සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල...

මතක හැටියට ඒ දෙකේ පන්තියේ විය යුතුය. නුගේගොඩට ආසන්න මිශ්‍ර පාසලක් වූවද එහි ගැහැණු ලමුන්හට එක පන්තියකුත් පිරිමි ලමුන් හට එක පන්තියකුත්ද විය. අප්පච්චී විසින් පාසලට හැරලන මා දෙකේ පන්තියට යන විට ආපසු ගෙනැවිත් ඇරලන්නට මහරගම 'ගම්පහ බෙහෙත් සාලාවේ' ලොකු වෙද මහත්මයා කාරුණික විය. වෙද මහත්තයාගේ දියණිය ගැහැණු ලමුන්ගේ පන්තියේ විය. හොරණ පාරේ පිළියන්දලට කිට්‍ටුවෙන් වාසය කල වෙද මහත්තයා අමතර වටයක් යමින් සෑමදාම මාව ගෙදර ලඟින් බස්සවා යන්නට තරම් හිත හොඳ මනුස්සයෙක් විය.

වාර විභාග වලදී ඔහුගේ දියණියත් මාත් අතර ශ්‍රේණියේ දෙවැණියාත් පලමුවැණියාත් බෙදිනි. හතර වසරදක්වාම මේ වාර්ථාව මෙලෙසම තිබිණි. විසේසයෙන් බරක් ගෙන පාඩම් නොකලද පැට්‍රෝ මැක්ස් පහනට දමන සීමිත භූමිතෙල් ඉවර වන්නට පෙර කරන දෙයක් කරගත යුතුය. කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීම මහා කම්මැලි වැඩකි.   බැටරි කෑලි තුන විටින් විට තද කිරීමට නැගිටීම හැර, මකරාගේ තානායම, ගුවන් විදුලි රඟමඬල හා මුවන්පැලැස්ස පාඩමට බාධාවක් එල්ල කලේම නැත.

ප්‍රගති වාර්ථා දෙන දාට ගම්පහ වෙද මහත්තයා "තමුසේ එහෙමනම් මේ පාරත් කප් එක ගැහුවා ඈ..." කියමින් මට සරදම් කරයි. එහෙත් ගමනේ අතරමග, බෙහෙත් සාලාව අසල වාහනය නවත්වන ඔහු, මටත් ඔහුගේ දියණියටත්  වාහනයේ යන එන අපේ පන්ති වලම අනෙක් ගැහැණු ලමයාටත් අයිස්ක්‍රීම් අරන් දෙයි. අසල කඩයකින් ඒවා ඔහු ගෙන්වා ගන්නේ වීදුරු කුසලාන බඳු භාජන වලටය. අපි ඒවා කා අහවනතුරු තුරු හේ නිසංසලව බලාහිඳියි.... වෙද මහත්තයා තම දියණිය ඒ විදුහලෙන් අස්කරගත් පසු මට තනිවම ගෙදර එන්නට සිදුවිය....

ඒ දෙවැනි පන්තියට අලුතින් ආ ගුරුවරිය නවමු ලෙස උගන්වන්නට පටන් ගත්තාය. එපමණකින් නොනැවතී වාරාවසාන විභාගයේ ප්‍රථිඵල අනුව පලමුවැන්නාගේ සිට තුන්වැන්නා දක්වා පොත් තෑගි කිරීමට තරම් කාරුණික විය. මට 'හීන් හාමිනේ' මුලින්ම හමුවුණේ එපරිද්දෙනි.... පියසේන නිශ්ශංකයන්ගේ හුරුබූහුටි කථා පෙළකින් සමන්විත ඒ පොතෙහි රෝසපාට පිටකවරයෙහි ඇඳි රුව මෙන්ම ඒ ගුරුවරිය අපගේ සිත්ගත්තාය... මට අපේ ගෙදර ඇත්තන් හමුවුණු කාලේ  'හීන් හාමිනේ' කථාවේ කර්ළිනා මතක් වූයේ වරක් දෙවරක් නොවේ...  කැන්දා එනවිට ඈ ‍රැගෙන ආ ඇගේ පොත් ගොන්නේද 'හීන් හාමිනේ' පොතක් විය....

'සොයා යෑම' ඒ පොතෙහි ඇති තවත් අපූරු කථාවකි... තමන්ට ඉමහත් සෙනෙහසක් දැක්වූ නැන්දා හදිසියේම ගමෙන් රහසේම පිටවයන්නේය... අවුරුදු ගණනාවකට පසු  වන්දනාවකදී කථා නායකයාට ආදරණීය නැන්දා හමුවේ.... "අනේ මගේ පුතේ.." කියමින් ඔහුගේ හිස ඈ සිපගන්නේ වට පිටාවේ මිනිසුන් හමුවේ කථානායකයාව ලැජ්ජාවට පත් කරමිනි.... එහෙත්  "පුතා වෙන්නැති..." යැයි බලා ඉන්නවුන් මුමුණත්දී කථා නායකයාගේ ලැජ්ජාව පහව යයි...

තුන්වැනි ශ්‍රේණියට යනවිට පිරිමි පන්තියේ ඉඩ මදිවීම නිසා මාත් ඇතුලුව පිරිමි ලමුන් පස් දෙනෙක් ගැහැණු ලමුන්ගේ පන්තියට වැ‍ටුණි... ඒ පන්තියේද ඉඩකඩ මදිවීම නිසා ඒ අපූරු - මින් පෙර විසේස අවධානයකින් නොබැලූ -  'ඇයත්' - තවත් ගැහැණු ලමයෙකුත් සිටියේ ගුරුවරියට ආසන්නයෙන් එක ලඟින් තැබූ ඩෙස්ක් දෙකකය... දිනක් ගුරුතුමියට පොත් පෙන්නන්නට පෝළිමේ යනවිට පහත් හඬින් මට කථා කළ ඈ... "ෂ්... ෂ්...... මෙන්න ඔයාට...." කියමින් අපූරු පින්තූර දෙකක්  මා අත තැබුවාය....

ආපසු මගේ අසුනට ආ මම ඒ පින්තූරු දෙක මගේ සගයාට පෙන්වූයේ මාහානර්ඝ වස්තුවක් ලෙසිණි.... එක පින්තූරයක වූයේ නුවර පෙරහැරයි... එදින පටන් අප ඇයට 'පෙරහැර' ලෙස නම් තැබීමූ. පහ පන්තියේදී ඈ ඒ පාසැලින් අස්ව නුගේගොඩම පිහිටි බාලිකාවකට යනවායැයි කියා නික්ම ගියාය.... පින්තූරය සු‍රැකිව මා ලඟ ‍රැඳිණි...

ගෙදර ඇත්තන් මට හමුවූ  දා සිට විවාහ වනතෙක් කාලයේදී අප දෙදෙනා අතර හුවමාරු වූ ලිපි, ගණනින් බොහෝය.... ඒ සියල්ල තවමත් දෙදෙනා විසින්ම  වෙන වෙනම පොදි බැඳ තබාගෙන ඉන්නේ ඇයිදැයි දෙදෙනාටම නොවැටහේ... ඒත් ඒවා වීසි කරන්නට දෙදෙනාටම සිත් නොදේ.... එලෙස ලියැවුණු එක් ලිපියක අර කාරුණික හදවත ගැන කියා එතෙක් සු‍රැකිව තබාගත් 'පෙරහැරේ' පින්තූරය තැපැල් කළෙමි...

වේයන් බැඳීගෙන ආ ලියන මේසයේ පහලම කබඩ් ලාච්චුව විවෘත කරන්නට නියනක් ඇවැසි වූයේ එහි යතුරට වූ දෙයක් සිතාගන්නට බැරිවූ නිසාය.... අමාරුවෙන් විවෘත කර ගත් කබඩ් ලාච්චුවේ කොණක අපගේ අතීත ලියුම් මිටි දෙක එකලඟ උණුහුමට මෙන් තබා තිබිණි... වේ පස් කැඩීම පසෙක ලා අතීතය හාරාවුස්සන්නට ඒ වෙලාවෙහි සිත් දුන්නේ මන්දැයි නොදනිමි... එලෙස කියවන්නට ගත් එක් ලිපියක අර 'පෙරහැරේ' පින්තූරය විය....

නිවාඩුව ඉවරවී ආපසු ‍රැකියාවට යාමට ඇත්තේ දින කිහිපයකි... එහෙත් ඒ විසිතුරු පින්තූරය 'සොයා යාමකට' මා පොලඹවයි... දුරකථනයකින් පිහිටක් ලබාගැනීමට නොහැකිය...  අපේ කාලයේ ඇත්තන් මූණු පොතේ කරක් ගහන්නේ බොහෝවිට ඔවුන් විදේශගතව ඇත්නම් පමණි... එහෙත් නොපසුබස්නා උත්සාහය නිසා කෙසේ හෝ ඈ වසනා නිවස්නය සොයාගැනීමට මම සමත්විය... "දෙයියනේ...!!! කොහොමද....?" අවුරුදු තිස්පහකට පමණ පසු එදා මෙන්ම ඈ බොහෝ සෙයින් කාරුණිකව මා පිළිගත්තාය...

උඩින් ඇති ඒ හැබෑ පෙරහැරේ පින්තූරයේ වර්ණ බොඳව ගොස් ඇතද, මේ සිදුවීම් සියල්ල අලංකාරව තවමත් සිත්හි සටහන්ව ඇත... 'කරුණාව' කොතරම් ප්‍රබල හැඟීමක්ද?




සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල..
හැඟුම් තෙරෙහි සුවඳ නොදේ ඒ දුනුකේ මල...

තුසර පිටාරය විසිරී නමුදු කිමැති පල...
සතර දිගාන්තයට ඇදී නොපෙනී යන කල...

සමන්ත සොම්නසින් සසල නිසල දහන තුල...
අනන්ත මල් කැකුළු පුබුදු පීදෙති විල තල

ඈත හිමාලේ සඳුනෙන් සැදුනු සඳලු තල
ගීත මවන්නේ හිමියනි නොමැති බමර කැල..  

- සරත් විමලවීර / ප්‍රේමසිරි කේමදාස / නාලිනී රණසිංහ - මී මැස්සෝ චිත්‍රපටියෙන් -

54 ප්‍රතිචාර:

නිශ් said...

අහ් තුනේ කැලෑසියෙ ක්‍රශ් එකක් :)

Pathum Herath said...

මටත් හිටියනේ ඔන්න ඔහෝම අපූරූ කෙලි පොඩ්ඩක් 2,3,4,5 වසර වලදී...තාමත් ආදරේ හිතෙනව(කසාද බඳින ආදරේ නෙවෙයි..හරිද) අපී දෙන්න එකතු වෙලා කළේ චිත්‍ර අඳින එක... පුදුම සුන්දර කමක් අයියේ.. දැන් නම් කොහෙ ඉන්නවාද දන්නෙ නෑ.. හොයල බලන්න ඕනේ...

නිලන්ත පියසිරි said...

ගුවන් විදුලි රඟමඩල, පහන් සිළුව, හන්දියේ ගෙදර, පෙට්‍රෝමැක්ස් ලාම්පුව, චිමිනි ලාම්පුව. ඇත්තටම මගේ හිතට සිහින් සතුටක් මුසු දුකක් ගෙනාවා. පරමාදර්ශී චරිත නැහැ කිව්වට, තිස්ස උඹ නම් ඇත්තම පරමාදර්ශී ජීවිතයක් වගේ මට. මොන ලෝකෙන් ආවද මන්දා මේ වගෙ ලිවීමට හැකියාවක්. පුදුම සංවේදී හැඟීමක් එන්නේ. කවියෝ කොහොමත් සංවේදීයි නොවැ. ඒක නොවේ තිස්ස පුළුවන්නම් "අද විතරක් නොවේ අපට හෙටක් තියෙනවා" කියන නන්දා මාලනී ගේ ගීය පද ටිකත් සමඟ දෙන්න පුළුවන් වේවිද? දුවණිට පාසලට ලමා ගීයක් පුරුදු වී එන්න යැයි කියා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි, හොඳම කියලා. ජයෙන් ජය.

Praසන්ன said...

තිස්ස අයියට අවුරුදු තිස් පහකට පස්සෙ ඒ ගෑණු ළමය හමුවීමත් ඒ ගෑණු ළමයට තිස්ස අයියව මතක තිබීමත් නිසා සියල්ල සතුටුදායක ලෙස විසඳිලා තියෙනව වගේ.

සින්දුවත් ලස්සනයි.

තිස්ස දොඩන්ගොඩ said...

ක්‍රෂ් එකක්ම නෙවේ නිෂ් ඔය පැතුම් මල්ලී කියන ජාතියේ එකක්...
ඒත් අවුරුදු ගණනක්ම ඒ මනුස්සයා වැඩි වෙනසක් නැතිවෙලා තිබ්බ එකයි පුදුම -

නිලන්ත ඔයාගේ වාසනාවට ඔරිජිනල් එකම හම්බ වුණා මෙතනින් බාගන්න

මෙන්න පද වැල..
අද පමණක් නොවේ අපට හෙටක් තියනවා...
අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා...
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා...
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...

උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ...
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවාසේ...
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...

මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි...
දිගන්තයේ ජය දද නැගු හෙළ දෑ වරුණයි...
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි...
මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි...

ප්‍රසා - විසඳෙන්න ප්‍රස්නයක් තිබ්බේ නෑ මචෝ :-)

තිස්ස දොඩන්ගොඩ said...

පැතුම් මල්ලී ඇයි ඒ වාගේ Golden Moments මිස් කරගන්නේ - හරිම රසවත් අත්දැකීම් - මගේ මිතුරිය ඇගේ සැමියා සමග මහත්වූ උද්දාමයෙන් අප හමුවීම කියා ඇත! ඉතින් ඇයි බලා ඉන්නේ?

මාරයාගේ හෝරාව said...

පොඩි කොමටද වැඩ..?

(ඔහොම ළග නවන එක පහසුයි..අතීතේ කාල් ගාන්න ගෙහුන් මෙතන රචනා ලියවෙන්න අරිනවට වඩා..)

තිස්ස දොඩන්ගොඩ said...

කිසිම සිල්පයක් දාන්ට බෑනෙව මේ මාරයාට අසුනොවී :-)

රූ.... said...

දෙකේ පන්තියේ තුනේ පන්තියේ ඔය වගේ හාද කම් අපි කාටත් තියනවා මම හිතෙන්නේ..ඒ කාලේ හිටපු යාළුවන්ගෙන් තාමත් කීපදෙනෙක්ම මූණු පොතේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි..

ඉතින් මේ පෙරහැරේ පින්තූරෙ අරගෙන තිස්ස මොනවත් දුන්නැද්ද ඒ ගෑල්ලමයට? :)

ආ..නාලිනි රණසිංහ කියන්නෙ නම් අහලා පුරුදු නැති නමක්..එතුමියගේ තව සින්දු තියනවද?

තිස්ස දොඩන්ගොඩ said...

රූ: අනේ අප්පේ රූ මොනව ආපහු දෙන්නද? ඒ වාගේ පින්තූරෙකුත් මහ දෙයක් වුණහම..

හපොයි දෙයියනේ.. රූ ඔය - දකුණු පැත්තේ උඩ "දන්න වං හුං" කියල කොටුවක් ඇති - ඒකෙන් නාලිනී රණසිංහ තෝරන්න - සිංදු හතරක් මෙතනම ඈති - ගෝල්ඩන් වොයිස් එකක් -

සිංහල ජන ගී දියුණුවටත් බොහෝ සේවයක් කල කෙනෙක්

නිලන්ත පියසිරි said...

තිස්ස, බොහොම පිං. ඇත්තටම ඔයා ඉන්නේ දිව්‍ය ලෝකෙද?

සපතේරු උන්නැහේ said...

අප්පා ඒ කාලෙ තමා කාලෙ...

..........

යකෝ මී මැස්සෝ චිත්‍රපටිය කීප වතාවක් බලලත් මේ සිංදුව මතක නෑ නෙ..

තිස්ස දොඩන්ගොඩ said...

නිලන්ත:"දිව්‍ය ලෝකේ ඇත්තන්ට අපට වාගේ තරහ යන්නේ නෑ"

සපා: ඔය කස්ටිය "සෑබෑ සුවඳක් නෑ.." කියන්නේ ඒ වුණාට
කොහෙන්ද අප්පා මී මැස්සෝ පිලිං එක බැලුවේ??

අභීත said...

බර්නි ආන්ටිගේ මොන්ටිසෝරියේ හිටපු දිනේශා තමයි නෑදෑයන් නොවුණු අයගෙන් මගේ හිතගත් මුල්ම කෙළි පොඩිත්ත... ඇය මොන්ටිසෝරියෙන්ම අස් වුණේ කොළඹ පදිංචියට එන්න.. මීට මාස හයකට විතර කලින් මූණු පොතේ හායි කියලා චැට් මැසේජ් එකක් එද්දි මම බැලුවා මේ මොකාද කියලා.. ඒ ඇය.... අවුරුදු 26කට පස්සේ අළුත් වුන ඒ මිතුරුකම අදටත් හොඳින්.. එදා මට ඇති වෙච්ච හැඟීමත් මේ වගේ වෙන්න ඕන....

යවන්න ඕන කෙල්ලට මේකේ ලින්ක් එක....

තනෝජා රාජපක්‍ෂ said...

ගම්පහ බෙහෙත් සාලාවේ ලොකු වෙද මහත්තයාගේ කරුණාව...
දෙවෙනි පන්තියට අළුතින් ආ ගුරුතුමීගේ කරුණාව...
සොයායෑම පොතේ නැන්දාගේ කරුණාව...
තුන් වන පන්තියේ සිටි “ඇයගේ“ කරුණාව... (දුන් අනිත් පින්තූරය කුමක්දැයි අපට නොකීවත් :)
වෙන එකියක් දුන් පින්තූරය මට එපායැයි නොකී ගෙදර ඇත්තන්ගේ කරුණාව...
අවුරුදු 35ක් ගතවීත් තුනේ පන්තියේ ඈ මෙවරත් දැක්වූ කරුණාව...

ඕවා කොයික ලැබෙන්නෙත් පෙර පිනටම තමා අයියා... අපි වපුරන දේනෙ අස්වැන්න විදියට ගන්න වෙන්නේ...

Anonymous said...

abeethage msg ekakin awe... abeethayi mai hambune avurudu 26kata passe tamayi.. apinam fb eka nisa.. ayya ehemath netuwa e akkiwa find karapu nisa godak happy ati. ettatama eka feel wenne hari amuthu widihata...

තිස්ස දොඩන්ගොඩ said...

අභීත: යාලුමිත්‍ර කම් පලිඟු බඳුන් වාගේ - නිතරම පිහදාල ලස්සනට තියාගන්න ඕනේ - හැබැයි බිඳෙන්නත් නොදී - එතකොටයි දකින අයටත් ලස්සන...

තනෝජා: මෙන්න ඔබතුමියට පෙළගැස්ම තේරුණා!

පැන්ඩා said...

තිස්ස අයියේ මේක තමා මෙතෙක් ගිය පොස්ට් වලින් උච්චම එක...මෙච්චර අපුරුවට ගියක තමන්ට බැදුනු අතීතයක් අවුස්සන්න එක හරිම අපුරුයි අප්පා...

තිස්ස දොඩන්ගොඩ said...

අභීතගේ මැසේජ් එකෙන් ආ අයටත් ස්තූතියි :-)

ස්තූතියි පැන්ඩා... මේක පටන්ගත්ත එකේ එක අරමුණක් ඒක පැන්ඩෝ..

හිරුහිමාවී said...

මේ පෝස්ට් එකට මම හරිම කැමතියි.සරලව ලියූ ශයිලියත් අපූරුයි..
නියමයි!ඔබට ජය සහෝ!

Buratheno said...

හරිම රහයි අප්පා.. පූර්විකාව විතරක් නෙවෙයි අද නං සිංදුවත් රහයි - දන්නවනේ මං ලේසියෙන් එහෙම කියන්නෑ කියලා :)

ඔය පරණ භාවාතීෂ ලටපට තියෙනවා නේද, ඕවා හරිම වටිනවා අප්පා.. නිකං ඉන්න වෙලාවක එලියට අරන් ආසාවෙන් පිරිමැදලා, මතක අලුත් කර‍ගෙන ආයෙමත් ලාච්චුවෙ මුල්ලකට තල්ලු කරන්ට..

Pathum Herath said...

බුකිය පීරා සොයා බැලුවෙමි... ඇය බුකියේ නැත.. :(




මධුරංග said...

පොඩි කාලේ වෙච්ච කතාවක් නේ.. මරු !
A Little Goes a Long Way පොඩි දෙයක් ලොකු දුරක් !

මට ඉංග්‍රීසි අච්චු පොතේ තිබ්බ කතාවක මාතෘකාවක් මතක් උනා !

Gimhani said...

මී මැස්සෝ ච්ත්‍රපටයේ මේ ගීය ඇසුවෙ ගොඩක් කලකින් .
…ඔබේ පෙල ගැස්ම හරිම අපූරුයි .

Chandi said...

හරිම අපූරු අත්දැකීමක් තිස්ස. මගෙත් පාසැල් යහලුවෙක් ඉතාම මෑතකදී මූණු පොතෙන් හමු උනා. එදා අපි දෙන්නාටත් ඔය වගේම හැඟීම් ඇතිඋනා. කොච්චර සුන්දරද? මේ පරණ දේවල්. මිහිරි මතකයන් අපිව තවත් තරුණ කරනවා නේද? කියල මටත් හිතනවා. සමහර වෙලාවට අපේ මහත්තයා නම් ටිකක් වගේ ඉරිසියාවයි. හැබැයි එයාගෙ යෙහෙළිය බලන්න මාත් එක්කම යනවා ඈ රට ඉදලා ආවහම. මට එහෙම හිතන්නේ නෑ. මම ඈව දකින්නේ මගෙම යෙහෙලියක් විදිහට විතරයි. නාලනී රණසිංහ මාත් ගොඩාක් ආසා කරන ගායිකාවක්. බොහොම පින්!

Miyuru said...

සෑහෙන කාලෙකට පස්සෙ මේ සින්දුව වගේම නාලිනී රණසිංහගෙ හඬත් ඇහුවෙ... පැරණි මතකයක් අළුත් උනා... ගුවන් විදුලි රඟ මඬල, හන්දියෙ ගෙදර, මොණරතැන්න, මුවන්පැලැස්ස, පහන් සිළුව...තවත් නම මතක නැති ගුවන් විදුලි නාට්‍ය.... අමතක වෙයිද කවදාවත්.... බොහොම ස්තුතියි ඒ මතකය ඇවිස්සුවට... ඒ වගේම තමයි තිස්ස මහත්තයගෙ අත්දැකීම... හරිම අපූරුයි නේද....

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි හිමාවී - ඔබගේ බ්ලොගේටත් මම එනවා - ජය!

බුරා: the perfect plan... මෙහෙම ඉන්නකොට එකම පිහිට තමා එව්වා...

පැතුම්: දැන් පාරට බැස ගවේෂණයට කාලයයි - කම්මැළි වෙලා බෑ :-)

මධුරංග: ඔන්න ඔහොම සම්බන්ධතා මිනිස් සිතකට විතරලු නේද දකින්න පුලුවන්...

චාන්දි: මූණු පොත ඒ අතින් නම් හොඳ දෙයක් හැබෑවටම... හහ් හහ් හහ් ඒ වාගේ ඉරිසියාවන්ට මමනම් කැමතියි :-)

මියුරු: 'පහන් සිළුව'... මියුරු ගේ සහෘද බව ඒ අඩවියට පා තැබූ දිනම දකින්නට ලැබුණා... සිංහල බ්ලොග් අවකාශය රස විඳීමේ තැනක් බවට පත්කරන්නේ ඔබ වැන්නන්... මෙතනට ගොඩ වදින බොහෝ දෙනා.. බොහොම ස්තූතියි...

තිස්ස දොඩන්ගොඩ said...

මම මේ චිත්‍රපටිය බලා නෑ ගිම්හානී :-(

෴සොඳුරු සිත෴ said...

මටත් හටියා ඔහොම යාලුවෙක්.එයාගෙ නම කසුන්. මම නැත්තම් බත් කන්නෙත් නැහැ. දැන් කොහෙ ඉන්නව ද මොනා කරනව ද දන්නෙ නැහැ.

කළුතර පැත්තෙ කුලී ගෙදරක ඉද්දි තමයි මගෙ අසල්වැසියා වුනේ.... සමහර විට හමුවෙනවත් ඇති. මූන බලල හිනා වෙලා යනවාත් ඇති. නැතිනම් බස් එකේදි කකුල පෑගුවා කියල මම රවලත් ඇති. අනේ මන්දා.

ඔයා අපේ වැලලුනු මතක අවුස්සනවා අයියා......

තිස්ස දොඩන්ගොඩ said...

ත්‍රී වීලර් එකක පිටිපස්සේ මෙහෙම ගහල තිබ්බ...

"ඉස්පිරිතාලේ සිවිලිම කැතයි..."

ඒ අපි හැමෝටම ලෙඩ ඇඳට වැටෙන දවසක් එනව. එදාට අපි ඇතිකරගත්තු ඒ අපූරු සම්බන්ධකම් හිතින් මෙනෙහි කරල සතුටු වෙන්න පුලුවන්.. රැස් කරගත්තු වස්තු දේපල එදාට සතුටක් ගෙනෙන එකක් නෑ ඒ හැටියේ..

ඉතින් ඇයි අතපසු කරන්නේ ඒ වගේ මිතුරු කම්?
යන්න සොඳුරු සිත ඒ ළමයව සොයන්...
රාගයක් ප්‍රේමයක් නැතී වුණාට මේවාගේ මිතුරු සබඳකම් සිත බොහොම සනහනව..

Bindi said...

අප්පොච්චියේ මෙදා පාර තිස්ස අය්යා ගෙදර ගොහින් මතක පෙට්ටගම් අවුස්සලා වගේ. මෙතන කතා ගොඩයි . අර ලියුම් මිටි දෙකක් ගැන කිව්වේ ...අපි වගේ පිස්සෝ තව ඉන්නවා එහෙනම් . මන් මේ කල්පනා කරන්නේ අපේ ළමයි ලොකු වෙලා ඔව්ව අහුවෙලා කියවයිද කියල . ඔය පුංචි පුංචි අහිංසක යාළුකම් ..ඒක පාර්ශ්වික බැඳීම් ...ආලයද යාළුකමද කියල තෝරා බේරාගන්න බැරිවුණ හිත මිතුරු කම් සම්පුර්ණයෙන්ම අමතක වෙන්නේ නැහැ නේ . සමහරු නම් ඉතින් වාෂ්ප වුනා වගේ අතුරුදන්. තිස්ස අය්යයි අක්කයි [ අක්ක කියන්න පුළුවන් ඇති කියල හිතනවා ] වගේ තමයි අපේ දිහාත් ඔය වගේ දේවලට ඉරිසියාවක් නැහැ . හැබැයි ඉතින් පරණ එව්වා විතරයි . වැඩේ කියන්නේ එහෙව් එකෙක්වත් එකියක් වත් වැරදිලා වත් හම්බ වෙන්නේ නැති එකනේ .

තිස්ස දොඩන්ගොඩ said...

හෙහ් හෙහ් ලියුම් ලිවීම නම් මරුම වැඩකි.. ලියුමක් එනතෙක් මග බලා හිඳීම ඊට වඩා මරු වැඩකි... මම හිතන්නේ අපේ අර යතුරත් ඕනවට වඩා පරිස්සම් ඇති තැනක හංගන්න ගිහිල මයේ හිතේ අස්ථානගත වුණේ..
[අක්ක තමා... අක්ක තමා... :-) ]
හම්බෙන්නේ නෑ.. 'සොයා යාම' තමා..!

Beetle said...

කියන්න දේවල් ගොඩයි...

1. මේ ලියන ලිවිල්ල ගැන නම් මොනවා කිව්වත් මදි... හුස්ම පහලට දාන්නේ නැතුව කියවාගෙන යන්නේ... හරියට සිය පාරක් බැලුවත් එපා නොවෙන සමහර පරණ ති.නා. චිත්‍රපටි, ටීවී එකේ යද්දි සේරම වැඩ දාලා ඒක බලනවා වගේ...

2. පෝස්ට් එක කියෙව්වට වැඩක් නෑ තනෝජා අක්කාගේ කමෙන්ට් එක කියෙව්වේ නැත්තම්...

3. මේ බ්ලොග් එකේ තාම කමෙන්ට් වලට රිප්ලයි කරන ඔප්ෂන් එක නැත්තේ ඇයි... එහෙම තිබ්බා නම් මාරයාගේ එකට යටින් කමෙන්ට් එකක් තියේ දාන්න...මෙතන දාලා වැඩක් නෑ...

4. කෙලින්ම අදාල නොවුනත් පෝස්ට් එක කියවද්දී මේ ඉංගිරිස් සින්දුවත් හිත ඇතුලේ විදිලි කෙටුවා...

http://youtu.be/fU00qvYuq24




Kathandara Karaya said...

1,000 x ස්තුතියි

Kathandara Karaya said...


ඒ ස්තුතිය තිස්ස ගේ කතන්දරයටයි. මටත් කතන්දර දහසක් මතක් වුණා ඒක කියෝලා.

සින්දුව ගැන කියනවා නම් මේර අච්චුවෙන් පිට ගීතයක්, කෝරස් පේලි නෑ. හැබැයි ලස්සන වචන තිබුණට ඒ තරමටම අර්ථයක් නං නෑ නේද? මේ කෑලිවල තේරුම මට නං වැටහෙන්නේ නෑ.

1. තුසර පිටාරය විසිරී
2. මල් කැකුළු පුබුදු පීදෙති
3. අන්තිම පද දෙකම

මාරයාගේ හෝරාව said...

@බීටලේ...

අනේ බං මමත් ඊයේ ඕක මේ යෝධයට කියන්න හිටියා.. කොහේද මේ මනුස්සයා වැදගත් යමක් නිස්කාන්සුවේ කතා කරන්න ඇහැකි යෝධයෙක්යෑ.. අන්න අර ගෑල්ලමයි ටිකක් එක්කාසු කොරං මාව කන්ට තියා ගත්තා නෙව හතරමං හන්දියක...

ඕං ඔය බීටා කිව්ව රිප්ලයි ඔප්සැන් එක එල්ලුවනං මටත් බොහෝම පහසුයි..මට විතරක් නෙවෙයි අනිත් ඈයින්ටත් ඒක පහසුවක් වෙයි...

තිස්ස දොඩන්ගොඩ said...

උදේ පාන්දරම sooooo soothing melody එකක් බීටල්...
එය ඔබේ මිත්‍රත්වය වාගේමයි...
බොහොම ස්තූතියි...
රිප්ලයි ඔප්ෂන් එක මේ ටෙම්ප්ලේට් එකට වැඩ කරන්නේ නෑ මාරේ/බීටල්

ඇත්තම කියනවනම් මේ සින්දුව මට කතන්දර මහත්තයට කල් ඇතිව යවල නිරාකරණය කරගන්න හිතිල තිබුණ කීප වතාවක්...
ඇත්ත... සමහර තැන්වල පද විතරක් ගත්තම තේරුම අපැහැදිලියි
චිත්‍රපටියට එක්ක ගත්තහම ගැලපෙනවා වෙන්න පුලුවන්
චිත්‍රපටිය බලා ඇති සපා/ ගිම්හානී ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමු

මාහෝ: හෙහ් හෙහ් හෙහ් : අනේ අම්මේ එහෙමත් හන්දියක්...!

Bandula - බන්දුල said...

පහ පන්තියේදී අපේ පාසලෙන් අස්ව නුගේගොඩ පිහිටි බාලිකාවකට නික්ම ගිය ඇය හැඟුම් තෙරෙහි සුවඳ නොදුන් නිසාම සහන් සුවය ඇලුම් පමණක්ම වැඩූ දුනුකේ මලක්ම විය. තුසර පිටාරය විසිරී මවන්නා වූ සිරිය සේ 'පෙරහැර' පින්තූරය පමණක් මා ළඟ සුරැකිව රැඳෙද්දී 'ඇය' සතර දිගාන්තයට ඇදී නොපෙනී යන්නේ නම් කිමක්ද ඇති පල? අනන්ත මල් කැකුළු පුබුදු පීදී සසලව ඇති විල 'ගෙදර ඇත්තන්ගේ' සමන්ත සොම්නසින් නිසලව ඇති කල ඈත හිමාලේ සඳුනෙන් සැදුනු ෆේස්බුක් සඳුලු තලේ සිට "දෙයියනේ කොහොමද?" ; අවුරුදු තිස්පහක් ඉක්ම ගියත් නොසැලුනු සෙනෙහස ගැන ගීත මවන්නට බඹරුන් නොමැති කල මටද සිද්ද වන්නේත් කතන්දර කාරයා වගේ කතන්දර කියන්නටය.

තිස්ස දොඩන්ගොඩ said...

Bravo Bravo..!!!!!
Thank you so much...
මට වචන නැත......!!!! ඔබ ඒ තරම්ම දක්ෂය..!!!!!
සෑබෑම බන්ධෝපාද්‍ය කෙනෙකි!

Weni said...

සුට්ටන් සුට්ටන් කාලෙ දුර දිග බලන්ඩ නොකරපු ආදර පටලැවිලි වල සේරම ලියුම්, කියුම්, කෙරුම් ගිණි දෙයියන්ට පුදලා සිදාදියට ආවට ඒවා බොහෝම ආරක්ශිතව හිත ඇතුලේ තැම්පත් කොරන් ඉන්නවා අපිත්. ඕන් මේක කියවද්දි ඇවිස්සිලා ආවා ඒවා ටිකක්..

Dude said...

මම කමෙන්ට් එකක් දැම්මා කෙලින්ම උඹේ ස්පෑම් බාල්දියට. අන්න ඒක නැට්ටෙං අල්ලලා එලියෙං තියාපං මචං. රහසින් (වයිෆ්ට හොරෙං බං දැම්මෙත්)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

Bandula - බන්දුල said...

You are Welcome = සෙනෙහසින් පිළි ගනිමි!
'බන්ධෝපාද්‍ය' නමේ මුලටද අගටද දාන්නේ.
කෙසේ වුවත් බොහොමත්ම ස්තුතියි!

රතු රජරට said...

ඔන්න පෝස්ටුව කියෙව්වට පස්සෙයි මතක් වුනේ එහෙම ඈයෝ අපේ ජීවිතේත් හිටියා නේද කියලා. උබ හදවතේ තත් කඩා දානවා වැඩියි තිස්ස අයියේ. නාලිනී රණසින්හ ගැන කියෙව්වට පස්සේ මම අම්මට කතා කරා මේ ගායිකාව ගැන අහලා. කිව්වෙ නැද්ද පත්තරේක විස්තර. මරු මරු දිගටම තත් බිදපන් අපේ හදවත්වල......

නලිනි චන්දිමා said...

මමත් පරණ මතකයන් වගයක් අවුස්සන ගමන්...
කරුණාවෙන් කරුණාව පෙළ ගස්වලා ලියා ඇති අපූරුව.. අය්යා ඇත්තටම වාසනාවන්තයි.

දුකා said...

මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ අහලා තිබ්බට උඹ ලියපු පූර්විකාවයි . . . ගීතයේ පද රචනාවයි කියෝලා ගීතය රස වින්දාම වින්දේ අමුතුම දිවි‍යලෝක රසයක් . . . .
සුපිරියි . . .

Rasika Kariyawasam said...

ලියවිල්ල හැඩයි. මිහිරි මතක අගෙයි !

චේජනා said...

ඒ වුණාට ඔයා නං නපුරා...!
:D

ලකී සිරි said...

ලස්සනයි.සිත් ගන්නා සුලුයි.

ප.ලි.

මේක හොයන්න ගිහින් වෙන්න ඇති මේ සැරේ නිවාඩුවට ගෙදර ගිහින් නිවාස අඩස්සියෙ ඉන්න වුනේ..:D

තිස්ස දොඩන්ගොඩ said...

රතූ: මේ කමෙන්ට් එකනම් බොක්කෙන්ම ලියල තියෙන්නේ - ස්තූතියි මචෝ - ඒ මිනිස්සුන්ට මෙහෙම හරි ඉතා සීමිත ඉඩක හරි - අඩුම ගණන්නේ වෙබ් සර්ච් එකකට හරි අහුවෙන්න ලියල තියන්න තමා මේ උත්සාහය

නලිනි: වෙලාවකට එහෙමත් හිතෙනව නංගී

දුකා: කථා බහ කලා නෙව :-) - මේ "දිවිය ලෝක රහ" කෑල්ල කොහෙන්ද ආවේ - අපේ අම්මත් නිතර පාවිච්චි කරනව

රසික: මිහිරි මතකයක දැව‍ටුන - මිහිරි ගීතයක් වාගෙයි

චේජනා: දැං හොඳයි - ඒ ඉස්සර

ලකී: ගණිත අභ්‍යුහන්‍යය කියලත් කියනව ඕකට :-)

ලකී සිරි said...

මොන අභ්‍යුහන්‍යයක්ද ? මට මම කිව්ව එක පයිතගරස් ප්‍රමේයයටත් වැඩිය ෂුවර්...:D

අඩවි රජ said...

ශෙහ් නියමයි අප්පා :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

අළුත් මල්ලි said...

හරිම රසවත් අත්දැකීමක් නේද?

ලකී වික්‍රමසිංහ said...

හීන් හාමිනේ මම අදත් ආසාවෙන් කියවන පොතක්. මගෙත් ආසම කතාව සොයා යෑම.
තිස්ස මහත්තයා, අද මෙතනට ආවෙ විශේෂ උදව්වක් බලාගෙන. නාරද දිසාසේකර මහත්තයගේ ගීත අර පැරණි සංගීතයෙන් ලබාදෙන්න පුළුවන් වෙයිද?

තිස්ස දොඩන්ගොඩ said...

අඩවි රජ: ස්තූතියි මචෝ..
අළුත් මල්ලී: අනේද කියන්නේ

ලකී වික්‍රමසිංහ: හොඳයි මහත්තයෝ මම බලන්නම් එකතු කරගන්න හැකිද කියල - ස්තූතියි මතක් කලාට - පොත රසවිඳ ඇති කෙනෙක් හමුවුණාට බොහෝ සතුටුයි..

Post a Comment

 
Blogger Wordpress Gadgets