මා ලඳ වත, තාරපතී අඳුරේ ලාපී...


"Beauty is only skin deep..." කියලා ඉංගිරිසි කියමනක් තියනවා නෙව.... Temptations නැමැති ගායක කණ්ඩායම ගයන පරණ සිංදුවකුත් තියනවා එම නමින්ම... කථාව ඇත්ත...මිලිමීටර දෙක තුනක් සිරුර ඇතුලට ගියහම, ඇසෙන් දු‍ටු "ලප නොමවන් සඳ සේ සොමි බව" සැනෙන් අතුරුදන් වෙනවා.... නමුත් හිතේ ඇඳුනු ලස්සන එහෙම අතුරුදන් වෙයිද...? ගායක හෙන්රි කල්දේරා විවාහ වුනේ තවත් එවැනිම කාන්තාවක් සමගම... දෙදෙනාටම දෙදෙනා නුදු‍ටු ඔවුනගේ ලෝකය ගොඩ නැගෙන්නට ඇත්තේ සවනේන්ද්‍රියත් ස්පර්ශයත් මුල්කරගෙන වෙන්නෑති.... එතකොට අපි කියන ලස්සන නෙවේ නේද ඔවුනට එකිනෙකා ගැන ඇති ලස්සන...? කාලයත් එක්කම රූපය නොදිරන්නේ කාගේද...? නමුත් සිතේ ඇඳුනු සුන්දරත්වය මරණය කරාම ගෙනියන්න පුලුවන්නම්... දවසක් සේවා ස්ථානයේදී ලැබුණු ඉසිඹුවකදී කරන්නට යෙදුනු අල්ලාප සල්ලාපයකදී (මෙතැන විවිධ රටවල අය මොහොතක විරාමයක් ගන්න තැනක්... ගැහැණු පිරිමි කවුරුත්..) ඔය බොලිවූඩ් නිලියන්ගේ ලස්සන ගැන කථා බහක් ආවා... කථා කරන්නට මට ලැබුනු අවස්ථාවේදී මම කීවේ "For me, my wife is the most prettiest person ..." කියලා... ගැහැණුන් ඉඟි මරණ අතරේදී ඉන්දියානු ජාතික ඉංජිනේරුවරයෙක් (අවාසනාවට මට මුණගැහුනු බොහෝ ඉන්දියානු ජාතිකයින් තවමත් හිතන් ඉන්නේ ලංකාව ඔවුන්ගේ නොනිල ප්‍රාන්තයක් කියා...!!!!) මගෙන් කට කොනකට නගාගත් උපහාසාත්මක සිනාවකින් යුතුව අහනවා "Oh really...? So was she Miss Sri Lanka..."  කියා...  අවසන් තේ උගුර මුවේ රුවාගත් මම මෙහෙම පිලිතුරු දුන්නා... "No way...she was The Miss World...Sri Lanka is a small country no...?" කලින් ඉඟි මැරූ කාන්තාවන්ගේ හිනහව මහහඬින් එලියට පනිද්දි මම රෙස්ට් රූම් එකෙන් එලියට ආවා... මා කී දේ ඔහු තේරුම් ගත්තාදැයි නොදනිමි.... දවසක අප සියල්ලන්ම ජරාවට යනු ඇත...එයට පෙර රෝගී වනු ඇත... සුදු ඇතිරූ රෝහල් ඇ‍ඳෙහි වැතිර, අසරණව සිවිලිම දිහා බලා ඉන්නා වේලාවේදී, සැබෑ සුන්දරත්වය කුමක් දැයි තේරුම් යනු ඇත.....

මා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී...
ලාක්ෂණ වී...

මුකුළිත වේය...
සුපුෂ්පිත පද්මය....
පවසන මියුරු එ ගී නදැසූ...
බෘංගයෝ තාම රසේ...
විලී වැදී...
හැංගී ඇතී...
මාරම්බරී යං රෑ බෝවී...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

(මේ ගීත කුඩා හෝ ඉයර් ෆෝන් යුගලයකින් අහන්න පුලුවන්නම් ලස්සන තවත් තීව්‍ර වී ඇසෙන බව මට හැ‍ඟේ...)

27 ප්‍රතිචාර:

Anonymous said...

අනේ පව් රාණි මුඛර්ජි...

Shadow/හේමලයා said...

මලේ ලස්සන පරවෙන තුරු විතරයි කියන ඔය ඇත්ත...අපිට කොයි තරම් කීවත් තෙරුම් ගන්න හැකිද?...ඒ බව දැන දැනත් අප ඒ අලංකාරය මතම වසඟ වන්නෙමු.....

෴ හසියා ෴ said...

හ්ම්....නියමම ලිපියක්....මටත් අනන්තවත් හිතිලා තියෙනවා...අන්ධ ගැහැණු ළමයෙකුට අවංකව ආදරේ කරන්න.එයාට මාව හොදට තේරුම්ගන්න පුළුහන්වේවි...මොකද එයා ස්පර්ෂ කරන්නේ මගේ හදවත මිසක් පිටින් පෙනෙන ඔපේ නොවන නිසා.හැබැයි එහෙම කිව්වට මට හිතෙනවා මම ආත්මාර්ථකාමී වැඩිද කියලා.ඒ ඇයගේ ආදරය වෙනුවෙන් ඇයට ආදරේ කරන නිසයි.(ඇගේ අසරණ කමට සරණ වීමකටත් වඩා ඇයගේ ආදරේ වෙනුවෙන්)මම ඇයට අවංකවම ආදරේ නම් ඇත්තටම ඒක වරදක්ද?
ඒත් ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ අපේ ගෙදරින් මම ඒ වගේ කෙනෙක්ට ආදරේ කරනවට අකමැති වීමයි.ඔය ගැන ලොකු වාදයක් ගියා දවසක්.පස්සේ මට වුනේ කට පියාන පැත්තකට වෙන්න.

අද සිංදුව මම ඇහුවේ පළමු වතාවට.....කියන්න වචන නෑ..අනර්ෂයි.
කිව්වත් වගේ ඉයර් ෆෝන් එකකින් අහන කොට හදවතට දැනෙනවා...බොහෝමත්ම ස්තූතියි අයියේ බෙදා ගත්තාට......

wath said...

අද එන්න පරක්කු වුනා අයියා. ඉස්සර නම් උණු උණු කමෙන්ට් මගෙන්... දැන් ටිකක් වෙලා ගෙදර ඇවිත්... අයියට පින් සිද්ධ වෙන්න පුරෝ ගත්ත ඇප්ලිකේෂන් එකෙන් තේරුන කෝස එකට සති අන්තයේ යන නිසා.. බ්ලොග් බලන්න එන්න වෙන්නේ හවහට තමා. ඒ ආවම හසියා කරල තියෙන වින්නැහිය දැක්ක... මුකුත් ලියා ගන්න බැරිව හිතා ගන්න බැරිව ටිකක් වෙලා හිටිය.. ..

මම ඉස්සර ඉදන් මගේ බ්ලොග් එකේ ලියන දෙයක් අද අයියගේ මාතෘකාවට ල්ක් වෙලා... අයියත් හිතන්නේ ඒ විදිහට සොඳුරු බවින් කියල දැන ගත්තම හිතට සතුටුයි....

කෙනෙක්ගේ පෙනුමට තමයි අපේ හිත මුලින්ම යන්නේ. ඒකේ ආය දෙක්ක නැහැ. ඒත් තවත් සමහරු ආස්රය කරන්න කරන්න හිතේ තියෙන ලෙංගතුබව වැඩි වෙනව. තවත් සමහරු ආස්රය කරන්න කරන්න පේන පුද්ගලයට වඩා කොයි තරම් කැත හිතක් තියෙන කෙනෙක් ද කියල අපිට තේරේන්න ගන්න.

වයසට ගියහමත් රැලි වැටිල ක්ෂය වෙලා ගිය අත අල්ලන් රැලි වැටිල හම එල්ලනු මුහුණ දිහා බලන් .. ඉස්සල්ලෙම දවසෙ දකින කොට හිතට දැනුන හැගීමම හිතට ගන්න පුලුවන් නම් ඒ තමයි සැබෑ ලස්සන... ඇත්තටම ඒ ලස්සනට වඩා..සුන්දරත්වය...

ලෝකේ ලස්සන ගැහැණු මිනිස්සු ගොඩයි අයියා...
ලෝකේ අඩු සොඳුරු ගැහැණු මිනිස්සු.....
ඒ වගේ සොඳුරු මිනිසුන් ගොඩක් අද මා වටේ ඉන්නව....
අයිය ඔයත් එයින් එක්කෙනෙක් ...


සින්දුව නම් හරිම අපුරුයි...( කියන්නත් දෙවක් ද ?)

තිස්ස දොඩන්ගොඩ said...

@ඇනෝ කල්පනාවෙන් නැට්ටෙන් අල්ලනේ සර්පයාව හොඳේ...?

@Shadow/හේමලයා + හසියා + වත්: ඔය කොමෙන්‍ටුවලින් කථාව සම්පූර්ණ වෙනවා පරිපූර්ණවම....හසියාගේ අවංක හැඟීම ප්‍රකාශ කලාට හරිම සතු‍ටුයි.... මටනම් හසියාගේ අදහසේ කිසිම ආත්මාර්ථයක් පෙනෙන්නේ නෑ... ඒක එහෙම තමා... ඔබේ හිත අඳුනන කෙනෙක්, අඳුනාගන්න පුලුවන් කෙනෙක් නියතවම ඉන්න ඕනේ.... ඇස් තිබේද නොතිබේද දෙවනුව බැලිය හැකියි දරුවෝ.... ඇස් තිබ්බත් නොදකින මිනිස්සු අතර හසියා ගේ අවංක අදහස් නම් මට හරිම සතුටක් ගෙනාවා... හේමලයා කිව්වා වාගේ නමුත් අලංකාරයට වසඟ නොවන්නේ කවුද... නමුත් ගුණ සුවඳින් හෙබි මලුත් ඇත...
වත්ගේ කථාව නම් මසුරන් වටිනවා... "තවත් සමහරු ආස්‍රය කරන්න කරන්න පේන පුද්ගලයට වඩා කොයි තරම් කැත හිතක් තියෙන කෙනෙක් ද කියල අපිට තේරෙන්න ගන්නෙ..." ආයේ මොනවද...
හසියා කල දෙයට අමනාප නොවන්න... සොඳුරු සිතේ සොඳුරු බව අගැයීම වරදක් නෙවේ...

ජීවිතේමල් ( දිල්ශාරා ) said...

අයියේ.. හරිම ලස්සන ගීතයක්... හරිම වටිනව...

sansarasidu said...

"For me, my wife is the most prettiest person ..."

අපූරුයි තිස්ස අයියා... මගේ ආචාරය පිළිගන්න..
මං වගේ හිතන තවත් හිතක් හමුවීම ගැන ගොඩක් සතුටුයි...

ඒත් ඇත්ත කතාව ටිකක් වෙනස්... අපේ ගොඩක් දෙනෙක්ට තමන්ගෙ බිරිඳ හැරෙන්නට අනෙක් හැම ගැහැණියක්ම ලස්සනයි!
වත් අක්ක කියපු කතාව ඇත්ත.. මේ ලෝකේ ලස්සන ගැහැණු මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා... ඒත් සොඳුරු ගැහැණුන් සහ මිනිසුන් හරිම අල්පයි... ඒත් පෙර පිනකට වගේ එවන් අතළොස්සක් වූ සොඳුරු ගැහැණුන් සහ මිනිසුන් රැසක් මා මේ සයිබර් අවකාශයෙදි හඳුනා ගත්තා.. තිසා අයියා ඔබත් සැබැවින්ම සොඳුරු මිනිසෙක්!

අපූරු ගීතයක්!
ඇත්තටම තවත් පළමු වතාවට ශ්‍රවනය කළ ගීයක්!
Ear Phone යුගලය තුලින් ගීතය ශ්‍රවනය කරත්දි අර අදහස මගේ සිතටත් තීව්‍රව දැණුනා...

"මා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී..."

තිස්ස දොඩන්ගොඩ said...

@ජීවිතේ මල්: මල් යහනාවකි ලෝකේ... නෑ එහි සංකා සෝකේ...යන නොසිතු වෙලාවක දියවී... ජීවය තණ අග පිණි බිඳකි....

@සන්සරසිදු: මන් දන්නවා මල්ලී... මන් දන්නවා හොඳටම... ඔයා අපටත් වඩා ගුණ යහපත් කෙනෙක් වග... මමත් වාසනාවන්තයි... කාලයයි මුදලුයි අතේ තිබුණහම කරන්න බැරි දුරාචාරයක් දෙයක් නෑ... පරාභවයට නොගිහින් ඉන්න, ඕගොල්ලොත් මට ලොකු ශක්තියක්...!!!

Muthu Paba said...

මේ ගීතය මම ගොඩක් ඉස්සර අහල තියෙනවා. අහල තියෙනවා නෙමෙයි ඇත්තම කීවොතින්, ඇහිලා තියෙනවා. ඒත් කොහෙදිද කින්ද මන්ද කියන එකනම් මටම ප්‍රෙහෙලිකාවක්. තිස්සගෙ ලිපිය නිසා ඒ මතකය ආයෙමත් අලුත් වුණා.

දුකා said...

උඹේ පූර්විකාවයි වත්සලාගේ කොමෙන්ටුවයි නිසා ගීතයේ හා ලිපියේ අගය වැඩි වෙලා කියලා හිතෙනවා . . .

"කෙනෙක්ගේ පෙනුමට තමයි අපේ හිත මුලින්ම යන්නේ. ඒකේ ආය දෙක්ක නැහැ. ඒත් තවත් සමහරු ආස්රය කරන්න කරන්න හිතේ තියෙන ලෙංගතුබව වැඩි වෙනව. තවත් සමහරු ආස්රය කරන්න කරන්න පේන පුද්ගලයට වඩා කොයි තරම් කැත හිතක් තියෙන කෙනෙක් ද කියල අපිට තේරේන්න ගන්න . ."

ඒ කැත හිත් තියෙන අයව ලස්සන හිත් තියෙන අය කරන්න උත්සාහ ගත්තොත් බැරි වෙන එකක් නෑ නේද වත් . . .

Grey said...

පට්ට සිංදුව..කලින් අහල නම් තියෙනවා..ගොඩක් කැමති සිංදුවක්.
ඔය ඉංදියන්කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. බහුතරය මහ කාලකන්නියෝ. අයියා සැලෙන්න එපා ඕවට.

සම්පත් / jt said...

හ්ම්...ලස්සනයි...මම ඉතින් ගෙදර, බොර්ඩිමේ ඉන්නකොට ජංජාලේ සැරිසරන්නෙ GPRS වලින්..මේ දවස්වල ගෙදර ඉන්නෙ..සිංදුව බාගෙන තමයි ඇහුවෙ..speed කොච්චරද කිව්වොත් ඒකට විනාඩි 25ක් විතර ගියා...
වත් ගෙ කථාවට මාත් එකඟයි...ගොඩක් අයගෙ පිටින් පේන ලස්සන ඇතුලත නෑ...අපි පුරුදුවෙලා තියෙන්නෙ පිටින් පේන දේ විතරක් දකින්න.
ජයවේවා!!!

තිස්ස දොඩන්ගොඩ said...

@Muthu: ඔබ මේ පැත්තේ නිතර එනයනවානං අප සැවොම මනාපයි... අපේ ගුනාගුනත් කියන්න... ඔබ නිර්මාණකරනයේ යෙදෙන්නියක් නෙව...

@දුකා: ඔව් බං... ලේසිනෑ ඔය වැඩේ... හැබැයි උඹේ බ්ලොග් එකෙන්නම් ඒ වැඩේ නොදැනීම කෙරෙනවා මගේ හිතේ....

@Grey: අනේ මන්දා බං.. ඔහේ ඉන්න් එවුනුත් එහෙමද... උන්ව එපාවෙලාද මන්දා මම ගිය හැම රටකම ලංකාවේ අයට පුදුම පිලිගැනීමක් තියෙන්නේ උන්ට වඩා...

@හපොයි සම්පත් මේක ඩිංගිත්තක් විතර ලොකුයි... චාහ් ඒක වෙන්නෑති....
අනෙක් කාරනය... මිනිස්සු ගොඩක් ඇසුරු කරන්න ඇසුරු කරන්න පොඩි පහේ ඉවක් වර්ධනය වෙනවා හැබයි... හදවතේ ලස්සන මුහුනෙන් කියන්න හැකි වාගේ..

පුතා said...

සිංදුව මාත් කලින් අහල තියෙනවා... ලස්සන සිංදුව අයියා...
අර ඉන්දියන් කාරයොන්ගේ සීන් එක ගැන නම් කියන්න දෙයක් නෑ...ලංකාව ගැන කතාකරන්නේම ඉරිසියාවක් වගේම කුහකකමකුත් හිතේ තියාගෙන.... ඉන්දියාව කොච්චර දියුණුයි කිව්වත් මට මුනගැහුණු බහුතරයක් උන් තාම ගෝත්‍රිකයෝ වගේ... හැමෝටම වගේ උපාධි තියෙනවා... ඒත් හරියට කෑමක් කන්නවත් දන්නේ නෑ...

තිස්ස දොඩන්ගොඩ said...

@පුතා: මේ වැලි කතරේ ඉන්න ඔබත් ඕක හොඳටම අත් විඳලා ඇති... අඩු ම ගානේ උන් උන් වත් සමගියක් නෑනේ...? මලබාරියත්, එක්ක මැඩ්‍රාස් කාරයා කචල්... මැඩ්‍රාස් එකා එක්ක ගෝවන් එකා කචල්... මරාටි කාරයා එක්ක ගුජරාටියා කචල්... භාරත් දේශ් කියන්නේ අන්තිමටම කචල් ගොඩක්ම එක්කහු කරලා ගැට ගහපු මිටියක්... වැඩේ ඒකට අපි මක් කොරන්නද... අපි දිහා බලන්නෙත් අර ලඟ ප්‍රාන්තේ එකා දිහා බලන බැල්මෙන්මයි.... හිනාත් යනවා වෙලාවකට, ඔක්කොමලා තර‍ඟෙට දුවන හැටි දැක්කම...

වැම්පයර් said...

තිස්ස අයියගෙ ගැජමැටික් ඉතින් පංකාදු පහයි නෙව.. එල සින්දුව,, සෑහෙන කාලෙකින් පරණ යාලුවෙක් හම්බුනා වගේ මේක ඇහුවම..!!

තිස්ස දොඩන්ගොඩ said...

@වැම්පි: අනේ ඔව් බන් මගෙත් කල්‍යාණ මිත්‍රයෝ තමා ඔය...

ඉලංදාරියා said...

නියම ලිපියක් හේ .....

අක්කා මෙක දැක්කද දන්නේනැහැ...
එහෙනම් එවනවා උම්මා කොටියක් .... DHL කරලා...

ජයවේවා..

තිස්ස දොඩන්ගොඩ said...

හහ් හහ් හහ්..අනේද කියන්නේ...!

priyantha.ඒබී said...

සහතික ඇත්ත අයියා. අපිට අප ආදරය කරන කෙනාට වඩා ලස්සන කෙනෙක් ඉන්න බෑ. ඒ වගේම ලස්සන එකිනෙකාට සාපේක්‍ෂ දෙයක් නේ. මොනව උනත් හිතක් ලස්සන වෙනව නම් ඒ පුද්ගලයා තරම් ලස්සන කෙනෙක් තවත් මේ ලොකේනෑ. දවසක් වත්ගේ කවියක තිබුන වගේ වතුසුද්ද මල රෝස මලට වඩා කොතරම් වටිනවාද? රෝසමලේ ලස්සන යට කටු නේද තියෙන්නේ.
තව දෙයක් මට තියෙන්නේ හෙඩ් ෆෝන් එකක්. අයිය කව්ව වගේ එකෙන් අහනකොට සින්දුව ලස්සනටම ඇහෙනවා.

තිස්ස දොඩන්ගොඩ said...

අන්න හරි... ඒ එක්කම, උපතිනම් අන්ධ කෙනෙක්, තවත් කෙනෙක්ගේ ලස්සන දකින හැටි කොහොමද... ??????

හසියා ගේ කොමෙන්ටුව හෙමින් නිස්කලංකව කියවන්න කියා මං හැමෝටම ආරාධනා කරනවා..

ගල්මල්-Coral said...

පූර්විකාවයි කට්ටිය එක් කර කතිකාවයි ගත්තාම ලියන්න් ඕන දේවල් ඔක්කෝම ලියවිලා ඉවරයි.

ලෝකයේ ලස්සන නම් හැම අතින්ම වැනසෙනවා...
ඒත් සෙඳුරු බව වැඩිවේ නම්...

තවද පොඩි අවකාශයක් ඕනේ:

වත් නගේ, සනා මලේ: පංකාදුයි සටහන් ලොකු ගරුත්වයකින් ඒ පද පේලි ආයෙත් කියෙව්වා.

දුකා සොයුරේ: ගොඩාක් කරන්න බැරි වෙන්න පුලුවනි. ඒත් පොඩ්ඩ පොඩ්ඩ හරි ඉටු කරමු. දිය බිඳ බිඳ එක් කරලාවත් වීදුරුවක්, කලයක් පුරවන්න බැරිවෙන එකක් නැහැ.

(කට්ටියම සමා කරන්න, මේදිනවල වැඩියේ බ්ලොග් වලට එන්න බැරි වුනා )

෴ හසියා ෴ said...

ම්ම්ම්ම් බොහෝමත්ම ස්තූතියි තිස්ස දොඩන්ගොඩ මහතාණෙනි...(හිතනවා සුදුසු ගෞරවින්විත ඇමතීම එයයි කියලා‍‍...වයස් පරතරය ගැනත් විශාරද බව ගැනත් සිතලා...)
මගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලබා දුන්නට බොහොමත්ම ස්තූතියි.

ඔබතුමා බලලා තියෙනවා ඇති...."Charlie Chaplin" නම් වු ලොකප්‍රසිද්ධ විකට නළුවාගේ චිත්‍රපට....
ඒ අතරිනුත් මට කියන්න ඕනි වුනේ..."City Lights" හිතනවා ඔබතුමා අනිවාර්යයෙන්ම බලලා ඇති කියලා....

වැඩි විස්තර පහල සබැදුමෙන් බලාගන්න පුළුවන්... http://www.charliechaplin.com/biography/articles/4-City-Lights

"Charlie Chaplin" ගේ චිත්‍රපට මගින් සමාජයේ ඇති දුර්වලතා හාස්‍ය උපයෝගී කරගෙන මනාව උලුප්පා දකවනවා.
මේ කතාවේ තියෙන්නේ ඔහුගේ හිත යනවා ගැණු දැරිවියකට...ඒ දැරිවි අන්ධ බව දැනගන්නේ පස්සේ.ඒත ඔහු අවන්කවම ආදරේ කරනවා ඇයට.පස්සේ ගොඩක් මහන්සි වෙලා ඇයට නැවත ලොකය බලන්න පුළුවන් විදිහට ඇස් ඔපරේෂන් කරලා පෙනීම ලබාගන්නවා.හැබැයි ඔහු එහෙම කරනකොට ඔහුගේ අතේ සතයක්වත් මුදල් නෑ.ඉතිං ඇයට මුහුණ දෙන්නත් බෑ.මොහුව ඇයට ඇත්තට දැක්කට අදුනාගන්න බෑ.මොකද ඇය මොහුව හැබහින් දැකලා නැති නිසා.ඒත් ඇය මුල සිටමකරන් ආව මල් විකිණීමෙදී දවසක් චාලී ගිහින් ඇයගේ කඩේට...ඇයටම කියනවා රෝස මලක් ඔහුගේ කබායේ ගහන්න කියලා.ඔය වෙලාවෙදී අහම්බෙන් ඇයට මොහුගේ අත ගැටෙනවා.එවිට ඇය මේ ඇයට ආදරේ කරපු කෙනා බවු දැනගන්නවා.දෙන්න ඊට පස්සේ එකතු වෙනවා. ඒ කතාව කෙටියෙන්.මට ඔය චිත්‍රපටිය නරඹලා ඉවරවෙනකොට ඇත්තටම ඇඬුනා.ඒ තරම්ම සංවේදී.ඒ චාලිගේ සියුම් රගපෑමයි.මම ඉතිං ඒක අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.හැමොම දන්න දෙයක්.

ඒත් ඕක නැරඹුවාට පස්සේ මට හිතුනේ වෙන දෙයක්..ඒ තමයි.
ඇය ඇත්තටම රෑමත්‍.චාලි කියන්නේ විකට චරිතයක්.නමුත් ඇය අන්ධව සිටි නිසා, ඇයට ආදරේ කරපු චාලිට ඇය ආදරේ කලා.බැරිවෙලාවත් ඇය අන්ධ නොවී සිටියනම් චාලි වගේ කෙනෙක්ට කැමති වෙයිද?

ඔය චිත්‍රපටියෙන් කියන්න හදන්නේ ඕක නෙවේද?

බලලා නැතිනම් අනිවාර්යයෙන්ම බලන්න ඕනි චිත්‍රපටියක් කියලයි මම නමි හිතන්නේ..වැඩිපුරම තරුණ වයසේ ඉන්න ආදරය කරන අය වගේම කරන්න ඉන්න අයත් බැලුවනම් ‍හොදයි...මම ඩවුන්ලෝඩ් කරගත්තෙත් ටොරෙන්ට් වලින්.

ම්ම්ම්ම්ම...කමෙන්ට් එකක් දාන්න ඇවිත් පෝස්ට් එක්ක දැම්මද මන්ද....ඔබතුමාගේ පෝස්ට් එක මම ඇවිත් කැත කලාද මන්ද.තිස්ස මහත්මයට කරදරයක් වුනානම් අනේක වාරයක් සමාවෙන්න...චිත්‍රපිටිය පිළිබද ගැඹුරු අදහසක් ඔබතුමාට අනිවාර්යයෙන්ම ඇති.‍ඒ හන්දා ඒ අදහස අළුත් පෝස්ට් එකකින් දැම්මත් කමක් නෑ.එහෙම දැම්මොත් තවත් ලස්සනවෙයි වගේ.
බොහොමත්ම ස්තූතියි තිස්ස මහත්මයාණෙනි...

Naදී said...

සහෝදරයා ගීතය නම් උපරිමයි. අද දවසක් බස් කට්ට කාලා ගෙදර ආවේ අස්පට් මූඩ් එකෙන්. කිව්ව විදිහට ඉයර් ෆෝන් එකෙන් ගීතය ඇහුවා. බෑඩ් මූඩ් හේදුණා. ගීතයකට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.හැමදේකම නෙගටිව් හිතනවට වැඩිය මේ වගේ හොඳ ගීතයක් පුඵවන් හැමවෙලාවකම අහන්න පුරුදු වුණානම් හොඳයි කියලා අලුත් සිතුවිල්ලක් පහළ වුණා.ස්තුතියි.

තිස්ස දොඩන්ගොඩ said...

@ ෴ හසියා ෴: අනේ බුදු මල්ලියේ අනෙක් කවුරුත් වාගේ තිස්ස අයියේ කියන්න... ඊලඟ කාරනය... මම මෙතන ඉන්න බොහෝ අය එක්ක බැලුවහම අල්පශ්‍රතයෙක්... කොයි දෙයක් වත් දීර්ඝව නොහාදරපු හා ඒ හැටි ඇසූ පිරූ තැන් නොමැති... ඉගෙන ගත්තු ක්ෂේත්‍රයේ වුනත් බොහොම පරිමිත දැනුමක් තියෙන්නේ... මෙතන රසවත් හරවත් කොමෙන්ට් දාන අය අතර අචාර්‍ය උපාධි හදාරන හතර දෙනෙක් ඉන්නවා... එහෙම බැලුවත් මම අල්පශ්‍රතයි... නමුත් ඔය ගොල්ලෝ වගේ දේවල් විනිවිදින රසවිඳින අයගේ අදහස් වලින් බොහොම දැනීමක් එකතු කරනවා... ලාවට වාගේ අහලා තිබ්බත් ඔය චිත්‍රපටිය මම බලලා නෑ...

මට වටින්නේම මගේ කථාවේ හැබෑම යටිපෙල ඔබ හරියටම ග්‍රහණය කර ගැනීමයි... මෙයට කමෙන්ට් දාන බොහෝ කාන්තා අය ග්‍රහනය කරන්නේ "ලස්සන ඇත්තේ ඇසේ නොව දැක්මේ " යන්න... එයත් හරි... අනෙක් බොහෝ දෙනා ඉන්දියානුවන්ගේ කසිලිය... ඒකත් හරි... නමුත් මේ මනසේ ඇ‍ඳෙන සුන්දරත්වය ගැන... දෘෂ්ඨිය නැමැති ඉන්ද්‍රියට පරිබාහිරින් එන... අන්න ඒක ගැන තමා මගේ කතිකාවේ පහලම ස්ථරයේ වූවේ.... ඔබ එය මුලින්ම දු‍ටුවා...

සෝමපාල ලීලානදයන් ලියූ විජය කුමාරණතුංගයන් ගයන "සැ‍රැයැටියෙන් අපි..." ගීයටත් පාදක වී ඇත්තේ පොල් කැඩූ අන්ධ පුද්ගලයෙක් තම වියපත් බිරිද අල්ලාගත් සැ‍රැයටියක අධාරයෙන් යනු දැකීමයි...

නැවතත් ඔබේ දෙවැනි සටහනේ හරය කියවෙන කොටසට..."බැරිවෙලාවත් ඇය අන්ධ නොවී සිටියනම් චාලි වගේ කෙනෙක්ට කැමති වෙයිද?" අන්න ඒක තමා ප්‍රස්නය...!! මම අදහන බුදුදහමෙන් නියත පිළිතුරු එන...

ඔබේ පරිකල්පනයට මගේ අචාරය මල්ලී.....!!!! හැමෝම (මාතෘකාවට උනන්දුනම්) කියවිය යුතුම සටහන් දෙකක් ඔබ අපට තිලිණ කලා)

තිස්ස දොඩන්ගොඩ said...

@ගල් මල්: ඔබතුමා නෝම්බි පිටත් අපව බලා යන එන එකනෙව වෑඩේ...! ස්තූතියි එහෙමනම්...

@නදී: සහතිකයෙන්ම සහෝදරී... ලංකාවේ ඉන්නකොට උදේ වැඩට යන්න පිටවෙන්නෙත් ගෙදර ආවිට විඩා හරින්නෙත් ගීයකින් මම... ඔබවැන්නන් අනෙක් අයටත් ධනාත්මක හැඟීම් ගෙනෙ ඒවි...

෴ හසියා ෴ said...

@ තිස්ස අයියා.....

අනේ මන්ද තිස්ස අයියේ....මම එච්චර දෙයක් හිතුවේ නෑ..හිතේ තියෙනදේ කිව්වා විතරයි‍.මම අයියල දන්න දේවල් වලින් පිණි බිංදුවක් තරම්වත් දන්නෑ.ඒත් යම් දෙයක් ඉගෙනගත්තනම් ඒ ඔයාල නිසා.අයියලගේ මේ බ්ලොග් එකක් කියවන ඕනිම වයස් ප්‍රමාණයක කෙනෙක්ට ජීවිතයට මොනාහරි ගන්න දෙයක් තියෙනවා.ඇත්තම කියනවනම් මට සාහිත්‍ය රසය අඩු කෙනෙක්.සාහිත්‍ය වගේ ගැඹුරු විෂයකින් මම ඉතා පොඩි දෙයක් හරි ඉගෙනගත්තනම් එහි ගෞරවය, ආචාරය ඔබ ඇතුළු සහෘද බ්ලොග් ලියන්නන්ට පුදකරන්න මම පසුබටවෙන්නේ නෑ.මොකද මට සාහිත්‍ය රසය, කලා රසය දැනුනේ, අයියලා වගේ අය ලියන ලිපි වලින්.ඒවෙනුවෙන් මගේ හිස නමා හදපිරි ස්තූතිය‍ ඔබ සැමට පුදකරනවා.

ම්මම්ම් අයියේ නිවාඩු පාඩු වෙලාවක් බලන්න අර මම කීව චිත්‍රපටිය.ඇත්තටම ගොඩක් වටිනවා.

තව දෙයක් කියන්න ඕනි අයියේ, නුඹේ නිහතමානීත්වය ඉතාමත් අගේ කොට සලකනවා.අයියලා වගේ අය අද සමාජේ අඩුයිනේ.ඒකනේ අපේ රටට මේ වෙලා තියෙන වින්නෑහිය.බ්ලොග් අවකාශය තුල මම කිහිපදෙනෙකුගෙම ඒ උදාර ගතිගුණය දැක්කා.ඒ වගේම පැහැදුනා.අයියල වගේ අය එකතුවෙලා හරි අපේ රට ආයේ ගොඩගන්න.බැරි නෑ කරන්න.අයියලට පුළුවන්.
බොහෝමත්ම ස්තූතියි අයියේ.........

Post a Comment

 
Blogger Wordpress Gadgets