සපුමල් සුවඳක් සේ....

කාන්සිය නිවාගැනීමට ඉඳහිට සවන්දෙන ගීතවල වගතුග සෙවීමේදී  "රචිකාවියන්" මුණගැසුණේ අතලොස්සකි. සිංහල ගීත රචනාවලියේ පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තා නියෝජනය ඉතාම අඩුයැයි හැ‍ඟේ. පුවත්පත් වල කවි පි‍ටු පුරා ඔවුන් ලියූ කවි බොහෝ ඇතත් ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය. යමුනා මාලිනී කිවිඳිය තවමත් ගී රචනා කරන අතර කුසුම් පීරිස් මහත්මියගේ, රත්නා ලංකා අබේවික්‍රම මහත්මියගේ ගී රචනා ඉඳහිට අසන්නට ලැබේ. "දයා ද අල්විස්", මේ ගී රචිකාවියන්ගේ පාලු අඹරේ දිදුලන තරුවක් බැව් නම් නොකියාම බැරිය. ඇගේ 'සූරියකාන්තා 'ගීත එකතුව මීට අවුරුදු පහලොවකට පමණ පෙර එළිදක්වන්නේ පසුපිටේ ඇති මෙවන් වැකියකිනි...

"කිසි ලෙසකිනිදු හමුවිය නොහැකි නිසා මගේ මේ ගීයක සියුම් වදනකින් ඔබේ හදවත ස්පර්ශ කරමි"

දයාද අල්විස් මහත්මියගේ මා කැමති ගී කිහිපයක් මෙලෙස සටහන් කරමි...

• ඉහත කී වැකියටම ගැලපෙන ලෙස ගුණදාස කපුගේ ශූරීන් විසින් වයලීනය හඬවමින් තනු යෙදූ පුන්‍යා කත්‍රිආරච්චි ගායනා කරණ  මේ ගීය නම් අදත් එක ලෙස ජනප්‍රියය...
"දැස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරගමි ඔබට නොඑන්නට - සිතුවිල්ලක් වී ඔබ එනවා
.......................................
අහසත් පොලොවත් ඔබමද මාහට - නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙදි බැඳි බැමි බිඳදා - කෙදිනද ඔබ මා හමුවන්නේ"

• ගීයක් ලියාදෙන්නැයි මිල්ටන් පෙරේරා කල ඉල්ලීමකින් ඈ ගී රචනා ලොව පළමු පියවර තබන්නීය. තනුව තුමූම යෙදූ මිල්ටන් පෙරේරා එය මෙලෙසින් ගායනා කලේය...
"කඳුලු අතරට සිනහ ‍රැළි වෙමි - විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන - ආදරේ කවියක් වෙමී"

• සනත් නන්දසිරි විසින් තනු යෙදූ අපූරු ගීත යූග්මයක් දයාද අල්විස් ගී එකතුවේ ඇත (සනත් නන්දසිරි විසින් මෙබඳුම "ගී - පිලිතුරු ගී" යුගලක් තවත් වරෙකද ගයා ඇත - "ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ" හා "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" යන ගී ඒවායි)
"සහසක් පැතුමන් ඉපිදී මියගොස් - ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැල මහට අඩසඳ පෑයූදා - මතකද සිරි දළදා වැන්දා
..................................
අහිමිව ගිය සම්පතට වඩා - හිමිවූ දුක මිහිරියි සලකන්නම්
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් - පෙර පිනැකැයි මා සලකන්නම්" - සනත් / මල්කාන්ති

"සහසක් පැතුමන් නැත මා පැතුවේ - එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ - මතකයි සිරි දළදා වැන්දා
................................
අහිමි සැපත මිහිරියි සිත පුරවා - තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන - අදට වඩා අනුකම්පාවෙන්" - සනත් නන්දසිරි

• සිසිර සේනාරත්නයන් තනු යොදා ගැයූ මේ ගීය නම් අපූරුම එකකි...
"අහසේ ඈතට - පාවී යනවා - සරුංගලේ..... සරුංගලේ......
...............................
සැරසිලි දාලා කවුද හැඩකලේ - සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා - ඔබෙ සිත මා සසලන්නේ
...............................
නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙණු - නැතිදෝ ඔබට පෙනෙන්නේ"

• ස්වයංවරයක් අභියස හිඳින නෙළුමකටයි මේ පැණය දයා ද අල්විස්ගෙන්
"හිරුට අයිති බව හිරු පවසනවා - විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා - ඔබ කාටද හිමි නෙළුම් මලේ
.....................
හිරු ලඟ අහසේ රුවට පිපීයන් - විල් දිය තුල සැඟවී සැනසීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට - නෙළුමේ නුඹ හසුවන්න එපා" - රෝහණ / නීලා
රචිකාවිය නෙළුම් මලකට කියූවක් වුවුද මේ ගීය, ගීතයේ ස්වාමිත්වය වෙනුවෙන් සටන් වැද, ඉනික්බිති අපූරු ගී නිර්මාණ ආර්ථික අරමුණු වෙනුවෙන් හුවමාරු වී, අවසන, එහි රසය සම්පූර්ණයෙන් නැති කරන්නන් නිසා කල ඉල්ලීමක්දෝයි මට සිතේ...

• වැරදීම මිනිස් ගතියකි!
"යලි උපදින්නම් අලුත් කෙනෙකු වී - නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා - සුවය ලබා
......................
යලි උපතක් දුන් සෙනෙහේ නාමෙන් - දෙපා සිඹින්නම් මෙළෙසින් මතුදා
දෙවියෙකි ඔබ මේ මහ පොලවේ - මහ පොලවේ" - රෝහණ / නන්දා පතිරණ

• ලක්ෂ්මී දෙවඟන පැමිණෙන විට එතුමියට ඉඩදීමට කවුරු හෝ පිටවිය යුතුය!
"එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ - පාළුව යාළු වුණේ
පැතූ වදන් නෑ ලබැඳි සිනා නෑ - කාලය ඉබි ගමනේ
...............................
ටිකින් ටිකට අඩි පාර පළල් වී - රිය සළකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී - අංගනයද සැදුනා
...............................
කහවණු හිනැහෙයි අද මතු මහලේ - මා හිත බිම් මහලේ
හිමියනි මා නෙතු කඳුලු බලන්නද - කහවණු නළවන්නේ
...............................
බුමුතුරුණක් කර යසිසුරු අතුරා - හිත්මල එහි පරවී
පළිඟු විමන් තුල දුක් සඟවන්නද - සැදුණේ රන්කාසී" - රෝහණ / නිර්මලා

• හෙක්ටර් සිල්වා හා පුන්‍යා කත්‍රි ආරච්චි ගයන මේ ගීයද දසක තුනක් වත් අඩුම ගනනේ පැරණි යයි සිතේ. මිදි යුෂ මෙන් පැරණිවන තරමට අගය වැඩි වන හැටි!
"මට මතකයි ඔබ පිපිලා උන්නා - දුනුකේ ගසක සුදූ
මට මතකයි ඔබ සොයලා ආවා - බඹරෝ සුවඳ මගේ" - තනුව හෙක්ටර් සිල්වා
මේ ගීය පිළිබඳ අපූරු සටහනක් ගී රස විනිස හි දක්නට ඇත

• අසමාන ආදර අන්දරයක කථාව ඇගේ පෑන් තුඩින්!
"සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ - හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දු‍ටුවේ
...............................
හැන්දෑ වලාකුලේ අටවක සඳ මඩලේ - මේ හැම තැන ඔබ සැඟවී උන්නා - මා පමණයි දු‍ටුවේ
...............................
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ - සවනත සනසා මා ලඟ උන්නා - ‍රැය පමණයි දු‍ටුවේ
...............................
සපුමල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ - මහ මෙර සේ ඔබ නොසැලී උන්නා - ඇයි මුලු ලොව දු‍ටුවේ?"
- දයාරත්න / අමරා
.............................................................................

ප්‍රේමය, විරහව, තනිකම, පාලුව යන නිමිති කවියට, ගීයට ඉතා සුලබ මාතෘකා වුවද ඈ ඒවා ස්පර්ශ කර ඇත්තේ ඇයටම විශේෂිත වූ ආකරයටය. තනු නිර්මාපකයින්ද ඇගේ සිතැඟි එලෙසින්ම වටහා ගත්තාක් බඳුය. නිරංජලා, නිර්මලා, ඉන්ද්‍රානි බෝගොඩ යනාදීන්ගේ මුවින් ගැයෙන්නේ ඇයගේම හඬ යැයි වෙලාවකට මට සිතේ. මම ඈගේ සෑම ගියකම පාහේ සැඟවුණු කාංසියක් දකිමි. මෙහි කථා නොකල "කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත - කඳුලැල්ලෙන් වැසී ගියා" (අබේවර්ධන), "ආපසු එනවා මගේ සිත ඉබි ගමනින් - ඔබ ඈතක රඳවා" (ප්‍රියා), "මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවද - වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ" (නිර්මලා), "අකලට වට මහ වරුසාවක් සේ - අසුබ දිනක ආ සුබ පැතුමක් සේ" (නිරංජලා), යනාදී ගී බොහොමයක මම ඒ සැඟවුණු කාංසිය විඳිමි.

ගුවන් විදුලි නාලිකාවලත් රූපවාහිනී නාලිකා සම්මුඛ සාකච්ඡා බොහොමයකත් දක්නට අසන්නට ලැබෙන්නේ එකම චරිතය. අසන්නේද එකම ප්‍රස්නයන්ය. "ඔබේ ජීවිතේ අමතක නොවන සිද්දි?" "පලමු පෙම?" "ඔබට ඔබේ ගමන් මගේ දිරිදුන් අය?" ඒවා අතරින් ප්‍රසිද්ධ පැණයන්ය. වියත් ගුවන්විදුලි නිවේදිකාවක්ද වූ ඈ බඳු අයගෙන් ඒ ක්ෂේත්‍ර වල ඉන්නා අයට මෙන්ම, සරල කලාවන් රසාස්වාදනයේ යෙදෙන අප වැන්නන්ටද ඉගෙනීමට ඇති තරම් කරුණු තවත් ඇතියැයි සිතමි.

දයා ද අල්විස් මහත්මිය බොහෝ කෘතවේදීව සිහිපත් කරන අතර ඇය 'සූරිය කාන්තා' ගීත එකතුවට ලියූ පෙරවදනෙහි කොටසකින්ම නැවතීම තබමි.

"ගොරෝසු ව වචනවලින් නොකළ හැකි බොහෝ විශ්මය ජනක සුන්දර වෙනස්කම් ගීයකින් කළ හැකි බව මගේ විස්වාසයයි. නිසරුව වියළිව ඇති හදවතකට තෙතමනයක්දී, සුවඳමල් පුබුදුවාලීමේ හැකියාවක් මිහිරි ගීයක ‍රැඳී පවතී. මිනිස් වර්ගයාට හා සොබා දහමට ආදරය කිරීම, ජීවිතාවබෝධය ලබා දීම, ගීයකින් සිදුවිය යුතු මෙහෙවර ලෙස මම සලකමි . ගීයක් ඇසීමෙන් හිත සමාධිගතවී ඇතිවන සංයමයෙන්, අකාරුණිකත්වය බොහෝ දුරට පලායන බව දැකිය හැකියි. මා මේ අවබෝධය ලැබුවේ වසර විසි ගණනක් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ලද අත්දැකීම් තුළිනි. සිතක් ඉතා පහසුවෙන් ස්පර්ශ කල හැක්කේ ගීයකට පමණයි. එසේනම් ගීය, ඉතා වේගයෙන් සමාජ මෙහෙවරක යොදා ගත හැකි දූතයෙකු නොවන්නේද?දයා ද අල්විස් - 1997

ගීත අසන්න...
 


Read More!
 
Blogger Wordpress Gadgets