බිඟු වැල රොන් සොයලා...

එක්දහස් නමසිය හතලිහේ ජූනි හතරවෙනි දින කොස්ගම ජුවානිස් රත්නායක හා හිල්ඩා රත්නායක දෙපලට කුළුඳුලේ ලැබුණු දරුවාට 'වින්සන්ට්' යැයි නම් තැබිණි. සෞන්දර්‍යටම නැඹුරුවක් දැක්වූ එ පුත් කුමරා පාසල් ඉගෙනුම අවසන ලක්නව් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයෙන්, විශාරද සනත් නන්දසිරි වැන්නවුන් හා සමකාලීනවම  විශාරද උපාධිය ලැබීය.

අමරදේවයන් හා සමලෙසට හෝ ඊටත් වඩා දක්ෂභාවයෙන් යුතුව වයලීන් වාදනයේ යෙදුණු හෙතෙම ජීවිකාව ලෙස ගුරු වෘත්තියම ‍තෝරාගති. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන ආදී විදුහල් බොහොමයක දරු දැරියනට සංගීත සෞන්දර්‍ය දායාදයන් ලබා දුන් හෙතෙම, වඩාත් පුළුල් ලෙස තම ශාස්ත්‍ර ඥාණය බෙදාදෙනු වස් කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්‍ය අධ්‍යපන ආයතනයට බැ‍ඳෙන්නේය.

කවුන්ට් ඔෆ්  ද මොන්ටි ක්‍රිස්‍තෝහි එඩ්මන්ඩ් දාන්තේට සිරගෙයහිදී හමුවන පූජක තැන "ජීවිතයේදී පරිස්සම් වියයුතු එක් දෙයක් නම් භයානක ජ්වර රෝගයි" ලෙස අනතුරු හඟවයි.
වයලීනයේ තත් මිහිරි හඬ මවමින් පිරිමැදි වින්සන්ට් රත්නායකයන්ගේ ඇඟිලි හිරිවැටීමක් ලෙස මුලින් පටන් ගන්නා රෝගය ඔහුගේ සිරුර වෙලාගන්නේ කිසිවෙකුටත් එයට මැදිහත් වීමට ඉඩ නොතබිමිනි.


හොරණ ශ්‍රී පාළියට මාරුවක් ලැබීම ඔහුට වධයක් වන්නේ ප්‍රතිකර්ම කිරීම සඳහා නිතරම කොළඹ ඒමට වූ නිසාය. බාහිරින් කිසිම කිසිම රෝගී තත්වයක් නොපෙන්වුවද ඇතුලතින් උග්‍ර රෝගී තත්වය මත හෙතෙම වෛද්‍ය උපදෙස් මත ‍ස්වකීය රැකියාවට සමුදෙන්නේය. ඒ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියකු වෙන එතුමාගේ සියළු කටයුතු කෙරෙන්නේ චන්ද්‍රානී රත්නායක මහත්මිය අතිනි. දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු කර ඔවුන් පාසැල් පිටත් කරහරිනා ඇය ඉනික්බිති තම දයාබර ස්වාමි පුරුෂයාව සෝදා කවා නිවසෙහි රඳවා තබා තම වෘත්තිය පිණිස නික්ම යන්නීය.

දහසක් සිසුන්ගේ රසභාවයන් කුළුගැන්වූ ගුරුපියෙකුට, එලෙස නිවසක දෑත් දෙපය නිසොල්මන්ව, සිය ප්‍රියයන් නැවත නිවසට එනතෙක්  තනිවීමට සිදුවීම දෛවයේ කුමණ සරදමක්ද? එහෙත් එබඳු මිනිසුන්ට දෛවය විසින්ම දේව දූතයින්, දූතිකාවන් සපයා දෙන්නේය. චන්ද්‍රානී රත්නායක මහත්මිය අවුරුදු දහහතක්ම වින්සන්ට් රත්නායකයන් සුරැකිව බලාකියාගනිමින් දූ දරුවනටද ඉහල අධ්‍යාපනයක් ලබා දෙමින් කල සටන, අප කිසිවෙකුටත් අනුමානවත් කල නොහැකි එකකි. දියණිය වෛද්‍යවරියක් ලෙසත් පුතණුවන් ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු ලෙසටත් සමාජයට දායද කල ඇගේ  භූමිකාව, අප රට මවුවරුන් අනාදිමත් කාලයක සිට නිහඬවම කරණා සේවයට කදිම සංකේතයකි. රත්නායක මහතාගේ සොයුරු සොයුරියන් චන්ද්‍රානී මැතිණියව තනි නොකරමින් ඇයට ශක්තියක් වී සිටීම ඇගේ ධෛර්‍යය වඩාත් වඩවන්නක් විය.

කොතෙකුත් නිර්මාණ කලද ඒවායේ පිටපතක් හෝ තමන් සන්තකයෙහි තබා නොගත් වින්සන්ට් රත්නායකයනට තම ගීත අවසානයේ අසන්නට වන්නේ ගුවන් විදුලියෙන් ඒවා ප්‍රචාරය කරවා ගනිමිනි. අභාවප්‍රාප්ත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අතින් ලියැවුණු , තමාම තනු නිමවා ගැයූ "බිඟු වැල රොන් සොයලා..." ගීතයට ඔහු ඉමහත් ලෙස ප්‍රිය කර ඇත. කුඩා කල මගේ සවන්ද පිනැවූ  ඒ ගීය, මා සිතෙහි  අනායාසයෙන්ම සටහන් වී ඇත්තේද ඒ නිර්මාණයේ අපූර්වත්වය නිසාම වන්නට ඇත. එක්දාස් නමසිය අනූහතේ දෙසැම්බර් දාහත් වනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ  නිර්මාණ අද ශ්‍රාවකයනට ඇසෙන්නට ප්‍රචාරයවන්නේ ඉතාම කලාතුරකිනි.

කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ දයාබර බිරිඳට ස්තූති වන්නට, අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම නිසංසල පරිසරයක පිහිටි රත්නායක නිවසේදී චන්ද්‍රානි මහත්මිය හමුවී මේ කරුණු දැන කියාගන්නට හැකිවිය. ඈ ඉතාමත්ම කරුණාවන්ත ගුරු මාතාවකි.

"වින්සන්ට් සර්ගෙ කටහඬ හැබෑවටම අහන්නට තිබ්බනම් කොච්චර හොඳද?" ඇයට සමුදීමට සුදානමින් මගේ මුවින් පිටවුණි.
"පුතාට ඒ කටහඬ තියනව, ඒත් එයා කියනව අඩුයි.." ඇගේ පිළිතුර විය.
අපිස් සතොස් ජීවිතගත කල රත්නායක යුවල යහපත් දරුවන් සමාජයට බිහිකර ඇති බවට ප්‍රත්‍යක්‍ෂය!


බිඟු වැල රොන් සොයලා
මල් ගොමු තුල සරලා
නැංවු ගී සරේ....
මගෙ සවන් තැලූ පෙලූ බඹර ගී සරේ.....

තුංමංසල අයිනේ
කිසිවෙකු නැති යාමේ
ඇගේ අඳුරු ලොවේ මාද අතරමං කලේ....
බිඳුනු ආදරේ.....

මිලිනව මද්දහනේ
රෑ පිබිදෙන දැහැනේ
මගේ සතුට ඇගේ කඳුල සමග මුසු කලේ...
බිඳුනු ආදරේ......


තුංමංසල ‍රැඳී සිටි ඇයගේ අඳුරු ලොවේ ඔබේ සතුට සොයා ගියද, ඇයද, බිඳුණු ආදරයක ලසොවින් තැවෙන්නියකි - ගීයෙහි අපූර්වත්වය විඳගන්න ඔබටත් ඇරයුම්!


bingu wala ron soyala

31 comments :

  1. As always, thank you very much for giving us a beautiful song! This is after many many years!

    ReplyDelete
  2. අපි නොදත් සුන්දර මිනිසුන් කෙතරම් ඇත්ද තව?

    ReplyDelete
  3. තිස්ස අයිය මේ දඩයම් වලට වෙලාව හොයාගන්නේ කොහොමද මන්ද...
    දඩයමට ගතවෙච්ච කාලෙට උපරිම වටිනාකමක් තිස්ස අයිය දීලතියනවා වගේම කියවන්ඩ මේ පැත්තේ එන අයටත් මොනතරම් වින්දනීය අත්දැකීමක්ද...

    ReplyDelete
  4. • රෝහිත: කලාතුරකින් හම්බවෙන්නේ මේ ගීය ඇසූ කෙනෙක්. රෝහිතගෙ ඔය මතකයනුත් කොහේ හරි සටහන් කරන්න අදහසක් නැද්ද?

    • ඩ්‍රැකී: දුර්ලභත්වයේ වටිනාකම මොකක්ද කියල මමත් සොයනව ඩ්‍රැකී

    • නෝබොඩි: මමත් ඔබේ නම වගේම 'නෝබොඩි' කෙනෙක් මචෝ මේ සටහන් කරල තියන මිනිස්සුත් එක්ක බලනකොට. දවසක මගේ මතකෙනුත් මේවා ගිලිහෙන්න පුලුවන්. ඊට ඉස්සෙල්ල කොතැනක හරි සටහන් කරල තියන්නයි මේ උත්සාහය. හැමදාමත් කියන්න වගේ ගීත / සංගීත විචාර කරන්න තරම් මට දැනුමක් නෑ. සටහන් කියවල, ඔබ කියන්න වගේම රසවිඳල, මේ නිර්මාණකරුවන්ට කෙනෙක් කෘතවේදී වෙනවනම් ඒක ලොකු දෙයක්!

    ReplyDelete
  5. අතීතයෙන් දඩයම්කර
    රහට බෙදන දඩයම්කරු

    ReplyDelete
  6. මේ සැරේ නම් තිස්ස අයියා දඩයමට බැහැල තියෙන්නේ රාහු කාලේ ද කොහෙද.. හෙහ් හෙහ් අපි කවදාවත් අහල නැති සිංදු සහ මිනිසුන් ගැන අපුරු සටහන් දෙකක් එක ළඟ වැටීම දඩයමේ සාර්ථකත්වය මොනවට කියාපායි..

    ගෙදර ගිහින් සිංදුවත් අහල බලන්නම්..

    ReplyDelete
  7. ගීතය කලින් අසා තිබුනත් මතකයේ තිබුනේ ගායකයා නාරද දිසාසේකර ලෙසට.මෙ ගීතය මැත කාලයේනම් ප්‍රචාරය උනේ නැ.ස්තූතියි තිස්ස අයියා මතකය අලුත් කලාට.

    ReplyDelete
  8. ඇහෙන කාලෙ අහපු මධුර ගීතයක්...එත් ගීතයේ රිද්මය නිසා පද මාලාව හරියට ග්‍රහණය වුනේ නෑ, අද දකිනකල්ම.

    ReplyDelete
  9. හැමදාම වගේ තිස්සගෙන් තවත් අපූරු ගීයක්. මේකෙ සංගීතය ඔහුගෙමද? අමරදේව ගතියක් තියෙන නිසා ඇහුවෙ.

    ReplyDelete
  10. මම උඹගේ රචනා කලාවට කැමතියි මිත්‍රයා. හරි රහයි. තව තව ලියපං. ජය!

    ReplyDelete
  11. අපූරු ගීයක්..මැදින් ඇහෙන සිතාරයේ හඬද මන්දා ගීයට වෙනස් ආලෝකයක් එකතු කරනවා..

    ReplyDelete
  12. මේ සින්දුව එක පාරක් අහලා තිබුනා,,ආයෙ අද තමා ඇහුවෙ...ගායකයා ගැන දැනගෙන උන්නෙත් නෑ

    ReplyDelete
  13. අහලා තිබුණේ නැති කතාවක්. ගීය ලස්සණයි. හිත ගත්තේ ඔහුගේ බිරිඳ. එහෙම අය ඉන්නවානේ.:)

    ReplyDelete
  14. අවුල් වෙච්චි හිතක් හදන්න මේ පරණ සින්දු වලට තියෙන අරුමපුදුම හැකියාව, වෙන කොහෙන්වත් මම අත් දැකලා නෑ තිස්ස අයියා. මම බාගත කරගත්තා ගීතය, තරහා වෙන්න එපා, මට මේ ගීතය නැවත නැවත අසන්නට උවමනායි. ඔබේ බ්ලොග් අඩවියට මනාප නැතිවා නොවේ. එත් මේ ගීතය රසවිඳීමට මේ බ්‍රව්සර් කවුළුව මට බාධාවක්. :)
    ස්තුතියි මේ වගේ රත්තරන් ගීත හොයලා දෙනවාට.
    ජය!

    ReplyDelete
  15. Thanks for the lovely song, You are very keen to mix everything with reality to make others happy.

    ReplyDelete
  16. • ගමයා:
    ඒ රස විඳිනා සුමිතුරු
    දකින එකයි පලය අතුරු

    •පැතුම්: මේ කලකට කලින් එකතු කරගත්තු එකක් පැතුම්. "අලස සුවය විඳිමින්" වැඩ කිරීම අපගේත් අයිතිවාසිකමකි!

    • ගිම්හානී / සුමිත් / ඉන්දික / ඩිලාන් : මෙන්න රසිකයෝ සතුටුයි. තනු නිමවල ගයන්නෙත් ඔහුමයි ඉන්දික

    • චන්දන: මේකෙම ගැවසිලා හුරු කරගත්තු දෙයක් චන්දන මහත්තයෝ

    • රූ: නිස්කලංකම ගීයක්, ලිෂාන් හා තවත් අයෙකු කීවා

    • පලිපාන මැතිණිය: හරිම ෆෙමිනිස්ට් කෙනෙක් නෙව!

    • ලිෂාන්: මේ වැඩේ තව ටිකක් කල් හරි කරගෙන යන්න මේ වචන ධෛර්‍යයකි!

    • Anonymous: You are the judge!!

    ReplyDelete
  17. Excellent song Sir..! You have unearthed a rare gem.

    ReplyDelete
  18. ජ්වර රෝග කියන්නෙ paralysis ද?

    ReplyDelete
  19. මගේ මේ අදහස් දැක්වීම මේ විශිෂ්ඨ කලාකරුවාණන්ගේ සමීතමයන්ගේ සිත් රිදවීමකට හේතු නොවේවි යැයි සිතමි.මෙම අතිශය මිහිරි ගීතය වින්සන්ට් රත්නායකයන්ගේ තරුණ වියේ බිඳුණු ප්‍රේමයක ශෝකී මතක සටහනක් ආශ්‍රයෙන් ලියවුන එකක් බව දනිමි.මේ ගීතයේ සඳහන් තුන් මංසල වන්නේ මහනුවර ගලගෙදර රෝහල ඉදිරිපිටින්, කුරුනෑගල- මහනුවර ප්‍රධාන මාවත හා යාවන අතුරු මාවත ආරම්භ වන ස්ථානය බව පමණක් කියමි.ගීතය මෙතරම් මිහිරි සහ ඉමහත් ශෝකී රසයක් ගෙන දෙන්නේ මන්දැයි වැටහෙනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සදහන් කර ඇති ස්ථාන හා තවත් ‌‌‌ත‌ොරතුරු අනුව ඔබ සදහන් කර ඇති කාරනාව සත්‍යක් බව තහවුරු කරන්නේ නම සදහන් ‌‌න‌ොකළ ඔබ ගැන දැනගැනීමේ කුතුහලක්ද අතුවයි

      Delete
  20. • Pra Jay: හොඳ ප්‍රස්නයක් ඇහුවේ ප්‍රා. පොතේ [සුගතදාස පරිවර්තනය] අදහස් කලේ අපස්මාර හෝ අංශභාග තත්වයක්. හැබැයි ඔය වචනේ යෙදිල තිබුණ මතකයි. ඔබේ ප්‍රස්නය නිසා සොයා බැලූවිට දැනගන්න ලැබුණේ උණ - ජ්වර තත්වයක් නමින් හැඳින්වෙන බවයි. වෙනදා කසූ මේවා ඉස්මතු කරනවා. උන්නැහේ දැන් මේ පැත්තේ එන්නැති පාටයි.

    • ගීතය ලියා ඇත්තේ නම් කේ. ඩී. කේ. ධර්මවර්ධන මහත්තය. රත්නායක මහත්තයා කේ. ඩී. කේට කියල ලිවගත්තද ඔබට පටලැවුණාද කියන්න නොදනිමි. ගීතය ඉමහත් ශෝකී රසයක් දෙන බවනම් හඟිමි. රචනය ගැන වැඩි තොරතුරු නොදනිමි.

    ReplyDelete
  21. මම මේ ගිතය අහල නෑ වින්සන්ට් රත්නායක කියල ශිල්පියෙක් ගැන දැනගත්තෙත් මේ පෝස්ට් එක නිසා. අහිංසක කලාකුරුවෙක් ලස්සන ගීයක්

    ReplyDelete
    Replies
    1. ඔව් දයානන්ද මහත්තය මේ වගේ තව කිහිප දෙනෙක් ඉන්නව සොයන්න විස්තර.

      Delete
  22. බොහොම පිං ලස්සන සිංදුවටයි පසුබිම් කථාවටයි. අමරදේවයන්ට වඩා හොඳට හෝ ඒ තරමටම වයලින් ගැහුව බව කියන්න ඇත්තේ රත්නායක මහත්මයාගේ පවුල වෙන්නැති. ඒක එහෙම වෙන්න ඇති. අමරදේව මහත්මයාට තිබුනු වාසනාව ඒ කාලේ හිටිය වෙනත් කලා කාරයින්ට තිබුනේ නැහැ.

    මේ ගීතයට අදාල නැහැ නමුත් මේක අහනකොට මතක්වුනා. තිස්ස මෙහෙම සිංදුවක් අහල තියෙනවද?

    ශාන්ත සිතුවිලි මැවුනාවේ
    බල බලා හද ගංගාවේ
    නැගෙන සිතුවිලි ලැසි ගමනේ
    සෑමදා අගේ... සෑමදා අගේ

    මේකෙ දෙවෙනි පේලිය වැරදි ඇති. ගායකායා කවුද කියල දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක සොයන්න වටින ගීයක්. සිහියට එන්නේ නෑ. බලමු...

      Delete
  23. තිස්ස......කොයි කාලෙකට පස්සෙද මේ කටහඬ ඇහුනේ....මොහු ගැයු තව ගී තියෙනවාද...මේවා මතක්කර දෙනවාට බොහෝම ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ඔව් අරු_ . ගීත කිහිපයක් තියෙනව. ඒ අතුරින් "ඔබේ දෑස මට කුමටද" කියල තව එකක් තියේ

      Delete
  24. මා 70 හා 80 දශකයේ සිංහල ගී ප්‍රිය කරන රසිකයෙක්. ඒ යුගයේ ගායන ශිල්පීන් හැම දෙනාම ගැන මා දැන සිටි බවයි මගේ හැගීම වුනේ.
    එත් වින්සන්ට් රත්නායක නම් මේ ශිල්පියාගේ නමත් මේ මියුරු ගීතයත් මට අසන්නට ලැබුනේ ප්‍රථම වතාවටයි.ඒ ගැන ඔබට ස්තුති කරමි.
    දැනට තොරතුරක් අසන්නට නැති එම යුගයේ සිටි තවත් ගායන ශිල්පීන් වූ මේ මොහොතේ මගේ සිහියට එන දීප්ති හපුආරච්චි, සිරි ගුලවිටගේ, කුලරත්න තෙන්නකෝන්, ආරියරත්න යාපා, සුනිල් ජයසිරි ආදී ශිල්පීන්ද සිහිපත් කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමන්ත සිරි ගුලවිටගේ නම මට ආගන්තුකයි
      හැකිනම් ඔහුගේ ගීත කිහිපයක් දන්වා එවන්න - අපි සොයා බලමු
      ඔබ වැනි අය මේ කාරිය දිගටම කරගෙන යන්න උදව් දෙනවානම් බොහොම පින්!

      Delete
  25. දුර්ලභ මියුරු ගීයක්.ගීත අතලොස්සක් ගයමින් අමරණීය වෙච්ච ගායකයන් අතර වින්සන්ට් ප්‍රේමසිරිත් ඉදිරියෙන්ම ඉන්නවා."සීතාවෙනි",දික්තලා නංගියේ" ගීත වලට අමතරව ඇසෙන්නම නැති ගීත කිහිපයක් තියෙනවා ගු.වි තැටි වලට සීමා වෙලා.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets