මිහිරෙන් මා දිනු බාල ලඳුන්...

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.
----------------------------------------------------------------------------------
පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද මධුවිත හිස්වන්නේ කථා බහේ උණුසුම අනුවය. අප බොහෝ දෑ කථා කලෙමු. අවසානයේ මගේ බ්ලොග් සටහන් වෙතටද කථා බහ සම්ප්‍රාප්තවිය.

අනූ ගනන් වල මුල්ම හරියේ විශ්ව විද්‍යාලයට ගිය අප, එහි ගියේ භයානක භීම සමයක් එයින් පිටත ගෙවාලමිනි. පළමු ශිෂ්‍ය නියෝජිතයන් තේරීමේදීම නඩය දෙකට බෙදෙන ලදී... එහෙත් එදා පටන්ම එක දිගට අවුරුදු හතරක්, අඛන්ඩව අධ්‍යයන කටයුතු කළහැකි ආකාරයට අනේක ගැ‍ටුම් මධ්‍යයේ වුවද, බැ‍රැරුම් භූමිකාවක් කල, මා බෙහෙවින් ගරු කරන අපේ සගයෙක්ද සුහද හමුවට එදා පැමිණ තිබිණ. ආනන්දයෙන් සිප් සතර හැදැරූ ඔහු අද ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලම තණතුරක් දැරුවද තවමත් ඔහු එදා ඒ මා දු‍ටු සරල සොඳුරු මිනිසාමය. ඔහු අප මෙන් දොඩමළු වන්නේ නොවේ. වචන මුවින් පිටකරන්නේ වචන වලට ලෝබ වෙමිනි. ඒ නිසා ඒවා අහක දැමීමට කිසිසේත්ම නුලුළුවන. අපි ඔහුට "සමන්" කියමු.
---------------------------------------------------------------------------------
"ඔය බ්ලොග් ලියන කොට උඹට අමතර වාසිත් ලැබෙනවා ඇති නේද....?" ඇසක් ඉඟි මැරූ සමන් කීය. උපහාසය වටහා ගත් මම පැලය පීදෙන්නට පෙර ඉක්මණින්ම එය එසේ නොවන බව සරලව කීවෙමි. "අනේ පලයං බං යන්න... ඔය කොයි එකත් අන්තිමට හුච්චක්කුවක් වෙන එක වලක්වන්න බෑ..." සමන්ගේ හඬ දැඩිය. "උඹ ඉතින් මගේ සටහන් කියවනවානම් මම ඒ ගැන හිතන හැටි උඹට තේරෙයි..." අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වුනු මා කීවෙමි...  "උඹ ඔය ලියන එව්වා ඇත්තද බොරුද කියන එක පැත්තකින් තියමු, ඒත් ඒවා ඇත්තනම්, ඒක ඒ උඹ අවුරුද්දෙන් භාගයක් ගෙදරින් පිට ඉඳලා එන නිසා හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි, උඹත් දිගටම ගෙදර හිටියනම් ඔය හැඟීම් වල කිසි හරයක් නෑ, උඹටත් බෙන්ස් එකක් පදින්න හිතේවි....." සමන් යලිඳු දෙනෙත් අයාලේ යන්නට හැර අවකාශයට වචන කිහිපයක් මුදා හලේය. විදුලි බල මණ්ඩලයේ ලාභ හා පාඩු වෙත කථාව හැරිණි...
---------------------------------------------------------------------------------
රාත්‍රී දොලහෙන් පසු සුක්කානම මත දෙඅත් තබා අසීරුවක් නැතිව මාර්ගයේ එක එල්ලේ වාහනය එලවිය හැක. ගත් සුලු මධුවිතෙන් අවුල් නොවූ සිත සමන් ගේ කථාවට නැවතත් මාව අදියි.
"ඌ කියාපු දේ එහෙම්මමද..??" මගේ හිත මගෙන්ම අසයි...

"මිහිරෙන් මා දිනු බාල ලඳුන්... කෝමල ඔබ මා නෙතට අඳුන්...
අමල් බිසෝ මගේ අමල් බිසෝ.... ඔබගෙන් මා හදවත උණුසුම්..."

මධුවිතෙන් බලපෑමක් නැත්තේම නැත... ඒ හිතේ පතුල අතගායි..... ජනේල වීදුරුව ඇරගත් මම ඒ පදවැල මහහඬින් ගායනා කරන්නට පටන් ගතිමි... දෙපස මාර්ගයේ ඇති වීථි ලාම්පු පි‍ටුපසට යන වේගය ඉක්මන් කල යුතුයැයි මට සිතිණ....
---------------------------------------------------------------------------------
"අද පොඩියක් රෑ වෙයි... කැම්පස් එකේ කට්ටිය මට සෙට් වෙන්නේ ගොඩක් කාළෙකින්... ඔයා කෑම කාල දොරයතුරු දාලා නිදාගන්න.... මම අනෙක් යතුර අරන් යන්නම්..."
"ඇයි මොකද, දොර නාරින් අමල් බිසෝද....?" ඈ සිනාසෙයි...

ගෙදර උදවියට නෑසෙන අයුරින් සීරුවෙන් ගෙට්‍ටුව අසල වහනය නැවත්වූ මා ගේට්‍ටුවේ කොක්ක පැන්නූ සැණින් ගෙදර ඉදිරිපස විදුලි බුබුල දැල්විණි....
"හ්ම්ම්ම්...ඉතින් කිව්වට අහන එකක්යෑ...." මගේ හිත මටම කියාගනී...

වාහනය ගරාජයට දැමූ මම අවදිව සිටින්නේ ඇයිදැයි ඈගෙන් ඇසීමි.... ඒත් ඒවාට උත්තර හැටියට හැමදාම ලැබෙන්නේ "කොහොමද අදවත් කෑම අල්ලලා ගියාද...?" වැනි ප්‍රස්නය...

"යමු යමු හොඳටෝම රෑවෙලා..." ජනේලය ලඟ මුහුණට මුහුණලා තැබූ පු‍ටු දෙක නැවත සකස් කරමින් ඒ මත තිබූ කොට්ටයත් පෙරවන රෙද්දත් එක් අතකින් ගත් ඈ අනෙක් අතින් මගේ සුරත අල්ලා ගත්තාය....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී...
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී....
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී....
උදම් හිතින් මතුදා හි‍රු දැක ගන්න හැකී....

හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී...
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී....
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී...
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....

ගීතය අහන්න... ඕනනම් බාගන්න...

පසු ලිපි: ගීයේ පබැඳුම ඔගස්ටස් විනයාගරත්නම් සූරීන්ගෙනි. කතන්දර සූරීන් කීවාක්මෙන්ම ඔහුගේ පබැඳුම් ඉතා අරුමය. මේ ගීයට පෙම් බැඳි මුත් මට මේ ගීය අසන්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. ලුහුබැඳීම ඇරඹිණි. වික්ටර් රත්නායකයන් පැරණි නාවින්නේ ගෘහයේ දැන් වාසය නොකරයි. ඔත්තුවක් හරහා ඔහුගේ පුත් ජයන්ත රත්නායකයන්ට කථා කලෙමි. ඉතා කාර්‍ය බහුලව සිටියද මට ඉතාමත්ම හොඳින් කථාකල ඔහු ඔහුගේ නැගණියන්ට කථාකොට ඒ බව දන්වන මෙන් ඉල්ලා සිටියේය. මා ඇයට කථාකරන විට ඇ සිටියේ දරුවාට බෙහෙත් ගන්නට ගොසින්ය. දෙතුන් වතාවක් කථාකොට ඈ නිදහස් වෙලාවක සම්බන්ධ කරගත් පසු ඈ මට ඇවැසි සින්දු කිහිපය කොළයක ලියාගත්තාය. හදිසියේ ලංකාවට යන්ට සිදුවූ පසුගිය දිනක නැවතත් ඇ සම්බන්ධකරගත්පසු මට පහසු ආකරයකට මේ ගීය ලබාදීමට ඈ කටයුතු කලාය. චාන්දනී ගුණසේකර මැතිණියනි ඔබට බොහෝ පින්.

20 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

නවෝදෙකින් එන්න හැකිළු..
මොනවද ලෙලවන්න හැකිළු..
මුවහත බලනටත් හැකිළු..
අනේ ඉතිං අපි නොදනිමු...

Weni said...

යන එනකොට අත පත ගෑවෙන්න තියෙන මල්වලට වඩා අතු අග පිපි මල් හරීම ලස්සනයි. ඉඳලා හිටලා ගහට නගින්නම එපායැ ඒවායෙ ලස්සන බලන්න !
"නෙළා ගන්න බැරි හන්දයි නුඹ ඔය තරමට ලස්සන"
ඇත්තක් නැත්තේම නැහැ..

Praසන්ன said...

මේ උඩ දෙන්න කියල තියෙන දේවල් මටනං තේරෙන්නෙ නෑ

Bindi said...

බොහොම සංවේදී සටහනක් තිස්ස . ගිය මිහිරියි . අහල ඇති බවක් මතක නැහැ . අපිත් තාත්ත එක්ක ඒ කාලේ අලුතින් චිත්‍රපටියක් ආවම බලන්න යනවා . කඩුවෙල තිබුන හෝල් එකට තමයි වැඩිය ගියේ . පරණ මතකයක් .
සින්දුවට වඩා ඔබේ සටහනට හිත ඇඳුනා. සමන් කිව්ව දේත් ඇත්ත වෙන්න පුළුවන් . ඒත් එහෙමයි කියල දුරින් ඉඳීම නිසා හරි වෙන හේතුවක් නිසා හරි ඔබ මේ දකින විදිහ ගැන හිනා වෙන එක වැරදියි . ගෙදරින් ඈත් වෙලා අවුරුද්දෙන් බාගයක් ඉන්න එක ගැන ඔබට ලැබෙන තෑග්ග එය නම් ඒ ත්‍යාගය සතුටින් විඳින්න . හැමදාම ළඟ හිටියම කොහොම දැනෙවිදැයි වද නොවී .

Buratheno said...

හික්ස්.. මාරයා තමා දවසකටවත් මාරයා.. :D

දුකා said...

හින්දි චිත්තරපටි වල වගේ සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කියලා අර අසල්වැසියෝ නාට්ටියේ කිව්ව වගේ මතකයි . . .

Grey said...

මේ සින්දුවනම් අහල නෑ තිස්ස අයියේ. :) හැබැයි හරි ලස්සනයි.
ඔය බෙන්ස් කතාව ගැන එකක් කියන්නම්. මම දන්නා මිනිස්සු ගොඩක් ඉන්නවා බොහොම ලස්සනට රටට ලෝකෙට පෙන්න ලංකාවේ පවුල් ජීවිත ගෙවන. නමුත් එළියේ කරන කියන දේ දන්නේ අපි තමා. ලංකාවෙන් පිට ඉන්න තිස්ස අයියත් ඕව දැකල ඇති ඕනේ තරම්. ඕව දැකලම දැන් මම මිනිස්සු විස්වාස කරන්නෙම නැති තරම්. ඉදල හිටලා හරි මේ වගේ කතාවක් ඇහුවම තමයි හිතෙන්නේ හැමෝම එහෙම නෑ කියලා.
තිස්ස අයිය හිතන විදිහට හිතන්න හැමෝටම බෑ. ඒක නිසා අක්ක ගොඩක් පින් කරලා ඇති. ඒ වගේම ඔය වගේ මනුස්සයෙක්ගේ හිතට අල්ලන විදිහට ජිවත් වෙන්න හැමෝටම බෑ. ඒ අතින් අයියත් ගොඩක් පින් කරලා තියෙනවා.

දිල් said...

අටුවාටිකා මොකටද.......ඇත්තටම තිස්ස අයියා ගෙ පවුල් ජීවිතය සහ ඔය දෙන්නා අතරේ තියෙන ආදරය අනිත් අයට හොඳ කතාවක් කියලා දෙනවා...ඒක තමා මම දකින හොඳම දේ...එතන බොරුව නෑ...

මේ සින්දුව නම් කලින් අහලා තිබුනේ නෑ අයියේ...අද තමා ඇහුවේ...

Beetle said...

මේක සිරාවටනම් ලිව්වේ, රටින් පිට ඉඳලා අත්දැකීම් ඇති කෙනෙක් හැටියට මට ඔබ ගැන අපමණ සතුටුයි..!

සින්දුව දාන්න ඕනෑවට ඔහේ බොරුවක් හිතලා ලිව්වනම්, කරන දෙයක් සීරු මාරුවෙන්...!

Podi Kumarihami said...

සිංදුවට වඩා සටහන ලස්සනයි. ඇත්තටම ඔය වගේ ආදරෙන් ඉන්න දෙන්නෙක් දකින්ට ලැබීමත් සතුටක්...:D

ඒ උනාට කමක් නෑ. එදා බස් එකේදී අල්ලගත්ත දේවල් ෆ්‍රිජ් එකේ දැම්මද? හී හී හී හී (just kidding )


බූරෝ ඔයා කීව දේ නම් තේරුනේම නෑ.

Buratheno said...

@පොකු,

ඒවා ගෑණු ළමයින්ට අදාල නැත.. :p

ජීවිතේ මල් said...

:-)
හැමෝටම එකම තියරිය අදාල නෑනෙ. නැද්ද?
මට හිතෙන්නෙ ඔය බෙන්ස් හුචක්කු තියරි දෙකම පුද්ගල මූලික දෙයක්. බෙන්ස් ගාලක් වටේ කෑරකි කෑරකි උනත් පයින් යන අය සිටිති.

'නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකි', අයියන්ඩි ඒ ඔයා ....

ජය ! ඔබ මුලුමහත් පවුලටම!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

සටහන නං බොහෝම සිත් ගත්තා.. සිංදුවත් ලස්සනයි.. ඒත් කටහඬ ඇහෙනවා අඩු නිසා රසය හරි හැටි විඳගන්න අමාරුයි..

තිස්ස අයියා වගේ පිරිසිදු පවුල් ජීවිත ගෙවන අය ඕන තරම් ඉන්න බව මං හොඳටම දන්නවා.. සමන් ගේ කතාවට මං නම් එකඟ නෑ.. හැමදාම ගෙදර යන ඔය වගේ විශ්වාසයක් ඇතුව ජීවිතේ ගෙවන මගේ හොඳම මිත්‍රයෝ බොහොම දෙනෙක් මේ ගොඩට අයිති වෙනවා. හැසිරීම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්... ඒත් ඔවුන්ට තමන් ගේ බිරිඳ ව හුචක්කුවක් වෙලා බෙන්ස් පදින්න හිතිලා නම් නෑ..

රූ.... said...

ලස්සන අදහසක්...විවාහ ජීවිතේ සතුට මිහිර ගැන ලියවිලා ඇති ගී ඇත්තේ අතලොස්සකි...
හිතක් ආදරයෙන් බැදෙන අයුරුත් යලි යලි එහිම ඇලෙන අයුරුත් පුදුම සහගත යැයි විටෙක මටද දැනී ඇත...

එහෙත් දෙහදක ඇතිවන ඒ සොඳුරු ලබැඳියාව කාලය,පිට ඔපය,දුර,වයස වැනි මානයන්ගෙන් දුරස්ථ බව පමණක් දනිමි.

නිසුපා said...

තිස්ස අයියගේ මේ සුන්දර හිතට තමා මං වැඩියම කැමති.අක්කා කොච්චර සන්තෝසෙන් ඉන්නවා ඇතිද...

මේවා කියව්වාම මං හැමදාම හිතන්නෙ ඇයි හැම මිනිහටම මෙහෙම ඉන්න බැරි කියලා.සමහරුනම් එක එක කතා කියයි ඒක මිනිස්සුන්ගෙ හැටි කියලා.ඒත් අපි මනස උස් වූ අය හැටියට ඇයි එක් කෙනෙක්ගෙන් සැනසෙන්න බැරි..

පිස්සා පලාමල්ල said...

සින්දුවටත් වඩා මට අල්ලල ගියේ අයියගේ සටහන....

ගෙදර ෆෙරාරි තියන් පාරේ යන බෙන්ස් පදින් එව්වො ඉන්න රටේ අපි ඔය ගැන කතා නොකර ඉමු... ජීවිතේ මල් කිව්ව වගේ ඕක පුද්ගලය අනුව තමයි...

Pathum Herath said...

මට හිතෙන්නේ බෙන්ස් කාර් වල යන්න ආස හිතෙන එක නම් කමක් නෑ..... ආස උන පලියට යන්න දඟලන්නෙ නැතුව ඉන්නවනම්...මොකෙන් කෙරෙන්නෙත් එකම වැඩේනෙ කියල උපේක්ෂාවෙන් බලන්න ඉගෙන ගන්නව නම් .... ඒකට ඉතින් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ... රත ගැන නෙවෙයි...හිත ගැන...

ඉන්දික උපශාන්ත said...

තිස්ස, මෙහෙ ඉන්නව අපේ හිතවතෙක් ඔය කියන ඔබේ තාලෙම. වයසින් ඔබට වැඩිය වැඩියි, එච්චරයි වෙනස.

ලස්සන කාර් දැක්කම අපිටත් ආස හිතෙන්නෙ නැතුව නෙමෙයි, ඒ අපිත් ස්වභාවික මිනිස්සු නිසා. ඒත් එව්ව පස්සෙ යන්න, අල්ලන්න, නඟින්න හිතන්නෙ නැතුව දසුනෙන් හිත පුරවන් පුරුදු හුචක්කුව බෙන්ස් එක කියල හිතන් පදින්න පුළුවන් වෙලා තීනව, ඒ අපි අස්වාභාවික සත්තු නොවෙන නිසා. ඔය දෙක අතරෙ වෙනස නොතේරෙන් එව්වො තමයි තමන්ගෙ හුචක්කුව බෙන්ස් වගේ දකින පිට උන්ට පදින්න දීල තමනුත් කාගෙ හරි හුචක්කුවක එල්ලෙන්නෙ.

ලොකු පුතා said...

මගෙත් හිතට බොහොම තදින් වැදුන තිස්ස අයගේ සටහන.
ගීයත් ඒකට යසට ගැලපෙනවා.
ඒ වගේම ඒක අදමයි ඇහුවේ. අපුරු ගීය.
(අයියගේ සටහන කියවද්දී මගෙනුත් බොහොම දුරක ඉන්න මගේ හද උණුසුම් කල මගේ බාල ළඳුන් සිහිවෙලා ඇහැට කඳුලකුත් ආව)

අනුන්ගේ බෙන්ස් වලින් කවදාවත් මේ කියවෙන ලෙන්ගතුබව ලබන්න බැහැ වගේම දෙන්නෙක් අතරේ ඇති වෙන බැඳීම ලඝු කරන්නත් බැහැ මොහොතක සුවයකට. මේ මට හිතෙන හැටි.

Chandi said...

සැබෑ සොඳුරු හිතක සුවඳ! තිස්ස, ළඟකදී බින්දි නංගිගේ සටහනකින් ඔබ ගැන දැනගතිමි. පසුගිය පොස්ට් කිහිපය කියෙව්වද ඒ සඳහා කමෙන්ටුවක් තබන්නට නොහැකි විය. මේ වගේ සොඳුරු විවාහ ජීවිත ගෙවන අය අතරට අපි දෙන්නාත් අයත් කියා ආඩම්බරෙන් කියන්න පුලුවන්. ඒ ඔහුත් ආනන්දයෙන් උගත් නිසාම දැයි නොදනිමි. ඈත අප්‍රිකානු රටකදී මට හමුවූවත් අද දක්වා එදා පිදූ සෙනෙහස නොසැලී තිබේ. කොපමණ රෑ ගෙදරට ආවත් මාත් එලෙසම ඉදිවරමින් මග බලා හිදිමි. සසර පුරා ඔහු මා සමඟ ඉන්නට ඇත. කොහේ ගියත්, කී දවසක් නෑවිත් සිටියත් ඔහු මගේම බව දනිමි. මේ වගේ කියන්නට හැකි බිරින්දන් අතලොස්සකට මමද අයත් වෙමි. පිළිවෙලට ඉන්නට, ජීවිතය දකින්නට , ජීවිතය විඳින්නට මා පුරුදු කලේ ඔහුය. ඒ නිසා බෙන්ස් කාර් පසුපස නොයන බව ඉඳුරාම මම දනිමි. ඔබේත්, නැගණියගේත් විවාහ ජීවිතය සදා යස ඉසුරෙන් පිරේවා!. වාසනාවන්ත දරුවන් සමඟ යෙහෙන් වැජඹේවා!

Post a Comment

 
Blogger Wordpress Gadgets