බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියුබන්ද...

බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියබන්ද...
මාවෙත් ඔබ එවූ පත ‍රැස් විරි ඉන්ද...
ඒ සිත් මහද සර ‍රැඳි සිරි පිරි කුන්ද....
පෑපත් කලේ හමුවට තත් එක බන්ද....

මනහර නුඹෙ පවර සිරි පිරි වත තඹර....
බොහො වරෙකින් නුදු‍ටුයෙන් මා නෙත් ඹමර...
කරදර කර හඬන විට නලවන අයුර...
නොවිසිර මට වහා දන්වන්නේ විතර....

පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද...
බෝසත් කිවි බසින් තොස කල මැති සන්ද....
ඒ සිත් මවෙත එවූ පත බස් බැඳි නන්ද....
මා සිත් අරම තුල විය දිවි එක බන්ද...

ඔබ දැන්වූ විලස මා වෙත දිනෙක පෙර...
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර....
නැතියෙන් අවසරක් වැඩි බැවිණි කරදර....
සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු වර....

එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල...
අවුදින් මෙහි යතොත් ඉන් සිදුවන සඵල....
මුවකින් මට කියා ලිය නොහැකිය මෙකල...
අමවන් එබස් සිහිකර වැඩ කලොත් දුල...

එන සෙනසුරු දිනෙහි ඇලපාතට පවර...
එන මෙන මහද පවතී අදහසක් තිර....
පිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර...
මන මෙන සතු‍ටු වෙණු හැකි සැම කුකුස් හැර...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න [download]...

ගායනය එඩ්වඩ් ජයකොඩි හා නන්දා මාලිනී...
Read More!

අන්න පුතේ... නැදෑයෝ ඇවිත්...!

ඒ මම ජයන්ත චන්ද්‍රසිරි ගේ ආසම කරන නට්‍යය වන වෙදහාමිනේ නාට්‍යයේ අන්තිම දෙබස....
තමන්ට කරන්න පුලුවන් ලොකුම නොසණ්ඩාල දේ කරාපු කෙනාගේ උදවිය එක්ක වුනත්, කාලෙත් එක්ක කෝන්තර අමතක කරලා නෑයෝ කියලා සලකන්න තරම් උපෙක්ෂාවක් තිබිච්චි කෙනෙක් ගැන කථාවක් ඒ...!

--------------------------------------------------------------------------------

මීට දසක හතරකට ඩිංගක් ඉස්සෙල්ලා කොලු පැටියෙක් මේ ලොකේ එළිය දු‍ටුවාම උගේ වෙලාව බලාපු නැකත් රාල කියා ඇත්තේ දරුවාගේ හතර කේන්දරේ පාලුයි කියා.... අම්මා තාත්තා විස්සෝප වුනාට, කියන්ට අලාපාලුවක් නැතිව කොලුවා ලොකු මහත් වුණා දෙකට දෙවාරේ.... ඒ හැටි විසේසයක් නැතිවම... කාගේ වත් කරුණාවකට ආදරයකට ඒ හැටි භාජනය නොවීම... යම් යම් කාරණා නිසා විවාහ ජීවිතේයි ගැණු සංහතියම ගැනයි අට අනූවක් අකම්පාලයෙන් හිටිය මේ කොලුවා දිහා ආදරයෙං බලන්ටත් කෙනෙක් ඉපදී තිබුණා.... ඒ ඇත්තී, කාගේවත් බැල්මකට වත් ආදරේකටවත් බාජනය නොවෙච්චි අර කොලුවාගේ හිත ආදරයෙනුයි කරුණාවෙනුයි පුරෝලම දැම්මා... කොච්චරද කියතොත් අනෙක් අය දිහාත් ඒ විදිහට බලන්ට ඒ කොලුවව මුවින් නොබැනම පොලඹවන ගමන්ම.... ඒ ගලාගිය ආදරේ ඒ කොලුවා වටේටත් බොහෝම සෙනේහෙවන්තයෝ සෙනේහෙවන්තියෝ රාසියක් එකතු කරන්ට සමත් වුනා....

---------------------------------------------------------------------------------

මගේ උපන් දිනේ වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැපකරාණ සුභ උපන්දිනයක් කියන්න එක්කහු වුන පිරිස දු‍ටුවාම මගේ හිත හෝස් ගාලා යනවා.... ඒක නිකන් මූණු පොතේ කුරු‍ටු ගාණ දේකට වඩා මට බොහෝම වටිනවා.... මගේ ඇති අලජ්ජි ගති ගුණ අමතක කරාලා මා වෙනුවෙන් වචනයක් කියන්න එක්කහු වුණු හැමෝටම ස්තූතියි...

අද දවසේ මගේ ඇස් තෙත්වුණු වාර බොහෝයි....
දොරේ ගලා යන හිතවත් කම් වෙනුවෙන් ගලායන කඳුලු වලින් ලෝකය යහපත් තැනක්ම වුණාවේ....

ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ආ...... ආ........

සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා...
දෙනුවන් කැළුමින් පියුමින් සැළිලා...

හිරි පොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුල‍ඟේ... සුවඳ මැකී වියැකේ...

ඉද්ද සමන් පිපිලා.... වන පෙත හිනැහෙනවා....
කොවුලිඳු ගී ගැයුවා.... ගම්දොරකඩ ‍රැඳිලා...

ගීතය අහන්න... ඕනේ නම් බාගන්න [download]
Read More!

ත‍ටු සිඳුනා.... කිරිල්ලියේ...

ඉතින්....

විශේෂයක් නෑ....

ඒකද බුම්මන් ඉන්නේ...

කව්ද...? මම...? ඒ පේන හැටි...!

මෙච්චර දුරු කතරක් ගෙවන් ඇවිල්ලත් කථා කරන හැටි...!

ඒක පැත්තකට දාමු... ඉතින් කියන්න්කෝ ඔයාගේ වග තුග...?

නිවාඩු ඉවර වුනහම යනවා...

ගිහින්...?

ගිහින් කරන් හිටපු රස්සාව කරන් යනවා...!

දැන් හිත හැදිලද...?

හ්ම්ම් හිත හදාගන්න කියලා හිතන් තමා මේ ආවේ, මෙච්චර දුරක්...!

එක බලාපොරොත්තුවක් නැතිවුණහම, තව බලාපොරොත්තුවක් ඇතිකරගත්තම හිත හැදෙනවද...?

මම ඔච්චර සංකීර්ණවට ඔව්වා ගැන හිතන්නේ නෑ... හිතට සතුට ගේන දෙයක් ගාවට ගියහම මගෙ හිත හැදෙනවා... එච්චරයි...!

හැමෝටම එහෙම නිදහසක් නෑනේ...!

කූඩුව ඉතින් ඔයාමනේ හදාගෙන තියෙන්නේ...!

ඔයාට සමහර දේවලින් වාගෙම වගෙම මටත් ඒ කූඩුව සතුට ගේනවා...!

ඔය කියන්නේ මට යන්න කියලද දැන් මේ...?

නොකියපු දේ වලිනුත් හිත රිද්දවා ගන්නේ ඇයි....?

ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?

අපි කමුද අයිස්ක්‍රීම්....? මෙතන ඒවා හරි රසයි...!

.................................................................!

ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
යොවුන් වියේ හැඟුම් දරා...
නෙතින් නෙතට පියාසලා....
ත‍ටු සිඳුනා....

සමුදුරෙන් එහා මැවූ ලොවේ...
නෑ ඔබේ සිතුම් සැලී ගියේ....
මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ...

ජීවිතේ යොවුන් වසන්තයේ...
නැ ඔබේ පැතුම් පරාද වී...
මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිඳී ගියේ...

ගීය අහන්න... ඕන්නම් මෙතනින් බාගන්න (download)...
Read More!

ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...

ජපනුන් සමග රාජකාරී කිරිමෙන් බොහෝ දේ උගත හැක... මා ඔවුන් ගෙන් උගත් වැදගත් දෙයක් නම් විවේච්නයට හා වාදයට ඇති නොකැමැත්තයි... ආයතනයේ දෙපාර්තමේන්තුවක නම් අංශ ප්‍රධානියාගේ අණ අවසාන තීරණයමය.... ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අණ අංශ ප්‍රධානීන්ගේ විවේචනයට භාජනය වෙනවා මා දැක නැති තරම්මය, මගේ මේ සේවා කාලය තුල.... කුඩා කණ්ඩායමක් පවා අණ පිලිපදින හේවායන් සමූහයක් මෙන් කලින් තීරණය කල අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස වෙහෙස වෙයි... ලංකාවේ රාජ්‍ය සේවයේ යම් අංසයක් භාරව කටයුතු කල කාලය මට නිතැතින්ම මතක් වෙයි... යම් තීරණයක් ප්‍රකාශයට පත් කල දා සිට ඒ තීරණයේ නිරවද්‍යතාවය කෙතරම් වුවත් තීරණය ක්‍රියාත්මක කිරීම පසෙක ලා ඒ විවේචනය කරන්නවුන්ගේ කල්ලි ගැසීම් ඇරඹේ... කාලයත් සම්පතුත් අපතේ හරිමින් මේ කියාවලිය දීර්ඝ කලක් තුල සිදුවේ... අදාල කාරියට අත්දකීම් ඇත්තන්ගේ විවේචන සැබැවින්ම තීරණ ඔපමට්ටම් කිරීමෙහිලා ප්‍රයෝජනවත් වේ... නමුත් එක් මසක් පමණක් සේවය කලවුනුත්, බරක් නැති වචන වලින් පාලනාධිකාරීන් මට්‍ටු කරන්නට සැරසෙන විට නිතැතින්ම මුවඟ සිනහා නැ‍ඟේ....

මේ විවේචන ක්‍රියාවලිය ඔද්දල් වූවිට එය පවුල් ජීවිතය තුලටද හෙමින් සීරුවේ රිංගා යනු මා දැක ඇත්තෙමි... ජීවිත අත්දකීම් පොතපතින් ලබා ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.... පවුල්ජීවිතයට මුහුණ දිය යුත්තේ විවෘත මණසකිනි... අනෙකා තේරුම් ගැණීම පසෙක ලා තමා තමාම තේරුම් ගැණීමම යහපත් පවුල් ජීවිතයකට අඩි තාලම වන්නේමය... බොහෝ ගැහැණුන් පිරිමින් නිතරම් සිතන්නේ තමා අනෙකාව හෝ අනෙකා තමාව තේරුම් ගැනීම පවුල් ජීවිතයේ හරයය කියාය... මා තුල ඇත්තේ තරමක් වෙනස් අදහසකි... අපි යම් මානසික හෝ නීතිමය පදනමකින් බැඳුනාවූවෙමු.... ඒ බැඳීම යම් මිහිරි බවක් ජීවිතයට එකතු කලානම් ඒ වෙනුවෙන් ඉන් මත්තෙහි ඇතිවන සිත් රිදවීම් කරදර කම් කටොලු සියලු දේ ඉවසීමම දීර්ඝ කාලින සන්තුෂ්ටියට හේතුවන බව මම අදහමි... අත්දැකද ඇත්තෙමි... වරකුත් කියූ පරිදි වහා ඇවිලෙන සුලු හයිඩ්‍රජන් හා ඔක්සිජන් ගුණ ඇසුරෙන් ඒ දෙක සංයෝග වී සැදුනු ජලයෙහි ගුණ නිර්වචනය කිරීමට ඉක්මන් නොවෙමි....

තිබූ අනේක ආර්ථික අවහිරතා හමුවේ, බොහෝ පමාවී තිබූ, ලොකු දරුවා වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වී තුබූ භාරයක් ඔප්පු කරන්නට මහනුවරට දුම්රියෙන් ගොස් ආ ගමන මට සිහිපත් වේ... දරුවාට ගමන් මහන්සියට අසුන මතම නින්ද ගොසිනි... ඇයද ආහාර සූදානම් කරන්නට පාන්දරින්ම නැගිටි නිසාත් ගමන් මහන්සිය නිසාත් තෙහෙට්‍ටුවෙනි... ඇ මගේ උරිස මත හිස තබා ගත්තාය... මට අප පෙම්වතුන් ලෙස මෙලෙස ගතකල කාලය මතක් විණි... මම අගේ මුහුණ දෙස හොඳින් බැලීමි.... දුම්රිය බිංගෙයකට අතුලුවිණි....

"හොරා........!!!"
සිනාසුණෙමි මම, අවිහිංසක ඈ කෝල බැලුම් හෙලුවාය......


ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...
ළඟ ම තබාගෙන, මුතු කැටයක් ලෙස...
මේ කුළකින් රිංගන, තරු එළියක් ලෙස...
මිහිර විඳින්නම්, ළඳුනි දයාබර...

කාලයක් අයාලේ පාවී ගිය සිත...
ලැගුම් සොයයි, උණුසුමින් කැදැල්ලක...
ආදරය තරම් සුවයක් මිහිමත නැත...
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...

සාගරය තුරුල්ලේ, යාවී ගං දිය...
විඩා නිවයි, සිඳු රළින් හැඟුම්බර...
ස්නේහයක උපන්, කවියක් කැටතලයක...
ලියා තබමි නුඹ නමින් සනාතන...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...


පසු ලිපි: ගීතයේ නිර්මාතෲන් ගැන මෙතැනින් කියවන්න
Read More!

රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවිධ ඥාණ විදුරූ.....

මා කුඩා කල විධුර ජාතකය ගැන දැනගත්තේ මේං මේ ගී දෙකෙන්...
සින්දු වලින් කියන දේ මෙලෝ දෙයක් නොතේරුනාට ඒ කාලේ, පස්සේ කාලෙක තොරණ් බලලා, විධුර ජාතකය කවි පොත රුපියල් දහයකට පදික වේදිකාවෙන් මිලට ඇරන් කියවලා, හරි අපූරු විසිතුරු බවක් සිතුවමක්, විධුර ජාතකය ගැන මගේ හිතේ ඇඳුනා. ඕං කෙටියෙන් විදුර ජාතකය මෙතන ලියනවා... කථාව කියවලා බලලම සින්දු දෙක අහන්නකෝ...

විධුර පණ්ඩිතයන් කියන්නේ ධනංජය රජ්ජුරුවන්ගේ ඇමතියෙක් නෙව. ඒ කාලෙම හිටි තවත් සි‍ටු පුත්‍රයින් සතර දෙනෙක් ඉතින් දන් පින් කරලා මියගියායින් පස්සේ එක්කෙනෙක් සක්දෙවි වෙලාත් , තවත් කෙනෙක් නාග භවනෙ වරුණ රජ්ජුරුවෝ වෙලාත්, තව කෙනෙක් ගුරුළු භවනෙත්, අනෙක් කෙනා අපේ ධනංජය රජ්ජුරුවන්ගේ පුතාවෙලත් උපන්නලු. කුමාරයා ධනංජය කොරව්‍ය නමින් ඕං ඉතින් රජ වුනත් කියමුකෝ.

පරණ යාලුවෝ හතරදෙනා ඉතින් ආයෙමත් ඒ ආත්මෙදිත් එකතු වෙලා පරණ කල කී දෑ කථා කරන අතරමගදී කාගේ සිල්වත් බවද ශ්‍රේෂ්ඨ කියලා ඕං කථාවක් ඇතිවුනා. කථාව වාදෙට පෙරළුනහම ඔන්න ඉතින් එහෙනම් විධුර පණ්ඩිතයින්ගෙන්ම විසඳුමක් ගනිමුය මේකට කියල එකඟ වුනා. කරුණු කාරණා අහපු පණ්ඩිතයෝ සීලයන්හි අඩු පාඩුවක් නොදිටි නිසා සියලු දෙනාගේම සීලයන් එක ලෙස උසස් කීවා. හතරදෙනාම අගනා තෑගි බෝගයෙන් පණ්ඩිතයන් පුදන්ට තරම් සං‍තෝස වුනා.

හැන්දෑවට ගෙදර ගොහින්, උදේ හිටන් වැඩ පලේ, මගතොටේ වෙච්චි පල් හෑලි සේරෝම, ගෙදර ඇත්තිත් එක්ක කියැන්නැහෙ, ඒ ඇත්තිත්, දිග කෙස් ගස්, ඩබල් බස් ටිකට් සාක්කුවල ඇත්දැයි බලන්නැහෙ වැඩක් ඕං ඉන් මත්තේ ආපහු නාග භවනට ගිය වරුණ රජ්ජුරුවන්ට වුණානෙව. කරේ පලඳා උන් මැණික කොයි කියා විමලා දේවී ඇසුවාම, වෙච්චි සන්ගදිය, විධුර පණ්ඩිතයින් ගැන වර්ණනාවක් එක්කම කීවාම, ඕන් මේ දේවියට පුදුමාකාර දොලක් ඇතිවුනා පණ්ඩිතයින්ගෙන් බණ ඩිංගක් අහන්ට.

නා දේවිය වුණත් ගැහැණියක් නෙව, මේකට සූත්තරයක් කල්පනා කරලා විධුර පණ්ඩිතයිගේ හදවත අනුභව කරනකල් සන්සි‍ඳෙන්නැති ලෙඩක්ය කියා ඕං ලෙඩ ඇඳට වුනා. සෝකෙන් ඉන්න පියරජතුමා දැකපු එරන්දතී නා දෝනී ඇවිත් මේක අහලා, ඈත් සූත්තරයක් යෙදුවා අම්මාගේ ලෙඩේ සුවකරන්න. බොහොම එඩිබල ඇති, වෙසමුණි රජ්ජුරුවන්ගේ බෑනණුවන් කෙනෙකුත් වෙන, පූර්ණක යක්ෂයාව මේ වැඩේට පොලඹවාගන්ට ඈ හිතුවා. කාලගිරි කන්දේ ඉඳන් සුවඳ විහිදුවා විහිදුවා මලින් සැරසී ගී කියන එරන්දතිය දු‍ටු පූර්ණක යකුට උන්හිටි තැන් අමතක වුනා. එරන්දතියගෙන් කථාව ඉන්තේරුවෙන්ම අහගෙන ඕකත් මට කජ්ජක්දැයි කියූ පූර්ණක යකු විධුර පන්ඩිතයින් විමලා දේවින්නාන්සේ ගාවට එක්කන් යන්න පොරොන්දු වුනා, ඉන් මත්තේ ඈ ආවාහ කරගන්න පොරොන්දුව මත.

ඊලඟට මේක බලෙන් කෙරිය හැක්කක්ක? ධනංජය රජුව සූදු කෙලියෙන් පරදවා, හිලව්වට විදුර පණ්ඩිතයින් ගන්නම් කියලා ඔන්න, ඒ සඳහා උපකාර විය හැකි, කුම්භාණ්ඩයින් ලක්සයක් විතර රකින මැණිකකුත්, උන්ව පළවා හැරලලා අරගෙන ගමනට පිටත්වුනා. සූදුත් කෙලලා, දිනලා, පඬුරු විදිහට පණ්ඩිතයින්ව ඉල්ලුවහම තමා රජ්ජුරුවන්ට දෙයියන් සිහිවුනේ. ඇයි තමාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශසනා කරන පඬිතුමා නෙව. කොහොමෙන් කොහොමෙන් හරි ඕං පණ්ඩිතයින්ව අරන් යනවා පූර්ණකයා නා ලොවට. සරීරේ සෙරෝම අරන් යන්නේ මක්කටෙයි, හදවත විතරයි නෙව ඕනේ කියා හිතලා, ගලේ ගසා මරන්ට, වේරම්භ වාතයකින් සුණු විසුණු කරදමන්ට, බිහිසුණු වෙස් මවා තැති ගන්වන්ට උත්සාහ කලත් හරිගියේ නැති තැන, උඩ විසිකර කීප විටක් බෙල්ල පල්ලෙහාට වෙන්ට කකුල් දෙකෙන් අල්ලා සෙලෙව්වා ඕං. මේ දසවධ වලින් නෙසෙල්වුණු පණ්ඩිතයෝ මෙහෙම කරන්නේ ඇයිද අහලා ඕං කාරණේ දැනගත්තා.

එහෙමනම් ඒකත් එහෙමද කියා, මං මැරෙන්ට කලින් යමක් කියාදෙන්නම් ඊට පස්සේ ඕං කැමති දෙයක් කරන්ට කියා සාධු නර ධර්ම කාරණා හතර කියා දුන්නා. පළවෙනි එක නම් උදව්වක් කල අයට නැවත උපකාරය, දෙවැන්න යම් කෙනෙකුගේ ගෙදර නැවතී ආහාරත් ගෙන ඒ කෙනාටම නපුරක් කිරීමට නොසිතීම. තුන්වැන්න තමන්ට සෙවන දුන් ගසක අත්තක් නොකඩන ගානටවත් මිත්‍ර ද්‍රොහී නොවීමයි. අන්තිම එක තමා කාරණේ - අසත්පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට නොයාමයි. ඊට පස්සේ ඕං දැන් එහෙමනම් යමු, මා පව් නොකර ඇති නිසා මරණයට බයක් නැත කියලා කිව්ව. පූර්ණක යකු බොහොම ලජ්ජවෙලා ඔබතුමා ආපහු යන්ට, මට එරන්දතියත් නුවුමනා යැයි කියලා කිව්වා ඒ ගමන. එහෙම නෙමේ, අපි එහෙටත් යහපතක් කරමු මේ ගමනින්ම කියලා ඕං දෙන්නම නා ලෝකෙට ගියා.

අනේ අප්පේ ඉතින් වරුණ නා රජ්ජුරුවෝ බොහොම තු‍ටු පහ‍ටු වෙලා ධර්ම දේශණාවකට ආරාධනා කලා. ඒ ධර්මය අසා විමලා දෙවීන්ගෙත් මනදොල සංසිඳුනා නෙව. එහෙමනම් දැන් ඉතින් මගේ හෘදය මාංසය ගන්ටයි කිව්වහම, නා රජ්ජුරුවෝ කියාපි කෙනෙකුගේ හෘදයනම් ප්‍රඥාවමයි, අප එය ලබූවෙමුයි කියා. මේ නා ලෝකේ බණ කියන්ට කෙණෙකුත් නැත, ටික දිනක් ඉඳලා බණ කියන්ටයිත් ආරාධනා කලා. පූර්ණකයාට දොණියන්දැත් පාවා දුන්නා. පූර්ණකයා ඉමහත් සතුටට පත්ව ආපහු එක්කනුත් ගොහින් තමා ලඟ තිබ්බ අර සූදුව දිනන්ට උපකාර කල බලසම්පන්න මැණිකත් ඕං විධුර පණ්ඩිතයින්ටම පූජා කලා. ධනංජය රජ්ජුරුවනුත් ඉතින් පඬිතුමා යහතින් ආවා දැකලා අධික සතුටෙන් අඬා වැලපිලා, බොහෝ දිනක් සැණකෙලිත් පැවත්වූවාලු.

ජාතක කථාවේ හැටියට නා රජ සැරියුත් රහතන් වහන්සේ වූ අතර, ගුරුළු රජුන් මුගලන් මහ රහතන් වීලු. ධනංජය රජතුමා ආනන්ද මහරහතන් වහන්සේ වුනු අතර විධුර පණ්ඩිතයින් බෝධිසත්වයන් වීලු.

-------------------------------------------------------------------------------------

රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ....
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬී.....

ප්‍රේම පතා විමලා දේවීගේ.... පූර්ණක යකු දොල සන්සිඳනාසේ.....
දෙන්ට සිතා මහ පණ්ඩිත හර්දේ..... කාලා ගිරි මුදුණේ දී...
රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬී.....ගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ... ලෝහිමි විධුර පඬී...

සම්මා සම්බුදු මහ සත් ප්‍රාණේ.... පුරන පාරමිතා හිමි ප්‍රාණේ
නසන්ට වෙර ගත් කල්හී ප්‍රාණේ.... ධර්මාමෘත සදා දී දානේ....
සැනසූ ස්වාමි එදා...... රාජ පණ්ඩිත නාග විමාණේ....
ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ... කීර්ති සුන්දර තේජස පෑවේ...
ලෝහිමි විධුර පඬී..

ගායනය: ඒ ආර් එම් ඊබ්‍රාහීම්
--------------------------------------------------------------------------------------

ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

දෙසූ දහම් ඇසුමට ඒ නිමලා.... ඇසූ බවය පඬිගෙන් යකු ඇරලා...
අසාගන්ට කිව් දිවි නොනසා බණ... දෙසූ විධුර පණ්ඩිතමයි ගෞතම....
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

එදා එ ඇතු විදුමට ආ වැදි හට... පුදා එ දල දෙක දීලා දෑතට....
මෙදා මෙ බුදු බව ලැබු මාතා හට.. පුදා වඳිමු අපි මල් ගෙන දෝතට...
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

ගයනය: රෝහණ බැද්දගේ ඇතුලු පිරිස
-------------------------------------------------------------------------------------


සින්දු දෙක අහන්න...
ඕන්නම් බාගන්න...



සු ලිපි:
ඊබ්‍රාහීම් මහත්තයගේ සින්දුව ඇතුලු ග්‍රැමෆෝන් ගී ගොන්නක්ම මාවෙත තෑගි කල අමිල සෝමරත්න සොයුරාට මගේ නොමද තුතිය මුලින්ම... ඊලඟට මේ කථාවේ පූර්ණකයාටයි එරන්දතියටයි දාව උපන්න පුත් කුමරා පසු කාලෙක දැඩිමුණ්ඩ දෙවියෝ වුනා කියලත් කියනවා... මාර පරාජයේදී සියලු දෙවිවරු පැනලා දුවනකොට මාරයාට බයෙන්, සුදු වතක් හැඳ දුන්නත් තබා නොබියව බෝසතාණන් ලඟ උන්නේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවෝ විතරයි කියලත් කියවෙනවා...
Read More!
 
Blogger Wordpress Gadgets