දොං දොමිකිට දොඹ මල උඩ....

යාලු මිත්‍රයන් සං‍තෝසෙන් ඉන්නකොට ඒ සං‍තෝසේ අපේ හිත්වලටත් කාන්දුවෙනව. ඒත් ඒකෙ අනෙක් පැත්තත් එහෙම්මමයි. සතුට බෙදාගන්න ලේසියි. ඒත් දුකක් අවංකවම බෙදාගන්න නම් ටිකක් මෝරපු හිතක් ඕනෙ. සමහරු උප්පත්තියෙන්ම මේ වාසනා ගුණය අරන් එනව. ඒ අයගෙ යාලුවන්ට ඒ වාගේ අය මහ මෙරක් වාගෙ.

අනෙක් අයගෙ දුක බෙදාගන්න එකේදි මම දුර්වලයි කියල මට තේරුණේ මෑත කාලෙදි. ඒකට හේතුවුනේ වුණෙ මගේ දුක් කරදර බෙදාගත්ත යාලුවන්ගේ දුක් කරදර වලදි මම වැඩ කරපු නරුම විදිහ ගැන ආපහු හිතල බලාපු නිසා. යාලුවන්ගේ හොඳකමට උන්දැල මාව අතෑරල ගියේ නෑ. මගෙන් එහෙම දෙයක් නූන ගානට අදත් මගෙ දුක සැප විමසනව. ආයේ ආයේ කල්පනා වෙනකොට ලැජ්ජත් හිතෙනව.

ඉතිං වෙලාවකට යාලුවෙක් ඇවිත් කථාවකට මුල පුරල තමන්ගේ හිතේ ගින්න එළියට දානව.
ඔන්න මගේ නොඉවසිලිමත්කම එළියට පනිනව.

"ඇයි ඒක එහෙම වෙන්න දීල බලන් හිටියේ..?"
"ඔයාට මෙහෙම කරන්න තිබ්බනේ...?"
"ඇයි ඔච්චර දවසක් ගියාද ඕක තේරුම් ගන්න..?"
"ඔයා ඔයාගේ හිත තේරුම් ගන්න ඔක්කෝටම ඉස්සෙල්ල.."

ඔන්න ඉතින් මම කියාගෙන කියාගෙන යනව. අර මනුස්සයට කොරේ පිටට මරේ වගේ ඇති කියල අම්මප ඒ වෙලාවට මට තේරුම් යන්නැති හැටි. දවසක් කෙනෙක් මට බොහොම කරුණාවෙන් කීව "මම මෙව්ව ඔයාට කියන්නේ උත්තර අහගන්න නෙමෙයි...., මට මෙව්ව කෙනෙක් එක්ක කියාගන්න ඕනෑ නිසා... මේව අහල මේ චරිත ගැන විග්‍රහයක් ඔයාගෙන් බලපොරොත්තු වෙන්නේ නෑ මම..." දෙයියම්ප ලැජ්ජ හිතුණ! ඒත් වැඩක් නෑ - ඒ වෙලාවට විතරයි!

ඊයේ පෙරේදා දවසකත් ඔන්න තවත් කෙනෙක් බොහොම පීඩාවට පත් වෙලා හිතේ ගින්දර වචනයට පෙරළුව. අතෑරියේ නැද්ද බෝම්බ ටික!! වැඩේ කියන්නේ ප්‍රස්නෙ තියන මනුස්සයට වඩා මට කේන්ති යන එක. ඒ මනුස්සය ඇඬුම් බරව කථාව නැවැත්තුව. ඇයි පොඩ්ඩක් ඉවසිලිවන්තව අර ගින්දර ටික පිට කරගන්න කල් අහගෙන හිටියෙ නැත්තෙ කියල පස්සේ හිතුන. හැම ප්‍රස්නෙකටම උත්තර සපයන්න උවමනාවක් ඕනෑ වෙන්නේ නෑ නෙව, මනුස්සයෙක් ප්‍රස්නයක් කීවම. ඒත් මෙව්ව ඒ වෙලාවට මතක් වෙන්නැති හැටියක්!!

කවුද කියන්න වාගේ ගොඩක් ආවේග කාලයත් එක්ක සංහිඳිල යනව. තමන්ගෙ ප්‍රස්නත් එක්ක මිනිස්සුන්ට ආවේග ගොඩ ගැහිල ඒවත් එක්ක පොරබදන කොට පොඩ්ඩක් හරි, අනේ අපොයි නොකීවත්, ඒ ප්‍රස්නවලට උත්තර  සොයා නොදුන්නත්, නිස්කලංකව අහගෙන ඉන්න එකත් කොච්චර වටිනවද?  මම පුරුදු වෙලා තියෙන්නේ මට ඔව්ව ගොඩගැහුනම බුකවගෙන ඉන්න එක. මොකෙක් එක්කවත්  ගණුදෙනුවක් නැතිව. ඒත්..... මගේ හැටි දන්න අර හාදයෝම - අර මගෙන් දුක කියන්න ඇවිත් ලුණු  ඇඹුල් එක්ක අහගත්තු අය - "හිත කරදරෙන් නේද ඉන්නේ?... උත්තර නොලීවට කමක් නෑ...  අපි ඉන්නව ඕනෑ වෙලාවක... අවශ්‍ය නම් කථා කරන්න... I know how you feel..." ලියුමකින් නැත්නම් SMS එකකින් හරි දන්වල අහනව. තවත් සමහරු කෙනෙකුට කියනව "අන්න... පුලුවන්නම් පොඩ්ඩක් ගිහිල්ල බලන්න - මේ දවස්වල බුම්මන් ඉන්නෙ.." කියල. උන්ට සෑහෙන පාඩුයි මේ මිත්‍රත්ව ගණුදෙනුවෙන්(?). ඒත් අදටත් එදා වගේම මා එක්ක ඉන්නව මිතුරු කමින්.

ඉතින් සමාවෙන්ට ඕනෙ. සමාව ඉල්ලන්ට මීට වඩා හොඳ කාලයක් තියේ? උත්සහ කරන්නම් මීට වඩා හොඳ මිතුරෙක් වෙන්න. පහුගිය කාලේ මම හිත රිද්දුවනම් ඉතින් හිතල මතල සැලසුම් කරල නෙමේ කලේ. ඔය වැඩිදුර හිතන්නේ නැතුව එළියට දාන වචන හින්ද වෙන දේවල්. ඉස්සරහටවත් මේව්ව මීට වඩා මේච්චල් වෙයි කියල හිතමු.

පහූනු කාලේ පුරාම මට හැබෑ මිතුරන් වුණු නුඹලාට බොහොම ස්තූතියි ඉතින්...!!!
අත්දෙක වන වන එන්න බැරි හින්ද තමුන්නැහැලට දෙන්න ගන්න තෑගි හැමතැනම හෙව්ව;
ඒත් "හොඳ හිත"ට වඩා ගැලපෙන, වටින තෑග්ගක් සොයාගන්න බැරිවුණා ආයිබොවංඩ...!!!


ඕන්නම් බාගන්න...

27 ප්‍රතිචාර:

RanDil said...

මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක මං එක

මාරයාගේ හෝරාව said...

ඔහොම බැහැ අරං වරෙං බුලත් අතකුත්...:D

RanDil said...

මටත් ඉතිං එක පාරක් තල් අත්තට බොරළු හැළුවා වගේ කිව්වා තමයි... ඒත් අයියා එක්ක යමක් කියලා මට නං හැමදාම වගේ ලැබුනේ හොඳ ම හොඳ උපදේසයක් තමයි....... අය්යාටත් හද ගී පොතේ සැරි සරන හැමටත් ලබන්නා වූ අවුරුද්ද සුභ වේවා !!!

RanDil said...

මාරයියා, මෙන්න බුලත් අත....... :)

http://goo.gl/TjrP7

දුකා said...

මමත් ගොඩක් වෙලාවට කරන්න හදන්නේ මම හරියටම කවුද කියලා හොයල බලන එක . . තාම හරි උත්තරයක් නෑ .. හොයමින් පවතිනවා . . .

මගේ යාලුවෙක් හිටියා (ඉන්නවා) බොහෝම හොඳ මනුස්සයා . . ඒත් මල අතේ තියන් ඉන්නේ . . .

මිනිස්සු හැමෝටම එක එක ජාතියේ ප්‍රශ්න තියෙනව . . ඒත් යාලුවෝ ආශ්‍රය කරන්නේ ඒ ප්‍රශ්න අමතක කරලා සතුතෙන් ඉන්න . . . ඉතිං අපි ලඟට සතුට හියන් එන කෙනාට දෙන්න සතුටක් අපි ලඟ නැතිනම් ඒ අය මිතුරු කමත් අරගෙන සතුට හොයන් වෙන කා ලඟට හරි යනවා . ..

අර යාලුවට වෙන්නේ ඒක . . . ඌත් එක්ක හැමරාම රන්ඩු වෙච්චි මම් දැන් ඒ උගේ හැටි කියලා 100% ම මගේ එකවුන්ට් එකේ ඌ ගැන තිබ්බ තරහා බොල් නය කපා හරිනවා වගේ කපා හැරලා ආපහු සුපුරුදු මිතුරුකමින් . . . (බිඳුනු වීදුරු ඇලෙව්වාම තියෙන ඉර ලාවාට් පෙනවා ඒත් . . හික්ස්)

මිනිස්සු යාලුවෝ ඇසුරු කරන්නේ තමන්ට කාත් එකක්වත් කියන්න බැරි තමන්ගේ හිත පෙලන වේදනාවල් කියලා හිත සැහැල්ලු කර ගන්න . . .

එහෙම හිතලා කියපු දේවල් අනෙක් පැත්තට එලියට ආවොත් "වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ දැනේ නේද බන් . . "

වැරදි අඩු පාඩු නති පර්ෆෙක්ට් මිනිස්සු ලෝකේ කොහේද බන් ඉන්නේ . . .

එහෙම ඒවා තියෙන නිසානේ අපිට මිනිස්සු කියන්නේ . . .

ගනන් ගන්න එපා . .

සුභ අලුත් අවුරුද්දක් වේවා ඈ . .

TG said...

මේ පෝස්ට් එක කියෙව්වම මම ලියන්න හිටි දෙයක් තිස්ස ලියල කියලයි මට හිතෙන්නේ.

කෙනෙක්ට හොඳ යාලුවෙක් වෙන එක ලේසි වැඩක් නෙවේ .ඒකට හොඳ ඉවසිල්ලක් , අහන් ඉන්න හැකියාවක් , යාලුවෙක් වෙනුවෙන් වෙලාවක් කාලය ආයෝජනය කරන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ .අමාරු ප්‍රශන වලට උත්තර හොයද්දි තමයි යාලුවො ඕනෙ වෙන්නේ . පුද්ගලිකව ගත්තොත් ෆේස්බුක් වගේ ගොඩක් සමාජ ජාල වල යාලුවො ඇඳුනුම් කම් ගොඩක් තිබ්බත් කරදරේකදි දුකකදී අපිට හැමෝටම කියන්න බෑ .විස්වාසය , නිවැරදි උපදෙසක් උදව්වක් දේවි කියන හැඟීම,පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම කියන කාරණා උඩ අපි යන්නේ තෝරාගත් යාලුවො ගාවට අපේ ප්‍රශ්න අරන් . බොහොම වෙලාවට මම එහෙමයි .සමහර ප්‍රශ්න වලට ඔක්කොම උත්තර යාලුවන්ට දෙන්න බැරි වුනත් ඉවසිල්ලෙන් අහන් ඉන්න එක ,ලඟින් ඉන්න එක ලොකු දෙයක්.මගේ ඉතාම මෑත අත්දැකීමක් නිසා එහෙම කියන්නේ. යාලුවො තුන්දෙනෙක් දිවා රෑ ලඟින්ම හිටිය නිසා යම් ප්‍රශ්නෙකට උත්තර හොයන්න මට ලේසි වුනා .ලොකු හයියක් වුනා .

ඒ වගේම තව දෙයක් ඉඳ හිට යාලුවන්ගේ මූඩ් එක මොනිටර් කරන එක හව් ආර් යූ කියලා එස් එම් එස් එකක් කෝල් එකක් දාන එක .හැමෝම එකවර ප්‍රශ්න කියන්නේ නෑ .දුක හිතේ තියන් ඉන්නවානේ

සමහර වෙලාවට තව දෙයක් තේරුම් ගන්න ඕනේ .නිකන් යාලුවන්ට බනින්න නරකයි අපේ කරදර තේරුම් ගන්නේ නෑ උදවු කරන්නේ නෑ කියලා . අපි අසතුටින් හිටියත් යාලුවො සතුටින් ඉන්න වෙලාවක ඒ අයට ටිකක් කාලේ දෙන්න වෙනවා අපේ ප්‍රශ්නය තේරුම් ගන්න .ඒ වගේම අපි නොදන්නවා වුනත් යාලුවටත් කරදර ගොඩක් නිසා අපිට උදවුවක් කරන්න බැරි වෙලාවල් එනවා .මේ සීමා ගැන ගැන අවබෝධය වැදගත්

යාලුවෙක්ගේ හොඳ හිත එක්ප්ලොයිට් කරන්න නරකයි .ඕනෙවට වඩා අපේ ගැටලු ගැන යාලුවෙක්ට බරක් දෙන්න බෑ සමහර දේවල් වල අවසාන වගකීම අපි ගන්න ඕනේ . ඒ වගේම යාලුවෙක්ට පේන් ඉන් ද නෙක් වෙන්නත් නරකයි .සමහරු හිතන්නේ හොඳ යාලුවෙක් කියන්නේ එක වගේ අදහස් , ඉන්ටරෙස්ට් තියෙන අයට කියලා .එහෙමම නෑ .අපිට යාලුවො පාලනය කරන්න බෑ .ඒක අපි තේරුම් ගැනීමත් වැදගත්

නලිනි චන්දිමා said...

හිතවතෙක් ප්‍රශ්නයක් කියනකොටම ඒකට උත්තර සපයන එක මනුස්ස පුරුද්දක් මම හිතන්නෙ. තමන් අනික් පැත්තෙ ඉන්නකොට තමයි එහෙම ඕනෙ නෑ කියන එක තේරෙන්නෙ. මම ළඟදි දවසක ඔහොම දුකක් කියන්න ගිහින් අනික් මනුස්සයගෙන් බැනුම් වැලක් අහ ගත්තා: මොකටද ඔහොම මෝඩ වැඩ කරන්නෙ, මොකද අනුන්ගෙ වැඩ කරන්නෙ; මොකද අනික් පැත්තට කතා නොකරන්නෙ; මෝඩකම් කරලා ඊට පස්සෙ කියන්න එන්න එපා.... අන්තිමට මම හිටියටත් වඩා හිත අමාරු කරගෙන කෝල් එක තිබ්බා. :D
කොහොම වුණත්, දුක අහන එක යාළුකම්වල එක පැත්තක් විතරයි. අනික් හුඟක් දේවලින් ඒ යාළුවා හොඳනම්, ඔය එක දෙයක් නිසා අපි ඒ යාළුවව අතාරින්නෙ නැහැනෙ.

රූ.... said...

යාහළුවෙක්ගෙ දුක් පීඩා සාධාරණව අහන් ඉන්න නම් සෑහෙන ඉවසීමක් ඕන වෙනවා..ඒත් හැමවෙලේම ඒ ඉවසීම තියේ කියලා හිතන්න බෑනෙ...

කොහොම වුනත් තිස්සටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..

හරී - පිණිපළස said...

මේක කියෙව්වම මට මතක් උනේ පුංචි කාළෙ ඉඳන් අද දක්වාම දුක සතුට බෙදා ගන්නා මගේ දයාබර මිතුරියක්, ඒ වගේම පසු කාලෙකත් හමු වෙච්චි කිහිප දෙනෙක්, ඉතා මෑතකදි හඳුනා ගත්තු පිරිසක්.
ඇයි මෙහෙම කරේ කියලා අහන එක මගෙ පුරුද්දක්, හොඳද නරකද මන්දා. මුණූපොතෙන් හැරයන යාළුවො වගේ හොඳ යාළුවො සැබෑජිවිතේදි අපි හැර යන්නෙ නෑ, වරදක් නම් පෙන්නලා දෙනවා, සතුට වගේම දුකත් බෙදා ගන්නවා. අර අයියා පෙන්නලා දුන්නා වගේ උපතින්ම මිතුරුකමේ වාසනා ගුණය තියෙන මිනිසුන් ඇසුරු කරන්න ලැබීම මගෙත් පිනක්.

Gimhani said...

මේ දවස් වල බුම්මගෙනද ඉන්නේ වැඩිය පේන්න නැත්තේ ?
තිස්ස අයියා ඇතුලු සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් පතනවා !.

නිශ් said...

:)

Praසන්ன said...

තිස්ස අයියටත් සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!

අභීත said...

මිනිස්සුන්ගෙ දුක අහන්න, මිනිසුන්ගේ දුකට පිහිට වෙන්න මමත් හරි කැමතියි තිස්ස අයියේ... නමුත් පිට පිට සිදුවුන සිදුවීම් කිහිපයක් නිසා ඒ කැමැත්ත සෑහෙන ඈතට ගියා... හැමදාමත් ඔබේ වදන් අපේ රිදුනු සිත් සුවපත් කරනවා.. ඒකම මදැයි...

Podi Kumarihami said...

මම හිතුවේ කට්ටිය අවුරුද්දට රබන් ගහනවා කියලා.
ඔබටත්, අර නිලිය සහ පවුලේ සැම දෙනාටමත් සුබ අලුත් අවුරුද්දක්!!!

ගල්මල්-Coral said...

ඔය හොඳහිත අපිට ලැබුණ වටිනාම තෑග්ගයි සහෘදයා.

ගෙවෙන අවුරුද්දත් එක්ක පරණ දේවල් පා කරලා ඈතට යවලා අච්චර බලවත් හිරු රාජයාත් අලුතෙන් ගමන පටන් ගන්න සංක්‍රාන්තිය එක්ක යමු ඉදිරියට.

ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ හා පවුලේ අයටත්, හද ගී පෙතේ දී හමුවෙන සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!

ජීවිතේ මල් said...

අයියා....
මට නම් ඔබේ මේ කෙලින්ම කියන පුරුද්ද ගැන කියන්න තියෙන දේ අවන්කවම කියනවා ඔන්න...

හප්පා... හිත රිදෙනවා තමා. ඒත් මට නම්, කෙනෙක් වරදට පෙලඹෙන එක වලක්වන්න මුලු හදවතින්ම- එක කෙලින්ම තමුන්ගෙ මතය කියන සහෝදරයෙක් කියන්නේ මැණිකක්.... තිස්සයියා ඒක නම් අමතක කරන්නම එපා... මම ඉල්ලනවා ඒ නිසා ඔයාගෙ ස්වභාවය හරියටම හරි. ඔයා ඒක කරන්නෙ සාධු චේතනාවෙන්...

සමහර වෙලාවට ගොඩ දෙනක් ' අනේ මන්දා' බ්ලා බ්ලා කියනවාඅ. 'මට තෙරෙනවා' කියනවා... ඒත් අපිට වැරදෙන තුරුම ඒ අයත් අසරණයි.

ඒත් අයියා ඔයා ...? ඔයා කිසිම දාක කෙනෙක් වලට වැටෙනකල් ඉඳලා 'මන් ඕක කිව්වා' කියල කියන්නෙ නෑ. සැරෙන් හරි. කෙලින් හරි , තදින් හරි... කියන්න තියෙන දේ කියනවා. ඒ නිසාම අනිකා වලෙන් ගොඩ එනවා.

පොඩි සිත් රිදුම ලොකු විනාසෙකට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඔයාගෙ අවංක වදන් නිසා තරමක අපහසුවක් දැනුනත් , ඒ කෙනා ජීවිත කාලෙම කෘතඥ වෙයි තමුන්ට හරි කෙලින් උපදෙසක් දුන්නු සහෝදරයෙකුට...

මම හරි නේද? :-)

නිලන්ත පියසිරි said...

දයාබර තිස්ස, අහගෙන ඉන්න එකත් කලාවක් නොවැ. ඒක ඉතිං ප්‍රගුණ කරන්න ඕනේ. ඒක ලෙහෙසියෙන්ම සහජයෙන් එන්නේ නැහැ. විශේෂයෙන් පිරිමි අපේ ඔය අහගෙන ඉන්න ඉවසන බොත්තම නැහැ මං හිතන්නේ. යාළුවෙක් ප්‍රශ්ණයක් කිව්ව ගමන් අපි ඒකට විසඳුමක් දෙනවා නේද? "හරි මචං මෙහෙ කරපන්, එහෙම නැත්තන් මෙහෙම කරපන්". ඒක අපේ විදිහ. 1-2-3 වැඩේ ඉවරයි. ගොඩක් යාළුවොත්, ප්‍රශ්ණයට විසඳුමක් ලැබුනා නම්, තෘප්තිමත්. හැබැයි, ඕක බිරින්දෑට කරන්න ගිය දවසට තමයි අමාරුවේ වැටෙන්නේ. අපිට ප්‍රශ්ණේ කියන්නේ, උත්තර බලාගෙන නොවෙයි. ඒ කියන්නේ දුක කියන්න. හොඳම වැඩේ හාර හාර අහගෙන ඉන්න එක. මම මුලදී හිතුවේ, ප්‍රශ්ණේ කියපු ගමන් විසඳුම දුන්නහම ඉවරයි කියලා. ඉස්සර මට සොඳුරිය ප්‍රශ්ණයක් කියපු ගමන් ටක් ටක් ගාලා විසඳුම් දෙනවා. දීල ඉවර වෙලා මම තමයි පොර කියලා හිතාගෙන ඉන්නවා. අපොයි, මෙන්න උන්දෑ තරහා වෙලා. දැන් මම දන්නවා, ප්‍රශ්ණේ කියනකොට කවදාවත් විසඳුමක් දෙන්නේ නැහැ, කියවලා කියවලා, අඩලා දොඩලා කුණු කුණු ගාලා ඉවර වුනාට පස්සේ එයාම විසඳුම කියලා එයාම විසඳනවා. අහගෙන ඉන්න එක විතරයි තියෙන අමාරුව. ඒක තමයි ඉතිං දුක බෙදා ගැනිල්ල. තිස්ස, ඔයාගේ හැම ලිපියක්ම මගේ ජීවිතය ඇතුලේ මොකක් හරි පැත්තක් ඉදිරියට ගන්නවා. බොහොම පිං. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ සිංහල අළුත් අවුරුද්දක් වේවා!

Beetle said...

සුභ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා...!

ItalyDilan said...

තිස්ස අයියා දවසක් මට එක අවවාදයක් දුන්නා,,, මට අද වගේ මතකයි, පොඩ්ඩක් පහු වෙලා හරි ඒ අවවාදේ පිළිගත්තා මම... සුභ අලුත් අවුරුද්දක් තිස්ස අයියේ

තිස්ස දොඩන්ගොඩ said...

ඕ ඕ ඕ...තෑගි මලු මලු අරන් ඇවිත්... සතුටුයි සතුටුයි බොහෝම...
යාලුවෝ වැඩේ දෙතුන් පැත්තකින්ම කවර් කෙරුවනේ...
සෑහෙන කලක් තියාගත හැකි තෑගි...
ගිම්හානි හිනාත් ගැස්සුව මාව...
අවුරුදු තෑගි වටේ යනව සමහර වෙලාවට - මාත් ඔන්න ඒ වාගේ නිශ් ගේ හිනාව ජීවිතේ මල්ට දුන්න....!!!

එහෙමනම් ඔන්න වහෙන් ඔරෝ කීව සුභපැතුම - සුභ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම.....!!!

සින්දුවත් අහන්න - ලස්සනම සින්දුවක් - අවුරුද්ද ගැන වචනයක් වත් නොකිය අවුරුදු අසිරිය හිතට ගේනව

Bindi said...

දැන ගත්තු එක හොඳයි..D . ඔබ තුමාගේ ගෝල බාලයොත් ඔය වගේම තමයි . මේ ලඟදි මගේ බ්ලොගය අතුරුදන් වුනා . මන් වේලාසනින්ම කිව්වා ඔන්න බ්ලොග් එක නැති එක මදිවට බැනුම් නම් අහන්න බැහැ කියල .

එව්වා මොනවා වුනත් ''කිරි පැණි ඉතිරෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !!!!

Dude said...

ඔන්න ඕවා අල්ලලා දාපං මචං. වාසනාවන්ත සුභ නව වසරක් වේවා පවුලේ සැමට!

henryblogwalker the Dude

ජීවිතේ මල් said...

හිනාව ලැබුනා... ස්තූතියි නිශ්..+ තිසයියා... :-) හේ හේ.

අයියේ... සුබ නව වසරක් වේවා ! ඔබ ඇතුලු පවුලේ හැමෝටම !

සරත් ලංකාප්‍රිය said...

සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පටන් ගන්නම්.. වෙනස්වෙන්න ඕන කියල තේරුම් ගන්න එක තමයි පටන් ගැනීම.. අඬන්න උරහිස දුන්නටම මදි.. අඬල ඉවර උනාම හිමිහිට ඊළඟ දේට දෙන්න පුළුවන් උපදෙසයත් දෙන්න ඕනා.

Pathum Herath said...

සුභ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා ඇතුළු පවුලේ සැමට...අනේ මටත් ඔය ගතිය තියෙනවා නේ.. දන්න තියරි ටික ඔක්කොම දාල අවවාද දෙන එක ඔටෝම වෙනවා.. පස්සෙ තමයි දුක හිතෙන්නේ... අපරාදේ කියන්න බෑ මම කියන ඔක්කෝම කිසි සද්දයක් නැතුව අහගෙන ඉන්න තරම් ඉවසීම තියෙන කෙනෙක් ව ලැබිල තියෙනවා..මම ම දුක හිතිල ආයේ කතාකරනවා.. හිහි..

වර්ණා said...

මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

NJ ranGO said...

අද උදේ තිබුණු lecture ඒකක දීත් මේ කතාව ම කිව්වා. ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ,, ඒත් මට ලියන්න ඕන කරලා තිබුණු ටික එහෙම්ම ලියවෙලා හින්දා අමුතුවෙන් දෙයක් ලියන්න නෑ..
ජය!

Post a Comment

 
Blogger Wordpress Gadgets