පුංචි පුංචි තරු කැට මැද...


"...වැන්ද දෙපා යළි අදත් වඳින්නම්..."
මාමන්ඩිය ඇතුලු පිරිස ඈ මට බාරදී යන අවස්ථාවේ ඈට හැඬුම් ආවාය. සිය පියාට වාරුවූ ඇයගේ මුහුණේ වූ ආලේපණ ඔහුගේ සුදු ජාතික ඇඳුමේ රත් පැහැයක් තැවරුවේ, මුවින් පිට නොකල මාමණ්ඩියගේ වේදනාව සංකේතාත්මකව දක්වන්නටදෝහෝයි මට සිතිණි. අප පවුලේ හිතවතියක වූ මගේ ලදරු පාසල් ගුරුවරියද ඒ දෙස බලාසිටියේ තෙත්වූ දෑසිණි. දියණියන් දෙදෙනෙකුටම මෙලෙස සමු දී ඇති ඇයට මේ අත්දැකීම අලුත් නොවන්නකි... එහෙත් ඈ කඳුලු පිරුණු දෑසින් බලාසිටී... මාමණ්ඩිය සිය සහපිරිවර සමග පිටව ගියේ මා දෙවුර තදින් අල්ලාගෙන, මගේ මූණ දෙස ඍජුව  බලා "අපි එහෙනමනම් යනව පුතේ..." කීමෙනි...

ඉක්මණින්ම පල දරූ අප විවාහ ජීවිතය, අටලෝ දහමට යටත්ව, අනේක දුක් කම්කටොළු මැද වුවද, සතුටෙන් පුරවාලන්නට පුතාගේ ආගමනය සමත්විය... ප්‍රසූතියට දින ලංවූ කල  මිතුරන්ගේද අවවාද මැද, ගෙදර ඇත්තන්ව රජයේ රෝහලකට ඇතුලත් කලෙමි... වාට්ටුවේ කොරිඩෝවේ වුවද රැඳී සිටින්නට අමුත්තන්ට තහනම්ය.. ‍රෑ බෝවනතුරුම වාට්‍ටුවට පිටින් අහල පහල කරක් ගසා ආපසු ගෙදර ආවෙමි... ඒ වැනි ‍රැයක් සුවෙන් නිදන්නට හැක්කේ පියවරුන් කීයෙන් කී දෙනාටද? පාන්දරම නැවතත් වාට්‍ටුව ලඟට මා පැමිණියේ කෙසේදැයි අදටත් මතකයක් නැත... ‍රැකවලුන්ට හෙදියන්ට බෙහෙවින් යාප්පු වී ඇයගේ ඇඳ ලගට යන්නට හැකිවිය... දරුවෙක් ඒ ඇ‍ඳෙහි නොවිණි... මා බලාපොරොත්තු අත් හළෙමි... හිසට අත තබාගෙන ඈ ඉන්නේ බොහෝ අපහසුවෙනි... ඇඳ සිටි චීත්තයට පහලින් නිරාවරණය වූ දෙපයේ යටි පතුල්ම දක්වා ඇදී ගිය වේලුණු රුධිර ධාරා කිහිපයකි... අම්මා හොඳින් සිටීමම මට සෑහේ...

"මට උණයි ප්‍රෙෂර් එකයි ඇවිත් හොඳටම අමාරු වුණා..." මම කිසිත් නොකීමි...

"අන්න ඔයාගේ බබාව දැන් බේබි රූම් අරන් යනව... එලියෙන් ගියොත් බලතෑකි..." හෙදියක් මට කීවාය...

කොරිඩෝවට දිව ගිය මට හෙදියක් විසින් සු‍රැකිව ඔතා, ගෙනෙමින් සිටි අපගේ මල් කැකුළ දැක ගැනීමට හැකිවිය... දැත් දෙපා ගුලිකරන් සිටි ඔහු සුව නින්දේ පසුවිණි...  ඔහුගේ හිස යන්තමින් පිරිමැදි මා, "මගේ පුතේ...." යැයි කීවිට වම් ඇස පමණක් හැර මා දෙස බැලූවේ මගේ කටහඬ හඳුනාගත්තාක් මෙනි... ඇයගේ දහවල් අහර වේලද ‍රැගෙන නැවත ආපසු ආ යුතු බැවින් කිළිටිද ‍රැගෙන මා ආපයින්ම ආපසු ගෙදර ආවෙමි...

"ඔය රෙදි තනිකරන්න එපා පුතේ..." අපේ අම්මා කීවාය..
"ඔය රෙදි දාපු බාල්දියට යකඩ ඇනයක් දාල තියන්න.. පෙ‍ඟෙනකම්"...

මූණ කට යන්තමින් සෝදා ගෙට ගොඩවුණු මට මුණ ගැසුනේ සුභ පැතීමට අවුත් සිටියේ මාමන්ඩියයි... "Hello... congratulations my son..!!"  කාරණා දැන සතුටින් සිටි ඔහු එදා මෙන්ම මා දෙවුරෙන්, එහෙත් මෘදුව අල්ලා සෙලවීය... දෙදිනක් දරාගෙන සිටි දුක, උගුර හිරකරන ඉකියක් සමගින් පිටවිණි...

විවාහ ජීවිතයේ  බොහෝ පළමු අත්දැකීම් වලට මුහුණ දෙන්නට අපට ඉඩ සලසා දුන්නේ ලොකූය... එක දිගට නිදි නොලබන්නට සිදුවෙන රාත්‍රී ජාමයන්, රෝහල් වාට්‍ටු ලී බංකු, ණය තුරුස්, නොනවතින "ලුණු" ගෙනියෑම්, නුහුරු නුපුරුදු බෙහෙත් වර්ග, යමක් කෑමට පටන් ගත් ගමන්ම සිදු කරන්නට වන සේදීම්, එක් පසක තිබියදී, අදද සිතෙහි ගැඹුරින් ‍රැඳී ඇති සතු‍ටු සිනා, මතකයන් බොහොමයක් ඔහු අපවෙත ගෙනාවේය.. ඒ  ඔහු වෙනුවෙන් අප විඳි, අව පස දෑ අමතක කරන්නට මෙනි...

දෙවැනි දරුවා ඇගේ කුසට ආ පසු, යම් යම් කාරණා නිසා එතෙක් අප වාසය කල මහ ගෙදරින් තිදෙනාම ‍රැගෙන නික්මෙන්නට මා තීරණය කළෙමි... පාසල් යන පුතෙකුගේ සියළු වැඩ කටයුතුත්, පාන්දරින් එළියට බසින සැමියාගේ අඩෝවැඩිය සම්පාදනයත්, දිනෙන් දින මෝරණ ගැබත් ඔසවාගෙනම ඈ නොපිරිහෙලා ඉ‍ටු කලාය... පදිංචියට ‍තෝරාගත් ඇනෙක්සිය ඉතා කුඩා වුවද එය ඇයගේ සිතට ඉමහත් සැනසිල්ලක් ගෙනාවේය... දෙවැන්නා දියණියක් වූවානම් ඒ ඇයට අනාගතයේදී පහසුවක් වේයැයි මට සිතිනි... මුවින් නොබැණ ඈ සිනහවකින් ඒ කැමත්තට ප්‍රතිචාර දක්වන්නේ පුතුන් කෙරෙහි තවමත් ඇති ආසාවෙන්ද, එහෙමත් නැත්නම් ඈ විඳි දුක් තවත් කෙනෙකුන් විඳිනවා දැකීමට දීමට ඇති අකමැත්ත නිසාවෙන්දැයි මට පැහැදිලි වූයේ නැත...

දෙවැන්නා කවුරුන් වූවද මෙලොව එළිය දකින්නටත් ප්‍රථම බෙහෙවින් කලහ කරන්නෙක් විය... අපි නූපන් දරුවාට "jelly fish" යැයි තාවකාලික නමක් පටබැඳීමු... සිඟිති, නොමේරූ, දෑත් දෙපා වලින් කරන සෙල්ලම නිතරම පටන් ගන්නේ ඈ විවේකයක් ලබන්නට නින්දට යන ‍රෑ යාමයේය... එහෙයින් ඇයට නින්ද ලැබීමේ අඩුපාඩුවක් දරුණු ලෙස විය... ප්‍රසූතියට ලබා දී ඇති දවස හෙට වන දිනයද උදාවිය... ලොකු පුතා ඈ පසෙකින් නිදයි... මට නින්ද හලකටවත් නොඒ... පිරිත් පොතත් ‍රැගෙන ඈ අසලින් බිම වාඩිගත් මා ඇගේ පිරුණු ගැබ සෙමින් පිරිමදිමින් අංගුලිමාල පිරිත නැවත නැවතත් පහත් හඬින් කියවන්නට විය...

"ඊයේ නම් හොඳට නින්ද ගියා..." රෝහලට යාම සඳහා පාන්දරින් නැගි‍ටුනු ඈ කීවේ උස් පහත් වෙමින් නැගෙන වේදනාව තාවකාලිකව යටපත් කොට සිනාසෙමිනි... දරුවාද ඊයේ වැඩි කලබලයක් නොකල වග මටද දැණිනි...

පාන්දර පහයි තිහට වාට්‍ටුවට ඇතුලත්කල ඇගේ කුසෙන්, දරුවා මොලෙව එළිය දු‍ටුවේ දහවල් එකයි තිහට පමණය.... ඇ භාරව සිටි වෛද්‍යවරයා වූ සිරිසේන දොස්තර මහතා සීසර් සැත්කම් කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන්නෙකි... පහසුවෙන් පහන් කල ‍රැයට හිලව්වන්නට මෙන් දෙවැනි වතාවටද දරුණු යුද්දයක් නිමාකල ඇය, මෙවර ආපසු පැමිණියේ, දරුවාද පසෙකින් හොවාගෙනය.... කොරිඩෝවෙහි නොනවතින සක්මණෙහි යෙදී උන් මා ඔවුන් වෙත නැඹුරු වූයේ සිත් පුරා මා දරුවා දෙස බලන නියායෙනි... වරදකාරියක ලෙස හිස ඔසවා මා දෙස බැලූ ඈ මෙලෙස කීවාය...

"පුතාල දෙන්නා ඔයාට දුවල දෙන්නෙක් ගෙනත් දෙයි..... ආයේ නම් අමාරුයි මට....."


පුංචි පුංචි තරු කැට මැද
     දිලිසෙන සඳ වත...
තරු මොකටද සඳ මොකටද
     මට මගෙ දුව ඇත...

සිනහ වෙන්නේ ඉඳ හිටලයි
     ආඩම්බර කම...
නිදා වැටෙයි මා නැතිනම්
     ඒ නිදිමත නැත...
මගේ කුඩා කාලය සිහිකරන
     ඇගේ වත...
පුතුන් සතර දෙනෙකුට නැත
     එක දුවලඟ ඇත...
     එක දුවලඟ ඇත...


තිලක තබා නළල් තලේ
     හැන්දෑවට හැඩ...
වැළිබත් මුට්ටියට තමයි
     ඈ ඇති තැන වැඩ...
මුලු ගෙදරම හරි පාළුයි
     නැති කල ඇගෙ හඬ...
පුතුන් අතර පියුමි දුවේ
     හද තුල ඉඩ ඇත...
     හද තුල ඉඩ ඇත...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

72 ප්‍රතිචාර:

nethu said...

kalpa kalekin ahuwe me sinduwa.
pin

Dude said...

නියම ලියවිල්ලක්නෙ තිස්ස. අර රෙදි තනි නොකරන එක, ඇණේ දාන එක, ලුණු ගෙනියන එක වගේ දේවල් කොහොමද හොයා ගත්තෙ? පර්යේෂනාත්මක ලිපියක ගතිය තියනවා ඒවා නිසා. දෙතුන් පාරක් කියවලයි මටත් තේරුනේ.

අර අපේ හොස්පිටල් වල තාත්තලා එලවාගන්න එක නම් හරිම ම්ලේච්ඡ චාරිත්‍රයක් නේද?
henryblogwalker the Dude

hansakinkini said...

තිසා අයියෙ..මම දන්නෙ නෑ මගෙ ඇස් තෙත් වුණේ ඇයි කියල මේක කියවගෙව යද්දි.... පවුල් ජීවිතේ වගකීම් මටත් දැන් දැන් දැනෙන හන්ද වෙන්ඩ ඇති...අම්මලට වඩා කොහොමත් තාත්තල කැමති දූවරුන්ට මගෙ හිතේ.. අපේ තාත්ත මල්ලිටයි මටයි දෙන්නටම එක වගේ ආදරේ කළාතතත ඒ වුණාට මං වුණත් හිතන්ඩ කැමති වුණේ තාත්ත මට වැඩියෙන් ආදරෙයි කියල..

තීර්ථ යාත්‍රිකයා said...

අමුතුම හැඟීමක් ආවේ තිස්ස අයියා..තිස්ස අයියාට මාරම මාර හැකියාක් තියෙන්නේ චිත්තරූප මැවෙන විදිහට ලියන්න.නිකං චිත්‍රපටියක් බැලුවා වගේ දැනුනා....ජය... මම මේක ෂෙයා කරනවා මූණුපොතෙත්...කමක් නෑනේ නේද ?

Praසන්ன said...

කියල වැඩක් නෑ තිස්ස අයිය මේකනං නි‍යමෙට ලියල තියෙනවා.

චේජනා said...

දූලට ආස තාත්තල ද මන්ද වැඩිපුර...
කොහොම උනත් මමත් හැම අවුරුද්දෙම මගේ උපන්දිනේට ලංකාවට ආවෙ උපන්දිනේ දවසට මාව දැකල තාත්ත අලුතෙන් සතුටු වෙනව බලල අවුරුද්ද පටන්ගන්න

තිස්ස දොඩන්ගොඩ said...

නෙතු: කල්පනා රෑනින් බැඳී..!!!

Dude: මේක ඇත්තටම වෙච්චි දේ මචෝ.. ආයේ රීසර්ච් කරන්න දෙයක් වුනේ නෑ..

දරුවෙක් හදන්නේ දෙන්නෙක් එකතු වෙලා කියන එක එහෙම බිහිවෙච්චි දරුවොම අමතක කරනවනෙ බං..

Hansakikini: ජනූට බොටම් ලයින් එක ටක්කෙටම අහුවුණා, කථාව පුරාම කියවෙන්නේ පුතාල ගැන වුණත් යටින් තියෙන්නේ දූවරුන්ගේ අන්දරේ...

තී:යා: අනේ අප්පේ බෙදා හදා ගන්න එක අපේ පුරුද්ද නෙව..
ස්තූතියි මලේ අගය කිරීමට

රූ.... said...

ලස්සන සින්දුවක් ලස්සන පෝස්ටුවක්..
පුතාලා දූවරු ගේන්න තව කල්ප කාලයක් බලන් ඉන්න එපැයැ නේද?

තිස්ස දොඩන්ගොඩ said...

ප්‍රසන්න: වෙනද එව්වා අවුල් වාගේ ඒ කියන්නේ ;-)

චේජනා: "මල් බෝණික්කන්, පූසි පැටව් ටික, පාට ගවුම් පොඩි" එහෙමත් බලාල යනව ඇති එහෙමනම් ඒ ආ ගමන් නේ?

රූ: හ්ම්ම්ම්.. ලොක්කනම් ටිකක් කල් යයි, පොඩ්ඩනම් ෂුවර් නෑ :-)

ලකී සිරි said...

මැවිලා පේනව තිස්ස අයියෙ...හරිම ලස්සන ලියවිල්ලක්..

මොන හේතුවකටද මන්දා..මමනං කැමති පුතාලට..ඒ හින්දද කොහෙද අපේ හාමිනේ නං අර විදියට කිව්වෙ නෑ...ඔන්න ඒ වගේම තව එක්කෙනෙක් කියල තමයි කිව්වෙ..:D

ඊ මේල් කවිකාරි said...

අනේ තිස්ස මම කියන දේට තරහ නං ගන්ට එපා. ඔය දුවලත් පුතාලත් අපිට අයිති අය නොවෙයි. තාත්තල හිතන්නෙ දුවලට අයිතිය කියන්ට අයිතියක් එයාලට තියෙනවා කියලයි. පසුගිය සතියෙ ඇදුරු තුමා ආඩම්බරෙං අපෙ දෝණි එක්ක ඉන්න පිංතූරෙකට තිස්සත් Like එකක් දාල තිබුනා. ලංකාවෙ බහුතරයක් මිනිසුන් පුත්තුරුංට කැමති උනත්, හොඳ හදවත් ඇති මිනිස්සු දුවලටත් කැමතියි. ස්කෑන්කරල ගබ්සාවලට යන අය කොච්චර නං ඉන්නවද? මගෙ නෑදෑ සොහොයුරියක් හිටිය, දරුඒ ලැබිල කට්ටිය බලන්න යනකොට විලාප කියකියා අඬනව ලැබුනෙ දුවෙක් කියල දුකට.

අපි දෙන්නට දුවෙකුත් පුතෙකුත් හිටියත්, තිස්සට පුතාල දෙන්නෙක් හිටියත්, ජීවිතය ගලායද්දි එන කම්කටොලු නං කාටත් එක වාගේ කියල මට හිතෙන්නෙ.

http://emailkavikaari.blogspot.com/2011/10/1000-11-news.html

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්තම කියන්න ලකී මමත් කැමති පුතාලට...
පොඩි කාලේ සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි නොහිටි එකේ අඩුව කියලයි මම හේතුව විදිහට දකින්නෙ..

ඒත් දුවෙක් හිටියනම් අම්මට ගොඩක් හොඳයි කියලයි මට හිතුනේ...

තිස්ස දොඩන්ගොඩ said...

ඊ මේල් කවි කාරී: ඔබතුමියගේ මේ දැක්මට නම් මම බොහොම කැමතියි; "ඔය දුවලත් පුතාලත් අපිට අයිති අය නොවෙයි"...

මේක අමතක කරල දරුවන්ව හැමදාම තමන්ගේ පාලනයට නතුකරගන්න හිතුවාම තමා අනේක ප්‍රස්න

"ජීවිතය ගලායද්දි එන කම්කටොලු නං කාටත් එක වාගේ කියල මට හිතෙන්නෙ.." කියලාම වැඩක් නෑ, ඔබතුමිය පන්නරය ලැබුවේ ඒවයින් කියලත් හිතේ...

ඊ මේල් කවිකාරි said...

ඔය තාත්තල දූරු අඬන පිංතුරෙත් හැම ආදරවන්ත දුව ගාවම සුරැකිව තියෙනවා....

ලකී සිරි said...

ලංකාවෙ බහුතරයක් මිනිස්සු පුත්තුංට කැමති වුනත්, හොඳ හදවතක් ඇති මිනිස්සු දුවලටත් කැමතියි...
කවිකාරි හරිම අසාධාරණයි.:D මෙතන හොඳ හදවතක් ඇති මිනිස්සු කියන වචනෙ නොදා ඉන්න තිබුනා..

මටනං හිතෙන්නෙ දුවලටද පුතාලටද කියන එක කොහොම වුනත් .පුංච් දරුවන්ට ආදරය කරන්න පුලූවන් හැමෝටම හොඳ හදවතක් තියනවා..මෙතන පුතෙක්ට වැඩියෙන් ආදරෙයි කියන එකෙන් අදහස් වෙන්නෙ දුවෙක් හදන එක මහා බරක් කියන පවුකාර හැඟීම නෙවෙයි..
ඒක හරි අහිංසක සිතුවිල්ලක්..පුත්තුන්ට ආසයි කියන අපි ගොඩක් අය ළඟ දුවෙකුත් හිටියනම් කියන සුන්දර ආසාවත් තියනවා. අර තිස්ස අයියා කියනවා වගේ දුවෙක්ටද ආසා පුතෙක්ටද ආසා කියන එක අපේ හිතට විවිධ හේතු නිසා දැනෙන්න පුලුවන්..සමහර විට මට පුංචි කාලෙ නොලැබුන දේවල් මම මගෙ පුතාට දෙන්න ආස නිසා වෙන්න ඇති....දුවෙක් හිටියනං මම වැඩියෙන් ආස දුවලට වෙන්නත් ඉඩ තිබුනා..පුතෙක් අරගන මිසක් ගෙදර එන්න එපා කියන්න තරම් පහත් තත්වයකට වැටෙන්න මනුස්සයෙක්ට පුලුවන්ද ? අනිත් එක ගෑණු අය ළමයි හදන්නෙ තනියම නෙවෙයිනෙ..
ඔන්න මම මේක ලිව්වෙ තරහින්නම් නෙවෙයි..දුකෙන්

Observer said...

ලියවිල්ල නං බොක්කටම වැදුන.


(මට ඉන්නෙත් දුවල දෙන්නෙක්, එකෙක් නං පොඩි කාලෙ ඉඳලම කොල්ලෙක් වගේ, ඉගෙන ගත්තෙත්, රැකියාවට කරන්නෙත් පිරිමින්ට හුඟාක් වෙලාවට ආවේනික වුන ඒව)

නිශ් said...

අපූරුයි...........................!

රෑ එලිවෙනකන් විනාඩි දහයක් නිදාගනිමින් ආයෙ විනාඩි දහයක් නැගිටිමින් ගතකරපු පැය 20ක පමන කාලයට හිතින් ගියා ආපහු.
අද තියෙනා තත්වයන් මත සමහර දෑ වෙනස් උනත් මමත් ඔය අත්දැකීම වින්දා.......
ඒක මතක් වෙන එකත් සතුටක් දනවන කාරනයක්.

දූලා ආදරේ වෙන්නෙ තාත්තලට ඒක සම්පූර්න ඇත්ත.
අපේ තාම බහතෝරන පොඩි එකීත් හැමදාම අම්මගෙන් නෝක්කඩු අහනවා.

ඇවිද්ද පය ...... said...

තිස්ස අයියේ : ඔයාගේ බ්ලොග් එක කියවන පලවෙනි වතාව. මේ සිද්ධිය ඉතාම හැඟුම්බරයි. මගේ හිතට එක පාරටම ආවේ කවදා හරි මගේ දුවත් කාට හරි බාර දෙන්න වෙනවා නේද කියල. එතකොට හදවත ගුගුරාගෙන ආපු ගෙරවිල්ල කඩා නොවැටෙන වැස්සක් වෙලා මගේ නෙත් කෙවෙනි වල දඟල-දඟල හිටියේ දරුවෙක් කුසට ආ දා ඉඳලා තාත්ත කෙනෙක් ගෙවන අවිනිශ්චිත බලාපොරොත්තු ලෝකය රූප පෙලක් වෙලා මගේ හිත තුල මැවෙන්න ගත් නිසා. ඔෆිස් එකේ අනිත් අයට හොරෙන් කඳුලු පිස දාගෙන තමයි මේ ක්මෙන්ට් එක ලියන්න පටන් ගත්තේ. ඒත් මගෙ පපුව තුල හෙණ පිපිරීම නිසා ඇති වු කම්පනය තව කාලයක් තියෙයි. ඔයා මේක ගලපපු ලස්සන එකෙන්ම පැහැදිලි වෙනවා.

ඊ මේල් කවිකාරි said...

ලකී සිරි, ඔබත් තරහ වෙන්ට එපා. මම හිටපු සමාජෙ කවුරුත් වගෙ දුවලව සැලකුවෙ මහා බරක් හැටියට තමා. මම දන්න පවුල් තිබුනා පුතාලට තනි බිත්තරයක් බත් පතට වැටෙද්දි දුවලට බිත්තරය දෙකට කපල දුන්න. අදටත් සමහරු දුවෙක් ඉපැදුනා කිව්වම අනේ අපොයි කියනවා. ඔබතුමාව හෝ තිස්සව ඉලක්ක කරල කිව්ව දෙයක් නං නොවෙයි.

ඇවිද්ද පය ...... said...

කමෙන්ට් එක දාල ඉවර වෙලා ඔයාගේ බ්ලොග් එකේ එහා මෙහා යනකොටයි දැක්කේ, මගේ බ්ලොග් එකෙයි ඔයාගේ බ්ලොග් එකෙයි සමාන කමක් තියෙනව. මගෙත් හුඟක් විජ්ට් නම් කරලා තියෙන්න ගීත වල කොටස් වලින්.

http://awidda-paya.blogspot.com/

තිස්ස දොඩන්ගොඩ said...

කවිකාරි: මගේ හොඳ මිතුරෙක් වුණු ඒ මාමණ්ඩිය ගිය අවුරුද්දේ අප හැරදා ගියා.. ඇයට හා සමානව මටත් ඒ වේදනාව දැනුන...

ලකී: ඔය අපේ කවිකාරිගේ සෝපාහාස නෙව... හෙහ් හෙහ් හෙහ්..!
"මට පුංචි කාලෙ නොලැබුන දේවල් මම මගෙ පුතාට දෙන්න ආස නිසා වෙන්න ඇති" මේකත් සිරාම පොයින්ට් එකක් ලකී - උඹත් මාර පොරක් තමා බලාන ගියාම

ඔබ්සර්වර් මහත්තයගේ ගති ගුණ කාට හරි යන්නත් එපායෑ...!

නිශ්: කියනුම කවරේද නිශ්... අනේ පොඩි එකී... ඒ වුණාට ඇගේ හොඳම මිතුරිය වෙන්නේ අම්මා පස්සෙන් පහු... අම්මටත් එහෙමයි...

ඇවිද්ද පය: ඇනේ ඔලුවටම ගැහුව ඔබ... ඕක තමා අද පෝස්ට් එකේ හරය... සමාවෙන්න හිතරිදෙව්ව නම්...
"සුරතල් දියණිය මොළකැටි වදනින් - මා සනසන්නිය අහර පිසන්නිය"
නමුත් ඉතින් මානව ශිෂ්ඨාචාරයේ අපේ පංගුව ඇදිලා යන්නේ ඔහොමයි - ලෑස්ති වෙලා ඉම්මු සහෘදයා...

RanDil said...

සාකච්ඡාව අවසානයේ කොමෙන්ටුව...........

අපේ අම්මාට දුවලා තුන්දෙනයි. අම්මා කිව්වෙත් කවදා හරි හොඳ පුතාලා තුන්දෙනෙක් මට ලැබෙයි කියලා තමයි.

මේ ලිපියට මං හරිම කැමතියි අයියේ......... ප්‍රධානම කාරණය තවත් කෙනෙකුගේ තත්ත්වය ගෞරවනීය අර්ථයෙන් විදහා දක්වලා තියෙන විදිහ නිසා. අනිත් කාරණේ තමයි මට මේ සිංදුව මගේ දුවට කියන්න පුලුවන්නේ.

තනෝජා රාජපක්‍ෂ said...

තිස්ස අයියා.. ජීවිතේ මට මතක ඇති කාලෙක තාත්ත මාවඅත්දෙකින් අල්ලාන හාද්දක් දුන්නෙ එදා... ෆොටෝස් තියෙනවා මම අම්ම, තාත්ත, මල්ලි, නංගි බදාන අඬද්දි වරදක් කරපු හොර පූසෙක් වගේ ලෙස්ලි අයිය (මයෙ හස්බන්ඩ්) බිම බලාන ඉන්න.. ඔයා මතකය අලුත් කළා..

අපි දෙන්නගෙ සම්බන්ධෙ ආරංචිවෙලා ගෙවල් දොරවල් බලන්න ගිහින් ආ දවසෙ අඩි පොළොවෙ හප්පල “උඹටනම් පුතේ එහෙ ගිහින් ඉන්න බෑ“ කියාපු තාත්තයි, අම්මයි දෙන්නම දැන් ඉන්නෙ එයයි මමයි ගාව.. ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්..

මට ඉන්නෙ දූලම දෙන්නෙක්නෙ අයියා.. කොහොමත් ලොකු දූ ඉපදුනාට පස්සෙ එයාගෙ හඳහන බලපු කෙනෙක් කීවා එයා සහෝදරියෝ දෙන්නෙක් තමා හිමි කියලා..ඒ වගේම දෙවනියාත් දුවක් උනා.. මට කියන්න උනේ “දූගෙ හඳහන බලාපු කෙනා කිව එක ඇත්ත උනා කියලා විතරයි“

රෙදි තනි නොතනෙ එකනම් අම්මෝ.. දෙවන වතාවෙ මිසී කෙනෙක් කීවා “ඔය ජරාව ගෙදර ගෙනියන්න ඕන නෑනෙ මිස්.. මෙන්න මේ කාටහරි දීලා දාන්න.. එයාල සෝදල අදියි.. පිනක්නෙ“ කියලා.. අම්මගෙන් අහගත්තෙ නැතෑ හොඳවයින්...

“පුතාල දෙන්නා ඔයාට දුවල දෙන්නෙක් ගෙනත් දෙයි....“

අපි එහෙම හිතමු.. ප්‍රාර්ථනා කරමු.. මොකද නොලැබෙන දේට හඬනවාට වඩා ලැබුන දේ රැකගැනීම වටින නිසා...

ඉන්දික උපශාන්ත said...

මේකට යමක් ලියන්න මේ කලබලේ බෑ. හුඟක් අතිත් එකම බෝට්ටුවෙ උන අපිට මේ ගැන කියන්න දේ බොහොමයි. මම හවහට එන්නං. දැං යන ඕන කොලු පැටිය ගන්න ඉස්කෝලෙට.

TG said...

තිස්ස මෙනි තෑන්ක්ස් මේ පෝස්ට් එකට

මම පුංචිකාලේ මාව නලවන්න අම්මා කිව්ව සින්දුවක්. අවුරුදු හතක් විතර යනකම් අම්ම මට මේක කිව්වා .ඒත් අම්ම නලවන්න කිව්වට පස්සේ ආයෙ ඇහුවේ අද .සින්දුව කියන්නේ චිත්‍රා සෝමපාල නේද ?

අහ් මම නම් එලියට එන්න හදිසි වෙලා ඇඩ්මිට් වෙන්න තිබුණ දවසට අම්ම හොස්පිටල් එකට යන්න කලින් ගෙදරදිම එලියට පැනලා :)

මම සින්දුව අම්මටත් අහන්න දුන්න .එයාට හිනා

ඕනයා said...

අද මාරම දවසක් තිස්ස අයියා . . . මේ සින්දුව අහල ඇඩිල ඉන්න වෙලාවෙම තමයි ඔයාගෙ පෝස්ට් එක කියෙවුවෙත් . . . .

තිස්ස දොඩන්ගොඩ said...

ඇවිද්ද පය: ඔව් මචං මම ඒ පැත්තේ ගොඩවැදිල තියෙනව... මටත් පුදුම හිතුන එදා :-)

RanDil:
එක: මටවත් නොතේරුණු පැත්තක්...
දෙක : මට හැබෑවටම රනුලි මතක් වුණා මේක ලියද්දී..

තනෝජා: කවිකාරි කී දේ හරි එහෙමනම්... ඒ වෙලාවට වරදක් කලාවාගේ හැඟීමක් ලාවට එනව වාගෙම, ඒ වාගෙම ‍රැක බලා ගන්න හැකිවේවිද කියල බයකුත් එනව...
ජීවිතේ පුදුම දෙයක්ම නේන්නම්..!!!

අර රෙදි මගේ දෑතින්ම සේදුවම මට හරිම මිශ්‍ර හැඟීමක් ආවා... දුකක්, අනුකම්පාවක්, කරුණාවක්, ආදරයක්, වරදකාරී හැඟීමක්, කේන්තියක්... මේ ඔක්කොම... ජීවිතයේ අලුත් අත්දැකීම්...

ඔව් යහපත් දූලා දෙනෙක් ලැබේයැයි සිතමු...!!
[මොකද කියන්නේ දැන්ම කථා කරල තියමුද??? හෙහ් හෙහ් හෙහ්]

ඉන්දික: පුදුම වැඩක් - මම උඹේ කමෙන්ට් එකකට උත්තර ලියනකොට උඹ මට කමෙන්ට් එකක් දාලා... "දැං යන ඕන කොලු පැටිය ගන්න ඉස්කෝලෙට..." එතනත් කොලු පැටව් දෙන්නෙක් නේද...!!!

TG: ඔව් ටී ජී.. චිත්‍රා තමා... ෂහ් අම්මලා කී සින්දු නම් හිතේ ‍රැ‍ඳෙන්නේ පුදුම විදිහට...
"වො‍රැඳේ වො‍රැඳේ ඔද පා ‍
රැක දෙන්න පුතා මෙතිනා
සාදා දෙන්න පුතා මෙතිනා.."

"පායන පුන්සඳ නීලාකාසේ
වාගේ මේ සුදු මූණ පුතාගේ..."

මේ වාගේ සින්දු අපේ අම්ම කිව්වා හීනෙකින් වගේ මට මතකයි...

සංජු said...

මොකක්දෝ දැනුනා නමුත් ඒ හැගීම කියා ගන්න බෑ. තව අවුරුදු 5 කින් විතර ඒ දැනුන දේ මොකක්ද කියල මට විස්තර කරන්න පුළුවන් වෙයි කියල මම හිතනව.

තිස්ස දොඩන්ගොඩ said...

හපොයි ඕනේ.. තනියෙන් ඉන්නකොට නම් මෙව්වා බලන එක පට්ට අවුල් තමා... :-(

පබලු said...

හිතට වැදුනා හොදටම.
සෑහෙන වෙලා හිතල කොමෙන්ට් කරේ..:DDDDDDDDD

අභීත said...

එද ඉඳන් අද වෙනතුරු හද ගී පොතේ ලියැවුන සුපිරිම ලිපිය මෙය කියලයි මට හිතෙන්නේ....

හද පතුලට දැනුනා.... ඒකේ දෙකක් නෑ.....

කමෙන්ට් ටිකත් දෙයියනේ කියලා මල් හතයි......

Susara Wijeratne said...

අමුතුවෙන් කියනට දෙයක් නැත
මෙවැන්නක් ලිවියහැක්කේ පෙරත් මා මුහුණු පොතේ කොමෙන්ටුවක කියූ පරිදි ආඩම්බර තාත්තෙකුටම පමණි.
පවුල් කෑමේ සහ දෙමව්පියන් වීමේ සොඳුරු පිරිපත මේ ලෙසින් විඳ දරාගැනීමට හැකියාව ඇත්තේද සොඳුරු මිනිසුන්ට පමණි.සියලු සෝ තැවුල් මකනා සුන්දරත්වයම මතුකොට මෙලෙස බෙදා හදා ගැනීම ඉතාමත් වැදගත්. වීසි කරන්නට දරුවන් තනනා දෙමව්පියන් ද සිටින නිසාය.
තිස්සගේ දුහිතෘ ප්‍රශ්නය ගැන නම් කීමට ඇත්තේ රත්නශ්‍රී විජේසිංහයන් නිරෝෂා ලවා කියවන " සුදු ඇත් පැටියා" ගේ කතාවමය.

අභීත said...

එකක් කියන්න අමතක වුනා.. අර ලුණු ගෙනියන එකනම් මමත් මේ දවස්වල ඇති පදම්...

අපි මොන යුතුකම් අමතක කලත් බිරින්දෑවරු අපිට ශක්තියක් වෙන එකනම් අමතක කරන්නම බෑ තිස්ස අයියේ... මම හිතන විදිහට සංසාරයේ මා කරපු ලොකුම පින පල දුන්න අවස්තාව තමයි ඒ.....

රුචා said...

තව ඉස්සරහට වැදගත් වෙයි වගේ අපිටත් මේ ලිපිය

ඊ මේල් කවිකාරි said...

මට මේක කියවද්දි මුලින්ම මතක් උනේ ඇනා කැරනිනා (වෙන්න ඕනැ) චිත්‍රපටයෙ බිරිඳ විලිරුදාව හැදිච්ච වෙලාවෙ සැමියා තමාටම බැනගනිමින්, කාමරයෙන් පිටත එහාට මෙහාට සක්මන් කරපු හැටි. ප්‍රංශෙ නං සැමියට ඉඩ ලැබෙනව ලඟ ඉන්ට. හරිම සොඳුරු මොහොතක්.

Chandi said...

හැමදාම වගේ ස්තූතියි තිස්ස සටහනට. මට මගෙ මහත්තයාට දුවක් දෙන්න බැරි උන අඩුව හරියට හිතේ තියෙනවා. අපිට ඉන්නෙ පුතාලම තුන් දෙනෙක්. නමුත් දැන් අපිට දුවක් ඉන්නවා. අපි හරියට සතුටු වෙනවා දුව අපි ලඟට ආව එකට. ලොකු පුතාගෙ බිරිඳ! ඈ අපිට හොඳ දුවක් උනා. ඒක හරිම සතුටක්. මේ ගීතයත් ඔබේ ලියවිල්ලත් හරිම සංවේදී ලෙස හිතට දැනුනා. මම අපේ තාත්තාගේ ආදණීය ලොකු දූ. ඒක කියන්නෙ හරිම ආඩම්බරෙන්.

වර්ණා said...

මගේ තාත්තා මට කොච්චර ආදරේ කලාද.. මට එක දැනුනා මේ පොස්ට් එක කියවනකොට. ගොඩාක් සංවේදී

ඇවිද්ද පය ...... said...

එක පාරටම මගේ හිත ඇදිලා ගිය මේ ගීතයට
ඈත එපිට සඳ වට කර තරු පායනවා
බිංදු බිංදු රන් තරු කැට කඩ හැලෙනා
සීත හිමේ මල් වරුසා වැස්ස වහිනවා
බිලිඳු ටිකිරි පුතා නිදා ගන්න හදනවා

Bindi said...

අද නම් පෝස්ට් එක හදවතටම තමයි ලියල තියෙන්නේ . කොල්ලෝ දෙන්නටයි කෙල්ලෝ දෙන්නටයි එක වගේම සලකපු අපේ දෙමාපියෝ මතක් වුනා . කොයි දරුවත් එකයි . ජාති දෙකෙන්ම හිටිය නම් හොඳයි . නැත්නම් මක් කරන්නද . ක්‍රිකට් ගහන්න කොල්ලෙක් නැතත් ඒ ගැන නෝක්කාඩු නොකියපු අපේ දුලගේ තාත්තටත් ..පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් නැතැයි කවදාවත් හිත නොරිදපු නැන්දම්මටත් මාමන්ඩිටත් ස්තුති කරන්න හිතුන . දෙවෙනියා පුතෙක් වෙයි කියල හිතුව ඒ කාලේ . කොල්ලෝ දහයක් වගේ එයා අපිට දැන් . අනික් අයට සිංහයෝ වගේ සුර වීර තාත්තල දුවල ඉස්සරහ නිකන් අහිංසක පුස් පැටව් වගේ . ගල් වගේ හදවත් උනුවෙන්නේ බටර් වගේ . දුවලටත් ඉතින් උදේ හවා කන්න බොන්න මුණ සෝදන්න හෝම් වර්ක් කරන්න ..ටි වී බැලුව ඇති ...ඉක්මනට නිදා ගන්න වගේ නිසරු සම්ප්‍රපලාප දවස තිස්සෙම දොඩවන අම්මල වගේද තාත්තල... .
කුසේ නොදැරුවට විලිරුදා නොවින්දට තාත්තල දරුවෙක් බිහි වෙද්දී කොයිතරම් පිඩනයකින් ඉන්නවද කියල මන් හොඳටම දැක්ක . හරිම ලස්සන ගීයක් සොයා දුන්නට පින්. ටික දවසක් යනකම් හිතෙන් මන් ඔය ගීය මුමුණයි දැන් ඉතින් .

ඉන්දික උපශාන්ත said...

මාත් ඔයි වගේම දෙවෙනි පාර දුවෙක් එනකල් උන්න. ආයි පාරක් අම්ම එයා කැමති පුතෙක් හදං කියල මං මොන තරං නෝක්කඩු කිව්වද!
ඒ උනාට කාත් කවුරුත් නැති අරාබියෙ අලි බඩත් උස්සං පැය දහහයක රස්සාවත් එදා හවස වෙනකල්ම කොරල, අන්තිම මොහොත වෙනකල්ම මට කරදර නොකර ඉඳල, ඒත් ලේබර් රූම් එකේ මගේ අතිං අල්ලගෙන පැය හතරක් තිස්සෙ මරහඬ දිදී දුක් විඳල බැරිම තැන උස්සං ගිහින් බඩ කපල එළියට අරන් මට පෙන්නපු ඒ චූටි පැටිය දැක්කම ඇඬුනෙ කෙල්ලෙක් නොවුන දුකට නෙමෙයි, මේ මගේ පුතානෙ කියන සතුටටයි.
අර ඊඩිපස්ගෙ කෙහෙම්මල හින්ද හරි වෙන අටමගලයක් හින්ද හරි තාත්තල අපි දූලට වැඩිය ආදරෙයි කිව්වට උදේ හවහ පුංචි උන් කරේ තියාන ලුනු ගෙනියනකොට, අපි වගේම කාර්, වාහන ගැන හාර හාර අහනකොට, එව්ව ගැන යන ටීවී ප්‍රොග්‍රෑම් දෙන්න එක්ක ඩබල් දාල තළු මර මර බලනකොට, උදේ දවල් සීට් එක පිටිපස්සෙන් ඉඳං තාත්තගෙ ඔලුවට ඇන ඇන පාරෙ යන වාහන ගෑන පාලං බිල්ඩින් ගැන තොරතෝංචියක් නැතිව විස්තර අහනකොට එව්ව කියල දෙනකොට, ගෙදරම පෙරළං සෙල්ලං කරනකොට, අම්මගෙ මල් පැල වලට වඩා දෙන්නගෙ ඇඟට වතුර දාගන්නකොට, ඔයි වගේ අටෝරාසියක් පිරිමි වැඩ අපේ ලෝකෙ අම්මට නොදී බෙදා ගන්නකොටනං පුතෙක් නෙමෙයි දුවෙක් උන්නනං මටත් කියල අම්මටත් නොහිතෙනව ඇද්ද?

අම්මලට එහෙම හිතෙන්න නැතුව ඇති මචං!

Grey said...

වෙනද වගේම බොහොම ලස්සනට ලියල තියෙනවා තිස්ස අයියේ. පහලින් තියෙන කොමෙන්ට් ටිකත් ඒ වගේමයි.
වෙන අය ගැන කියන්න නම් මම දන්නේ නෑ, නමුත් අපේ ගෙදර නම් අම්මයි තාත්තයි වැඩිපුර ආදරේ නම් මට. :)
එකම කොල්ල නේ.. :)

ලකී සිරි said...

@ සිංහයා (ඉන්දික )

උඹගෙ කොමෙන්ට් එක කියවද්දි ඇස්වලට කඳුලු එනව බං...

Pathum Herath said...

ලස්සන සටහනක් අයියේ... අපි නම් තාම ඕව ගැන හිතනවා විතරයි.. හැබැයි මට වෙලාවකට හිතෙනවා මේ විදියට තනියම ඉන්න එක වඩා හොඳයි ද කියලත්.. තාම කොලු ෆීලීන්ග්ස් තියෙන නිසා වෙන්න ඇති මම හිතන්නේ.. තව නාකි උනාම හරි යයි..

ජීවිතේ මල් said...

:'( ස්තූතියි මේ වටින සටහන කියවන පින අපිට ලබා දුන්නාට

පැන්ඩා said...

තිස්ස අයියා දැන් වෙලාව රැ දෙකයි ..නිදි මතේ පාඩම් කරල නිදා ගන්න හදද්දි මේක දැක්කෙ..නිදි මත කොහෙන් ගියා ද නැ..ලියල තියෙන ඒව එක්ක මාත් නිකන්ම අතීතයට ගියා..ඉස්සර තාත්තා කීයට වැඩ ඇරිල ආවත් කොච්චර මහන්සි වුනත් නිදා ගන්න කලින් මාව ගේ පුරාම ලුනු රවුමක් ගෙනියන්න ඕනි මයි...එයා කරන්නෙ ඒ වෙලාවෙ ගෙදර ජනෙල් දොරවල් ටික හරියට වැහිලද බලන එක..තාත්තා යට අගුල් බලද්දි මම කරේ ඉඳන් ආඩම්බරෙන් උඩ අගුල් වැටිලද බලනව...හුඟ කාලෙකින් තාම බැඳල නැති අපේ අතීතය මතක් වුනා පොස්ට් එකෙන්...

ඊ මේල් කවිකාරි said...

@ සිංහයා - අම්මලට හිතෙන්නේ....... උයන්ට පිහන්ට, ලඟ නිදියන්ට,කාටවත් නොකියූ කතා කියන්ට, හිතට දුක දැනුනු කතා කියල අඬන්ට, ට්‍රිප් යන්ට, සාප්පු යන්ට, ආස තැං වලින් කඩචෝරු කන්ට, සැලුන් ගානෙ ගිහින් විකාර කරන්ට, කරල තාත්තගෙං බැනුම් ටිකක් අහන්ට...........දුවලගෙ යෙහෙළිය වෙන්ට.

http://emailkavikaari.blogspot.com/2012/01/i-cant-do-this-anymore-cant-you-come.html

පිස්සා පලාමල්ල said...

හුඟක්ම සංවේදී සටහනක් තිස්ස අයියා... අයියගේ බ්ලොග් එකේ දැකපු සංවේදීම සටහන මට නම්....

තිස්ස දොඩන්ගොඩ said...

සංජු: ඉවසීමෙන් සැනසීම ලැබේ... ඒත් එක්කම කාලය රන් හා සමානයි :-)

පබලු : හප්ප පබලු නගත් ගොඩවෙලා තියෙන්නෙ.... ස්තූතියි නගේ...

අභීත: ස්තූතියි අභීත... ලුණු ගෙනියන එක කොන්ද කැඩෙන වැඩක්... ඒ කාලේ ලොකු පුතාව කරේ තියන් "සකිය සගව්වට රෝදය කැරකෙනවා...." කිය කිය දෙපැත්තට පැද්දි පැද්දි ලුණු ගෙනියනකොට එයත් මොනවදෝ ඒ තාලෙටම කිය පැද්දෙනවා... කොන්දේ වේදනාව දැන් මතක නෑ...ඒත් අර සතුට තියේ තාම...
බිරින්දැවරු සතුටෙන් තියන එක තමා අපිට ණය ගෙවන්න තියන හොඳම විදිහ...

සුසුර: ස්තූතියි සුසර මහත්තයෝ ... ඔය කීවට සුසරටනම් ඉතින් ජාතිදෙකෙන්ම ඉන්නව නෙව :-(

කවිකාරී: අපේ මිනිස්සුන් ව පාලනය කරගන්න බැරි හින්ද්ද, ඒ කාලෙම ඉඳන් තාත්තව වැදුම් ගෙයින් එළියට තල්ලු කල හින්දද මන්ද ලන්කාවේ මෙහෙම වෙන්නේ...

චාන්දි: ඇයි ඉතින් ඔබතුමිය විතරක් වරද පටව ගන්නේ, අපෙ ඇත්ටතිත් හිතුවේ ඔහොමමයි... ඔව්ව අපට ඕන හැටියම වෙන්නේ නැ නෙව... ඒකටත් හරියන්නන ඉතින් ඔබට ලැබුණනෙව සෙනෙහෙබර ලේලියක්... සතු‍ටුයි...

වර්ණා: හ්ම්ම්ම්... ඒක නොවෙන්නම් මේ දුක තාත්තලාට කරකාර බන්දනකොට....

ඇවිද්ද පය: ඒකනම් අවසානම සිංදුව මචෝ..!

බින්දි: "අනික් අයට සිංහයෝ වගේ සුර වීර තාත්තල දුවල ඉස්සරහ නිකන් අහිංසක පුස් පැටව් වගේ" මේකනම් ඉතින් 100% ම ඇත්ත... මම අනේකවත් දැක තිබෙනව... දූලගේ තාත්තලාගෙ කථාව ඕකයි එහෙම්නම් ඇ..?

ඉන්දික: හපොයි මචෝ... මෙහෙදිද දරුව ලැබුනේ... හප්පා... ඇත්තමයි... උඹේ කමෙන්ට් එකනම් ජීවිතේ හැව ඇරිය වගේ...!!!!

ග්‍රේ: හපොයි ඒ වග මොටද ඉතින්... මේ අලි කොල්ලෙක් එළියට බැහැල නොපෙනී යන තුරුම තාත්ත බලං හිටි හැටි මම දැක්කනේ.. දාරක ස්නේහය මහ විසාල දෙයක් අප්ප...

පැතුම්: බොට පිස්සුද.. :-)

ජීවිතේ මල්: ඇඬු කඳුලු මූදට එක් වුණාදෝ?

පැන්ඩා: මචං මාර සිහිවටන එව්ව බං ඔව්වා... බලපං උභට තාම මතක හැටි එව්වා...

පිස්ස: එහෙමයි එහෙමයි මලය... හැබැ ජීවිතේ ප්‍රබන්ධයට වඩා සොඳුරුයි... අම්මපා...!!!

ගල්මල්-Coral said...

සෝමපාලයන් ගේ ගීත එකතුවට තියෙන්නේ පුදුම ළබැඳියාවක්, ඒ වුණත් මේ ගීතය ඇහුවේ කාලෙකට පසුව, කීපවතාවක්ම ඇහුවා.

කවදත් ජීවිතයේ පැතිකඩක් සුන්දර විදියට, සරලව විමසන්න මෙහෙයවෙන ඔබේ පන්හිඳට මගේ ආචාරය සහෘදයා. ඔබ උපයෝගී කරගන්න සුමට ගීත මධ්‍යය ඕනෑම හදකට ගීතයක්, එළියක් ඔසුවක් වෙනවා නොඅනුමානයි.

ජීවිතයේ ස්වකැමැත්තට තෝරාගන්න බැරි දේවලින් අතරින් තවත් එක්ක දුවද පුතාද කියන දරුපල. අම්මා තාත්තා හැටියට දරු පැටියා ආදරයෙන් පිළිගත්ත ද අපේ න්‍යෂ්ටික පවුල් ස්වරූපය න්‍යුක්ලියර් වෙන අවස්ථා ද ඕනෑතරම්.

දරුවෙකු උපදින අවස්ථාවේ ළඟින් ඉන්න ඉඩ දීම පැති කිහිපයකින් වැදගත්. ඒ විඳින වේදනාව බලාගෙන ඩයිනමයිට් හයිකර කඩා බිඳලන ලොකු ටවර් බිල්ඩිමක් වගේ කඩා නොවැටෙන්න කරන අරගලය... ඒ අතර පැය ගාණනාවක් ලොකු යුද්ධයක් කරලා කිරිකැටියා තුරුළු කරගෙන හැම වේදනාවම අමතක කරන්න පුළුවන් වෙන්නේ සෙනෙහෙබර අම්මෙකුට විතරයි. මං හිතන්නේ ඒ මොහොත ජීවිතයේ ලොකුම පාඩම උගන්වන දරුණුම කෝස් එකයි.

ජීවිතයේ බොහෝ දේවල් තනිවම මුහුණ දුන් අපිට ඔබේ පූර්විකාව බොහෝම ස්මීපයි.

තෙතක් සෙවණක් නැති මේ හිස් අහසයට මගේ ලෝකය සඳවතිය වටකර දිලෙන පුංචි තරුකැට දෙක.

ඔබේ පුංචි කැදැල්ලට නිති රැකවරණයි, තෙරුවන් සරණයි යාළු.

නිසුපා said...

උදේම මේ පෝස්ට් එක සහ කමෙන්ට් කියවලා මට ඇඩෙන්න ආවා තිස්ස අයියේ.කමෙන්ට් එකක් දාන්න ඕනෙ වුනත් හිත සැනසීමෙන් දාන්න බැරි නිසා වෙන බ්ලොග් ටිකක් කියවලා ආයෙත් මේ පැත්තෙ ආවා.

මටත් අපේ තාත්තාව මතක් වුනා.අපේ ගෙදරත් කෙල්ලොම දෙන්නයිනෙ. එක පාරක් අපේ තාත්ත මගුල් ගෙදරක චායාරූප ගත කරන්න ගිය වෙලේ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" සින්දුව ගිහින්. ඒ වෙලාවෙ ටිකක් නිදහසේ හිටපු තාත්තට සින්දුව හොදටම හිතට වැදිලා අනේ මං දුවලා දෙන්නම මෙහෙම යවන්න එපැයි කියලා හිතලා ඇඩුනාලු.ඒ දවස් වලට කොහොම ඇඩෙයිද කියලා හිතුනලු..

"පුංචි දවස් වල නින්දට යද්දී" මගෙ ප්‍රියතම සින්දුවක් පොඩි කාලෙ ඉදලම. මගුල් ගෙදරක ගායනා කරන්න අවස්තාවක් හම්බ වුත්ත් මං හුගක් වෙලාවට ඔය සින්දුව ගායනා කරනවා.ඒ වෙලාවට හරිම අමාරුවෙන් තමා කදුලු පාලනය කරගෙන ගායනා කරන්නෙ.

මං හිතාගෙන ඉන්නෙ මං යන දවසට ගායනා කරන්න.පුලුවන් නම් වෙයිද මන්දා.

සෝරෝ said...

මම කියවපු, තිස්සයියගේ වඩාත් සංවේදීම ලිපිය මේක වෙන්නැති.. මගේ ඇස් දෙකත් තෙත් වුනා.. ඒ තරම් සංවේදී විදියට ලියල තියෙනවා මේක නම්...

සිංදුව නම් අහලා නෑ වෙනදා එවා වගේම...

Praveena Palipana said...

අය්යෝ අද උදේම මේක කියවලා මම ඇඬුව නේ. ලමයි හදනකොට අප්පච්චිලාටත් මෙහෙම හිතෙනවා ඇති කියලා තේරුනේ නෑ හරිම පව්....

මුලු හදවතින්ම ලියපු ලියවිල්ලක්. බයවෙන්ට දෙයක් නෑ. ඔයාට හොඳ දුවලා දෙන්නෙක්ම හම්බවෙයි.

තනෝජා රාජපක්‍ෂ said...

“දැන්ම කථා කරල තියමුද?“

අපොයි අයියා අර ඉස්සර වෙච්ච අති අසාධාරණ, බලහත්කාරකමකටනෙ මේ කථා කරන්නේ :) (දැනටත් පොඩි එකීට මේ අවකාශෙම එකෙක්ගෙ ලොකු එකාට ඉල්ලුම තියේ.. හි හි)

අයියා දන්නවද මයෙ කෙල්ලො දෙන්නමත් ආවේ ඔය සිරිසේන මහත්තයැයි වාට්ටුවෙදිම තමා.. කපන කොටන වැඩ වලට විතරක් නෙමෙයි ඒ උත්තමයා කලින් බැලිලි (Scan) වලටත් විරුද්ධයි.. දැන්නම් විශ්‍රාමිකයි.. අදහසක් තිවුනා එයාගෙ තාත්තත් අම්ම ළඟින් තියන්න ඒ වෙලාවෙදි.. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරිව ඇති.. එහෙම උනානම් අම්මෙක් දරුව බිහිකරන්න විඳින දුකත් තත්ත්පර කීපයකදි එහෙම දුකක් වින්දද කියල අමතක වෙන හැටිත් ඔක්කොම චිත්තරපටයක් වගේ බලාගන්න තිබ්බා තාත්තලට.. මගෙ උන් දෙන්නම කීව දවස් වලට කලින් ආවා.. අක්ක බබා දවස් 8කට කලිනුත්, නංගි බබා දවස් 11කට කලිනුත්.. හැබැයි ලෙස්ලි අයිය එතන හිටියනම් එයා ක්ලාන්ත වෙනවා.. ඇත්තමයි.. ඔය කොච්චර කීවත් ඔය තාත්තලට ඒ සිදුවීම බලාන ඉන්න බෑ.. බෑමයි..

ගැහැණු කෙනෙකුගෙ කදුළු දකින්න බැරි ඔයාලට ඔය වේදනාව විඳින හැටි බලන්න බෑ අයියා..

ඊ මේල් කවිකාරි said...

@ තනෝජා - ඒක හින්දා තමා තනෝජා ඔය ඔක්කොම වීරයො ලේබර් රූම් ගියාම නෝනගෙ අතිං අල්ලං ඇඳේ ඉහ ඉද්දරට වෙලා ඉන්නෙ. මම දන්න කෙනෙක් වීඩියෝ කරන්න ගිහිං කලන්තෙ වෙල ඇදවැටුන කියල මගෙ යාලුවෙක් කිව්ව. උන්දැල බලන්න වටින දර්ශනයක් තමා. අපෙඇදුරුත් කිව්වෙ කෑගැහිල්ල දැං නවතියි කියකියා හිතහිතා හිටිය කියල. ඇදුරුට මාව බලන අතරෙම එලියෙ පුටුවක ඉන්දල ආපු දෝණි බලන්නත් උනා. උන්දැකලේ අමාරු වැඩි වෙලාවට පැනල යන එක තමා. උන්දැ වැඩියක් බය උනේ බට යවල දරුවට පෙවිල තිබුනු දැ සුද්ද කරන හැටි දැක්කම තමා. අනේ පැයක් ඇතුලත සංතෝසෙට එයා ලේබර් රූම් හිටි කට්ටියටම චොකොලට් පෙට්ටි ගෙනත් දුන්නා. ලංකාවෙං පිටදි මෙව්ව කරගන්න වෙන්නෙ තමන්ටමනෙ.

තනෝජා රාජපක්‍ෂ said...

@ කවිකාරි - ඇත්ත අනේ.. ඒත් ඒක බියගුළු කමක් නම් නෙමේ.. දරන්න බැරි කමක්.. ආදරය වැඩි කමක්..

ඇත්තම කීවොත් ඔයාගෙ කමෙන්ට් එක නිසා මට අතීතයේ එක් දවසක හද ගී පොතේම ගිය වාදයක් මතක් උනා.. ඊට පස්සෙ තිස්ස අයියා එක්ක තරහ වෙලා මේකෙ කමෙන්ට් නොකර හිටියා කාලයක්.. හි හි ආයෙත් ඒ තත්ත්වෙ උදාවුනොත් කියලා දැනට මම නවතිනවා.. හරිද? :)

මාරයාගේ හෝරාව said...

මං දන්න ගෑණූ ළමයෙක් හිටියා..එතකොට අපි පොඩියි..(දැන් ඒ ළමයා නැහැ)අනිත් කොයි දේ කලත් ඒකි මට වඩා එක වැඩකට හෙනට දක්ෂයි..ඒ තමා නූලකට ඉදි කටුවක් දාගෙන එයාලගේ මිදු‍ල කෙරවලක තිබුන සේපාලිකා වගේ මල් ජාතියක් ලස්සනට අමුනලා මාල හදන්න..මට එච්චර පිළීවෙලට ඒක කරන්න බැහැ..ඒ කෙල්ල මල් ටික අහුලගෙන හිතින්ම ඒවායේ ලොකු පොඩි කං මැනගෙන අමුනලා ඉවර උනාම ඒකේ අමුතුම පෙනුමක් තියේ...

උඹත් නිකං ඒ වගේ...

priyantha said...

තිස්ස අයියේ. කොහෙන්ද අයියේ මේ අදහස් පහල වෙන්නේ. මම අයියාගෙන් දුටු ඉතාම සංවේදී ලියමනක්. සිංදුව බෆර් වෙනකල් මේ කමෙන්ට් එක දාන්නේ. යන්න කලින් සිංදුවත් අහලාම යන්නම්...

Anonymous said...

thank you aiya.. i was looking for this song. my mother used to sing this song for me now she is no longer with me so hearing this again brings back the sweet memories..

නලිනි චන්දිමා said...

ලස්සන සින්දුවක්. මම කලින් අහල තිබුණෙ නැහැ. බොහොම ස්තුතියි.

මකුළුවා..... said...

තිස්ස අයියේ....මට මොකක්ද කියන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ....අනිවා අයියේ මටත් තාත්තා කෙනෙක්ගේ මේ අත්දැකීම විඳින්න ලැබෙන දවසේ අනිවා මම ආපහු මේකට කමෙන්ට් එකක් දානවා...අයියගේ මේ වචන ටික කියවපු කෙනෙක්ට සිංදුවත් එක්කම කියෙව්වනම් ඒ හැඟීම කොයි වගේද කියලා හිතාගන්න අමාරු නෑ.... :)

Anonymous said...

mata nam hitenne delivery eka welawedy thattatat laga inda denawanam hoday. Mokada ammage wedanawa bedaganda.

Gimhani said...

මේ පෝස්ට් එක බැලුවම මට මගේ මියගිය පියා මතක් උනා .
…ගොඩාක් කලකින් මේ සින්දුව අහන්න ලැබුනේ . බොහොම ස්තූතියි .

Lishan Puwakowita said...

අගේ ඇති කතාවක් තිස්ස අයියා.., හරිම අගෙයි ඔබ ඊට දී ඇති පෙර කථනය..!
ස්තූතියි

ප.ලි: මේ බ්ලොග් එක හරි ලස්සනයි.., ඊටත් වඩා පිළිවෙලයි..!

දුමී said...

පෝස්ට් එක කියවගෙන යත්දි නොදැනීම ඇස් දෙකට කඳුළු ආවා. මම ඔය අත්දැකීම තුන් පාරක්ම විඳලා තියෙන නිසා....!

මේ සින්දුව ඇහුවේ ගොඩක්ම කාලෙකට පස්සෙ. අමතකම වෙලා තිබුනු සින්දුවක්. ඒ වගේම හරිම ලස්සනයි.

දුවලා ගැන කියනාවනම් මට කියන්නෙ තියෙන්නෙ මීට කාලෙකට කලින් අපේ ජෝජ් අයියා කියපු මේ වදන් ටික විතරයි.

"දුවෙක් නැති තාත්තෙක් ඉන්නවානම් මට ඒ තාත්තා ගැන හරි දුකයි....!"

තිස්ස දොඩන්ගොඩ said...

ගල්මල් : "තෙතක් සෙවණක් නැති මේ හිස් අහස යට මගේ ලෝකය, සඳවතිය වටකර දිලෙන පුංචි තරුකැට දෙක..." හෝස් ගාල පත්තු වුණා මේ කොටස දැක්කම...

නිසූපා: එදාට සින්දු කියන්න හිතේ හයියක් තියෙන එකක් නෑ නිසුපා...

සොරෝ: හ්ම්ම්ම්... ස්තූතියි සෝරෝ මල්ලියේ...

ප්‍රවීනා: බොහොම ස්තූතියි ඔබතුමියට... මමත් එහෙම හිතනවා.. දුවරු කෙසේ වෙතත් ඒ දෙන්නට හොඳ බිරින්දෑවරුන් දෙදෙනෙක් ලැබුනොත් සැනසිල්ලක් ලැබේවි....

තනෝජා: ඕ... මම ප්‍රමාදයි එහෙමනම්...!!!
මමත් හිතනව අපට අල්ලන් ඉන්න බැරි දෙයක් කියල ඕක...

මා හෝ: අහ්... මාර කථාවක් නෙව ඒක...

ප්‍රියා: බාගෙනත් තියාගන්ට... ඕනෑවෙයි ඉස්සරහට...!!!

නලිනි: ජයවේවා...

මකුළුවා: හප්පා බොහොම සහෘද පැතුමක් නෙව.. එදවස හමුවෙමු එහෙමනම්..!!!

ගිම්හානි: හපොයි දෙයියනේ... :-(

ලිෂාන්: හප්පා... සිරා වෙබ් ඩිසයිනර් කෙනෙක් ගෙන් මෙහෙම අහන්න ලැබුණම සතුටක් දැනේ... ස්තූතියි මල්ලී..

දුමී: ඔව් ලස්සන අත්දැකීම් ගොඩක් ජීවිතයෙන් ගිලිහෙනව කියල හිතේ...

Anonymous said...

මට හරිම වටින ලිපියක් මේක ලගදි ඩබල් ස0ගමේට එකතු වෙන්න ඉන්න නිසා ලිපියයි කොමෙන්ටුයි ඔක්කොම කියෙව්වා.ඩබල් ස0ගමය ගැන මට තිබුන බය ටිකක් විතර නැතිවෙලා ගියා..

Bandula - බන්දුල said...

කියවලා අවසන් වුණ විගසම Comment එක දැම්මනම් මීට වඩා වෙනස් දේ ලියවෙන්න තිබුණ! ඒත් මෙලෝ දෙයක් පැහැදිව පේන්නෙ නෑ. වයසට එහා ගිය හේතුවක් නිසා ඔක්කොම බොඳ වෙලා. ඇයි තිසා අපට මෙහෙම වද දෙන්නේ...! තිසාගේ සටහන් වලින් අති බහුතරයක් කියවලා අවසානයේ වෙන්නේ අඬන්න. මේ වැඩේ හැමදාම වින්ඳේ තනියම; සමහර දවස්වලට ඇයත් එකතු වුණා තමා. ඒත් අද කරන්නම් හොඳ වැඩක්. පෝය දවසේ පස්දෙනාම ගෙදර ඉන්න දවස! කැඳෙව්වා වට මේසයක්. ලොකු දුවට දුන්න තිසාගේ Post එක කියවන්න.

"...රෑ බෝ වන තුරුම වාට්ටුවට පිටින් අහල පහල කරක් ගසා ආපසු ..... ආපසු .... ගෙදර ..." කෙල්ලගෙ වචන පැටනෙව. මොනව වුණත් අම්ම වගේ හිත හයිය එකී. හිතට හියිය අරගෙන ආයෙත් කියවනවා.

"ඇගේ දහවල් ආහාර වේලද රැගෙන නැවත ආපසු ආ යුතු බැවින් කිළිටිද රැගෙන මා පයින්ම ආපසු ගෙදර ආවෙමි..." දුව දිගටම කියවා ගෙන යනවා. අම්ම හෙමිහිට නැගිටලා යනවා. "කොහෙද ඔයා යන්නේ?" උඩ බලාගෙ ඇහුව මම කිසිවක් බිම වැටෙන්න නොදී. "කන්න මොනව හරි අරගෙන එන්නම්" 'කන්න මොනව හරි' අරගෙන ඇය ආවේ 'පුංචි පුංචි තරු කැට' 'සිංදුව අහන්න' කියන් තැන දුව ක්ලික් කලාට පසුව. "හෙම්බිරිස්සාව හැදෙන්න වගේ" කියාගෙන; නාසය හූරමින්.

තිස්ස දොඩන්ගොඩ said...

බන්දුල: ඒ සොඳුරු කැදැල්ල බලා කියාගන්න හරිම ආසයි... අනිවා එනවා බන්දුල මහත්තයෝ වැඩි කල් නොගොස්ම...!!!

Bandula - බන්දුල said...

යූ ආ වෙල්කම් ඩියර්..!

ජීවිතේ මල් said...

මම දන්නෙ නැහැ ඇයි මම මේක ආපහු කියෙව්වේ කිය්ලාඅ. ඇයි මම ආපහු මෙහෙම ලියන්නේ කියලා. ඒත් කියෙව්ව්වා.. ආයිත් ඇඬුවා.

මේක මගෙ ජීවිතේ කිසිදාක මතකයෙන් නොගිලිහෙන ලියමනක් තිස්ස අයියා....

ආකාසකුසුම් said...

හරිම සංවේදාත්මකයි. දුවක් හෝ පුතෙක් නැහැ කියලා සමහරු දුක් වෙද්දී මගෙ සිතට එක්වරම පැමිණි සිතුවිල්ලක් වුවත් මේ තවත් සුන්දර ගීතයකි නිරංජලා සරෝජිනීගෙ . . .

මං කවිකාරිලු මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉඳලම මං කවිකාරිලු
මං කවිකාරිලු මං කවිකාරිලු . . .

දහසක් රසවිඳි කවිපද ගැයුමුත්
ඒ එක කවියක් හිතේ රැඳී නැත
මගෙ සංසාරේ දුක් සනසාලන
සෙනෙහස ගැන එක කවක් කියා නැත
පිං මදිදෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට . . .

මව් පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත් දරුවන් මං නලවා ඇති
මගේම දරුවකු නලවා ගන්නට
එක කවියක්වත් මං කියලා නැති
පිං මදිදෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට . . .

නුවන් තිලංග said...

දරු සෙනෙහස අදුනගන්න තාත්තා කෙනෙක් වෙන්න ඕනේ නැ කියන ඒක මම ප්‍රායෝගිකව අවබෝධ කර ගත්ත කෙනෙක් නිසා.මේ ලිපිය කියවන කොට ගොඩාක් සංවේදි උනා අයියා

Post a Comment

 
Blogger Wordpress Gadgets