපයක වෙහෙසකර කාළ සීමාවක් අවසානයේදී නැවත මා හා දරුවන් දැක්මට පැමිනීමට ආසන්න දින වලදී ඔහුගේ නොඉවසිලිමත් හා බලාපොරොත්තු සහගත හැඟීම් අකුරුකොට එවන මෙවන් ලිපි ගෙවූ වසර දෙක පුරාවටම මා නෙත ගැටුනේ දෙකක් හෝ තුනක් පමණි..ලොවම නිදිගත් මේ යාමයේ සයනය අද්දර වූ මන්දාලෝකිත ලාම්පු එළියෙන් අකුරක් අකුරක් පාසා හදවතින් වැළඳ කියවමින් සිටි හසුන් පත හීනි කඳුළු පටලයකින් වැසී යනු දැණුනෙන් දෑස් පිසදා තුරුල්ව නිදියන ම'සිඟිති පුතුට ඔබ්බෙන් වූ හිස් වූ කොට්ටය සහ ඇඳ ඇතිරිල්ල මෘදු ලෙස ස්පර්ශ කෙළෙමි...
අවදි වූ සිතිවිළි මොහොතින් අතීතය සොයා පීරන්නට වූයෙන් ඔහුගේ වත මඬළ දැක ගැනීමට නොතිත් ආශාවක් ඇති වූයෙන් ,හඬ නොනැගෙන සේ සාලයත් වැඩිමහල් පුතුගේ කුටියත් වෙන්වන බරාඳයේ පහන් දැල්වීමි..හෙමිහෙමින් පුතුගේ කුටියේ දොර විවර කළ මම බරාඳයේ වූ මන්දාලෝකයෙන් ,නිදි දෙව් දූ වැළඳ තනිව සුභ සිහින දකින පුතුගේ මුහුණ සිඹිමි..."පුතා නම් තාත්තාගේ කපාපු පළුව"යි ඒ දිනවල කැදැල්ලට එක්වූ අමුත්තා බැලීමට පැමිණෙනවුන්ගේ මුවින් කියැවෙනු අසා ඔහුගේ දෑස් දිළිසෙනුද,මුහුනේ වූ මාංශ පේශි පුරා ලේ පුරණුද බලා අප්‍රමාණ වූ සන්තෝෂයක් වින්දෙමි.. විදුලි පහන නිවා පොඩිපුතු ළයට තුරුළු කොට අතීතයේ සුන්දර තැන් සොය සොයා විඳින්නට වීමි..
ස්‍රසවි බිමේදී ඔහු මුලින්ම මුලිච්චි වූ අයුරුත්..සරසවි බිම පුරාම ඒ ආඩම්බර දෑස් මා සොය සොයා වෙහෙසෙනුත් අවසානයේදී ප්‍රේම ආරාධනාවගෙන මා ඉදිරියේ හුන් අයුරුත් සිහිවී තනිව සිනහා සීමි...මාගේ දෑස් වලට ඔහු බෝහෝ ප්‍රියකරණ බවත් ..මුළින් මා පසුපස වැටුණේ ඒ දෑසේ වූ කාන්තියෙන් මිදෙන්නට නොහැකි වූ නිසා බවත් පසු කාලීනව ඔහුගේ මුවින් පිටවුණු දා ගෙදරගොස් කැඩපත අභිමුව සිට ප්‍රතිබිම්බනය වූ මාගේ දෑඅස් දෙස බලා සිටියා මතකය..
කෙසේ නමුත් අප එක්වූ දා සිට මා අසල දැවටෙමි ආදරය පෑ ඔහු අදවන විට දරුදෙදෙනෙකුගේ පියෙකුවුවද දැක්වූ සෙනෙහසෙ අංශු මාත්‍ර වෙනසකුද නොදිටීමි...කුකුළ් කේන්තිකාරයකු වුවද ඒ කේන්තිය සැණෛන් නිවෙන එසේම මොහොතින් අප්‍රමාණව පසුතැවෙමින් නිදහසට කරුණු කියමින් මාවටා සැරිසරණු දැනුදු මට මැවී පෙනේ...අප්‍රමාණ මානවදයාවෙන් හෙබි මේ මිනිසා ගැන මාසිතෙහි සියුම් ආඩම්බරයක් පවතී...එහෙත් වයසින් මුහුකුරා යමින් පවතින අපේ ජීවිත දෙස උපෙක්ෂාවෙන් බැලිය යුතු බවත්...නොඉවසිල්ල,නොයෙකුත් වූ බැඳීම් නිතරම හදවත හිරිවට්ටන බැවින් පසුතැවීම්වලට ඉඩ නොතබා අප අපගේ හදවත් ශක්තිමත්කර ගතයුතු බවත් ඔහුහට ඒත්තුගන්වමියි නිගමනයකට එළඹ හෙටදිනය ගැන සුභසිහිනදකිමින් නිදිදෙව්දුව වැළඳ ගතිමි..

සුලා...

Pali said...

"මේ මොහොතේ" පිටරටවල වෙසෙන අපේම සොයුරු සොයුරියන් දෙස අවඥාවෙන් බලන "මේ මොහොත" වෙත නැවත ලියමි.

සමහරවිට, නිදහස් අධ්‍යාපනය ලබා පිටරට ගියවුන් ඒ අතීතය අමතක කර "මේ මොහොත" ගැන පමණක් සිතමින් වර්ථමානය විඳිනවා වෙන්න බැරිද?? :)

තිස්ස දොඩන්ගොඩ said...

@ සුලා: බෑ බෑ හපෝයි... මේ කරපු දේට නම් සමාව දෙන්න බෑමයි.......!!!
මංකියන්නේ මොකද්ද කියල සුලා උඹ දන්නවා....

@Pali: අහ් පාලි... හැබෑව නේද... ඒ අතීතයත් එපරිද්දෙන්ම අමතක කල හැකි / යුතු නේද එහෙමනම්....?
මගේ අවසන් සටහනේ අන්තිම පේලිය නැවත් සිහිපත් කරමි...

Anonymous said...

ඇනුම් පද නොකියමි..

බැනුම් කැතබස් නොකියමි

නිකම්බස් නොකියමි

තමන් පමණට වදන් තෙපළමි



සිරිත් මල්දම..



සුලා…

Anonymous said...

සමාවෙන්න ඕනෑ...

ඉහත කවි සටහන Ano ට

සුලා

Siribiris said...

මං මේ සංවාදෙ බලාගෙන හිටියා. මගෙත් කට කොකියන්න ගත්තා, ආයිබෝං. ආයි මට කියන්න එහෙමම දෙයක් ඉතිරි කොරලා නෑ නොවැ, තිස්ස මහත්තයා කියන්න ඕනදේ කිරි ගහට ඇන්නෑවේ කියලා තියෙන්නෙ.

කොහොම නමුත් අනිත් අයව විවේචනය කිරීම කරන්න ඕනෙ තමන්වත් ආපිට විවේචනය වුනාම ඉවසන්න පුළුවන් නම් තමයි. අනික අපි නොදන්න මොන මොන හේතු, දුක්බර කතන්දර එයාලට තියනවද කව්ද දන්නෙ?

Pali said...

හරියටම හරි සිරිබිරිස්. ඉතා දුක්ඛිත තත්වයන් හා හේතූන් මත පිටරට වලට තල්ලුවෙලා ආපු පිරිසුත් ඔය අතර ඉන්නවා. විශේෂයෙන් උසස් අධ්‍යාපන සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවලට දරු මල්ලන් සමග පැමිණ අපමණ දුක් විඳින ලාංකිකයින් මට මුණ ගැසී තිබෙනවා. ආපසු හැරෙන්න බැරි ගමනක් ආපු ඒ අය අවිනිශ්චිත අනාගතයක් වෙනුවෙන් දහ දුක් විඳිනවා.

මැද පෙරදිග ‍රැකියාවලට ගිය අය විඳින දුක් ගැහැට ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. එමීර් රාජ්‍යයේ එක්තරා සුපිරි වෙළඳ පොළක වැඩ කරන තරුණයින් පිරිසක් වරක් මට මුණගැසුණා. ඔවුන්ට මාසිකව ගෙවන්නෙ ඩිරාම් 850 ක් වූ ඉතාම සුලු ව‍ටුපක්. එයිනුත් ඩිරාම් 165ක් අහාර සහ ඉඳුම් හි‍ටුම් වලට කපා ගන්නවා. ඔබ විශ්වාස කරන එකක් නැහැ, ඔවුන් සතියෙ දින 7 ම වැඩ කළ යුතුයි. නිවාඩු ලැබෙන්නෙ අසනීප වුනොත් පමණයි. දින පතා උදේ 9 සිට රත්‍රී 12 වන තුරු වැඩ කළ යුතුයි. තිස්ස දන්නවා ඇතිනෙ "මනාමා සුපර්මාර්කට්" ගැන. අජ්මාන්හි තිබෙන මෙම වෙළඳ සැලේ තමයි මට ඔය තරුණයින් මුණ ගැහුණෙ. ඔවුන්ගෙන් අයෙක් තමාට තිබූ එකම සම්පත වූ ත්‍රීවීලර් රථය විකුණා රුපියල් ලක්ෂ 2 ක් ඒජන්සි කරුවන්ට ගෙවලා තමයි මේ ‍රැකියාවට ඇවිත් තියෙන්නෙ. ඔහු නැවත එම මුදල හොයාගන්න තුරු එතන කඹුරනවා.

ඊට අමතරව පිටරට වෙසෙන දරු පවුල් වලට අහිමි වන දේ බොහෝයි. අපේ මව්බිමේ අප ලද බොහෝ දේ ඔවුන්ට අහිමියි. ඔවුන්ට වෙනත් සැප සම්පත් තිබෙනවා වන්නට පුලුවන්, නමුත් මගේ අත්දැකීම් වලට අනුවනම් ඔවුන් බොහෝ දෙනෙක් සිතින් මව් බිමේ ජීවත් වෙනවා.

Pali said...

@freedom: "මේ මොහොත " ට උපේක්ෂාවෙන් මිනිසුන් දිහා බලන්න පුරුදු වෙන්නය කියා ඔබ කියපු එක ගැන සතු‍ටු වෙනවා. අර පිටරට ඉඳන් ජොලි කරන අය ගැන එහෙමත් යමක් කියන්න හිතුනා. මිනිස්සු මේ ලෝකේ කොහේ හිටියත් ජොලියෙ ඉන්නවානම් අපි සතු‍ටු විය යුතුයි නේද? මිනිස්සු දුක් විඳිනකොට දුක් වෙනවා වගේම? ජොලි කරන එක කිසිසේත්ම නරක දෙයකුත් නෙමෙයිනෙ නගේ.

Anonymous said...

ස්තුතියි සුලා ....

අලුතින් තවත් යමක් මම ඉගන ගත්තා... "සිරිත් මල්දම"..

එත් අපි ප්‍රතක්ජනයො...

අපි සෑම අතින්ම වෑරදි සිදු වෙනවා..

හිත රීදිම් පසෙකලා කොතරම් ඉක්මනට නෑවත වර්තම්නෙට යා හෑකිද..

ඔබ එතරමටම දිනුම්..

මම,

"The present Moment"
"මෙ මොහොත"

Anonymous said...

@Ano,

ඇත්ත....වැරදි,අඩුපාඩු නොමැති මනුස්සයෙක් නැහැ...එහෙම ඉන්නවනම් එක්කො අපේ ආගම ධර්මයට අනුව සියළු කෙලෙස් ප්‍රහීන කළ තැනැත්තෙක්...ඉතින් වැරදි කිරීම මනුස්ස ගතියක් උනාට සමාව දීම දේව ගතියක් නොවෑ....ඒත් සමාව දෙන්නෙත් දේව ගති තියෙන "මනුස්ස පරාණයක්ම" තමයි....

සුලා

Anonymous said...

@පාලි...

Pali asked me..
"සමහරවිට, නිදහස් අධ්‍යාපනය ලබා පිටරට ගියවුන් ඒ අතීතය අමතක කර "මේ මොහොත" ගැන පමණක් සිතමින් වර්ථමානය විඳිනවා වෙන්න බැරිද?? :)"

එහෙම වෙන්නත් පුලුවම්...

මම කීදෙවලට ඔබ හිත රිදුනා නම්, මට සමාවෙයන්...

ඔබ කී සමහර ඈනුම් පද වෙලටත් සමහරුන් ගේ හිත් රිදෙන්න ඈති...

එ කොහොම උනත්...

අපි සෙරම ගෙ උත්සහය දරු මල්ලන් හොදින් ලොකුමහත් කිරිමයි, හොන්ද පවුල් ජීවිතයක් ගත කිරිමයි, සාමාජයට සෙවයක් කිරිමයි, උපයන මුදලට සදාරනයක් ආ පිට කිරිමයි...

එහෙම නේද??

අපි අතින් වෑරදි උනත්, පසුගිය දෙ පසෙක ලා..
"මෙ මොහොතේ", මා නෙතු ඉදිරියේ සිටින ඔනෑම අයෙකුට ආදරය කිරිමයි..., "මොහොතක්" "මොහොතක්" පසා එසෙ කිරිමයි..

එ මගේ "මෙ මොහොතේ" සහ සෑම මොහොතක ම උත්සහයයි...

මම,

"The present Moment"
"මෙ මොහොත"

Anonymous said...

Tissa said... and again said...

"හැබැයි ඉතින් රටේම ඉඳන් අපේ දේ වලටම පහර ගගහා, දන්න දේයි නොදන්න දේයි විවේච්ච්නය කරන මෙලෝ ජීවිත අත්දැකීමක් නැති පොතේ ගුරු උන්දැලාට වඩා විදේශයකට ගිහිලා හරි උපන් දේශය ගැන හැඟීමකින් ඉන්න උදවිය දාහින් සම්පතයි මටනම්..."

ඔබ එසේ නොවෙනම්, එය ඔබට ආදල වෙන්නේ නෑ නේද???

එසෙත් නෑතිනම්, ඔබෙ සිතපු සිතිවිල්ල, එ මොහොතෙ වෑරදි වෙන්නත් පුලුවම් නේද?

මම,

"The present Moment"
"මෙ මොහොත"

තිස්ස දොඩන්ගොඩ said...

@ Ano:
ඔබත් මෙසේ නොවේනම්, එය ඔබටත් ආදල වෙන්නේ නෑ නේද???

එසේත් නැතිනම්, ඔබේත් මේ මොහොතේ සිතපු සිතිවිල්ල, වැරදි වෙන්නත් පුලුවන් නේද?

ඔහොම තර්‍ක කිරීමෙන් ඒ හැටි පලක් තියනවද කියලත් මට හිතෙනව...

තමන්ගේ පවුලට, මිතුරන්ට දෙමාපියන්ට, රටට ගමට යුතුකම් ඉෂ්ඨ කිරීමට, රට ගැන හැඟීමෙන් කටයුතු කිරීමට මෙච්චර වචන හරඹයක් ඇයි...?

Pali said...

හිතවත් "මේ මොහොත"
සමාව දෙන්නට තරම් වරදක් ඔබ කර නැත්තෙ, ඔබ සිතන විදියෙ කිසිම සිත් රිදීමක් මට නොවූ හෙයිනි. ඔබ හෝ අන් අයෙකුගෙන් මා සමාව ඉල්ලිය යුතු නොවන්නේ මා කිසිවකුටවත් ඇනුම් පද නොකියූ හෙයින් හා මා ලියු දේ කෙළින්ම ඔබවම ආමන්ත්‍රණය කර ඔබටම ලියූ හෙයිනි.

ඔබේ සෑම මොහොතක්ම යහපත් සුන්දර සිතුවලින් පිරී ඉතිරේවායි පතමි.

Pali said...

අනාගතයෙත් ඇසිය හැකි, ගායනා කළ හැකි, අතීතයේ ඇසුනු තවත් ගීයක් වර්තමානයේ අසමු.

http://www.youtube.com/watch?v=5sXrKZBaF_s

Anonymous said...

Thank you Pali....

Thank you for your best wishes...

මම,
"The present Moment"
"මෙ මොහොත"

ආකාස කුසුම් said...

This is a very nice post. I really enjoyed. Your wife is quite a writer as well. And I love this Sisira's song much. Thank you.

තිස්ස දොඩන්ගොඩ said...

Oh.. Thank you too Maám..!

Post a Comment

 
Blogger Wordpress Gadgets