නැලවිළි ගී පද මා මුමුණන සඳ....


නිමිත්ත:
රූ.... said...
හද ගී පොතේ මෙවන් පිටු කියවද්දී නිබ්බුත පද නිතරම මතක් වෙන්නේ ඇයි?
බිරිඳ සැමියා ගැන දුටු විදිහ ගැන කියන ගීයක පෝස්ටුවකුත් දාන්න තිස්ස..
කථාව ලිවිය යුත්තේ ඔබය....
 

නැලවිළි ගී පද මා මුමුණන සඳ
ඒ ගී පදයට තනුව ගෙනෙන ඔබ
ඔබ සෙවනේ ඉඳ ගයනෙමි ඒ ගීතේ...

නීල නෙතු පියන් මවෙත හෙලන සඳ
ඒ නෙත් යුග තුල සැතපෙන්නෙමි මම
ඔබ නෙත් යුග මට සුව යහනෙකි මිහිරේ...

ඈත ලොවක සිට දෑත වනන සඳ
සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...


 
 
ඔබ ලියූ පසුවදන... ස්තූතියි දිමුතු...

Dimuthu said...
තිගැස්මෙන් බලාපොරොත්තුවෙන් සහ වදන් කල නොහැකි හැඟීම් ගොන්නකින් පිරී තිබු...ඒ රාත්‍රිය

රාත්‍රිය මට දිගු එකක් කලේ කොන්ද දිගේ වරින් වර නැග ආ වේදනාව........

නිදාගන්නට හිතක්වත් නොමැතිව මගේ දෙපා උකුල උඩ තබා අතගාමින් සිටි නුඹට ඒ රාත්‍රිය දිගු එකක් බවට පත් කලේ කුමක් විය හැකිද??

ඊටත් පැය ගානකට පසු මා රෝහලට අතුල් වූ කල,

ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ රැඳී සිටීමට නොහැකි බව දනිමින්ම
නැවත මා වෙතට පැමිණිය හකි හෝරාව එනතෙක්ම මට පෙනෙන දුරින් සිටගෙනම සිටි අයුරු.....

සූතිකාගරය තුල මා එතෙක් විඳි වේදනාව ක්ශණිකව ප්‍රහර්ශයක් බවට පත් වූ මොහොතේ මට සිහිවුනේ නුඹේ නෙත්යුගයි

ඒ වසර දෙකකට පෙරයි අද.... පුන්චි අලු හාපැටියාද තුරුලුකොට මා අසලින් නිදන පුතු වෙනුවෙන් මා ගයනා ගීතයට,ගීතය නොමතිව වුවද රස විඳිය හැකි මේ සොඳුරු තනුව ලියූවේ නුඹම නොවේද?

36 comments :

  1. අපි නොදකින පැත්තක්ද ?

    ReplyDelete
  2. කෝ අයියා............. පෙර වදන.
    අපි "රූ‍" ටම කියමු නේද ඒක ලියන්න කියලා.

    ReplyDelete
  3. එහෙම පැති බොහෝය රොබින් - මැරියන්ගෙන් අහන්න බලන්න :-)

    රූ... ටත් හැකි - ඔබටත් හැකි වේවි සොඳුරු සිත නුදුරේදී..

    ReplyDelete
  4. පෙරවදනවල් දෙක තුනක්ම ලියවෙයි කියලා මම හිතනව බලමු...

    ReplyDelete
  5. ඇහුවයි කියල මතකයක් නෑ අයියා.. ඔන්න ඉතින් දැන් ඇහුවා..

    ලස්සන අදහසක්.. පදපෙලක්.. ඒ කටහඬ මාරයි නේද?

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් ගැහැණුන් 'ඇගැයීමේදී' නිර්ලෝභී නෑ නිශ් - දැනට නම් රිසල්ට් එක 0/2 - ලෙට්ස් හෝප් ෆො ද බෙස්ට්...

    ඔව් හරි අමුතු සින්දුවක් තනෝජා නංගී..

    ReplyDelete
  7. ස්වර්ණලතා කවීශ්වර මම කැමතිම ගායකාවක් .හරිම අපූරු හඩක් තියන ගායිකාවක් . මේ ගීතයේ පද රචකයා සොයාගන්න උත්සාහ කලා . නමුත් සොයාගන්න නොහැකි උනා .
    …ලස්සන පද වැල් .

    …/ නැලවිළි ගී පද මා මුමුණන සඳ
    ඒ ගී පදයට තනුව ගෙනෙන ඔබ
    ඔබ සෙවනේ ඉඳ ගයනෙමි ඒ ගීතේ.../

    ReplyDelete
  8. ඔව් ගිම්හානි මමත් ඒක බොහොම රස වින්දා..
    ලායාන්විතව ගයනවත් එක්ක බොහොම..

    ReplyDelete
  9. හදවත සහා නහරක් පුරා
    කිඳී තියෙන ආදරේ
    හද ගී පොතේ පිටුවක් පුරා
    කෙසේ ලියන්නද මෙසේ....

    ReplyDelete
  10. ගීතය අහලා ඉවරයි. ඒත් තාම හිතාගන්ට බැරුව ඉන්නවා.
    මගේ හිත් ගත්තේ,

    //ඈත ලොවක සිට දෑත වනන සඳ
    සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
    ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...// මේ කොටසයි.

    ඔහුගේ දෙනෙත් තුල සැතපී, ඔහුගේ දෙ අත්වලට මැදිවී, ඔහුගේ තනුවට මා නැලවිලි ගී කියනා විට ඒ නිබ්බුත පද හා සමාන නොවේද? :)

    තිස්සටත්, රූටත් දෙන්නාටම ස්තූතියි.

    ReplyDelete
  11. කලින් පොස්ටුවේ රූගේ කොමන්ටුව දුටු විට හිතට ආවේ ඔබ හමුවේ ඇති අභියෝගය ගැන.

    එය ස්වර්ණලතා කවීශ්වරයන්ගේ හඬින් ගයන ගීයක් වීම තවත් විශේෂයක්. ඔබට හා විශේෂයෙන්ම රූ නෝනාටත් බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  12. සුපිරියි!

    දැන් එහෙනං ඉතිං පූර්විකාව(එකක් මදි නේ) කියවමු බලන්ට.. :)

    ReplyDelete
  13. ස්වර්ණලතා කවීශ්වරගේ " තොටියෝ " ගීතය අහලා තිබුනත් මේ ගීතය නම් අහලා තිබ්බේ නෑ. පෙර වදන නැතුව ලොකු අඩුවක් වගේ දැනෙනවා අයියේ. මොකද ගීතය අහනවාටත් වඩා මම කැමති පෙර වදන කියවන්න

    ReplyDelete
  14. හරිම ලස්සනයි තිස්ස. මාත් හරිම කැමති ගීයක්. ස්තුතියි!ඔබට. මේ ගීයට පදනම් වෙන්නෙ සොදුරු ආදරයක් නේද? තම ආදරවන්තයා ට දාව තමාට ලැබෙන්න ඉන්න දරුවා ඇය නලවන්නට සිතන්නේ ඔහුගේ ඒ සෙනෙහස සිහිකරමින් ඒ සෙවනේ හිඳිමින්. කොයි තරම් ලයාන්විත ව ඔහු ඒ ගී පද වලට තනුව සපයනවද? ඔහුගේ ආදරයේ කිමිදෙමින් ඒ නෙත් යුග වල සෙනෙහස ඈ සොයන්නේ සුව යහනක සැතපෙමින්.

    ඈත ලොවක සිට දෑත වනන්නෙ ඇගේ පැතුම වූ ඇගේ බිළිදායි. ඈ බලා සිටින්නේ ඒ බිළිදා සුව යහනක සතපන්නටයි. ඔහුගෙ දෑත් යුග ඇයට සුව යහනක් මැයි. කොයි තරම් ආදරණීය පදවැලක් ද මේ.
    මේ ගීතය ඈ ගැයුවා ඉතාම මෑතකදී මහෙෂ් නිශ්ශංක ගෙන ආ වැඩ සටහනකදී. අපේ අවාසනාවට මෙවැනි ගීත අපිට අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.
    ඔබටත්, රූ ටත් මගේ දයාබර ස්තූතිය!

    ReplyDelete
  15. සෙනෙහස රන් සිංහාසන කියන්නෙත් ස්වර්ණලතා කවීශ්වර මම නිවැරදි නම්. ඒ ගීයට මා හරිම කැමතියි.

    ReplyDelete
  16. හුග කාලේකට පස්සේ බ්ලොග් කියවන්න සෙට් උනේ...තිස්ස පෙරවදනක් නැතුවම දාලා තියෙන හින්දා මෙහෙමත් හිතෙනවා...

    තමන්ගේ ආදරනීය ප්‍රේමයකට පි‍ටුපා වෙනත් අයෙකුගේ අත ගත් කාන්තාවකට, ඒ ප්‍රේමය ගැන සිහි වෙද්දීත් මේවන් සින්දුවක් කියැවීමට ඉඩ තිබෙනවා.කසාද මනුස්සයගෙන් ලැබුනු දරුවා නලවන වෙලාවේ තම ප්‍රතම ප්‍රරේමය සිහිවීම සිදු විය හැක්කක්....ඒ හිනදා සිංදුව භාර්්‍යවක් තම සමියාට අමතන් සින්දුවක් ලෙසම මේය රාමුවකට කො‍ටු කරන්න හොද නෑ වගේ....

    ReplyDelete
  17. මම දන්න හොඳම සිංහල ගීත ගබඩාව හා රසිකයා ඔබ!
    ඔබේ රසිකයෙකි මම. :)

    සිංදුව දෙතුන් පාරක්ම ඇහුවා, ඒත් හරියටම ගලපා ගන්න බැරුව ඉන්නෙ. අහනකොට මට මතක් උනේ එස්. ජානකීගෙ කටහඬ.

    ReplyDelete
  18. සින්දුව නම් මං කලින් අහල නෑ... ඇත්තටම පෙරවදන නැති එකේ අඩුව නම් හොඳටම දැනෙනවා... රූ නෝනා ඉක්මනටම ලියයිද.... එහෙම නැත්නම් තිස්ස මහත්මයගෙ නෝනට කියමුද...? :D

    @ සුදීක,

    'සෙනෙහස රන් සිංහාසන..' ත්‍යාගා එන්. එඩ්වඩ්ගෙ සින්දුවක් බවයි මගේ මතකය...

    ReplyDelete
  19. අහලම තිබුනේ නැහැ . ඇත්තටම සැමියන් ගැන කියවුන සින්දු අඩුයි නේද . ඇයගේම '' තොටියෝ '' ගීතය [ මා හරි නේද ] මෙයට වඩා සිතට දැනෙනවා . සැමියන් ගැන ලියවිලා තියෙන්නෙම '' මෙදා මට ඔබ සැබෑ සඳ මය...විදු ඇසින් දුටු නුහුරු නුපුරුදු '''වගේ සින්දුමනේ . අනේ මන්ද ඉතින් ඔව්ව . කාන්තා ගීත රචිකාවියන් අඩුකමද ?.

    මේ ගීය ගැන නම් NO Idea ...ලඟින් ඉඳල වෙන්ව ගීය බවක් තමයි මට හිතෙන්නේ . ඇයි අන්තිමට කියන්නේ හීනෙන්වත් පේන්න කියලනේ . අනික ඈත ලොවක සිට . ..

    ReplyDelete
  20. මේ පැත්තෙ එන්න පරක්කු වුනාට සමාවෙන්න..ගීය අහලා මොකුත් නොලියා ගියේ නිස්කාන්සුවේ ආයෙත් එන්න හිතාගෙන...

    මගේ කොමෙන්ටුවකින් ලස්සන ගීයක් අහන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි..මම ඒ කොමෙන්ටුව ලිව්වෙ තිස්සගේ පවුලේ හද ගැහෙන රාවය ගැන හද ගී පොතෙන්ම කියවලා..

    ගීය ගැන ගොඩක් පැතිවලින් දකින්න පුළුවන් වුනත් තිස්ස දැකපු හැටි අගෙයි කියලා මට හිතෙනවා..තමන්ගේ ප්‍රියාව/ප්‍රියාවිගෙන් ඈත්ව කල් ගෙවන ආදරවන්තයෝ දෙන්නෙක් හිතට නැගෙනවා..

    ගීයට 100%ක් ඒකාත්මික කරන්න බැරිවුනත් මට දැනුනු විදිහ පසුවදනක් විදිහට ලියන්නම්..

    ReplyDelete
  21. “ඔයා අද ගෙදර එන්න පරක්කු වෙනවද?“
    ඔපිසියේ ඉදන් ගෙදර ආපු රූ මහත්තයා ඇඳුම් ගලවන්නවත් පරක්කු නොවී මට කෝල් එකක් ගත්තෙ ඒ වෙනකොටත් මම ගෙදර ඇවිල්ලා හිටියෙ නැති නිසයි.
    “තව පැය කාලකින් මම ගෙදර.“ මම කිව්වා.
    ඔපිසියේ ඉඳන් ගෙදර ඇවිත් මහන්සි අරින පැය දෙක තුන අපිට ගොඩක් වැදගත්. මොකද දවසේ තියන ඕපා දූප සේරම හුවමාරු වෙන්නෙ ඒ වෙලාවෙ නිසා. සමහර වෙලාවට අපි දෙන්නටම හිනා මේ ගෙවන ජීවිතේ ගැන. ඉස්සර යාළු වෙලා ඉන්න කාලේ අඩුම ගානෙ දවසට පැයක් වත් ෆෝන් එකෙන් මල් කඩපු අපි දෙන්නා දැන් එක වහලක් යට ජීවත් වුනත් දවසකට කතා කරන්න ලැබෙන්නෙ කොච්චර ටික කාලයද? ඒ කාලෙත් සෑහෙන කොටසක් උයන්න පිහින්න අස්කරන්න ගෙවල් දොරවල් අතුගාන්න වෙන් වුනාම සමහර දවස්වල නිදහසේ කතා කරන්න තියන කාලෙ තේඑකකටත් බිස්කට් එකකටත් විතරක් වෙන් වෙනවා.
    කසාද බඳින්න කලින් ජීවිතේ කොහොම වුනත් දැන් නම් ජීවිතේ ලොකු නිස්කාන්සුවක් තියනවා. රස්සා දෙකකුයි පරස්තාවකුයි ගෙනියන එක ලේසි පහසු කටයුත්තක් නෙවි. අපි දෙන්නම ඉන්නේ මිනිස්සු එක්ක වැඩි පුර ගැවසෙන්න තියන ක්ශේත්‍ර දෙකක නිසා සමහර වෙලාවට හිතේ තියන දේ ඒ හැටියෙන්ම කියන්න ටිකක් පැකිලෙන ගතියක් තියනවා. මොකද දවසේ වැඩි කොටසක් ගොඩක් ආචාරශිලීව කතා කරන්න පුරුදු වෙලා ඉතුරු පැය දෙක තුන හදවත එලියට දාන්න තරම් කතා කරන්න අමාරුයි. ඒත් මේ සේරම අල්ල පනල්ලෙ අපි දෙන්නගේ ආදරය ඉස්සරහට ගලා යන්නෙ හරිම නිසලව කියලා දෙන්නටම තේරෙනවා.
    ඒක හරියට ගඟක් වගේ. දියපාරකින් පටන් ගන්න ගඟ ඊළඟට දොල පාරක් වෙනවා. ඒ දිය පාරෙත් දොළ පාරෙත් දඟ බව අඩුවක් නොවුනත් අනිත් දොළ පාරවල් එකක් එකතු වෙලා ගඟක් හැදේදි ඒක කොච්චර වතුර අරන් ගියත් නිසලයි.
    රූ මහත්තයාව මට දැනෙන්නෙ කොහොමද කියලා හරියටම විස්තර කරන්න වචන නැති වුනත් මේ සින්දුවේ ගොඩක් වචන මේ හැඟීම විස්තර කරනවා.

    ReplyDelete
  22. තනෝජා: "ගැහැණු ගැට" කියල පරණ චිත්‍රපටියක් තිබ්බ

    පළිපාන මැතිනිය: හරිම හැඟීම් බරව කියනව නේද?

    ගල්මල්: ඔබට මෙව්ව ඉතින් අහුවෙන නෙව :-)

    බුරාතිනෝ: මෙයාල හරි ගල් ආඳෝ බුරා

    ලිහිණි: ස්තූතියි මෙහේ ආවට - මම මේ තතන තතන ලියන පෙරවදන් වලට වඩා මේ ගී කොච්චර ලස්සනද ලිහිණි?

    චාන්දි: ඔහ් - එහෙමනම් මේව තාමත් යනවා - ඒක සතුටට කාරණයක්

    සුදීකට උත්තරේ ලැබිල පහල නේද? ඒ ත්‍යාගා එන් එඩ්වඩ්

    ප්‍රසන්න: ඔන්න අදනම් කමෙන්‍ටුව මගහැරුනේ නැ

    Mayya: හම්මේ දැක්ක කල් : මේ ගීය අපේ ගෙදර ඔක්කොම අහල බැලුව - මටත් පුතාටත් අපේ ගෙදර ඇත්තන්ටත් ආවේ අදහස් තුනක් - රචයාගෙ රූපය මොකක්ද මන්ද - ඒත් එක එක විදිහට ගන්න පුලුවන් කියල හිතෙනව මටත්

    හිතමිතුරු: අද ලෙසින්ම අන් දිනයෙත් මෙහි ආව යුතු ඉතින්... බොහොම ස්තූතියි හිතවත
    [මට වඩා මෙව්ව ගැඹුරුව විග්‍රහ කරන, රසවතිය ලියන හෂිත, ගීරස විනිස ලියන මිගාර වගේ අය ගොඩක් වියත් මිත්‍රයා - මම කරන්නේ මේ පරණ අල්මාරි අවුස්සන එක]

    මියුරු: මියුරුත් හොඳ ගී රසිකාවියක් බව පේනව - සතු‍ටුයි බොහොමත් ඒ ගැන - අපේ ගෙදර ඇත්තන්ට මෙව්ව කියවන්න වැඩිය ලැබෙන්නේ නැ මියුරු...

    බින්දි: අඩුයි නේන්නම් - අපට ඉතින් අඩු සැලකිලි -
    ගීයෙන් කියන විදිහට මේ ලෝකේ දාලම ගිහින්ද කියලත් හිතුන මට...

    රූ...: ස්තූතියි ඔබට බොහොමත්ම... අපි බලා ඉමු...

    ReplyDelete
  23. ඈත ලොවක සිට දෑත වනන සඳ
    සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
    ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...

    කොහෙන් ගියත් කරකෝලා අර මෙව්වා එකට ගන්නවා... :D

    ලස්සන සිංදුව කතාවක් දාන්නැතුව කාලා... :) රූගේ කතාව කියවලා තමයි හිතහදාගත්තේ...

    ReplyDelete
  24. මැට්ටම තිවුනාට..
    තත් දෙක නොමැතිකල..
    හැඬවෙයිද..මිහිරිව..

    තනි අතින් අත්පුඩි තැලිය නොහැකි නොවෙද සහෝදරයා...

    ReplyDelete
  25. අපූරුයි.... දෑස් වැසී ගියා,,,, අදුර මැදින් වැසුනු දෑසෙ කදුළු බිදු ..ඒ ඇයිදැයි මට තේරුම් ගියේ නැහැ. මට මතක් වුනේ අම්මව. කවීශ්වර අම්මාගේ ප්‍රියතම ගායිකාවක්, ඒ නිසාදැයි දන්නේ නැහැ. තාත්තට මම කිවුවේ පප්පා කියලයි. හැමෝම හිතුවේ ඔහු දරදඬු මිනිසෙක් කියලයි.මමත් හිතුවෙ එහෙමයි.බොහෝ දවස්වල බත්පත අතට ගනිද්දී ඔහු බත්පතේ අඩුපාඩුවක් කියනවාමයි. අම්මගෙ හිත රිදෙනවා. කුඩා ගැටවරයෙකුව සිටි මගේ හිත ඇතිවෙනනේ තරහක්. ඒත් තවත් කාලයක් ගතවූවාට පසුව අම්මාත් පප්පාත් අතර පැවති ආධ්‍යාත්මික, තදන්තර බැදීම මට තේරුම් ගියා. පැටවුන් කැදැල්ලෙන් පියඹා ගියපසු තමන් දෙදෙනාට ඉතිරිවන්නේ ඔවුනොවුන් විතරක්ම බව අම්මාත් පප්පාත් ඉවෙන් මෙන් වටහාගෙන සිටියා වාගෙයි. තවමත් බත්පත් අතට ගත් කල්හි මොනවා හෝ අඩුවක් සොයන්නට පප්පා පැකිළෙන්නේ නැහැ. අම්මා පෙරදී වාගේම වරදකාරී සිනහවකින් දොස් ඉවසනවා. පප්පා තවත් බත්හැදි කිහිපයක් බෙදාගනිමින් බත්පත පිරිමසාගන්නවා.

    ඈත ලොවක සිට දෑත වනන සඳ
    සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
    ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...

    ReplyDelete
  26. බාගත්තා ස්තුතියි... මෙහෙම ඇහුවොත් මිස කොහොම හොයන්නද පිට දේසේ ඉඳගෙන..

    ReplyDelete
  27. තිගැස්මෙන් බලාපොරොත්තුවෙන් සහ වදන් කල නොහැකි හැඟීම් ගොන්නකින් පිරී තිබු...ඒ රාත්‍රිය

    රාත්‍රිය මට දිගු එකක් කලේ කොන්ද දිගේ වරින් වර නැග ආ වේදනාව........

    නිදාගන්නට හිතක්වත් නොමැතිව මගේ දෙපා උකුල උඩ තබා අතගාමින් සිටි නුඹට ඒ රාත්‍රිය දිගු එකක් බවට පත් කලේ කුමක් විය හැකිද??

    ඊටත් පැය ගානකට පසු මා රෝහලට අතුල් වූ කල,

    ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ රැඳී සිටීමට නොහැකි බව දනිමින්ම
    නැවත මා වෙතට පැමිණිය හකි හෝරාව එනතෙක්ම මට පෙනෙන දුරින් සිටගෙනම සිටි අයුරු.....

    සූතිකාගරය තුල මා එතෙක් විඳි වේදනාව ක්ශණිකව ප්‍රහර්ශයක් බවට පත් වූ මොහොතේ මට සිහිවුනේ නුඹේ නෙත්යුගයි

    ඒ වසර දෙකකට පෙරයි අද.... පුන්චි අලු හාපැටියාද තුරුලුකොට මා අසලින් නිදන පුතු වෙනුවෙන් මා ගයනා ගීතයට,ගීතය නොමතිව වුවද රස විඳිය හැකි මේ සොඳුරු තනුව ලියූවේ නුඹම නොවේද?




    ReplyDelete
  28. රූ: හරිම හෘදයංගම කමෙන්‍ටුවක්...
    ඒත් අසාධාරණයි - ඇයි වචන නැත්තේ ??? :-)

    බීටල්: මෙහෙම දෙයක් කෙලින්ම කියන්න හැකි සහෘදයෙකුට පමණයි බීටල්...

    ඇනෝ: ඔබ පමණයි පින්තූරේ ග්‍රහණය කලේ - ස්තූතියි

    රතූ: අපූරු අත්දැකීමක් රතූ - එහෙම කෙනෙක් තමා 'අම්මා' කියන නමට සුදුසු නේද?

    සරත් : ස්තූතියි සරත් මහත්තයෝ..

    දිමුතු: දිමුතු මේකනම් හරිම සොඳුරු කමෙන්‍ටුවක් - ගීයට පෙරවදන විදිහට මේක ‍තෝරනව මම - රූ නෝනා අමණාප වෙන එකක් නෑ නේ?

    ReplyDelete
  29. @තිස්ස,
    මොනවාට අමනාප වෙන්නද? :)
    දිමුතුගේ පෙරවදන හරිම හැඟීම්බරයි..සාර්ථකව පවුල් ජීවිත ගෙවන ගොඩක් අය බ්ලොග් අවකාශයේ හිඳීම ගැන ගොඩක් සතුටුයි..

    ReplyDelete
  30. මේ තිස්ස අයියේ ඈත රටකට වෙලා මෙහෙම සිංදු දදා ඉන්නෙ නැතුව මේ ලංකාවේ අපිත්(අපි නෙවෙයි පවුලේ අය) එක්ක ඉන්න අදහසක් නැද්ද? ඇත්තටම අහන්නේ..?

    ReplyDelete
  31. පැතුම්: ඈත රටක සිට ගීත දමන සඳ... :-)

    ReplyDelete
  32. ඈත රටක සිට ගීත දමන සඳ...උඹට පිස්සු යැයි මට සිතෙයි...

    ReplyDelete
  33. හෙහ් හෙහ් හෙහ් පැතුමෝ...!!!

    ReplyDelete
  34. "අම්මා" ගැන මට තියන මතකය නොපැහැදිලි එකක්.

    "ඈත ලොවක සිට දෑත වනන සඳ
    සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
    ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ..."

    ගීතය ඇහුවම මට දැනුනේ ඒ මතකය හරිම සුන්දර එකක් විදියට.

    ReplyDelete
  35. අදමයි අවේ.මා දුටු තවත් නිර්මාණශිලි බ්ලොග් පිටුවකි.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

 
Blogger Wordpress Gadgets