බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ....


පොල් කඩන්නාට ගස පාමුල සිට පැසී ඇති පොල් හරියටම විනිශ්චය කල නොහැක. එහෙත් ඉඩමේ අයිති කරු සමග අහවල් ගෙඩි කඩමියැයි වාදයෙහි එල්බ සිටීමට ඒ නො-දැනීමෙන් අවහිරයක් නැත. පුරුදු පුහුණු වූ සමහරෙක්ට මේ කර්තව්‍යය අනුමාණයෙන් කල හැක. එසේත් නැත්නම් වෙහෙස මහන්සිවී ගස් නැගීමෙන්ම ඒ කාරිය නිසි පරිදි කල හැක. ගසේ මදක් නැගුණු විට හාත්පස දර්ශණයෙන් වශීකෘතව සිටියහොත් අදාල කාරිය නිමකරන්නට නොහැකිවනු ඇත. ඒ හැටි උස නැති තැඹිළි ගස් බඩ ගා නැග්ගද වලල්ල දා උස පොල් ගස් වලට නැගීමට ඇවැසි පරිචය මා ලබා නැත්තෙමි. තමන් ලද දැනුමක් මෙන්ම නොලද දැනුමක් ගැනද විමසිලිමත්වීම මනාය. එහෙත් ඒ අවසාන ඵලය ගැන සමග ගැටගැසුණු උවමනාව සමගින්ය.

අප බොහෝ දෙනෙක් උදේ හවා "සිස්ටම්" වල දොස් දකීමටත් ඒවාගැන දෙඩීමටත් රුචිය. තම නිවසේ "සිස්ට'න්" එක වැඩ නොකිරීම වෙනම කාරණයකි! කව්සිළුමිණ මෙසේ කියයි - "තමා වරදස නො දිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ - නුවන් තමා මුත් බැහැරැ නහමන නොදක්නේ කිම්?

ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. ඔබ බලාපොරොත්තු වෙන වෙනත් ඵල නෙලා ගැනීමට බොහෝ විකල්ප, විමුක්ති මාර්ග ඇත. උත්තරය "ඔව්" නම් එයින් මිදෙන මං පෙත කියා දුන් දිවාකරයාණන්ට ගෞරව සම්ප්‍රයුක්තවී වහ වහා ශ්‍රද්ධා, ප්‍රඥා මාර්ගයන්හි ගමන ඇරඹීම ඇති බාධාව කුමක්ද?

අද අප මෙන්ම එදා සිටි දුහුනන්ද කෙලෙස් පාදම මත සිටිමින් නන්දොඩවණ කල්හි ශාඛ්‍යසිංහයානෝ කැණිමඩල පලා මැදුර සුණු විසුණු කොට සිංහ නාද පැවැත්වූහ. දාන, සීලයෙන් පෝරුගා සකස්කල බිම් මත්තෙහි භාවනා බීජ වැපුරුවහොත්, එයට උවමනා පරිචය ලබාගැනීමේ යුහුසුලු වුවහොත්, අවසාන ඵලය බලාපොරොත්තු වූ අයුරින්ම නෙලාගත හැකිවෙනු ඇත! නිර්වාණ ස්වර්ණ ද්වාරය නිරතුරුව අප සියල්ලන් වෙනූවෙන් සපුරා විවෘතව ඇත!
ඔබ සැමට සුන්දර නිර්වාණේ අභිනන්දන සැප ලැබේවායි මේ වෙස‍ඟේ පතමි!

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් බොදු බැති ගී පෙලකි...

1. බුද්ධගයාවට ගිය ඇත්තෙක් කීවේ මේ ගීයේ තේරුම හැබැවින්ම විඳ ගැනීමට නම් බුද්ධගයාවේ අතිශය සීතල සුලං පහස විඳ බැලිය යුතුම වගකි.  ගුණරත්න අබේසේකර ලියූ "සුවදේ මට සීතල සුලඟ පවා - හිමි බුදු වුණු බුද්ධගයාවේ" ගායනය බෙග් මාස්‍ටර්ගෙනි

2. තෙරුවන් නැමදීම අපූරුවට ගද්‍යයක් ලෙස හුවා පාමින් ආචාර්‍ය අජන්තා රණසිංහ ශූරීන් විසින් ලියූ මේ ගීය ඉමහත් බොදු බැතිය දනවන්නකි. සංගීතය හා ගායනය විශාරද සනත් නන්දසිරිගෙනි;
 
"නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් - සම්බෝධිරාජ පාද පද්ම - වන්දනා කරම්
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ - නෞකාව දම් අමා වඳිම් - නමා නළල් තලේ
දෑගසව් රහත්  බුදුන්  මා සිතින් පුදා - වන්දාමි සඟ රුවන් - ගඳින් මලින් බැතින් සදා"


3. සී වීරසේකර ශූරීන් ලියූ එම් කේ වින්සන් ගැයූ මේ ග්‍රැමෆෝන් යුගයේ ගීය අදටත් එකසේම බොදු බැතිය වඩවයි;

"සිරි ගෞතම ශ්‍රී පාද වදිම් සමනළ කන්දේ - අභිනන්දන සැප පතනෙම් සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා - ආකාස තලේ වැඩ සිටි මුනි රාජා තෙදිනා
බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ - තුන් ලෝ දිනු මුනි පාද වඳිමු පතමින මෝක්ෂේ - අමර සිරිබර මෝක්ෂේ
තුම්  ගුණැති සමන් දෙවියන් පිදු සේම තිලෝනා - සිරිපාද තබා ඉඳුනිල් මිණ මුදුනේ එදිනා
ලෝ වාසි දනන් සාධු නදින පූජා පානා - ත්‍රෛලෝහිමි සිරි පාද වඳිමු නිවන් පතාලා - සිරි නිවන් පතාලා"


4. "වඳිමු සුගත ශාඛ්‍යසිංහ - සසර දිනූ බුදු පියා - රමණී මන්දාර කුසුම් - කරමින පූජා - බැතියෙන මේ ගී ගයා" අමරදේවයන් විසින්ම ලියා, තනු නිමවා, ගැයූ මේ ගියේ අග්‍රගන්‍ය භාවය කීමට අ‍ටුවා ටීකා අවැසි නැත. මෙබඳු ගී තව තවත් නිමැවේවායි - කරමි මා ප්‍රාර්ථනා!

5. "සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්" සිදුහත් කුමාරෝත්පත්තී වර්ණනාවක යෙදෙන මේ ගීය ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය. ග්‍රැමෆෝන් යුගයේ ගීයක් වන මේ ගීයේ තනුව හා සමගාමීව  එම් කේ වින්සන් විසින් "තෙල් මල් පුදා වඳිම්" ලෙසින් ගැයූ තවත් බොදු බැති ගීයක්ද වෙයි. තනුව හින්දි තනුවකි

6. "මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලං ‍රැල් පාවෙනා - සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධූ වන්දනා" කිංකිණි නාද චිත්‍රපටියට නිහාල් ජයසේන විසින් රචිත පී එල් සි සෝමපාලයන් විසින් තනු නිමවා සුජාතා අත්තනායකය මොහිදීන් බෙග් ඇතුළු පිරිස විසින් ගායනා කල ගීයකි

7. බන්දුල මල්ලිකාවගේ චරිතය අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ප්‍රකට කරවන්නකි - ඈ, යුධයට ගිය සැමියාත්, පුතුන් කැලත් ජීවිතක්ෂයට පත්වූ බව දන්වා ලැබුණු තල්පත ඉනේ ගසාගෙන යෙදෙමින් හුන් දන්බෙදීමේ කාරිය දිගටම කරගෙන ගිය බව සාහිත්‍ය පොතපතෙහි සඳහන්ය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් බඳුනක් බිම වැටී බිඳී ගියේය.  ඒ දුටු දන් පිළිගනිමින් හුන් සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. ඒ  ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා හුන් තිබුණු තල්පත  අතට ගෙන “රහතුන් වහන්ස, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම, දැස්ස අතින් ගිලිහී බිඳී ගිය ගිතෙල් බඳුන ගැන ශෝක කරම්දැ’යි කීවාලු.
"බන්ධුල ප්‍රේමී සි‍ටු කුමාරී - පංච කල්‍යාණී මල්ලිකා දේවී" - සිසිලියානා ඩයස් හා ටයිටස් පෙරේරා

8 "බුදු රශ්මිය විහිදේ - සම්බුදු සිරිපාදේ - දර්ශණ පූජනීය සමණල කන්දේ" සිරිපා සමය වෙසක් පොහොයෙන් කෙලවර වේ.  බුදු සිරි පා පහස ලැබූ සමණල කන්ද වෙස‍ඟෙහි කෙසේ නම් අමතක කරම්ද? ගායනය ලතා වල්පොල ඇතුලු පිරිසගෙනි. තනුව හින්දි චිත්‍රපටි ගී තණුවකි

9. "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයාණෝ" -  රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයකි. සංගීතය හා ගායනය ඩබ්ලිව් ඩී අමරදේවයන්ගෙනි.

10. "ක්‍රිෂ්ණජිනා ජාලිය හා" - චාගයට කොපමණ දුරක් යා හැකිද??

11."පසක් කොට ඇති සසර දුක් ගිනි - උතුම් සම්බෝධිය පතා - කෙලෙස් නේරංජාව තරණය - කලේ අප මහ බෝසතා"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ අපූරු උපමා වලින් අලංකෘත මේ බැති ගීයෙහි ස්වර සංකලනයත් ගායනයත් ගුණදාස කපුගේ සතුය

12. "තණ්හා ආශා ඔලොගු කරේලා - මගතොට නොබලා - වගතුග නොඅසා - එළිය දකින්නද මේ යන්නේ - සැපත දකින්නද මේ යන්නේ"
එක මග යන පුතෙක් හා පියෙක් ගැන මේ ගීයෙහි කියවෙයි. ඔබේ ජීවිතයටත් ඒ පිය පුතුන් බලපෑමක් කලාද?? පටාචාරා චිත්‍රපටියේ එන මේ ගීතය සංගීතවත් කලේ ලයනල්අල්ගමයන්ය - නාද තනූ මාධූර්‍යය හා ගායනය අමරදේවයන් විසින්මය

සින්දු බාගන්න...


 කලින් බොදු බැති ගී වලට මං....
ශ්‍රී මුනිඳා නමදිමු දැන් -  ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වෙසක්
සක්කාය දිට්ඨි - ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වෙසක්

20 comments :

  1. අපුරු පෙර වදනක් සමග අගනා ගී කීපයක් .

    පසක් කොට ඇති සසර දුක් ගිනි ''ගීතය තමයි මෙතනින් මා වැඩියම ප්‍රිය කරන්නේ .

    ප.ලි.

    සිංහල අවුරුද්ද , වෙසක් වැනි වැදගත් අවස්තාවල පමනද දැන් යමක් ලියවෙන්නේ

    ReplyDelete
  2. වෙසක් එකට මේ සැරෙත් ගීත දන්සලක්..
    ශා..අපූරුයි..
    බොහෝ පින්..

    ReplyDelete
  3. තිස්ස අයිය වෙසක් එකට සිංදු දන්සැලක් දීල තියෙන්නෙ.
    මං ආසම මල් සුගන්දේ සිංදුවට.

    නරකද වලල්ලක් දාල පොල්ගහක බඩගාන්න ට්‍රයි එකක් දුන්නොත්.

    ReplyDelete
  4. ස්තුතියි. මම වඩා කැමති ""තණ්හා ආශා ඔලොගු කරේලා ", ""පාරමිතා බල පූජිත", ""මල් සුගන්දේ දම් සුගන්දේ", ""සුවදේ මට සීතල සුලඟ පවා" යන ගීත වලටයි. මොහිදීන් බෙග් ගෙ "එමවිට පවනු මුවින් ඔබේ" ගීය මග හැරුනාද?
    //ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. //
    එමෙන්ම විවේචනය කරමින් කාලය කා දැමීමෙන්ද වලකින්න යැයි එක් කළ යුතුයි.
    මැණික්

    ReplyDelete
  5. උපමා උපමේය අනර්ඝයි, උත්කෘෂ්ටයි.!! දන්සල දුන්නාට බෝම පිං.!‍!

    @ මැණික්,

    බුදුදහම ගැන කිසිම දැනීමක් නැති, ඒ ගැන කිසිම උනන්දුවක් නැති, ඒ ගැන ඉගෙනගන්න ආසාවකුත් නැති උදවිය තමා අද කාලෙ වැඩියෙන්ම බුදුදහම විවේචනය කරන්නෙ.. ඔය ගැන විස්සෝප වෙලා වැඩක් නෑ.. ඔහොම අය බුදුන්ගෙ කාලේ පටන්ම ඉන්නවා..

    ReplyDelete
  6. දාල තියෙන ගීත වගේම පූර්විකාවත් අගෙයි තිස්ස..

    ReplyDelete
  7. පූර්විකාව බොහෝ සිත් ගත්තා. ගිය වසරේ ගීත දන්සැල මතක් වුනා. මේ ගීත සමුච්චිය අහන්න වෙන්නේ පස්සේ වෙලාවක.

    මේ පුංචි ලෝකය මෙත්, මුදිතා, කරුණා බලෙන් බැබලේවා!

    ReplyDelete
  8. ස්තුතියි තිස්ස අයියා, :)

    ReplyDelete
  9. තිස්ස, තිස්ස,
    මේ බැති ගී හැර තවත් බැති ගී තිබේද?

    ReplyDelete
  10. අගනා ගි සමුච්චයක් ගැන හොද සටහනක්.

    ReplyDelete
  11. කලින් ඒවා වගේම මේ කලෙක්ෂන් එකත් සුපිරියි.

    පොඩි ප්‍රශ්ණයක්. මේ මාතෘකා සින්දුව කියන ගායකයා (ඇම් කේ වින්සන්) හරියට වචන උච්චරණය කරන්නේ නෑ නේද?

    මට ඇහෙන්නේම "සිරි ගෞතම ශ්‍රී පාද වදිම සමනොල කන්දේ" කියලාමයි. සමහර විට වදිමු වෙන්න ඕනෑ පදමාලාවේ තියෙන්නේ. ඒ පේලියේම මට ඇහෙන්නේ පතමින් සුන්දර නිර්වාණේ කියලායි. ඒක නං හරි වචනය වෙන්න ඕන (පතනෙම් නොව). ඒ සමගම සිරිබර මෝක්‍ෂේ නොව සිරිධර මෝක්‍ෂේ කියලායි ගයන්නේ. ඒකත් නිවරදි වචනය වෙන්න ඕනෑ.

    දුල් සල් වෙනේ ලකල් කියන සින්දුව අපේ අම්මා කියනවා අහලා තියෙනවා මිසක් අද වෙනතුරු අහලා තිබුනේ නෑ. ස්තුතියි.


    ReplyDelete
  12. සිංදු ටිකට ‍‍බෝම ස්තූතියි තිස්සයියා...

    බොදු බැති ගී වලින් මම ගොඩක් කැමති සිංදුවක් තමා "රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියපු, ගුණදාස කපුගේ ගූරීන් ගායනා කරපු

    "පිහිටක් නැති - සරණක් නැති
    සතුටක් ඇති - මුහුණක් නැති
    මේ සසර දනවුවේ - අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා - බුදුහාමුදුරුවනේ......!"


    ගීතය...

    ReplyDelete
  13. තිස්සගෙ අපූරු ගීත සමුච්චය අහමින් මගෙ අලුත්ම කතාව ලියනවා...බොහොම ස්තූතියි තිස්ස

    ReplyDelete
  14. බොදු බැති ගී කලාව හිතට දැනෙන විදියට වෙනස් වුනේ රඹුකන හාමුදුරුවෝ ලියූ ගිත සහ ප්‍රේම් වික්ටර්ට ලියූ ගිතවලින්.

    මේවායින් පාරමිතාබල, පසක්කොට ඇති,සහ නිර්වාණ ස්වර්ණ ගිත සදාකාලිකයි.මමත් හැමතිස්සෙම වුනත් අහන්න කැමතියි

    ReplyDelete
  15. ගොඩක් හේතු නිසා මේ සැරේ හිතේ ඇතිඋන බොදු ගී පිපාසය, සන්සිඳුනි . ස්තුතියි .
    පාරමිතා බල ...මා කැමතිම ගීයක් ...ඒ වගේමයි " ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ..." .

    තිස්ස අයියා දන්සැල් දුන්නා වගේ නෙමෙයි ...ලයිසන් අරගත්තද ? කහ කොඩියක් දාලත් නෑ .
    ඔන්න අපි දන්නේ නෑ

    ReplyDelete
  16. ශ්‍රීමාල්May 25, 2013 at 11:12 AM

    බලාගෙන හිටියෙ මේ සැරේ වෙසක් බැති ගී ටික එනකල්.
    පිං සිද්ද වෙනව.

    ReplyDelete
  17. මම නම් ආසම අර අන්තිම සිංදුවට. හරිම ලස්සනයි.

    ReplyDelete
  18. සබ්බ දානං ධම්ම දානං ජිනාති.

    ReplyDelete
  19. බොහොම පිං තිස්ස මල්ලි. මම මේ ටික කියවලා ගියාත් කමෙන්ටුවක් දමන්න බැරි උනා අවිවේකී බව නිසා. අනෙක මාසෙ අන්තිම වෙන කොට හැමදාම මේ නෙට් නකෙන්ක්ෂන් අවුල් වෙනවා. හරිම වදයක්. හිත නිවෙන ගී සමුච්ඡයට ස්තූතියි!

    ReplyDelete
  20. මේ සිංදු වල ඔර්ජිනල් වර්ෂන් ඇහුවේ අදමද මන් ද ... තිස්ස අයියගේ බ්ලොග් එකට ආවෙත් සෑහෙන කාලෙකින්..

    ReplyDelete

 
Blogger Wordpress Gadgets