සොඳුර නුඹ මට මව් වෙයන්...

කාල තරණය මාතෘකා කරගෙන බිහිවූ නිර්මාණ මෙතෙකැයි කිව නොහැක. මිනිසුන් වර්ථමානයට වඩා අතීතයටත් අනාගතයටත් පෙම් බඳිත්ද? වර්ථමානය එතරම්ම නීරසද? එසේත් නැත්නම් මිනිසුන්ගේ ඇති නොතිත් කුතුහලයද? වර්ථමානයේ සිදුවී ඇති දේ අතීතයට ගොස් නිවැරදි කරගැනීමේ උවමනාවක් ඇත්ද? එහෙත් හෙට වනදේ අද ක්‍රියාවෙහි ඵලයක් බව වුවමනාවෙන්ම අමතක කරත්ද?
මාමණ්ඩිය මගේ හිතවතකු, අනුශාසකයකු වූයේ මා ඈ විවාහ කරගැනීමට පෙර සිටය. "පුතේ මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ දෙවැනි පාරට උපදිනවා කියන එකයි..." ඔහු, මා ඈ විවාහ කරගැනීමට ලකලෑස්ති වන කාලයේ,  සංවාදයෙහි යෙදෙමින් අප ගතකල එක් අවස්ථාවක පැවසුවේ බොහොම නිස්කාංසුවේය. එහි තේරුම එදා නොතේරිණි. අතීතයට ගොස් ඔහුට මුවනොසෑහෙන ලෙස ස්තූති කරන්නට ඇත්නම්?
පුනරුප්පත්තිය, පුනර්භවය, මනෝකාය යන සංකල්පවල එල්බ සංවාදයෙහි, වාදයෙහි යෙදීමට මිනිසුන් බොහෝ කැමතිය. ඒත් මාමණ්ඩිය අපූරු වැකියකින් මට නැවත ඉපදීම ගැන කියාදුනි.  ඒ වචන වල ඇති ගුප්තාර්ථයන්, යථාර්තයන් පසෙකලා "මරණින් මතු උපදීම..." යන කියැවීම තුල භව සසර තුල අඛන්ඩ ගමන් කිරීමක් අප බලාපොරොත්තු වෙයි. එහෙත් අවුරුදු දහයකට පෙර සිටියේ මේ සිටිනා අපමද? බටහිර විදුඇසට අනුව දිනපතා බිඳී වැටෙමින් නැවත ගොඩනැගෙමින් ඇති සෛල සමූහයකුත් දිනපතා වැහැරෙන සෛල සමූහයකුත් ඇති අප, කාලයක් ඇවැමෙන් පංචිකාවත්තෙන් සම්පූර්ණයෙන්ම අමතර කොටස් සවිකොට ටින්කර් කොට ඇති වාහනයක් බවට පත්වේ. අලුත් කොටස් නැවත සවිකර ඇතද අප සිතන්නේ මේ ඇත්තේ එදා අපගත් වාහනයම කියාය. සිතුවිලි පරම්පරාව එයට කිසිසේත්ම නොදෙවෙනි නොවෙත්ද..?
"ආදරයේ සනාතනික සංකල්පය අම්මා..." සෝමරත්න පෙරේරා ගයයි. එය අත්විඳ උස්මහත්වූවාට ඒ පිලිබඳ හැබෑ වැටහීමක් ලබාගැනීමට නම් කාලතරණයක් කලයුතුමය. එහෙත් මාමණ්ඩියගේ වචන සැබෑකරමින් ඈ මට මවක් දරුවන් වෙනුවන් දයාභරිත වීම කාලතරණයක් නොමැතිවම පෙන්වූවාය. විටක එය මා ඉරිසියාවෙන් පුරවන්නට තරම් සමත් කම් දැක්වීය. එහි කොන්දේසි, කාල රාමු, ලාභාංශ පරමාර්ථ,  ඇත්තේම නැත. එහි බිඳක් හෝ ගිලෙන්නට සිතීම අසාධාරණ නැතැයි මට සිතේ...



සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ


සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

46 ප්‍රතිචාර:

මුහුදු කොල්ලකාරයා said...

හරිම සංවේදී පද මාලාවක්. හැබැයි සින්දුව play වෙන්නෙ නෑ :(

RanDil said...

ෆයර් ෆොක්ස් වල ප්ලේ වෙනවා.......... පොඩ්ඩක් බලන්න

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි මුහුදු - මමත් බැලුවා බ්‍රව්සර් තුනේම ප්ලේ වෙනව :-(

Gimhani said...

හරිම හැඟීම්බර අර්ථාන්විත ගීයක් . ගීතය රස වින්දා .
…බොහොම ස්තූතියි තිස්සා අය්යා මේ වගේ දුර්ලභ ගීත අපට නැවතත් මතක් කර දෙනවාට .

Mahesh Nishantha said...

ස්තුතියි හදට දැනෙන ගීයක් නැවත මතකයට නැගුවාට ....

තනෝජා රාජපක්‍ෂ said...

අහ් ෆයර් ෆොක්ස් බ්‍රව්සරේක තමා මමත් ඇහුවේ... ප්ලේ වෙනවා.. අපට ඉතින් කැඩි කැඩිනේ.. :(

මමත් අහල නැති ගීයක්... හැබැයි හැම වෙලාවෙම අහන්න බෑ.. අපි මේ ඔෆිස් එකේ වැඩත් එක්ක විකාර වෙච්ච මනසින් අහනවට වඩා සන්සුන් මනසකින් ඇහුවොත් ගොඩක් හොඳ වින්දනයක් ලැබේවි... නේද අයියා.. අද අයියට නම් නිවාඩුනේ...

හිරු said...

ඇත්තටම හොද බිරිදක් සැමියාට මවක් තමයි.. ඒ වගේම හොද සැමියෙක් බිරිදකට පියෙක් වගෙයි.... ඒක හරිම සොදුරු හැඟීමක්.....

මේ වගේ ගීත හොද රෑට.... ඇහුවාම ඇස් වලට කදුළු එනවා...

Chatura Wijekoon said...

ස්තුතියි.. පුරුදු විදිහටම අහලා නැති ගීයක්.. වික්ටර් මහත්තයා නේද කියන්නේ.. මට නම් හිතෙන්නේ.. බිරිඳකට ගෙවන්න බැරි ණය අම්මට කොහෙද ගෙවන්නේ.. කියලා.. දුවෙකුට නම් ගෙවන්න තිබුණා..

Praසන්ன said...

ලස්සනයි.

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි රන්දිකා නංගී

මහෙෂ්: ස්තූතියි ඔබට මහේෂ්...

තනෝජා නංගී: ඔයා හරි තනෝජා... මෙකේ මූඩ් එක උදේකට හරි යන්නේ නැ..

හිරු: ඔව් ඔව් හිරු කියන කථාව හරි - අපට ඒක දැනෙන්නේ නෑ - සැමියන්ගේ ගුණ කියන කතුන් හැබෑ ජීවිතෙයේ නම් ටිකයි හමුවෙලා තියෙන්නේ..

චතුර: අරුම තර්කයක් නෙව ගොඩනැගුවේ - උත්තර නැත.. වික්ටර් මහත්තය තමා චතුර කියන්නේ.. ලියල තියෙන්නේ ගාමිණී ෆොන්සේකා මහත්තය...

ජීවිතේ මල් said...

ගීතය තවම ඇහුවෙ නැහැ. ඒත් ඊට කලින් මේ ලියමනට ප්ලස් එකක් දාන්න හිතුනා ++
හැමදාමත් වගෙ සංවේදීයි...
මහ වැවක් වගෙ නිස්සද්ද උපසාන්ත , නිවිච්චි , උපේක්ෂා සහගත කාන්තා රුවක් මට මැවී පේනවා !
ස්තූතියි, ලියන පරමාදර්ශ වෙනුවෙන් අයියන්ඩි!

තිස්ස දොඩන්ගොඩ said...

හනේ හනේ ජීවිතේ මල් :-)

ගහෙන් වැටුන මිනිහට "හරක" ඇන්නා කීව...

සුලං කපොල්ලේ සිටින ඇයට "පණ්ඩිත" කම් කීව කිව්ව...

ඔන්න අදත්....
කල්පනාවල්වලට වාගෙම ඇනුම්පද වලටත් මම කැමතියි ඔබගේ...
:-)

ජීවිතේ මල් said...

හිකි හිකි හිකි... :)

නෑ අප්පා ඇත්තමයි.. අක්කා ගැන අහල තියන දේවල් සහ පින්තූර ඇසුරෙන් වෑවක් වගෙ මවක් මෑවුනා ... :)

ඉරිසියාකාර අයියන්ඩිව මහමේරුවක් වගෙ ඉවසන ඈගෙ පින්තූරෙකිනුත් මේ පෝස්ට් එක සෑරසුනා නම් තවත් අගේ.
අර ෆිල්ම් රීල් එක වගෙ පින්තූර ටිකක් හදල තිබ්බෙ දවසක්.. නියමයි ඈ... :)

නිශ් said...

සංවෙදී රචනාවක් තුල එබ්බවූ ඇත්ත කතා ටිකක්

ලස්සන කාලෙකින් නොඇසූ සිංදුවක්

ස්තූතියි......!

තිස්ස දොඩන්ගොඩ said...

නිශ්ගේ කොමෙන්ටුවක් බලාගෙන හිටි පෝස්ට් එකක් මේක මම - බොහොම ස්තුතියි නිශ්!

Raj said...

හෙම් මා ඔරුවනම් කොල්ලැව ඇයයි....

RanDil said...

@ Raj,

රාජ්ගේ අම්මා : ඈ බං උඹට ඔය ටිකට කොල්ලෑව කොහිවත් යන එකියක් වුනා නේද? :D :D :D

තිස්ස දොඩන්ගොඩ said...

ඔව් රාජ් ඔරුව පදිනකොට තමා හරියටම තේරෙන්නේ...

සරත් ලංකාප්‍රිය said...

ආදර බැම්මකින් පටන් ගන්න විවාහය කාලයත් එක්ක ගැටීමේදී දුර්වල වෙනවා. ශාරීරික වෙනස්කම් එක්ක ආසාවන් මත හැදුනු ආදරය දියවෙන්න ගන්නවා. එතකොට කරුණාව මයිත්‍රීය එකතුවීමෙන් අඩුව සපිරෙනවා නම් ඒ විවාහය හොඳින් ගෙවෙනවා. මේ ආත්මයේදී බිරිඳ දරුවන්ට මෙන්ම සැමියාටද දෙවැනි මවක් වගේ වෙනවා.. සැමියා බිරිඳටත් ඒ විධිහටම පියෙක් මෙන් වෙනවා කියන්නේ අන්න ඒ විධිහට ආදරය කරුණාව ගවුරවය එකට බන්දී හැදෙන අලුත් බැඳීමටයි .. මේ ගීතය දෙදෙනාටම තනිව ඇසීමට අපුරු එකක්..

තිස්ස දොඩන්ගොඩ said...

සරත් මහත්තයෝ මගේ පොස්ට් එකට වඩා සිය දහස් ගුණයක් මේ කමෙන්ටුව වටිනව... බොහොම ස්තූතියි
ඔබතුමා කී කාරණය පොඩියක් විතර දැනං උන්නොත්, කලබොලේට විවාහ කඩාගන්න එකක් නෑ තරුණ ළමයි...

තිස්ස දොඩන්ගොඩ said...

අනේ ප්‍රසා මල්ලියේ සොරි බං - හැමදාම ඇවිත් කමෙන්ටුවක් දාල යන නිසා දෙවේලේ දකින කුකුලා කියල හිතන්ට එපා මගහැරුණා කෝල් එකක් ඇවිත් - නිමාඩු දවසනේ - ඉතින් ඔන්න සමාව ඉල්ලනවත් එක්ක ස්තූතියි කිව්ව

Praසන්ன said...

පිස්සුද තිස්ස අයියෙ. ඕව ගණං ගන්නවද අපි.

නුවන් තිලංග said...

මේ ගැන කියන්න මට තාම අත්දැකිම් නැ.ඒ උනාට මේ ගීතයට මම ගොඩාක් කැමති

Podi Kumarihami said...

ලස්සන සිංදුවක්. තිස්ස නෝනාට ගොඩාක් ආදරේ කෙනෙක්...ඒ වගේ අයට තමා බිරිඳකගේ පියෙක් වෙන්ට පුලුවන් වෙන්නේ...

පොඩ්ඩි බඳින එක්කෙනා මතක් වෙලා පොඩ්ඩිට නම් ඇඬුනා...:)

නිශාන්ත said...

එල

ලකී සිරි said...

මේ බ්ලොග් එක ලියන තිස්ස දොඩන්ගොඩ මහත්තයා හොඳ මනුස්සයෙක් පාටයි..හැමෝටම ඒ වගේ ඉන්න පුලුවන්නම් ලෝකෙ මොන තරම් සුන්දරද ?

තිස්ස දොඩන්ගොඩ said...

නුවන්: නුවන් ඉතින් කොහොමත් හොඳ රසිකයනේ

පලිපාන මැතිනිය: දැන් මේ සතු‍ටු කඳුලු කියල හිතනව :-)

නිශාන්ත: ස්තූතියි බිඟූ

ලකී සිරී: මේ කමෙන්ට් එක ලියපු 'ලකී සිරී' කියන මහත්මයත් බොහොම නිවුනු, යමක් කමක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක් පාටයි... ඇත්තටම හැමෝටම එහෙම ඉන්න පුලුවන්නම් ගොඩක් සුන්දරයි තමයි ලෝකේ...

Bindi said...

තිස්ස අය්යත් ප්‍රිය බිරිඳත් අතර තියෙන අපුරු බැඳීම ....හරිම අපුරුයි. මේ පොස්ට් එකට වගේම සරත්ගේ කමෙන්ට් එකටත් මන් බොහොම කැමතියි. ගීතයත් අනගියි.

ගල්මල්-Coral said...

මාස දෙකකට පසුව පලමුව කියෙව්වේ දුකාගේ පොස්ටුව, ලිවිය යුතු දෑ ලියන්න විදියක් නැහැ. දෙවැන්න හර්ෂණ මලයාගේ පාරදිගේ පොස්ටුව, නිරුත්තරව ආවෙමි.

කොටස් වශයෙන් මේ පොස්ටුව කියෙව්වෙමි. වෙනත් ලියන්න විස්තර ඉතිරිව නැත. ලංකාප්‍රිය මහත්මයාගේ කොමන්ටුව බොහෝ වටිනවා, පොස්ටුව තවත් ඔපවෙලා.

එවන් 'අම්මාවරුන්' ආශීර්වාදයක්!

අභීත said...

මේ ගැන කියන්න වචන නෑ.... ඔය පද රචනාවම වික්ටර්ගෙන් ඇහෙද්දි ටී එම් ගෙන් ඇහුනා මෙහෙම...

අහස මෙන් ලත් චෝදනා...
පොළව මෙන් දුක් උහුලනා.....
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා....
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා....

ඒ ගැන කිසි විවාදයක් නෑ..

හැමදාම වෑඅම අදත් සංවේදීයි, හැඟුම්බරයි, ඒ වගේම සුපිරියි....

Chandi said...

මේක දැක්ක වෙලාවෙම කමෙන්ටුවක් දමන්න හිතුවට දැන් තමයි තිස්ස වෙලාවක් ලැබුනෙ. මේ ගීතය ඇත්තෙන්ම හද සසල කරවන ගීතයක්. සැබැවින්ම ඇය මවක්ම නොවේද? දරුවන් උදෙසා මවක් වූ ඇයම තම සැමියාටද මවක් සේ සලකන්නීය. සෑම සොඳුරු පවුලකම ඇය එසේමැයි. මගේ අම්මා මගේ තාත්තාට මවක් සේම සලකනවා මම හැමදාම දැක්ක දෙයක්. මගෙ මහත්තයාගෙ අම්මත් තාත්තාට සැලකුවේ එලෙසින්මයි. අම්මා මියගිය පසුව මගේ මාමණ්ඩිය ඈ වෙනුවෙන් ඉතිරි කල සැම දේම දන්දුන්නේ ඇය සිහිකරමින්. ඒ ආභාශය අපිටත් ගියා කිව්වොත් නිවැරදියි. මගේ බාලම නංගී කසාද බැන්දේ විජාතිකයෙක්. ඔහුට නංගී සලකන්නේත් අම්මා ලෙසින්මයි. මම ජීවිතේ කිසිම දවසක මගෙ මහත්තයාට නොවැඳ ගෙදරින් එලියට ගිහින් නෑ. ඔහු සැම දාම මාව රැක්කේ ආදරණිය පියෙක් ලෙසින්මයි. ඒ ආදරය තමයි අපි හැමෝම මෙපමණ දුරක් ගෙන ආවේ. සියලු සැප සම්පත් මැද වගේම අනියත දහම මැදත් අපි සැනහුනෙත් ඒ නිසාමයි.

රොබින් said...

බිරිදක් තමන්ගේ සැමියා වෙනුවෙන් කොච්චර කැපවෙනවද කියන එක මම හොදින්ම දැක්කේ හදිසි අනතුරකට ලක්වෙලා රෝහලේ ඉන්න කොට ,මගේ ඇදට කෙලින්ම ඇදේ හිටිය කෙනාගේ වයිප් පුදුම කැපවීමක් කරේ ඒ මනුස්සයා වෙනුවෙන් තුන් වතාවම බලන්න ආව වගේම හැමදාම සුද්ද පවිත්‍ර කරන වැඩ හැම එකක්ම කරේ බිරිද ,ඇත්තටම ඒ දිහා බලන් ඉන්න කොට මම කල්පනා කලේ මේ වගේ වයිප් කෙනෙක් ලබන්න පින් කරන්න ඕන කියලා ...

Chanaka Munasinghe said...

+++

සින්දුව ලස්සනයි
ඒත් මව වුණාම තවත් කරදරයිනෙ එයාට

ලකී වික්‍රමසිංහ said...

ගාමිණී ෆොන්සේකා මහත්තයා මේක ලියලා තියෙන්නෙ තමන්ගේ ජීවිත අත්දැකීම් මත. මුලින්ම අහද්දි හිතෙන්නෙ අම්මා වුනොත් ඒ මනුස්සයාට තවත් කරදරේ නේද කියලනේ. ඒත් ඇත්තටම නොසැලෙන ආදරයක් තියෙන බිරිඳක් වෙනුවෙන් පහළ වුණු අසීමිත දයාව එක්ක ඒ ආදරේ තමන්ට දැනෙන උපරිම තැන තියලා කතා කරලා තියෙන්නෙ.
අනේ මන්දා තිස්ස මහත්තයා, මට කියන්න තියෙන ඔක්කොම එකපාරට අකුරු වෙන්න දඟලනවා. ඔබට බොහොම ස්තුතියි මේ වගේ අපූරු ගීත අපිට මතක් කරලා දෙනවට.
ප.ලි : අනේ අර නාරද දිසාසේකර මහත්තයාගේ ගීත මුල් සංගීතයෙන් පළ කිරීම ගැන මගේ ඉල්ලීම නැවත වතාවක් සලකා බලන්න

හිරුහිමාවී said...

අපූරු ලිපියක්!
ඔබට ජය!

තිස්ස දොඩන්ගොඩ said...

බින්දි: ස්තූතියි බින්දි. ඒකේ අපූරුවක් දැනෙන්නේ මම ඒ ගැන වැඩියෙන් කථා කරන නිසා වෙන්නඇති

ගල්මල් : ඔබතුමා මෙහෙම එන එකත් දැන් ලොකු දෙයක්...

අභීත: "ගෞරවයෙන් පිදුවා යුතුවේ...."

චාන්දි: අපි මෙහෙම දේ ලියාපුහම, ඔබතුමිය වැනි අය මෙහෙම කමෙන්ට් දාපුහම සමහරු කියනව අපි මේ මනෝරාජිකයක ඔජ වඩවනව කියල.. මම, ඔබතුමිය, ගල්මල් මහත්තය සහ තවත් බොහෝ අය (සරත් ලංකාප්‍රිය මහත්තයව දන්නේ නෑ පුද්ගලිකව) ජීවිතේ එක්ක නොසෑහෙන්න ඔට්‍ටු වෙලා ලබපු අත්දැකීම් මෙහෙම බෙදාගත්තේ නැත්නම් ඒව අපත් එක්කම වැළලිල යනව. එක්කෙනෙකුට හරි වැඩක් වෙන්න ඒ දේවල් ගැන ලියාතබනවට ඔබතුමියටත් බොහොම තුති.

රොබින්: ඉස්පිරිතාලයක් කියන්නේ ජීවිතය කියාදෙන දේවදූතයෝ ගොඩක් ඉන්න තැනක් කියල හිතෙනව රොබින්

චානක: ඔය ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්නේ කීයෙන් කීයද චානක :-)

ලකී වික්‍රමසිංහ: ඔන්න ලකීට අහුවුන හීන් හුයක්..
සින්දුව පැත්තෙන් ගත්තම ඔබ එක මිටට ගත්ත ගීය... ස්තූතියි බොහොම...
නාරද මහත්තයගෙ සින්දු එකතු කිරීම අරඹල තියෙන්නේ. අමාරුව තියෙන්නේ හොඳ තත්වයේ සංගීතය තියන කොපි කීහිපයක් එකම සින්දුවේ තියන එක. මාලඟ තියෙන්නේ දෙවැනි වර නිමැවූ එකතුවක්. ලංකාවට ගිය දිනක උත්ස්සාහයක් දරන්නම් මතක තියාන ඉඳල. ඒ අතරේ බලමු මෙතනට එන රසිකයෙක්වත් උදව් කලොත් අපට..

හිරු හිමාවී: ස්තූතියි සහෝදරී..

Loku John said...

හ්ම්ම්ම් වින්දා

Bandula - බන්දුල said...

තිස්සගෙ ෆෝස්ට් වලට සහෘදයෝ දාන කමෙන්ට්වල රිද්මය කැඩෙනවාද මන්දා මම දාන කමෙන්ට් වලින්. අනේ සමා වෙන්න එහෙම වෙනවානම්!
බිරින්ඳෑ මම වෙනුවෙන් කරන්නා වූ කැපවීම මොහොතින් මොහොත අත්විඳිද්දී මමත් හිතුවේ මේ ණය ගෙවන්නේ කොහොමද කියල; ඒත් මට හැඟුණ එක දෙයක් තමා ගාමිණි ෆොන්සේකා මහත්තයා වික්ට රත්නායකයන් ලවා කියන්නා සේ 'එයාව' අම්ම කරගෙන ණය වෙන්න ගියොත් වැඩේ තවත් බරපතල වෙයි කියල. අම්මගේ ණය ගෙවලවත් ඉවර නැති කොට. ඒ නිසා තිසා මම කිව්වේ 'එයාට',

සොඳුර නුඹ මට හිමි වෙයන්
මතු උපදිනා දින සැම බවේ...
බිරිඳ වී නුඹෙ ගිනි නිවන්නම්
පව් ගෙවන්නට මේ බවේ ...

කියල.

Lishan Puwakowita said...

ස්තූති පූරවක හැඟීමකින් දවස ආරම්භ කරන්න ඊටම සාධාරණයක් ඉටු කරන බ්ලොග් පෝස්ට් එකක් කියවන්න ලැබීම මොනතරම් වටිනවද..? මේ ගීතය මම අහලා නෑ.., ඒත් ගීතය බාගත කරගෙන අහන්න තරම් ඔබ ඊට දී ඇති පෙර වදන බලවත්..., ගීතය අසන්නට පෙර මම ආශක්ත වුනේ ඒ පෙර වදනට..,
බිරිඳක තුල මව්වත්කම තියෙන්නට අවැසියි.., ඒත් ඈ සිටිය යුත්තේ මව් තනතුරේ නොව බිරිඳ නම් තානාන්තරයේයි.., මගේ ලෝකය තුල කවදා හෝ බිරිඳක් ලැබේනම් මා ඇයගෙන් පතන්නේ ගැහැණියකගෙන් මට ලැබියයුතු නොඉඳුල් ප්‍රේමයයි.., මොකද මගේ පොතේ හැටියට මවකගේ ආදරය බිරිඳකගේ ආදරයට කවදාවත් සම කරන්නට බැරි නිසා.., ඒත් ඇයත් කවදා හරි මවක් වේවි.., ඈ වට සිටිනා පොඩි ඈයොන්ට ඈයත් කවදා හරි මව්වත්කම බෙදාවි..!
ස්තූතියි..,
මගේ අදහසින් ඔබේ පෝස්ටුවේ මූලාර්ථයට වදනකින් හෝ හාණියක් වූවානම් දහස් වර සමාව අයැදිමි..!

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

මගෙ අන්තිමට ලියපු ඩබ්බාවාලා පෝස්ට් එක ලියැවුනෙත් අපි අපේ පුතාට කෑම ගෙනියන වෙලාවක වෙච්ච කතා බහක් නිසා.

මගෙ අක්ක කියන්නෙ ඔය හැටි දරුවට උදවු කලහම කවද හරි බඳින බිරිඳගෙනුත් මේ විදියටම සහය ඔහු බලාපොරොත්තු වේවි කියලා, එහෙම අවස්තාවක එම සහය නොලැබුනොත් ඔහු අන්ත අසරණ වේවි කියාත් කිව්වා. කොයි දේත් පිං පව් වල හැටියට ලැබෙයි කියා හිතනවා. උපරිමය පතනවා. අම්මලා එහෙමයි.

අපි තාමත් ළමයින්ට කවනවා. ඇදුරුතුමාගෙ කැවිල්ල නැගල යන්නෙ ළමයගෙ කටත් එක්ක එයාගෙ කටත් ඇරෙන හින්ද, අනේ මංදා ලෝකයා දැක්කොත් හිනාවෙයි අපිට. අපි තැං කීපයක හිටියත් ඔක්කොම එකට ඉන්නව වගෙ තමා. කොච්චරවත් හොයා බලන නිසා

කොමෙන්ට් සියල්ල ගැන මට සතුටුයි.

තිස්ස දොඩන්ගොඩ said...

ලොකූ: ස්තූතියි මචං

බන්දුල: රිද්මය ගැන කුමන කථාද..?
"වැලි තල කිති කවන නටන - පෙම් රල පෙල ඉවුරු බදන"

මේ කිහිප දෙනෙක්ම එහෙම කීවමයි මටත් හිතුනේ ඒක...
ඒත් ලකී වික්‍රමසිංහ මේක ලස්සනට අල්ලල තිබ්බ
"තමන්ට හැ‍ඟෙන උපරිම තැන.." මම හිතන්නේ ඒ සිතුවිල්ල සාධාරණයි...

යසයි රී මික්ස් එක :-)

ලීෂාන් : ලීෂාන්ට ගැලපෙන්නේ චිත්‍ර කර්ම වැඩ නෙමේ කියල හිතෙන්නේ මේ කමෙන්ට් බැලුවම - මට හිතෙන්නේ ග්‍රැ‍ෆික් නිර්මාණකරුවා කවියව මතුවෙන්න නොදී අල්ලන් ඉන්නව කියල - එහෙම නැත්නම් එක එක වෙලාවට වෙස්මාරු කරන දසාවතාරයක් - බෙන් ටෙන් කෙනෙක් ඉන්නවද ඇතුලේ???

ඊ මේල් කවිකාරී: දරුවන්ට වදයක් නොවෙන්න එයාල ගැන සොයාබලන එක අපට උරුම වෙච්චි ජීවන රටාව නේද? වෙන සතෙක් ගෙන් මනුස්සය වෙනස් වෙන්නේ ඔය වාගෙ දේවල් වලින්... සීමාව සවිඥානකව සොයාල බැලුවට අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ

රූ.... said...

හද ගී පොතේ මෙවන් පිටු කියවද්දී නිබ්බුත පද නිතරම මතක් වෙන්නේ ඇයි?
බිරිඳ සැමියා ගැන දුටු විදිහ ගැන කියන ගීයක පෝස්ටුවකුත් දාන්න තිස්ස..

නොහික්මුණු ඇස said...

ෂඃ , බොහොම වටිනා බ්ලොග් එකක්නේ , කොහොමද මේ වගේ එකක් මට මග ඇරුනේ , :ඔ

Pathum Herath said...

අපේ අම්මගෙන් මට ලැබුණේ ගැඹුරු ආදරයක්.. අද මේ තත්වෙන් හරි ඉන්නේ ඒ සියුම් ආදරේ නිසා.. වචනවලින් කියන්න බැරි තරම් ඒක සංවේදියි.. බිරිඳගෙන් ලැබෙන්නේ අම්මගෙන් නොලැබුණු ඒ සරල සිම්පල් ආදරේ හිතෙන ආදරේ...ඇත්තටම ගැහැනු ආදරේ මාර සියුම් විදියට දැන් දැන් දැනෙන්න පටන් අරන් තියෙන්නේ.. හිතා ගන්නත් අමාරුයි සමහර වෙලාවට.. (තාම පොඩි කොල්ලො නේ ඉතින්)

තිස්ස දොඩන්ගොඩ said...

පැතුම් : ඔන්න හොඳ වාසනාවන්තයෙක්..!!!!

සූස්ථි said...

පිවිතුරු ආදරය කියන්නේ නම් මහ පුදුමාකාර බැඳීමක්. පෘතග්ජනයෙක් විදියට ජීවත්වීම වාසනාවක් කියල හිතෙන්න තරම් ප්‍රභල බැඳීමක්.

Post a Comment

 
Blogger Wordpress Gadgets