සරා සොඳුරු මල් පැටලී බිඳී නොයන ජීවිතයයි....

මේක "හන්තානය කතාව" චිත්‍රපටියේ ගීයක්...පේරාදෙණිය කැම්පස් එක පසුබිම් වෙච්චි චිත්‍රපටියක්... රඟපාන්නේ ස්වර්ණයි විජයයි... හරිම සුන්දර චිත්‍රපටියක්... කියන්නේ නන්දයි, වික්ටරුයි... එක කාලෙක කේමදාස මාස්ටර් පැටලිලා හිටියා ඩබ් ඩී අමරදේව මාස්ටර් සහ ඩබ් ඩී ආරියදාස අතර හබයකට... ඒ වෙලාවේ හබය ගැන කියන ගමන් මේ සිංදුව ගැනත් කිව්වා... මේක මුලින් කියන්න හිටියේ වික්ටර් නෙවෙයිලු... ගණුදෙනු ප්‍රස්නයක් නිසා, එයාව හලලා වික්ටර්ව ගත්තලු... වික්ටර්ගේ මුල්ම කාලේ කටහඬ දැනටත් වඩා හරිම මිහිරියි... ඔබත් ආසද බලන්න... මේකේ පද වැල් ඉස්පාසුවෙන් කියවන ගමන් අහන්න... සසල හා නිසල හදවත් දෙකක් ගැන නේද මේ කියන්නේ....?

සරා සොඳුරු මල් පැටලී, බිඳී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී, සිහින සදන ජීවිතයයි

කැකුලු සිනා මුතු එලියේ අඳුරු ළෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ... සැලේ…

වනේ මලට හද විමනේ, බඹරු වඩින ජීවිතයයි
පිපාසතවු මරු කතරේ, පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ, අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ... නිවේ...

කුණාටු මැද බොල් අහසේ, එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන, අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමනයි… සැලේ මහද සැලේ... සැලේ…

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න
Read More!

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නෑවෙනා...

දුම්රියක හඬ පසුබිමට ඇරන් නිර්මාණය වෙච්චි ලස්සන ගී දෙකක් මගේ මතකයේ තියනවා... එකක් මේක... අනික රූපා ඉන්දුමතී ගයන "විදුලි දුම්රියේ චංචල නාදය..." මම කෝච්චි වල නම් වැඩිය ගොහින් නෑ.... හැබැයි ඒ කාලේ බස් එකේ එකට වාඩි වෙලා ඇවිත්, ඈ බැහැලා යනකොටනම් ඉවසන්නම බෑ... මේ ගීය පෙම්ව්තියටම නොවූවත්, දුරස්ත ප්‍රේමයක් ගැන කතාවක්... කදිම තනුවක්, කදිම සංගීතය... රස විඳලම බලන්න

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය, ඇයගේ සුවඳින් නෑවෙනා...
ආලකමන්දා පුරයකි ආදර, පුරහඳ දහසක් පායනා...

දිවයන තුරුවැල්, හිනැහෙන දියවැල්, දිව මල් දිව සලු තාරකා...
ඇගේ දෙනෙත් මැද මා නෙත් ගිනිගෙන, චංචල මංගල චාරිකා...

රිය නැවතුන සඳ, දෑත වනා ඈ යන්න ගියා මැකිලා....

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා,
කෝ රණ මොණරුන්, මිහිලොල් බඹරුන්, ගුමු ගුමු පෙම් ගී ගායනා...
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා....

කැරකෙන රියසක ගොරහැඩි හඬ මැද හදවත කලඹයි වේදනා...
යලි හෙට දවසේ, සැන්දෑ යාමේ ඇගේ නුවන් යුග වාසනා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...

"සොඳුරු සිත"ලියන "වත් " ක්ණස්සල්ලෙන් වාගේ... කණස්සලෙන් උනත් අපූරු බ්ලොග් සටහනක් දාලා තිබ්බා... මට ශ්‍රීමතිගේ තවත් අපූරු සිංදුවක් මතක් උනා....මෙබඳු සිතිවිලි එන්නේ ප්‍රෙම්ට හැර වෙන කවුරුන්ටද...?

අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...
අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ...

චන්දන සුවඳින් නැහැවී හිමගත වණ අරණ තුලින්
ඔබ මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉසලා..

සතුටු සුවය තුරුලු කරන් නිදහනයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

පියමඳහස මුව මුකුලු මවා...

අපේ රටේ ගීත රචක, ගායක යුගලයන් ඉන්නවා නේද...? සුනිල් ආරියරත්න / නන්දා මාලිනී, මහගම සේකර / අමරදේව, රත්නශ්‍රී / දිවුල්ගනේ... එතකොට ප්‍රේමකීර්ති... දෙයියනේ, ඒ මනුස්සයා කොච්චර නම් ලස්සනම ගී කී දෙනෙකුට ලිව්වද...? වික්ටර්, ශ්‍රීමතී, මර්වින්, ෆ්‍රෙඩී ඒ අතරින් විශේෂයි... ශ්‍රීමතී තිලකරත්න කියපු ගී වැඩි හරියක් ලියා ඇත්තේ ප්‍රේමකීර්ති... මේ ගීතය මගේ මව මා කුඩා කාලයේදී මුමුණවා මට තාමත් මතකයි... මේ වාගෙ පද අහන්නවත් ලැබෙනවද අද..."මගෙ තනි කම පිස ලවන පබා..." අහන්න ලැබෙන්නෙත් වෙන වෙන පබාලා ගැන නේ...
බලන්න ප්‍රෙම් ගේ ප්‍රතිභාව මේ ගීය අහලම... (මොන හිතකින් මේ මනුස්සයාට වෙඩි තිබ්බද දෙයියනේ....?)

පියමඳහස මුව මුකුලු මවා...මඳ සුලඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ළවන පබා... මට ගෙන එනුමැනවි සඳේ...
සියපත් මත ඔබෙ සුවඳ උලා... වන බඹරුන් ඉගිල ගියා...
පවසනු මැන මට මියුරු කතා... ඔබෙ හිස මගෙ උකුලෙ තියා...
මගෙ සිත ලඟ මල් පොකුරු දරා... ඔබෙ කටහඬ ඇසෙන පැයේ...
නිදිබර නෙත නිදි නැතිව අයා... මා කළඹයි සොඳුරු රැයේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
Read More!

ජන්ම භූමි වන්දනා...

අද හිතට සැහැල්ලු දවසක්... ලංකාවේ මිනිස්සු පපුවෙනුයි ඔලුවෙනුයි දෙකෙන්ම ඡන්දය දීලා... ඔය කතිරයකින් ගොඩක් දේවල් කියන්න බෑ... මේ අවදානම් අවස්ථාවේ අපේ මිනිස්සු සුදුසු දේ තේරුවා... රට ගැන, මිනිස්සු ගැන ආඩම්බරයක් හිතෙන වෙලාවේ, ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ මධුරතම තනුවක්... වික්ටර් රත්නායක ගේ හඬින්... මගේ දේශපාලන මතය එක්ක ඔබ එකඟ නොවුනත් ගීතය රසවිඳින්න.. මට මගේ ජන්ම භූමිය උතුම්ය....

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

සූර්‍ය රාජයා ඇදී, ‍රැස් විදා වඳී උදේ..
සිව් මහා ගඟුන් රිදී, ගී ගයා වයා ඇදේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

මේ බිමේ පොලෝ තලේ, පෑගුනත් ලැබේ බලේ..
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...
ලොව රම්‍ය භූමි වූ...ලොව පුණ්‍ය භූමි වූ...

සිංදුව අහන්න... බාගන්න ඕන්නම්...
Read More!

ඔබට වසඟ වූ දෑසක අබිමන්...

ඒ කාලේ මට අවුරුදු 21 යි... කැම්පස් යන්න සූදානම... කවදාවත් තරුණියකට ඇහැ නොගිය මට ඇය වෙත ඇහැ ගියා... මාස ගනනාවක් හිතේ තියාගෙන ඉඳලා ඉඳලා ඔන්න ඇයගේ කැමත්ත විමසුවා... ඔන්න ඔය කාලයේදී මගේ මුවේ ‍රැව් හුන් ගීයක් තමා මේ... සනත් නන්දසිරිගේ මනස්කාන්තම ගීයක්... රේඩියෝව දැම්මොත් යන්නේම ඔහුගේ "මමනම් ආසයි අහන්න නයනා..." තමයි... සනත්ගේ කොපමණ ලස්සන ගී තිබ්බත්... අහලම බලන්න... ඔබේ වින්දනය සටහන් කරලත් යන්න...
(එතකොට කෝ ඇය..? "පෙර දිනයක මා පෙම්කල යුවතිය මා පුතු නලවනවා...")

ඔබට වසඟ වූ දෑසක අබිමන්, සඟවා විසිතුරු තුරුණු ලයේ...
සුසුම් කුණා‍ටුව ගලා ගියාදෙන්, එය මට සුවයකි කුමාරියේ...

කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස, තාමත් රහසකි ඔබට ලඳේ...
පාලු හුදකලා තාපය අතරේ, සතු‍ටු උදානය සිතක ඇඳේ...

ඔබ වෙත ඈ‍ඳෙන සිතිවිලි දැවටී, නිදිබර හදවත අවදි කලා...
මා පැතු ආදර සිහිනය එපමණි, චංචල සිත අද නිහඬ වෙලා...

සිංදුව අහන්න...
Read More!

වාදකයාණෙනි ඔබේ සිතාරය...

සුනිල් එදිරිසිංහ ගේ රසවත්ම ගීයක්... රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපල නිකුත් වෙලා... කොහොම හරි අපේ දුවා දරුවන්ට සොයුරු සොයුරියන්ට දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් උනොත් ඒ ඇති...

වාදකයාණෙනි ඔබේ සිතාරය...
තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...

සිංදුව අහන්න
Read More!

මුතු වාගේ බබලනවා...

මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුගේම පවුල් වලට අලුත් සාමාජිකයෝ එක්වුනා, පහුගිය දිනවල.... ආසාවේ බෑ... මට ඉන්නේ කොලු පැටව් දෙන්නෙක් නේ... ඉතින් කෙලි පැටික්කියො දකිනකොට (අතදරු හොඳේ...!) ආසාවක් ඇතිවන එකත් පුදුමයක්යෑ...මේ සිංඳුව ඒ වාගේ පුංචි එකියක් ගැන... ඉස්සර මේ සිංදුව නිතරම යනවා... මේක කියන්නේ Winslow Six කියල ගායක කණ්ඩායමක්... ඔවුන් වැඩිය ගීත කියල නෑ... හැබැයි මේක නම් gold ම තමයි... සංගීතය, හාර්මනි, හරිම ලස්සනට පාවිච්චි කරල තියනවා... අහලම බලන්න... හොඳ නරකත් කියලම යන්න...

මුතු වාගේ බබලනවා - නෙත ඈගේ දිලිහෙනවා
දුව රෝෂී හිනැහෙනවා... මුතු වාගේ බබලනවා

ඈගේ සිඟිති වදන් - සැනසීමේ රහස කියන්
සුර ලෝකේ සිහින මවන් - දුව රෝෂී තනිව ඉඳන්
මුතු වාගේ බබලනවා…

දඟකාරී පහණ හදේ - හැඩකාරී ඇයය නෙතේ
සිරියාවී සැමගෙ සිතේ - දුව රෝෂී මැණික අපේ
මුතු වාගේ බබලනවා…

සිංදුව අහන්න...
Read More!

එපා බලන්නට සැකයෙන් මා දෙස...

ලතා දිසානායකගේ සින්දුත් බොහොම ලස්සනයි... නමුත් වාදනය වෙන්නේම නැති තරම්... මේ ගීතයේ පබැඳුම බොහොම සියුම්... මුල් කොටසින් කියවෙන්නේ තම ස්වාමියාගේ මුවින් පිටවිය යුතු වදන්... තම ස්වාමියා දෙස දයානුකම්පාවෙන් බලන කෙනෙක් කියනා ගීයක්... මගේ හිතට හරිම සමීපයි...

“එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් නොවේ
ගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ

සුරා බඳුන් ලඟ නුරා රැගුම් දැක, ඔබ කිරි දරුවකු සේ
ඔබේ සුසුම මට පමණයි දැනුනේ, නිහඬ හැඬුම මට පමණයි ඇසුනේ

ලස්සන නොදකින හිස් මිනිසුන් මැද, ඔබ පුන් කලසක් සේ
නිවා තැවුල යලි හමුවිය යුතු වේ, එදා ලොවම මට රස උල්පත වේ

සිංදුව අහන්න...

Read More!

ලන්ද දිගේ හැංගි හොරා...

මේක මගෙ කැම්පස් බැචෙක් වන සහෘද රසික පාලිත ගෙ ඉල්ලීමක්... මාත් ඉතාම ප්‍රිය කරන ගායිකාවක් නන්දා පතිරණ... අතලොස්සක් වූ ඇගේ ගීත සියල්ලම රත්තරන්ම තමා...

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ...
‍රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ...

දෑත දරා පෙරදා කීව කතාවේ... දෑස ‍රැඳේ තාම බැඳීලා...
සීත ‍රැයේ හඬනා දෑස දිහාවේ... දෑස ඔබේ ලෝකේ සොයාලා

පාලු පැලේ මුමුණා ගීත ගැයේවා... පාලු සිතේ ශෝක නිවාලා...
ජීවිතයේ තනිවී දැත ‍රැඳේවා... ආයේ ඔබේ දෑතේ බැඳීලා...

සිංදුව අහන්න...

Read More!

අපමණ සිහින මවණ...

මල්ලිකා කහවිට... අපේ සිංහල ගී ඇල්ලට ඉතාම ලස්සන ගීත එකතු කල කෙනෙක්...ඇයගේ, දැන් කිසිම නාලිකාවක, වාදනය නොවන ගීයක් මෙන්න...බලන්න වදන් වැල කොච්චර සුන්දරද කියලා...

අපමණ සිහින මවණ සිතුවිළි පෙළ පියපත් නම්
මට ඔබ රැගෙන වෙනම ලොවකට යන්නට හැකිනම්

තිමිරෙන් පිරුණු බිමක් වූවද එහි අඳුර නැතී
ඔබගේ දෙනෙත් තුලින් වලින් නැගෙන එළිය ඇතී
අපමණ සිහින මවණ…

මිනිසුන්ගෙන් දුරුවුනු සතුන් සරන එම උයනේ
මම මියුලැසියක ලෙස ලැගුම් ගනිමි ඔබ සෙවනේ
අපමණ සිහින මවණ…

පෑරෙන පැසෙන සිතට මම දෙන්නෙමි සහන් ඔසූ
ඔබ මෙතුවක් නොකියූ ගී කිව මැන එයින් මතූ...

සිංදුව අහන්න...

Read More!

ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා

ඊලඟ ගීතය මගේ ප්‍රිය බිරිඳ වෙනුවෙන්... සම්පූර්ණ සිංදුව විරහ වේදනාවක් ගැන උනත් මුල් කෑල්ලට මම හරිම ආසයි... මේක රේඩියෝවේ ගිය කාලයක් මතක නැතිතරම්... ප්‍රේමකීර්තිගේ සුන්දරම රචනයක්...- ගායනය - වික්ටර් රත්නායක

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..

Read More!

අද ඉපැදුනු නැවුම් ලොවට ...

ඉස් ඉස්සෙල්ලම දෙයියන් බුදුන් වැඳලාම වැඩේ පටන් ගමු.
සුනිල් එදිරිසිංහයන්ගේ මේ ලස්සන ගීයෙන්....

අද ඉපැදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න...
පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න...

උපන් බිලිඳු නහවන්නට රුවන් පිරිස පැන් වඩතී...
සිරිමා බෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී...
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී...
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී...කල්පයකට ආයු දෙතී...

සහසක් බුදුවදන් නිතර නැලවිලිගීයෙන් ගයතී...
සිරි දලදා හිමිසරණින් පිහිට ලබා නිදුක් වෙතී...
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී...
බාල බිලිඳු පිලිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී... සමන් දෙවිඳු දෝත දෙතී...

සිංදුව අහන්න මෙන්න මෙතැනින්....ඕන්නම් බාගන්න...
Read More!

ආයුබෝවන්...

කලක ඉඳල තිබිච්ච ආසාවක්...
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට ස්තූති වෙන්න ඕනෑ ආසාව කුලුගන්වන්න උදව් දුන්නට...


ඉස්සර අපේ රසවිඳීමේ ප්‍රධාන මාධ්‍යය තමයි රේඩියෝව... ඊලඟට කියවන්න අහුවෙන ඕනෑම දෙයක්... සංකීර්ණ නොවෙච්ච සරල රසවින්දනයේ ඉඳලා ඉහල මට්ටමේ රසවිඳීමකට අපව ගේන්න ඒකාලෙ... ඒ කියන්නේ 70 ව දශකයේ.... ගුවන් විදුලිය සමත් උනා... නාලිකා කීයද තිබ්බේ...? එක වරක් අපේ වියත් කලාකරුවෙකු වන ලූෂන් බුලත්සිංහලගෙන් මනුස්සයෙක් ප්‍රස්නයක් ඇහුවා... "මහන්සි වෙලා ගෙදර එන අපට, ඔබේ ටෙලි නිර්මාණ අපට තේරුම් ගන්න බැහැනේ" කියලා... ඒකට ලූෂන් දුන්නු උත්තරය... "ඔබට මහන්සි නම් ටෙලි නට්‍ය බලන්න එපා... සිංදුවක් අහන්න" කියලා... සම්පූර්න ඇත්ත... හිතට දුකක් කරදරයක්, සතුටක් උනත්, දැනුනම, ඒ ආවේගය පිලිවෙලකට පිටකරගන්න පුලුවන් , ඒ කියන්නේ ගංවතුරක් නොවී, ලස්සන දිය ඇල්ලක්, දොළ පාරක් වෙන්න, පුලුවන් ක්‍රමයක් තමයි, ගී රස වින්දනය...


ලංකාවෙත් දැනට කොච්චර නම් ගීත බිහිවෙලා තියනවද...? දැන් දැන් කොච්චර නාලිකා තියනවද... නමුත් එකම ගීත සෙට් එක නේද නිතරම ඇහෙන්නේ... ලස්සන සංවේදී පසුබිම් කතාවල් එක්ක ගැට ගැහුණු, ලස්සන ගීත බොහෝමයක් දැන් අහෙන්නේම නෑති තරම්...


මගෙ අරමුණ ඒ නිතරම නො ඇහෙන ගීත පදවැල් අනෙක් අයත් එක්ක බෙදාගන්න... ජීවිතේ එක්ක යහමින් හැප්පුනු අය, ජීවිතේ මූණදෙන්න සිදුවෙන හැඟීම් වල සංකීර්ණ ස්වභාවය හොඳින් දන්නවා...දෙන්නෙක් අතර ඇතිවන ප්‍රේමයේම කොච්චර ප්‍රභේද තියනවද...


හිමින් සැරේ ඒ මුතු මාලයකට අමුණන්නම්... මට උදවු කරන්න...
Read More!
 
Blogger Wordpress Gadgets