එන්න මගේ ප්‍රිය මිතුරෝ...

බ්ලොග් ලිවිල්ල හින්දා අඳුනාගත්තු බොහෝ දෙනෙක් හැබෑවටම අපූරුම මිනිස්සු... එක් කුස උපන් සහෝදරයෝ නැති මට, උන් හැබෑවටම මේ වෙබ් අවකාශය හරහා ගෙන දෙන්නේ බොහොම සහෘද හැඟීමක්... යහපත් ගතිගුණ වෙන් වෙන්ව මිනිස්සු තුල පිහිටන්නේ නැ කීවා වාගේ ඒ මිනිස්සු තුල මනුස්සකම් බොහොමයි.... "නිවාඩුවට එනකොට මොනවද බන් ගේන්නේ.." කියා ඇහුවහම හැම එකාම කියන්නේ "පිස්සුද අයියේ මොනවා ගේන්නද ඇවිත් අපිව බලා යන්න..." කියන කථාව.... දුක් කරදර ප්‍රස්න නැතුවා නෙමේ ඒ මිනිස්සුන්ටත්... නමුත් මනුස්සකම හිතවත්කම ඒ ඈයෝ තෑගි වලට වඩා බොහෝ ඉහලින් සකලන නිසයි ඒ... ටී එම් ජයරත්නගේ "උපන් බිමෙන් පිටව ගියේ...." කියන ගීය අහල අද එක් සොයුරෙක් දාලා තිබුණු වැකියක් කියෝලා උදේ පාන්දරම මගේ ඇසුයි පපුවයි බරවුණා... කොයි වෙලාවේ මරණය ලඟා වෙයි ද කියා නොදන්න මිනිස්සු අතරේ මනුස්සයෙකුට තවත් කෙනෙක් ගැන යහපත්ව හිතන්න පුලුවන්නම් ඒ මනුස්සයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් කියලයි මම හිතන්නේ... පුද්ගලයන් එකිනෙකා බිඳුවන, එකමුතු කම්, සමාදාන කම් බිඳුවන, පරුස වචනයෙන් ඇනුම් පදයෙන් අනෙකා නිතරම රිදවන්න උත්සාහ කරණ, බොරු හිතවත් කම් පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්නා ඈයෝ මිනිස්සු කියා හඳුන්වන්න පුලුවන්ද කියලත් මට හිතෙනවා... එහෙම ගතිගුණ වැඩුණු මිනිස්සු තුලට ගලා එන්නේ කොහොමද කියලත් පුදුම හිතෙනවා... සිරුරෙන් කෙසේ වුවත් මානසික පෞරුෂය කෙනෙකුට හරිම වැදගත් නේද...? තමන්ගේ ඇවතුම් පැවතුම්, උප්පත්තිය, සමාජයේ තමන්ට හිමිව ඇති ස්ථානය පිළිබඳ තමන්ම හදා ගත්තු නීර්ණායක නිසාම හීන මානයට පත්වෙච්චි අයගෙන් අහල පහල ඉන්න උදවියට, රටට, ලෝකෙට වෙන විනාසය බොහොමයි... මේ වර්ගයේ උදවිය දානමානයකට, පොදු වැඩකට, අතගහන්නේ නැතිව ඉඳගෙන විවේචනය කරන්නත් හරිම දක්සයි... තමන්ගේ සේවා ස්ථානයේ වේවා අධ්‍යාපන ස්ථානයේ වේවා ඉන්න මේ වගේ මිනිස්සු දිහා බලලා මනුස්ස කමට නිගරුවක් නොවෙන්න ජීවත් වෙන හැටි හැබැයි ඉගෙන ගන්ට පුලුවන... කලු පසුබිමක් එපායැ හරිහැටි සුද මතුවෙලා පේන්නත්...
හිතවත් රන්දිම මල්ලී... ඔබ සහ ඔබ වැනි තවත් බොහෝ "මිනිසුන්" වෙනුවෙන් අහස් ගව්ව චිත්‍රපටියට මහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු අතින් ලියැවුණු අපූරු ගීයක්.. සංගීතය ඇදුරු ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් (අද ඔහුගේ ජන්ම දිනයත්...) ගායනය සනත් නන්දසිරියන්ගෙන්...

ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්...
කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්...
එකමුතු වී අපි මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...
එන්න මගේ ප්‍රිය මිතුරෝ...

ගීය අහන්න... ඕන්නම් බාගන්න...

22 ප්‍රතිචාර:

සොඳුරු සිත said...

උණු උණු කමෙන්ට් පලමුව...
ගීතය ඇසුම දෙවෙනුව ....

පැතුම්..... said...

තිස්ස අයියේ කියල තියෙන දේ නං මසුරං..හැබැයි මේ දාල තියෙන එන්ජිමේ තේරුම මොකක් ද?

සොඳුරු සිත said...

අනේ අයියා... පින්තූරයයි සින්දුවි අතර ගැලපීම හිතා ගන්න බැහැ... අටලෝ දහම නෙමෙයි නේද?

Ansh Lucky Sri Jay said...

මේ මං කලකට ඉහතදි ඉල්ලපු සින්දුවක් නෙව :D
තෑන්ක් යූ, ඩවුන් කරන ගමන්.

තිස්ස දොඩන්ගොඩ said...

ඕක රේඩියල් එන්ජිමක් නෙව යාලුවනේ....
පිස්ටන් ටික හරියටම බැලන්ස් නොවුනොත් යන්තරේ දුවන්නේ නෑ...
ඔක්කොම එකතු වෙලා එක ලෙස තල්ලු කරොත් යන්ත්‍රේ දුවයි...

සෝරෝ said...

මරු කථාව තිස්ස අයියා.. වැඩිපුර ඉන්නේ මිතුරු වෙසින් ආපු හතුරෝ.. අපි දැනගන්න ඕනි නියම මිතුරන් කවුද කියලා අඳුරගන්න..

ස්තූතියි සිංදුව​ට.. මේ බාන ගමන්....

ජය වේවා....!!

ප.ලි - කවුද මේ රන්දිම කියන්නේ.... ;)

ස්වප්නා said...

තිස්ස අයියා ගාව තියන කලෙක්ෂන් එක :)

දුකා said...

ඇසුරු කරන මිනිසුන් අතරින් සතුරු මිතුරු වෙනස හොයන එක ගැන මගේ මිතුරෙක් මට නිතර කියනවා නියම කතාවක්.

මම ඇසුරු කරන ඕනෑම කෙනෙක් විස්වාස කරන එකා.

එහෙම විස්වාස කරන අය නිසා කෙලෝගෙන ඉන්නකොට තමයි ඌ ඒක කියන්නේ.

"කොස් ගෙඩියක් නම් හාරලා බලල අඳුන ගන්න පුලුවන්.
පොල් ගෙඩියක් නම් හොල්ලලා බලල අඳුන ගන්න පුලුවන්.
පැපොල් ගෙඩියක් නම් ඔබලා බලල අඳුන ගන්න පුලුවන්.
වැල ගෙඩියක් නම් ඇඟිල්ල ගහල අඳුන ගන්න පුලුවන්.

මනුස්සයෝ කොහොමද බන් එහෙම තෝරන්නේ.
හොල්ලලා බලන්නද??
හාරල බලන්නද??
ඔබල බලන්නද??
ඇඟිල්ල ගහල බලන්නද??"

. . . . .

සිංදුව ගැන කියනවනම් මේක දවසක් යූ ටියුබ් එකේද කොහෙද දැක්කා / අහුවා.

එදා නම් වැඩිය අල්ලලා ගියේ නෑ කැඩි කැඩි අහපු නිසා වෙන්න ඇති.

අද එදාට වැඩිය හොඳා . .

මොනව වුනත් ස්තූතියි කිව්වා ඕං නිතර නෑසෙන ගීතයක් ලබා දුන්නු එක ගැන.

ඉලංදාරියා said...

වෙනදාවාගෙම අදත් පද කියවා ඈසෙන් ගීතය රසවිද හදවත නිහඩකරවමි

මිතුරු කමනම් අරුමයකි සෙවනෑල්ල සේ ලගින්..

ඔබට ජයවෙවා !!!

ජේ.ඩී said...

මරු කතාව අයියා :) සිංදුවත් ඉතින් ආයෙ සුපිරිම තමා :)

Muthu Paba said...

අපූරු ගීතයක්. කවමදාවත් මේ ගීතය මම අහලා තිබුණෙ නෑ.. තිස්සගෙ බ්ලොග් අඩවිය නිසා.. අහුමුලු වල තියෙන, වැඩිය නෑසෙන ගීත වලට නැවත වරක් පණ එනවා.. ලිපිය ගැන නම් ඉතින් වැඩිමනක් කියන්න නෑ. හැමදාම වගේ කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.

WildRose/SnowDrop said...

good one

sansarasidu said...

ඇසින් බලා දෙසවනින් අසා සිතින් රසවිඳිමි....

අපූරු පූර්විකාවක්... තිසා අයියෙ...

ආශ්‍රයට සුදුසු මිතුරෙක් නැත්නම් තනිකම වඩා හොඳයි කියන එකයි මගේ නම් හැඟීම....

අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා

Ravi said...

හරිම අපූරුම ගීයක් තිස්ස, ස්තූතියි, අහස් ගව්ව කියන්නෙත් ආයෙ කියල වැඩක් නැහැ, පතිරාජගෙ හොඳම නිර්මානය මගේ කල්පනාවෙ හැටියට,

තිස්ස, මම දන්නෙ නැහැ මේ ගීතය ඔයා කලින් දීල තියෙනවද කියල, එහෙනම් සමාවෙන්න,අමරදේව මහත්මයාගෙ "මලින් මලේ රොන් පොපියන" හොයාගන්න ඔයාට බැරිවෙන එකක් නැහැ,

ගල්මල්-Coral said...

බලපුලුවන්කාරකම් හා මොණර කොල වලින් මිණුම් දණ්ඩ සැකසෙන කලෙක මනුස්සකම ඉස්මතුකර ලියපු පූර්විකාව බොහෝ අගේය. ග්‍රැෆික් එක නියමයි, පිටු ගනනාවකින් කියන්න බැරි දේ එය හඬගා කියයි.

සින්දුව කවදත් වගේ ඉස්තරම්.

යෝගී... said...

ඉරහඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලනතෙක්
එන්න මගේ ප්‍රිය මිතුරෝ...

බ්ලොග් එකක් ලියන්න ගත්තු එකේ උපරිම ඵලය නේද මේ ?

Praසන්ன said...

මිතුරුකම ගැන හොද අර්ථකතනයක් දීල තියෙනව.
සින්දුවත් ලස්සනයි.

Kathandara said...

මේ සින්දුවේ එක්තරා සුවිශේෂී බවක් තියෙනවා.
ඒක තමයි අර ස්ථායි අන්තරා ආකෘතියට යටත් නොවී ඒකීයව ගලායෑම.
මං හිතන්නේ නෑ, මේ ආකාරයේ වෙනත් සිංහල සින්දු තියෙනවාය කියලා.
-කකා

වන්නි said...

හැම සැරේම මං බර වැඩි කරලා බල්න්නේ අ‍යියේ උඹ දාන පිංතූරේ දිහාව. හරිම සියුම් සම්බන්දයක් පෝස්ට් එකේ අන්තර්ගතයත් එක්ක තියෙනවා. හැබැයි අද නං ඇත්තටම මට තේරුණේ නෑ ගැල පීම. ඒත් අයියන්ඩ් කලින් කෙනෙක්ට තේරුං කලාට පස්සේ තමයි මගෙත් මොලේ පෑදුනේ... :)

කැළණිතිස්ස said...

තිස්ස අයියේ ඉතින් කොහොමද? කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිඋනා.. ඇත්තමයි මට නම් අයියා කියනකම් ඔය එන්ජිමේ කතාව මට නම් තෙරුනේ නෑ... ඒක සෑහෙන්න කල්පනා කරලා පොස්ට් එකත් එක්ක ගලපලා ගන්ට ඔන දෙයක් වගේ.. හරි ඔන්න මාත් මේක බෑවා.. ස්තුතියි සින්දුවට..ජය වේවා!

තිස්ස දොඩන්ගොඩ said...

රවී මහත්තයෝ මම සින්දුව සොයාගන්න බලන්නම්...
බැරි වෙන එකක් නෑ...

TG said...

හම්මෝ ආත්ම ගානක් ඈතට ගියා මේ සින්දුවත් එක්ක .මතක්වුනේ මගේ ආච්චිගේ ගෙදර තිබුණ පරණ රේඩියෝ එකයී එස් එල් බී සී එකේ සමහර වැඩසටහනුයි . මම මාර විදියට ආස සින්දුවක් ,මේ සින්දුවට ආස නිසා තමයි මගේ බ්ලොග් එකට නමත් වැටුනේ .මේක අහස්ගව්ව චිත්‍රපටියේ සින්දුවක් නේද ?ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑව වෙන්න ඕනේ. ඒ කාලේ ජේ වී පී අප් රයිස් එකෙන් පස්සේ 1974 වගේ රස්සා නැති තරුණ පිරිසක් ගැන කතා කල මූවි එකක් විදියටයි මතක තාරුණ්‍යයේ නිමක් නැති බලා පොරොත්තු , ජවය හා , අවිනිශ්චිත කම් , සාමූහික වීම හරි ලස්සනට කියවෙනවා .

තව මේ වගේම මම ආස සනත්ගේ වැඩිය නොඇහෙන ලස්සන සින්දුවක් තමයි

නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ

ඒ එක්කම මේ වගෙම අදහසක් තියෙන නන්දගේ සින්දුවකුත් මතක්වුනා

යොවුන් වසන්තේ -දුහුල් වලාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

Post a Comment

 
Blogger Wordpress Gadgets