ඉතින් සබඳ අවදි වන්න...!

කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියල..!
හිතාගන්නත් බැරි ගානක් ලැබෙනව කී නිසානෙ ජොබ් එක බාරගත්තෙ.....!
කන්න බොන්න සම්පාදනය කරල මේ හතරදෙනෙක් රැක බලාගන්න විතරනෙ තිවුණෙ!
ඒත් අර පණ්ඩිතයෙක් ඇවිල්ල යසට කරගෙන හිටි වැඩේට විසක් දැම්මනෙ, "මුන් මහ නසරණියෝය, හොඳට හොඳයි, නරකට අන්තිම නරකයි, පොඩ්ඩක් පමා වුණොත් බෙල්ලම යනව" කියල.

අතේ ඒ හැටි ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. තිබ්බ ටිකත් මිට මොළෝන තාප්පෙන් පැන්නේ වෙන දෙයක් වෙද්දෙන් හිතාන. ගහෙන් වැ‍ටුණ මිනිහට ගොනා ඇන්න වගේ වුණා කියල හිතුණෙ තුන්කොණ්ඩෑරුමෙන් එහා පෑත්තට පතබෑවෙච්චම. මුං නම් කුලී මැරයො නඩයක්ද මන්ද අහිංසකයෙක් අල්ලගන්නම බලන් උන්නු. ඇයි හත් ඉලව්වේ පස්සෙන් පන්නන්න වෙන උන් නැද්ද! අර පත්තරේ තිබුණු පස් දෙනාගෙ කල්ලියද මන්ද මුං!!

එකට එකපතේ කාල බීල හිටි, සහෝදරයෙක් වාගේ හිටි, මාව හොඳටම දන්න, උස මහත වොචර් කාරය, දෙපැත්තට වැනි වැනී ඉස්සරහට ආහම මම හිතුවෙ උන්නැහැවත් මට උදව් කරාවි කියල! ඇන්තූරියම් ගාල අස්සේ තිබ්බ මලකඩ කාච්ච කඩුවක් ඇදල ගත්ත නෙව මූත්! එකත් එක්කටම කලින්දා රෑ අරුන්ගෙන් සප්පායම් වෙන්ඩෑති!! මම නොදන්නවෑ උන්දැගෙ තරම! කකුල් දෙකට වීරිය අරන් දීව නිසා යාන්තම් ඡායාව පෙනෙන නොපෙනෙන ගානට මගෑරගන්න පුලුවන් වුණා!!

එහෙම ඇවිල්ලත් ඕං වැ‍ටුණෙ නැතෑ කාත් කවුරුවත් නැති, මහම මහ පාලුම පාලු තැනකට.... එතන පුදුම හිස් ගතියක් නෙව තිවුණෙ!!
ඒ පාලුවට ගිය නවාතැං දැක්කම හිත කොච්චර කීවද මෙතන නැවතියං, නැවතියං, කියල. අර හාදය දාපු විස ඔලුවෙ ඇතුලෙ කෑකෑරි කැකෑරි තිබ්බෙ නැත්නම් කියල හිතුන ඒ වෙලාවේ නම් අප්ප. අත් දෙකින්ම හිස අල්ලං කීවනේ "එතන නං කීයටවත් නවතින්න එපා, නිතරම රොබරි කාරයො කඩාපාත්වෙන තැනක් ඕක..." කියල.

කටේ කෙල බිංදක් නෑ, මහන්සිය, වෙහෙස, කියාගන්න කෙනෙක් නෑ, ආයෙත් දිවිල්ල!!!
මහ පළලට, පතුලක් පේන්නෙ නැති ගානට, නිස්කලංකව ගලා යමිං තිවුණ වතුර පාර ගාව විඩාහරින්න ඕන තරම් තිබ්බ; අර රොත්තම පස්සෙං එන්න පුලුහං කියල නොහිතුනානං!

ඒත් ගුටියක් වත් කන්න තරම් සරීරයේ සත්තියක් ඉතිරිවෙලා තිබ්බායෑ!! ඉතිරි වීරිය දාලා මේකෙනුත් කොහොමෙං හරි එගොඩට ගියොත් කියල හිතුනෙ ඇයිද මංද! අහල පහල තිබිච්ච දර ඉපල් එක්කහු කරල මැස්සක් වාගෙ පහුරක් හදාන අත පය දෙකෙන්ම හබල් නොගාන්ට ආයිබෝවංඩ වෙන කොහොමෙං කියල බේරෙන්නද!!!

ඔබ සැමට යහපතක්ම වේවා!

පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න....
ඉතින් සබඳ උදාසනේ
නිදි දැහැනින් අවදිවන්න....

අප මහ බෝසත් පොරණේ
දීපංකර පා සෙවණේ....
විවරණ ලත් එඅනුහසින්
නිදි දැහැනින් අවදි වන්න....
 
බුද්ධ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න....

බරණැස්පුර ඉසිපතනේ
ගෞතම මුණිඳුන් එදිනේ
දෙසු දම්සක් දහම් බෙලෙන්
නිදි දැහැනින් අවදි වන්න...
ධම්ම රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න...


සැරියුත් මුගලන් නමිනේ
මහ සඟගණ පිළිවෙළිනේ....
සසුන සුරැකි අනුහසයෙන්
නිදි දැහැනින් අවදි වන්න...
සංඝ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදිවන්න...


49 comments :

  1. අරි අට මග නම් පහුර තනා, කෙලෙස් නම් ඕඝය තරණය කල යුත්තේ මේසේ යැයි බුදුන් වහන්සේ දෙසු අයුර මනාවට පහදා දුන් නුඹ නම් පොරක්මයැ.........

    ReplyDelete
    Replies
    1. හාංදුරුවො කෙනෙක් සෑහෙන කලකට කලින් කිව්ව මතකයි "දැං බලන්න කොපමණ කතන්දර බෞද්ධ සාහිත්‍යයෙ තිබ්බට මේ තොරන් හදන්න ගන්නෙම පටාචාරා කතාවයි කිසාගෝතමී කතාවයි නේ" කියල කට කොනකට හිනාවකුත් අරන්!
      ඒ ඔස්සෙම යනකොට හිතෙනව මේ ආසිවිසෝපම සූත්‍රයේ කොපමණ අපූරු උපමා තියනවද? කථාවකට, නාට්‍යයකට, තොරනකට ගන්න තරම් කියල!

      Delete
    2. තිස්ස මහත්තයා ඕන්නැති අදහස් දෙන්න එපා..මුන් ගහයි ෆිල්ම් එකක් ඕකෙන් ජැකාගේ පුතාව දාලා...

      Delete
    3. "ජැක් පුත් සමග... " කියල ප්‍රචාරක පටියටත් දායි තමා! :-)

      Delete
    4. හැබැයි රජාටනම් අඳින්නේ ජැකා ..

      Delete
  2. බණ ලින්ක් එක එක්ක තිස්ස මහත්තයා මේ ගීතය දාන්න ලියපු කථා පොඩ්ඩත් රසවත්....
    උදේම අමරාගේ මේ ගීතය ඇහෙනකොට මට රේඩියෝ යුගය, ඒ කියන්නේ FM චැනල් වලට කලින් වෙළඳ සේවයයි, ස්වදේශීය සේවයයි තිබුන කාලේ මතකයට ආවා...
    ඔබට යහපතක්ම වේවා.....!

    ReplyDelete
    Replies
    1. අජන්තා රණසිංහගෙ අපූරු පද රචනාවක්, දයාරත්න රණතුංගගෙ අපූරු උදයටම ගැලපෙන තනුවක්..
      හැබැයි මහතුන් මේ නම් ඇහැරෙන්න කීවේ බව ඝෝර මහා සාගරය නොදැක ඉන්න නින්දෙන් ඇහැරෙන්න කියල !

      Delete
    2. දොඩන් මොනා දොඩනවාද මන්දා..බව ඝෝර මහා සාගරයේ ගිලිලා ඉන්න අපිට ඇහැරෙන්න පුලුවනෑ...

      Delete
    3. කියල වැඩක් නෑ ෂෙෆ්..
      අගාද සාගරයේ ඈත දියේ බිලී බෝයි නේන්නම් අපි

      Delete
  3. කලින් එකට යමක් ලියන්න හදදි තව් එකක් දාල! සන්තෝසයි අයි ට්‍රැක් එක්ට ආ එකට. හවහට අහල හෙට උත්තර දෙන්න එන්නං.

    ReplyDelete
    Replies
    1. නිවෙන්න කිට්ටුව දැල්ල එළියයි!

      Delete
    2. ඕක නිවෙන්නේ නෑ.. අපි තෙල් දානවා..

      Delete
  4. දැං ඉන්න කට්ටියනං අබ සරණෙන්නෙ අවදිවෙන්න හදන්නෙ. ඇත්තටම අවදිවෙන්න ඕන කාලයක් තමයි මේක. ඒත් ඒ දේ කවද කොහොම වෙයිද කියල හිතාගන්න බෑ.
    ලස්සනයි පෙරවදන.

    ReplyDelete
    Replies
    1. "අබ සරණින් අවදි වන්න" කියල කියන්නත් හැකි තමා :-)

      Delete
  5. ආයෙමත් ඉස්සර කාලෙ වගේ.. හැමදාම පෝස්ට්! :-D

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ වගේ කමෙන්ට් නෑ.. හැමදාම ලයින් එකයි! :-D

      Delete
    2. උත්තේජන නෑ නොවැ. ඉස්සරනං මෙතන පෝස්ට් එකක් දාපු ගමන් ලේඩීස් ඇන්ඩ් ජැන්ට්ල්මෑන්ස්ලා පිරිලා වාද-විවාද-සංවාද ඕසෙට. ‍කොයි ඒ උදවිය!? :-(

      Delete
    3. සිංහලෙන් ලිව්වනං ඉතිං අපිත් මොනවා හරි කියනවා.. :D :D :D

      Delete
    4. ඕන් වයසට යාමේ ලක්සන බුරා ;-) උත්තේජක නැතිව බෑ!

      මාහෝට ඉතින් දොම්පෙට යන පාර තමා ලියල කියන්න වෙන්නේ!

      Delete
    5. ආයුබෝවන් ආයුබෝවන්! ඩීන් අයියව දැකපු කල්... :-)

      Delete
  6. මොකටෙයි බං බොරු කියන්නේ ලස්සනයි කියල .
    නැත්තං පට්ට අදහස් ටික කියල.
    කොමෙන්ට් එකක් දාන්න ඕන නිසා දාල උඹව රවටල
    ඇත්තම කීවොත් මට තේරුනේ නෑ මචං

    ReplyDelete
    Replies
    1. ආං එහෙම කෙනෙකුට තමා ජීවන කියන්නෙ!

      ඔය සසර බිය ආහම, අපේ ආගමේ හැටියට එයින් මිදීම ලබාගන්න කියෝන අහන එව්වායෙ තියන දේ මට තේරෙන හැටියට මෙහෙම කොටල දානව ජීවන. එක සූත්‍ර දේසනාවක තිබිච්චි සිත්ගන්නා සුලු උපමා කථාවක් මේ.

      ඔය බලාගන්න කීව අය සර්පයින්ට සමාන කරනව - වෙන විදිහකින් අපි හැදිල තියනවයි කියන ගුණ හතරක් - සොලිඩ්, ලික්විඩ්, එයා, හීට් - ඕං ත‍'මෝ වලින්ම කීවොත්! බැලන්ස් එකේ තියාගන්න ඕන; පොඩ්ඩ එහා මෙහා වුනොත් බඩු බනිස්! ඉතින් ඒක කරන්න බෑ හැමදාම කවද හරි සීස් වෙනව!
      ඉතින් කෙනෙක් ඇවිත් මේක මතක් කරල දුන්නම ඒකෙන් ගැලවෙන මගක් සොයන කෙනාට ඒකෙන් ගැලවෙන්න නොදී අර කාරියටම හිර කරල තියන පස් ආකාරයක හේතු විස්තර වෙනව. අර කී හතර දෙනාගෙන්ම හැදුනාවූ සියලුම දේවල් [රූප], විඳීම්, හැඳිනීම්, [ඒ අනුව සැකසෙන] අරමුණු, හා දැනීම් කියන කාරණා. වොචර් වාගේ ඉන්නෙ තණ්නාසෙ තමා අපේම! මේ තත්තෙන් ඉන්න මනුස්සයට හොඳ නවාතැන් තමා ඔක්කොම දහජරාව ඇතුලට ගන්න අපේ සෙන්සස් පහයි, මනසයි. හැබැයි ඉතින් ඇති දෙයක් නෑ බ්ලඩ් එම්ප්ටි! විඩෙන් විඩේ ලස්සන දසුන්, මේ වාගේ සංගීත, රහමෙර, සැන් විලවුන්, හා සුසිනිඳු පහසවල් අනේ අප්පේ ඉතිං!!. මනසත් ඉතින් මෙව්ව කෝඩිනේට් කරල දීල තාවකාලික සැප ලබල දෙනව! සීමාවක් නෑ, වෙලාවක් නෑ, කලාවක් නෑ!

      ඉතින් මේ සැප වල දිගක්, පළලක්, ගැඹුරක් ගැන දැනීමක් නැතිව, එව්වායෙම ගැලිල නැවත නැවත, ඉපදී ඉපදී, දුක් විඳ විඳ, මැරී මැරීඉන්නේ නැතිව මාන්සිවෙලා හොඳ පිළිවෙතක පිහිටිලා එතෙර වුනොත් සදා සැප, කියලයි මේකෙන් කියන්නෙ කියල පන්සිල් රකින්න උස්සාහ කරන කෙනෙක් හැටියට මට දැනෙන්නේ මචෝ!

      "ජීවන මේ ගමන සංසාරේ - යැවේනම් අන්ධකාරේ
      නොදැක ආලෝකේ - යා හැකිදෝ සොයා මාර්ගේ"

      Delete
    2. ඔන්න දැන් තේරුනා
      කව්රු කොහොම කිව්වත් අපේ මහා සංස්කෘතිය නැතිනම් ප්‍රධාන සංස්කෘතිය බෞද්ධ දර්ශනය වටා ගොඩ නැගී තියෙන්නේ. කිසිදු බේදයකින් තොරව එය ඉගැන ගැනීමට උනන්දු නොවීම ගැන මම හරියට දුක් වෙනවා.
      නමුත් ඉතිහාසය කන්නද කියූ පාලකයන් සිටි රටක වෙන දෙයක් බලාපොරොත්තු විය හැකිද

      Delete
  7. මේ උදේට අහන සිංදුවක්ද? :)

    ReplyDelete
    Replies
    1. ඇහැරෙන්ට පමා වන ඕනාම වේලාවකට හොඳා ;-)

      Delete
  8. මට නම් හිතුනේ තිස්ස අයිය සිංදු කියන එක නවත්තල සිරා කෙටි කතාවක් ලියන්න පටන් අරන් කියල.. හෙහ් හෙහ්.. ඒ අන්සේත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ ඉඳල හිටලා..



    ReplyDelete
    Replies
    1. තියන අංසත් හැන්ඩල් කරගන්න බැරිව ඉන්න කාලෙක..

      Delete
  9. සාදු...සාදු....

    සුලා...

    ReplyDelete
    Replies
    1. මොකක් නමුත් අවුලක් තිබෙනව පෝස්ට් එකේ
      නැහ්නං සුලා සාදු කියල විතරක් යන්නේ නෑ

      Delete
  10. කාලෙකින් අහන්නෙ හිත නිවන ගීයක්. මෙහෙම උපමා හරිම ලස්සනයි නෙ තිස්ස මල්ලි. සතර මහා භූතයෝ කියන සර්පයන් හතර දෙනාව සතපවමින් ඉන්න එක නේ අපි ඇත්තටම කරන්නෙ. ඒ සර්පයන් කිපුනාම විපකෙත් පේනවනෙ.

    ReplyDelete
    Replies
    1. දැනගන්නකල් නෙමේ තේරුම් ගන්නකල්ම විඳවන්න වෙනව චාන්දි අක්කෙ

      Delete
  11. විස්තරය කියවපු ගමන් එකපාරටම හිතේ ඇඳුනේ ඩාබි පුරවරය (වරදක් ද මන්දා). ඒත් ලියවිල්ල නම් සුපිරි.

    අවදිවීම කෙසේ වෙතත් යකා නටන ග්‍රහයෝ කක්ෂය වටා යහමින් විඳිද්දි තරුකැට පිරිච්ච අහසයට එවුන් දිග රාත්‍රිය විඳවනවා (විත් නෝ ඔප්ෂන්ස්) කියා හිතේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් සමකරන්න පුලුවන් තත්වයක් දැන් ඇවිත් තියෙන්නේ ඩීන් මහත්තයො

      හ්ම්ම්ම්ම්....

      Delete
  12. උදේකට අහන්න නම් අපූරු ගීයක්..

    මේ දිවිල්ලෙන් කොහොම ගැලවෙන්නද? කොච්චර දුවලා තියනවාද කියනවා නම් ඒකම සැපක් වෙලා..ගඟ ගාවට ආවත් පස්සෙන් කොච්චර කට්ටිය එලෙව්වත් එතෙරවෙන්න හිතක් කොහෙද?!!

    //ඉතින් සබඳ අවදි වෙන්න...// නිදං ඉන්න එක සැපයි අප්පා..!!!

    ReplyDelete
    Replies
    1. පුලුවං පුලුවං... පොඩියට දුවන්න පුරුදු වුණහම හරි
      ඔය දුවන්න දැන් ඕන තරම් තැන් හදල තියෙන්නේ

      Delete
  13. සාමාන්‍යයෙන් උදේට යන සිංදු සෙට් එකේ ඇති කලබලකාරි රිද්මයෙන් වෙනස් වෙච්ච රිද්මයක් ඇති නමුත් උදේට යන සිංදුවක්.බටහිර සංගීතෙ නම් උදේට යන සිංදු කියල විශේෂයක් නැහැ. උතුරු ඉන්දීය රාගදාරී සංගීතයේ නම් ගාන සමයක් කියල එකක් තියෙනවා ඒකට රිද්මයයි තනුවයි දෙකම අදාල වෙනවද මං දන්නේ නැහැ. කොහොම උනත් කලබලයක් නැතිව අවදි වෙන්න තමයි මම කැමති.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමා... ආශීර්වාද කරම්, එතකොට මේ ගීතය, සොඳුර මට සමුදෙන්න... ඕවා අපූරුයි උදේට අහන්න...

      Delete
  14. ගායිකාව - රචකයා - සංගීතය සිංදුව යටින්ම දාන්න අමතක වුණා වගේ.
    Keep up the good work !

    ReplyDelete
    Replies
    1. ඒව ටැග් විදිහට දානව (මල්ලි) එතකොට ඔය සූචියට ඉබේම අප්ඩේට් වෙනව
      සර්ච් එන්ජින් වලටත් ලේසියෙන්ම අහුවෙනව
      එනිසා ටයිට එක ගාවම තියනව ඒ විස්තර
      [මේ ජනපදයෙ ආදිපත්‍ය පතුරුවන් ඉන්න මල්ලි කියලයි උපකල්පනය කලේ ඈ]

      Delete
  15. අපි ඉස්කෝලෙ ගියපු කාලෙ ඒ කියෙන්නෙ අසූව අනූව දශකවග ගුවන්විදුලි උදාගීවල නිරන්තරයෙන් මේ ගිතය ඇහුණා. කාලයත්එක්කම මේ ගිතය යටපත් වුනා. මට මතක විදියට අජන්තා රනසිංහයන් තමන්ගෙ ගී එකතුවකුත් නම්කරල තිබුණා මේ ගීයෙන්.

    ReplyDelete
    Replies
    1. මම දයානන්ද මහත්තයගෙ අබේවර්ධන බාලසූරිය ගැන ලියැවී තිබුණු ලිපිය කියව කියව ඉන්නකොටයි මේ කමෙන්ට් එක ආවෙ.
      ඔව් අනූවෙ මුල කාලෙන් පස්සේ නැතිවෙලාම ගියා මගෙ හිතේ

      Delete
  16. ඔන්න විභීෂණ ත් මේ පැත්තට ගොඩ වුනා...නමත් රෙජිස්ටර් කළා..ඉස්සරහටත් එන්නන්,,,

    ReplyDelete
  17. ඔබේ මේ ලිවිල්ලත් හරිම අපූරුයි! මේ ගීය නම් ගෙනියන්නේ හරිම සුන්දරම අතීතයකට - පාසල් යන්නට සූදානම් වෙන හැටි - ඒ අතර මේ ගී ඇහුණ ඒ සුන්දරම කාලයට - සිතට දැනෙන සතුට නිමක් නෑ. බොහෝම ස්තුතියි!

    ReplyDelete
  18. කාලෙකින් අහපු නැති ගීතයක් අහන්න කියල බැලුවෙ .ඒත් ගීතය දැන් වැඩ කරන්නෙ නැහැ වගේ .

    ReplyDelete
    Replies
    1. මේ සින්දු අප්ලෝඩ් කරන සයිට් එක දැන් ටිකක් අවුල් වාගේ
      ඉක්මනින්ම හදන්නම් සුදසිංහ මහත්තයා - බොහොම ස්තූතියි දැනුම් දුන්නට

      Delete
    2. ඒ වගේ තමයි පෙනෙන්නෙ. ඔබ මුලින් අප්ලෝඩ්කර ඇති වටිනා ගීත බොහොමයක් දැන් රස විඳින්න බැහැ. මම හිතන්නෙ වෙබ් අඩවිය මගින් නිෂ්චිත කාල සීමාවක් පමණක් ලබාදී ඇති ගීතය රසවිඳින්න.

      Delete
    3. විනෝදයට පටන් ගත්තු මේ වැඩේ දිගටම කෙරෙන්නේ ඔබ වැනි අය නිසා සුදසිංහ මහත්තයා. ඔබත් අන්තර් ජාලයේ පැරැණි ගී රසවතුන් අතර ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්.
      මෙහෙම ඇවිත් නිවැරදි කලයුතු සොයල දෙන එකට ගොඩක් ස්තූතියි ආයෙමත්

      Delete

 
Blogger Wordpress Gadgets