සඳ.....

පෝය පහකින් ආයේ එන්නම් කියා පිටත් වූවද එලැඹෙන පොහොයක් ගානේ "අනේ මව් රටේ උන්නානම් පන්සලකට ගොහිං මලක් පහනක් පූජා කරනවා නේදැයි" සිතේ. මිනිස් සිත පාපයට ඇදෙන්නේ කාන්දමක් මෙනි. කරණවැමියාට මඛාදේව රජු standing instruction එකක් දී තිබුණේ නර කෙසක් දු‍ටු විගසම red alert එකක් දෙන පරිද්දෙනි. අනතුරු හැඟවීම ලැබුණු සැනින් රජකම දූපුතුන්ට පවරා වනවැද උට්ඨාන වීර්‍යයෙන් භාවනා කොට බඹළොවත් ඉපදිණි. අප්පා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා වේයැයි කිව්වහේ red alert ආ කල පුතුන් දෙන්නත් ඒ මගම ගියා. පස්සෙන් පහු පොඩි රිවීව් එකක් දා බලනකොට බඹලෝකේ හිටි මඛාදේව රජ්ජුරුවන්ට පෙණුනා මේ වැඩේ දිගටම කරගෙන යන්න කෙනෙක් නැතිවෙන තත්වයක් මනුලෝකේ - ඕං ආයෙම නිමි කුමාරයා වෙලා මේ ලෝකෙට ආවා චාරිත්තරේ නොකඩවා අරන් යනු පිණිසම.

ඔහොම නිමි කුමාරයා වෙලා බොහෝ පින් දහම් කරන් ඉන්නකොට කාටත් වාගේ කුමාරයාටත් සැකයක් ආවා "මේ කරන එව්වායින් පලක් වෙදැයි" කියලා. කළින් නිමි කුමාරයාගේ ලොක්කා වෙච්චි සක්‍රයාට මේක දැනුනාම අනෙක් වැඩ පස්සට දාලා "මුන්නැහේට පෙන්නන්නම් පවේ පිනේ විපාක" කියලා, හිතුවා නිමි කුමාරයාව පොඩි චාරිකාවක් එක්ක යන්න. සඳුදා උදේ මීටිමේදී බොසා "OK guys we have a good news and a bad news" කියලා, බෑඩ් නිවුස් දෙකක්ම දෙන්නැහේ නිමි කුමාරයාව චාරිකාව එක්ක යන්ට යවාපු රථාචාරී මාතලී ඇහුවා "ඉස්සෙල්ලා අපායටද දෙව්ලොවටද යන්ට ඕනෑ" කියලා නිමි කුමාරයාගෙන්. අපිත් සඳුදාට Bad news first කියන්නැහේ මුන්නැහෙත් කියාපි "අපායම මුලින් බලමු"යි කියා.

ඕං ඉතින් නිරයන් බලාන ගිහිං ගිහිං, දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල් වනවලින් පිරී ඇති, "ඉඹුල්වන" නිරයට ආපි. මේකේ ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පැත්තේ එවැනිම වූ පහතට හැර වූ කටුත් තියේ. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. එහෙව් වදයක් දැක තැතිගත් කුමාරයා දැකලා මේං මෙහෙම විස්තරයක් මාතලීත් කියාපි "මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹු හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්" යැයි පහදා දුනි. එතනිං ගියහම "මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බව" ත් කීවා.

චාරිකාව නිමකර හො‍ඳෙයි නරකෙයි ප්‍රථිඵල දෙකම දැකගත්තු නිමි කුමාරයා, සැකක් නැතිව, විචිකිච්චා මගෑරලා පින් දහම් වල යෙදිලා ආයෙමත් red alert ආවහම චාරිත්තරේ ඉස්සරහටම අරන් ගියා.

උතුරු සළු හැඳ...

උතුරු සළු හැඳ පොරවලා
උතුරු දම් හද තවරලා
පතුරණා මුදිතා සිනා
මිතුරියේ ඔබ දු‍ටුවෙමී

සරණ සිල් ගෙන අරණ තුල උන්
උවැසියන් මැද්දේ
ගුවන තරුපිරි වැරුණ සඳ සේ
සිටි පබාවතියේ... සඳසේ සිටි පබාවතියේ

වීතරාගී හදවතකි ඇස
නැත සරාගී රස විඳින්නේ
දෑත සංවරලෙස තබන් මා වෙත
සෙමින් පියවර නගන්නේ

නුමුමුණන්ණෙමි වදනකුදු මම
ඔබට ඇති අපමණ දයාවෙන්
ඉවත් වන්නෙමි වෙහෙර බිම ඇති
නොකිලිටි සුදු වැළි තලාවෙන්

ගුණසේන කඩිගමුව / සිසිර සේනාරත්න



පියවර තබනා හඬින්...

පියවර තබනා හඬින් පවා
මට ඔබා හඳුනා ගත හැකි නම්
මා වෙත හෙලනා නෙතින් නුරා
මට ඔබ හැඳිනිය නොම හැකිදෝ
එනමුදු හිතවත මුනිවත රකිමි
සමාවෙන්න මා අන්සතු ලඳකි

උදේ දිවාරෑ රසබස් මුමුණා
සුවයහනක සතපන හැටි දනිමි
නිබඳව ඔබේ හද සනහස ගෙනෙනා
රස සිලිලාරය මම බව දනිමි
එනමුදු හිතවත මුනිවත රකිමි

මින්දද හීයේ පස්මල් සුවඳයි
නුරාව වැහෙන ඔබෙ නෙතු කැල්මයි
නිහඬව ගෙන එන ඔබේ ඇරයුමයි
මගෙ සිත දනිතත් මුනිවත රකිමි
සමාවෙන්න මා අන්සතු ලඳකි


ත්‍යාගා එන් එඩ්වඩ්/චන්ද්‍රසේන රංගේ/ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

Read More!

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.
----------------------------------------------------------------------------------
පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද මධුවිත හිස්වන්නේ කථා බහේ උණුසුම අනුවය. අප බොහෝ දෑ කථා කලෙමු. අවසානයේ මගේ බ්ලොග් සටහන් වෙතටද කථා බහ සම්ප්‍රාප්තවිය.

අනූ ගනන් වල මුල්ම හරියේ විශ්ව විද්‍යාලයට ගිය අප, එහි ගියේ භයානක භීම සමයක් එයින් පිටත ගෙවාලමිනි. පළමු ශිෂ්‍ය නියෝජිතයන් තේරීමේදීම නඩය දෙකට බෙදෙන ලදී... එහෙත් එදා පටන්ම එක දිගට අවුරුදු හතරක්, අඛන්ඩව අධ්‍යයන කටයුතු කළහැකි ආකාරයට අනේක ගැ‍ටුම් මධ්‍යයේ වුවද, බැ‍රැරුම් භූමිකාවක් කල, මා බෙහෙවින් ගරු කරන අපේ සගයෙක්ද සුහද හමුවට එදා පැමිණ තිබිණ. ආනන්දයෙන් සිප් සතර හැදැරූ ඔහු අද ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලම තණතුරක් දැරුවද තවමත් ඔහු එදා ඒ මා දු‍ටු සරල සොඳුරු මිනිසාමය. ඔහු අප මෙන් දොඩමළු වන්නේ නොවේ. වචන මුවින් පිටකරන්නේ වචන වලට ලෝබ වෙමිනි. ඒ නිසා ඒවා අහක දැමීමට කිසිසේත්ම නුලුළුවන. අපි ඔහුට "සමන්" කියමු.
---------------------------------------------------------------------------------
"ඔය බ්ලොග් ලියන කොට උඹට අමතර වාසිත් ලැබෙනවා ඇති නේද....?" ඇසක් ඉඟි මැරූ සමන් කීය. උපහාසය වටහා ගත් මම පැලය පීදෙන්නට පෙර ඉක්මණින්ම එය එසේ නොවන බව සරලව කීවෙමි. "අනේ පලයං බං යන්න... ඔය කොයි එකත් අන්තිමට හුච්චක්කුවක් වෙන එක වලක්වන්න බෑ..." සමන්ගේ හඬ දැඩිය. "උඹ ඉතින් මගේ සටහන් කියවනවානම් මම ඒ ගැන හිතන හැටි උඹට තේරෙයි..." අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වුනු මා කීවෙමි...  "උඹ ඔය ලියන එව්වා ඇත්තද බොරුද කියන එක පැත්තකින් තියමු, ඒත් ඒවා ඇත්තනම්, ඒක ඒ උඹ අවුරුද්දෙන් භාගයක් ගෙදරින් පිට ඉඳලා එන නිසා හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි, උඹත් දිගටම ගෙදර හිටියනම් ඔය හැඟීම් වල කිසි හරයක් නෑ, උඹටත් බෙන්ස් එකක් පදින්න හිතේවි....." සමන් යලිඳු දෙනෙත් අයාලේ යන්නට හැර අවකාශයට වචන කිහිපයක් මුදා හලේය. විදුලි බල මණ්ඩලයේ ලාභ හා පාඩු වෙත කථාව හැරිණි...
---------------------------------------------------------------------------------
රාත්‍රී දොලහෙන් පසු සුක්කානම මත දෙඅත් තබා අසීරුවක් නැතිව මාර්ගයේ එක එල්ලේ වාහනය එලවිය හැක. ගත් සුලු මධුවිතෙන් අවුල් නොවූ සිත සමන් ගේ කථාවට නැවතත් මාව අදියි.
"ඌ කියාපු දේ එහෙම්මමද..??" මගේ හිත මගෙන්ම අසයි...

"මිහිරෙන් මා දිනු බාල ලඳුන්... කෝමල ඔබ මා නෙතට අඳුන්...
අමල් බිසෝ මගේ අමල් බිසෝ.... ඔබගෙන් මා හදවත උණුසුම්..."

මධුවිතෙන් බලපෑමක් නැත්තේම නැත... ඒ හිතේ පතුල අතගායි..... ජනේල වීදුරුව ඇරගත් මම ඒ පදවැල මහහඬින් ගායනා කරන්නට පටන් ගතිමි... දෙපස මාර්ගයේ ඇති වීථි ලාම්පු පි‍ටුපසට යන වේගය ඉක්මන් කල යුතුයැයි මට සිතිණ....
---------------------------------------------------------------------------------
"අද පොඩියක් රෑ වෙයි... කැම්පස් එකේ කට්ටිය මට සෙට් වෙන්නේ ගොඩක් කාළෙකින්... ඔයා කෑම කාල දොරයතුරු දාලා නිදාගන්න.... මම අනෙක් යතුර අරන් යන්නම්..."
"ඇයි මොකද, දොර නාරින් අමල් බිසෝද....?" ඈ සිනාසෙයි...

ගෙදර උදවියට නෑසෙන අයුරින් සීරුවෙන් ගෙට්‍ටුව අසල වහනය නැවත්වූ මා ගේට්‍ටුවේ කොක්ක පැන්නූ සැණින් ගෙදර ඉදිරිපස විදුලි බුබුල දැල්විණි....
"හ්ම්ම්ම්...ඉතින් කිව්වට අහන එකක්යෑ...." මගේ හිත මටම කියාගනී...

වාහනය ගරාජයට දැමූ මම අවදිව සිටින්නේ ඇයිදැයි ඈගෙන් ඇසීමි.... ඒත් ඒවාට උත්තර හැටියට හැමදාම ලැබෙන්නේ "කොහොමද අදවත් කෑම අල්ලලා ගියාද...?" වැනි ප්‍රස්නය...

"යමු යමු හොඳටෝම රෑවෙලා..." ජනේලය ලඟ මුහුණට මුහුණලා තැබූ පු‍ටු දෙක නැවත සකස් කරමින් ඒ මත තිබූ කොට්ටයත් පෙරවන රෙද්දත් එක් අතකින් ගත් ඈ අනෙක් අතින් මගේ සුරත අල්ලා ගත්තාය....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී...
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී....
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී....
උදම් හිතින් මතුදා හි‍රු දැක ගන්න හැකී....

හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී...
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී....
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී...
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....

ගීතය අහන්න... ඕනනම් බාගන්න...

පසු ලිපි: ගීයේ පබැඳුම ඔගස්ටස් විනයාගරත්නම් සූරීන්ගෙනි. කතන්දර සූරීන් කීවාක්මෙන්ම ඔහුගේ පබැඳුම් ඉතා අරුමය. මේ ගීයට පෙම් බැඳි මුත් මට මේ ගීය අසන්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. ලුහුබැඳීම ඇරඹිණි. වික්ටර් රත්නායකයන් පැරණි නාවින්නේ ගෘහයේ දැන් වාසය නොකරයි. ඔත්තුවක් හරහා ඔහුගේ පුත් ජයන්ත රත්නායකයන්ට කථා කලෙමි. ඉතා කාර්‍ය බහුලව සිටියද මට ඉතාමත්ම හොඳින් කථාකල ඔහු ඔහුගේ නැගණියන්ට කථාකොට ඒ බව දන්වන මෙන් ඉල්ලා සිටියේය. මා ඇයට කථාකරන විට ඇ සිටියේ දරුවාට බෙහෙත් ගන්නට ගොසින්ය. දෙතුන් වතාවක් කථාකොට ඈ නිදහස් වෙලාවක සම්බන්ධ කරගත් පසු ඈ මට ඇවැසි සින්දු කිහිපය කොළයක ලියාගත්තාය. හදිසියේ ලංකාවට යන්ට සිදුවූ පසුගිය දිනක නැවතත් ඇ සම්බන්ධකරගත්පසු මට පහසු ආකරයකට මේ ගීය ලබාදීමට ඈ කටයුතු කලාය. චාන්දනී ගුණසේකර මැතිණියනි ඔබට බොහෝ පින්.
Read More!

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා... හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවමාරුවක් පසුගිය ගීයත් සමග සිදුවුණි. සිංහල කණ්ඩායම් සංගීතයද ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයක් නැතිවම ආරම්භ වුණද, පසුව එයින් ලද යම් අනුග්‍රහයක් නිසා උපරිමයකට නතුවී "සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ" මෙන් දැන් නැත්තටම නැතිවී ඇත්තාසේය. හුදෙක් පුද්ගලයන් සමූහයක් එක්ව කරන ගායනයක්, වාදනයක් කණ්ඩායම් සංගීතයක් ලෙස ගැනිය නොහැක්කේය. කණ්ඩායම, පුද්ගලයන් ඉස්මතු නොවී, කණ්ඩායම ලෙස ඉස්මතුවී පෙනෙනා නිර්මාණ තුලින් බිහි කරන සංගීතයෙන්ම එහි අනන්‍යතාව රඳවාගනී. සංගීත කණ්ඩායම් බිඳී යන්නට මූලික හේතුවක් ලෙස, පුද්ගලයින් කණ්ඩායමෙන් ඉස්මතුව ගොඩනගා ගන්නා ප්‍රතිරූපය ගැන කරගන්නා අධි තක්සේරුවකුත් හේතු වේයැයි මට සිතේ. සංගීත කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, පවත්වා ගෙනයාම, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීම අධික පිරිවැයක් සහිත කාරියකි.

සිංහල කණ්ඩායම් සංගීතය, ලොස් කැබෙලෙරොස්ලා ගෙන් පටන්ගෙන, ලා සිලොනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, සමනළයෝ, මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස් හරහා පසුව ජිප්සීස්, ශක්ති, සිහ ශක්ති හරහා මේරියන්ස් ලාගෙන් ඉවර වුණි යැයි සිතිය හැක.

සන්ෆලවර්, ෆෝචූන්ස්, ෆ්ලැෂ්බැක්, අපසරාස්, මාරිම්බා, [ගෙම්බා කියා එකකුත් ඇතිද?] "සංගීත කණ්ඩායම්" මිසක "සිංහල කණ්ඩායම් සංගීතයේ" කොටස් කරුවන් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ

සිංහල කණ්ඩායම් සංගීතයේ අවගමනයට බලැපෑ, ආර්ථික කරුණු, ප්‍රාසාංගික කලාවන් ඇහිරීම, "සාහිත්‍යය කන්ඩද?" වැනි සංකල්ප, පසෙක තියෙද්දී අප නැවතත් ලංකාවේ සංගීත වියතුන් "සිංහල කණ්ඩායම් සංගීතය" ගැන තුබූ දැක්ම හා ඒ පිලිබඳ ඔවුනගේ විචාරාක්ෂිය, අතීතයේ යොමු වූ ආකාරය සොයා බැලීම අද දවසේ අංකුර සංගීත නිර්මාපකයින් හඳුනා ගැනීම, ඔවුනට අතදීම, අගය කිරීම, සම්බන්ධයෙන් කෙතරම් වටීදැයි සොයා බැලීමට අවස්ථාවක් වන්නේය.

පහත උධෘතයන් මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" පොතිනි

[පි‍ටුව 114] "ගුවන් විදුලි සංගීතය උසස් තලයකට නැංවීමට ප්‍රමිති ගත කිරීමට අනූපමය මෙහෙයක් කළ එහි සංගීත පාලක පී ඩන්ස්ටන් ද සිල්වා කණ්ඩායම් සංගීතය පි‍ටු දු‍ටු ප්‍රධාන උද්ඝෝෂකයෙක් විය. සිංහල සංගීතයට බටහිර සංගීතය මුසු වීම නො සිදුවිය යුත්තකැයි ඔහු විශ්වාස කළේය. ඩන්ස්ටන් ද සිල්වා, ජෙරාල්ඩ් වික්‍රමසූරියට [සූරිය ලේබල් තැටි නිශ්පාදක] කියා සිටියේ ඔහුගේ ලේබලයෙන් එන කන්ඩායම් සංගීතය විෂ බවත් ඒවා කසල ගොඩට විසිකල යුතු බවත්ය. [පි‍ටුව 115 ] ඩන්ස්ටන් ද සිල්වා අතුලු සම්භාව්‍ය සංගීත කරුවන් කණ්ඩායම් සංගීතය හැඳින්වූයේ "තුප්පහි සංගීතය" යන නමිනි."
[පි‍ටුව 115] "බටහිර සංගීතය ප්‍රියකලද කණ්ඩායම් සංගීතය ප්‍රිය නොකල කේමදාස 'සරසවිය' පත්‍රයට ලිපියක් ලියමින් මෙසේ කියා සිටියේය. 'මාගේ ලොකුම විරුද්දත්වය මේ වාගේ විකාර දේවල් කණ්ඩායම් සංගීතය ලෙස හැඳින්වීම ගැනයි. මේවාට සංගීතය කියන වචනය යෙදීමත් නින්දාවක් මොවුන්ගේ ගීත වල සාහිත්‍යයක්වත් සංගීතයක්වත් නැහැ. ඇත්තේ එකම හඬක් ඔස්සේ කරන ඝෝෂාවක් පම්ණයි. .... මේ නවීන විකාර දේවල් බටහිර සංගීතය ලෙස හැඳින්වීම බී‍තෝවන්, ශූබ'ට් වැනි බටහිර සංගීතඥයණයනට කරන නින්දාවක්"
[පි‍ටුව 115] "ප්‍රවීණ සංගීතඥයකු වන සෝමදාස ඇල්විටිගල 'සරසවිය' පුවත් පතට - අලුත් සංගීත කණ්ඩායම් නිසා සිංහල සංගීතයට වෙලා තියෙන්නේ විශාල හානියක්. මෙය අපේ දේශයේ සංගීතය ට බෝවුණු වසංගතයක් වාගේ... මේ සංගීත කල්ලි වල සමහර ගීත අහගෙන ඉන්න බැරි තරම් කංකරච්චලයක්. හැම තිස්සේම වාදනය කරන්නේ කිසිම විවිධත්වයක් නැති එකම රිද්මයක්."
[පි‍ටුව 116] "...අමරදේවයෝ මෙසේ කීහ - නා නා විද මිනිස් කොටස් වලින් සැදුම් ලත් අපේ සමාජයේ කණ්ඩායම් සංගීතය වැනි දෙයක් බිහි වූයේ ඊට ප්‍රිය කරන එක්තරා කොටසක් සිටි නිසයි. ඔවුනටත් සංගීතයක් තිබිය යුතුයි. හැමදෙනාගේම රස වින්දනය එක මට්ටමක නැහැ. අපේ සංගීතයේ භාහිර ලක්ෂණ ඒ ඒ කාලයට අනුව වෙනස් වේවි. එහි මූලික හරය හැමදාම නොනැසී පවතීවී..."
[පි‍ටුව 116] "ෂෙල්ටන් ප්‍රේමරත්න - සංගීත කණ්ඩායම් නිසා අපේ දේශීය සංගීතයට හානියක් වන්නේ නැහැ. සමාජයට අවශ්‍ය දෙයක් තියනවා නම් එය සමාජයේ ජීවත් වෙනවා. සමාජයට අනවශ්‍ය නම් නිරායාසයෙන්ම නැතිවෙලා යනවා. සමාජ විපර්‍යාස සීදුවන මෙවනි කාලයක මේ අලුත් සංගීත කල්ලි ජනප්‍රිය වෙන්න හේතුව එවැනි සංගීතයක් සමාජයට අවශ්‍ය නිසයි. ඒවායේ වචන වලට වඩා බලපාන්නේ රිද්මය. මිනිසුන්ට ඒකාකාරී බවෙන් මිදෙන්ට අවශ්‍යයි. එක් එක් අවස්ථාත් සඳහාත් එක් එක් විදිහේ සංගීත ශෛලීන් අවශ්‍යයි. එකම දේකින් සියල්ල පිරිමහා ගන්න බැහැ. මේ බටහිර ශෛලියේ ගීත අපේ රටේ ජනප්‍රිය වීමට එක් හේතුවක් මේ මිශ්‍ර ජාති රිද්මයයි... මේ අලුත් සංගීත ක්‍රමය නරකයි කියල බැහැර කළයුතුයි මට හිතෙන්නේ නෑ. මන්ද ඒ ගීතවල එක්තරා ක්‍රමවත් රටාවක් ශාස්ත්‍රීමය හරයක් තිබෙන නිසා.."
 [උධෘතයන් නිමයි]

ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.

ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණමිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

බොලඳ සිතුම් ඉවතට යයි...
වෙළඳ පැතුම් අහකට වෙයි...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී ...

සිලිටි දෙතොල් හිතට නැගේ...
දිගටි දෙනෙත් පියාසලයි..
හදවතේ යහන් මලුවේ..
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
හදවතේ යහන් මලුවේ...
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණ මිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.
Read More!

සැලෙන ලෙලෙන උකුලු තලේ..

රසායන විද්‍යා මහැදුරු ජේ කේ පී ආරියරත්න මහත්තයා අනූවේ අගභාගයේ පමණ සේවාස්ථානයට පැමිණියේ දේශනාවක් සඳහාය. ආරාධනය ආයතන බෞද්ධ සංගමයෙනි. ඔහුගේ මාතෘකාව ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව හා නූතන විද්‍යාත්මක ක්‍රමය අතර ඇති "සමානාත්මතාවන්" ය.  දේශනාව අතරතුර විශ්වීය සත්‍යයක් පිලිබඳ සඳහන් කල ඔහු ප්‍රස්න අසීමේ අවස්ථාවේදී විශ්වීය සත්‍යය යනු කුමක්දැයි ඇසූකල එක එල්ලේ උත්තරයක් නොදුනි. ඉන්පසු තවෙකෙකු "උපතින්ම සංවේදන ඉන්ද්‍රියයන් පහම අකර්මණ්‍ය කෙනෙකු අතින් සංස්කාර බිහිවේද..?"යි ඇසූ කල වටේ රවුම් ගසන්නට පටන් ගති.

අපට යමක් හරියට තේරුම් ගියාදයැයි යන්න විසඳාගත හැකි එක් මගක් නම් එය තමන්ගේ මිත්තනියට අවබෝධ කරදෙන්නට උත්සාහ කිරීම යැයි කව්දෝ විද්වතෙකු කියා තිබිණ.

බොහෝ කලා මාධ්‍යයන්ගේ උන්නතිය සඳහා යහපත් විචාර කලාවක් අත්‍යාවශ්‍යම වන්නේ එබැවිණි. යම් යම් මතිමතාන්තර, සංකල්ප, පංචේන්ද්‍රියන් හරහා ඔප්පුකරලීමට තැත්කිරීම හා ඒවාට අභියෝග කිරීම, ".... සාක්ෂාත් වෙත්වා.." යැයි නිතර අසනා, අප ඉන්නා වටපිටාවෙහි, නොසැලකිලිමත් මනසකට හෝ අවියත් මනසකට හැර අනෙකෙකුට නොකල හැක්කකයි සිතේ. ආදරය යනු රසායනික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නම් එහි ප්‍රභේද ඇත්තේ කෙසේද යන්න කදිම පැණයකි.  "වදාරන්න පෙර හදාරන්න ඕනේ" යැයි වික්ටර් රත්නායක මහතා වරෙක කියා තිබිණ. ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීය "නුපුබුදු තැඹිලි මල් ඇගෙ දඟ යුගට මනකල් " කව පන්නයේ ගීයකි. සඟවා කියනා සෘංගාරය බෝහෝ කල් රසවිඳිය හැකි යැයි මට සිතේ. ඝණකාභයක් අතපත් කුඩා දරුවෙකු එය හරව හරවා විවිධ මානයන් දක්නා සේ ඒ රස විඳිය හැක.. කිසියම්ම රසයකින් තොරව එයින් බල්ලකුට දමා ගසන්නට සැරසෙන කල බාලාංස ගුරුවරිය හේ ලඟට ගෙන එයින් කල හැකි, ඒ දැකිය හැකි අපූරු මානයන් කියාදෙන්නාසේ යහපත් විචාරයෙන් ඔප්ණැංවෙන රසවින්දනය නැවුම් රසවත් නිර්මාණයටම මග පාදයි. ඒ වගත් මෙසේම....

සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කළේ...
කල මහ පින පෙනෙන වෙලේ...

ඇහැල ගහෙන් පායන හඳ
ලඳුනි මටයි විහිලු කලේ....
ලඳුනි මටයි විහිලු කලේ....නාඹර මැණිකේ....
නාඹර මැණිකේ මැණිකේ නාමල් මැණිකේ...

උකුලේ නැඟැ නැලැවි නැලැවි
ලිඳට යනෙන වතුරු කළේ...
හොවා ‍රැගෙන මම එන්නම්....නොයන්න මැණිකේ...
නාදළු මැණිකේ නාමල් මැණිකේ...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...


ඔව්වා ඔක්කොම කලාට පසු මෙතෙන්ට ගිහිල්ලා මේ සින්දුවත් අහන්න...
එතැනට පාර පෙන්නුවේ මේවා ගැන විමසුමෙන් ඉන්නා වැම්පයර්...
ඒ සින්දුව කියන්නේ මේ දරුවෝ දෙන්නා...
අපි වෘතයක යනවද, නැත්නම් වෘතයක යනවා කියලා හිතාන සර්පිලාකාරව පහලට යනවාද කියා ඔබම තීරණය කරන්න...
Read More!

දහඩිය මුතුලැල් උර පලඳින්නයි...!

වෛද්‍යවරුන්හට තමන් අතින් සිදුවන වෘත්තීමය අතපසුවීම් නිසා ලබන දඬුවම් වලින් මූල්‍යමය ‍රැකවරණයක් ලැබීමට රක්ෂණ ක්‍රමයක් ඇත්තේය. ලංකාවේ මෙය ප්‍රචලිත හෝ ආරම්භ හෝ වූයේ මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එරෙහිව රියන්සි අර්සකුලරත්න මහතා (පසුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වර) විසින් ගොණුකරන ලද නඩුවෙන් මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට රුපියල් මිලියන පහක පමණ දඩ මුදලක් ගෙවීමට පසුව යැයි මගේ කල්පනාවය. නගාරන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය කෙසෙල් ගෙඩියක් ලෙලි ගසන්නාක් මෙන් පසා කරගෙන අනෙක් දුම්රියේ රියැදුරු සියදිවි හානි කරගත් පසු දුම්රිය වෘත්තීය සමිතීන් නැවතත් වැඩට බැස ඇත. නැනෝ කැබ් රථ කොලඹ නගරයට හඳුන්වාදීමෙන් පසු ත්‍රි රෝද රථ රියැදු‍රැන් විසින් මහත්ම උද්ඝෝෂණයක් නගනා ලදී. රජයේ රෝහල් වල ඇටෙන්ඩන්ට් වරියන් විසින් දැන් අඳිනු ලබන්නේ හෙදියන් අඳින නිල ඇඳුමට සමාන එහෙත් පාටින් ලා කහ ඇඳුමකි. මෙය ඔවුන් දිනාගත්තේ බලවත් වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහාය.

තම දහදියෙන් උපයන ශ්‍රමය සැබැවින්ම අභිමානයට කාරණයකි. එහෙත් එය කේවල් කලයුත්තේ ශ්‍රමාභිමානය ඔපනංවනා අයුරෙන් මිස තමන් අයිති වන අනෙකුත් කුලකයන් පීඩාවට පත්වන අයුරින් නොවේමය. අදටත් ප්‍රබල සක්‍රීය වෘත්තීය සංගමයකට පිටිබලය වන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ අසූව දශකය අගභාගයේ වරද්දාගත් කාරණයනම් මෙයමය. පසුව යම් රූපාන්තරණයක් පෙන්වූ ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ටී බී ඉලංගරත්නයන්ගෙන් පසු ලංකාවේ ඛණිජ තෙල් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන්නම් තම දායකත්වය අනෙක් සියලු දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් පසුගාමීව සිටි වකවාණුවේ උපරිමව දක්වන ලදී. මෑත කාලයේ සිදුවූ හෙජින් ගිවිසුම [අනාථ ගිවිසුම - දැන් මෙයට බාර කරුවෙක් නැත...!] හා බාල පෙට්‍රල් කාරණා සම්බන්ධයෙන්, ජාතික පුවත්පත් කෙතරම් තිබුණද, වාර්ථාකරුවන් වාර්ථාකරණයේදී හා විග්‍රහයේදී කෙතරම් පඳුර වටේ කැරකුනද,මා දු‍ටු හොඳම විග්‍රහය කෙරුණේ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ කථා දෙකකිනි. "ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්" යන දෙපිට කැපෙන කථාවේ එක් පැත්තක් නම් "ගමේ හැටියට මුලාදැනියා" වීමය. පංතියේ මොනිටර්ගේ සිට සියලුම නායකයින් පාලකයින් තේරෙන්නේ අපාතරින්මය... සක්‍රීය වෘත්තීය සමිති ක්‍රියාකරිත්වයකට සාමාජිකයන්ගේ වෘත්තීමය දැනුමද බෙහෙවින් ඉවහල් වේ...

ලංකාවේ විශ්ව විද්‍යාල වල තෘතීය අධ්‍යාපනය මැයින් බොහෝ විෂයන් ඉගැන්වේ. මේවා සැබැවින්ම රටට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මිත ඒවාද යන්න බලවත්ම ප්‍රස්නයකි. එය එසේ විය යුතුමද යන්න ගැන වෙනම "සිම්පෝසියමක්" වුවද පැවැත්විය හැක. "විශ්ව විද්‍යාල ඇත්තේ විශ්ව දැනුම ලබාගැනීමටය" යන සුරතල් වැකිය අප විසින් චිරාත් කාලයක් සුරකිනු ලැබ ඇත්තේය. ඉතා දුෂ්කර පලාතකින් පැමිණ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලැබ දැන් පීඨාදිපතිවරයකු වී සිටින මහැදුරුතුමෙකුත් සහභාගී වූ ‍රැස්වීමකදී ඔහු විසින් "our students do not have adequate management skills" කී කල්හී, විශ්ව විද්‍යාලයේ නවක වදය ලබන කල අපට පුනුරුච්ඡාරනය කරන්න කී කුණුහබ්බ ගොන්නක්ම මගේ කටට ආවත් ඒ එළියට නොදමා වලකා ගත්තේ ඉතා අපහසුවෙනි. කළමණාකරණය කරන්නට නිෂ්පාදනයක් තිබිය යුතුය. නිශ්පාදනයක් කරන්නට එයට පුරුදු පුහුණු කරණු ලැබූ ශ්‍රම බලකායක් අත්‍යාවශ්‍යමය.. ඒ ඔස්සේ ගොඩනැගුනු, ඔපමට්ටම් වූ ශ්‍රමයෙන් අපට, රටට, අපේ මිනිස්සුනට ගැලපෙන නව නිපැවුම් උවමනාමය. ඒ සියල්ල පසෙක දමා විශ්ව විද්‍යාලය තුල සෙමෙස්ටර් ක්‍රමයක් ඔබා දරුවන්ට ඉස්පාසුවක් නොමැතිවම විෂය මොඩියුලයන් නිම කිරීමට බලකෙරෙන්නේය. ඉන්පසු අපේ ලමයින්ගේ දස්කම් මදියැයි ලමුන්ටම දොස් කියති.

අද අදේ මගේ සුපවයිසර්වරයා වෙත යම් ව්‍යාපෘතියක් ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන් මගේ කණස්සල්ල ප්‍රකාශ කල විට කීවේ " ..yes I agree with your point, but we can't choose our parents, can you..?" හැබෑව... වටපිටාව කුමක් වුවද අද දවසේ අප අත ඇති එක් වගකීමක් නම් අප ලබනා වෘත්තීය හැකියාව උපරිමයෙන් මුවහත් කරගැනීමයි... ඉනික්බිති, ඒ ඒ මාර්ග ඔස්සේ ඊලඟ පරපුරට ඉදිරියට ඒමට මංපෙත් හෙලි පෙහෙලි කර දීමයි... ඒතුලින් ඔවුන්ට රටට දිය හැකි උපරිම දායකත්වය ලබාදීමට උදව් දීමයි... යම් දිනෙක, පිරිසක් වෙණුවෙන් තීරණ ගැනීමේ, ඒවා ක්‍රියාවට නැංවීමේ, අවස්ථා ඒ දරුවනට උදාවණු ඇත... එදාට ඔවුන් අප දැල්වූ කණාමැදිරි එළියෙන් රටම බබලවනු ඇත...


දහඩිය මුතුලැල් උර පලඳින්නයි...
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ...

පිටරට අතපා සිත කය සතපා...
වින්ද නිගා නැති වෙන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

අද බිම හෙළනා දහඩිය බින්දූ....
ගයාවි අපගේ නිවහල් සින්දූ...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

චන්ද්‍රාණි ගුණවර්ධන / ඩෝල්ටන් අල්විස් / ලයනල් අල්ගම
Read More!
 
Blogger Wordpress Gadgets