සිරිබෝ කවි....

ගී පොතේ කවියක් දාන්න හිතුනේ මිහිරි බව නිසාමයි... සංගීතය නැත්තෙම නැතිවුනත් අමරදේවයනුත් නන්දා මාලිනියත් මේ කව අපූරුම මාදූර්‍යයකින් ගයනවා (කියනවා..?)... රන්දිල් නංගී කීවා වාගෙම "හෝම් සික් " හදාගෙන විඳවන්න තරම්ම ලස්සන නිර්මාණයක්...

පාට වර්ණ ඇති කුකුලනි මං...
තොපට රනින් වලලූ...තනවාලා දෙමි පයට....
මෙ අප දෙන්න එක්වුනි රෑ තුන්යමට...
ඉර දු‍ටු මුත් නාඬන් කුකුළනේ හෙට.....


හඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා...
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා...
මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා..

ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා....
බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
මා හැර ගියද... නැගනිය තනි නොවේවා...

පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...

සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා..
සවි නැති කලට... වැට කෙයියා රො‍ටු සේමා
වෙර නැතිදා කෙතකට බැඳි වැට සේමා
අසරණ දා... මල් යායේ ක‍ටු සේමා...

වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්...
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්...
දෙපෝදාට පුන්සඳ වාසනාවන්...
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්....



සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

60 ප්‍රතිචාර:

wath said...

නියමයි අයියේ ... මට හිතෙනව මම ලීව කවියක් දෝ කියල. හරියට මම ලියන්න හිතේ තියන් හිටිය දෙයක් ලියල වගේ...

මාරයාගේ හෝරාව said...

කතරෙ පිපෙන බ්ම් මල් හෙම නැහැ නේද..
පන් මල් පිපෙන්නට ගොල්ලක් කොයි ඇද්ද..
පෝදා දකින හඳ වෙනදා මෙන් නැද්ද..
දුරු රට ඉන්න නුඹෙ හදවත වැලපෙත්ද..

wath said...

මාරයාට සමයන් අයියේ..

දුරු රට වුවත් සුවඳයි නුඹෙ දැනේනේ
තරු දෙනෙයනේ එළියයි මඟ කියන්නේ
සඳ වැනි පුතුන් තනියට නිති රැදෙන්නේ
කතරක වසන්තය සිත අග පිපෙන්නේ

උඹ දුක් වෙන්න එපා බන් අයියේ...

තිස්ස දොඩන්ගොඩ said...

@වත් + මාරයා: ඇත්තමයි බං... උඹලා දෙන්නම ලිව්ව කවි දෙක මගේ හිතට හොඳටම දැනුනා... උඹලට පිං... මෙහෙම හිතනවටත් මා ගැන...

චේජනා said...

කවි ටික ඔක්කොම ඇහුවා...මියුසික් නැති වුණාට ලස්සනයි...
මාරයායි වත් අක්කයි තරගෙට තවත් කවි කියල ගිහින් නෙ... :D

තිස්ස දොඩන්ගොඩ said...

@වත් + චේජනා: මාරයත් එක්ක ඉතින් කොහොමත් යන්න වෙන එකනේ... යාලුවන්ට වැඩ ඇති නේ...? ඔය ඉන්නේ මදෑ කවි කාර මඩුවම...

Shadow/හේමලයා said...

අගනා කවි ටිකක......බොහොම ස්තුතියි අපිටත් අහන්න සැලැස්වුවාට...:))

තිස්ස දොඩන්ගොඩ said...

@Shadow/හේමලයා: ඉතින් බ්‍රේක් ඩිංගක් අල්ලලා කකුල පිලට බර කරලා මෙහෙම වචනයක් කියලා යන එකත් කොච්චර දෙයක්ද....

ගල්මල්-Coral said...

සෙක්කුවෙන් ගැලවිලා ආවේ අබලන් රථයක් ගානට.
පුරුද්දට ද මන්දා මහගෙදරට ගොඩවෙනවා වගේ මේ පැත්තට ඇවිත් "හිත නිවෙන්න" පංකාදු කවි කීපයක් ඇහුවා. පින්.

තිස්ස දොඩන්ගොඩ said...

ගල්මල් මහත්තයාගේ උපැහැරණ නම් ඉතින් කවදක් වාගේ අපූරුයි....

වැප් said...

පැමීණියෙමි
රසවින්දෙමී
කෘතගුණවෙමි
යන්නටයමී

punchisamanalee said...

ෂා..... හිතට දැනුනු කවි පෙලක්..... නියමයි අයියේ.... හැබෑටම අනේ කොහෙන්ද මේවා හොයාගන්නේ?

දුකා said...

Shaa . . .. kiyanna wachana na machan . . mage laga me sinduwa tiyena CD eka tiyenawa matakaineda api dawasak meka gana kataa wunaa . . .. ela machan . . niyamai

Siribiris said...

@තිස්ස

හපොයි මලේ, මට උඹව මගෑරුනා නොව. ඒකත් ඉන්තේරුවෙන්ම මේ මාරයාගෙ වැරද්ද, මේකා එකදිගටම පන්සලේ කථාව ලියන්න ගත්තානෙ, ඉතිං නොබල කොහොමද?

ඇත්තම කතාව, මං වැඩ කරන්නෙ යක්කු ගස් යන ශිපිට් එකේ. දවස් 6 වැඩ, දවල් දවසෙ බුදි. මං කොහොමින් හරි වෙනදා වගේම ඇවිත් යන්නම්.

අනුරාධ said...

මෙහෙමවත් දැම්මෙ නැත්නම් මෙව්ව අපිට අහන්න ලැබෙන්නෙම නෑනෙ අම්මපා.... ස්තූතියි අයියේ....

වැම්පයර් said...

අඩෙ අප්ප.. ඒ නන්දා මාලිනී ද... නියමයි නෙ මේක..! මරේ ම මරේ ම මරු!

සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට...


කමෝන්...!

Pali said...

හරිම අපූරුයි තිස්ස. මේ කවි බොහෝ දෙනෙක්ගෙ ජීවිතවලට සම්බන්ධ බවක් දැනෙනවා ඇති.........මට මතක් වුනා අර අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගායනා කරන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" කියන ගීතය.....නමුත් මේ කවි පෙළ ඊටත් වඩා තදින් හිතට දැනෙනවා නේද?

Buratheno said...

එළස්.. යටින් නිකං සිතාර් පාරක් වගේ ගියානං එළම එළස්..

Anonymous said...

තිස්ස මහත්තයෝ...

ආයෙ වචන දෙකක් නැහැ...මේ දිව්‍යමය ගායනයන් අහන්න මගේ දෙසවන් පින් කළ තරම..!

ආ..හැබෑටම ..යුදයේ කෙළපැමිණි ධනුද්ධරයට මහා මේඝව නවත්වන්න පුළුවන් වෙයිද අර හීයෙන් විදල..???

සුලා..

Sinhala Noorthi said...

බොහොමත්ම ස්තූතියි මේ අපූරු ගීත අපිත් එක්ක බෙදාගන්නවට, දැන් කාලෙ මේ වගේ ගීත වැඩිය ඇහෙන්නෙත් නැහැනෙ.

පුළුවන් නම් මෙන්න මේ ගීතයත් එකතු කරන්නකෝ
' රන් මුදුව ගංදියේ ගිලුනා මතකය වළලා.. මං ඔබ හඳුනාගත්තේ ඒ සුන්බුන් ... සකුන්තලා.. සකුන්තලා.. '

:)

Grey said...

නියමයි...අපේකම උපරිමේට කවියේ තියෙනවා. අමරදේවයන් නන්දා මාලිනිය සමග තියෙන අපූරු ගැලපීම හොදට පේනවා.
වචන ටිකත් අපූරුයි... හැබැයි ඉතින් අර අයියට ඔච්චර ආදරේ අක්කා ඉන්නකොට ඔහොම ප්‍රාර්තනා කරන එක පවු නේද? ;)

තිස්ස දොඩන්ගොඩ said...

@වැප්: රාජකාරියයි, පවුල් ජීවිතෙයි, සින්ඩිකේටරයේ වැඩයි, දුක සැප බලන එකයි, [දෑතින් මඩ ගහන එකයි ;-)], ඇරුනම මේ කොමෙන්ට් දාන්නත් කොහොම කාලේ හොයාගන්නවද මන්දා...?

[මොනවා වුනත් සතු‍ටුයි උඹලා වගේ එවුන් ගැන මල්ලියේ...ඔං උඹ දාන වීදිහටම...!]

@punchisamanalee: මේක නංගියෝ නන්දා මාලිනී කල සීඩී එකක තිබුනා ඇය ගැයූ චිත්‍රපටි ගී එකතු කරලා "රන් කෙන්දෙන් බැඳ" කියලා... පඩි කීපයකින් එකතු කර ලඟ තබාගත් රුපියල් 500 ක්, සිතින් නොසිතින් වියදම් කර ඒ කාලේම ගත්තා... මේක "සිරිබෝ අයියා" සිත්තර පටයෙන්... ජෝ අබේව්ක්‍රම රඟපාන බොහොම දුක හිතෙන චිත්‍රපටියක්...

@දුකා: අපි දෙන්නා වෙනමම පැදුරක් දැමිය යුතු තත්වයකි...!!!

@Siribiris: ඕං මේ ඔත්තුකාර tracking system එකට දොස් කීවට, කාලෙකින් මේපල් කොලේ දැක්කේ නැතිව මාත් සාංකාවෙන් උන්නේ... මේ පැත්තට එන තවත් මේපල් කොලයක් මේ දවස් වල සිංහ කොඩිය යට... හැබෑ නෙවෙන්නම්... කෙලවෙලායන වැඩක් තමා night shift නම්... මටත් ඒ දවස්වල plant එකේ ඇවිදමින් යනකොටත් නින්ද යන්න එනවා පාන්දර 2ට විතර... මක් කොරන්නද ඉතින්, නෝක්කාඩුවෙන් පස්සේවත් ආවා නෙව...

@අනුරාධ: උණ විකාරෙන් නෙම්යි නේද මේ කියන්නේ...?

@වැම්පයර්: ඔව් ටිකක් හිතන්න අමාරුයි නේද මලේ...?

@Pali ඔව් මචෝ මේ කටහඬ සංගීතයක් වාගේමයි.. පලමු පදේ ඇහුවහම නං පපුව හෝස් ගලා යනවා

@Buratheno: හෙඩ් පෝං එකකින් ඇහුවහම ඩිංගිත්තක් පසුබිමින් ඇහෙනවා... මොකක්ද මන්දා...

@සුලා: ඕං ඉතින් උඹටම ඕක අහුවුනා නෙව... ධනු රාශිය ඔය කොයි දේටත් උත්සාහ කර බලනවා... මමත් ධනු... මාරයා ගේ ගණිත සාස්තරෙන් කියන්නේ නම් වෘශ්චික කිය්ලා...

@සිංහල නූර්ති: ඔබතුමාගේ ආගමනය සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා... මං බෙහෙවින් රස විඳිනවා ඔබේ අඩවිය... ඒක බොහොම අලංකාරයි...

තිස්ස දොඩන්ගොඩ said...

@Grey: (අර තිස්ස විතාරණ කියනවා වගේ) කියන්නේ මට ඕං ඔහොම අත්දැකීමක් ලැබිලම නැහැ නෙව... හැබැයි මං ආදරේ වාගෙම මටත් ආදරේද කොහොමද දන්නේ...? ඒක ඉතින් මේ කොමෙන්ට් බලානොගෙන බ්ලොග් එකෙක් කරනවා වාගෙම ආපසු ආදරයක් බලාපොරොත්තු නොවී කරන එකක් නෙව...

වැම්පයර් said...

කොමෙන්ට් නං එන්නෙ ඔය දොඹෙන් යන්න..

තිස්ස දොඩන්ගොඩ said...

@වැම්පයර්: පෙදෙහි රස හව් විඳිනා දනන් දැන් දැන් බහුල වෙතා... ඒක වෙන්ටෑ...

Sinhala Noorthi said...

ඔබතුමා කියන්න එපෝ :P මම කොල්ලෙක් නෙවෙයි
බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට.

තිස්ස දොඩන්ගොඩ said...

@Sinhala Noorthi: පොච්චියේ... මම ඉතින් කොහොම නම් කියලා දැනගන්නද...? ඒ අඩ්වියේ තිබ්බ අලංකාර කොමටයි, ඒ වැඩේ ගැන ඇතිවෙච්චි ගෞරවයටයි තමා මයෙ අතින් එහෙම කියවුනේ... ඒක මේ ඉගෙන ගන්න දරුවන්නටත් බොහෝම ප්‍රයෝජනවත් අඩවියක්... ඔබ කවුරු වුනත් මගේ ඉමහත්වූ කෘතවේදීත්වය ඔබට... ඉඳහිට හෝ මේ පැත්තේ ඇවිදින් අර වාගේ රසාලිප්ත ගී මතක් කර දෙනාවානම් කවුරුත් තවත් මනාප වෙයි...

priyantha.ඒබී said...

වෙනදා වගෙම කල් පසුවී අදත් ආවා..
ආ විගසින්ම මම උඩු යටිකුරු වූවා..
මේ කවි අසන්නට බෑ ජාලය ස්ලෝ වූවා..
සවසට අසන තුරු රස විඳිමින් කියවූවා..

වෙනදාට වඩා වෙනස් දෙයක් වගේ හවස අහන්නම්.

තිස්ස දොඩන්ගොඩ said...

මේ ඔක්කෝම කවි කාරයෝ නේ අප්පා බලාන ගියහම... හොඳා හොඳා මලේ... රසවිඳින එකයි ඇත්තේ හවහට...

වැප් said...

පවුල් ජීවිතෙයි

මක් කිව්වා ...... :D

[ කාලේ නෙමයි දැන් භගේ එව්වා ගහන්න වෙලා තියෙන්නේ :D ]

වැම්පයර් said...

අඩේ කවි මඩුවක්ද.. දෙන්නං.. මේං මගෙනුත්....

හෙළ ගී අඹර පත අට එකකට සිඳුවා
නොමියෙන සර සවන් යුග පත් වල රඳුවා
හද ‍රැඳි ගී බෙදයි මසුරක් සිත නැතුවා
සරසවි වඩියි මේ බොලොගේ පි‍ටු ළෙලවා

අයියා තිස්ස දෙයි ගී රස සොයාලා
අසනා සැවොම කන් දෙපසට විදාලා
නෙට් ස්ලෝ එවුන් කන්ට්‍රෝල් ඩී ගසාලා
ගෙදරට ගොස් අසවු බුක්මාක් බලාලා

ප.ලි.
කන්ට්‍රෝල් ඩී = control+d shortcut key combination for making web browser bookmarks in windows

වැම්පයර් said...

අඩේ කවි මඩුවක්ද.. දෙන්නං.. මේං මගෙනුත්....

හෙළ ගී අඹර පත අට එකකට සිඳුවා
නොමියෙන සර සවන් යුග පත් වල රඳුවා
හද ‍රැඳි ගී බෙදයි මසුරක් සිත නැතුවා
සරසවි වඩියි මේ බොලොගේ පි‍ටු ළෙලවා

අයියා තිස්ස දෙයි ගී රස සොයාලා
අසනා සැවොම කන් දෙපසට විදාලා
නෙට් ස්ලෝ එවුන් කන්ට්‍රෝල් ඩී ගසාලා
ගෙදරට ගොස් අසවු බුක්මාක් බලාලා

ප.ලි.
කන්ට්‍රෝල් ඩී = control+d shortcut key combination for making web browser bookmarks in windows

තිස්ස දොඩන්ගොඩ said...

@වැම්පයර් : විදුලි වේගයෙන් කවි ලියන්නේ කොහොමද අප්පා...!

වැම්පයර් said...

ඔලුවට එන්නේ
ඔහේ ලියන්නේ
අනේ මන්ද බොල
කොහොමද වෙන්නේ :(

Ansh Lucky Sri Jay said...

ඇත්තටම ලස්සනයි..

RanDil said...
This comment has been removed by the author.
RanDil said...

මට මේ වචන ටික දැක්කහම සන්සරසිදු මල්ලිව මතක් වුනා. මොනවා වෙලාද දන්නේ නැහැ දැන් දෙන්නට. මේ වගේ කවි කියන්න කාලයක් අපිටත් තිබුනා. එහෙම කියලා කියලා අපි වරක් වෙන් වුනා. කවුරු උත්සහ කලත් අපව වෙන් කරන්න දෛවයට එහෙම උවමනාවක් නොතිබුනු නිසා ලබන 07 වෙනිදාට මාස 11 වෙන හුරතල් පුංචි කෙලිත්තක් අපට ඉන්නවා. මෙහෙම කවි කියන්නේ තමන්ගේ ආදරයට ඒ දෙන්නා ආදරේ වුනාට අනිත් අය වෛර කරන නිසා ‍දුකින් වෙන් වෙන්න වුනු අය විතරමයිනේ. මොන තරම් පව්ද? සන්සරසිදු මල්ලිටත් අපට වාගේම ජය වේවා!!!!!!!!!

(අපේ පැඟිරා ගැන නම් මොන කථාද? මේ වෙලාවේ බස් එකේ නැගගෙන ඕප දූප හොය හොයා ඉන්න එකේ-මාත් ඉතිං ඒ බස් එකේම තමා)

..

Anonymous said...

"ඈ රං පුතේ මොකෑ ඔය ගිණි දළු දිහා මානාන හූලන්නෙ...???"
"නෑ මයෙ අම්ම..ඊයෙ රාත්තිරියෙ මට ඇහැ පියවුණු සුණංගුවෙ මහ එකා අර ගහලල ගාල දෙරි ගහල නෙව...ඒකයි මේ..."
"ඔයිට වඩා ආසානාසිවෙලා නැතෙයි..වලාමෙ...ඒ වෙත්දිත් ගහක් ගලක් හෙ උඹ හිටියෙ..???"
විපිළිසර වූ මා ඇගේ මුහුන බැලූයෙමි...ඊයේ රාත්තිරියේ සිටම හොඳින් ඒදා පැසෙන්නට හැර ආප්ප පිසීම සඳහාම සූජානම් කොට තිබූ හාල් පිටි තලපය සහිත මුට්ටිය ගෙන ගෙන පොල්කටු හැන්දෙන් කාල් ගාමින් මා දෙස බලා නොබලා ඈ කී වදන් නිසාවෙන් මාගේ පපු කැනත්තෙහි සඟවාගෙන හුන් රහස තවදුරටත් ඈට වහංගු කිරීමට නොහැකි බැව් පසක් කොට ගතිමි...
ලිප් බොක්කට කිට්ටුව වූ මිටි බංකුවේ වාඩිලා හුන් මම බුර බුරා නැගෙන ගිණිදැල්වල අලෝකයෙන් මව්ගේ හැඟීම් පිරික්සන්නටවීමි...කුප්පි ලාම්පුවේ කණාමැදිරි එළියෙන් ඇගේ මුහුණ අඩක් එළි පෙහෙළිව තිබූ අතර අනෙක් පස ලිපෙන් නැගෙන ගිණිදැල්ලේ ආලෝකය නිසාවෙන් වරින්වර පැහැදිලි වෙමින්ද අපහැදිලි වෙමින්ද චංචල සොභාවක් පෙන්නුම් කලෙන් එහි වූ හැඟීම් මෙසේ වේයැයි තෝරා බේරා ගැනීමට නොහැකිව අසරණ වීමි..කෙසේවතුදු මීට වසරකීපයකට පෙර පැහැපත්ව තිබූ ඇයගේ මුණ වැහැරී ඇතිබවක්ද..බංකුවෙන් නැගිටීමේදී හා එහා මෙහා යාමේදී නිතැතින්ම ඇගේ අතක් කොන්ඳ මත රඳවාගැනීමෙන්ද අපහසුවක් පෙන්නුම් කරන බැව් ග්‍රහනය වූයෙන් ඇතුලතින් මා දැවීයන්නට විය...
මයෙ අම්ම වයසට ගිහිල්ලා.....!දැන් ඈට මේ සුමේ තවදුරටත් කළ නොහැකි බවද..අද අදම මේ වැඩරාජකාරි වලින් නිවනක් අවශ්‍ය බවද පසක් කොට ගතිමි...ඒත්..
දුර්වර්ණව ගිය මුළුතැන්ගෙහි බිත්තිහතරත් උණ බම්බුවලින් තනා ඇති තට්ටු දෙකකින් සමන්විත දුම් මැස්සත් පැත්තකට වන්නට වූ පියා ජීවත්ව හුන් කාලයෙහි පාවිච්චිකළ වඩු මේසයත් ඔස්සේ ඔබ මොබ ගිය මගේ දෑස නතරවූයේ බිත්තිය මුල්ලට වන්නට තබා තිබූ වංගෙඩිය වෙතය...
"ඈ මලිත්තියෙ ..ඔය වංගෙඩිය උඩ ඇණතිබාගත්තෙ වෙන අහක් නැතෙයි ඈඳිගන්න...ගෑණු ළමිස්සියෙකුට වංගෙඩිය මත්තෙ ඈඳිගන්න නාකයි කියල මහ අම්මණ්ඩි කියාදුන්නැතුවයි තාම....."
මුහුණ රතුකරගත් ඈ මා දෙසබැලූයෙන් මම විසුළු හිනාවක් පෑයෙමි..
"නෑ නැන්ඳම්මේ ඉතිං තමංගෙ අහට අමුත්තෙක් ගොඩවැදුනම පමනක් ඈයෝ කේක් ගෙඩිය තිව්වහෙ බකන්නිලන් හිටියට හරියනවයෑ..ආසන පනවන්නෙ නැතිව...."
"මක්ක කීව..වැඩේමයි රාජකුමාරිට පාවඩ දාන්න බැරිවුණානෙව...මෙයැයි හිතං ඉන්නෙ තමුන් එළිසබෙත් මහ රැජිණි කියලද...තරහ අවසර මහ රැජිණියණි වඩිනු මැනැවි..මේ සපුලීයෙන් තැනූ චිරාත් කාළයක් මේ රාජකීය මුළුතැන්ගෙහි පැය විසිහතර පුරාවටම මේ දුම් වලින් තවා...සමාවෙන්න..සුවඳ දුමින් තවා පණවන ලද මේ සිංහාසනය වෙත වඩිනු මැනැවි උත්තමාවියණි..~!"
"බලහංකෝ නැන්දම්මේ..."
"හා..හා..දෙන්න පටංගත්තද උදේ පාන්දරම..මයෙ කෙල්ලගෙ වාසනාවන්ත මූණ උදේම දැක්කම හිත පිරෙනව නෙව...කෙල්ලේ අයියණ්ඩිට කහට උගුරක් තනාල දියන්..."
රත්වූ තෙල් තාච්චියට පිටි තලපය දමන විට නැගෙන හඬින් නැවත පියවි සිහිය ලදින් මා මෙතෙක් වෙලා තනිව සිනහ වී ඇතිවග හැඟුණෙන් ඇතිවූ ලජ්ජාවෙන්ම මව් දෙස බැලිමි...ඇගේ අතටද හිතටද ඉසිඹුවක් නැතිගානය..වරෙක ලිපට පිඹිමින්ද,වරෙක ලිපෙහි වූ දරකැබිලි එහා මෙහා කරමින්ද..තාච්චිය වසාදමා ඇති මඩක්කුව විවරකරමින්ද මෙමට රස බොජුන් තන්නන්නී ඒ ගැන නිනව්වක් නැති සේද නැතිනම් එසේ හැඟෙන පරිදි සිටිනවාදැයි තෝරා බේරා ගන්නට නොහැකිව ලතවූයෙමි....

"මලිත්තී" මගේ නෑනන්ඩියයි...මේ ගංතුලානේ යමක් කමක් ඇතිපවුල් තුනහතර අතරේ ඉදිරියෙන්ම සිටින රතු මාමාගේ දියණිය ඇයයි...මගේ පියාගේ පසින් නෑදෑකමින් ඉතාමත් ලංව සිටියද අපේ පවුල් දෙක අතර එතරම් කිට්ටු ඇයි හොඳැයියක් නොමැති බව කුඩාකළ සිටම අවබෝධ කොට ගත්තෙමි...එහෙත් ඒ මන්දැයි හාගිස්සවන්නටද..ඒගැන අසමින් මව් හෝ පියා වෙහෙසවන්නටද මං නොසිතූවෙමි...නමුදු සිංහල අවුරුදුදාකට රතු මාමා හෝ මගේ පියානන් එකිනෙකාගේ ගෙවල්වලටවත් යනු මම නොදිටීමි..නමුත් විශේෂයෙන්ම නැන්දම්මා සහ මලිත්තී නොවරදවාම කැවිළි පිරවූ පිඟානක් සුදු රෙද්දකින් වසාගෙන ඈත නියරෙන් මතුවෙනු අදද සිහියට නගාගත හැක...මා නිතරම මලිත්තිලාගෙ නිවසට ගොඩවැදී නැතත් මව් ඔවුන් සමඟ සබඳ තාවය පවත්වාගත් බව දණිමි...අවුරුදු දිනකටවත් මම එහි ගොඩ නොවැදීම ගැන පසුකලෙක මලිත්තී අමනාපයෙන් දෙඩූ වාර එමටය...

සුලා...

ඉදිරියට===========>

Anonymous said...

"ඔව් ඉතිං මෙයැයිට අල්ලපුවැටේ බතීලෑ දිහාවට ගාටන්න පුළුවන් ඇයි ඉතිං එතන පැණිහැලියක් තියෙනව නෙව....අර දෙවැටෙන් එබෙන්න තමයි අමාරු..."
නෝක්කාඩුවකින් ආරම්බවෙන අපගේ සංවාදය අවසන හිත රිදවාගන්නා ඇය දුක කියන්නට යන්නෙ මගේ මව වෙතය...මගේ මව් ඈ කෙරෙහි ලෙංගතුබව ඈ දන්නීය...කෙතරම් සිත් රිදවාගත්තද පසුදා එළිය වැටෙත්ම කඩුල්ල පනින ඇයට පෙරදා සිදුවීම් කිසිවක් මතක නැති සේය...මාගේ සිත මුලින්ම ඈ කෙරෙහි ලෙංගතුකමක් මෝදුවන්නට හේතු සාධක වන්නට ඇත්තේ එම කාරණය බව හඟිමි..
කාළය වේගයෙන් ගලාගියේ ගඟ ඉහත්තාව..වෙල් එළිය..ගුරුපාර දෙපස මල් දෙවැට ...ගොයම් කයිය..අවුරුදු උළෙල..අපදෙදෙනා වටා ගෙතුණු සුන්දර සිද්ධිදාමයන් මතකයට එක් කරමිනි..වචනයෙන් ප්‍රකාශ නොකලද, ඈ මටත් මට ඇයවත් නොමැතිව තනි තනිව හිතන්නටවත් නොහැකි බව පමණක් අප දෙදෙනාටම වැටහී තිබුණු බව කිවයුතුය...
තුරුණු විය එලබෙත්ම නිදහසේ එහා මෙහායාමට ඇයටවූ නිදහසට තහංචි වැටීමේ ලකුණු එකිනෙක මතුවෙන්නට ගති..
"රං අයිය...වෙනදවගේ මට එහේ හැමදාම එන්න වෙන්නෑ අයියො.."
"ඔහ්..අන්තිමට දෙයියො මගෙ මූණ බැළුවා එහෙනම්"
මුහුණ හකුළුවාගත් ඈ එදිනද දිවගියේ මගේ මව් වෙතය..ඇයගේ නිතර නිතර මෙහා පැමිණීම අඩුකලයුතු බවටවූ ඇයගේ පාර්ශවයෙන් වූ තහංචිය..මගේ මව්ද අනුමත කරණු දුටුයෙන් සිතේ හටගැණුනේ තරහවකි...දින කිහිපයක් ඈ මුහුණට මුලිච්චිවුවද ඈදෙස නොබැලීමට වගබලාගත්තද ඈ යන්නට හැර හොරෙන් ඈ දෙස නොබලා බැරිකමක් සහ කිසියම් පාළු හැඟීමක් සිත වෙලා ගැණුනේද ඔය අවදියේදීමය...අවසන මගේ හිතට ඇයගේ ඇසුර අවැසිම ඉන්ධනයක් බව දැනෙත්ම කුළුඳුල් ආලවන්තකමක් මගේ හද ගැබෙහි ඈ වෙනුවෙන් පීදී ඇතිබවක් හඳුනාගතිමි...පසුකාලීනව ඈ පැවසූ පරිදි ඇයගේ හදවතද මේ අයුරින්ම මෙකී හැඟීම්වලින්ම පෙලාදැමූබවක් කීවා මතක තියේ..
ඇයව නිතර දෙවේලේ නොදැක සිටීමහේතුවෙන්ම දිනෙන් දින ඈ කෙරෙහි ඇදීයන මගේ සිත පාලනයකරගැනීමට අපොහොසත්ව මා ආලයෙන් මුසපත්වීමී...දහවලදී ලොකු අයියා සමඟ ගොවිතැන කටයුතු සිදුකරත්දී පවා ලද මඳ ඉසිඹුවේ වෙල මායිමේ කරක් ගැසුවේ ඇය දැක ගැනීමේ අටියෙනි...මා හිත හඳුණාගත් ලොකු අයියා..විහිළුවෙන් විහිලුවෙන් තෙපලන දෙපිටකැපෙන කතා හේතුවෙන් කුලෑටි බවක් ඇතිවුවද යම් මිහිරක් විඳි බවනම් නොකිවමනාය...ඒ වනාහී ඕනෑම පෙම්වතෙකුට පොදු වූ කාරණයක් යැයි සිතමි..
කෙසේවතුදු හිටි අඩියේ ඈ බැලීමට මනාලයෙක් පැමිණි බව දැන ගත් දිනේ මා කලබල වූ බව නම් කිවයුතුය...නොතාරිස් තානාන්තරයක් දරන ඒ මනාලයා පිළිබඳව පළමුවෙන් ඈ මහත් අභිරුචියෙන් වර්ණනා කලේ මා ඇවිස්සවීමට බව දනිමි..නමුදු මං කෝප ගතිමි..
"ම්ම්..මූණ නිකං අර මොකෙද්ද එකෙක්ගෙ වගේ...කේන්තිගන්න එපා අයියො..ඔයැයිට මා විශ්වාස නැත්ද??..."
මට ඇය විශ්වාසය...ඒත් වත් පොහොසත් කමින් බලපුළුවන්කාරකමින් වැඩි ඇයගේ උදවිය ගැන විශ්වාශයක් නොමැති බැව් කීමි...
යෝජිත විවාහය ගැන තම නොකමැත්ත පළකොට ඇති ඈ..සිය මව් දෙමාපියන් ඉදිරියේ මා සමඟ සහේ යාමට අවශ්‍යය බැව් පවසා ඇත්තේ පසුගිය දිනකදීය...සියළු දෑ කනපිට පෙරලෙන්නටවූයේ එවක් පටන්ය...අප දෙදෙනා අතර සම්බන්දය හුදෙක් සහෝදර ප්‍රේමයක්ම පමණක්මැයි විශ්වාස කරමින් සිටි ඔවුන් මගේ මව් ගෙන්වා දෝශාරෝපනය නොකළද අප දෙදෙනා අතර විවාහයක් කෙසේවත් සිදු නොවියයුතු බවත් අදහසක් ඇත්නම් වහාම ඉවත් කරගතයුතු බ පවසා ඇති අතර..මලිත්තීගේ විවාහය නොතාරිස් මනාලයා සමඟ ඉක්මනින් සිදුකරන බවත් පවසා ඇත..පසුව දැනගත් පරිදි ඈ මේ විවාහයට අකමැතිවුවහොත් ඇයගේ මව් දිවි තොරකරගන්නා බවට දිව් රා ඇත..
ඊයේ ඉරගල වැටෙන්නට ඔන්න මෙන්න තියෙත්දී අපගේ තීරණාත්මක හමුවීම සිදුවිය..මාගැන නොසිතා තීරණයක් ගන්නැයි මම ඇයට කීමි...මන්ද මගේ මව් මට පණ දෙවැනි සේම ඇයටද එසේවියයුතු වූ බැවිණි...රාස්සිගේ අව්ව ඈත කඳුවල්ලල ආක්‍රමනය කරත්දී වේදනාව,පාළුව,තනිකම මාගේ ආත්මයම වෙලාගනු මට දැනුනද හදවතින් ඇයට සුභ පැතිමි...

"ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා....
බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
මා හැර ගියද... නැගනිය තනි නොවේවා..."

"මයෙ පුතේ මොකද මේ කඳුළු...??"
වහා කඳුළු පිසදා ගත් මා...
"නැහැ මයෙ අම්ම...මේ දුම් සැරට වෙන්ඩෑ..මංහිතන්නෙ අමු දර කෑල්ලක් ද කොහෙද..."

නමුදු මගේ හිත ඇය ඉදිරියේ නග්න වූ බව දනිමි...

සුලා...

තිස්ස දොඩන්ගොඩ said...

අදනං උණු උණුවෙම කියෙව්වා...
උඹේ හැම කථාවක්ම සම්බන්ධ වෙන හුයක් මට පේනවා...
උඹත් හැබෑටම දුකකින්ද ඉන්නේ මල්ලියේ ඈ...?

මටනං ජීවත් වුනා වාගේ ඒ ජවනිකාවේ.... මිටි බංකුව, වඩු මේසය, මඩක්කුව,තට්‍ටු දෙකේ දුම් මැස්ස... ඊටත් හපන් අර අන්තිම වාක්‍යය....
"නමුදු මගේ හිත ඇය ඉදිරියේ නග්න වූ බව දනිමි... "

අපිව දාලායන්න කලින් උඹ කව්ද කියලා අනික් අයටත් කිව්වොත් නාකද...?

Anonymous said...

පාට වර්‍ණ ඇටි කුකුළනි මං තොපට ...
වැටකෙයියා රොහු
වෙර ඇතිදා නේද?

පද: සුනිල් ආරියරත්න [ජනගී ඇසුරෙන්]
සිරිබෝ අයියා - වසන්ති, ජෝ , ගීතා
[මුල් කෘතිය:සාගර පළන්සූරිය]

ගල්මල්-Coral said...

@සුලා:
කතාව නම් පංකාදුයි.

"...රාස්සිගේ අව්ව ඈත කඳුවල්ලල ආක්‍රමනය කරත්දී..." ඉඳි මල් ගනීයන් කියැවුනා නොව

ගල්මල්-Coral said...

තිස්ස මහත්තයෝ:
"...ධනු රාශිය ඔය කොයි දේටත් උත්සාහ කර බලනවා..."

කියල වැඩක් නැහැ!

Buratheno said...

උපරිමයි සුලා.. හරියට අපි ඒ වටපිටාවෙ කොතනකට හරි වෙලා ඒ සිදුවීම් දිහා බලං හිටියා වගේ දැනුනා කියවගෙන යනකොට.. ඒ තරං සජීවියි..

තිස්ස අයියා.. ආයෙමත් පාරක් ආවා සිංදුව අහන්න. මේක අහනකොට මට මතක්වෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ බොල් වී අහුරු ගීතය. මම බොහොම කැමති තවත් ගීතයක්. අහන හැමවෙලාවෙම මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා. හරියට හදවතේ බිත්ති බෝතල් කටුවකින් පහුරුගානවා වගේ..

වැම්පයර් said...

ප්‍රේම පත්‍ර බොළඳ වචන ... කුළුගැන්වූ ආදරයක්
සි‍ටු මැදුරක විසූ ඔබට... මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇතිවෙනවා... ඒ වුනාට නෑ.. කමක් නෑ
මම තරහා නෑ
මම තරහා නෑ

වික්ටර් රත්නායක...

කවුද මේ සුලා... එල කොල්ලෙක් නෙ.. හඳුන්පොත කීං ගානව බොලව්.. කීප් ඉට් අප්... ජය වේවා..!

Pali said...

@තිස්ස :

සුලා කවුද කියලා මාත් හරියටම දන්නෙ නැහැ.....ඒත් විශේෂයෙන් දැනගන්න දෙයකුත් නැහැ වගේ...ඒ තරමටම ඌ ගැන මම දන්නව කියලා හිතෙනවා.................!!

මට තව සින්දුවක් මතක් වෙනවා බං.

"ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ...ගැටතුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ...
සිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ......කද බැඳගෙන සුභනැකතින් ගමට වරෙන් නෑනෝ........
.....

දෑසෙ නැගෙන කඳුලු මකා සඳුන් උලා නෑනෝ.....ලැසි ගමනින් දෙවැට දිගේ ගමට වරෙන් නෑනෝ........"

මේක කියන්නෙ විල්බට් ඇන්තනී මහත්මයා.

Anonymous said...

තිස්ස මහත්තයෝ...
බොහොම සතුටුයි ඇගයීමට...හත්වලාමේ තමුන්නාන්සෙ මේ අඩවියෙ පලකරන්නෙම ඉතිං එක්කො විරහ ගීයක් නැත්නම් පාළුව තනිකම ගැන කියැවෙන නිර්මානනෙ...ඉතිං මගේ අතින් ලියවෙන්නෙත් ඒ නිමිත්තට අනුවම තමා...හා..පළකරමුකො බලන්න සතුට දනවන නිර්මාණයක්...මා අතින් ලියැවෙන්නෙ නැත්ද බලන්න..ඇඟ කිළිපොලායන පෙම්දසුන්...රස වෑහෙන සටන් ජවනිකා ඇතුලත් දේවල්...

@ගල්මල්,බර්තීනුවා,වැම්පයර්,පාලිත,

බොහෝම ස්තූතියි කිව්වා ඔන්න ඔබතුමාලගෙ ඇගයීමට...

සුලා..

Pali said...

"පිලේ පැදුර හේනට අරගෙන එනවා......එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා......හිතේ දුකට එතකොට කවි කියවෙනවා"

මහගමසේකරයන් හා අමරදේවයන් එක්ව නිර්මාණය කරපු මේ සිංදුවත් මතක් වෙනවා.

Jeewani said...

හෝ... හෝ... තිස්ස අයියා ඔන්න ආයිත් ආව නොදන්න සිංදුවක් හොයාගෙන යන්න.........

"එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ..."
ගීතය ගායනය -: ශ‍ාන්ති ගීතදේවගේ

මේ සිංදුව රෝහන සිරිවර්ධනත් ගායනා කරනවා,

පුළුවන්නම් ඔර්ජිනර්ල් එක.....

හද ගී පොත නිසයි මෙච්චර වද දෙන්නේ
හැකිනම් සොයා දෙනවද අයියේ

තිස්ස දොඩන්ගොඩ said...

මතක හැටියට තිලකසිරි ෆර්නෑන්ඩු ගේ සිංදුව... වෙලා තියන හැටියට සොයා දෙන්නම්...

වැම්පයර් said...

මේ ගීත තාම අහන අය ඉන්නව කියන්නෙ මට හරි සතු‍ටුයි. මේ ‍ෆිල්ම් එක රිලීස් වෙනකොට මට වයස අවුරුදු රින තිස් ගාණක්. ප්‍රේම් ජයන්ත්, රීටා රත්නායක, ශාන්ති ලේඛා රඟපෑ ඉන්දියන් අධ්‍යක්ශකයෙක් හදපු වරද කාගෙද චිත්‍රපටයෙන්! පනස් ගනන් වල මැද මම හිතන්නෙ රිලීස් උනේ. තිස්ස අයිය කියපු එක හරි. තිලකසිරි ප්‍රනාන්දු ගේ හඬ. සංගීතෙ මොහොමඩ් සාලි විය යුතුයි. පද නං නොදනිමි.

ඔරිම ජිනල් එක මෙන්න. ඔරිම ජිනල් නිසා කොලිටිය අවුල්ය. කොර කොර ගායි. තිස්ස අයියගෙ ළඟ හොඳ ප්‍රින්ට් එකක් ඇතිනං ගනුව! මගේ කබල පහලින් ගත හැක!

http://www.mediafire.com/?diaefo5d8ddd7e7

Buratheno said...

ඒ කාලෙ ෆිල්ම්ස් නිකං ජෝක් වගේ පෙනුනට අද කාලෙ තියෙන මෝඩ ජෝක් එක්ක බැළුවම දාහෙන් සම්පතයි නේ.. සිංදු ගැනනං ඉතිං කවර කතාද, අපි තාමත් රසවිදින්නෙ ඒවනෙ..

Pali said...

@වැම්පයර්

උඹේ වයසට මේ දේවල් ගැන තියෙන උනන්දුව සහ දැනුම් සම්භාරය හරිම අගෙයි මල්ලියෙ.

බුරතේනුවො, උඹේ කතාවනම් සහතික ඇත්ත.

Jeewani said...

"ලස්සන ලස්සනම අගේ ඇති කවි පෙළක්,මම ඔය කවි පෙළ ඩව්න්ලෝඩ් කරලා අැහවා,ඒ අහන අතරෙ වටපිටාවත් බැලින්නම් ‍ෆුල් නිශ්ශබ්දයි, office එකේ අය කවි රසවිදිනවා,

පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...

මේ කවිය අහද්දි මට යහසා්දරාවතේ කවිත් මතක් වුනා,ඒ‍ෙ
මට හිතෙන හැටියට යසෝදරාවෙත් කවි හා සමාන වගේ කවි තියෙනවා ‍ෙන්ද?

"එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ..."

අැත්තනේන්නම් අයියා, ඔය සිංදුව ශාන්ති ගීත දේව නෙවෙයිනේ කියන්නේ, හැබැයි අයියා ඔය සිංදුව හරිම ලස්සනට කියනවා නොවෙ ද රෝහණ සිරිවර්ධන මහත්මයාගේ පීස් එකක,ඒක හරිම රසවත් විදියට කියනවා කියලා මට හිතෙනවා.

වැම්පර් අයියා, තිස්ස අයියා ඔයාලාගේ සහාය දැක්කම හරිම සතුටක් දැනෙනවා.

ස්තුතියි...!!!

මැණික්(සුළඟ) said...

දෙපෝදාට පුන්සඳ වාසනාවන්...
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්....
ලස්සන කවි පෙලක්.
මැණික්(සුළඟ)

Sanjaya Dissanayake said...

ඔබේ නිර්මාණශීලීත්වයට මගෙන් සුභ පැතුම්

sansarasidu said...

@ තිස්ස අයියා

ඉඳල ඉඳල හද ගී පොතට ගොඩවෙන හැම වාරෙකම වගේ මගේ හිත අතීතයටම ඇදිල යනවා. ඈත අතීතයට නෙවෙයි මේ මෑත අතීතයට...

@ RanDil අක්කා
ස්තූතියි අක්කෙ.. බොහොමත්ම ස්තූතියි... ඔයාලගේ අවංක සුබ ප්‍රාර්ථනා නිසාවෙන් හරි මගෙ මාමණ්ඩ්ගෙත් නැන්දනියගෙත් සිත් මෙළෙක්වෙනවා නම් !

දුමී said...

තිසා, උඹ මේ කරන්නෙ මාරම පිනක් මචං. ඇත්තම කිව්වොත් මේක මම ඇහුවෙම ඊයෙ රෑ . රෑ කිව්වට හද්ද පාන්දර 3 ත් පහු වෙලා. මේ වගේ නිර්මාණ මෙහෙම අරගෙන ඇවිල්ල අපි වගේ අයට රසවිඳින්න 'උගන්වනවට'. මේක ඇවිල්ල අමුතුම මානයක් . . .

තිස්ස දොඩන්ගොඩ said...

සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්න මට දැනෙනෙ මිහිර වගේ දෙතුන් ගුනයක්, සංගීතය යහමින් හෑදෑරූ උඹලට දැනෙනවා ඇති... මේවායේ නිර්මාණකරුවන් දිව්‍යමය ප්‍රතිභාවක් ඈත්තවුන් ලෙසයි මම සලකන්නේ මචෝ...

Anonymous said...

I watched this movie when we were very small.Those days we were just happy to see my fathers village and were proud becuse Sagara Palansuriya was my grandmother's brother.. My father was so happy too. But today this song brings me sad feelings..My grand mother who loved us so much and my father both are gone...Life is like this...samething can touch our heart differently at different ages ...Anyway thanks for bringing those memories

Post a Comment

 
Blogger Wordpress Gadgets